මහාචාර්යවරියගේ දේශනයෙන් කොවිඩ් වසංගතය පිලිබඳ වැදගත් කරුනු රාශියක් අනාවරනය වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ, 'කොවිඩ් -19 වසංගතය: ඵලදායී පර්යේෂන තුලින් ඉදිරි මාවත' (the covid-19 pandemic: the way forward through impactful research) යන මැයෙන්, අගෝස්තු 30 වන දින පැවැත්වූ දේශනයෙන් වසංගතය පිලිබඳ ඉතා වැදගත් කරුනු රාශියක්ම අනාවරනය විය. ඇය මෙම දේශනය පැවැත්වූයේ කොලඹ විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගෙන් ලද ඇරයුමක් මත සිදු කෙරුනු 'සුජාතා ජයවර්ධන අනුස්මරන' කථනයක් ලෙසිනි.

මහචාර්ය නිලීකා මලවිගේ

ඇගේ දේශනයේ වැදගත්ම අංශයක් වූයේ විද්‍යාත්මක ජයග්‍රහන කෙරෙහි භූ-දේශපාලනික ප්‍රතිවිරෝධතා හරස්ව සිටින අයුරු තම අත්දැකීම් මගින් පෙන්වා දීමයි. මෙහිදී, කොවිඩ්-19 වසංගතයට එරෙහි ප්‍රතිදේහ ජනකයක් ලෙස චීනයේ නිෂ්පාදිත සයනෝෆාම් එන්නත සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ඇතිවූ ප්‍රතිවිරෝධතා පිලිබඳව මහාචාර්ය මලවිගේ අවධානය යොමු කලාය.

යුරෝපා සංගමය, කැනඩාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල්, සයනොෆාම් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල් එන්නත් ලබාගත් අය සම්පූර්න එන්නත්කරනයට ලක් වූ අය ලෙස නොසැලකීමේ ආස්ථානයක් ගෙන තිබුනි. නමුත් ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙම එන්නම් දෙකම අනෙක් එන්නත් ලෙසම අනුමත කර තිබුනි.

එවන් පසුබිමක මහාචාර්ය මලවිගේ හා කන්ඩායම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහාය ඇතිව, සයනොෆාම් එන්නත මගින් ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව සොයා බැලීම සඳහා අධ්‍යයනයක් සිදුකර ඇත. එමගින් දිරිගන්වන සුළු ප්‍රතිඵල සොයා ගත් බව, ඇය තම දේශනයේ දී හෙලිදරව් කලාය.

අධ්‍යනයෙන් සොයා බලා ඇත්තේ සයනොෆාම් එන්නත ලබා ගන්නා පුද්ගලයන්ගෙන් කිනම් ප්‍රතිශතයක් ප්‍රතිදේහ නිපදවාගනු ඇත් ද යන්නයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගන්නා පුද්ගලයන්ගෙන් සියයට 95 ක් තුල ප්‍රතිදේහ නිපදවෙන බව එහිදී සොයාගෙන ඇත. කෙසේ නමුත්, වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කොපමන ප්‍රතිදේහ ප්‍රමානයක් සිරුර තුල නිපදවා තිබිය යුතු ද යන්න මෙතෙක් ලොව කිසිවෙකු සොයා ගෙන නොමැති බව ඇය අවධාරනය කලාය.

මලවිගේ ඇතුලු කන්ඩායමේ මෙම සොයාගැනීම් වලට ජාත්‍යන්තර මාධ්‍යයන් 43 කින් අසාමාන්‍ය ප්‍රතිචාරයක් ලැබී ඇත. නමුත් එක් එක් මාධ්‍යය, 'සත්‍යය විකෘති කරමින්' සහ 'විවිධ ශීර්ෂපාඨ යොදාගනිමින්' තම දේශපාලනික සහ වානිජ අවශ්‍යතා සඳහා එය යොදා ගෙන තිබූ ආකාරය ඇය පෙන්වා දුනි.

