සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ක්ෂමා සවන්ත් ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා සංවිධානය සමග එකතු වෙයි: ව්‍යාජ වමේ ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනය

[මෙම ලිපිය යන මැයෙන් 2021 මාර්තු 1 වැනි දින Socialist Alternative’s Kshama Sawant joins the DSA: The Democratic Party politics of the pseudo-left යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සෝෂලිස්ට් ඕල්ටර්නේටිව්හි නායිකාවක සහ සියැටල් නගර සභිකාවක වන ක්ෂමා සවන්ත් පසුගිය සතියේ දී, තමන් ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා (ඩීඑස්ඒ) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා බව නිවේදනය කලා ය. දෙසැම්බර් 15 වැනි දා, තම සාමාජිකත්වයෙන් සැලකිය යුතු කන්ඩායමක් ඩීඑස්ඒ සාමාජිකත්වය ලබා ගැනීමට යොමු කරවන බවට සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සිදු කල ප්‍රකාශයේ ප්‍රතිපලයක් හැටියටයි, සවන්ත්ගේ නිවේදනය පැමිනියේ.

2016 දී රැස්වීමක් අමතන නගර සභික ක්ෂමා සවන්ත් (Image credit: Flickr/Seattle City Council)

“මහජන කම්කරු පන්තික පක්ෂයක, ශක්තිමත් කම්කරු ව්‍යාපාරයක සහ බිලියනපතියන්ගේ පන්තියට එරෙහි ව අප ගෙන කරමින් සිටින සටනේ ජයග්‍රාහී අරගල” උදෙසා අවශ්‍යතාවෙන් මඬනා ලදු ව තමන් මෙම තීරනය ගත් බව සවන්ත් සඳහන් කරයි. “මම සිතනා හැටියට, පෙරට යාමට නම්, වර්තමාන අර්බුදයේ හදිසි ඉල්ලීම් ද ධනවාදයේ සූරා කෑමට සහ පීඩනයට එරෙහි ව අවසන් ජයග්‍රහනයක් ද යන දෙක ම සඳහා මාක්ස්වාදී අදහස් පෙරට දැමිය යුතු ව ඇතැයි” ඇය වැඩිදුර සඳහන් කරයි.

“පුලුල් සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ හදිසි අවශ්‍යතාව නිසා ම මම සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සාමාජිකත්වය දරමින් ම ඩීඑස්ඒ සමග එකතු වෙනවා” යැයි ඇය ලිවී ය.

“සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සාමාජිකයන් ඩීඑස්ඒ සමග එකතු වන්නේ ඇයි?” යන මැයෙන් සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ජාතික කමිටුව පෙර නිකුත් කල ප්‍රකාශය සඳහන් කලේ එම පියවර “ඩිමොක්‍රටික් පක්ෂයටත් එහි පාලක පන්ති නායකත්වයටත් එරෙහි ව ප්‍රායෝගික විකල්පයක්” ගොඩනැගීම ඉලක්ක කර ගත් එකක් බවයි. “සටන්කාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු ව්‍යාපාරයකට, පීඩනයට එරෙහි අරගලයන්ට, සහ එක්සත් ජනපදය තුල නව කම්කරු පන්තික මහජන පක්ෂයකට පදනම් එලීම සඳහා එය අත්‍යවශ්‍ය වේ” යැයි සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ප්‍රකාශය සඳහන් කලේ ය.

ඇත්ත වශයෙන් ම, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ඩීඑස්ඒ සමග සමීප සන්ධානයක් ගොඩනැගීමට දරන උත්සහයන්ගේ ඉලක්කය වන්නේ අලුත් දේශපාලන උගුලක් ඇටවීමයි. මෙය සිදු වන්නේ රාජ්‍ය යන්ත්‍රය තුල ආන්තික සහ උග්‍ර වෙන දේශපාලන අර්බුදයක, කම්කරුවන් සහ තරුනයන් අතර වැඩෙන රැඩිකලීකරනයක සහ ඩිමොක්‍රටික් පක්ෂය අපකීර්තියට පත් වන තතු යටතේ ය. සෝෂලිස්ට් ඕලටර්නේටිව් සහ ඩීඑස්ඒ ද ඇතුලත් ඩිමොක්‍රටික් පක්ෂය තුල සහ ඒ අසරේ ක්‍රියාත්මක වන ව්‍යාජ වාම කන්ඩායම් අව්‍යාජ සමාජවාදී ව්‍යාපාරයක වර්ධනය අවහිර කිරීමට සංවිධානාත්මක රූපාකාර ඇටවීමට යත්න දරමින් සිටිති.

සෝෂලිස්ට් ඕල්ටර්නේටිව්, ඩීඑස්ඒ සහ ඩිමොක්‍රටික් පක්ෂය

සවන්ත්ගේ සහ සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ප්‍රකාශ තුල කැපී පෙනෙන පරස්පර විරෝධතා ඇත. “ඩිමොක්‍රටික් පක්ෂයට විකල්පයක් වශයෙන්” “කම්කරු පන්තික මහජන පක්ෂයක්” ගොඩ නැගීම තම අරමුන බව ඔවුහු සඳහන් කරති. එහෙත්, ඔවුන් මෙසේ පවසන්නේ තම සාමාජිකයන් ඩිමොක්‍රටික් පක්ෂය තුල ම වන කන්ඩායමක සංවිධානයකට ඒකාබද්ධ කරමිනි.

වත්මනේ දී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකෑසියෝ කෝර්ටෙස්, රශීඩා තලීබ්, ඩැනී ඩේවිස්, කෝරි බුෂ් සහ ජමාල් බෝමන් යන ඩීඑස්ඒ සාමාජිකයෝ පස් දෙනා එක්සත් ජනපද කොංග්‍රසයේ පහල මන්ඩලය වන නියෝජිත මන්ඩලය නියෝජනය කරති. මේ පස් දෙනා ම ඩිමොක්‍රටික් පක්ෂ ශාඛාවල විශ්වාසවන්ත සාමාජිකයෝ ය. ඩීඑස්ඒ සංවිධානයේ කැපී පෙනෙන ම කොංග්‍රස් සභිකයා වන ඔකෑසියෝ කෝටෙස් ඇමරිකානු මිලිටරිය සහ බුද්ධි සේවාවලට අරමුදල් සම්පාදනය කර දීමට යෝජනා වූ පනත් කෙටුම්පත්වලට ඡන්දය භාවිත කර ඇත.

