[මෙය 2021 මැයි 14 වැනි දින Bicentenary of Napoleon’s death: Macron praises Bonapartist police-state rule යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]
සාන්ත හෙලේනා දිවයිනේ පිටුවහලේ සිටිය දී, 1821 මැයි 5දා මියගිය, නැපෝලියන් බොනපාට්ගේ මරනයේ ද්වි-ශත සංවත්සරය යෙදුනු මැයි 5දා, ප්රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් කතා කලේ ය.
නැපෝලියන්, ඔහුගේ මිලිටරි සුධීමත් භාවය හා ඔහුගේ දේශපාලන ජීවිතයේ පරාසය, මෙම ශතවර්ෂ දෙක තුල නිමක් නැති නිල කතාවන්ගේ මාතෘකාව වී ඇත. 1793 ප්රන්ස විප්ලවයේ රැඩිකල් යුගයේ සිට 1799 දී කුමන්ත්රනයකින් බලය අල්ලා ගැනීම, 1804 දී අධිරාජයා ලෙස ඔටුනු පැලඳීමට ඔහු ගත් තීරනය හා 1815 දී ඔහුගේ වෝටර්ලූ පරාජය දක්වා වන ඔහුගේ වෘත්තීය ජීවිතය සලකුනු කරනු ලබන්නේ, ප්රන්ස විප්ලවයේ යුගයෙහි සියලු පරස්පර විරෝධයන් විසිනි. නිල කථිකයන් නැපෝලියන් පිලිබඳ ව ඉස්මතු කර පෙන්වීමට තෝරාගෙන ඇති දේවල්, ඉතිහාසය තුල නැපෝලියන්ගේ ස්ථානයට වඩා ඔවුන්ගේ පාලන තන්ත්රයන් පිලිබඳ ව බොහෝ දේ පවසා ඇත.
මෙහි දී මැක්රොන්ගේ කතාව ව්‍යතිරේකී නො වී ය. කුමන්ත්රනයක් සිදු කිරීමට ප්රන්ස යුද හමුදාව ෆැසිස්ට්වාදී තර්ජන පලකරන හා කොවිඩ්-19 වසංගතය යුරෝපයේ ජීවිත මිලියනයකට අධික ප්‍රමානයක් ගිලගැනීමෙන් අනතුරු ව විද්‍යාත්මක උපදෙස් නො තකා හරිමින් මැක්රොන්මත් “වෛරසය සමග ජීවත් වන්නැයි” ආයාචනා කරන අතරතුර පවත්වන ලද ඔහුගේ කතාව, ප්රන්සයේ හා යුරෝපය පුරා ප්රජාතන්ත්රවාදයේ මාරාන්තික අර්බුදයට සාක්ෂි සපයයි.
ඔහු සමූහාන්ඩුවක ජනාධිපතිවරයා වසයෙන් මැතිවරනයෙන් ධූරයට තේරී පත් වුව ද දිව්‍යමය හිමිකාරීත්වය විසින් පාලනය ගෙන යන්නේ යයි ප්‍රකාශ කල අධිරාජයන් ප්රන්සයේ ජනතාව විසින් පෙරලා දැමීමෙන් පසුව, කුමන්ත්රනයක් හරහා ධනේශ්වර දේපොල සුරක්ෂිත කිරීම හා උරුමයෙන් එන දේපොල අයිතිය ප්‍රතිස්ථාපනය කිරීම පිලිබඳ ව මැක්රොන් නැපෝලියන් ව උත්කර්ෂයට නැංවී ය.
ප්රන්ස ආයතනයේ දී උසස් පාඨශාලා ශිෂ්‍යයන් අමතමින් මැක්රොන් මෙසේ කීවේ ය: “අසමර්ථතාවේ, ප්රන්සය වටලෑමේ, සැඟවුනු ප්රචන්ඩත්වයේ මාස ගනනකට පසුව, පර්යායේ දේහත්වය වන්නේ කෙසේදැයි නැපෝලියන් සොයා ගත්තා. ...දිව්‍යමය වරම මගින් කරන පාලනය අවසන් කිරීම විසින් අවුලුවන ලද කරකැවිල්ලට ප්‍රතිචාර දැක්වීමේ, ඒ වෙනුවට වෙනත් සුජාත භාවයක්, වෙනත් උත්තරීතර භාවයක් ආදේශ කිරීමේ අවශ්‍යතාව නැපෝලියන් ඉතා ඉක්මනින් වටහාගත්තා.”