චීනයේ ඩේලි රිපෝට් තුල එය වාර්තා කර තිබුනේ, 'සයනොෆාම් එන්නත, ඩෙල්ටා ප්‍රභේදය ද ඇතුළුව වෛරසය සඳහා ඉහල ඵලදායිතාවයක් ඇති බව ශ්‍රී ලංකාවේ අධ්‍යයනයකින් පෙන්වයි' යන හිසින් යුතුවය. නමුත් රොයිටර් වාර්තා කර තිබුනේ, 'සයනොෆාම් කොවිඩ්-19 එන්නත, ඩෙල්ටා ප්‍රභේදය සඳහා දුර්වල ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ජනනය කරයි' යනුවෙනි.

රොයිටර් වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ලංකාවේ චීන තානාපති කාර්යාලය යැවූ ට්විටර් පනිවිඩයක සඳහන්ව තිබුනේ ' රොයිටර් හි ප්‍රධාන විධායක නිලධාරියා, ෆයිසර් හි විධායක මන්ඩල සාමාජිකයෙකි' යනුවෙනි. ෆයිසර් යනු එක්සත් ජනපද සමාගමකි.

නමුත් මහාචාර්ය මලවිගේ පැහැදිලි කලේ තම කන්ඩායම සිදු කලේ, ඉහත මාධ්‍යයන් පැවසූ ආකාරයේ එන්නතේ කාර්යක්ෂමතාව පිලිබඳ අධ්‍යයනයක් නොවන බවයි. ඇය තව දුරටත් අදහස් දක්වමින් එන්නත 'දේශපාලනීකරනය' වී ඇති බව පැවසුවාය.

ඇය හෙලිකල ඉහත කරුනු වලින් පැහැදිලි වන්නේ, භූ-දේශපාලනික ප්‍රතිමල්ලවතා, විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ චීනය අතර ගැඹුරු වන සතුරුකම්, මානව වර්ගයාගේ විද්‍යාත්මක ජයග්‍රහනයන් කෙරෙහි මෙන්ම, ගෝලීය වසංගතයක් වැනි දැවැන්ත මානව ව්‍යසනයක් පරාජය කිරීමේ සාමූහික ප්‍රයත්නයන් කෙරෙහි, කෙතරම් නිෂේධනීය ලෙස බලපාන්නේද යන්නයි.

මහාචාර්යවරිය ඇගේ දේශනය තුලදී, 'එන්නත් දේශපාලනයේ කිලිටි පැත්ත', එනම් 'දියුනු රටවල් එන්නත් ගොඩගසා ගැනීම' ගැන ද අවධානය යොමු කලාය. 'ඔවුන් අවශ්‍ය තරමට වඩා විශාල එන්නත් ඇනවුම් කර ලබා ගත් අතර ඒවා ඉතා ඉක්මනින් කල් ඉකුත් වනු ඇතැ' යි ඇය පැවසුවාය. ඇය තව දුරටත් පෙන්වා දුන්නේ එසේ කල් ඉකුත් වන එන්නත් අතර ෆයිසර් එන්නත් මාත්‍රා බිලියන 3.7ක්, මොඩර්නා එන්නත් මාත්‍රා බිලියන 1.7ක් සහ ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා බිලියන 1.1 ක් ඇති බවයි.

මෙසේ කල් ඉකුත් වන එන්නත් මාත්‍රා වල එකතුව බිලියන 6.5 ක් වේ. තත්වය මෙසේ තිබියදී ලෝක ජනගහනයෙන්, එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී නොමැති පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 5.8 ක් වේ. මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ ලෝක ජනගහනයෙන් බිලියන 2 කට තරම් සංඛ්‍යාවකට ය. මෙම කල් ඉකුත් වීමට ඇති එන්නත් ප්‍රමානය, ලෝකයේ මේ වන විට කිසිඳු එන්නතක් ලබා නොදුන් සියලුම දෙනාට පලමුවන මාත්‍රාව ලබා දුන් පසු ද ඔවුන්ගෙන් කෝටි 70කට දෙවන මාත්‍රාව ලබා දීමට ද ප්‍රමානවත් වේ.