නොවැම්බරයේ දී, ඔකෑසියෝ කෝර්ටෙස් තම ප්‍රාථමික කර්තව්‍ය ඩිමොක්‍රටික් පක්ෂයට හැකි මොන යම් ම හෝ ආකාරයකින් සහය වීම වසයෙන් තමන් දකින බව පැහැදිලි කලා ය. 2020 ජනාධිපතිවරයෙන් අනතුරු ව, සමාජවාදයට ප්‍රහාරයක් එල්ල කල දක්ෂිනාංශික ඩිමොක්‍රටිකයන්ට සහය වීමේ තම උත්සහයන් ගැන විශේෂයෙන් සඳහන් කරමින් තමන් “අවුරුදු දෙකකට පක්ෂයට උදවු වීමට ඉඩ දෙන්නැයි ආයාචනා කල” බව ඇය නිව්යෝර්ක් ටයිම්ස් වෙත සඳහන් කලා ය.

මෑතකාලීන ඩීඑස්ඒ දේශපාලන ක්‍රියාකාරීත්වය කේන්ද්‍රගත වූයේ වර්මන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය ඔජ වැඩීමටයි. සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරන අපේක්ෂකත්වය සඳහා තරගයෙන් පරාජයට පත් වූ පසු ජෝ බිඩෙන්ගේ ප්‍රධාන පෙල උද්ඝෝෂකයෙකු වශයෙන් සේවය කලේ ය.

සවන්ත් එක් තැනක දී, “සංස්ථාපිතයට හිතකර අදහස් සහ බලවේගවලට එරෙහි ව සිට ගැනීමට අසමත් වීම නිසා, බලගතු ‘ප්‍රගතිශීලී’ පුද්ගලයන් සමග සන්ධානයන් ගොඩ නගා ගැනීමට පැවති තදබල කැමැත්ත නිසා, මාක්ස්වාදී සංකල්ප පිලිබඳ නොපැහැදිලිකම නිසා සහ අපේ සාමාජිකත්වය අතර වෘත්තීයවාදීන්ගේ බලපෑම නිසා අතීතයේ දී සාමාජවාදී ව්‍යාපාරය බොහෝ අවස්ථාවන්හි දී අවාසනාවන්ත අයුරින් පීලි පැන ඇත.” යැයි ලියයි.

කෙසේ වුවත්, ඩීඑස්ඒ සහ සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් යන සංවිධාන දෙක ම ඉටු කල දේශපාලන භූමිකාවට කේන්ද්‍රීය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය තුල ඉන්නා “ප්‍රගතිශීලී” පුද්ගලයන් සමාජවාදයේ කාරකය වනු ඇත යන ප්‍රබන්ධය ඔජ වැඩීමයි.

සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධයෙන් ගන්නා මූලධර්මාත්මක ආකල්පය ඩීඑස්ඒ සංවිධානයෙන් වෙනස් වන්නේ නැත. එහි සමස්ත හැඩගැසීම ම ඩිමොක්‍රටික් පක්ෂයට සංවිධානාත්මක ව පිටතින් සිටිමින් මුක්කු ගැසීම මත පදනම් වෙයි. සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සංවිධානයේ ඇතුලත් වීමේ වැඩපිලිවෙලේ දී ඩීඑස්ඒ ඩිමොක්‍රටික් පක්ෂය තුල තම විවෘත භූමිකාව සම්බන්ධයෙන් දේශපාලන වෙනසක් ගන්නා බවට සඳහනක් නැත.

2016 සහ 2020 ජනාධිපතිවරන තුල දී ඩීඑස්ඒට හැම අතින් ම සමාන ආකාරයකින් සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් බර්නි සෑන්ඩර්ස්ව අනුමත කරමින් ඔහු වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදුනේ ය. 2016 දී, මෙම ව්‍යාපාරය සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට තරග වදිද්දී, ඔහුගේ උද්ඝෝෂන ව්‍යාපාරය “ඇමරිකානු වමේ ඓතිහාසික කඩ ඉමක්” වශයෙන් හඳුන්වමින් සමාජ මාධ්‍ය තුල #Movement4Bernie යන හෑෂ් ටෑගය යටතේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කලේ ය. ජනාධිපතිවරන අපේක්ෂකත්වය අහිමි වීමෙන් පසු සෑන්ඩර්ස් හිලරි ක්ලින්ටන්ට සහය දක්වමින් ඩිමොක්‍රටික් පක්ෂය පිටුපසට සමාජ ප්‍රතිරෝධය හරවා යැවීමේ තම කර්තව්‍ය ඉටු කලේ ය. 2020 ජනාධිපතිවරනයේ දී, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් නැවතත් තම සංවිධානය සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් ජනාධිපතිවර අපේක්ෂකත්වය දිනා ගැනීමට ගෙන ගිය උද්ඝෝෂනය පිටුපස පෙල ගැස්වූයේ ඔහු “දේශපාලන විප්ලවයකට” නායකත්වය දෙන බව ප්‍රකාශ කරමිනි. සෑන්ඩර්ස් අවසානයේ බිඩෙන්ට සහය දුන්නේ ය.

පසුගිය වසරේ අප්‍රේල් 9 වැනි දා, සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය දිනා ගැනීමට ගෙන ගිය උද්ඝෝෂනය නවතා දමා බිඩෙන්ට සහය පල කිරීමට කැහැ පොට ගසා ගත් විට සවන්ත් මෙසේ ලීවා ය: “ඔහු ගොඩනැගීමට සහය වූ ව්‍යාපාරයේ දැවැන්ත ප්‍රගතිශීලී අංශයන් සලකා බලද්දී අප ගත් ස්ථාවරය සම්බන්ධයෙන් අපි පසුතැවිලි නොවෙමු. 2016 තෙක් ආපසු හැරී බලද්දී, සෑන්ඩර්ස් තම රැඩිකල් කම්කරු පන්තික හිතැති වේදිකාව හරහා මිලියන සංඛ්‍යාත පිරිසක් බල ගැන්වී ය.”

