වසංගතය පාලනය වෙමින් පවතින බවට ව්‍යාජ චිත්‍රයක් මවමින් ආන්ඩුව රට විවෘත කිරීමට සැරසෙයි

කොවිඩ්-19 වසංගතය පාලනය වෙමින් පවත්නා බවට ව්‍යාජ චිත්‍රයක් නිර්මානය කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සහ මාධ්‍ය සෑම ප්‍රයත්නයක්ම දරමින් සිටිති. ඒ සඳහා ආන්ඩුව යොදා ගනු ලබන්නේ, දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව පහත හෙලමින්, හඳුනා ගැනෙන ආසාදිතයින් සංඛ්‍යාව අවම කර පෙන්වීමේ කූටෝපාය යි.

2021 අප්‍රේල් 8 වන බ්‍රහස්පතින්දා ඉන්දියාවේ මුම්බායි හි කොවිඩ් -19 එන්නත ලබා ගැනීම සඳහා මිනිසුන් පෝලිමේ සිටියහ. (ඒපී ඡායාරූපය/රෆික් මැක්බූල්)

ඒ අනුව, පසුගිය මාසය අවසානයේ දී 5,000 පවා ඉක්මවා ගිය නිල දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වන විට 2,600 මට්ටම දක්වා පහල ගියේය. පසුගිය දින 05 තුල දෛනික ආසාදිතයින්ගේ සාමාන්‍ය අගය 2,800 කි. මෙලෙස, නිල ආසාදන සංඛ්‍යාව පහතට ගෙන ඇත්තේ, අගෝස්තු මාසයේ 16,000 ක් පමන තිබුනු දෛනික පීසීආර් සංඛ්‍යාව 10,000 ක පමන අඩු මට්ටමකට කපා හැරීමෙනි.

පසුගිය මාසය තුල පීසීආර් පරීක්ෂන කප්පාදු කර ඇති ආකාරය (මූලාශ්‍ර: සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය)

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යයනයක් මගින් ආන්ඩුවේ මෙම මවාපෑමේ පල්ල ගලවා දමයි. එම අධ්‍යනයට අනුව, සැප්තැම්බර් 10 දක්වා ගතවූ සතිය තුල පරීක්ෂා කරන ලද සාම්පල වලින් සියයට 27.8 ක් ආසාදිතය. එම ප්‍රතිශතයට අනුව, වෛද්‍යා විශේෂඥයන් ගේ නිර්දේශ අනුව දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 40,000 දක්වා වැඩි කලහොත් දෛනිකව ආසාදිතයින් 11,120 ක් හමුවන බවට උපකල්පනය කල හැක.

මෙම ව්‍යාජය හරහා ආන්ඩුව උත්සාහ දරන්නේ දැනට පවත්නා සීමිත අගුලු දැමීම පවා ඉවත් කරමින් රට පූර්න වශයෙන් විවෘත කිරීමටයි. එය ප්‍රකාශයට පත් කරමින් පසුගිය සිකුරාදා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේ “රෝගීන් අඩුවීම අනිවාර්යෙන්ම රට විවෘත කිරීමට කොල එලියක්” බවයි.

ආන්ඩුවේ ව්‍යාජ චිත්‍රයට ප්‍රතිකූලව, ඩෙල්ටා ප්‍රභේදය මූලික කර ගනිමින් වසංගතය වේගයෙන් පැතිරෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් පර්යේශන වල නිරත වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිකුරාදා වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ලැබුනු සාම්පල වලින් සියයට 95.8ක්ම ඩෙල්ටා ප්‍රභේදය සහිත ඒවා බවයි. දිස්ත්‍රික්ක නමයකම එම ප්‍රතිශතය සියයට 100 කි. එනම්, ආසාදන සියල්ල සිදුව ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයෙනි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, අද දවල් වන විට ලංකාව තුල මුලු ආසාදිතයින් සංඛ්‍යාව 488,482 කි. මුලු මරන සංඛ්‍යාව 11,431 කි. රෝහල් හා නිවෙස් තුල සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 60,000 කට වැඩිය.


පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂන සීමා කිරීම සැලසුම් කරමින්, අගෝස්තු 30 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කලේය. එයට අනුව, නිරෝධායනයේ යෙදෙන ආශ්‍රිතයන් දින 14 කට පසු රෝග ලක්ෂන නොපෙන්වයිනම් ඔවුන් කොවිඩ් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට හැකිය. මෙම පිලිවෙත අනිවාර්යෙන්ම මග පාදනු ඇත්තේ වසංගතයේ ඉහල පැතිරීමකටය.

