කලු ජීවිත වටී ව්‍යාපාරය නැපෝලියන් හා ප්‍රන්ස විප්ලවය සමග යුද්ධයට එලඹෙයි

[මෙම ලිපිය 2021 මැයි 14 වැනි දින Black Lives Matter goes to war with Napoleon and the French Revolution යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදයේ සමස්ත ඉතිහාසය, වාර්ගික ගැටුම හා ඇමරිකාවට 1619 දී වහලුන්ගේ පලමු පැමිනීම මත කේන්ද්‍රගත වන්නක් ලෙස යලි ලිවීමට දැරූ දැන් අපකීර්තියට පත්ව ඇති උත්සාහයක් වන 1619 ව්‍යාපෘතිය ආරක්ෂා කිරීමට නිව් යෝක් ටයිම්ස් ඉදිරිපත් විය. 1776 ඇමරිකානු විප්ලවයේ නායකයන්ගේ සහ එක්සත් ජනපද සිවිල් යුද්ධයේ වහල්ක්‍රම-විරෝධී බලවේගයන්ගේ ප්‍රතිමාවන්, කලු ජීවිත වටී (බ්ලැක් ලයිව්ස් මැටර්) ව්‍යාපාරයේ සුලු-ධනේශ්වර සහකරුවන් විසින් බිම හෙලුනේ එම ව්‍යාපෘතිය මගින් ඇවිලවීමට උදව් කල වර්ගවාදී වාතාවරනය තුල ය.

දැන්, ටයිම්ස් පත්‍රය ප්‍රන්ස විප්ලවය ඉලක්ක කරගනිමින් සිටී. “නැපෝලියන් යනු සැමරිය යුතු වීරයෙක් නො වේ” නමැති මහාචාර්ය මාර්ලීන් දාවුත්ගේ තීරු ලිපියක්, එය මාර්තු මාසයේ දී පලකලේ ය. 1821 මැයි 5දා සිදු වූ නැපෝලියන්ගේ මරනයෙහි ද්වි-ශත සංවත්සරය සැමරීම කලු ජීවිත වටී ව්‍යාපාරයෙහි ආධාරකාරියක් වන ඇයව කෝප ගන්වා ඇත. නැපෝලියන්ව ආවේශ ගැන්වුනේ, ජනසංහාරක කලුජාතික-විරෝධී වර්ගවාදය විසින් යයි කියා පාමින්, ඇය ඔහු ව හෙලාදුටුවා ය:

වහල් හිමියන්ගේ හා විජිතවාදීන්ගේ ප්‍රතිමා බිම හෙලීම, විරූපනය කිරීම හෝ ඇද වැට්ටවීම සිදුකල වසරකට පසුව, එයට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ චලනය වීමට ප්‍රන්සය තීරනය කර තිබේ. … හයිටියානු පරපුරේ කලු කාන්තාවක් හා ප්‍රන්ස යටත් විජිතවාදයේ ශාස්ත්‍රාලිකාවක් වන මම, ප්‍රන්සය සතු වූ කැරීබියන් දූපත් තුල වහල් ක්‍රමය ප්‍රතිස්ථාපනය කල, මගේ පූර්වගාමීන් ඝාතනය කිරීමට ගෑස් කාමර නිර්මානය කල භටයන්ගේ නායකයා වූ, නවීන ජනසංහාරවල නිර්මාපකයා වන මිනිසාව සැමරීමට ප්‍රන්සය සැලසුම් කිරීම දැක ගැනීම, විශේෂයෙන් ම ඛේදජනක බව දැකගනිමි.

1789 විප්ලවය විසින් ප්‍රකාශයට පත් කල “නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය” යන පරමාදර්ශ, නැපෝලියන් විසින් අතිශය ගොරතර ලෙස පාවාදීම විය හැකි දෙය, දාවුත් විසින් තෝරාගෙන තිබේ. නිරපේක්ෂ රාජාන්ඩුව හා වැඩවසම් ක්‍රමය අහෝසි කිරීම හේතුවෙන්, යුරෝපයේ රජවරු තරුන ප්‍රන්ස සමූහාන්ඩුවට එරෙහි ව යුද්ධ දියත් කරද්දී, නැපෝලියන් කුමන්ත්‍රනයක් දියත් කොට 1799 දී බලය ලබාගෙන තිබුනි. ඉන්පසුව, නැපෝලියන්, 1789-94 කාලපරිච්ඡේදයේ අරගල හරහා ප්‍රන්සය තුල නිමාවකට ගෙනැවිත් තිබුනු වැඩවසම් වරප්‍රසාදවලට එරෙහි අරගලය, ආයුධ බලයෙන් යුරෝපය පුරා පැතිරවී ය.

ප්‍රන්ෂුවා ගෙරාඩ් විසින් 1805 දී චිත්‍රනය කරන ලද අවුස්ටර්ලිට්ස් සටන්වල යෙදෙන නැපෝලියන් (මූලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්)

යුරෝපීය ධනවාදයේ වර්ධනය සඳහා වන කොන්දේසි ශක්තිමත් කිරීම, ප්‍රන්ස විප්ලවයේ පොරොන්දු අනිවාර්යයෙන් පාවාදීමක් ප්‍රවේනිගත කරගත්තේ ය. අත්ලන්තික සාගර වානිජ්‍යයෙහි හදවතේ වහල්ලුන් හා සීනිවල කුප්‍රකට වෙලඳාම පැවතුනු අතර, බ්‍රිතාන්‍යය සමග වූ සාම ගිවිසුමක් 1802 දී සාකච්ඡා කරද්දී, වහල් ක්‍රමය අහෝසි කල 1794 ආඥාව නැපෝලියන් විසින් අවලංගු කලේ ය. 1791 හයිටියානු විප්ලවය විසින් පෙරලා දමා තිබූ වහල් ක්‍රමය යලි පැනවීමේ අසාර්ථක උත්සාහයක යෙදෙමින් ලේවැකි යුද්ධයක් දියත් කල හමුදාවක් ඔහු විසින් යවනු ලැබී ය. පසුව 1804 දී, ඔහු අධිරාජයා ලෙස ඔටුනු පැලඳ ගත්තේ, පලමුවැනි සමූහාන්ඩුව අවසානයකට ගෙන එමිනි.

මෙහි දී ප්‍රශ්නය වන්නේ, පැහැදිලිව ම අපරාධකාරී වූ, වහල් ක්‍රමය පිලිබඳ නැපෝලියන්ගේ ආඥාව හා හයිටිය තුල ඔහුගේ යුද්ධය අපරාධකාරී වී ද යන්න නො වේ. 18වන ශතවර්ෂයෙන් ඇමරිකාව, ප්‍රන්සය හා හයිටිය තුල විප්ලව මගින් ඉස්මතු කරන ලද ජාත්‍යන්තර හා පන්ති ප්‍රශ්න පසෙකට තල්ලු කරන දාවුත්, අතිසරල, වාර්ගික ආඛ්‍යානයක් ගොතයි. “ප්‍රන්සයේ විශාලතම කෲර පාලකයා” හා “සමාව දිය නොහැකි වර්ගවාදියෙක්, පුරුෂෝත්තමවාදියෙක් හා ඒකාධිපතියෙක්” ලෙස කියමින් ඇය නැපෝලියන්ට පහර දෙයි.

දාවුත් පලමුවැනි සමූහාන්ඩුව විස්තර කරන්නේ, ඓතිහාසික ව ප්‍රගතිශීලී පාලන තන්ත්‍රයක් වෙනුවට, කලු ජාතිකයන්ට එරෙහි ජනසංහාරක වෛරය විසින් ධාවනය කරන ලද්දක් ලෙස ය. “ප්‍රන්සයේ විශාලතම කෲර පාලකයා” ලෙස නැපෝලියන්ට ඇය එල්ල කරන ප්‍රහාරයට දුර දිග යන ගම්‍යයන් තිබේ. දාවුත් කියාපාන ආකාරයට, ප්‍රන්සයේ පලමුවැනි සමූහාන්ඩුව, තමන් පෙරලා දැමූ නිරපේක්ෂ වැඩවසම් රාජාන්ඩුවලට වඩා ඒකාධිපති පාලන තන්ත්‍රයක් ලෙස ක්‍රියා කර තිබුනේ නම්, එවිට, ප්‍රන්ස විප්ලවයේ යුක්තියුක්ත භාවය අතුරුදන් වනු ඇත.

පලමුවැනි සමූහාන්ඩුව ජනසංහාර සිදුකිරීම සඳහා “ගෑස් කාමර” ගොඩනැගුවේ ය යන බොරුව, එය නාසි පාලන තන්ත්‍රය සමග දල වසයෙන් සමාන කිරීමට පාඨකයාට ඉඩ ලබා දෙයි. දාවුත් මෙම චෝදනාව පිටපත් කරගන්නේ, තමන් ට්විටර්හි ඔජ වඩවන, දක්ෂිනාංශික කලු ජාතිකවාදී කතුවර ක්ලෝඩ් රිබේගේ ල ක්‍රිමේ ඩි නැපෝලියන් (නැපෝලියන්ගේ අපරාධය) නමැති 2005 වසරේ පලකල කෘතියකිනි. රිබේගේ කෘතියෙහි පිට කවරය, එකිනෙක හා මුසු වූ නැපෝලියන්ගේ හා හිට්ලර්ගේ ආලේඛ්‍ය දෙකක් පෙන්වයි.

