ඉහල යන ජීවිත අවදානම සහ ඉසිලිය නොහැකි වැඩබර ගැන සෞඛ්‍ය සේවකයෝ කතා කරති

ඉහල යන වසංගතය හමුවේ එහි ඉදිරි පෙල සේවකයින් වන සෞඛ්‍ය සේවකයන් විශාල වශයෙන් කොරෝනා රෝගයට ගොදුරු වෙමින් පවති. වාර්තා වලට අනුව මේ වන විට ලංකාව තුල සෞඛ්‍ය සේවකයන් 6000 කට අධික සංඛ්‍යාවකට වෛරසය වැලඳී ඇත.

සෞඛ්‍ය සේවකයින් මෙලෙස ආසාදනය වන්නේ රෝහල් ධාරිතාවය ඉක්මවා ආසාදිතයින් වාර්තා වන තතු තුලයි. ශ්‍රි ලංකාවෙන් දෛනිකව 4000කට වැඩි ආසාදන සහ 200 ඉක්මවා යන කොවිඩ් මරන වාර්තා වේ. ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමත් සමඟ රෝහල් කාර්ය මන්ඩලය මත පැටවී ඇති වැඩ සම්භාරය ඔවුන්ට දරා ගත නොහැකි තරමටම වැඩී වී ඇත.

සැප්තැම්බර් 01 වෙනිදා වන විට ශ්‍රි ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 440,302ක් වන අතර කොවිඩ් මරන 9185කි. වාර්තා වී ඇති දත්ත වලට වඩා ආසාදන හා මරන සිදු වෙමින් පවතී. දෛනික පරීක්ෂන සංඛ්‍යාව අඩු කිරීම සහ දත්ත යටපත් කිරීම හේතුවෙන් වසංගත ව්‍යාප්තියේ සැබෑ චිත්‍රය වසන් කෙරී ඇත.

වසංගතය පාලනය කිරීම සඳහා රට සම්පූර්නයෙන් වසා දමන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලා සිටිය ද, ආන්ඩුව එය ප්‍රතික්ෂේප කරමින් ව්‍යාජ අගුලු දැමීමක් පනවා ඇත. ඇඟලුම් සහ තේ වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා පවත්වාගෙන යමින් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වසංගතයට නිරාවරනය කෙරෙන තතු යටතේ මෙම ව්‍යාජ අගුලු දැමීම කිසිසේත් ප්‍රමානවත් නොවන බව විශේෂඥයෝ පවසති.

වසංගතය වඩා වේගයෙන් සම්ප්‍රේශනය වන තතු තුල සෞඛ්‍ය සේවකයින්ට එය වැලඳීමේ ඉහල අවදානමක් පවතී. ඉන් ඔවුන් ආරක්ෂා කරගත හැක්කේ නිසි ප්‍රමිතිගත පුද්ගලික ආරක්ෂන උපකරන, විෂබීජහාරක ආදී පහසුකම් සැපයීමෙනි. නමුත් රාජපක්ෂ ආන්ඩුව එම පහසුකම් සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කර ඇති තතු තුල ඔවුන් වසංගතයට සෘජුවම නිරාවරනය වී ඇත.

අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් දශක ගනනක් පුරා සෞඛ්‍ය සේවය තුල සිදු කර ඇති කප්පාදු හේතුවෙන් දැනට සිටින සේවක සංඛ්‍යාව සහ රෝහල් පහසුකම් මෙවන් වසංගතයක් සමග පොර බැඳීමට කිසිසේත් ප්‍රමානවත් නොවේ. එම තතු තුල රෝහල් සේවකයින් වසංගතයට ගොදුරු වීම සෞඛ්‍ය කම්කරුවන් මත පැටවී ඇති වැඩ කටයුතු වඩාත් ඉහල දමා ඇත.

සෞඛ්‍ය කම්කරුවන්ට දිගින් දිගටම අරගල වලට පැමිනීමට බල කෙරී ඇත්තේ මෙම ජීවිතයත් මරනයත් අතර කොන්දේසි හේතුවෙනි. කොවිඩ් විශේෂ අවදානම් දීමනා ලබාදීම, සියලු සෞඛ්‍ය සේවකයින් වහාම ස්ථිර කිරීම, සතියේ වැඩ කරන අමතර පැය 8ට වැටුපෙන් 1/30 ක දීමනාවක් ලබා දීම, සේවක හිඟය වහා පියවීම සහ ප්‍රවාහන, එන්නත්කරන හා ආරක්ෂා ගැටලු වහා විසදන ලෙස ඉල්ලා ඔවුන් දිගටම අරගල වලට පැමිනියහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් මෙම තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයින් සමග සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී ඔවුන් ආන්ඩුව විසින් තමන් හෙලා ඇති අන්තරායකාරී තත්වය පිලිබඳව කෝපය පල කලහ.

