එන්නත්කරනය අභිබවමින් ඇඟලුම් කම්කරුවන් වසංගතයට ගොදුරුවීම වේගවත් වෙයි

කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යප්තිය උත්සන්න වීමත් සමග අපනයන නිෂ්පාදන කර්මාන්තයේ, ප්‍රමුඛ වශයෙන් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ, කම්කරුවෝ කොරෝනා රෝගයට ගොදුරු වෙමින් සිටිති. එන්නත්කරනයෙන් කම්කරුවන්ට පූර්න සෞඛ්‍ය රැකවරනය ලැබෙන බවට ආන්ඩුව සහ කර්මාන්ත හිමියන් විසින් තොරොම්බල් කරන ලද තර්කය ව්‍යාජයක් බව එමගින් සනාථ වි ඇත.

කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් තමන්ට රැකියාවල නිරත වීමේදී මුහුන දීමට සිදු වී ඇති අන්තරයාකාරී තත්වය පිලිබඳව කටුනායක සහ බියගම නිදහස් වෙලඳ කලාපවලත්, ඉන් පිටතත් ඇඟලුම් සහ වෙනත් අපනයන නිෂ්පාදන කම්හල්වලත් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) වාර්තා කලහ.

මේ අනුව එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කම්කරුවන්ටද රෝගය වැලඳී ඇත. තම කම්හල්වල නිතරම කොරෝනා ආසාදිතයින් හමුවන නමුදු, රැකියා අහිමිවෙතැයි බියෙන්, රෝගයට ගොදුරුවීමේ අන්තරාය තිබියදීමත් වැඩට යන බව කම්කරුවෝ පැවසූහ. ශීත සෘතුව හේතුවෙන් යුරෝපයේ සහ ඇමරිකාවෙන් ඇනවුම් වැඩිවී ඇති බැවින් කම්කරුවන් මත අධික වැඩ ප්‍රමානයක් පටවනු ලැබ ඇත. ඔවුහු වැඩි වන ජීවන වියදමින්ද මිරිකී සිටිති.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) සෑම කම්හලකින්ම පාහේ දිනපතා ආසාදිතයින් පස් දෙනෙකු සහ දහ දෙනෙකු අතර සංඛ්‍යාවක් හමුවන බව 'ඩාබිදු සාමූහිකයේ' සම්බන්ධිකාරීනී චමිලා තුෂාරී ලෝසවෙඅ ට පැවසුවාය. සැප්තැම්බර් 2 ලංකාදීප පුවත්පත වාර්තා කලේ, ගෙවීගිය පෙර පැය 24 ක් තුල කටුනායක නිවෙකයෙන් 21 ක්ද, බියගම නිවෙකයෙන් 10 ක්ද ආසාදිතයන් හමුවූ බවයි. ඊට පෙර දින එම සංඛ්‍යාවන් පිලිවෙලින් 32 ක් සහ 17 වූ බව ද වාර්තාව පෙන්වා දෙයි.

මුලදී අහඹු පරීක්ෂන සිදු කෙරුනුද දැන් ඒවා සිදු නොකෙරෙන බවය කම්කරුවෝ පවසති. යම් කෙනෙකු කම්හල තුලදී ආසාදනය වුවහොත් යාබදව සිටින දෙදෙනෙකු හෝ හතර දෙනෙකු නිරෝධායනයට යැවේ. සමහරෙකු පීසීආර් පරීක්ෂනවලට භාජනය නොකෙරේ. බොහෝ දෙනෙකුට තම නවාතැන්වල හෝ නිවහන්වල නිරෝධායනය වීමට සිදුවේ. දින 14 ක නිරෝධායනයෙන් පසුව, පීසීආර් පරීක්ෂනයකින් තොරවම වැඩට එන ලෙස සමහර කම්හල් පාලනාධිකාරීහු බල කර සිටිති.

