ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු පරාජය හමුවේ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තැතිගත් ප්‍රතිචාරයක් දක්වයි

පසුගිය 15 වනදා ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර ඉස්ලාම් මූලධර්මවාදී තලිබාන් සටන් කරුවන් අතට පත්වීම මගින්, එරට 20 වසරක සාපරාධී ඇමරිකානු ආක්‍රමනය අන්ත පරාජයකට ලක්විය. ජනාධිපති අෂ්රෆ් ඝානිගේ ඇමරිකානු රූකඩ ආන්ඩුව සටනකින් තොරවම බලයෙන් ඉවත්වූ අතර, ඇමරිකානු අනුග්‍රහය ලද ඇෆ්ඝනිස්තාන රාජ්‍ය හමුදාව, ආයුධ හා උපකරනමත් සමග තලිබාන් සටන් කරුවන්ට යටත් විය.

2021 අගෝස්තු 9 වන දින උතුරු ඇෆ්ඝනිස්තානයේ කුන්දුස් නගරයේ තලේබාන් සංවිධානය (ඒපී ඡායාරූපය/ අබ්දුල්ලා සාහිල්)

ඇමරිකානු හමුදා අගෝස්තු 31 දා වනවිට ඇෆ්ඝනිස්තානයෙන් සම්පූර්නයෙන් ඉවත් වන බවට නිවේදනය කර ඇත. මෙම තත්වය හමුවේ දස දහස් ගනනින් රටින් ඉවත් වෙමින් ඇති විදේශිකයෝ හා ඇෆ්ඝන් වැසියෝ, බෝම්බ ප්‍රහාර ඇතුලු බරපතල අනතුරු වලට නිරාවරනය වී සිටිති.

100,000 ආසන්න සිවිල් වැසියන් හා එපමනම වූ සටන්කරුවන් මරනයට පත්කරමින්, තවත් මිලියන ගනනක් අවතැන් කරමින් ඇදීගිය වොෂින්ටනයේ ඇෆ්ඝන් ආක්‍රමනය, සමස්ත දකුනු හා මධ්‍යම ආසියාතික කලාපය පුරාම දුරදිගයන බලපෑම් ඇතිකල එකකි. එලෙසම තලිබාන් වරුන් යලි බලයට පත්වීමද කලාපයේ අස්ථාවරත්වය තවත් උග්‍ර කරනු ඇත.

ඇමරිකාවේ මේ පරාජය ශ්‍රී ලංකාවද ඇතුලුව දකුනු ආසියාවේ සියලු ධනපති පාලක පන්තීන් කම්පනයට පත්කර තිබේ. තලිබාන් පාලනය සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදීන්ගේ අවසන් ප්‍රතිචාරය කුමක් වේදැයි ලංකාවේ දේශපාලන සංස්ථාපිතය චකිතයෙන් බලා සිටියද, වොෂින්ටනය හා නේටෝ (NATO) බලවතුන්ට අවශ්‍ය ඕනෑම විටක යලි ඇෆ්ඝනිස්තානයට මැදිහත්වීමේ පසුබිම සකසමින් “මානව හිමිකම් අධිරාජ්‍යවාදයට” සහාය දෙන ප්‍රකාශ නිකුත් කිරීමට ඔවුන් පරිස්සම් වී ඇත.

අගෝස්තු 23 දා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය නිකුත් කල ප්‍රකාශයක් මගින් “නීතිය හා සාමය යලි ස්ථාවර කරගන්නා ලෙසත්, ඇෆ්ගන් ජනතාවගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කරන ලෙසත්” තලිබාන් පාලනයට අවධාරනය කර තිබුනි. මේ අතර, “සියලු විදේශිකයින්ට ක්ෂමාව ප්‍රදානය කොට හිරිහැර නොකිරීමට” තලිබානය ගෙන ඇති තීරනය අගය කරන අතර , එම පොරොන්දුව දිගටම රැකීමට ඔවුන් කැප වන ලෙසද ප්‍රකාශයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවද ඇතුලු දකුනු ආසියාවේ කිසිදු රටක් තවමත් නිලවශයෙන් තලිබාන් පාලනය පිලිගෙන නැත. නමුත් තලිබාන්වරුන් සමග සමීප හිතවත්කම් ඇති ශ්‍රී ලංකාවේ පකිස්තාන තානාපති මොහොමඩ් සාද් කටක්, ශ්‍රී ලංකා විදේශ ඇමති ජීඑල්. පීරිස් හමුවී, තලිබාන්වරුන් “විදේශිකයින්ගේ ආරක්ෂාව” හා “කාන්තා හා ලමා අයිතිවාසිකම්” තහවුරු කිරීමට පොරොන්දු වී ඇති බව දන්වා තිබේ.