පලමු ප්රන්ස සමූහාන්ඩුව අවසන් කොට, 1804 දී තමන් ම අධිරාජයා ලෙස ඔටුනු පැලඳීමට නැපෝලියන් ගත් තීරනය මැක්රොන් ඉන්පසු උත්කර්ෂයට නැංවී ය: “ඔහුගේ ශ්‍රේෂ්ඨතම ප්‍රතිභා ඥානය වූයේ, (ගිලටීනයට යවා 16 වන ලුවී රජු ඝාතනය කල 1793) ජනවාරි 21 දායින් පසුව නිර්මානය වූ හිඩැස පුරවන්නේ කෙසේදැයි යන්න දැන සිටීමයි. රැඩිකල් වූ ... එයට පැවති විසඳුම ඔහුගේ අත්‍යසාමාන්‍ය විරෝධෝක්තිය තුල ප්‍රකාශයට පත් කෙරුනා: ‘සමූහාන්ඩුවට අධිරාජ්‍යයක් තිබේ.’”
1789 විප්ලවය විසින් රාජාන්ඩුව ඇදවැට්ටවීම, පිරවිය යුතු “හිඩැසක්” නිර්මානය කලේ ය යන මැක්රොන්ගේ දෘෂ්ටිය, දැන් ප්රන්ස පාලක පන්තිය තුල තිබෙන ඒකාධිපතිවාදී සංකල්පනයන් පිලිබිඹු කරයි. මැක්රොන් කතා කරද්දී, “සිවිල් යුද්ධයකට” තර්ජනය කරමින් හා ජීවිත දහස් ගනනක පිරිවැයක් දරා ප්රන්ස භූමිය මත මිලිටරිමය ලෙස මැදිහත් වීමට පොරොන්දු වෙමින්, මිලිටරි නිලධාරීන් දහස් ගනනක් විසින් නිකුත් කල තවත් ලිපයක්, නව-ෆැසිස්ට්වාදී කරන්ට් වැලියුස් (වර්තමාන වටිනාකම්) සඟරාව විසින් සූදානම් කරමින් සිටියේ ය. අපූර්ව ලෙස, මැක්රොන් තම කතාවේ දී මෙම තර්ජනය ගැන මුලුමනින් ම නිහඬ ව සිටියේ ය.
ප්රන්සය හා ලෝකය දෙස සමීපව එබී බලන්නේ නම්, මැක්රොන් අසමර්ථතාවන් හා සැඟවුනු තර්ජන පමනක් දැකගන්නේ, ඔහු කතා කරමින් සිටින්නේ 1776 ඇමරිකානු, 1789 ප්රන්ස හා 1791 හයිටි විප්ලවවල යුගය වෙනුවට අද දින ප්රන්සය පිලිබඳ ව නිසා ය. ඔහු සාකච්ඡා කරමින් සිටින්නේ ඔහුගේ ම ජනාධිපති ධූරය පිලිබඳව යි.
1789 ජූලි 14දා මහජනයා බැස්ටිලය අල්ලා ගැනීම හා 1799 නැපෝලියන්ගේ කුමන්ත්රනය අතර ගත වූ දශකය, අසමර්ථ භාවයේ එකක් නො වූ අතර, එහි ප්රචන්ඩත්වය “ගුප්ත වූයේ” ද නැත. 1789 ජූලි 14දා බැස්ටිලය අල්ලා ගැනීමෙන් පසුව ගත වූ වසර පහ තුල, විප්ලවවාදී ප්රන්සය යුරෝපීය රාජාන්ඩුවල මිත්‍ර හමුදා පරාජය කොට, වැඩවසම් දේපොල අහෝසි කලේ ය. ප්රන්සය තුල මත්, බටහිර වෙන්ඩී හා දකුනේ සන්ධීයවාදීන්ගේ ප්‍රති-විප්ලවවාදී කැරලි එය විසින් පරාජය කලේ ය.
