බන්ධනාගාරයට කඩා වැදී දෙමල දේශපාලන සිරකරුවන්ට රත්වත්තේ කල මරන තර්ජන ආන්ඩුවේ මුර්ග මුහුනුවර හෙලි කරයි

බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් කඩා වැදී දෙමල දේශපාලන සිරකරුවන්ට මරන තර්ජන එල්ල කිරීමෙන් සතියක් ඉක්ම ගොස් ඇත. සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රයට කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්නුම් කරමින්, සිද්ධිය සම්බන්ධයෙන් එය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, බීමත් ඇමති පිස්තෝලයකින් සන්නද්ධ ව ඉරිදා රාත්‍රියේ හෙලිකොප්ටරයකින් අනුරාධපුර බන්ධනාගාරය වෙත පියාසර කර ඇත්තේ කල්ලියක් පිරිවරා ගෙනයි. බන්ධනාගාර රෙගුලාසීන්ට අනුව කිසිවෙකුට ගිනි අවි සහිතව බන්ධනාගාරයකට පිවිසිය නොහැකි ය.

රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින දෙමල දේශපාලන සිරකරුවන් 13 දෙනෙකුගේ රැඳවුම් සිරකුටිය වෙත යන අතරේ ඔහු බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර ඇත. ඔහු සිරකරුවන් කුටියෙන් පිටතට ගෙන ඒ අතර සිටි හැටන් පදිංචිකරුවෙකු වන ගනේෂන් දර්ශන් සහ යාපන දිස්ත්‍රික්කයේ නෙල්ලියඩි පදිංචිකරුවෙකු වන මදිඇරසන් සුලක්ෂන් යන අය දන ගස්සවා ඇත.

දන ගැස්සසූ දෙ දෙනා ගේ හිසට පිස්තෝලය එල්ල කල ඇමති ඔවුන් මරා දමන බවට තර්ජනය කරමින් “උඹලා එලියට යවන එක තීරනය කරන්නේ අපි” කියා බැන වැදුනු බව සිරකරුවෝ ප්‍රකාශ කරති.

වර්ගවාදී පරුෂ වචන කියමින් සිරකරුවන්ට බැන වැදි රත්වත්තේ ඉන් එක් අයෙකුගෙන් යුද්ධයේ දී ආරක්ෂක නිලධාරීන් කී දෙනෙකු ඝාතනය කලේ දැයි ප්‍රශ්න කොට ඇත.

මොවුහු වසර ගනනාවක් තිස්සේ බන්ධනාගාරගත කර සිටින දුසිම් ගනනක් වන දේශපාලන සිරකරුවන්ගෙන් කොටසකි. ඇතැමුන්ට චෝදනාවන් පවා නැත.

ඇමතිගේ ක්‍රියාව සාපරාධී වනවා පමනක් නොව, එය දෙමල විරෝධී වර්ගවාදී ප්‍රකෝපකරනයකි.

අගෝස්තු 5 වැනි දා ද රත්වත්තේ තම හිතවතුන් පිරිසක් සමග ඔවුන්ට එල්ලුම් ගස පෙන්නීමට අවශ්‍ය යැයි කියමින් මේ හා සමාන අයුරකින් වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී ඇත.

රත්වත්තේ ගේ ප්‍රකෝපකාරී ක්‍රියාව ජාතිකවත් ජාත්‍යන්තරවත් කෝපයෙන් යුතු හෙලා දැකීම්වලට ලක් විය. කෙසේ නමුත්, ජනාධිපති දින තුනක් නිර්ලජ්ජිතව මුනිවත රැකීමෙන් අනතුරු ව, “වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාල ව වගකීම භාර ගනිමින් රත්වත්තෙ සිදු කල ඉල්ලා අස් වීම ජනාධිපති භාර ගත්තේ” යැයි සඳහන් කරමින් බදාදා ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කලේ ය.