අවම පහසුකම් සහිතව රැකියාවේ යෙදෙන වෙලඳ කලාපවල කම්කරුවන්ට, නාන කාමර, වැසිකිලි සහ මුලුතැන්ගෙය යනාදිය පොදුවේ භාවිතා කිරිමට සිදු වන බැවින්ද, වෙනත් කම්හල්වල කම්කරුවන්ද සමග එකම නිවහනක ජීවත් වීමට සිදු වන බැවින්ද රෝගය වේගයෙන් පැතිරෙමින් පවතී. කම්කරුවෝ ආහාර හිඟයකට ද මුහුන පා සිටිති.

සමහර කම්හල්වල කම්කරුවන්ට, දිනකට පැය 12 ඉක්මවමින් දින හතේම වැඩ කිරීමට සිදුවී ඇත. වසංගතය හේතුවෙන් සේවයට නොපැමිනෙන කම්කරුවන්ගේ වැඩද කිරීමට ඔවුන්ට බල කෙරේ. මේ හේතුවෙන් ඔවුහු දැඩි වෙහෙසකට පත්ව සිටිති. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (ඒඇසංසං) මහලේකම් ටියුලි කුරේ අගෝස්තු 23 ද මෝනිං පුවත්පතට පැවසුවේ කොරෝනාවේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යප්තිය ආරම්භයත් සමග සියයට විස්සක් පමන කම්කරුවන් කම්හල්වලට නොපැමිනි බවයි.

තම කම්හල තුල පවතින අවදානම් සහගත තත්වය ගැන කටුනායක නිවෙකයේ බ්‍රාටෙක්ස් ඇඟලුම් කම්හලේ ස්ත්‍රී කම්කරුවකු පැවසුවේ, “අපේ වැඩපලෙත් දවසකට එක්කෙනෙක්, දෙන්නෙක් ආසාදනය වුන අය හමුවෙනවා. ඒ අය නිරෝධායනයට අරන් යනවා, වැඩ නවත්තන්නෙ නැහැ. අපි උනත් බයෙන් තමයි වැඩ කරන්නේ” යනුවෙනි.

එන්නත්කරනයේ අවිධිමත්භාවයත්, ආන්ඩුවේ ව්‍යාජ අගුලු දැමීමත් ගැන පිලිකුලෙන් කතා කල ඇය, “වසංගතය ඉවර වෙන විදියක් පේනතෙක් මානයක නැහැ. ආන්ඩුවෙ සංචරන සීමා අන්තිම බොරුවක්, කර්මාන්තශාලා බොහොමයක් වැඩ, රක්ෂාවල් නැති අය විතරයි ගෙවල්වල ඉන්නෙ,” යනුවෙන්ද පැවසුවාය.

බඩු මිල ඉහල යාමත්, අධික වැඩ ප්‍රමානයත් ගැන කටුනායක නිවෙකයේ ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේ ස්ත්‍රී කම්කරුවෙකු මෙසේ පැවසුවායය: “බෝඩිමට කුලිය දීල කෑමට වියදම් කරපුවම වෙන දෙයක් කරගන්න බැහැ. රෑ වෙනකන් මැරීගෙන වැඩ කරලත් ලොකු පඩියක් ගන්න බැහැ. පඩිය රුපියල් තිස්දාහක්, තිස් දෙදාහක් විතරයි ලැබෙන්නේ.” මේ දිනවල රාත්‍රි 11.00 වන තුරු ඇය වැඩෙහි නිරත වන්නීය.

මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ පන්නල සිම්ලයින් ඇඟලුම් කම්හලේ ස්ත්‍රී කම්කරුවකු පැවසුවේ තමන්ගේ ආශ්‍රිතයෙකුට කොරෝනා ආසාදනය වූ හෙයින් තමන්ද පීසීආර් පරීක්ෂනයකට යොමු කල බවයි. ඇය ආසාදනය නොවූ බව තහවුරු වූ නිසා දින පහකින් පමන වැඩට ගිය බව ඇය පැවසුවාය. පාලකයින් විසින් තොරතුරු සඟවන හෙයින් ආසාදිතයින් ගැන සැබෑ තොරතුරු ඇය ඇතුලු අනෙකුත් කම්කරුවන් දනී. කෙසේවෙතත් දැන් පෙරට වඩා ආසාදිතයින් වැඩි බව ඇය පැවසුවාය. දැන් අහඹු පරීක්ෂන සිදු නොකෙරේ. දැනට සෑහෙන පිරිසක් වැඩට නොපැමිනෙන බවද ඇය කීවාය.