මැක්සිමිලියන් රොබස්පියර් මරා දැමීමෙන් හා 1794 තර්මිඩෝරය සමයේ විප්ලවයේ රැඩිකල් කාලපරිච්ඡේදය අවසන් වීමෙන් පසු, ග්රාචුස් බැබූෆ්ගේ සමානයන්ගේ කුමන්ත්රනය වැනි දේපොල පොදුවේ තබා ගැනීම ඉල්ලා සිටි කැරලි කිහිපයක්, ධනේශ්වර සමූහාන්ඩුව විසින් මර්දනය කැරනු ලැබී ය. ආරම්භයේ දී රොබස්පියර්ගේ බාල සහෝදර ඔගස්ටීන් -1793 දී ටවුලොන් වරාය බ්‍රිතාන්‍යයෙන් යලි අත්පත් කරගැනීම නිසා මොහු නැපෝලියන්ව ප්‍රශංසාවට ලක්කර තිබුනි- සමග තිබූ සබඳතා හේතුවෙන් අවනම්බුවට පත් කරන ලද්දා වූ නැපෝලියන් නව පර්යායේ ශක්තිවන්තයා බවට පත් විය. යුරෝපයේ වැඩවසම් රාජාන්ඩුවලට එරෙහි ව යුද්ධය දියත් කරමින්, ප්රන්සය තුල හා යුරෝපයේ බොහෝ ප්‍රදේශ පුරා ධනපති දේපොල සබඳතා තහවුරු කිරීමට ඔහු පියවර ගත්තේ ය.
තමන් තේරී පත්වුනු රාත්‍රීයේ දී, නව-ෆැසිස්ට්වාදී අපේක්ෂිකා මාරියන් ල පෙන් ට “සමූහාන්ඩු ආචාරය” පුද කිරීම ප්රතිරාවය කල මැක්රොන්, ප්රජාතන්ත්රවාදීන් හා රාජාන්ඩුවාදීන් සමග දෙගොල්ලන් ම සමග මිත්‍ර වීම පිලිබඳ ව නැපෝලියන් ව උත්කර්ෂයට නැංවී ය. “ජාතික සමගිය හා ශ්‍රේෂ්ඨත්වය සඳහා අචල උත්සාහයක් දැරිය යුතු බව නැපෝලියන් අවබෝධ කරගත්තා. ...ලේ හලමින් විප්ලවීය විරෝධයට ලක්ව තිබූ අය සමග සංහිඳියාවට එලඹීමට ක්‍රියා කිරීම මගින් ඔහු එය කලා” යි මැක්රොන් කීවේ ය. ප්රන්සයේ පූර්ව මෙරොවින්ජියානු රජ පෙලපතේ සලකුනක් වූ මී මැස්සා, තමන් අධිරාජයාගේ ධූරප්‍රාප්ත වෙද්දී සලකුනක් ලෙස යොදා ගැනීමට නැපෝලියන් ගත් තීරනය, මැක්රොන්ගේ ප්‍රශංසාවට බඳුන් විය.
එවන් අර්ථය සැඟ වූ සැඳහුම් එක් නිශ්චිත දේශපාලනික කරුනක් පිලිබිඹු කරයි. විශේෂයෙන් ම රාජකීය කුමන්ත්රනයන්ට හා වාමාංශික විරුද්ධ පාර්ශවයට යන දෙකට ම එරෙහි ව යෝධ පොලිස් යාන්ත්රනයක් ඉදිකල නැපෝලියන් දෙස මැක්රොන් ආපසු හැරී බලන්නේ, 21 වන ශතවර්ෂය තුල ඒකාධිපතිවාදී පාලන තන්ත්රයක් නිර්මානය කිරීම පිනිස ප්රන්සය තුල බොනපාට්වාදී පාලනයේ සම්ප්‍රදායන්ට ආයාචනා කිරීමට ඔහු සවිඥානික ව උත්සාහ දරන බැවිනි.
