කොලඹ වරාය තුල වසංගතය තවදුරටත් පැතිරෙන බව කම්කරුවෝ පවසති

කොලඹ වරාය තුල කොවිඩ්-19 අසාදනය තවදුරටත් ඉහල නගින බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලහ. කලින් ක්‍රියාත්මක කල පීසීආර් පරීක්ෂන සම්පූර්නයෙන් නතර කර ඇති තත්වයේදී, වෛරසයේ ව්‍යාප්තිය පිලිබඳව කවර හෝ තක්සේරුවකින් තොරව අන්තරායකාරී ලෙස තමා වැඩෙහි යොදවා ඇති බවත්, එන්නත් දෙකම ලබා ගත් තම සේවා සගයන් පවා වසංගතයට ගොදුරුවන බවත් ඔවුහු පවසති.

නිවැරැදි දත්තයන් වාර්තා නොවන නමුත් පසුගිය මාසයේ කොලඹ වරාය තුල 600 ක් පමන ආසාදනය වූ බව වාර්තා විය. සියලුම සේවකයන් එන්නත් දෙකම ලබාගෙන තිබියදී පවා, පසුගිය සතියේදී සුභසාධන අංශයේ 15 දෙනෙකු වෛරසයෙන් ආසාදනය වූ බව එහි සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේය. වසංගතය පැතිරීමේ හේතුවෙන් මුලුතැන්ගෙයි කොටසක් වසා දමා තිබූ බවද වාර්තා විය.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ විරෝධය

ඊට අමතරව ටග් යාත්‍රාධිපතිවරු හතර දෙනෙකු හා එම අංශයේ සේවකයන් පහලොස් දෙනෙකු ආසාදනය වී ඇති බව කම්කරුවෝ පැවසූහ. මෙම තත්වය පැහැදිලි කරමින් කම්කරුවෙක් කියා සිටියේ 'දැන් සේවකයන්ගෙන් බාගයක් විතරයි එකවරකට සේවයට වාර්තා කරන්න ඕන. සතියක් වැඩ කරාම ගෙවල්වල සතියක්. නමුත් යලි වැඩට වාර්තා කරනකොට පීසීආර් පරීක්ෂන කරන්නේ නැහැ. වැඩ කරල ගෙවල් වලට යනකොටත් පරීක්ෂන කල යුතු නමුත් එහෙම නොකරන නිසා පවුලේ අය අතර රෝගය පැතිරීමේ ඉඩකඩ තියෙනවා.'

'දැන් පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය. එ්ක ඉක්මනින් පැතිරෙනවා. මේ තත්වය තුල තමයි වරාය ඇතුලෙ පීසීආර් සහ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂන සම්පූර්නයෙන් නතර කරලා තියෙන්නෙ. අපි වැඩ කරන්න සෑහෙන බයකින්.'

නැව් අලුත් වඩියා කිරීමේ අංශයේ සේවකයෙක් කියා සිටියේ දින කීපයකට පෙර එම අංශයේ සුපිරින්ටන්ඩන්ට් වරයෙකුට අසනීපවී පීසීආර් පරීක්ෂනය කරනු ලැබූයේ ඔහුගේ වියදමින් බවයි. “ඔහුට ආසාදනය වී ඇති බව වාර්තා වුනා. ඒ අංශයේ කම්කරුවන් සති දෙකක් නිවාඩු දී ගෙවල් වලට යැව්වා. කිසිම පරීක්ෂනයක් කරේ නැහැ. ලෙඩේ හැදිල කියල අඳුන ලන්න අයටත්, නිරෝධායනය විය යුතු අයටත් විශේෂ ස්ථානයක් තාම ලබාදීල නැහැ' යයිද ඔහු කියා සිටියේය.

තවත් වරාය සේවකයෙක් කියා සිටියේ, වරාය තුල පවතින පුද්ගලීක සමාගමකට අයත් සැපයුම් යාත්‍රාවක දෙවන ඉන්ජිනේරුවරයාට වරාය තුලදී වෛරසය ආසාදනය වී ඇතිබව දැනගත් නමුත්, රෝහල වෙත ගෙනයාමට ගිලන් රථයක් නොමැතිව ඔහු බොහෝ වෙලාවක් රඳවාගෙන සිටීමට සිදුවූ බවයි. පසුව පවුලේ ඥාතීන් පැමින පුද්ගලික වාහනයකින් ජයවර්ධන රෝහලට ගෙනයාමෙන් පසු ඔහු මිය ගිය බවත්, කම්කරුවන් සියලුදෙනා සිටින්නේ දැඩි අනතුරු දායක තත්වයක බවත් ඔහු කියා සිටියේය.

වරාය කම්කරුවන් මේ තත්වයට ගොදුරු වන්නේ ආන්ඩුව නිසි ලෙස රට වසා දැමීමකින් තොරව කම්කරුවන් සේවයට කැදවමින් පීසීආර් හා අනිකුත් පරීක්ෂන ක්‍රියාත්ක කිරීම බරපතල ලෙස කපා දමා ඇති තත්වයේදීය. ධනපති ආන්ඩුව, වරාය පාලකයන් උත්සුක වන්නේ ලාභය පිලිබදව මිස කම්කරුවන් ගේ ජීවිත පිලිබදව නොවේ.