හයිටියානු විප්ලවය සමයේ 1803 වර්ටියරේස් සංග්‍රාමය (මූලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්)

ශතවර්ෂ ගනනාවක් පුරා, 1789 ප්‍රන්ස විප්ලවය පිලිබඳ බොරු හා අතිසරල කිරීම්, නිරන්තරයෙන් දේශපාලන ආස්ථානයන් සමග සමීපව සම්බන්ධ වී ඇත. ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ විරුද්ධවාදිනියක් ලෙස මවා පෙන්වීමට දාවුත් ඒවා යොදාගනී. මාලි නමැති අප්‍රිකාවේ පැරන ප්‍රන්ස යටතේ විජිතයෙහි ලේවැකි යුද්ධය, බුර්කාවන් නොහොත් ඉස්ලාමීය මුහුනු ආවරන තහනම් කිරීම් සහ නිරතරුව ම අරාබි හෝ අප්‍රිකානු සම්භවයක් සහිත අය ඉලක්ක කර ගනිමින්, කම්කරු පන්තික තරුනයන්ට එරෙහි මිනීමරු පොලිස් ම්ලේච්ඡත්වය යනාදී ඔහුගේ පිලිවෙත්, ප්‍රන්සය තුල වාර්ගික හා ආගමික ආතතීන් තීව්‍ර කරමින් පවතී.

මුස්ලිම්-විරෝධී පිලිවෙත් විවේචනය කිරීම තහනම් කරන සහ ප්‍රන්සයේ වර්තමාන පස්වන සමූහාන්ඩුවට කීකරු යයි දිවුරුම් දීම් ආයතනගත කරන, මැක්‍රොන්ගේ ෆැසිස්ට්වාදී “බෙදුම්වාද-විරෝධී” නීතිවලට අවධානය යොමු කරන දාවුත් මෙසේ ලියයි:

අනතුරුදායක කාලපරිච්ඡේදයක් තුල “නැපෝලියන්ගේ වර්ෂය” පැමින ඇත. වර්ගය, ලිංගිකත්වය, ජනවාර්ගිකත්වය හා පන්තිය අධ්‍යයනය කරන ප්‍රන්ස ශාස්ත්‍රාලිකයන් ප්‍රහාරයට ලක්ව සිටියි. සමූහාන්ඩුව “කැඩී යාමේ” අන්තරායට ලක්වීමේ ලක්ෂ්‍යය දක්වා, “සමාජීය ප්‍රශ්නය වාර්ගිකකරනය වීම” පශ්චාත්-යටත් විජිත අධ්‍යයනයන් විසින් සිදුකර ඇතැයි යෝජනා කරමින්, ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එම අධ්‍යයන ක්ෂේත්‍රය සමච්චලයට ලක්කර තිබේ.

යලි වතාවක්, ප්‍රශ්නයට බඳුන් වී ඇත්තේ මැක්‍රොන්ගේ පොලිස්-රාජ්‍ය නීති ප්‍රතිගාමී ද යන්න නො වේ. පැහිදිලිව ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මාරාන්තික තර්ජනයක් එල්ල කරන එම නීති, කම්කරු පන්තිය ජනවාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීම ඉලක්ක කර ගනියි. එම නීති බලාත්මක වන්නේ, ප්‍රන්සයේ විශ්‍රාමික හා තවමත් සේවයේ සිටින මිලිටරි නිලධාරීන්ගෙන් එන කුමන්ත්‍රනයක තර්ජන වැඩෙද්දී ය.

දාවුත් මැක්‍රොන් ව විවේචනය කරන අතර ම, ඇයගේ වර්ගවාදී තර්ක, පැහැදිලි ලෙස ප්‍රන්ස ජනාධිපතිවරයාගේ තර්ක ප්‍රතිරාවය කරයි. ප්‍රන්ස මහජනයා සහ විශ්වාස කරන පරිදි මානව වර්ගයා, ගැඹුරට ගිය, සාරභූත ලෙස විසඳිය නො හැකි, වාර්ගික හා ජනවාර්ගික වෛරයන් විසින් මෙහෙයවනු ලබන්නේ ය යන මැක්‍රොන්ගේ දෘෂ්ටිය ඇය බෙදා හදා ගනී. ධනපති පොලිස් රාජ්‍යය ඉදිරියේ දන නමන ලෙස විධානය කරමින්, මෙයට ආමන්ත්‍රනය කිරීමට මැක්‍රොන් යෝජනා කරන අතර, කලුජන-විරෝධී වර්ගවාදයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන්, තානාන්තරවලට හා ආනුභාවයට ප්‍රවේශය ඉල්ලා සිටින, අත්ලන්තික් සාගරයේ දෙපසේ ම, කලු ජාතිකයන්ගේ හා සම්බන්ධ ශාස්ත්‍රාලිකයන්ගේ වරප්‍රසාදිත ස්ථරයන්ට ගැලපෙන ආඛ්‍යානයක්, දාවුත් විසින් ඉදිරියට දමයි.

ප්‍රන්ස ජාතිකයන් -පැහැදිලිව ම, ප්‍රන්සයේ සුදු ජනයා- කලු ජාතිකයන් කෙරෙහි දක්වන සංසිඳවිය නො හැකි හතුරුකම, නැපෝලියන් පිලිබඳව ප්‍රන්ස ජාතිකයන්ගේ ආකල්පයන් විසින් සනාථ කරන බවට, දාවුත් තර්ක කරයි. “ඕස්ටර්ලිට්ස් සංග්‍රාමයේ දී සමස්ත යුරෝපය පුරා අඩි හප්පන අතර ම, ප්‍රන්ස බැංකුව, නවීන නීති සංග්‍රහය හා අද දක්වා ම භාවිතා කරන අධ්‍යාපන පද්ධතිය නිර්මානය කල (නැපෝලියන්) වීරයෙක් ලෙස සිංහාරෝපනය කිරීම, තවමත් ප්‍රන්ස ජාතිකයන්ට පොදු දෙයකි” යි ඇය කනිපින්දම් කියයි. ප්‍රන්සය වහල් ක්‍රමය කරා ප්‍රචන්ඩ ලෙස ආපසු ඒමේ දී, ප්‍රන්ස ජනයා ඉටු කල භූමිකාවට, ඇය ඉන්පසු විශේෂයෙන් පහර දෙයි.

මෙය හුදෙක් ම එක් නරක ආඥාදායකයෙකුගේ හිතුවක්කාරී මනෝලෝලයෙන් ප්‍රතිඵල නො වී ය. මහජනයාගේ පලල් සහයෝගය සහිතව, ප්‍රන්ස ව්‍යවස්ථාදායක සභිකයන් හා ප්‍රන්ස හමුදාව, නැපෝලියන්ගේ ක්‍රියාවන් අනුමත කලේ, ප්‍රන්ස සමූහාන්ඩුවාදයේ නො නස්නා අසංසක්ත භාවය ප්‍රදර්ශනය කරමිනි.

නැපෝලියන් කෙරෙහි දාවුත් වගුරුවන වෛරය කියවන යමෙකුට මෙසේ ඇසීමට බල කෙරේ: ඕස්ටර්ලිට්ස් හා ඔහු සටන් වැදුනු අනෙකුත් මූලික සංග්‍රාමවලින් නැපෝලියන් පරාජය වූයේ නම් දාවුත් එයට කැමති ද?

ඇත්ත වසයෙන් ම, ප්‍රන්සයේ දකුනු මධ්‍යධරනී වෙරලේ මූලෝපායික ටවුලොන් වරාය, බ්‍රිතාන්‍යයෙන් යලි අත්පත් කරගැනීම සඳහා වූ 1793 වසරේ තීරනාත්මක කාලයක දී, නැපෝලියන් පලමු වරට කරලියට ආවේ ය. ඒ අවධියේ බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රියන්, ප්‍රසියන්, ස්පාඤ්ඤ හා පෘතුගීසි රාජාන්ඩු සමගින් ඕලන්දය, ප්‍රන්සයට එරෙහිව යුද්ධය දියත් කරමින් සිටිය හ. තව ද ජනවාරි මාසයේ දී දහසයවන ලුවී රජු මරා දමා, ජූලි මාසයේ දී වන්දි ගෙවීමකින් තොරව වැඩවසම් අයිතීන් අවසන් වරට අහෝසි කිරීම, බටහිර වෙන්ඩී කලාපයේ චෞවාන්හි දී පලමුව ද ඉන්පසු දකුන පුරා ෆෙඩරල්වාදීන් විසින් ද වසයෙන් ප්‍රන්සය ඇතුලත ප්‍රති-විප්ලවවාදී කැරලිවලට මග පාදා තිබුනි.

අත්ලන්තික් වහල් වෙලඳාමෙන් බොහොමයක් පාලනය කල යුරෝපීය රජවරු, දකුනු හා බටහිර ප්‍රන්සයේ පාලනය ශක්තිමත් කරගෙන තිබුනේ නම්; ඉදිරියට ඇවිත් පැරිසිය අල්ලාගෙන තිබුනේ නම්; බ්‍රන්ස්වික් ආදිපාදයා ඔහුගේ කුප්‍රකට 1792 ප්‍රකාශනය තුල තර්ජනය කර තිබුනු “සමස්ත මිලිටරි ඝාතනය” පැරිසියානුවන් මත පනවා තිබුනේ නම්; එමෙන් ම, මහා පරිමාන මිනීමැරීමේ හා ත්‍රස්තයේ මධුපානෝත්සවයක් සිදුකරමින් විප්ලවය තලා දමා, යුරෝපය පුරා වැඩවසම් පීඩනය අනභියෝගී ව යලි ස්ථාපනය කර තිබුනේ නම්; වහලුන්ට වඩා යහපත් ඉරනමක් අත්විය හැකි ව තිබුනේ ද?