පේරාදෙනිය මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ සේවයේ නියුතු හෙදියක් සඳහන් කලේ “මෙම ව්‍යාජ වසා දැමීම තුලදී පවා රෝගින්ගේ කිසිදු අඩුවක් දක්නට නොමැති” බවයි. රෝගීන් 60 ක් පමන බලා ගැනීමට සිටින්නේ සීමිත කාර්ය මන්ඩලයක් බවත් දැනටමත් හෙදියන් පහක අඩුවක් තිබෙන බවත් සඳහන් කල ඇය මෙසේ පැවසුවාය: 'කාර්ය මන්ඩල හිඟය පියවීම වෙනුවට ආන්ඩුව කරන්නේ අමතර රාජකාරී පැටවීම. සමහර දවස් වලට පැය 24 කටත් වඩා වැඩ කරන්න සිද්ධ වෙනව.'

උසුලාගත නොහැකි වැඩ කන්දරාවෙන් හෙම්බත්ව සිටි ඇය 'මනුෂ්‍යයෙකුට මෙතරම් වැඩ කරන්න පුලුවන් ද?” යනුවෙන් කෝපයෙන් විමසුවාය.

වර්ධනය වී ඇති තත්වය සම්බන්ධයෙන් ආන්ඩුව මුලුමනින්ම වගකිව යුතුය. රෝගීන්ගෙන් රෝහල් පද්ධතිය ඉක්මවා යන තතු තුල පවා රට විවෘතකර තබමින් තව තවත් ආසාදිතයින් වාර්තා වීමට කොන්දේසි සම්පාදනය කලේ ආන්ඩුවයි. එහි ප්‍රතිවිපාක ලෙස සෞඛ්‍ය සේවකයින් ඇතුලු මහජනතාවට තම ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුව ඇත.

පේරාදෙනිය රෝහලේම සේවකයෙක් ලෝක සමාජවාදි වෙබ් අඩවි වාර්තාකරුවන් සමග සිය අත්දැකීම් විස්තර කලේය. 'හැමදාම වගේ අපේ වාට්ටුවේ අඩුම තරමින් එක රෝගියෙක්වත් මැරෙනව. මේවා සංඛ්‍යාලේඛන වලට ඇතුලත් වෙනව කියල විශ්වාස කරන්න බෑ.' ඔහුට අනුව බොහොමයක් මරන දැඩි සත්කාර ඒකක වල ඉඩ නොමැති බැවින් වාට්ටුවල සිදුවන ඒවාය.

රෝගින් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යාම තුල සෞඛ්‍ය සේවකයින් මුහුන දෙන ගැටලු වැඩි වෙමින් පවතී. අවශ්‍ය ගුනාත්මක ආරක්ෂක උපකරන නොමැතිකම මූලික ප්‍රශ්නයකි. ආරක්ෂිත N95 මුහුනු ආවරන වෙනුවට කර්මාන්ත ශාලාවල දූවිලි වලින් ආරක්ෂා වීමට පලදින KN95 මුහුනු ආවරන පලඳින්නේ කලයුතු වෙනත් දෙයක් නොමැති බැවිනි.

අවශ්‍ය පහසුකම් ලබා නොදීම හේතුවෙන් පසුගිය දිනවල ඔවුන්ට මුහුන පෑමට සිදු වූ ගැටලු පිලිබඳව එම රෝහලේම සේවිකාවක් පැහැදිලි කලාය. 'ප්‍රමිතියෙන් තොර පීපීඊ (පෞද්ගලික ආරක්ෂක උපකරන) පැලඳ ගත්තම පැය 2ක් විතර යනකොට මුලු ඇඟම තෙත් වෙනව. ඒවා පැලඳීම නිසා ඇතිවන අධික තාපය හේතුවෙන් සමහර හෙදියන් ක්ලාන්තය කැරකිල්ල වැනි තත්වන්ට මුහුන දුන්න. අපි එයට විරෝධය දැක්වූ නිසා වෙනත් ඇඳුම් ලැබුනා.'

ඔවුන්ට සේවය නිම වූ පසු ස්නානය කිරීමට පවා ස්ථානයක් තිබී නොමැත. එම ස්ථානයද ගොඩනගා ඇත්තේ කාර්ය මන්ඩලයේ මැදිහත් වීමෙනි. මෙම පීඩාකාරී කොන්දේසි මධ්‍යයේ වාට්ටු අංක 8 හෙදියන් 5-6 දෙනෙක්ම ආසාදිත වී ඇති බව ඇය පැවසුවාය.

