ලෝසවෙඅ පාඨකයෝ ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු මහා පරාජය සම්බන්ධයෙන් අදහස් පල කරති

අද සවස 7ට ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), “ඇෆ්ඝනිස්ථානය තුල ඇමරිකාවේ මහා පරාජය” යන මැයෙන් ඔන්ලයින් දේශනයක් පවත්වයි. මෙම රැස්වීම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් මත ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට ගෙන යන උද්ඝෝෂනයේ කොටසකි.

1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් පසු ඇමරිකානු අධිරාජ්‍යවාදය තම ඛාදනය වන ගෝලීය ආධිපත්‍යය, මිලිටරි ශක්තියෙන් වාරු කර ගැනීමට අනුයන මූලෝපායේ බංකොලොත්බව ඇෆ්ඝනිස්ථාන පරාජයෙන් තහවුරු කෙරී ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදය වසර 20ක් තිස්සේ අධික පිරිවැයක් දරමින් පවත්වා ගෙන ගිය ඇෆ්ඝනිස්ථානු මිලිටරි වාඩි ලෑ ගැනීම අවසන් කරමින් අගෝස්තු 31 දා සිය හමුදා ඉවත් කර ගත්තේ, චීනයට සහ රුසියාවට එරෙහි මිලිටරි මූලෝපායන් සඳහා සියලු සම්පත් ගොනුකර ගැනීමේ අරමුනෙනි. ඒත් සමග ම කිසිදු අපහසුවකින් තොර ව ම ඇමරිකානු රූකඩ ආන්ඩුව පලවා හරිමින් නැවතත් තලේබාන් ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ පාලනය තහවුරු කර ගෙන ඇත.

ඇෆ්ඝනිස්ථානය තුල ඇමරිකාව ලද පරාජයෙන් සමස්ත අධිරාජ්‍යවාදී පද්ධතිය ම කම්පනයට පත් වී ඇති අතර ම එය අන්තර් අධිරාජ්‍යවාදී ඝර්ෂනයන් උත්සන්න කර න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය මතුකර තිබේ. මේ සිදුවීම් ඇමරිකානු කම්කරු පන්තිය ඇතුලු ගෝලීය කම්කරු පන්තියේ රැඩිකලීකරනයක් සමග සමපාත වෙයි. එම තතු තුල, යුද්ධයක් වැලැක්විය හැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පංතිය මත පාදක වූ ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට ජාත්‍යන්තර කමිටුව සටන් වදී.

දේශනය ගොඩ නැගීම ඉලක්ක කර ගෙන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සසජාතශි ව්‍යාපාරයේ සාමාජිකයන් ගෙන ගිය උද්ඝෝෂනයේ දී රැස්වීමට සහය පල කරමින් කම්කරුවෝ, තරුනයෝ සහ අවශේෂ මහජනයා අදහස් දැක්වූහ.

වරාය කම්කරුවෙක් මෙසේ පැවසීය: “වරාය පුද්ගලීකරනය සම්බන්ධ අරගලයේ දී භූ දේශපාලනික ප්‍රශ්නවලටයි කම්කරුවන් මුහුන දුන්නේ. චීනයට එරෙහි මිලිටරි සූදානම් වීම සඳහා ඉන්දියාව දකුනු ආසියානු කලාපයේ සහකරුවා වශයෙන් වර්ධනය කරමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය කොලඹ ආන්ඩුවට පීඩනය යොදමින් සිටිනවා. ඇෆ්ඝනිස්තානයේ සිදුවන වර්ධනයන් මෙම කරුනු සමග තදින් බැඳී පවතින නිසා එහි පාඩම් කම්කරුවන් වන අප උගත යුතුයි. ඒ නිසාම මෙම රුස්වීමට මම උනනුදුවෙන් සහභාගි වෙනවා.”

ලේඛකයෙකු වන ගම්පොල විමල් රනතුංග: 'ඇෆ්ගනිස්තානයේ දී සිදුවෙලා තියෙන්නෙ 21 වන සියවසේ ඇමරිකාව ලද බරපතලම යුද පරාදය යි. ඇමරිකානුවන් ඇෆ්ගන්වල ගෙන ගිය මෙහෙයුම් වල ප්‍රජාතන්ත්‍රවාදයේ අල්ප මාත්‍රයක්වත් තිබිලා නැහැ. ප්‍රශ්නය තියෙන්නෙ, ඇමරිකාවේ අසීමාන්තික ගෝලීය බල අරගලය මෙම සිද්ධියෙන් නිමා නොවීම.'

මෙම යුද්ධයෙන් ඇෆ්ගන් හි සාමාන්‍ය වැසියන් ලක්ෂයකට වැඩි ප්‍රමානයක සහ ඇමරිකානු සොල්දාදුවෝ දහස් ගනනක ජීවිත බිලිගෙන ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් බව ඔහු පැවසීය.

