ලංකාවේ කොවිඩ් මරන සංඛ්‍යාව 10,000 ඉක්මවයි

ඊයේ දිනයේදී ලංකාව තුල මුලු කොවිඩ් මරන සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියේය. සමස්ත ආසාදන සංඛ්‍යාව 460,000 පසුකර ඇති අතර, ජාත්‍යන්තර නිල වාර්තාවන්ට අනුව ලංකාව තවදුරටත් කොරෝනා අධි අවදානම් (රතු) කලාපයේ පවතී.

සමස්ත ආසාදිතයින්ගෙන් සියයට තිහක් වාර්තා වී ඇත්තේ පසුගිය මාසයේය. එම මාසයේ අවසන් සතියේ සෑම දිනකම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාව ඉක්මවා ගියේය. මෙරට දෛනිකව හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 5,823, අගෝස්තු 29 වනදා වාර්තා විය. අගෝස්තු මාසය තුල පමනක් සිදුවූ කොවිඩ් මරන සංඛ්‍යාව 4,500 ට අධිකය. එය, අප්‍රේල්, මැයි, ජුනි සහ ජුලි මාස වල මියගිය සංඛ්‍යාවන්හි එකතුවට වඩා වැඩිය. මේ සියලු දත්තයන් මගින් පෙන්නුම් කරන්නේ, වසංගත ව්‍යාප්තියේ සීඝ්‍ර නැග්මයි.

රෝහල් පිරී ඉතිරී යමින් සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. ඊයේ වන විට එම සංඛ්‍යාව 66,118 බවට වර්ධනය වී ඇත. එය 50,000 සිට මෙම අගය දක්වා වර්ධනය වීමට ගතවූයේ දින 11 ක් පමනි. මෙම තතු තුල 14,000 කට වැඩි සංඛ්‍යාවක්, අන්තරායකාරී කොන්දේසි යටතේ නිවෙස් තුල ප්‍රතිකාර ලබමින් සිටිති.

පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව පහත හෙලීමේ ප්‍රතිඵලයක් ලෙස.දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය දින පහ තුල 3,300 පමන වන තෙක් පහල ගියේය. එම දින පහ තුල දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාවේ සාමාන්‍යය 13,118 ක් තරම් පහත් අගයකි. පරීක්ෂන සංඛ්‍යාව පහත හෙලුවද, කෙරෙන පරීක්ෂන අතරින් ආසාදිත බවට තහවුරු වීමේ ප්‍රතිශතය සියයට 20 ට වැඩි අගයක පැවතීම මගින් පෙන්නුම් කරන්නේ වෛරසයේ වේගවත් පැතිරීමයි. සැප්තැම්බර් 03 දක්වා ගතවූ දින හත තුල එහි දෛනික සාමාන්‍යය සියයට 35.5කි.

සෞඛ්‍ය ආරක්ෂන පියවර ලිහිල් කරන තත්වය යටතේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වඩා වේගවත් වී ඇත. අගෝස්තු මාසයේ තුන්වන සතියේ දිවයින පුරා විවිධ ස්ථාන වලින් ලබාගත් සාම්පල 94 කින් 91 කම තිබී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය යි. ලංකාව තුල හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති හතරම ඇතුලත් වෛරසය විශාල වශයෙන් පැතිරෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් පර්යේෂනවල නිරත වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාර්තා වලට අනුව හමුවන ඩෙල්ටා ප්‍රභේදය සහිත සාම්පල වලින් සියයට හැත්තෑවක්ම මෙම වෛරසය සහිතය.

බස්නාහිර පලාත තුල ප්‍රමුඛ ලෙසම පැතිරී යන්නේ මෙම විකෘති හතර සහිත වෛරසයයි. කෙසේ වෙතත් එහි පර්යේෂන කටයුතු වල නිරතවන මහාචාර්ය නිලීකා මලවිගේ සඳහන් කර සිටියේ විකෘති සහිත ඩෙල්ටා වෛරසය සාමාන්‍ය ඩෙල්ටා ප්‍රභේදයට වඩා “වේගයෙන් සම්ප්‍රේෂනය” වන එකක් බවට ඉඟි කරන බවයි.

අගුලු දැමීම දීර්ඝ කරන ලෙස විද්‍යාඥයන් නැවත නැවතත් කල ඉල්ලීම නොතකා රට මුලුමනින්ම විවෘත කිරීමට ආන්ඩුව දැරූ ප්‍රයත්නයට එරෙහිව වැඩුනු මහජන විරුද්ධත්වය හමුවේ පැනවූ සීමිත අගුලු දැමීම සැප්තැම්බර් 06 වනදා ලිහිල් කිරීමට තිබුනු නමුත්, තවත් දින 12 කින් දීර්ඝ කිරීමට ආන්ඩුවට සිදුව ඇත. නමුත්, වෛරසය වේගයෙන් පැතිරෙන ඇඟලුම් කම්හල් ඇතුලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන දිගටම පවත්වාගෙන යන බැවින් මෙම 'අගුලු දැමීමෙන්' අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

වේගවත් සම්ප්‍රේෂනයක් සහ ඉහල සංකූලතා සහිත ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම පාලනය කිරීමට මුව ආවරන, විෂබීජ නාශක දියර භාවිතය පමනක් ප්‍රමානවත් නොවේ. ඒ සඳහා අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම ඇතුලත් ජාතික පරිමාන අගුලු දැමීමක් අත්‍යාවශ්‍යය. නමුත් ආන්ඩුව සිදු කරමින් සිටින්නේ එහි ප්‍රතිවිරුද්ධයයි.