දකුනු ආසියාව තුල වොෂින්ටනයේ ප්‍රධානම නියෝජිතයෙකු වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ආන්ඩුවට අනතුරු අඟවා තිබුනේ තලිබාන් පාලනය යටතේ ඇෆ්ඝනිස්තානය යලි ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය හැකි බවයි. එබැවින් “තලිබාන් පාලන තන්ත්‍රය පිලිගැනීමට ඉක්මන් නොවන” ලෙසත් “ශ්‍රී ලාංකිකයන් ඇෆ්ඝනිස්තානයට යාම වහාම නතරකරන” ලෙසත් ඔහු ඉල්ලා සිටි. “බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කල තලිබාන්වරුන්ගේ පාලනය පිලිගැනීම සමස්ත දකුනු ආසියාතික කලාපයටම තර්ජනයක් වී ඇති [ඉස්ලාමීය] ත්‍රස්තවාදයට සහය දීමක් වියහැකි” බවත් ඔහු ප්‍රකාශ කලේය.

අධිරාජ්‍යවාදීන් ආරක්ෂා කරමින් පමනක් නොව ලංකාවේ මුස්ලිම් විරෝධී සිංහල-බෞද්ධ වර්ගවාදයටද ආමන්ත්‍රනය කරමින් සිදුකර ඇති මේ ප්‍රකාශය, ප්‍රධාන ධනපති පුවත්පත් මගින්ද අනුමත කෙරිනි. ද අයිලන්ඩ් පුවත්පත තම කතුවැකියකින් ප්‍ර‍කාශ කර තිබුනේ, “ලංකාවේ ත්‍රස්තවාදීන් හා විදේශීය ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් වික්‍රමසිංහ දෙබිඩි පිලිවෙතක් අනුගමනය කලත්”, තලිබාන් පාලනය යටතේ කලාපය තුල ඉස්ලාමිය ත්‍රස්තවාදය වැඩිය හැකි බවට ඔහු කරන අනතුරු ඇඟවීම නිවැරදි බවයි. කතුවැකිය තව දුරටත් ප්‍රකාශ කලේ “ඇමරිකාව තලිබාන් පාලනයට ඉඩදී ඔවුන් සමග සාකච්ඡා වලට එලැඹීම ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය යුක්තියුක්ත කිරීමක් බවයි.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයද (සජබය), වික්‍රමසිංහ හා සමාන ආස්ථානයකින් යුත් නිවේදනයක් නිකුත් කර තිබිනි. ඇෆ්ඝනිස්තානයේ තත්වය පිලිබඳ තම උත්සුකය පලකරන සජබය, තලිබාන් පාලනයෙන් මිදීමට එරටින් පලා එන “සියලු සරනාගතයින්ගේ රැකවරන-පැතීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස” ආන්ඩුවෙන් ඉල්ලා තිබිනි.

ජනතා විමුක්ති පෙරමුන ඇෆ්ඝනිස්තානයේ තත්වය පිලිබඳ නිල ප්‍රකාශයක් සිදුකර නැතත්, එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ “යූ-ටර්න්” සාකච්ඡා වැඩසටහනට සහභාගී වෙමින්, “මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බරපතල පරාජයක්” වුවත්, “තලිබාන් ජයග්‍රහනය මගින් කලාපයේ ඉස්ලාමිය අන්තවාදය හිස එසවීමේ” තර්ජනයක් ඇති බව ප්‍රකාශ කලේය.