බොනපාට්වාදී පාලන තන්ත්රයක් මිලිටරිය හා පොලීසිය මත රඳා සිටින්නේ, ජාතියේ ඉහල ම අවශ්‍යතාව සඳහා පන්ති අතර තුලනයක් නියෝජනය කිරීම පිනිස ය. එහෙත්, එය සෑමවිට ම සනාථ කරන්නේ, එය වනාහි කම්කරු පන්තියට එරෙහි ව ධනපතියන්ගේ සන්නද්ධ බලය පෑම බව යි.
මේ සඳහා සම්භාව්‍ය උදාහරනය වූයේ, 1848 යුරෝපයේ විප්ලවයෙන් පසුව, 1851 දී නැපෝලියන්ගේ බෑනා වූ ලුවී-නැපෝලියන් විසින් ගොඩ නගන ලද ප්රන්සයේ දෙවන අධිරාජ්‍යය යි. 1848 ජුනි මාසයේ දී, පැරිස් නිර්ධන පන්තිය ලේවැකි ලෙස මර්දනය කිරීම හා ගොවීන් මත පනවා තිබූ අධික බදු බර හේතුවෙන් අපකීර්තියට පත්ව තිබුනු දෙවන ධනේශ්වර සමූහාන්ඩුව ඇද වැට්ටවූ ලුවී-නැපෝලියන්, කලාවන් වාරනය කල හා කම්කරු පන්තිය ගැන අඛන්ඩ ව ඔත්තු බැලූ පොලිස් රාජ්‍යයක් බිහි කලේ ය. 1871 දී ජර්මනිය විසින් නින්දා සහගත ලෙස පරාජයට පත්කිරීමෙන් පසු, ලොව පලමු කම්කරු රාජ්‍යය වූ පැරිස් කොමියුනය ඔහුගේ හමුදාව යොදා සංහාරයට ලක් කලේ, “ලේවැකි සතිය” තුල 20,000ක් යයි තක්සේරු කෙරී ඇති ජනකායක් ඝාතනය කරමිනි.
“බොනපාට්වාදය, ෆැසිස්ට්වාදය හා යුද්ධය” නමැති ඔහුගේ අවසාන ලිපිවලින් එක් ලිපියක, 1940 දී තුන්වන සමූහාන්ඩුවේ ජාතික සභාව විසින් පාලනයට තෝරා පත් කරන ලද මාෂල් පෙටේන්ගේ නාසි-සහයෝගිතාවාදී විචි පාලන තන්ත්රය, “අධිරාජ්‍යවාදයේ පිරිහීමේ යුගය තුල බොනපාට්වාදයෙහි වියපත් රූපාකාරයක්” ලෙස ලියොන් ට්‍රොට්ස්කි විසින් විලක්ෂනය කලේ ය. ජාතික අවශ්‍යතා මත පදනම් ව, කම්කරුවන් හා ධනපතියන් අතර තීන්දු ගැනීමට පොරොන්දු වෙමින්, එය එහි මුල් කාලපරිච්ඡේදයේ දී, කෝපරේට්වාදී “කම්කරු ප්රඥප්තියක්” බලාත්මක කලේ ය. ඉන්පසුව එය, සෝවියට් සංගමයට එරෙහි නාසීන්ගේ සමූලඝාතක යුද්ධය වූ හොලෝකෝස්ටය හා ප්රන්ස ප්‍රතිරෝධය ලේවැකි ලෙස මර්දනය කිරීම සමග එක් විය.