රත්වත්තේ ඇමති නතතුරුවලින් නෙරපා දමා අත් අඩංගුවට ගැනීමට නියෝග කොට නීති ක්‍රියාමාර්ග කැඳවනු වෙනුවට ජනාධිපති කලේ ඔහු තම බන්ධනාගාර ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීම පමනක් පිලිගෙන දිගට ම මැනික් සහ ස්වර්නාභරන රාජ්‍ය ඇමති වශයෙන් තබා ගැනීමයි.

ආන්ඩුවේ කොටස් සහ යටහත් පහත් මාධ්‍ය ද, රත්වත්තේ ම ද, දැන් ඇත්ත සිදුවීම කනපිට පෙරලිය හැකි බොරු ගොතමින් සිටිති.

සිදුවීම විමර්ශනය කිරීමට බරපතල ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව මවා පෑමට 'ද මොර්නින්ග්' සිකුරාදා වර්තා කලේ “ලොහාන් විමර්ශන ත්‍රිත්වයකට මුහුන දෙයි” යනුවෙනි. මේ එක් විමර්ශනයක් බෙලහීන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙනි, අනෙක බන්ධනාගාර අධිකාරියෙන් සහ තෙ වැන්න පොලිසියෙනි. කෙසේ නමුත්, මෙම ප්‍රකෝපකාරී ක්‍රියාව සම්බන්ධ සත්‍ය සිදුවීම් යට ගැසීමට තිරය පිටුපස කුමක් සිදු වනු ඇතිදැයි මෙරට කම්කරු පීඩිත මහජනතාව හොඳින් දනිති.

ඩේලි මිරර් සිකුරාදා රත්වත්තේ සමග සම්මුඛ සාකච්ඡාවක් පල කලේ ය. එහි දී රත්වත්තෙ තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කලේ ය. ඔහු නරුම ලෙස කියා සිටියේ තමන් බන්ධනාගාරයට ගිනි අවි රැගෙන නොගිය බවත් දෙමල සිරකරුවන්ට තර්ජනය නොකල බවත් ය.

“කාටවත් නොදන්වා යාමට හේතුව බන්ධනාගාර තුල සිදු වන දේ දැන ගැනීමට දැඩි ලෙස ඕනෑ කල නිසයි. … ඇමතිවරයෙකු හැටියට මට ඕනෑ ම වෙලාවක ඕනෑ ම බන්ධනාගාරයක් තුලට යා හැකියි. ඒකට කාගෙවත් අවසරයක් අවශ්‍ය වන්නේ නෑ. … රෑ හරි දවල් හරි ඕන වෙලාවක.” යැයි ඔහු එහි දී ප්‍රකාශ කලේ ය.

බන්ධනාගාර තුල සිට සංවිධානය කෙරෙන මත්ද්‍රව්‍ය වෙලඳාම් සහ මිනීමැරීම් නතර කිරීමට පියවර ගත් බවත් “ප්‍රමිතිගත බන්ධනාගාර සංකීර්නයක්” ගොඩ නැගීමට කටයුතු ආරම්භ කල බවත් රත්වත්තේ වැඩි දුර පවසා සිටියේ ය. ඔහු සත්‍ය වශයෙන් ම කරමින් සිටියේ කම්කරුවන්ට සහ දුගීන්ට එරෙහි ඉදිරි මර්දනකාරී ක්‍රියාවන් සඳහා සූදානම් වීමක් වශයෙන් 100,000ක් රැඳවිය හැකි බන්ධනාගාර සංකීර්නයක් ජනාධිපතිගේ මෙහෙය වීම යටතේ හොරන ප්‍රදේශයේ ඉදිකිරීමට ආරම්භකත්වය ගැනීමයි.

ඊනියා විමර්ශනවලින් පසු අවසානයේ ගෙතීමට ඉඩ ඇති කතාවේ ඡායාවන් මෙම උද්ධච්ඡ ප්‍රකාශ තුල දැක ගත හැකි ය. ඔහු මෙ බඳු උද්ධච්ඡ ප්‍රකාශ කිරීමට දිරි වඩා ගෙන ඇත්තේ ආන්ඩුව ම මෙයට දක්වන ආකල්පය මතිනි.