ඉතා මෑතක දී, එනම්, පෙබරවාරි පලමු වැනි දා, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සාමාජිකා රෙබෙකා ග්‍රීන් “බිඩෙන්ගේ ලොකු පොරොන්දු” යන මැයෙන් ලිපියක් පල කරමින් යෝජනා කර සිටියේ නව පරිපාලනය ඩිමොක්‍රටික් පක්ෂයේ සංගත හිතැති, මිලිටරිවාදී උරුමය පෙරට ගෙන යනු ඇතත්, පහල සිට පීඩනය යෙදීමෙන් විරැකියාව සම්බන්ධ, “සැමට මෙඩිකෙයා” (ඇමරිකානු මහජන සෞඛ්‍යාරක්ෂන වැඩසටහන-පරි), නව හරිත ප්‍රතිසංස්කරන (ග්‍රීන් නිව් ඩීල්), සහ ඩීඑස්ඒ යෝජනා කරන සෙසු ආරම්භකත්වයන් ඇතුලත් බරපතපල සමාජ ප්‍රතිසංස්කරන ද ක්‍රියාවට නංවා ගත හැකි වනු බවයි.

“අපිට සැබෑ නායකත්වයක් අවශ්‍යයි. බර්නි සෑන්ඩර්ස්, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකෑසියෝ කෝර්ටෙස්, කෝරි බුෂ්, ජමාල් බෝමන්, සහ ස්ක්වොඩ් එකේ [කෝටෙස්, ඉල්හාන් ඕමාර්, අයන්නා ප්‍රෙස්ලි, රශීඩා තලීබ්, ජමාල් බෝමන් සහ කෝරි බුෂ් යන ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිත මන්ඩල සභිකයෝ සය දෙනා තමන්ව ද ස්ක්වොඩ් (The Squad) යනුවෙන් හඳුන්වා ගනිති. - පරි] සෙසු සියලු සාමාජිකයෝ බිඩෙන් සහ ඩිමොක්‍රටික් සංස්ථාපිතය පවසන දෙයට නොනැමී, පක්ෂ සමගියේ නාමයෙන් ඔවුන්ගේ පොරොන්දු යට ගැසීමට ඉඩ නොතැබීමට අචල අධිෂ්ඨානයකින් සටන් කල යුතු වෙති.” යැයි ග්‍රීන් ලීවා ය.

සවන්ත්ගේ මෑත ප්‍රකාශයත්, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ජාතික කමිටුවේ පෙර ප්‍රකාශයත් කේන්ද්‍රීය අවධාරනය තබන්නේ, සවන්ත් ලියන පරිදි “අපගේ තේරි පත් වූ නියෝජිතයන් කම්කරු පන්තිය සහ නොතකා හැරුනු ප්‍රජාවන් උදෙසා ඓතිහාසික ජයග්‍රහන දිනා ගැනීමට ව්‍යාපාර ගොඩනැගීමට ලීවර වශයෙන් භාවිත කල යුතු” යැයි පවසමින් තම සංවිධානයේ සියැට්ල්හි නගර සභාව තුල වාර්තාවටයි.

සත්‍ය නම් සවන්ත් සියැටල් නගර සභාවේ තම ධුර කාලය තුල දී ඩිමොක්‍රටික් පක්ෂ ශාඛාව සමග සමීප ව වැඩ කර ඇත යන්නයි. 2019 දී, ඇය ඩිමොක්‍රටිකයන්ගේ අනුග්‍රහය සාදරයෙන් පිලිගත්තා ය. ඇගේ මෘදු ප්‍රතිසංස්කරන යෝජනා ඩිමොක්‍රටික් දේශපාලකයන්ගේ නිර්දය ප්‍රහාරයන්ටත් ඇයව නගර සභාවෙන් යලි කැඳවීමට උද්ඝෝෂනය කිරීමටත් හේතූ වූවත්, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් දිගින් දිගට ම යොමුව පවත්වා ගන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ “වාමාංශය” වෙතටයි.

සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සහ “නව” කම්කරු පන්තික පක්ෂයක් සඳහා කැඳවුම

ඩීඑස්ඒ සමග සමීප සබඳතාවක් ගොඩ නගා ගැනීමේ තම උපමාරුවේ දී, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් තර්ක කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂය තුල හිඳිමින් හෝ එයට පිටතින් සිටිමින් එය දේශපාලනික ව හැසිරවීමට තමන්ට සහය විය හැකි බවයි.

“සමාජවාදීන් පැහැදිලි මූලෝපාය සහ උපාය පෙරට නොදැමුවොත්, ඒ වෙනුවට ස්ක්වොඩ් එකේ සහ සෙසු නායකයන් ඩිමොක්‍රටික් පක්ෂය සමග ගැටීමක් වලක්වා ගැනීමේ අරමුනින් දිගින් දිගට ම පැකිලුනොත් අපි පරාද වනු ඇත. ඩොලර් 15ක ජාතික අවම වැටුපකට , සැමට සෞඛ්‍යාරක්ෂනයකට (Medicare for All), සහ ග්‍රීන් නිව් ඩීල් සඳහා බලගතු නිර්භීත ව්‍යාපාරයක් සමාජවාදීන් ගොඩ නොනැගුවොත්, කම්කරු පන්තිය වෙනත් තැනක නායකත්වය සොයනු ඇත.” යයි ඇය ලියන විට සවන්ත් සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සහ ඩිමොක්‍රටික පක්ෂයේ සැබෑ කනස්සල්ල කුමක් දැයි පෙන්වා දෙයි.

එනම්, ඩිමොක්‍රටික් පක්ෂය වටා කැරකෙන ඩීඑස්ඒ, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සහ සෙසු ව්‍යාජ වාම සංවිධාන නව දේශපාලන උගුලක් ඇටවීමට අසමත් වුනොත් කම්කරු පන්තිය විප්ලවවාදී දේශපාලනය වෙතට, එනම් සමාජවාදී සමානතා පක්ෂය දෙසට හැරෙනු ඇත.

සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සැලසුම් කරන නව සංවිධානය වනාහි ඩිමොක්‍රටික් පක්ෂයට බැඳුනු සහ එය විසින් ම ආරම්භකත්වය ගන්නා එකකි.

පසුගිය වසරේ ජූනියේ දී, “නව වාම පක්ෂයකට පෙරමුන ගැනීම” යන මැයෙන් බ්‍රයන් කුලරිස් සහ ජින්ජර් ජෙට්සන් යන අයගේ කර්තෘත්වයෙන් සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් පල කල ප්‍රකාශයක දී තමන් ඩීඑස්ඒ සමග සන්ධානගත ව ගොඩනැගීමට යෝජනා කරන සංවිධානයේ ස්වභාවය දක්වයි.

මෙම ප්‍රකාශය ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති නිලධරයේ කොටස් සමග ඩීඑස්ඒ සහ මූමන්ට් ෆෝ පීපල්ස් පාටි (එම්පීපී - මහජන පක්ෂය සඳහා ව්‍යාපාරය) ඇතුලත් විවිධ “වාම” කන්ඩායම් ගොඩනගා ගන්නා සන්ධානයකට කැඳවුම් කලේ ය. “ඇතැම් කුඩා කන්ඩායම් මෙන් නොව [මේ කියන්නේ සමාජවාදී සමානතා පක්ෂය ගැනයි], මිලියන 330කට අධික පිරිසක් ඉන්නා රටක සමාජවාදී වම 100 000කටත් අඩුවෙන් සිටින තත්ත්වයක දී අපිට ම පමනක් මහජන වාම පක්ෂයක් දියත් කල හැකි වෙතැයි අපි නොසිතමු.” යැයි ඔවුහු ලියති. “මහජන වාම ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුමට සහය දිනා ගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාරය ද ඇතුලු ව තීරනාත්මක ජනකායක් අද්දා ගත හැකි” විවිධ කන්ඩායම් සමග සන්ධානයක් ඒ වෙනුවට ඔවුහු යෝජනා කරති. මෙම ව්‍යාපෘතියට “අප වැනි අදහස් දරන ඩීඑස්ඒ, හරිතයෝ, වර්මන්ට් ප්‍රොග්‍රෙසිව් පාර්ටි, කැලිෆෝනියා ප්‍රොග්‍රෙසිව් ඇලයන්ස් සහ එම්පීපී” වැනි කන්ඩායම් අන්තර්ගත වනු ඇත.

ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට සෝෂලිස්ට් ඕල්ටර්නේටිව්හි කටයුත්ත වනු ඇත්තේ මෙම පුලුල් “බහුජන පක්ෂය” තුල වාම කන්ඩායමක් වශයෙන් ක්‍රියා කිරිමයි. ඔවුහු මෙසේ ලියති: “සෝෂලිස්ට් ඕලටර්නේටිව් නව කම්කරු පන්තික බහුජන පක්ෂයක් පැහැදිලි ව ම ධනේශ්වර විරෝධී සහ පන්ති අරගලයේ ප්‍රවේශයක් ගත යුතු බව ප්‍රකාශ කරන අතරේ ම, පුලුල් පෙල ගැසීමක් තුල එකිනෙකට ගැටෙන අදහස් මෙන් ම මූලෝපායන් ද පැවතිය හැකි ය. ඇතැමුන් සමාජවාදය උදෙසා අවශ්‍යතාව මතු නොකර හුදෙක් මැතිවරන සහ ප්‍රතිසංස්කරන ඉලක්ක කර ගත් ප්‍රවේශයක් ගනු ඇත. මෙම මතවාද ජීවමාන අරගලයක් තුල පරීක්ෂාවට ලක් කරනු වස් එම වෙනස් ප්‍රවනතාවන්ට තම අදහස් වෙනුවෙන් සංවිධානය වීමට නව වාම පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් අවශ්‍ය වනු ඇත.”

සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සිත්හි දරා සිටිනනේ 2015 දී ග්‍රීසියේ දී බලයට පැමිනි සිරිසාවේ (රැඩිකල් වමේ සංවිධානය) මොඩලයයි. කුලරිස් සහ ජෙට්සන් රචනා කල ලිපිය සිරිසාව හැබෑවට සිදු කලේ කුමක් ද යන්න “එය අවසන් වූයේ මහ බැංකුවල ආඥාවන්ට යටත් වෙමින් රුදුරු කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවමින් ග්‍රීක කම්කරු පන්තිය පාවා දෙමිනි.” යනුවෙන් පිලිගනී.

සිරිසා බලයට පත් වූ අවස්ථාවේ දී, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් වෙත සහය පල කරන ග්‍රීක කන්ඩායම වන සෙකිනිමා (Xekinima) සිරිසාවේ ජයග්‍රහනය ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සහ මහජන ව්‍යාපාරයේ පීඩනය යටතේ එය “වමට තල්ලු කිරීමට” හැකි ය යන මිථ්‍යාව ඔජ වැඩුවේ ය.

සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් යෝජනා කරන දෙය ද සිරිසාවේ භූමිකාව ම රඟ දක්වනු ඇතැයි විවේචනයක් එල්ල වෙතැයි බලාපොරොත්තුවෙන් කුලරිස් සහ ජෙට්සන් “සිරිසාවේ ඉරනම සහ එහි නායකත්වය කම්කරු පන්තිය මත පැටවීමට හවුල් වූ පරාජයන් සහ කාලකන්නි බව වලකා ගැනීමට නම්, නව වාම පක්ෂයට පැහැදිලි සමාජවාදී වැඩපිලිවෙලක් සහ පරීක්ෂාවට ලක් වූ මාක්ස්වාදී නායකත්වයක් අවශ්‍ය වෙයි.” යයි ලියති.

