ඉතිහාසයේ මෙම සතිය: ජූලි 26 - අගෝස්තු 1

[‍මෙය 2021 ජූලි 25 වැනි දින This week in history: July 26-August 1 යන මැයෙන් පල වූ ලිපියේ 100 years ago: Hitler becomes leader of Nazi Party යන කොටසේ පරිවර්තනයයි.]

වසර 100 කට පෙර: හිට්ලර් නාසි පක්ෂයේ නායකත්වයට පත් වේ

ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඩීඒපී සාමාජික කාඩ්පත

1921 ජූලි 26 වන දින, ෆැසිස්ට් වාචාලයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්, දකුනු ජර්මනියේ බැවේරියාව කේන්ද්‍ර කොට ගෙන පිහිටුවා ගත් ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයේ (National Socialist German Workers Party) හෙවත් නාසි පක්ෂයේ (Nazis) නායකයා ලෙස තේරී පත් විය. ඊට පෙර ජර්මානු කම්කරු පක්ෂය (German Workers Party - DAP - ඩීඒපී) ලෙස හැඳින්වූ එම පක්ෂයේ නිර්මාතෘ ඩියෙට්රිච් එකාර්ට් (Dietrich Eckart) වෙනුවට පක්ෂයේ විධායක කමිටුවේ වැඩි ඡන්දයෙන් හිට්ලර් නායකත්වයට පත් විය.

හිට්ලර් 1920 දී ඩීඒපී හි සාමාජිකතත්වයට සම්බන්ධ වූයේ ඔහු 1919 සිට සේවය කරමින් සිටි මිලිටරි බුද්ධි අංශයේ නියෝගයකට අනුව ය. 1920 මාර්තු මාසයේ දී හමුදාවෙන් ඉවත් වූ ඔහු පූර්නකාලීනව පක්ෂය සඳහා වැඩ කිරීමට පටන් ගත් අතර ඉක්මනින් ම එහි ප්‍රමුඛ කථිකයකු බවට පත් විය.

1921 ජූලි මාසයේදී ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කලේ ය. පක්ෂය වෙනත් පාර්ශවයක් සමඟ ඒකාබද්ධ වීමක් සහ පක්ෂ මූලස්ථානය බැවේරියාවේ අගනුවර වන මියුනිච් සිට වෙනත් තැනකට ගෙන යාමට ගත් උත්සාහයක් වටා වූ ආරවුලක් ඊට හේතු විය. පක්ෂය තුල දිගටම රැඳී සිටීම සඳහා ඔහුගේ කොන්දේසිය වූයේ පක්ෂයේ සෑම අංශයක ම පූර්න බලතල ඔහුට වෙත ලබා දීම යි.

හිට්ලර් මුල සිටම ඩීඒපී හි කොමියුනිස්ට්-විරෝධී හා ජාතිකවාදී අදහස්, සහ යුදෙව්-විරෝධී අදහස් වැලඳ ගත්තේ ය. තම දේශපාලන ජීවිතය ආරම්භයේ දී ම යුදෙව් සමූල ඝාතනයේ (Holocaust) බීජ වපුරනු ලැබූ බව පෙන්නුම් කරමින්, හිට්ලර් 1919 වන විටත් තර්ක කරමින් සිටියේ, ජර්මානු ජාතිකවාදී රජයක අරමුන විය යුත්තේ 'ස්ථිර ලෙස ම යුදෙව්වන් මුලුමනින්ම ඉවත් කිරීම' බව යි.

මෙම පක්ෂය 1918 නොවැම්බර් කම්කරු පන්තික විප්ලවයේ පරාජයත් සමග මතු වූ බැවේරියාවේ අන්ත දක්ෂිනාංශයේ කොටස කි. තව ද, 1919 දී දක්ෂිනාංශික සන්නද්ධ කල්ලි විසින් විනාශ කල වාමාංශික බැවේරියානු සෝවියට් ජනරජයේ පරාජය හේතුවෙන් මතු වූ දක්ෂිනාංශික කොටස් ද මෙම පක්ෂයට සම්බන්ධ විය. බංකොලොත්භාවයට ඇද වැටුනු මධ්‍යම පාන්තිකයින් නාසි පක්ෂයට ආකර්ෂනය වූ අතර එහි දෘෂ්ටිවාදාත්මක බන්ධනය වූයේ යුදෙව්වන් හා මාක්ස්වාදය කෙරෙහි වෛරය යි.

“සමාජවාදී” සහ “කම්කරු” යන යෙදුම් තමන්ට ජනතාවාදී පෙනුමක් ලබා ගැනීමට යොදා ගනු ලැබුන ද නාසි පක්ෂය ජර්මානු කම්කරු පන්තියේ ප්‍රධාන පක්ෂ දෙක වන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයට දැඩි ලෙස විරුද්ධ විය. එය, ආරම්භයේ සිට ම කායික මැරකම්, විශාල ප්‍රදර්ශනාත්මක පෙලපාලි සහ හිට්ලර්ගේම කථික නිපුනතාවය මත පදනම් විය.

පලමුවන ලෝක සංග්‍රාමයෙන් ජර්මානු අධිරාජ්‍යවාදය පරාජයට පත් වීමෙන් පසු 1918 දී බලයට පත් වූ වයිමාර් ජනරජය (Weimar Republic) පෙරලා දැමීමට නාසි පක්ෂය උත්සාහ කලේ ය. 1923 දී බියර් හෝල් (Beer Hall Putsch) කුමන්ත්‍රනය ඔස්සේ මිලිටරි බලය පැහැර ගැනීමට හිට්ලර් විසින් උත්සාහ කල අතර එය ක්ෂනිකව ම තලා දැමිනි. හිට්ලර් කෙටි කාලයක් සිරගතව සිට නිදහස් වීමෙන් පසු 1933 දී බලය අල්ලා ගැනීම දක්වා වූ නාසීන්ගේ නැග්ම ආරම්භ විය.

Loading