වරාය තුල පමනක් නොව රට තුලම පීසීආර් පරීක්ෂන සිදු කිරීම පහල දමා ඇත. අගෝස්තු 30 දිනයේ මෙරට සිදුකල පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 13696ක් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂන සංඛ්‍යාව 3173ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දැක්වේ. අගෝස්තු මාසයේ අග දින 11 තුල කොවිඩ් පරීක්ෂන 28000 සිට 16000ට පහල දමා ඇති බව මාධ්‍යය වාර්තා කලේය.

වරාය කම්කරුවන් මෙන්ම ලංකාවේ සමස්ත කම්කරු-පීඩිත මහජනතාව මුහුනදී ඇත්තේ බරපතල අනතුරුදායක තත්වයකටය. වරාය සේවකයන් අත්‍යාවශ්‍ය සේවා නියෝගයට යටත් කර ඇති අතර කම්කරුවන් සේවයට වාර්තා කිරීම අනිවාර්ය කර ඇත. වරාය වෘත්තීය සමිති සියල්ල නිහඬව එයට අනුමැතිය දී තිබේ.

ආන්ඩුව කියා සිටින්නේ එන්නත් ලබාදීම වරාය තුල සාර්ථකව කල බවකි. සෞඛ්‍ය විශේෂඥයන් කියා සිටින්නේ වෛරසය සම්ප්‍රේෂනය දැඩිව සීමා කිරීමේ පියවර නොමැතිව, එන්නත්කරනයෙන් පමනක් වසංගතය පාලනය කල නොහැකි බවයි. ජනගහනයෙන් වඩා අවදානම් සහගත කොටස් සඳහා සමාජ ආරක්ෂන පද්ධතියක් සකසන ලෙසද ඔවුහු යෝජනා කරති.

වැඩුනු බලගතු මහජන විරුද්ධත්වය හේතුවෙන් ආන්ඩුවට නාමික අගුලු දැමීමක් පැනවීමට බල කෙරුනි. පනවා ඇති ව්‍යාජ අගුලු දැමීම යටතේ, වෛරසයේ පැතිරීමට තුඩු දෙන ඇඟලුම් කම්හල්, ඉදිකිරීම් වැඩබිම් වරාය ඇතුලු අත්‍ය අවශ්‍ය සේවා බහුතරයක් විවෘතව පවතින අතර ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට වසංගතය මධ්‍යයේ වැඩට යාමට බලකෙරී ඇත.

මෙම තත්වය තුල ජනතා විමුක්ති පෙරෙමුනට (ජවිපෙ ) සම්බන්ධ, වරාය පොදු සේවක සමිතිය වරාය අධිකාරියේ සභාපතිට ලිපියක් යවමින් වරාය වෘත්තීය සමිති සමග සාකච්ඡාවකින් වරාය තුල වසංගතය පැතිරීම වලක්වා සේවා අඛන්ඩව පවත්වාගන යාමට කටයුතු කලයුතු බව පවසයි. එහි ලේකම් නිරෝශන් ගොරකාන අගෝස්තු 19 දින පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කියා සිටියේ, වරාය පිලිබඳ වඩාත් දැනුවත් වෘත්තීය සමිති බැවින්, 'පාලකයන් හා කලමනාකාරීත්වය සමිති සමග සාකච්ඡා කර' තීන්දු ගතයුතු බවයි.

කම්කරුවන්ගේ ජීවිත අනතුරට වැටී ඇත්තේ, ලොවපුරා ධනපති ආන්ඩුව අනුයන 'මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ' මිනීමරු පිලිවෙතේ ප්‍රතිඵලයක් ය යන්න වසන් කරමින් ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක් වෙතට කම්කරුවන් යොමුවීම වලකන ගොරකාන ඇතුලු සමිති නායකයෝ, ධනපති පාලකයන් සමග එක්ව විසදුම් මාවතක් ඇතිබව කම්කරුවන්ට කියා සිටියි.

කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා ලාභය වෙනුවෙන් වරාය අඛන්ඩව පවත්වාගෙන යාමේ පාලකයන්ගේ අවශ්‍යතාව නියෝජනය කරමින් ඔහු මෙසේ කියා සිටියේය: 'ජාත්‍යන්තර වරායක් ලෙස අඛන්ඩව සේවා සැපයීම සදහා අපි ඒකාබද්ධව මැදිහත් වෙමු.'

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය පාවාදීමෙන් පසු අපකීර්තියට පත්ව ඇති වරායේ වෘත්තීය සමිති සියල්ල දැන් සූදානම් වන්නේ, වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දක්කමින් වරායේ 'අඛන්ඩ සේවාව' තහවුරු කිරීම සඳහා පාලකයන් සමග ඒකාබද්ධව කටයුතු කිරීමටයි.

වරාය කම්කරුවෙක් ලෝසවෙඅ ට අදහස් දක්වමින් කියා සිටියේ, කම්කරුවන් අතර වසංගතය පැතිරෙන තත්වය තුල වෘත්තීය සමිති පාලකයන් සමග සාකච්ඡා කරමින් කම්කරුවන් ස්වාධීනව සංවිධානයවීම වලක්වන බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) කරන පැහැදිලි කිරීමට මුලුමනින්ම පිලිගන්නා බව යි.

ඔහු මෙසේද පැවසීය: 'සසප පවසන පරිදි වෘත්තීය සමිති වලට පිටින් ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමත්, සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වැදීමත් අත්‍යවශ්‍ය යි. සෙසු කම්කරුවන්ගේ සහයෝගය සහිතව අපි එය වහා ක්‍රියාවට දැමිය යුතුයි.'

Loading