නමුත් සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් යෝජනා කරන්නේ එබඳු දෙයක් නම් නොවේ. ඇත්තෙන්ම ජෙට්සන් සහ කුලරිස් පෙර පැහැදිලි කල පරිදි ඔවුන් යෝජනා කරන්නේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් සහ මාක්ස්වාදී නායකත්වයක් සහිත පක්ෂයක් නොව, ඔවුන් පක්ෂපාතී සංරචයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති විවිධ ධනේශ්වර ප්‍රවනතාවන්ගේ “පුලුල් පෙල ගැස්මකි”. සවන්ත් තම ප්‍රකාශය තුල අවධාරනය කරන්නේ තමන් යෝජනා කරන්නේ “සමාජවාදී වමට සීමා නොවුනු කම්කරු පන්තියේ වඩා පුලුල් සංවිධානයක්” බවයි.

ඩිමොක්‍රටික් පක්ෂයට පිටතින් පක්ෂයක් ගොඩ නැගීමට යෝජනා කරන අතරේ ම, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් හි සමස්ත යොමුව ම ඇත්තේ මෙම නව පක්ෂය පිහිටු වීමට මූලිකත්වය ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට පීඩනය දැමීමටයි.

“නිති විමසනු ලබන පැනයක් වන්නේ මෙම නව පක්ෂයට බලවේග පැමිනෙන්නේ කොහෙන් ද කියායි” යයි සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සාමාජික ටොම් ක්‍රීන් නොවැම්බර් 9 වැනි දා ලිවී ය. “අපේ පිලිතුර නම් සෑන්ඩර්ස්ගේ මැතිවරන උද්ඝෝෂනයට සහය පල කල අය අතරින්, ප්‍රගතිශීලි වෘත්තීය සමිති සහ වර්ගවාදයට, ස්ත්‍රී පුරුෂ බව මත පදනම්ව කෙරෙන වෙනස්කම්වලට එරෙහි සහ දේශගුන ව්‍යසනයන්ට එරෙහි තරුනයන් අතරින් මේ සඳහා දැවැන්ත විභව අවකාශයක සහය පවතින බවයි.”

කෙසේ නමුත්, ක්‍රීන් අවධාරනය කරන්නේ එ බඳු පක්ෂයක් ජීවමාන වීමට නම් “එය දියත් කිරීමට ජනප්‍රිය පුද්ගලයන් සහ සංවිධාන අවශ්‍ය වනු ඇති බවයි”. එනම්, ඩිමොක්‍රටික් පක්ෂය ම වෘත්තීය සමිතිවල කන්ඩායමක් ද සමගින් එය දියත් කරනු ඇති බවයි.

“එක්සත් ජනපදයේ වම සතු ව සෑන්ඩර්ස්, ඔකෑසියෝ කෝර්ටෙස් සහ අලුතින් තේරී පත් වූ මිසුරියේ කොන්ග්‍රස් සභික කෝරි බුෂ් වැනි ජනප්‍රිය චරිත සිටිති. අපට අවශ්‍ය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රතිසංස්කරනය කල නොහැකි ය යන නිගමනය උකහා ගත් ඔවුන්ගේ ආධාරකරුවන් ලවා ඔවුන් ද ඒ ගැන ඒත්තු ගන්වා ගැනීමයි. දැනටමත් මෙ බඳු ගමනක් අරඹා ඇති කෝර්නෙල් වෙස්ට්, අවර් රෙවලූෂන් සංවිධානයේ නිනා ටර්නර් සහ නැෂනල් නර්සස් යුනයිටඩ් හි හිටපු සභාපති රෝස් ඈන්ඩිමොරෝ යන අයට අප ආචාරය පුද කරමු. පසුගිය වසරවල දී සාමාජිකත්වය 70 000ක් දක්වා ඉහල නංවා ගෙන ඇති සහ නව කම්කරු පක්ෂයක් ගොඩනැගීමට සහය දැක්වීමට පෙනෙන හැටියට කැප වී සිටින ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා මෙම ප්‍රයත්නය තම මූලික කටයුත්තක් බවට පත් කර ගැනීම අපට අවශ්‍ය වේ.”

වෙන වචනවලින් කිවහොත්, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ඩිමොක්‍රටික් පක්ෂයට ම විරුද්ධ බවක් පෙන්වන නව පක්ෂයක් ගොඩ නැගීමට ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලකයන්ට ආරාධනා කරයි. සෑන්ඩර්ස්, ඔකෑසියෝ කෝර්ටෙස්, බුෂ්, වෙස්ට්, ටර්නර් සහ ඩිමොරෝ ආදී සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සඳහන් කල සෑම චරිතයක් ම ඩිමොක්‍රටික් පක්ෂය තුල දිගුකාලීන ක්‍රියාකාරීන් වන අතර ඒ සියලු ම දෙනා 2020 ජනාධිපතිවරනයේ දී බිඩෙන්ට ඡන්දය දෙන්න යැයි උද්ඝෝෂනයේ යෙදුනාහ.

සෑන්ඩර්ස්ගේ “අවර් රෙවලූෂන්” (අපේ විප්ලවය) සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන නික් බ්‍රැනා පෙරමුන ගත් “මූමන්ට් ෆෝ අ පීපල්ස් පාටි” (ජනතාවගේ පක්ෂයක් සඳහා සංවිධානය) කැඳවුමට සහය පල කල අය අතර 2020 ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සමුලු කමිටුවේ සාමාජිකයෙකු වන ටර්නර් සහ වෙස්ට් සිටිති.

පසුගිය වසරේ අගෝස්තුවේ දී එම්පීපීය දියත් කරනු ලැබූ “ජනතාවගේ සමුලුවේ” අවස්ථාවේ දී ලෝසවෙඅ මෙ ලෙස සටහන් කලේ ය: “‘ඇතැම් ප්‍රගතීශීලීන්ට #DemExit (ඩිමොක්‍රටික් පක්ෂයෙන් නික්ම යාම) අවශ්‍ය කෙරුනත් ඇතැම් ප්‍රගතිශීලීන් කල්පනා කරන්නේ ‘මේක මගේ පක්ෂය, අපි කෑ ගැහුවත් දිගට ම පක්ෂයේ රැඳෙමින් එය ඉදිරියට තල්ලු කරන්න වැඩ කරනවා’ යනුවෙන්’ යයි ටර්නර් සමුලුවට මත්තෙන් සඳහන් කරද්දී එය එම්පීපීයේ මූලික දේශපාලනික දිශාවනතිය පැහැදිලි කලේ ය. මේ ඉදිරි දර්ශන දෙක ‘සමාන්තරයි සහ අවසාන අරමුන එකක්’ යනුවෙන් ඇය සඳහන් කරයි. වෙනත් වචනවලින් පවසතොත් එම්පීපීය ගොඩ නැගීමට එක් වන අය මෙන් ම දිගට ම ඩිමොක්‍රටික් පක්ෂය තුල රැඳී සිටීමට තීරනය කරන අයත් යන දෙ කොටසම නියෝජනය කරන්නේ එක ම මූලෝපායක් සහ ඉදිරි දර්ශනයකි.”