ආසාදිතයින්ට ප්‍රතිකාර කොට ඔවුන් සුවපත් කරලීම සඳහා ඇප කැප වී සේවය කරන සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිත වලට මෙම තත්වය විශාල බලපෑමක් එල්ල කොට ඇත. ආසන්නම කාල වකවානුව තුල මිනුවන්ගොඩ කොවිඩ් රෝහලේ හෙද පාලිකාවක් ලෙස සේවය කල ඉන්දු අමරසිංහ නැමැති දෙදරු මවක්, රාගම රෝහලේ සේවයේ නියුතුව සිටි 40 හැවිරිදි වෛද්‍යවරයෙකු ඇතුලු සෞඛ්‍ය සේවකයින්ගේ මරන 20ක් පමන වාර්තා වී ඇත.

මේ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ පවුලේ සාමාජිකයින්ටද දැඩි අපහසුතා වලට මුහුන දීමට සිදු වී තිබේ. ඔවුන් රාජකාරි සඳහා නිවසින් පිටත්වන්නේ මරන බයෙන් වන අතර යලි නිවසට පැමිනෙන්නේ නිවසේ අනෙක් අයව ආරක්ෂා කරන්නේ කෙසේද? යන ගැටලුවත් සමගයි. දරුවන්, සැමියා හෝ බිරිඳ පමනක් නොව තමා සමග එකම නිවසේ ජීවත් වන වියපත් දෙමව්පියන් ද දැඩි අනතුරකට මුහුන දී සිටින බව ‌සෞඛ්‍ය සේවකයෝ කීප දෙනෙක්ම ප්‍රකාශ කලහ.

සෞඛ්‍ය සේවිකාවක් මේ තත්ත්වය පිලිබඳ ව ලෝසවෙඅ ට අදහස් ප්‍රකාශ කලාය: “කොයි මොහොතේ ආසාදනය වේද කියල බයෙන් වැඩ කරන්න වෙලා තියෙන්නෙ. දරුවන් ට බෝවේවි කියල දැඩි පීඩනයකින් ඉන්නෙ. හැම වෘත්තිය සමිතියම සාමාජිකයන්ගේ ප්‍රශ්න දන්නෙ නෑ වගේ ඉන්නෙ.' මෙම සමිති තම සාමාජිකයන්ට අමතර රාජකාරි කිරීමට බල කරන ආකාරය ගැන ඇය කෝපයෙන් කතා කල ඇය 'අරින අරින වාට්ටු වල තවතවත් රාජකාරි පවරන සමිති ගහලයාගේ භුමිකාව තමයි රඟ පාන්නෙ” යැයි පැවසුවාය.

මෙම නිමක් නොපෙනෙන වසංගතය පාලනය කිරිමට නම් කම්කරුවන් වසංගත පාලනය තම අතට ගත යුතු යැයි සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ ඉදිරිපත් කරන අදහස නිවරුදි යැයි ඇය කීවාය.

සෞඛ්‍ය කම්කරුවන් වසංගතයට නිරාවරනය වීම ලෝකය පුරා ධනපති ආන්ඩු ගෙන යන “වසංගතය සමග ජීවත් වීමේ' මිනීමරු පිලිවෙතේ ප්‍රතිඵලයකි. මෙම පිලිවෙත ගලා එන්නේ ධනපතීන්ගේ ලාභය ආරක්ෂා කිරීමේ උවමනාවෙනි. එය අනුයමින් රාජපක්ෂ ආන්ඩුව සෞඛ්‍ය ආරක්ෂන පියවර ඉවතලමින් මහජනතාව වසංගතයට ගොදුරු වීමට ඉඩ හැර තිබේ.

වෘත්තීය සමිති මුලුමනින්ම මෙම වැඩ පිලිවෙලට අනුගත වී සිටිති. ඔවුන් ආන්ඩුවේ වැඩ පිලිවෙලට එරෙහිව පැන නැගුනු සෞඛ්‍ය කම්කරුවන්ගේ විරෝධතා ව්‍යාජ පොරොන්දු මත යටපත් කරමින් ඒවා දියකර කර හැරියහ. අනෙකුත් කම්කරුවන්ට මෙන්ම, සෞඛ්‍ය කම්කරුවන්ට ද තම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සටන් වැදීමට වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටුවල අවශ්‍යතාවය මතු කරයි. තම ජීවිත සහ ආන්ඩුවේ අනෙකුත් ප්‍රහාරයන්ට තිත තැබිය හැක්කේ එවන් කමිටු හරහා දියත් කරන ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් පමනකි.

Loading