ඉන්දියාවේ ග්‍රහනයේ පවතින, “දකුනු ආසියාතික සහයෝගිතා සංවිධානයෙන් (සාක්) තලිබාන්වරුන් ඉවත් නොවනු ඇතැයි තමා බලාපොරොත්තු” වන බවත්, එමගින් අන්තවාදයේ අනතුරු යම් පමනකට හෝ අඩුවනු ඇති බවත් රත්නායක තවදුරටත් පැවසීය. තම බොරු වාම වෙස් ගැනීම ආරක්ෂා කරගැනීමට ඔහු අවසානයේදී පවසුවේ, ඇෆ්ඝනිස්තානය වැනි දිලිඳු රට වලට අධිරාජ්‍යවාදයත්, අන්තවාදයත් එක ලෙස විනාශකාරී බවත්, “එය පරාජය කල හැක්කේ වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී පුලුල් මහජන ව්‍යාපාරයකින්” බවයි.

ධනපති සංස්ථාපිතයේ මේ සියලු නියෝජිතයින්ගේ ප්‍රකාශ වලින් පෙනී යන්නේ ඔවුන්ගේ පතුලක් නැති අධිරාජ්‍ය ගැති බවයි. දකුනු ආසියානු කලාපය අස්ථාවර කර, එය ආක්‍රමනකාරී යුද්ධ, රාජ්‍ය ත්‍රස්තවාදය හා ආගමික හා වාර්ගික ගැටුම් වල ගිනි කන්දක් බවට පත් කර ඇත්තේ, තලිබාන්වරුන් හෝ වෙනත් මුස්ලිම් අන්තවාදී කල්ලි විසින් නොව, ඇමරිකානු හා නේටෝ අධිරාජ්‍යවාදීන් විසිනි.

2001 වසරේ සැප්තැම්බර් 11, නිව්යෝර්ක් හි ලෝක වෙලඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය විසින් එල්ල කල ප්‍රහාරය මුල් කරගනිමින් ඇමරිකානු හා නේටෝ හමුදා ඇෆ්ඝනිස්තානය ආක්‍රමනය කරන විට එයට ලංකාවද ඇතුලු කලාපයේ සියලු රටවල ධනපති පාලක පන්තීන්ගේ සහාය හිමි විය. එවකට ඇෆ්ඝනිස්තානයේ වැඩි ප්‍රදේශයක බලය හිමිකරගෙන සිටි තලිබාන් සංවිධානය විසින් අල් කයිඩා සංවිධානය ආරක්ෂා කරන්නේය යන්න ආක්‍රමනය යුක්තියුක්ත කිරීමට වොෂින්ටනය දැක්වූ බොරු හේතුවයි.

නමුත් සත්‍ය නම්, 1980 ගනන් වල ඇෆ්ඝනිස්තානයේ රැඳී සිටි සෝවියට් සංගමයේ හමුදා වලට එරෙහිව අල් කයිඩා සංවිධානය පුහුනුකර හදා වඩා ගත්තේත්, 1996 දී තවත් ඉස්ලාමිය අන්තවාදී කල්ලියක්වූ තලිබානයට රටේ වැඩි කොටසක් යටත් කර ගැනීමට අනුග්‍රහය ලබා දුන්නෙත් වොෂින්ටනය මගින් වීමයි.

ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ලෙස හැඳින්වුවත්, 2001 ඇමරිකානු ආක්‍රමනය කුමන අයුරකින්වත් ත්‍රස්තවාදයට හෝ ඉස්ලාමිය අන්තවාදයට එරෙහිව සිදුකල එකක් නොවේ. එය, 1991 සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසු, මධ්‍යම ආසියාවේ තෙල් හා ගෑස් බිම් වලට ප්‍රවේශ ද්වාරයක් වන ඇෆ්ඝනිස්තානය තම ඍජු මිලිටරි ග්‍රහනයට ගැනීමට ගෙන ගිය වැඩ පිලිවෙලකි.