සැප්තැම්බර් 7 වනදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මාධ්‍යයට සඳහන් කලේ මෙම චක්‍රලේඛයෙන් “අවම” පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂන සංඛ්‍යාවක් සිදු කිරීමට බල කෙරෙන බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ මේ වන විටත් බොහෝ පලාත්වල පහසුකම් සපයා ඇත්තේ පීසීආර් පරීක්ෂන ගනන සීමා කෙරෙන පරිදි බවයි. මෙම සීමා කිරීම් හරහා “රට තුල පවතින සැබෑ තත්වය, රෝගයේ ස්වභාවය විචලනය වන ආකාරය, රෝගීන් අඩුවීම හෝ වැඩී වීම පිලිබඳ” අදහසක් ගැනීමට පවතින හැකියාව අඩු වන බවට රෝහන අනතුරු ඇඟවූයේය.

වසංගතය පහවෙමින් පවත්නා බව ව්‍යාජව පෙන්වීමටත් එමගින් රට සම්පූර්නයෙන් විවෘත කිරීමටත් ආන්ඩුවට මෙතරම් හදිසි ඇයි? පලමු කොටම මහධනපතියන්ගේ ලාභෝත්පාදනය කවර හෝ බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමටයි. ලංකාවේ ඉහලම ධනපතියා වන ධම්මික පෙරේරා ඇතුලු බිලියනපතියන් රූපවාහීනී සංවාද මන්ඩප වලට කැඳවා ගනිමින්, මෙම අරමුන වෙනුවෙන් රට විවෘතකර ගැනීමේ හදිසිභාවය ඔවුන් ලවාම වහරන්නේ නිර්ලජ්ජිත ආකාරයෙනි. මෙම මහධනවත්තු වසංගතය මධ්‍යයේ පෙරනොවූවිරූ ලාභ සමුච්ඡය කරගනිමින් සිටිති.

දෙවනුව, සංචාරක කර්මාන්තයෙන් ලැබුනු විදේශ විනිමය ආදායම දැවැන්තව කඩා වැටී ඇති තතු තුල, ලංකාව සංචාරය සඳහා නුසුදුසු 'රතු' කලාපයෙන් ඉවත් කොට සංචාරය සඳහා සුදුසු 'කොල' කලාපයට ඇතුලත් කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයෙන් පෙලෙන ආන්ඩුවට ඒ සඳහා දෛනික ආසාදන සංඛ්‍යාව 950 ට අඩු අගයකට ගෙන ආ යුතුව ඇත.

ඇඟලුම් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා පවත්වාගෙන යමින් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට තම වැඩපොලවල් සහ නිවෙස් කරා උදේ-සවස සංචරනය වීමට බලකෙරී ඇති වත්මන් අගුලු දැමීම මුලුමනින්ම ව්‍යාජයකි. එය හුදෙක්, වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ ආන්ඩුව විසින් පිලිගත්බව මහජනතාවට මවා පෙන්වීමක් පමනි.

එහි ව්‍යාජභාවය කෙතෙක්දයත්, අගුලුදැමීමෙන් ආදායම් අහිමිවන මහජනතාවට පූර්න සමාජ සංරක්ෂනයන් සම්පාදනය නොකිරීම හේතුවෙන්, තම දිවිගැටගසා ගැනීමට යමක් උපයාගනුවස් සංචරනය වීමට ඔවුනට බලකෙරී ඇත. මෙය, දහස් සංඛ්‍යාත මහජනතාවට වසංගතයට ගොදුරු කෙරෙන අපරාධයකි. ආන්ඩුව එම සමාජ සංරක්ෂන වගකීමෙන් මුලුමනින්ම නිදහස්වීම සඳහා, පවත්නා සීමිත අගුලු දැමීම පවා හැකි ඉක්මනින් ඉවත් කිරීමට මාන බලයි.

ආන්ඩුව මෙම පියවර සියල්ල ඉදිරියට ගෙන යන අතරේ පාසල් විවෘත කිරීමට ද කටයුතු සූදානම් කරමින් සිටී. අදියර කීපයක් යටතේ එය සිදු කෙරෙන බව සඳහන් කරමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියා සිටියේ ලමුන් 100ට අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින බවයි. මෙහි එල්ලය පවතින්නේ නිවෙස් වල සිටින ලමුන් පාසල් වලට ගෙන්වා දෙමව්පියන් බාධාවකින් තොරව වැඩට ගෙන්වා ගැනීමයි.

මෙම නරුම පිලිවෙත ලෝකය පුරාම මිනීමරු ප්‍රතිඵල ජනිත කරමින් පවතී. එහි කේන්ද්‍රයේ පවතින්නේ එක්සත් ජනපදයේ පාසල් විවෘත කිරීමත් සමග ලමුන් අතරේ මෙන්ම දෙමව්පියන් අතරේද වසංගතය වේගයෙන් පැතිර යමින් පවතී. සැප්තැම්බර් 02 දා වන විට වෛරසය ආසාදනය වූ ලමුන් සංඛ්‍යාව 251,781 දක්වා ඉහල ගිය අතර, එය මීට මසකට ඉහත පාසල් විවෘත කිරීමට පෙර තිබුනු අගයට වඩා පස්ගුනයකින් වැඩි වීමක් වාර්තා කලේය.