ඩීඑස්ඒ සමග සන්ධානයක් ගොඩනැගීමට සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් කරන යෝජනාව සම්බන්ධයෙන් ද කිව හැක්කේ මේ දෙයමයි.

ජාත්‍යන්තර සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සංවිධානයේ ධනේශ්වර දේශපාලනය

මොනයම් හෝ ‘වාම’ ව්‍යාපාරයක් සමග ජාතිකවාදී සංවිධානවලට හවුල් අටවා ගැනීමට උදවු කරන ජාත්‍යන්තර සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සංවිධානය [අයිඑස්ඒ, පෙර කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව - කමිටි ෆො අ වර්කර්ස් ඉන්ටර්නැෂනල් (සීඩබ්අයි)] ගෙන යන පුලුල් මූලෝපායක කොටසකි, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ඩීඑස්ඒ සංවිධානයට ඇතුලු වීම.

2020 දෙසැම්බර් සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ජාතික කමිටුවේ ප්‍රකාශය අයිඑස්ඒ සංවිධානයේ වෙනත් රටවල ජාතික ශාඛාවන්ගේ උපමාරු කෙරෙහි ද අවධානය යොමු කරයි. “අපගේ ම මාක්ස්වාදී දේශපාලනය විවෘතවත් අවංකවත් පෙරට දමන අතරේ ම, අපි ලෝකය පුරා නව පුලුල් වාම ව්‍යාපාර ගොඩනැගීමට උදවු කර ඇත්තෙමු.” යයි එය සඳහන් කරයි. එය සඳහන් කරන උදාහරන අතර බ්‍රසීල ලිබෙර්ඩේඩ්, Socialismo e Revolução (නිදහස, සමාජවාදය සහ විප්ලවය - එල්එස්ආර්) සහ ජර්මානු සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් වෙයි.

එල්එස්ආර්හි පුරෝගාමීන් 2003 දී බ්‍රසීල කම්කරු පක්ෂයෙන් සාමාජිකයන් පිරිසක් නෙරපීමෙන් පසු ගොඩනගන ලද ව්‍යාජ වාම සන්ධානයක් වන Partido Socialismo e Liberdade (සමාජවාදයේ සහ විමුක්තියේ පක්ෂය - පීඑස්ඕඑල්) ගොඩ නැගීමට ආධාර කලහ. පීඑස්ඕඑල් යනු එල්එස්ආර්, ඉන්ටර්නැෂනල් මාක්සිස්ට් ටෙන්ඩන්සි සාමාජික Esquerda Marxista, මොරෝන්වාදී Resistência සහ යටත් පිරිසෙයින් තවත් පැබ්ලෝවාදී සහ මොරෝන්වාදී කල්ලි පහක්වත් අඩංගු විවිධ ව්‍යාජ වාම ප්‍රවනතාවල පුලුල් සංවිධානයකි. ඔවුන් සියලු දෙනාගේ ම පොදු ලක්ෂනය වන්නේ කම්කරු පක්ෂය ගැන ඇති මුලාවන් පහ ව යාම නැවතත් ධනේශ්වර දේශපාලනයේ රාමුව තුලට හරවා යැවීමයි.

2002 ජනාධිපතිවරනයට මත්තෙන් මෙම සියලු ම ප්‍රවනතා කම්කරු පක්ෂය කම්කරු පන්තියේ හඬ වශයෙන් ඔජ වැඩූහ. නමුත්, ලූලා ද සිල්වා දක්ෂිනාංශික කප්පාදු ප්‍රතිපත්තීන් ක්‍රියාවට දැමීම කම්කරු පන්තිය තුල ගැඹුරු විරෝධයක් අවුලුවා ලූයේ පීඑස්ඕඑල් සහ එහි සගයන්ට කම්කරු පක්ෂයේ බාහිර “වාම පාර්ශ්වයක” භූමිකාව සාරාත්මක වශයෙන් රඟ දැක්වීමට නව සංවිධානයක් ගොඩනැගීමට බල කරමිනි.

පීඑස්එල්ඕවේ තත්‍ය ස්වභාවය එහි මෑතකාලීන මැතිවරන උද්ඝෝෂනයෙන් එලිමහනට කැඳවයි. එය රට පුරා නාගරික මැතිවරනවල දී ජාතිකවාදය, මිලිටරීකරනය සහ ධනේශ්වර දේශපාලකයන් සමග හවුල් වීම උඩ මැතිවරන උද්ඝෝෂනය ගෙන ගිය මිලිටරි සහ පොලිස් අපේක්ෂකයන් 26 දෙනෙකු ඉදිරිපත් කලේ ය. පීඑස්ඕඑල් සාඕ පඔලෝ නගරාධිපති අපේක්ෂක ගුල්හර්ම් බූලෝස් නගරයේ පොලිස් වෘත්තීය සමිතිය සමග රැස්වීමක දී 2 000ක් තවත් නිලධාරීන් බඳවා ගැනීමට තමන්ගේ ඇති අරමුනු ප්‍රකාශයට පත් කලේ ය. මෙම පදනම පැවතිය දී ම, එල්එස්ආර් සහ ඩීඑස්ඒට අනුබද්ධ ජැකොබින් ප්‍රකාශනය ඇතුලු සමස්ත ව්‍යාජ වම ම ඔහුගේ මැතිවරන ව්‍යාපාරය උත්කර්ෂයට නැංවූහ.