2001 ආක්‍රමනය ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ හා දේශපාලන පක්ෂ වල දිශානතියේ හා වාග්මාලා වලද ප්‍රගාඪ වෙනසක් ඇතිකල එකකි . එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංග, තම පක්ෂය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) එතෙක් නාමමාත්‍රිකව හෝ පෙනී සිටි “නොබැඳි පිලිවෙත” සම්පූර්නයෙන්ම ඉවතලා, ඇෆ්ගන් යුද්ධයට සහය දැක්වූ අතර ඒ වන විට පාර්ලිමේන්තුවේ බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව හා අගමැති වික්‍රමසිංහ ද මේ පිලිවෙත යුහුසුලුව ශක්තිමත් කලහ.

කුමාරතුංගගේ සභාග සහකරුවන් වූ ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යන පැරනි වාමාංශික පක්ෂ තම අධිරාජ්‍ය විරෝධී සටන් වල ඉතිහාසයට තිබූ අවසන් සම්බන්ධයද බිඳිමින්, ආන්ඩුවේ පිලිවෙතට සහය දුන්හ. ඒ වනවිට සුලුධනේශ්වර පක්ෂයක සිට, ධනපති පක්ෂයක් බවට පරිවර්තනයවී තිබූ ජනතා විමුක්ති පෙරමුන, බොරු වාම මුහුනුවරක් පෙන්වීමට තමන් එතෙක් භාවිතා කල “ඇමරිකානු විරෝධී” වාචාලකම් උනා තබා, “ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිර බලවතුන් යොදා ගත යුතුය” යන කුතර්කය ගෙන ආවේය.

පාලක පන්තියේ ප්‍රධාන අවශ්‍යතාවක් වූයේ, වොෂින්ටනයේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” තර්ජනය පාවිච්චි කරමින්, එවකට තමන් හා ලේවැකි යුද්ධයක පැටලී සිටි එල්ටීටිඊය දනගස්වා, කොලඹ පාලන තන්ත්‍රයේ කනිෂ්ට සහකරුවෙකු බවට ඔවුන් පත්කර ගැනීමයි. එය අසාර්ථක වූ කල, අධිරාජ්‍යවාදීන්ගේ හා කලාපීය බලවතුන්ගේ සියලු සහයෝහය සහිතව ජන ඝාතක ප්‍රහාරයක් මගින් 2009 දී එල්ටීටීඊය මිලිටරිමයව පරාජය කරන ලදී.

ඇෆ්ඝනිස්තානය තුල මිලිටරි බලයෙන් තම රූකඩ ආන්ඩුවක් පිහිටුවීමේ වොෂින්ටනයේ මෙහෙයුම 20 වසරකට පසු, සම්පූර්නයෙන්ම පරාජය වී ඇතත්, කලාපයේ ධනපති පාලක පන්ති තවතවත් දකුනට ඇදී අධිරාජ්‍යවාදයේ බඩගැත්තරයන් බවට පත්වී සිටිති. වොෂින්ටයේ ඊනියා “ත්‍රස්ත විරෝධි” මෙහෙයුම්, දැන් රුසියාවට හා චීනයට එරෙහි ඍජු යුද සූදානමක් බවට පත්වී, න්‍යෂ්ටික තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය මතුකරමින් තිබේ.

මේ වන විට දකුනු ආසියාවේ රටවල් බහුතරයක බලයේ සිටින ආඥාදායක හා වර්ගවාදී ආන්ඩු මේ යුද මෙහෙයුම් වලට වේගයෙන් අන්තර්ග්‍රහනය වෙමින් ඇත. විශේෂයෙන්ම හින්දු ස්වෝත්තමවාදී නරේන්ද්‍ර මෝදි ආන්ඩුව, වොෂින්ටනය චීනයට විරුද්ධව සිදු කරමින් යන ආර්ථික හා මිලිටරි වටලෑමේ පෙරමුනු රාජ්‍යයක් බවට ඉන්දියාව පත්කර තිබේ.