ලෝකය පුරා අත්දැකීම් පෙන්වා දෙන පරිදිම ලංකාව තුලද මෙම වැඩ පිලිවෙල මග පාදනු ඇත්තේ කොරෝනා වෛරසයේ වඩා ඉහල පැතිරීමකටය. ලංකාවේ ආන්ඩුව ඇතුලු ලොවපුරා ආන්ඩු මුල සිටම අනුගමනය කරමින් සිටියේ “ප්‍රතිකාරය (අගුලු දැමීම) රෝගයට වඩා දරුනු නොවිය යුතුය” යන නරුම පිලිවෙතයි.

මෙම පිලිවෙත් වල ප්‍රතිවිපාක ලෙස, අවම පීසීආර් පරීක්ෂන සහ රෝහල්වල අවධාරිතාව නිසා, නිවෙස් තුල සිදුවන මරන සංඛ්‍යාව තවමත් ඉහල අගයක පවතී. සැප්තැම්බර් 3 දක්වා ගතවූ දින හත තුල නිවෙස් තුල හා රෝහලට ඇතුලත් කරන විට සිදුවන මරන ප්‍රතිශතය සියයට 19.5 කි. එය සංඛ්‍යාත්මකව 1912 කි.

වඩා අවදානම් සහගත කන්ඩායම් වන නිදන්ගත රෝග සහිත අය, වයස 60 ට වැඩි පුද්ගලයින් සහ ගැබිනි මව්වරුන් අතරේ වසංගතයේ බලපෑම ඉමහත් ය. මේ දක්වා ගැබිනි මව්වරුන් 5,500 කට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් හතලිස් දෙනෙක් මිය ගොස් ඇත. ආන්ඩුව විසින් විශේෂඥ නිර්දේශ ඉවත ලා එන්නත්කරනය පමා කල වයස 60 ට වැඩි කාන්ඩයේ මරන තවමත් ඉහල අගයක පවතී.

අවදානම් කන්ඩායම් අතරේ සංකූලතා හා මරන අවම කිරීමේ තීරනාත්මකම කාරනාව වනුයේ එන්නත්කරනයයි. කෙසේ වෙතත් ආන්ඩුව එන්නත්කරනය භාවිත කරමින් සිටින්නේ ජීවිත ආරක්ෂා කිරීමට නොව ආර්ථිකය විවෘත කිරීම සඳහා කඩතුරාවක් සපයා ගැනීමටය. එම නිසා ඔවුන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කොටස් අත්හැර, වැඩට ගෙන්වා ගැනීමට අවශ්‍ය කොටස් වලට එන්නත ලබාදුනි.

කෙසේ නමුත්, ඩෙල්ටා ප්‍රභේදයේ ඉහල පැතිරීමේ වේගය සහ එහි ස්වභාවය අනුව එන්නත්කරනය සහ මුව ආවරන පැලඳීම පමනක් ප්‍රමානවත් නොවේ.

“වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි”යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියේ පෙන්වාදෙන පරිදි “වසංගතය පාලනය කිරීමේ හා අවසානයේදී මුලිනුපුටා දැමීමේ ප්‍රධාන අංගයන් නම් පුලුල් ලෙස පරීක්‍ෂන පැවැත්වීම, ආශ්‍රිතයන් සොයා යාම, ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම, දැඩි සංචරන සීමා පැනවීම සහ සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම යි. ලොව පුරා එන්නත් නොකල දල වශයෙන් බිලියන 5.8 ක ජනතාවක් ඉක්මනින් එන්නත් කිරීම සඳහා එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීම සීඝ්‍රයෙන් ව්‍යාප්ත කල යුතුය.”

එම ලිපිය තවදුරටත් පැහැදිලි කරන පරිදි, වසංගතය මැඩලීමේ “එකම ශක්‍ය මූලෝපාය වන්නේ වසංගත රෝග විශේෂඥයින්, වෛරසවේදීන් සහ අනෙකුත් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මත පදනම්ව වෛරසය මුලිනුපුටා දැමීමයි. එවන් මුලිනුපුටා දැමීමක අන්තර්ගතය වනුයේ වෛරසය සදහටම අතුගාදැමීම සඳහා ගෝලීය පරිමානයෙන් සම්බන්ධීකරනය කරන ලදුව කොවිඩ්-19 ට එරෙහිව අවි ගබඩාවේ සෑම ආයුධයක්ම විශ්වීය ලෙස ක්‍රියාවේ යෙදවීමයි.”

Loading