නිසැකව ම, මැක්රොන් තවමත් සමූහාන්ඩුවේ හා ප්රජාතන්ත්රවාදී පාලනයේ කඩුකස්තානවල එල්ලී සිටී. එහෙත්, වැඩ වර්ජකයන්ට, ශිෂ්‍යයන්ට හා වඩා ඉහල සමාජ සමානතාවක් ඉල්ලන “කහ කබා” විරෝධතාකරුවන්ට එරෙහි ව පොලිස් ප්රචන්ඩත්වයේ ඉහල යාම මෙන් ම, කොවිඩ්-19 මරන 100,000ක් ද ඔහුගේ ජනාධිපතිත්වය විසින් අනු දැන ඇත. “කහ කබා” විරෝධතාකරුවන්ට එරෙහි ව කැරලි මර්දන පොලීසිය යැවීමට පෙර, පෙටේන් යනු “ශ්‍රේෂ්ඨ සොල්දාදුවෙකැයි” මැක්රොන් උත්කර්ෂයට නැංවූ අතර, දසදහස් ගනනක් අත්අඩංගුවට ගැනීම, දහස් ගනනකට තුවාල සිදුකිරීම හා පුද්ගලයන් කිහිප දෙනෙක් මරා දැමීම පොලීසිය විසින් සිදුකර තිබුනි.
වසංගතය මධ්‍යයේ, සමාජ පර්යායේ ගෝලීය අපකීර්තියට පත්වීමක් පිලිබඳ ව ප්රන්ස ජනරාල්වරු අනතුරු අඟවද්දී හා ප්රන්සය තුල ම මිලිටරි මැදිහත් වීම් හරහා දහස් ගනනක් ඝාතනය කිරීම ගැන ඔවුන් කතා කරද්දී, මර්දනය යෝධ ලෙස තීව්ර කිරීමක් සඳහා මිලිටරි කාර්ය මන්ඩල තුල දරුනු සැලසුම් සකස් කෙරෙමින් පවතී.
මෑතක දී කලු ජීවිත වටී ව්‍යාපාරයට සම්බන්ධ සුලු-ධනේශ්වර බලවේග ඇතුලු විවිධාකාර බලවේග විසින් විවේචනය කරන ලද නැපෝලියන්ගේ විශාලතම අපරාධවලින් එකක් වන, 1802 දී වහල් ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීම වැනි නැපෝලියන් අරබයා පවතින භේදයන් මැක්රොන් ප්රදර්ශනශීලී ලෙස පිලිගත්තේ ය.
නැපෝලියන් “1794 සම්මුතිය මගින් අහෝසි කොට තිබූ වහල් ක්‍රමය යලි ස්ථාපනය කලා. 1848 දී වික්ටර් ෂූල්චර් සමගින් දෙවන සමූහාන්ඩුව බුද්ධි ප්‍රබෝධ ජීවගුනය පාවා දුන් මෙම සදාචාරමය වැරැද්ද නිවැරදි කලා” යි මැක්රොන් කීවේ ය. ඒ අතර ම, “වර්තමානයේ තමන් දරන අදහස සමග නො ගැලපෙන නිසා අතීතිය මකා දැමීමේ අභිප්‍රායයෙන් පසුවන්නන්ට අඟලක් හෝ නො දීමට ඔහුට තිබූ අධිෂ්ටානය” මැක්රොන්ගේ අවධාරනයට බඳුන් විය. “නැපෝලියන් විප්ලවවාදී වටිනාකම් යථාවත් කලා ද පාවා දුන්නා ද යන්න කීමේ අභිලාෂයක් මට නැහැ. මම ඇත්ත වසයෙන් ම එවන් අංශවලට යාමෙන් වැලකී සිටිනවා” යි ඔහු සමාප්ත කලේ ය.
නැපෝලියන්ගේ මරනයේ පටන් ගත වූ ශතවර්ෂ තුල, ප්රන්ස හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අත්දැකීම් පෙන්වා දෙන්නේ, 1789 දී ප්‍රකාශයට පත්කරන ලද “නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය” යන මූලධර්ම, හුදෙක් බොනපාට්වාදී පාලනය සමග පමනක් නොව, ධනපති ක්‍රමය සමග ද නො පෑහෙන බව යි. ප්රන්ස මිලිටරිය කුමන්ත්රනයක් පිලිබඳ ව කරන තර්ජන මධ්‍යයේ කල මැක්රොන්ගේ කතාව දේශපාලන අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. “නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය” යන ජාත්‍යන්තර මූලධර්ම ආරක්ෂා කරගැනීමට, සමාජවාදය හා කම්කරු බලය සඳහා සටන් වදින, කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී බලමුලුගැන්වීම අවශ්‍ය කරයි.