එවන් ප්‍රශ්නයක් ඇසීම ම එයට පිලිතුර යයි කීමට යමෙක් පෙලඹෙනු ඇත. ශාස්ත්‍රාලික පශ්චාත්-නූතනවාදය විසින් දිරිමත් කරනු ලබන විප්ලවයට එරෙහි බිහිසුනු විරෝධය සහ නව-ෆැසිස්ට්වාදී පක්ෂවලින් ද ඔබ්බට යමින් යුරෝපය තුල වැඩෙන අන්ත-දක්ෂිනාංශික හා රාජාන්ඩුවාදී ආනුභාවය මෙමගින් අවතක්සේරු කිරීමක් වනු ඇත. ප්‍රන්සයේ නාසි-ඒකාබද්ධතාවාදී ආඥාදායක ෆිලිප් පෙටේන් “ශ්‍රේෂ්ඨ සොල්දාදුවෙක්” ලෙස උත්කර්ෂයට නැංවීමට පෙර, ප්‍රන්සයට අඩු ව ඇත්තේ රජෙක් යයි ප්‍රකාශ කල මැක්‍රොන් ද මෙයට අවසානයේ ඇතුලත් වේ. යමෙකුට මෙම ප්‍රශ්නය ඇසීමෙන් වැලකිය නො හැක: ප්‍රන්ස සමූහාන්ඩුවට එරෙහි දාවුත්ගේ ආක්‍රෝශ පරිභවයට කිසිදු සත්‍ය පදනමක් තිබේ ද?

ප්‍රන්සයේ පලමුවැනි සමූහාන්ඩුව හයිටියේ දී කලු ජාතික-විරෝධී සංහාරයක් සිදු කලේ ද?

නැපෝලියන් වනාහි “නවීන ජනසංහාරයේ නිර්මාපකයා” යන දාවුත්ගේ තර්කය ඓතිහාසික බේගලයක් වන අතර, නැපෝලියන් හා හිට්ලර් අතර ඇය හඳුන්වා දෙන සන්සන්දනය දේශපාලනිකව අශ්ලීල ය. “යුදෙව්-බොල්ශෙවික්වාදය” හෙලාදුටු නාසීන්, විශේෂයෙන් ම, රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවය තුල ලියොන් ට්‍රොට්ස්කි වැනි යුදෙව්වන් ඉටු කල නායක භූමිකාව හා කොමියුනිස්ට් ව්‍යාපාරය තුල ඔවුන් ඉටු කල භූමිකාව හේතුවෙන්, යුදෙව් ජනයාව සමූල ඝාතනය කිරීමට උත්සාහ දැරී ය. සෝවිය් සංගමයට එරෙහි ව සමූල ඝාතක යුද්ධයක් දියත් කල නාසීහු, යුදෙව්වන් මිලියන 6ක් හා සෝවියට් පුරවැසියන් මිලියන 20ට අධික පිරිසක් මරා දැමූ හ.

කලු ජනයා සමූල ඝාතනය කිරීමට හෝ 1789 විප්ලවය විසින් සිදුකල වැඩවසම් දේපොල පෙරලා දැමීම අහෝසි කිරීමට නැපෝලියන් උත්සාහ නො කලේ ය. ප්‍රන්ස ජනයා මනාපය දැක්වූ උපකරන වූ, සමූල ඝාතක ප්‍රචන්ඩත්වය හරහා, වහල් ක්‍රමය පුනස්ථාපනය කිරීමට නැපෝලියන් හිතාමතා ම තීරනය කලේ ය යන ආඛ්‍යානයක් දාවුත් ප්‍රබන්ධ කරයි. ඇය මෙසේ ලියයි:

ප්‍රන්සය රාජාන්ඩුවක සිට සමූහාන්ඩුවක් දක්වා පරිවර්තනය කල විප්ලවයෙන් ඉක්බිතිව -සහ ප්‍රන්සයට අයත් සාන්ත දොමන්ගෝ (අද දින හයිටි) දිවයිනේ වහල් ක්‍රමය අවසන් කල යෝධ වහල් කැරැල්ලකින් පසුව- එහි භූමි ප්‍රදේශය පුරා වහල් ක්‍රමය අහෝසි බව ප්‍රන්සය ප්‍රකාශයට පත්කලේ ය. එහෙත්, 1802 දී කාර්ය භාර ව සිටි නැපෝලියන් එම තීරනය ආපසු හැරවූයේ, වහල් ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව එය පුනස්ථාපනය කල එක ම රට බවට ප්‍රන්සය පත් කරමිනි.

“අට වසරකට පසු, තමන් වහල් ක්‍රමය ප්‍රතිස්ථාපනය නො කලේ නම්, ඉක්මනින් හෝ කල් පසුවී, ‘නව ලෝකයේ සංකේතය කලු ජාතිකයන්ගේ හස්තයට අයත් වනු ඇතැ’ යි යන සාධාරනීකරනය යොදාගත් නැපෝලියන්, වහල් ක්‍රමය යලි පිහිටවුයේ කෙසේ ද හා ඇයි ද යන්න පිලිබඳ ව” ප්‍රන්ස පාසල් “එක්කෝ ඇතුලත් කර නො ගනී, නැතහොත් ලිස්සා යති” යි දාවුත් ලියයි. බ්‍රිතාන්‍යය ප්‍රන්සයට ආපසු පවරා දෙමින් සිටි යටත් විජිත සම්බන්ධයෙන් කුමක් කල යුතු ද යන්න ගැන විවාද කල නැපෝලියන්, 1802 ඒමියන්ස් ගිවිසුම පිලිබඳ ව බ්‍රිතාන්‍යය සමග සාකච්ඡා කරන අතරතුර, ඔහු මෙම තීරනය ගත් බව ඇය ආවාට ගියාට සටහන් කරයි.

ග්වදලූප්හි නැගී සිටීමක් තලා දැමූ හා සාන්ත දොමන්ගෝහි නැගී සිටි හිටපු කලු වහලුන්ව තලා දැමීමට අසමත් වූ, ප්‍රන්ස හමුදාවේ ලේවැකි සංග්‍රාම ව්‍යාපාරය ඇය ඉන්පසු මතකයට නංවයි.

තවත් වරක් ඔවුන්ට විලංගු දැමීමට නැපෝලියන් ප්‍රන්ස භටයන් යවා තිබූ ග්වදලූප් දිවයිනේ කලු ජනයා, එම භටයන්ට එරෙහි ව සටන් වැදුනු නමුත්, අවසානයේ ඔවුන්ගේ අරගලය පරාජය වූයේ, එම ජූලි මාසයේ දී වහල් ක්‍රමය නිල වසයෙන් ප්‍රතිස්ථාපනය කිරීම දැකගනිමිනි.

ඛේදජනක භාවයෙන් නො අඩුව වුනත්, සාන්ත දොමන්ගෝ දිවයිනේ දී දේවල් දිගහැරුනේ වෙනස් ආකාරයකිනි. නැපෝලියන්ගේ වචනවලින් ම “කලු ජාතිකයන්ගේ ආන්ඩුව සමූල ඝාතනය කිරීමට,” ජෙනරාල්වරු දෙ දෙනෙක් යටතේ දිවයිනට යවන ලද ප්‍රන්ස හමුදාවට, කවරදාක හෝ “ස්කන්ධාභරනයක් පැලඳ තිබූ” විජිතයේ වෙනස් වර්නවල ජනයාව මරා දමන ලෙස නියෝග කරනු ලැබිනි. විප්ලවවාදීන් තලා දැමීමට ප්‍රන්ස සොල්දාදුවෝ ගෑස් භාවිතා කිරීම, දියේ ගිල්ලවීම හා සුනඛයන් යොදාගැනීම කල හ. දිවයින “සමූල ඝාතනය කිරීමෙන්” පසුව, මහාද්වීපයෙන් ගෙන එන තව තවත් අප්‍රිකානුවන් සමගින් එය යලිත් ජනපදකරනය කල හැකි බව ප්‍රන්ස විජිතවාදයෝ විවෘතව පුරසාරම් දෙඩූ හ.

හයිටියට කඩිනමින් හමුදා යැවීම, හයිටියානුවන් 80,000ක් හා ප්‍රන්ස සොල්දාදුවන් 20,000ක් මරනයට පත් කල දේශපාලන අපරාධයක් විය. ඉන්පසුව එලඹුනු දශක හා ශතවර්ෂවල දී, ප්‍රන්ස ධනවාදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් දියත් කල විජිතවාදී ප්‍රචන්ඩත්වය, එය විසින් පූර්ව-චිත්‍රනය කරයි.

එහෙත්, ඉතිහාසය මත දැති ලාඩම් නො ගසා, ප්‍රන්සයේ පලමුවැනි සමූහාන්ඩුව, කලු ජාතිකයන් සමූල ඝාතනය කිරීමට උත්සාහ කලේ ය යන කියාපෑම නඩත්තු කිරීම කල නො හැක්කකි. නැපෝලියන් විසින් ම ලියන ලද පරිදි, “නව ලෝකයේ ආධිපත්‍යය කලු ජාතිකයන් අතට පත්වනු ඇත’” යි ඔහු බිය වීය යන පැහැදිලිව ම වරදකාරී සාක්ෂිය උපුටා දක්වන විට සිදුවන්නේ මෙය යි.