කම්හලෙන් රෝගය පැතිරයාමේ භීතිය නිසා එය වසා දැමිය යුතුය යන මනෝගතියක් කම්කරුවන් තුල පවතින බව පැවසූ ඇය, කම්හල් විවෘතව තබා ගැනීමට ආන්ඩුව ගෙනයන වැඩකටයුතු ගැන පිලිකුලෙන් කතා කලාය. රෝගය වැලඳුනු එක් කම්කරුවකු දැනටමත් මිය ගොස් ඇත.

මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත්, කුලියාපිටියේ පිහිටි ඇඟලුම් කම්හලක් වන ස්ලිම්ටෙක්ස්හි කම්කරුවකු පැවසුවේ තමන් හඳුනන කම්කරුවන් දෙදෙනෙකු ආසාදනය වූ බවයි. එක් අයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ද, අනෙකාගේ පවුලේ හතර දෙනෙකු ද ආසාදනය වී ඇත.

බියගම නිවෙකයේ පිහිටි, දුම්කොල අපනයන කරන ඇගියෝ ටුබැකෝ ප්‍රොසෙසින් ප්‍රයිවේට් සමාගමේ ස්‍ත්‍රී කම්කරුවකු පැවසුවේ 1,500 ක් ඉක්මවා ඇති කම්හලේ සේවකයන් සියලු දෙනාට මෙන් මේවන විට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවයි. එහෙත් මාත්‍රා දෙකම ලබා ගත් අයටද කොරෝනා ආසාදනය වූ බව ඇය තවදුරටත් කීවාය. මැෂින් අංශයේ එක් අයෙකුට එලෙස රෝගය වැලඳුනු බැවින්, ඇයගේ පවුලේ සෙසු සාමාජිකයින්ද ආසාදනය වී ඇත.

මෙම කම්හලේ දුම්කොල තෝරන රැපෝ සහ මැෂින් යන අංශ දෙකෙන් මැෂින් අංශයේ සේවකයෝ නිරන්තරව කොරෝනා රෝගයට ගොදුරු වෙති. රැපෝ අංශයේ සුපවයිසර්වරුන් දෙදෙනෙකුටද රෝගය වැලඳී ඇත. “අපිත් ඉතින් බයෙන් තමයි වැඩ කරන්නේ, රස්සාවට යන්නත් එපායැයි” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

මේවන විට ඇඟලුම් කම්කරුවන් කිහිප දෙනෙකු කොරෝනා රෝගයෙන් මරනයට ගොදුරු වී ඇති අතර දහස් ගනනක් ආසාදිතයින් බවට පත් වී ඇත. ආයෝජන මන්ඩලය සහ ඇඟලුම් කර්මාන්තකරුවන් විසින් සැබෑ තොරතුරු සඟවන හෙයින් මේ ගැන නිවැරදි තත්වය තක්සේරු කිරීම අසීරු වි පවතී.

මිනිස් ජීවිත පරදුවට තබා කම්හල් හිමියන්ගේ ලාභ පිපාසිත අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතයි. මේ අනුව ආන්ඩුව විසින් අගෝස්තු 20 දා පැනවූ සීමිත අගුලු දැමීමෙන් පවා අපනයන කර්මාන්ත නිදහස් කෙරිනි. මෙම ක්ෂේත්‍රයේ කම්කරුවන් වැඩට දැක්කීම සඳහා රාජපක්ෂ එන්නත්කරනය ප්‍රවර්ධනය කලේය.