'පසුගිය දශක දෙකේදි ම, ඇෆ්ගන් වැසියන් ඇමරිකානු දඩුඅඬුවට බලවත් ලෙස අසුවෙලා හිටියා. දැන් සිදුව ඇත්තේ තලිබාන් ග්‍රහනයට ඔවුන් ගොදුරු වීමයි. මෙය සාධනීය තත්ත්වයක් නොවේ. මෙම අර්බුදය විසදිය හැකි මාවත ජාත්‍යන්තර සමාජවදය බව මම ද පිලිගන්නවා.'

ඇෆ්ඝනිස්ථානයේ සිදු වන්නේ කුමක් ද යන්න ගැන පැහැදිලි සහ නිවැරදි විශ්ලේෂනයක් මාධ්‍ය තුලින් කෙරෙන්නේ නැති බව සංවර්ධන නිලධාරියෙකු වන අම්බලන්ගොඩ පුබුදු සඳහන් කලේ ය. “මම දැකපු ප්‍රධාන ප්‍රවෘත්තියක් තමයි තලේබාන්ලා කාන්තාවන්ට පහත් ලෙස සලකන බව” යයි සඳහන් කල ඔහු, අධිරාජ්‍යවාදී ආක්‍රමනය ඇෆ්ඝනිස්ථානයේ නිර්මානය කල සමාජ ව්‍යසනය ලෝකයෙන් වසන් කිරීමට මෙබඳු කරුනු උලුප්පන්නේ යැයි සඳහන් කලේ ය.

පුස්තකාල සහයකවරයෙකු වන පිලිමතලාවේ උපාලි සේනාරත්න: 'ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත්කර ගැනීමට සිදුවීම ඇමරිකාව ලද විශාල පරාදයක් ලෙස තමා. චීනයට සහ රුසියාවට එරෙහි ඇමරිකානු යුද ආතතීය වඩාත් තීව්‍ර කරනු ඇති බවටත්, එය තුන්වන ලෝක යුද්ධය කරා වේගයෙන් ඇදීයන බවටත් පෙර ලකුනු දැක ගන්න පුලුවන්. කොහොමටත් ඇෆ්ගනිස්තානයේ මහජනතාව මහත් විපතකට පත්වෙලා නියෙන්නෙ. සමාජවාදයේ අවශ්‍යතාව ලෝකයට ම දැනෙන අවස්ථාවක් ඇවිත් තියෙන්නෙ.'

ගුරුවරයෙකු වන වසන්ත: “අපේ අනාගතය ගැන ලොකු භයක් ලෝක සිද්ධි නිර්මානය කරල තියෙනවා. මම වසංගතය ගැන සසප පැවැත් වූ රැස්වීමට සහභාගී වුනා. කොරෝනා වසංගතයට ජාතිකවාදී විසඳුමක් නැති බවත්, එය මුලිනුපුටා දැමීමට සමාජවාදී පදනමක ගෝලීය ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් පෙන්වා දෙන රුස්වීමකට සවන් දෙන්න ලැබුනේ ප්‍රථම වතාවටයි. දැන් කොරෝනා වසංගතය වගේම තමයි වර්ධනය වන භූ දේශපාලන ආතතීන්, ඒක ලංකාවේ අපිටත් බලපානවා”

මහේෂ් බන්ඩාර නමැති පොලොන්නරුවේ ගුරුවරයෙකු මෙසේ පැවසීය: 'ධනපති මාධ්‍ය සෑම අතින්ම තලේබාන් පාලනය තුල පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් ඉස්මතු කරමින්, පසුගිය ඇමරිකානු රූකඩ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී සාධාරන පාලනයක් ලෙස උත්කර්ශයට නැංවීමේ ව්‍යාපාරයක යෙදී සිටිනවා දකින්න පුලුවන්. 'මෙම ධනපති මාධ්‍ය පෙලගැස්මත්, ඇමරිකාවේ හැසිරීමත් කියා පාන්නේ මුලු ලෝකයම අලලාගත් යුද්ධයක් ඉක්මනින් ඇවිලී යා හැකි බවයි.

මේ නිසා ලෝක කම්කරු පන්තිය වහා ම මේ පිලිබඳව දැනුවත් විය යුතුයි. ඒකරාශී විය යුතුයි. මේ වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂයත් ලෝක පරිමානයෙන් ගෙන යන දැනුවත් කිරීමෙන් කම්කරු පන්තිය ශක්තිමත් විය යුතුය.ඒ අර්ථයෙන් අද රුස්වීමට මම සහභාගි වෙනවා.

Loading