මෙම එන්නත් කල් ඉකුත් වී ගිය ද ඒවා කිසිදු රටකට ලබාදීමට ඔවුන් ක්‍රියාත්මක වී නැත. ලෝකය තුල එන්නත් ප්‍රමානවත් ලෙස නිපදවා තිබියදීත්, ගෝලීයව අති මහත් බහුතරයකට එය ලබාගැනීමට නොහැකිවීම මගින් පැහැදිලි කෙරෙන්නේ මහාචාර්යවරිය සඳහන් කරන 'එන්නත් දේශපාලනය' පාදක වන ධනපති නිෂ්පාදන-ආර්ථික ක්‍රමයේ මානව-විරෝධීභාවය සහ අතාර්කිකභාවය යි.

'එන්නත් දේශපාලනය', වඩාත් සංයුක්තව පැවසුවහොත් 'එන්නත් ජාතිකවාදය', ගලා එන්නේ, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබෙන සහ සමස්ත මනුෂ්‍ය වර්ගයා සාමූහික ප්‍රයත්නයන්ගෙන් වියෝ කරන එකිනෙකට පිලිමල් ජාතික රාජ්‍ය පද්ධතියකින් සමන්විත ගෝලීය ධනපති ක්‍රමයෙනි. ගෝලීය වසංගතය මුලිනුපුටා දැමිය හැක්කේ ගෝලීය ප්‍රයත්නයකින් වන නමුත්, ඓතිහාසික වශයෙන් අතාර්කික ධනපති ක්‍රමය එවන් ගෝලීය ප්‍රතිචාරයකට එරෙහිව පිහිටා සිටී.

මලවිගේ වැනි විද්‍යාවට අවංක, මිනිස් ජීවිත කෙරෙහි දැඩි උත්සුකයක් සහිත විද්‍යාඥයන් ගේ සොයා ගැනීම්, මතවාදයන් සහ පැහැදිලි කිරිම් මාධ්‍ය විසින් විකෘතිකොට දැක්වීම බැඳී පවතින්නේ මෙම ධනපති අවශ්‍යතාවයන් මතය. ඇය වැන්නවුන් ආරක්ෂාකර ගැනීම ජාත්‍යන්තර කම්කරු පංතියේ වගකීමකි.

ඒ සමගම, අනෙකුත් බොහෝ විද්‍යාඥයන් මෙන්ම, ඉහත ගැටලුවල මූලය පවතින්නේ ධනපති ක්‍රමය තුල බව වටහා ගැනීමෙන් තොරව, ප්‍රශ්න වලට පිවිසීම හේතුවෙන් යම් සාවද්‍ය නිගමන වලට ද මලවිගේ පිවිසෙන්නීය.

වෛරසය ඇතිවීම පිලිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ 'මෙය අලූත් වෛරසයක් කොහේ සිට හදිසියේ ආවාදැයි නොදන්නා නිසා සෑම දෙනාටම අත්වැරදීම් සිදුවිය හැකියි' යනුවෙනි. ලෝකයේ හොඳම සෞඛ්‍ය පහසුකම් ඇති රටවලටත් මෙම 'අත්වැරදීම්' සිදුවූ බව ඇය තවදුරටත් පැවසුවාය. මුලදී වසංගතය හොඳින් පාලනය කල වියට්නාමය වැනි රටවල ද නැවත වසංගතය පැතිර ගියේ 'අත්වැරදීම්වලින්' බව ඇගේ මතය විය.

වියට්නාමය, නවසීලන්තය සහ චීනය වැනි මුලදී වසංගතය හොඳින් පාලනය කල රටවල් වලට එය යලි පැමිනියේ, තදින් ඒකාග්‍ර වූ ගෝලීය ආර්ථිකයක් තුල කවර හෝ රටකට වෛරසයේ ආගමනය මුලුමනින්ම නතර කිරීම කල නොහැකි බැවිනි. වසංගතයෙන් මිනිස්වග විමුක්ත කර ගැනීමටනම් එය ගෝලීය වශයෙන් මුලිනුපුටා දැමිය යුතුය.

'වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි' යන හිසින්, අගෝස්තු 21 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියේ සඳහන් කෙරුනු පරිදි, 'යතාර්ථය නම්, වෛරසය ව්‍යාප්ත වන තාක් කල්, එය සමස්ත මානව වර්ගයාට ම තර්ජනයක් වන නව, වැඩියෙන් බෝවන, මාරාන්තික සහ එන්නත්වලට ඔරොත්තු දෙන ප්‍රභේද බවට විකෘති වෙමින් පවතිනු ඇත. එය ලෝක පරිමානයෙන් තුරන් නොකලහොත්, කොවිඩ්-19 හි ගිනි අඟුරු නොකඩවා දැවෙමින් වෛරසය අලුතින් හදිසියේ ඇවිල යාමට කොන්දේසි නිර්මානය කරනු ඇත.'

ලිපිය තවදුරටත් මෙසේ කියා සිටී: 'එම නිසා, එකම ශක්‍ය මූලෝපාය වන්නේ, වසංගත රෝග විශේෂඥයින්, වෛරසවේදීන් සහ අනෙකුත් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මත පදනම්ව වෛරසය මුලිනුපුටා දැමීමයි. එවන් මුලිනුපුටා දැමීමක අන්තර්ගතය වනුයේ වෛරසය සදහටම අතුගාදැමීම සඳහා ගෝලීය පරිමානයෙන් සම්බන්ධීකරනය කරන ලදුව කොවිඩ්-19 ට එරෙහිව අවි ගබඩාවේ සෑම ආයුධයක්ම විශ්වීය ලෙස ක්‍රියාවේ යෙදවීමයි.'

නමුත් එකිනෙකාට සතුරුව බෙදී ඇති ජාතික රාජ්‍ය පද්ධතියක් තුල මුල්බැස ඇති ගෝලීය ධනපති ක්‍රමය තුල එවන් 'ගෝලීය සම්බන්ධීකරනයක්' කල නොහැක. නැවත නැවතත් වෛරසය මතුවීම හුදෙක් 'අත්වැරදීම්' වල ප්‍රතිඵලයක් ලෙස අර්ථ ගැන්වීමෙන්, ප්‍රශ්නයේ මූලය පවතින්නේ, ධනපති ක්‍රමය තුලය යන අවබෝධය කරා පැමිනීමෙන් විද්‍යාඥයන් ඇතුලු සියලුදෙනා වලකා ලයි.

මානව ව්‍යසනය නිමාවකට ගෙන ඒමට සතුරුව පවත්නා ධනේශ්වර සමාජ පර්යායට විකල්ප වෙනත් සමාජ ක්‍රමයක් ගැන නොසිතනතාක්, අවසානයේදී සිදුවනු ඇත්තේ, වසංගතය මුලිනුපුටා දැමීම වෙනුවට, වසංගතය අවම කිරීමේ මූලෝපාය පිලිගැනීමටයි. 'වසංගතය අපට තුරන් කල නොහැකියි අප වසංගතය සමඟ ජීවත් විය යුතුයි' යන නිගමනයට දේශනය අවසානයේදී මලවිගේ පැමිනෙන්නේ එබැවිනි.