මෙය, හඳුනා නො ගෙන දාවුත් උපුටා දක්වන, ලන්ඩනය සමග ප්‍රන්සයේ සාකච්ඡා පිලිබඳ ව, විදේශ ඇමති චාල්ස් ටැලිරන්ඩ්ට 1801 දී නැපෝලියන් යැවූ ලිපිය විකෘත කිරීමකි. එම ලිපිය කියවන විට, හයිටි රාජ්‍යය ආක්‍රමනය කිරීමට නැපෝලියන් ගත් තීරනය ධාවනය කරන ලද ගනන් බැලීම් පිලිබඳ මුලුමනින් ම වෙනස් පින්තූරයක් ලබා දෙයි.

නැපෝලියන් ප්‍රන්සයේ පලමු ප්‍රධාන ධනේශ්වර දේශපාලනඥයා -වචනයේ නවීන අර්ථයෙන්- විය. ධනේශ්වර දේපොල ආරක්ෂා කර ගැනීමටත්, ලෝක වෙලඳාම තුල ප්‍රන්සයට ශක්තිමත් ම ස්ථානයක් තහවුරු කිරීමටත්, 1789-94 සමයේ ක්‍රියාවට දමන ලද වැඩවසම් දේපොල පෙරලා දැමීම යොදා ගැනීමට ඔහු ඉලක්ක කලේ ය. පහලින් එන තර්ජනය පිලිබඳ ව තියුනු ලෙස දැනුවත් වූ ඔහු, ඔහුගේ වාමාංශික විරුද්ධවාදීන් “සෛද්ධාන්තිකයන්” ලෙස ලඝු කොට හාස්‍යයට ලක්කලේ ය.

සමූල ඝාතක කලු-විරෝධී වෛරය විසින් ධාවනය කරනු වෙනුවට, නැපෝලියන් පදනම් වූයේ, තත්කාර්යවාදී ජාතික මිලිටරි හා වානිජ සලකා බැලීම් මත ය. හයිටියානු විප්ලවවාදී නායක ටූසොං ලුවෙර්ච්‍යූ විසින් පාලනය කරන ලද සාන්ත දොමන්ගෝ ප්‍රදේශය වහල් ක්‍රමය අහෝසි කිරීමට බාධා නොකිරීමට ඔහු ආරම්භයේ දී සැලසුම් කලේ ය. රාජ්‍ය කවුන්සිල රැස්වීමේ දී 1800 අගෝස්තු 16දා නැපෝලියන් මෙසේ කීවේ ය:

කාරනය වන්නේ වහල් ක්‍රමය අහෝසි කිරීම හොඳ ද නරක ද යන්න නෙවෙයි. ...කලු ජාතිකයන් අනුබද්ධ නො වී නම්, මෙම දිවයින අයත් වනු ඇත්තේ ඉංග්‍රීසීන්ට බව මම ඒත්තු ගෙන ඉන්නවා. සමහර විට ඔවුන් අඩුවෙන් සීනි නිෂ්පාදනය කරන්න පුලුවන්. එහෙත්, ඔවුන් අපට එය නිෂ්පාදනය කරමින්, අපට අවශ්‍යතාව පරිදි සොල්දාදුවන් සපයාවි. අපට එක් සීනි පිරිපහදුවක් අඩු වෙද්දි, මිත්‍රශීලී භටයන් වාඩිලා සිටින බලකොටුවක් තිබේවි. ...ඒ නිසා, සාන්ත දොමන්ගෝ දිවයිනේ නිදහස් පෙදෙසේ විමුක්තිය ගැන මම කතා කරන්නේ,... වහල් ක්‍රමය පවත්වාගෙන යන ස්ථානවල එය සීමා කිරීමේ අයිතිය මට ම තබාගෙන, නිදහස පවත්වාගෙන යන තැන්වල නීතිය හා පර්යාය ප්‍රතිස්ථාපනය කරමින්.

සාන්ත දොමන්ගෝහි ස්පාඤ්ඤය විසින් පාලනය කල ප්‍රදේශය, එහි සිටි වහල්ලුන් නිදහස් කරගැනීම සඳහා, ලුවෙර්ච්‍යූ විසින් ආක්‍රමනය කල විට, නැපෝලියන් ආස්ථාන වෙනස් කලේ ය. ලුවෙර්ච්‍යූ නාමිකව ප්‍රන්ස සමූහාන්ඩුවේ නියෝජිතයෙක් වුව ද ඔහුගේ ආරම්භකත්වයට ප්‍රන්ස සහයෝගය නො ලැබුනි. යුරෝපය තුල නව විප්ලවවාදී අභිලාෂයන් දිරිමත් කිරීමේ අන්තරාය මතු කල මෙය, බ්‍රිතාන්‍යය සමග වූ 1802 සාම ගිවිසුම ගැන වූ නැපෝලියන්ගේ සාකච්ඡාවල දී, ඔහුගේ මිත්‍රයෙක් ලෙස සහයෝගය අද්දවා ගත් ස්පාඤ්ඥ රජුව ද කෝපයට පත් කලේ ය.

ටූසොං ලුවෙර්ච්‍යූ

සාන්ත දොමන්ගෝ යලි අත්පත් කරගෙන, සීනි නිෂ්පාදනය කරන වහල් යටත් විජිතයක් ලෙස එය සූරාකෑමට, හමුදාවක් යවමින් නැපෝලියන් ප්‍රතිචාර දැක්වූව ද, එය අවසානයේ අසාර්ථක උත්සාහයක් විය. නැපෝලියන් 1801 නොවැම්බර් 13දා ටැලිරන්ඩ්ට යැවූ ලිපිය තුල, මෙම තීරනය වාර්තාගත කෙරේ. “නව ලෝකයේ ආධිපත්‍යය කලු ජාතිකයන්ගේ හස්තයට පත්වීම” වැලැක්වීම පිනිස, නැපෝලියන් සමූල ඝාතනයක් සැලසුම් කල බව සනාථ කිරීමක් ලෙස, දාවුත් එම ලිපියෙන් වාක්‍යාංශ කිහිපයක් උපුටා දක්වතත්, ලිපිය සැබෑ ලෙස කියවීමක් දාවුත්ගේ රැවටිලිකාරී කියාපෑම් ප්‍රතික්ෂේප කරයි.

සාන්ත දොමන්ගෝ වෙත පහර දීම ප්‍රන්ස අවශ්‍යතාවන්ට පටහැනි බව අවධාරනය කරන්නැයි නැපෝලියන් මෙම ලිපිය මගින් ටැලිරන්ඩ්ගෙන් ඉල්ලී ය. “සාන්ත දොමන්ගෝ තුල හඳුනාගනු ලැබෙන, ආන්ඩුව විසින් යුක්ති යුක්ත කෙරෙන, කලු ජාතිකයන්ගේ විමුක්තිය, සෑම ක්‍රමයකින් ම එය නව ලෝකයේ සමූහාන්ඩුවේ බලකොටුවක් බවට පත්කරනු ඇත.” දුර්වල ප්‍රතිවිප්ලවවාදී පාලන තන්ත්‍රයකට මුක්කුව දීම, ප්‍රන්සය මත මිලිටරිමය බරක් වනු ඇතැයි ඔහු එයට එකතු කලේ ය. “ධවලයන් විසින් යලි අත්පත් කරගන්නා සාන්ත දොමන්ගෝව, ප්‍රන්සයේ සහයෝගය අවශ්‍ය කරමින්, වසර බොහෝ ගනනක් දක්වා දුබල ලක්ෂ්‍යයක් වනු ඇත.”

විශේෂයෙන් ම, ජමෙයිකාවේ හා තවත් තැන්හි උක්වතුවල, කැරැල්ලක් පුපුරා යාම කෙරෙහි බිය වූ බ්‍රිතාන්‍ය රාජාන්ඩුව ඇතුලු ප්‍රන්ස සමූහාන්ඩුවේ හතුරන්ට, කැරීබියන් දූපත්වල වහල්ලුන් තලා දැමීම රුචිකර වනු ඇතැයි, අනෙක් අතින් නැපෝලියන් තව දුරටත් සඳහන් කලේ ය.

එංගලන්තයට, වර්තමානයේ සාමයෙහි එක් වාසියක් වනු ඇත්තේ, සාන්ත දොමන්ගෝවේ සංවිධානය වීම හා ඒ නිසා ම කලු ජාතිකයන්ගේ බලය, තවමත් ප්‍රන්ස ආන්ඩුව විසින් පිලිගෙන නැති කාලයක එය පැමිනීම යි. මෙය සිදුකර තිබුන හොත්, ක්ෂනික ව හෝ කල්පසු වී, නව ලෝකයේ ආධිපත්‍යය කලු ජාතිකයන් අතට පත්වනු ඇත. මෙයින් ප්‍රතිඵල වනු ඇති කම්පනය, එංගලන්තයට ගිනිය නො හැකි වනු ඇති අතර, ප්‍රන්සයේ දී කලු අධිරාජ්‍යයක කම්පනය විප්ලවයෙන් වෙන්කොට හඳුනාගත නොහැකි වනු ඇත.