ඇමති ධූර ගනනාවක් දරන ඇමතියෙකු වන නාමල් රාජපක්ෂ බ්‍රහස්පතින්දා අනුරාධපුර බන්ධනාගාරයට ගොඩ වැදුනි. මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ “අනවශ්‍ය කටකතා පතුරවන්නේ නැති ව” විපක්ෂය ආන්ඩුවේ පරීක්ෂනයට සහය දිය යුතු බවයි. මේ “කටකතා” මොනවා දැයි ඔහු කිව්වේ නැත.

“අපේ දේශපාලන ඉතිහාසයේ ඉතා දුලභ දෙයක් වන” මේ ආකාරයේ ඉල්ලා අස්වීමක් මගින් රත්වත්තේ “වටිනා උදාහරනයක්” සම්පාදනය කර ඇතැයි ප්‍රකාශ කරමින් ඇමති විමල් වීරවංස සිද්ධිය යට ගැසීමේ ව්‍යාපාරයට තම දායකත්වය සම්පාදනය කලේ ය.

පසුගිය වසරේ නොවැම්බරයේ මහර බන්ධනාගාරයේ ලේ වැකි මර්දන සිද්ධියෙන් පසු එවකට බන්ධනාගාර ඇමති සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ එම තනතුරින් ඉවත් කොට ජනාධිපති රාජපක්ෂ විසින් රත්වත්ත එම ධූරයට පත් කෙරුනි.

බන්ධනාගාර තුල මාරාන්තික කොවිඩ්-19 වෛරසය පැතිරෙන්නට වූ විට මහර සිරකරුවෝ පීසීආර් පරීක්ෂන ඉල්ලමින් විරෝධතා දක්වන්නට වූහ. ඔවුන්ගේ ඉල්ලීමට සවන් දෙනු වෙනුවට බන්ධනාගාර බලධාරීන් කලේ පොලිසියේ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය තුලට යවා ප්‍රකෝපකරනයක් අවුලුවා 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර සියයකට අධික පිරිසකට තුවාල සිදු කිරීමයි. මේ අපරාධයට වගකිව යුත්තන් නිදැල්ලේ හැසිරෙද්දී උද්ඝෝෂනයේ යෙදීම සම්බන්ධයෙන් රැඳවියන් දුසිම් ගනනකට දඬුවම් පමුනුවන ලදි.

පාලක පක්ෂයේ දිගු කාලීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රත්වත්තේ මීට පෙර 2001 දෙසැම්බර් මහමැතිවරන සමයේ මහනුවරට ආසන්න උඩතලවින්නේ දී මුස්ලිම් තරුනයන් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුවක විත්තිකරුවකු වශයෙන් චෝදනා ලබා සිටියේ ය. ඔහු එහි දී වරදකරු වූ නමුත් 2006 තම පියා වන හිටපු ඇමතියෙකු වන අනුරුද්ධ රත්වත්තේ සහ තම සහෝදරයා සමග එම චෝදනාවලින් නිදොස් ව නිදහස ලැබී ය. ආරක්ෂක අංශ නිලධාරීන් පස් දෙනෙකු මරන දඬුවමට යටත් කෙරුනු අතර පසු ව ඒ අය ද 2009 දී ශ්‍රේෂඨාධිකරනය විසින් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලදහ.

රත්වත්තෙගේ සාපරාධී ක්‍රියා හුදෙකලා සිද්ධීන් නොවේ. නීතිය තම අතට ගනිමින් ඇමතියෙකු හෝ තමන් අත බලය ඇති ඕනෑ ම අයෙකු හෝ මෙ බඳු ක්‍රියා කලාපයක නිරත වීම ශ්‍රී ලංකාව තුල ගොඩනගමින් පවතින ආඥාදායක පාලනයේ ස්වභාවය පෙන්නුම් කරන්නකි.

ශ්‍රී ලංකාවේ සමස්ත පාලක ප්‍රභූව තම සමාජ විරෝධී පරිහානිය පිලිඹිබු කරමින් දූෂනය, මිනීමැරුම් සහ යුද අපරාධ ඇතුලු සාපරාධී ක්‍රියාවන්හි නිරත වූවන්ගෙන් පිරී ගොස් ඇත.