අනෙක් අතට, කොවිඩ්-19 'නව වෛරසයක්' බව සත්‍යවන නමුත් එය හිටිහැටියේ අනපේක්ෂිතව කඩාපාත් වූවක් නොවේ. මෙවැන්නක් පිලිබඳව විද්‍යාඥයින් සිදුකල පූර්ව අනතුරු ඇඟවීම් ලෝකයේ කිසිදු ධනපති ආන්ඩුවක් සැලකිල්ලට ගෙන එයට කල්තියා සූදානම් වූයේ නැත. රෝහල් ධාරිතාවන් ඇතුලු සෞඛ්‍ය පහසුකම් වැඩි දියුනු කරමින් සහ පර්යේෂන සඳහා වඩවඩාත් අවස්ථා විවර කරමින් ඒ සඳහා බිලියන සංඛ්‍යාත මුදල් වෙන් කරනු වෙනුවට, ලොවපුරා සෑම ආන්ඩුවක්ම පසුගිය දශකය පුරා සිදුකලේ සෞඛ්‍ය වියදම් දැවැන්තව කප්පාදු කිරීමයි.

ලොව පුරා ධනපති නායකයින්ගේ උත්සුක ය වූයේ විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරමින් මිනිස් ජීවිත බේරා ගැනීමට නොව, මහධනපතියන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව ඉදිරියට ගෙනයාම සුරක්ෂිත කර දෙන්නේ කෙසේද යන්නයි. විද්‍යාඥයන්ගේ නිර්දේශ සහ උපදෙස් නොතකා, මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ ලක්ෂ සංඛ්‍යාත දරුවන් වසංගතයට බිලි දෙමින්, ලොව පුරා ධනපති ආන්ඩු අනාරක්ෂිත ලෙස කර්මාන්ත හා පාසැල් විවෘත කර තබා ගැනීමට වලි කන්නේ එබැවිනි.

මලවිගේ වැනි විද්‍යාඥයන්ගේ දැනුම සහ සොයාගැනීම් ධනපති පාලකයන් විසින් වසංගතය මැඩීම සඳහා යොදා නොගන්නේ, ඔවුනගේ උඩඟුකම හෝ අඥානකමක් නිසා නොවේ. පරිහානිගත ධනවාදයේ ලාභ අවශ්‍යතාවයන්, අන්සෑම සංස්කෘතික ජයග්‍ර‍නයකට මෙන්ම විද්‍යාවට ද සතුරුව පිහිටා සිටින බැවිනි.

එයට විපරීතව ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිතයන්ගේ සමාජ අවශ්‍යතා විද්‍යාත්මක සත්‍යය සමඟ බලවත් ලෙස අන්තර් ක්‍රියා කරයි. මාක්ස්වාදී ව්‍යාපාරයේ සමාරම්භක ෆෙඩ්රික් එංගල්ස් පැවසූ පරිදි: “විද්‍යාව නිර්දය අයුරින් සහ අපක්ෂපාතී අයුරින් ඉදිරියට යත්ම, තමා, කම්කරුවන්ගේ උවමනාවන් සහ අභිලාෂයන් සමග එකමුතුවකට යන බව විද්‍යාවට පෙනේ. සමාජයේ සමස්ත ඉතිහාසය ම තේරුම් ගැනීමේ මාර්ගය ලෙස ශ්‍රමයේ වර්ධනය පිලිබඳ ඉතිහාසය පිලිගත් නව ප්‍රවනතාව එහි ආරම්භයේ පටන්ම වඩාත් කැමැත්තෙන් කම්කරු පන්තිය ඇමතුවේය. නිලවශයෙන් පිලිගත් විද්‍යාවෙන් නොසෙවූත් බලාපොරොත්තු නොවූත් ප්‍රතිචාරය කම්කරු පන්තියෙන් එයට ලැබුනේය”.

වසංගතය මුලිනුපුටා දැමීමේ මූලෝපාය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර හා කම්කරු පන්තියේ බලගතු ඒකාබද්ධ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වන්නේ එබැවිනි. ප්‍රතිපත්ති වෙනසකට බල කිරීම සඳහා අවශ්‍ය සමාජ බලවේගය උත්පාදනය කල හැක්කේ ලාභ අරමුනු සඳහා නොවන සහ උමතු ලෙස පුද්ගලික ධනය ලුහුබැඳ නොයන, එනම් මානව අවශ්‍යතා සපුරාලන ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදින මහජන ව්‍යාපාරයකට පමනි.

Loading