ඔහු ම පිලිගත් පරිදි, ඔහුගේ ආන්ඩුවේ දේශපාලන හා මූලෝපායික අවශ්‍යතාවන්ට හානි කල පිලිවෙතක් ලුහුබැඳීමට, ඔහු අදහස් කලේ මන්දැයි ද නැපෝලියන් විස්තර කලේ ය. වහල්ලුන්ගේ විමුක්තියට, නව, වාමාංශික දේශපාලනික කලබැගෑනියක්, ජාත්‍යන්තරව අවුලුවනු හැකි යයි තමන්ට තිබෙන භීතීන් ලන්ඩනයට දන්වන ලෙස, ඔහු ටැලිරන්ඩ්ට කීවේ ය: “සාන්ත දොමන්ගෝහි කලු ආන්ඩුව සමූල ඝාතනය කිරීමට මා ගත් තීරනයේ දී, වානිජ හෝ මූල්‍යමය සලකා බැලීම් මා හට මග පෙන්වා ඇත්තේ, ලෝකයේ සෑම කොටසකින් ම නො ඉවසිල්ලේ හා පෙරලිකාරීත්වයේ සියලු ආකාරවල බීජයන්වල හුස්ම හිර කිරීමේ අවශ්‍යතාවට වඩා අඩුවෙනි.”

වඩා බලගතු බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව විසින් බාධා නො කර, කුඩා නැව් කන්ඩායම් දෙකක් යැවීමට, අවසානයේ ප්‍රන්සයට ඉඩ දුනි: ඒ, එකක් ග්වාදලූප් වෙතට හා අනෙක සාන්ත දොමන්ගෝ වෙතට වසයෙනි.

ඒ සමයේ, පලමු කොන්සල් (රාජ ධූතයා) නමැති නැපෝලියන්ගේ පටබැඳි නාමය ගැන සඳහන් කරමින්, “රාජනියුක්ත පාලනයේ විජිතමය අසාර්ථකත්වය” යන හිසින්, ඉතිහාසඳ තියර් ලෙන්ට්ස් ලියූ ලිපිය තුල, මෙම ගවේෂනයන්ගේ ලේවැකි ප්‍රතිඵලය පිලිබඳව අදහස් දක්වයි. 1794 පටන් යුරෝපයේ ප්‍රන්ස හමුදා තුල සටන් වැදී තිබුනු කලු නිලධාරියෙකු වූ මැග්ලොරී පෙලාගේගේ සහ ලුවී ඩෙල්ග්‍රේස් හා ජෝසෆ් ඉග්නේස් විසින් නායකත්වය දෙන ලද වහල් ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමට එරෙහි නැගී සිටීම් තලා දැමීම පිනිස කලු භටයන්ගේ ආධාරය මත, ජෙනරාල් ඇන්ටොයින් රිච්පැන්සේ ග්වාදලූප්හි දී විශ්වාසය තබා සිටියේ ය. ලෙන්ට්ස් මෙසේ ලියයි:

රිච්පැන්සේගේ ම ලුතිනන්වරු, ඔවුන්ගේ වාර්තා තුල හෙලා දුටු ම්ලේච්ඡත්වයකින් යුතුව, ඔහුගේ මිලිටරි මෙහෙයුම් ක්‍රියාවට දමනු ලැබී ය. මැයි 10 සිට 28 දක්වා, සටන ඇවිලුනි. සමස්තයක් ලෙස, සටනේ දී හෝ රෝගී වීමෙන්, රිච්පැන්සේට ඔහුගේ භටයන්ගෙන් සියයට 40ක් පමන අහිමි වුනු අතර, ඔහුගේ ජයග්‍රහනයට හේතු වූයේ, පෙලාගේගේ හා විජිත හමුදාවේ වෙනත් වර්නවල භටයන් 600කගේ සහයෝගය යි. ... මාස ගනනක් පුරා, විශාල පරිමානයේ ජනසංහාර සිදුකරන ලද්දේ, කලු ජනගහනය අතර කිහිප දහසක් මරා දමමිනි. කපිතාන්-ජනරාල්ගේ සාමාන්‍ය ආඥාවකින් වහල් ක්‍රමය ප්‍රතිස්ථාපනය කරන ලද අතර, කලු ජාතිකයන් 5,000ක් පමන අනෙකුත් යටත් විජිතයන් වෙත පලවා හරිනු ලැබී ය.

සාන්ත දොමන්ගෝවේ දී, ජෙනරාල් චාල්ස් ලෙක්ලර්ක් යටතේ වූ ප්‍රන්ස භටයෝ, ගරිල්ලා යුද්ධයක් දියත් කිරීම සඳහා බටහිර කඳු පෙදෙස් දක්වා පසුබැසීමට, ලුවෙර්ච්‍යූගේ භටයන්ට බල කල හ. “දැන් ලෙක්ලර්ක් අභිබැවීම සඳහා කැරලිකරුවෝ සාධක ගනනාවක් සලකා බැලූ හ: ඒ, ගරිල්ලා යුද්ධය, සතුරාට අයත් දේ ගිනිතැබීමේ මූලෝපාය සහ කහ උන විලෝපනය” යි ලෙන්ට්ස් ලියයි. කහ උන හේතුවෙන් මිය යාමට පෙර, ලුවෙර්ච්‍යූ භාර දීම සඳහා ඔහුගේ ද්‍රෝහී දෙවන පෙලේ නිලධාරීන් සමග ලෙක්ලර්ක් ගනුදෙනුවකට එලඹුනි. ලුවෙර්ච්‍යූ 1803 වසරේ දී ප්‍රන්ස බන්ධනාගාරයක් තුල මිය ගියේ ය.

කහ උනෙන් තව තවත් ප්‍රන්ස භටයන් මිය යද්දී, ලෙක්ලර්ක්ටත් වැඩි දාමරික භාවයකින් යුත්, අසාර්ථක යුද ප්‍රයත්නයක් ජෙනරාල් ඩොනේෂියන් ඩි රොචැම්බෝ විසින් කරගෙන ගියේ ය. අපේක්ෂා කල හැකි ලෙස ම මෙම ම්ලේච්ඡ යුද්ධය විනාශයකින් අවසන් විය. ලෙන්ට්ස් රොචැම්බෝ ගැන මෙසේ ලියයි:

මිලිටරි තත්ත්වය දියුනු කිරීමකින් තොරව, වධ බන්ධන පැමිනවීම, කලු ජාතිකයන් දඩයම් කිරීමට විශේෂයෙන් සුනඛයන් පුහුනු කිරීම, සාමූහික දියේ ගිල්ලවීම් සහ ලඝු ඝාතන විසින් ඔහුගේ සේනාපතිත්වය සලකුනු කරනු ලැබී ය. ඇද වැටෙමින් සිටි යුරෝපීය භටයන් සංඛ්‍යාව තුල, වඩ වඩා විනාශකාරී වූ බලපෑමක් තිබුනු කලු ජෙනරාල්වරු සතුව සාර්ථකත්වයන් තිබුනි. ...(1803 දී) එංගලන්තය සමග යලි ඇරඹුනු යුද්ධය, සාන්ත දොමන්ගෝවේ බිහිසුනු අතිවික්‍රමය අවසන් කලේ ය. “මගේ පැත්තෙන් විශාල අත්වැරැද්දක්” යයි, අධිරාජයා (නැපෝලියන්) පසු ව කීවේ ය.

1815 නැපෝලියන්ගේ පරාජයෙන් සහ යුරෝපීය බලයන් විසින් ප්‍රන්ස රාජාන්ඩුව පුනස්ථාපනය කිරීමෙන් පසුව, පැරීසියේ ප්‍රභූ පන්තික ලුවී-ලෙ-ග්‍රාන්ද් උසස් පාඨශාලාවේ පුහුනුව ලැබූ හයිටියානු ජනමාධ්‍යවේදී ජුස්ටේ චන්ලාටේ, සාන්ත දොමන්ගෝ යුද්ධය පිලිබඳ ඉතිහාස කෘතියක් රචනා කලේ ය. අල්ලා ගත් බන්ධනාගාර නැව් තුල ප්‍රන්ස භටයන් සල්ෆර් ඩයොක්සයිඩ් දහනය කල බව, 1824 දී පැරීසියේ පලකල එම කෘතිය තුල චන්ලාටේ වාර්තා කලේ ය. “එකිනෙකා මත වැටී සිටින අයුරින් පටවනු ලැබූ ස්ත්‍රී පුරුෂ සිරකරුවෝ, සල්ෆර් වාෂ්ප විසින් හුස්ම හිර කිරීම හේතුවෙන් මිය ගිය” බව ඔහු ලීවේ ය.

“මගේ මුතුන් මිත්තන් මරා දැමීමට” ප්‍රන්ස සමූහාන්ඩුව “ගෑස් කාමර” නිර්මානය කල බවට දාවුත් කරන කියාපෑම, 19 වන ශතවර්ෂයට අයත් හයිටි රාජ්‍ය ඉතිහාසඳයන් විසින් පසුව අවධානය යෙදූ මෙම වාර්තාව පිලිබඳ සැඳහුමකි. බන්ධනාගාර නැව් තුල සල්ෆර් දහනය කිරීමට, ප්‍රන්ස භටයන්ට නියෝග ලැබී තිබුනු බවට ලේඛනගත වාර්තා නැති බවට තර්ක කරමින්, ප්‍රන්ස ඉතිහාසඥ පියරේ බ්‍රැන්දා එවැනි විෂ සහිත ගෑස් දැවීම් සිදුවීය යන්න අභියෝගයට ලක්කර තිබේ.