ජනාධිපති රාජපක්ෂ 2019 නොවැම්බරයේ දී බලයට පැමිනියේ උග්‍ර අර්බුදයකින් හෙලෙත්තාඩු වූ පාලක ප්‍රභූවට “ශක්තිමත් සහ ස්ථාවර පාලනයක්” තහවුරු කරන්නෙමැයි පිලින දෙමිනි. පෙර පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයේ කොටසක් ලෙස වැඩි වර්ධනය වූ මහජන විරෝධය මධ්‍යයේ බිඳ වැටුනි.

රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන තම බලයට පැන ගැනීමේ උද්ඝෝෂනයට පදනම් කර ගත්තේ මිලිටරියට ආයාචනා කිරීම සහ ස්වෝත්තමවාදී සිංහල බෞද්ධ කන්ඩායම් තමන් වටා රැලි කර ගැනීමයි. තව ද, මහජනයාගේ අතෘප්තිය ගසා කෑමට බොරු පොරොන්දු ද පෙරට දමනු ලැබුනි.

බලයට පැමිනි දා පටන් ඔහු තම පරිපාලනය මිලිටරි නිලධාරීන්ගේ පුරවා දමන අතරේ අරගලයට ඇදෙන කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට දෙමල සහ මුස්ලිම් විරෝධී ප්‍රචාරනයන් අවුලුවමින් සිටී. ඒ ගමන් ම ආන්ඩුව මිලිටරියට ඕනෑ ම අපරාධයකින්, විශේෂයෙන් ම දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ දී සිදු කල අපරාධයන්ගෙන් මුක්තිය තහවුරු කිරීමට උත්සාහ දරයි.

දෙමල සිවිල් වැසියන් ඝාතනය කලේ යැයි චෝදනා ලැබ වදරකරු වූ හමුදා සැරයන් සුනිල් රත්නායක සහ මිනීමැරුමකට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද ජනාධිපති සමාව ලැබ නිදහස් වීම සුලුපටු කාරනාවන් නොවේ. මේ අවස්ථා දෙකේ දී ම විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් මරන දන්ඩනයට ලක් කරනු ලැබ සිටියහ.

ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ ආර්ථික අර්බුදය උග්‍ර කර ඇත. ජීවන තත්ත්වයන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරයන්ට විරෝධය පාමින් කම්කරු පන්තියේ කොටස් ගනනාවක් වර්ධනය වන අරගල මාලාවකට එලැඹෙමින් සිටින්නේ ගම්බද ව නොසන්සුන්කාරී වාතාවරනයක් වර්ධනය වෙද්දී ආන්ඩුවේ අර්බුදය තව තවත් වැඩි වර්ධනය කරමිනි.

අගෝස්තු 30 වැනි දා, ආහාර සැපයුම් මනාව පවත්වා ගෙන යාමට යැයි සඳහන් කරමින්, ජනාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කලේ ය. මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වැඩි දුර තලා දැමීමට හදිසි අවස්ථාව යටතේ ඕනෑ ම වේලාවක බලාත්මක කල හැකි දුර දිග යන බලතල ජනාධිපති තමන් අතට ගෙන ඇත. මැයි 17 වැනි දා සිට ඔහු රාජ්‍ය ආයතන ගනනාවක කාර්මික ක්‍රියාවන් තහනම් කරමින් අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග බලාත්මක කර තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිඥයන්ගේ සංගමය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, එක්සත් ජාතීන්ගේ කොලඹ කාර්යාලයේ නියෝජිත හැනා සින්ගර් සහ ශ්‍රී ලංකාවේ සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව ඇමතිගේ ක්‍රියාවන් හෙලා දැකි පාර්ශ්ව අතර වෙයි.

කෙසේ නමුත් තම මර්දනකාරී පාලනය තහවුරු කර ගැනීමේ යෙදී සිටින ආන්ඩුව මෙම සාපාරාධී ක්‍රියාව පසෙකට අතු ගා දමනු ඇත.

Loading