ශ්‍රී ලංකාව ගතහොත්, 2015 ජනාධිපතිවරනයේදී වොෂින්ටනයේ තන්ත්‍රමාරු කුමන්ත්‍රනයක් මගින් බලයට ගෙන ආ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, තම පාලන කාලය තුලදී, පෙර නොවූ විරු ලෙස ලංකාව හා ඇමරිකාව අතර මිලිටරි හා මූලෝපායික සම්බන්ධතා තර කර ගත්තේය. 2019 නොවැම්බරයේදී අන්ත වර්ගවාදී උද්ඝෝෂනයක් තුලින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලයට පත්වීමට අධිරාජ්‍යවාදීන් ඉඩදී සිටියේ, වොෂින්ටනයේ යුද මූලෝපායික අවශ්‍යතා වලට කිසිසේත්ම පිටු නොපාන බවට රාජපක්ෂ සහෝදරයින් දුන් පොරොන්දු නිසාය.

ඇෆ්ඝනිස්තානයේ ලද පරාජයෙන් වොෂින්ටනය කිසිලෙසකින්වත් තම යුදවාදී පිලිවෙත් හකුලා නොගන්නා බවත්, ඒ වෙනුවට කලාපය තුල තම බලහත්කාරය හා මිලිටරි මදාවිකම් තවත් ඉහල අඩියකට ගෙනයන බවක් ලංකාවේද ඇතුලු කලාපයේ ධනපති පාලක පන්තීන් හොඳාකාරවම දනී. ඔවුන් ඇෆ්ඝනිස්තානය පිලිබඳ අධිරාජ්‍යවාදීන්ගේ ඉදිරි පිලිවෙත් සමග එක එල්ලේ පෙල ගැසීමට මාන බලමින් ප්‍රකාශ නිකුත් කරන්නේ එබැවිනි.

ආගමික අන්තවාදී මිනීමරු කල්ලියක් වන තලිබානුවන්ට, ස්වාධීන අධිරාජ්‍ය විරෝධී බලවේගයක් ලෙස නැගී සිටීමට කිසිදු ඉඩක් නැත. වොෂින්ටනයේ යුදවාදය මගින් බිත්තියකට හේත්තු කර ඇති බෙයිජිනයේ හා මොස්කෝවේ පාලන තන්ත්‍රයන්ද, එයට ප්‍රතිභාරයක් ලෙස තලිබාන් පාලනය සමග උපාමාරු දැමීමට ඉව අල්ලමින් සිටිති. නමුත් තලිබාන්වරුන්ගේ පලමු තේරීම වනු ඇත්තේ 1996-2001 පාලන කාලයේ මෙන් අධිරාජ්‍යවාදීන්ගේ ආශිර්වාදය මත පාලනය ගෙනයාම් වනු ඇත. මින් කුමක් සාර්ථක වුවත්, අවසන් ප්‍රතිඵලය වනුයේ කලාපය තව තවත් අස්ථාවරත්වයේ, යුද්ධයේ හා ආගමික-වාර්ගික ප්‍රචන්ඩත්වයේ ගිලීමයි.

ශ්‍රී ලංකාව තුල හෝ කලාපයේ කිසිදු ජාතික ධනපති කන්ඩායමකට මේ අනතුරින් තම රටවල ජනතාව ගලවා ගත නොහැක. එලෙසම, ජනතා විමුක්ති පෙරමුන පවසන ආකාරයේ, ධනපති ක්‍රමයට අන්ඩ දමන “පුලුල් වාම පෙරමුනක්” මගින්ද සිදුවනු ඇත්තේ අර්බුදය තවත් ගැඹුරු වීම පමනක් බව, කලාපය තුල අතීත උදාහරන වලින් උවමනාවටත් වඩා ඔප්පු වී ඇත. එය පරාජය කල හැක්කේ ඉන්දු උපමහාද්වීපයේ කම්කරු පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව අධිරාජ්‍යවාදී යුද්ධයට, එකාධිපතිත්වයට හා සමස්ත ධනපති ක්‍රමයටම එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන විප්ලවවාදී සටනකින් පමනි.

Loading