කවරක් සිදු වුව ද, සාන්ත දොමන්ගෝවේ ප්‍රන්ස යුද්ධ ම්ලේච්ඡ අපරාධයක් වූ බව මෙන් ම, විෂ ගෑස් දහනයක් සිදු වී නම්, එය දෙවන ලෝක යුද්ධය සමයේ නාසි ගෑස් කාමර තුල මිලියන ගනන් දෙනා මහා පරිමානයෙන් ඝාතනය කිරීමේ පරිමානයේ එකක් නො වන බව ද පැහැදිලි ය. එතෙකුදු වුවත්, නැපෝලියන්ගේ පිලිවෙත් “දෙවන ලෝක යුද්ධය සමයේ යුදෙව්වන්ට හා ජිප්සීන්ට එරෙහිව ක්‍රියාවට දැමූ සමූල ඝාතක පිලිවෙත ප්‍රත්‍යක්ෂ ලෙස උපකල්පනය කරන” බව, දාවුත් ට්විටර් මත ප්‍රවර්ධනය කරන, ක්ලෝඩ් රිබ්බේගේ 2005 දී පලකල කෘතිය, විවෘතව අවධාරනය කලේ ය.

මෙය ඓතිහාසික බේගලයක් බව ප්‍රකාශ කිරීම, අධිරාජ්‍යවාදී පාලන සමයේ සහ ඇල්ජීරියාවේ, ඉන්දු චීනයේ, සිරියාවේ හා බටහිර අප්‍රිකාවේ නැගී සිටීම් මර්දනය කරන යුද්ධවල දී, පසුව හලන ලද මිලියන ගනනකගේ රුධිරය තුල ආවරනය කෙරී ඇති, ප්‍රන්ස ධනේශ්වරයේ විදෙස් පිලිවෙත ආරක්ෂා කිරීමක් නො වේ. නැපෝලියන් ම්ලේච්ඡ යුද්ධ දියත් කල ද ඔහු කැරීබියන් දූපත්වල හෝ වෙනත් තැනක, කලු ජාතිකයන් සමූල ඝාතනයක් සැලසුම් කලේ හෝ එවැන්නක් ක්‍රියාවට දැමුවේ හෝ නැත. ප්‍රන්සයේ පලමුවැනි සමූහාන්ඩුව නාසිවාදය සමග ව්‍යාජ ලෙස සමාන කිරීමටත්, ඒ මගින් සමාජ විප්ලවය අපකීර්තියට පත් කිරීමටත්, දාවුත්, රිබ්බේ හා අනෙකුත් අය දරන උත්සාහය පදනම් කරනු ලබන්නේ, ප්‍රබන්ධ කරන ලද ඓතිහාසික ආඛ්‍යානයක් මත යි.

ප්‍රන්ස මහජනයා වහල් ක්‍රමය පුනස්ථාපනය කිරීම තුල පැටලී සිටියෝ ද?

නැපෝලියන් 1802 දී ප්‍රන්ස යටත් විජිත තුල වහල් ක්‍රමය පුනස්ථාපනය කිරීම මත පදනම් වන තවත් පැහැදිලි ව්‍යසනකාරී තර්කයක් දාවුත් විසින් නිර්මානය කරයි. දාවුත්ට අනුව, ප්‍රන්ස මහජනයා වහල් ක්‍රමයට ප්‍රබල ලෙස සහයෝගය දුන් හ: “මහජනයාගේ පලල් සහයෝගය ලද ප්‍රන්ස ව්‍යවස්ථාදායක සභිකයන් හා ප්‍රන්ස හමුදාව, ප්‍රන්ස සමූහාන්ඩුවේ නො නස්නා අසංගතික භාවය ප්‍රදර්ශනය කරමින්, නැපෝලියන්ගේ ක්‍රියාවන් අනුමත කලේ ය.” විපාක විඳීම සඳහා, අන්තරාවලෝකනයේ ශතවර්ෂයකට ප්‍රන්සය කැප විය යුතු බව, ඇය නිගමනය කරයි:

සත්‍යය වන්නේ, වහල් ක්‍රමය යලි ගෙන ඒම සඳහා ප්‍රන්සයේ සටනෙහි නිර්දය අමානුෂික ප්‍රතිවිපාක හෙලිදරව් කිරීම, විශ්වීය මානව අයිතීන් ප්‍රකාශයට පත්කිරීම්වලට පසෙකින් වර්ගවාදය හා යටත් විජිත්වාදය පවතී යන අප්‍රසන්න කරුන අනාවරනය කිරීම අපගමනයක් නො වන බව යි. මෙම පැහැදිලි පරස්පර-විරෝධය සත්‍ය වසයෙන් ම ප්‍රන්ස සමූහාන්ඩුවාදයට මූලික වේ. එය ගැන සලකා බැලීමට, ප්‍රන්සය අවම වසයෙන් ශතවර්ෂයක් කැප කිරීම අවශ්‍ය වේ.

සත්‍ය වසයෙන්, ප්‍රන්ස විප්ලවයේ සිට වසර 100ක් නොව, වසර 232ක් ම ගෙවී ඇති බවත්, ධනපති පද්ධතිය විසින් නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය පිලිබඳ පොරොන්දු පාවාදීම “සලකා බැලීමට” -හා ඊට එරෙහි ව සටන් කිරීමට- ප්‍රන්සයේ පමනක් නොව ජාත්‍යන්තර කම්කරු පන්තියට කාලය තිබී ඇති බවත් ය.

යටත් විජිත පීඩනය ඇතුලු, අනුප්‍රාප්තික ප්‍රන්ස සමූහාන්ඩුවල අපරාධයන් කෙරෙහි, 19වන හා 20වන ශතවර්ෂ තුල විරෝධය ප්‍රමුඛ වසයෙන් පැමිනියේ, ධනවාදය පිලිබඳ සමාජවාදී විවේචනයකිනි. මහජන විප්ලවවාදී ක්‍රියා හරහා නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය අව්‍යාජ ලෙස ස්ථාපනය කිරීමේ ඉදිරි දර්ශනය, එම අපරාධ විසින් අවලංගු නො කල බව කම්කරුවෝ නිගමනය කල හ. ධනපති පාලනයේ අත්දැකීම, 1848 සහ 1871 පැරිස් කොමියුනයේ කම්කරුවන්ගේ නැගිටීම්, අනුප්‍රාප්තික ප්‍රන්ස ධනපති සමූහාන්ඩු විසින් ලේවැකි ලෙස මර්දනය කිරීම පෙන්නුම් කලේ, සමානාත්මතාව ධනපති දේපොල සමග නො පෑහුනු බව යි.

කාල් මාක්ස් විසින් පැරිස් කොමියුනය විශිෂ්ට ලෙස ආරක්ෂා කිරීමෙන් පසු, ඔහුගේ කෘතිවල වැඩුනු ජනප්‍රියත්වය මධ්‍යයේ, ප්‍රන්සයේ හා ජාත්‍යන්තරව සියලු ජාතිකත්වයන්ගේ කම්කරුවෝ, මහජන සමාජවාදී පක්ෂ සමග ද රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසුව මහජන කොමියුනිස්ට් පක්ෂ සමග ද එක් වූ හ.

දාවුත් විසින් නැපෝලියන් හෙලාදැකීම් පැමිනෙන්නේ, ඊට වෙනස්, මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ පන්ති ආස්ථානයකිනි. ස්ටැලින්වාදය, ඔක්තෝබර විප්ලවය පාවාදීම සම්පූර්න කොට, 1991 දී සෝවියට් සංගමය විසුරුවා, ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසු, මධ්‍යම-පන්තික පශ්චාත්-නූතනවාදී ශාස්ත්‍රාලික ලෝකය තුල ආධිපත්‍යය දරන්නට පටන්ගත්, වර්ගවාදී අනන්‍යතා දේශපාලනය වෙනුවෙන් ඇය කතා කරයි. මෙම දෘෂ්ටියට අනුව, මානව වර්ගයා කොතරම් ගැඹුරින් වර්ගවාදය මගින් ආසාදනය කරනු ලැබ ඇද්දැයි කියතොත්, සාමූහික විප්ලවවාදී ක්‍රියාවන් සිදු කිරීමට හොඳින් ම ගතහොත් අසමත් අතර, එවැනි ක්‍රියා සිදුකිරීම අතිශයින් ම අන්තරායදායක වේ.

“නැපෝලියන්ගේ මතකයට සමස්ත වසරක් කැපකිරීම, ප්‍රන්සයේ ප්‍රියතම දෘෂ්ටිවාදය වන විශ්වීයවාදයේ නාමයෙන් ඉතිහාසය මර්දනය කිරීම, දැනටමත් සමූහාන්ඩුවේ තීරනාත්මක කොටසක් බව ප්‍රදර්ශනය කරයි” යි ඇය ලියයි.

වහල් ක්‍රමය පිලිබඳ ප්‍රන්ස මහජනයාට දෝෂාරෝපනය කරන දාවුත් තමන්ට ඕනෑ හැටියට ගොතා ගත් කතන්දරය මත් පදනම් වන්නේ ඉතිහාසය නො තකා හැරීම මත යි. 1802 දී නැපෝලියන් විසින් වහල් ක්‍රමය පුනස්ථාපනය කිරීමට, ප්‍රන්සය තුලින් විප්ලවවාදී විරෝධයක් නො පැවතීම ඇය විසින් හෙලා දකියි. එහෙත්, තර්මිඩෝර 9 වැනිදා (සම්මත කැලැන්ඩරයට අනුව 1794 ජූලි 27දා) රොබස්පියර් ඇද වැටීමෙන් පසුව, වාමාංශය ලේවැකි ලෙස මර්දනය කරනු ලැබීම ගැන ඇය නිහඬ ය.