මේවන විට ඇඟලුම් කර්මාන්තය තුල, එන්නත්කරනය සාර්ථකව සිදු කරමින් ඇතැයි කර්මාන්තහිමියෝ පාරම්බාති. අගෝස්තු 23, ද මෝනිං පුවත්පතට ඒඇසංසං ප්‍රකාශ කලේ සෞඛ්‍ය සහ රාජ්‍ය බලධාරීන් සමග හවුල් වී තම මුලු ශක්තිය යොදා ගනිමින් සේවකයින් ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂක පිලිවෙත් අනුගමනය කරන බවයි. කම්කරුවන්ගෙන් සියයට 50 කට එන්නත් මාත්‍රා දෙකමද, සියයට 90 කට එක් මාත්‍රාවක්ද ලබා දී ඇති බවත්, මින් ආයෝජන මන්ඩලය යටතේ පවතින ඇඟලුම් කම්හල්වල කම්කරුවන් සියයට 70 කට මාත්‍රා දෙකම ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

පුවත්පත තවදුරටත් වාර්තා කලේ ජූලි මස ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන එකේ කඩඉම ඉක්මවූ බවයි. ඩොලර් බිලියන1.09 ක් වූ එය ලංකාවේ ‘එදාමෙදාතුර ඉහලම’ මාසික ආදායම විය. මෙම මාසික ආදායම, අප්‍රේල්, මැයි සහ ජූනි පෙර මාස තුනේ බිලියන එකේ කඩඉමට යටින් පැවැතුනි. මෙම ජූලි ආදායම 2020 ජූලි මස ආදායම වූ ඩොලර් බිලියන 1.085 ට වඩා සියයට 1.33 කින් වැඩි වීමකි.

මෙම වසරේ මුල් මාස හතේ, එනම් ජූලි දක්වා, සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 6.66 ක් දක්වා, එනම් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 22.1 කින් වැඩිවිය. ජූලි අපනයන ආදායම වූ ඩොලර් බිලියන 1.09 (මිලියන 1,090) න් මිලියන 452.6 ක්, එනම් සියයට 41.5 ක්, ඇඟලුම් කර්මාන්තයෙන් පමනක් ලැබුනි. මෙම වසරේ ඉලක්ක කෙරී ඇති සමස්ත වාර්ෂික අපනයන ආදායම වූ ඩොලර් බිලියන 12 න් බිලියන 5.1 ක්, එනම් සියයට 42.5 ක්, ඇඟලුම් අපනයනයෙන් ලබා ගැනීමට නියමිතය.

මෙම ජූලි ආදායම ඉහල යාම ගැන ප්‍රමෝදයෙන් කතා කල අපනයන සංවර්ධන මන්ඩලයේ (අසංම) සභාපති සුරේෂ් ද මෙල් පැවසුවේ, “වසංගතය අතරතුර අපනයන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අපේ අපනයනකරුවන් දැක්වූ උපරිම ධෛර්යය, අධිෂ්ඨානය සහ අඛන්ඩ වැඩිදියුනු කිරීම් හේතුවෙන් ලොව පුරා වර්තමාන වසංගත තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ අපනයන කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි,” යනුවෙනි.

කෙසේවෙතත්, මෙම ආදායම් ඉහල යාම පිටුපස ඇත්තේ මිනිස් ජීවිතවලට ඉහලින් ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවයන් ඉටු කරන රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතයි. මෙම පිලිවෙතින් නිර්නය වූ “නව සාමාන්‍යය” යටතේ සියලු ආර්ථික කටයුතු පවත්වාගෙන යාම තුලින් කම්කරු ශ්‍රමය දැවැන්ත ලෙස සූරා කෑම හරහා මෙම යෝධ ලාභය සමුච්ඡය කරගෙන ඇත.

මෙම පිලිවෙත රාවය කරමින් ටියුලි කුරේ 'අවදානමට වඩා රට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඉතාම වැදගත්' බව ද, “රට අසමත් කරන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ,' යනුවෙන්ද ප්‍රකාශ කර සිටි බව අගෝස්තු 26 වැඩබිම පුවත්පත වාර්තා කලේය.

මෙහි අර්ථය වන්නේ 'රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමේ' මුවාවෙන්, කම්කරුවන්ගේ මලකඳන් මතින් තම ලාභ උත්පාදනය අඛන්ඩව පවත්වාගෙන යාමට පවත්නා, හාම්පුතුන්ගේ උත්සුකය යි. රාජපක්ෂ ආන්ඩුව ඉටු කරමින් සිටින්නේ හාම්පුතුන්ගේ එම අවශ්‍යතාවයයි.

Loading