හිටපු ස්ටැලින්වාදීන්ගේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ඒකාබද්ධයකින් 2007 දී ගොඩනැගූ වාම පක්ෂයට (Die Linke) ආධාර වෙමින් ජර්මානු සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් තම කටයුත්ත ඉටු කර ඇත. 2010 දී, ජර්මානු ශාඛාවේ ඉදිරිපෙල චරිතවලට වසර දෙකක් තිස්සේ උත්සහ දැරීමෙන් පසු වාම පක්ෂයේ පූර්න සාමාජිකත්වය ලබා ගැනීමට අවකාශ ලැබුනි. මෙම ඇතුලත් වීමේ දී සාමාජිකයෝ “දශක ගනනාවකට පසු ගැඹුරුත ම ධනේශ්වර අර්බුදය දිග හැරෙද්දී ඉදිරියට සමාජවාදී මාවතක් පෙන්වා දීමටත්, ජර්මානු ආන්ඩුවට සහ හාම්පුතුන්ට එරෙහි ප්‍රතිරෝධය දේශපාලනික ව ශක්තිමත් කිරීමටත් වාම පක්ෂය වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇතැයි යන්න අප ඒත්තු ගෙන සිටින නිසාවෙන් අපි මෙම පක්ෂයට ඇතුලත් වුනෙමු.” යයි ප්‍රකාශ කලහ.

ජර්මානු ශාඛාව වාම පක්ෂය අව්‍යාජ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමට තල්ලු කරන බව පවසද්දී, වාම පක්ෂය ජර්මානු අධිරාජ්‍යවාදයේ සහ ධනවාදයේ විශ්වාසදායක ආරක්ෂකයන් ලෙස තහවුරු වී ඇත. එය 2008, 2010 සංගත ඇප දීම්වලට සහය ලබා දුන්නේ ය, යුරෝපා සංගමයට සහය පල කලේ ය, තමන්ට බලය තිබුනු බර්ලිනයේ කප්පාදු පැකේජ ක්‍රියාවට දැම්මේ ය, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කල ප්‍රහාර අනුමත කලේ ය. මෑතක දී, වාම පක්ෂය නේටෝ සහ ජර්මානු යුද සැලසුම්වලට තම පූර්න සහයෝගය ලබා දුන්නේ හරිත පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) සමග විභව ෆෙඩරල් ආන්ඩු සන්ධානයකට එක් වීමේ තම සූදානම් වීම්වල කොටසක් වශයෙනි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සහ යුරෝපීය පාලක පන්තියේ මාරාන්තික ප්‍රතිචාරය මධ්‍යයේ වාම පක්ෂය මැයි මාසයේ දී සංගතවලට පෞද්ගලික ලාභ උපද්දා ගැනීම නැවත පටන් ගැනීමට කම්කරුවන් අනාරක්ෂිත කොන්දේසි යටතේ නැවත වැඩට දැක්කීමේ ප්‍රතිපත්තියට සහය ලබා දුන්නේ ය.

ජාත්‍යන්තර සෝෂලිස්ට් ඕල්ටර්නේටිව්හි ඉදිරි දර්ශනය එම සංවිධානයේ 2020 පෙබරවාරි ලෝක ඉදිරිදර්ශන ලියවිල්ලේ කැටි කොට දක්වයි. 2019 දී කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ භේදයෙන් පසු ව පල කෙරුනු ප්‍රථම ඉදිරිදර්ශනාත්මක ලේඛනය මෙයයි. ජාත්‍යන්තර නායකත්වය මෙසේ ලියයි: “ආන්ඩු බලයට ලං වන තරමට නව වාම පෙලගැසීම් සහ චරිත පාලක පන්තියේ කැමැත්තට නැමීමට දැවැන්ත පීඩනයකට මුහුන දෙනු ඇත. එ මෙන් ම, ඔවුන් සිතා ගෙන ඉන්නවාට වඩා වැඩි දුරක් යාමට සිදු වන පහල සිට එල්ල වන පීඩනයකට ද මුහුන දෙනු ඇත.”

“මෙම ප්‍රතිඝතිතතාව ජය ගැනීමට කම්කරු පන්තිය තුල අධිකාරී බලයක් සහිත පැහැදිලි විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය කෙරේ” යනුවෙන් තමන්ව ම පෙන්වා ගනිමින් ලියවිල්ල ඉදිරියට යයි. “මෙය පැහැදිලි කරවන්නේ අපේ යුගයේ කේන්ද්‍රීය කර්තව්‍යයයි. එනම්, අපේ බලවේග ගොඩනගා ගැනීමටයි. ඒ අතරේ ම, අපි කම්කරුවන්ගේ ව්‍යාපාරය, වෘත්තීය සමිති, වෘත්තීය සමිති වාමාංශය සහ නව වමේ පක්ෂ යලි ගොඩ නැගීමේ යෙදී ගන්නෙමු.”

ලොව පුරා අයිඑස්ඒ කන්ඩායම් ක්‍රියාවෙන් පෙන්වා ඇති ආකාරයට “මෙම ප්‍රතිඝතිතතාවන් ජය ගැනීම” යනු තමන්ව ම මහජන කෝපය සහ ප්‍රතිරෝධය රඳවා ගැනීමට ගොඩනගන මොන යම් හෝ ධනේශ්වර “වාම” පෙල ගැසීමකට දිය කර හැර දැමීමමයි.

නිගමන

වර්තමාන අයිඑස්ඒ ශාඛාවන්ගේ ප්‍රතිගාමී භූමිකාව ඍජු ව ම ගලා එන්නේ එහි ඓතිහාසික ප්‍රභවයෙන් සහ වර්ධනයෙනි. 1974 දී සීඩබ්අයි ගොඩ නැගීමට සහයෝගී වූ ටෙඩ් ග්‍රාන්ට් තම ආස්ථානයන් වර්ධනය කර ගත්තේ හතර වැනි ජාත්‍යන්තරයේ අතිමූලික මූලධර්මයන්ට එරෙහි ව පැබ්ලෝවාදී අවස්ථාවාදය සමග පෙල ගැසෙමිනි. ධනේශ්වර දේශපාලන රාමුව වඩ වඩාත් දකුනට ගමන් කර ඇති තත්ත්වයක දී, සීඩබ්අයි-සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් වැනි ව්‍යාජ වාම ප්‍රවනතා ද ඊට අනුරූපි ව දකුනට විස්ථාපනය ව ඇත. ඔවුන් තමන් ව ම ස්ථානගත කරන්නේ දක්ෂිනාංශික දේශපාලන සංස්ථාවක “වාමාංශය” වශයෙනි.