එහෙත්, වහල් ක්‍රමය අහෝසි කරමින්, 1794 පෙබරවාරි 4දා නිකුත් කල ආඥාවේ ඉරනම, තර්මිඩෝරයෙන් පසුව දකුනට සිදු වූ මාරුවෙන් වෙන් කල නො හැක. වහල් ක්‍රමය කෙරෙහි පැවති පලල් මහජන වෛරය පිලිබිඹු කරමින්, සම්මේලන සභාවේ දී ඔල්වරසන් දෙමින් සම්මත කල එම ආඥාව, වහල්ලුන් ඒ වන විටත් බලය ගෙන තිබුනු සාන්ත දොමන්ගෝවෙන් පිටත සහ එය අසංගතික ලෙස ව්‍යවහාර වූ ප්‍රන්ස ගයනාවේ හා ග්වාදලූප්හි විශාල වසයෙන් භාවිතා නො වී ය. අනෙකුත් බොහෝ ප්‍රන්ස යටත් විජිතයන් බ්‍රිතාන්‍ය නාවිකා හමුදාව විසින් පැහැරගෙන තිබුනු අතර, ඉන්දියන් සාගරයේ මැස්කාරිග්නේස්හි ප්‍රන්ස වහල් හිමියෝ, 1796 දී ආඥාව බලාත්මක කිරීමට පැමිනි නිලධාරීන් පලවා හැරියෝ ය.

රාජාන්ඩුව අහෝසි කර, වැඩවසම් දේපොල අස්වාමික කර, වෙන්ඩී කැරැල්ල පරාජය කර තිබුනු විප්ලවවාදීන් අතර ගැටුම් වැඩෙද්දී, ආඥාව සම්මත කරන ලදී. ඉහල ආදායම් මත උපරිම සීමා හා ත්‍රස්තය සමයේ සිදු කල ඝාතනයන් වැනි හදිසි පියවරයන් පවත්වාගෙන යා යුතු ද යන්න අරබයා වූ භාතෘඝාතක අරගලයක්, මැක්සිමිලියන් රොබස්පියර් නායකත්වය දුන් මවුන්ටන්, ජැක්-රෙනේ හෙබෙයා නායකත්වය දුන් එන්රේජේස් හා ජෝර්ජස් දන්තොන් නායකත්වය දුන් ඉන්ඩල්ජන්ට්ස් කන්ඩායම් භේදභින්න කලේ ය. 1794 මාර්තු සිට ජූලි දක්වා වූ මාස පහක් ඇතුලත, පලමුව හෙබෙයා, දෙවනුව දන්තොන් හා අවසානයේ රොබස්පියර් ගිලටීනයට ගොදුරු වූ හ.

රොබස්පියර් මරා දැමීමෙන් පසුව, “උපරිම (ආදායම් සීමාවට) කෙලවේවා” යි මොරදුන් සෙනගක් ඉදිරියේ, වමෙන් පැමිනි තර්ජනයට එරෙහි ව සිය පාලනය ශක්තිමත් කර ගැනීමට ධනේශ්වරය ක්‍රියා කලේ ය. රොබස්පියර්, දන්තොන් හා හෙබෙයා වැනි පුද්ගලයන් කතා කර තිබුනු, ප්‍රන්ස විප්ලවයේ නායක සමාජය වූ, ජැකොබින් සමාජය වසා දැමුනි. 1795 අප්‍රේල් 1දා මැයි 20දා කුසගින්නට හා දරිද්‍ර වැටුප්වලට එරෙහි පැරිසියේ පැවති නැගිටීම් දෙකක් හමුදාව විසින් තලා දමන ලදී. ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ජීසස් (ජේසුස්ගේ මිතුරෝ) හා ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ද සන් (සූර්යයාගේ මිත්‍රයෝ) වැනි ප්‍රතිවිප්ලවවාදී මිලීෂියාවන් ක්‍රියාවට දැමූ ධවල ත්‍රස්තයක් විසින් අවම වසයෙන් පුද්ගලයන් 2,000ක් මරා දමන ලද අතර, ඉන් බොහෝ දෙනා ජැකොබින්වරුන් විය.

තර්මිඩෝරියානු පාලන තන්ත්‍රයට එරෙහි ව පැනනැගුනු සමානාත්මතාවාදී වාමාංශික ප්‍රවනතාවන් මර්දනය කරනු ලැබිනි. දේපොල පොදුවේ තබා ගැනීම සඳහා වන කැඳවුම ඉදිරියට දැමූ, ග්‍රාචුස් බබෙවුෆ් - මොහු විප්ලවයට පෙර වහල් ක්‍රමයට පහරදුන් ලේඛකයෙකි- නායකත්වය දුන් කන්ස්පිරසි ඔෆ් ඊක්වල්ස් (සමානයන්ගේ කුමන්ත්‍රනය) වැනි, සමාජවාදී ව්‍යාපාරයේ දේශපාලන මුතුන් මිත්තන් මෙම ප්‍රවනතාවන් අතරට අයත් විය. කැරලිකාර නැගිටීමක් සූදානම් කිරීමේ චෝදනා මත, 1796 දී අත්අඩංගුවට ගන්නා ලද බාබෙවුෆ්, 1797 මැයි මාසයේ දී ඝාතනය කරන ලදී.

ප්‍රන්සය තුල ධනේශ්වර දේපොල ශක්තිමත් කිරීම සමග අත්වැල් බැඳගත් ධවල ත්‍රස්තයේ සමානාත්මතා-විරෝධී දේශපාලන වාතාවරනය, වහල් ක්‍රමය අහෝසි කරන ආඥාව බලාත්මක කිරීමට බාධා කලේ ය. එහෙත්, මෙය, ප්‍රන්ස මහජනයා වහල් ක්‍රමයට සහයෝගය දැක්වීය යන දාවුත්ගේ චෝදනාව සනාථ නො කරයි. ඊට විපරීත ව, ශතවර්ෂ තුනෙන් දෙකකට පසු, ප්‍රාග්ධනය තුල කාල් මාක්ස් විසින් පෙන්වා දුන් කරුන අවධාරනය කරයි: “ඕගියර්ට අනුව, මුදල ‘එක් කපොලක් මත පරම්පරාවෙන් පැවත එන ලේ පැල්ලමක් සමග ලෝකයට එයි නම්,’ හිසේ සිට දෙපතුල දක්වා, සෑම රෝම කූපකින් ම, රුධිරය හා කැලිකසල සමගින් වෑස්සෙමින්, ප්‍රාග්ධනය පැමිනෙයි.”

තර්මිඩෝරය පිලිබඳව නිහඬ ව සිටින අතර, ප්‍රන්ස මහජනයා දාවුත් විසින් වර්ගවාදී ලෙස හෙලාදැකීම, සමාජ විප්ලවයට ඇය දක්වන විරුද්ධත්වයෙන් වෙන් කල නො හැක.

නැපෝලියන් වනාහි, තර්මිඩෝරයෙහි මුදුනත දී, කුමන්ත්‍රනයකින් බලයට පැමින, සමූහාන්ඩු හා රාජාන්ඩු බලවේග අතර සම්මුතියක පදනම මත පාලනය ගෙන ගිය, ධනේශ්වර චරිතයක් විය. ඔහු මාක්ස්වාදී ව්‍යාපාරයේ වීරයෙක් නො වේ. එහෙත්, “ප්‍රන්සයේ මහා කෲර පාලකයා” යනුවෙන්, දාවුත් විසින් ඔහු ව උන්මාදනීය ලෙස හෙලාදැකීම, එක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් නො සලකා හරියි.

සාන්ත-ක්ලෝඩ්හි 18වන බෲමර කුමන්ත්‍රනය සමයේ ජෙනරාල් බොනපාට්, ෆ්‍රන්ෂුවා බෞචෝගේ චිත්‍රයකි, 1840 (මූලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්)

අවසානයේ 1815 දී වෝටර්ලූහි දී නැපෝලියන්ගේ පරාජයට පෙරාතුව, නැපෝලියානු ප්‍රන්සය විසින් යුරෝපීය රාජාන්ඩු කීර්තිමත් ලෙස පරාජය කිරීම්, ප්‍රන්සයේ සිට යුරෝපයේ බොහෝ ප්‍රදේශ පුරා වැඩවසම් දේපොල අහෝසි කිරීම පැතිරවීමේ දී, තීරනාත්මක භූමිකාවක් ඉටු කලේ ය. “නැපෝලියන් සහ වැඩවසම්වාදය අහෝසි කිරීම” යනුවෙන් 2009 දී ලිපියක් ලියූ මහාචාර්ය රේෆ් බ්ලෝෆාබ් මෙසේ ලියයි:

ප්‍රන්ස ව්‍යවස්ථාදායකයේ වැඩවසම් දේපොල සබඳතා බිඳ දැමීම, ඈඳගත් භූමි ප්‍රදේශ දක්වා නැපෝලියන් විසින් විස්ථාරනය කලේ ය. නේපල්ස් හා වෙස්ට්ෆාලියා වැනි පරිවාර රාජධානි තුල ද එවන් පිලිවෙත් ක්‍රියාවට දමන ලදී. නැපෝලියන්ගේ අධිරාජය ඇද වැටීමෙන් පසුව පවා, පුනස්ථාපිත රාජාන්ඩු මෙම වෙනස් කම් අහෝසි කිරීමට යත්න දැරුවේ නැත. ඒ වෙනුවට, ඔවුහු, නැපෝලියන් නිර්මානය කර තිබුනු පරිවර්තනය තහවුරු කල හ. … යුරෝපීය භූමි ප්‍රදේශ මත නැපෝලියානු ආධිපත්‍යය, කටුක ලෙස අභියෝගයට ලක්වී, ක්ෂනික ව අස්ථීර බව සනාථ වුව ද, වැඩවසම් දේපොල අහෝසි කිරීමේ ඔහුගේ ක්‍රියා මාර්ගයට එම ලක්ෂනය උරුම නො වී ය. ඇත්ත වසයෙන් ම, නැපෝලියානු ආඛ්‍යානයේ වඩාත් ම වැදගත් දීර්ඝ-කාලීන උරුමයන්ගෙන් එකක් වූයේ එයයි. මේ පර්යාලෝකයෙන් බලන විට, වැඩවසම්වාදය අහෝසි කිරීම යුරෝපයට පතුරුවන ලද වාහකයා වූ, 1789 විශ්වාසවන්ත උරුමකරුවා ලෙස නැපෝලියන්ව තවමත් දැකගත හැක.