රෝහල් පහසුකම් වැඩි දියුනු නොකරන තතු යටතේ රෝගීන් නිවෙස් තුල රඳවා තැබීමේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ප්‍රකාශයට පත්වෙමින් පවතී. අගෝස්තු 20 වනදා වනවිට නිවසේදී මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 900 දක්වා ඉහල ගොස් තිබේ. නිවෙස් තුලදී සහ ප්‍රතිකාර ලැබීමට පැමිනීමේදී මිය ගිය ගනන මුලු මරන ගනනින් සියයට 18කට ආසන්න ප්‍රතිශතයක් දක්වා වැඩී ඇත.

වසංගතයේ පැතිරීම ලමුන් මත ඉමහත් බලපෑමක් ජනිත කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්තා වලට අනුව පෙරේදා වන විට ලමුන් 180ක් රෝහල් වලට ඇතුලත් වී සිටිති. ලමුන් 25 දෙනෙක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති අතර දෙදෙනෙක් අසාධ්‍ය තත්වයේ පසුවෙති.

එමෙන්ම, කොවිඩ් ආසාදනය වී සුවවීමෙන් පසුව මුහුන දීමට සිදුවන දීර්ඝ කොවිඩ් තත්වයට සහ මාරාන්තික බහුවිධ ඉන්ද්‍රීය ප්‍රදාහය තත්වයට ලක්වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහල යමින් පවතී. මේවා, මහජනතාව කොවිඩ් සමග ජීවත් කරවීමේ ආන්ඩුවේ මිනීමරු පිලිවෙතේ ප්‍රතිවිපාකයන් ය.

මහධනපතියන්ගේ ලාභ උත්පාදනය අබාධිතව ඉදිරියට ගෙනයනුවස් ආර්ථිකය විවෘත කර තැබීමේ එල්ලයෙන්, රාජපක්ෂ ආන්ඩුව “එන්නත්කරනය එකම විසඳුම” වෙතැයි යන අවිද්‍යාත්මක තර්කය ඉදිරිපත් කරයි. මෙම තර්කයේ බංකොලොත්භාවය හෙලි කරමින්, වසංගතයේ නව ප්‍රභේදයන්, එන්නත් මගින් ඇති කරන ප්‍රතිශක්තියට ප්‍රතිරෝධීවීමේ හැකියාව පෙන්නුම් කර ඇත. දකුනු අප්‍රිකාවේ පැතිරෙන C.1.2 නව ප්‍රභේදය එවන් එකකි.

නිල වාර්තා වලට අනුව ජනගහනයෙන් සියයට 40 ක් සම්පූර්නයෙන්ම එන්නත්කරනයට ලක් කොට ඇත. එන්නත්කරනය සම්බන්ධයෙන් ආන්ඩුව කෙතරම් පම්පෝරි ගැසුවද වඩා අවදානම් කොටස් වන වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් ලක්ෂ තුනකට එකදු හෝ එන්නතක් ලැබී නැත. ආන්ඩුවේ එන්නත්කරනයේ අරමුන ජීවිත ආරක්ෂා කිරීම නොව ආර්ථිකය සම්පූර්නයෙන්ම විවෘත කිරීමේ කඩතුරාවක් ලෙස එය යොදා ගැනීමයි.

ලංකාව දූපතක් වුවද ගෝලීයකරනය හරහා ලෝක ආර්ථිකයට දැඩි ලෙස ඒකාග්‍ර වී ඇති බැවින් නව ප්‍රභේද ලොවපුරා පැතිරීමේ හැකියාව ඉහලය. පසුගිය සිකුරාදා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් සඳහන් කලේ “කොරෝනා වෛරසයේ එක් එක් ප්‍රහේද සඳහා වෙන වෙනම වැට කඩුලු බැඳිය නොහැකි” බවයි.

මෙම තතු මගින් අවධාරනය කෙරෙන්නේ වසංගතය තුරන් කිරීම සම්බන්ධයෙන් ගෝලීය වැඩ පිලිවෙලක අවශ්‍යතාවයයි. නමුත්, එකිනෙකට සතුරු ජාතික රාජ්‍ය පද්ධතියක් තුල මුල්බැස ඇති ධනපති ක්‍රමය එවන් වැඩ පිලිවෙලකට එරෙහිව පිහිටයි. ජාතික පරිමාන අගුලු දැමීම්, පීසීආර් පරීක්ෂන ඉහල නැංවීම සහ වේගවත් එන්නත්කරනයද ඇතුලු වසංගතය තුරන් කිරීමේ ගෝලීය වැඩපිලිවෙලක් දියත් කල හැකි වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් වසංගත මර්දනය සිය පාලනයට ගැනීමෙනි.

Loading