දැන් සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ඩීඑස්ඒ සමග වඩාත් සමීප සබඳතාවක් ගොඩනගා ගැනීමට ගෙන ඇති පියවර ඇමරිකාවේ පෙර නුවූ විරූ දේශපාලන අර්බුදයට ප්‍රතිචාර දැක්වීමකි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ධනවාදයේ සැබෑ ස්වරූපය පැහැදිලි ව එලිදරවු කර ඇත. පාලක පන්තියේ ප්‍රතිචාරය ඇමරිකාව තුල පමනක් මරන 500 000කට අධික ප්‍රමානයකට වග කියයි. පෙර නුවූ විරූ පරිමානයේ ධනවතුන්ට ඇප දීම් සඳහා වසංගතය අවභාවිතා වන අතරේ මිලියන සංඛ්‍යාත ජනතාවක් විරැකියාවට පත් ව දරිද්‍රතාවයට, කුසගින්නට සහ නවාතැනින් දොට්ට වැටීමට මුහුන දී සිටිති. වසංගතයට පෙර පටන් ම කම්කරුවන් සහ තරුන ජනතාව අතරේ පුලුල් දේශපාලන රැඩිකලීකරනයක් විය. සමීක්ෂන සමාජවාදයට වැඩෙන සහයෝගයත් ධනවාදයට සහ ධනපති පක්ෂ දෙකට එරෙහි ව වැඩෙන විරෝධයත් දිගින් දිගට ම පෙන්වා දී ඇත.

තව තවත් දකුනට යමින් සහ ආඥාදායක පාලන රූපයන්ට සූදානම් වෙමින් පාලක පන්තිය ඊට ප්‍රතිචාර දක්වා ඇත. ජනාධිපතිවරන ප්‍රතිඵල පසෙකට දමා ජනාධිපති ආඥාදායකත්වයක් පිහිටු වීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 06 වැනි දා ෆැසිස්ට් කුමන්ත්‍රනයක් අවුලුවා එයට නායකත්වය සැපයී ය. ට්‍රම්ප්ගේ මැර කල්ලිවලට සාර්ථක වීමට නොහැකි වුනත්, ඔවුන්ට ෆෙඩරල් පොලිසියේ ඉහල ම තැන්වලින්, මිලිටරි නිලධාරීන් අතරින් සහ රිපබ්ලිකන් පක්ෂයේ සැලකිය යුතු කොටසකින් සහයෝගය ලැබුනි.

ජනවාරි 6 වැනි දා සිද්ධීන් අවතක්සේරු කරමින් සහ රිපබ්ලිකන් පක්ෂය ආරක්ෂා කරමින් දැන් බිඩෙන් කප්පාදුවේ, යුද්ධයේ සහ ට්‍රම්ප්ගේ මාරාන්තික කොවිඩ්-19 ප්‍රතිපත්තිය පෙරට ගෙන යන දක්ෂිනාංශික ආන්ඩුවකට නායකත්වය සපයයි. ඩිමොක්‍රටිකයන් යනු සමාජ ප්‍රතිසංස්කරනයේ කාරකයන් බවත් ඒ අනුව බිඩෙන් පරිපාලනය වමට තල්ලු කල හැකි බවටත් සෑන්ඩර්ස්, ඔකෑසියෝ කෝර්ටෙස් සහ ඩීඑස්ඒ ඔජ වඩන මිථ්‍යාව නව ආන්ඩුවේ පලමු සති කීපය තුල දී ම එලිදරවු ව ගොස් ඇත.

ආසන්න වශයෙන් වසර 200ක් පුරාවට විවිධ අවධීන්වල දී පන්ති අරගලය සීමා කොට තබා ගත් ද්වි පක්ෂ ක්‍රමය ආන්තික අර්බුදයකට ගොස් ඇත.

මෙම තත්ත්වයන් යටතේ, පාලක පන්තියට අලුත් උගුල් ඇටවීමට සිදු වෙයි. “නව පක්ෂයක්” සඳහා කැඳවුම් කරන්නේ එබැවිනි. සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් ඩීඑස්ඒ තුලට ඇතුලු වීම මෙම නව උගුල ඇටවීම සඳහා වුවමනා කෙරෙතැයි ඔවුන් බලාපොරොත්තු වන සියලු බලවේග ඒකරාශී කර ගැනීමකට අවකාශ සලසනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයක් නියෝජනය කරන මොවුහු ධනේශ්වර දේශපාලනය නම් වේල්ලේ පුපුරා ගිය තැන් වසා දැමීමට යුහුසුලු වන්නේ ඊට සන්තෝෂම් වසයෙන් කොංග්‍රසයේ හෝ පලාත් පාලන ආයතනවල අසුන්, සම්පත්වලට වලට ප්‍රවේශය සහ ඒඑෆ්එල්-සීඅයිඕ වැනි වෘත්තීය සමිති මෙවලම්වල තනතුරු බලාපොරොත්තුවෙනි.

ඔවුන්ගේ තර්කය නම්: කම්කරු පන්තියේ සමාජ විරෝධය වැලැක්විය නොහැකි ය. උදම් රල පහරක් මෙන් එය ද්වි පක්ෂ ක්‍රමය සුනු විසුනු කොට දමනු ඇත. එය සිදු වීමට මත්තනේ, අපි එම උදම් රල පහර දරා ගත හැකි විශාලත ම නව “වාම” පක්ෂයක් ගොඩනගමු. එසේ නොවුවහොත් දෙයියන්ට ම ඔප්පු වෙච්චාවේ! කම්කරුවෝ සමාජවාදී සමානතා පක්ෂයටත් හතර වැනි ජාතයන්තරයේ ජාත්‍යන්තර කමිටුව දෙසටත් හැරෙනු ඇත.”

Loading