අවංක ව පවසන්නේ නම්, යුරෝපය තුල වැඩවසම්වාදය අහෝසි කිරීම කෙරෙහි, දාවුත් උනන්දු නැති බව පුදුමයට කරුනක් නො වේ. පාලක ප්‍රභූව විසින් කලු ජීවිත වටී ව්‍යාපාරය වගාදිගා කිරීමෙහි පලල් සන්දර්භය තුලින්, ඇයගේ වර්ගවාදී දේශපාලනය ඉස්මතු වෙයි. වෝල් වීදිය සමග සමීප සබඳතා සහිත නායක සංගත පදනමක් වන ෆෝඩ් පදනමෙන්, ඩොලර් කෝටි ගනනින් ලැබෙන මුදල්වලින් ප්‍රානවත් වන එයට, එක්සත් ජනපද ශාස්ත්‍රාලික ලෝකය හා මාධ්‍ය තුල විශාල අනුග්‍රහයක් තිබෙන අතර, පසුගිය වසරේ මිනියාපොලිස්හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමෙන් අනතුරුව, පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහිව පැනනැගුනු මහජන විරෝධතා තුලට සැලකිය යුතු ලෙස මැදිහත් වෙමින්, ප්‍රන්ස සමාජ මාධ්‍ය තුල වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් තිබේ.

ශාස්ත්‍රාලික ලෝකය, සංගත මන්ඩල හා අනෙකුත් තැන්වල, කලු මධ්‍යම පන්තියේ ස්ථරවලට, ආනුභාවය හා වරප්‍රසාද පිනිස වඩා විශාල ප්‍රවේශයක් සඳහා උත්සාහ දරන මෙම බලවේග, වාර්ගික සමානත්වය සඳහා වන කැඳවුම් ඉදිරියට දමති. වර්ගවාදී පූච්චානම් සමගින් කම්කරු පන්තිය බෙදීමට අධික ලෙස අරමුදල් ලැබෙන ඔවුහු, 18වන ශතවර්ෂයේ වේවා, අද දින වේවා, පවත්නා දේපොල රූපාකාර විප්ලවවාදී ලෙස පෙරලා දැමීමට හතුරු වෙති.

දාවුත් ආරක්ෂා කරන වර්ගවාදී දෘෂ්ටිය පිලිබඳ ව එක් අවසන් කරුනක් සඳහන් කල යුතු ය. 18වන ශතවර්ෂීය ප්‍රන්සයේ විප්ලවවාදී අරගල කෙරෙහි පැහැදිලි අවඥාවකින් හා හතුරු කමකින් ලිවීමෙන්, ප්‍රන්ස විප්ලවයේ ජයග්‍රහනවල ආරක්ෂකයන් ලෙස ව්‍යාජ ව පෙනී සිටීමට, ප්‍රන්ස ජාතිකවාදීන්ට දාවුත් උදව් කරයි. මුස්ලිම්-විරෝධී වර්ගවාදය අවුලුවන අතර, අනාගමිකවාදය හා “සමූහාන්ඩුවාදී මූලධර්ම” ආරක්ෂා කරන බව කියාපාන මැක්‍රොන්ගේ “බෙදුම්වාද-විරෝධී” නීතිය ඊට එක් උදාහරනයක් පමනි.

“ප්‍රන්සය සමූල ඝාතනයෙන් වැලැක්වීම සඳහා ... වාර්ගික යුද්ධයට, සදාචාරාත්මක කරුනු සම්බන්ධ ව නින්දා -අවමන් කොට කොන් කිරීමේ සංස්කෘතියට (cancel culture) හා සංක්‍රමනිකයන් මව් රටට ආපසු යැවීමට” පහර දෙන, “නැගිටීමට කැඳවුමක්” නමැති ලිපියක්, අන්ත-දක්ෂිනාංශික දේශපාලනඥ ෆිලිප්පේ ඩි විලියර්ස් මෑත දී ලිවී ය. නව-ෆැසිස්ට්වාදී කරන්ට් වැලියුස් සඟරාව තුල, ප්‍රන්ස හමුදා නිලධාරීන් අතර සිටින අන්ත-දක්ෂිනාංශික බලවේගයන්ගේ කුමන්ත්‍රන තර්ජන රැල්ලක්, ඩි විලියර්ස්ගේ ලිපිය විසින් උද්දීපනය කරනු ලැබුනි. “වර්ගවාදය, ස්වදේශීය ජාතිකවාදය හා බටහිර යුරෝපීය අධිපතිවාදය ප්‍රතික්ෂේප කිරීමේ ඊනියා න්‍යායන් (decolonial theories)” හෙලාදකිනු ලබන එක් ලිපියක්, “වාර්ගික යුද්ධය” ගැන අනතුරු අඟවමින්, “මරන දහස් ගනනකට” හේතුවන මිලිටරිමය මැදිහත් වීමක්, ප්‍රන්සය තුල ප්‍රන්ස හමුදාවට සිදු කල හැකි බව ප්‍රකාශ කලේ ය.

මැක්‍රොන් හා ඩි විලියර්ස්ගේ තර්ක මුලුමනින් ම ප්‍රෝඩාකාරී ය. අධිරාජ්‍යවාදී යුද්ධයට, පොලිස් ප්‍රචන්ඩත්වයට හා ඔවුන්ගේ “වෛරසය සමග ජීවත්වීමේ” වසංගත පිලිවෙතට එරෙහිව, කම්කරුවන් අතර වැඩෙන විරෝධයෙන් භීතියට පත් ව සිටින ඔවුහු, විප්ලවවාදී උරුමයක් ආරක්ෂා නො කරති. ඔවුන් මුස්ලිම්-විරෝධී මනෝගතිය ඇවිලවීම, 1789 විප්ලවයේ ශ්‍රේෂ්ඨ උරුමය වන වාමාංශික සම්ප්‍රාදයන්ට ඔවුන් දක්වන විරෝධයේ නො වරදින සංඥාවකි.

ඇමරිකානු හා හයිටියානු විප්ලව අඩංගු කරගත්, ජාත්‍යන්තර විප්ලවීය පුනර්ජීවනයක කොටසක් වූ ප්‍රන්ස විප්ලවය, අන්තර්ගතයෙන් ජාත්‍යන්තර වූ පන්ති වරප්‍රසාද කෙරෙහි විරෝධයක් හා සමානාත්මතාව පිලිබඳ පොරොන්දුවක් මත පදනම් විය. ප්‍රන්සයේ හා යුරෝපයේ බොහෝ ප්‍රදේශවල වහල් ශ්‍රමය මකාදැමූ එය, 1791 හයිටියානු විප්ලවය ප්‍රේරනය කිරීමට උදව් කරමින්, වහල් ක්‍රමයට එරෙහිව බලගතු ප්‍රහාරයක් එල්ල කලේ ය. එම වසරේ ම, යුදෙව්, ප්‍රොතෙස්තන්ත හා මුස්ලිම් යන එම අවධියේ ප්‍රන්සයේ සිටි ආගමික සුලුතරයන්ට, එය පූර්න නෛතික සමානාත්මතාව ප්‍රදානය කල අතර, නැපෝලියන් එම පිලිවෙත කිසිදාක අවලංගු නො කලේ ය.

ප්‍රන්ස පලමුවැනි සමූහාන්ඩුව ජනසංහාරක රාජ්‍යයක් ලෙස දාවුත් ඉදිරිපත් කරන ව්‍යාජ, වර්ගවාදී හෙලාදැකීම සමගින්, 1789 විප්ලවයෙන් ඉස්මතු වූ සමානාත්මතාවාදය හා ජාත්‍යන්තරවාදය අපකීර්තියට පත්කරන ඇය, අන්ත-දක්ෂිනාංශික පාලනයේ හා මිලිටරි ආඥාදායකත්වයේ තර්ජනයන්ට එරෙහි සමාජවාදී විරුද්ධත්වයට වලකැපීමට ක්‍රියා කරයි. වර්ගවාදී අනන්‍යතා දේශපාලනය පදනම් වන සහ කම්කරු පන්තිය වාර්ගික හා ජනවාර්ගික රේඛා ඔස්සේ බෙදන ඓතිහාසික මුසාකරනයන් හා අතිසරලකරනයන් තීරනාත්මකව ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ය.

Loading