වතුපිටිවල ඒටීජී අත්වැසුම් කම්හලේ පරිපාලනය කම්කරුවන් 16 දෙනෙක් සේවයෙන් නෙරපා හරී

නිට්ටඹුවේ වතුපිටිවල නිදහස් වෙලඳ කලාපයේ පිහිටි ඒටීජී ග්ලවුස් නිටිං සමාගමේ කම්කරුවන් විසින් වෘත්තීය සමිතියක් ගොඩ නැගීමට දැරූ ප්‍රයත්නය හේතුවෙන්, කම්හල් පරිපාලනය කම්කරුවන් 16 දෙනෙකු සේවයෙන් නෙරපා හරිමින් සේවක දඩයමක් දියත් කර ඇත. ඒටිජි කම්කරුවන් අගෝස්තු මාසයේ දී එක්සත් කම්කරු සම්මේලනයට අයත් වානිජ හා කාර්මික සේවක සංගමයේ (වාකාසේස) ශාඛාවක් පිහිටුවා ගැනීමෙන් ඉක්බිතිව ඒ පිලිබඳව කම්හල් පාලනාධිකාරයට දැනුම් දී තිබේ. වෘත්තීය සමිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කල පාලනාධිකාරය ඒ වෙනුවට එය පිහිටුවීමට මුලිකත්වය ගත් කම්කරුවන් මෙලෙස දොට්ට දමා ඇත. ඒටිජි කම්කරුවන්ට එරෙහි මෙම දඩයම කම්කරුවන්ගේ සංවිධාන වීමේ අයිතියට එල්ල කල දුෂ්ඨ ප්‍රහාරයකි.

ඒ්ටීජී සේවක දඩයමට ඒරෙහිව කම්කරු අරගලය 2019

කොරෝනා වසංගතය නිසාවෙන් තීව්‍ර කෙරී ඇති අර්බුදය තුල එහි බර කම්කරුවන් මත රුදුරු ලෙස පැටවීමේ ප්‍රයත්නයක ධනපති හාම්පුත්තු යෙදී සිටිති. සංවිධානය වීමට සහ තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට කම්කරුවන් ට ඇති අයිතිය පිලිගැනීමට ඔවුන් සුදානම් නැත. විශේෂයෙන් ම ඇඟලුම් සහ අපනයන කම්හල් තුල මෙම මර්දනය දැඩිව ක්‍රියාත්මක වන අතර ඒටිජි ඒ අතර කුප්‍රකට සමාගමකි. එයට අයත් කිසිම කම්හලක් තුල වෘත්තීය සමිති පිහිටුවීම එය නොඉවසයි.

බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලාංකික ආයෝජකයන් කන්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම සමාගමට අයත්, වතුපිටිවල අත්වැසුම් නිෂ්පාදන කම්හලේ සේවකයෝ 1,500 ක් පමන සේවය කරති. ඒටිජි හෑන්ඩ් කෙයාර් නමින් තවත් කම්හලක් එහි ඇති අතර, ඒටිජි සිලෝන්, ඒටිජි ඔකියුපේෂනල්, ඒටිජි ලංකා යනුවෙන් කම්හල් තුනක් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) ද, ඒටිජි හෑන්ඩ්කෙයාර් නමින් කම්හලක් කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ ද පිහිටා ඇත.

සේවකයන් මර්දනය කිරීමේ අරමුන ඇතිව විශ්‍රාම ලත් පොලිස් හා හමුදා නිලධාරීන් මෙම කම්හල් වල සේවකයන්ගේ වැඩ අධීක්ෂනය කිරීමට යොදවා සිටින අතර කම්කරුවන් ගැන ඔත්තු බැලීම සඳහා කම්හල් පාලනාධිකාරයට පක්ෂපාතී 'සේවක සභා' වෙන ම පිහිටුවා තිබේ.

කම්කරුවන්ට එරෙහිව මෘග මර්දනයක් සහ රුදුරු සුරාකෑමේ වැඩ කොන්දේසි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඒටිජි සමාගමට කුප්ර්කට වාර්තාවක් තිබේ.

කනිවෙක යේ පිහිටි අත් වැසුම් නිෂ්පාදන කරන ඒටීජී සිලෝන් කම්හලේ පරිපාලනය 2019 ජනවාරි මස “කම්හලට අයත් දේපල අනිසි ලෙස භාවිතා කිරීම” යන ව්‍යාජ චෝදනාවක් නගමින් එහි පැවති නිදහස් වෙලඳ කලාප සහ පොදුසේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) ක්‍රියාකාරීන් හය දෙනෙකු රැකියාවෙන් නෙරපා දැමූහ. මෙම අභූත චෝදනාවට නිමිත්ත වූයේ 2015 දී පිහිටුවනු ලැබූ එම සමිති ශාඛාවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පිලිබඳව නිවේදනයක් කම්හල් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමයි.

මෙම දඩයමට එරෙහිව කම්කරුවන් 1000 පමන වර්ජනයටකට එලඹි නමුත් උපවාසවලට සහ කම්කරු උසාවියේ නඩු පැවරීමේ සීමාවන්ට කොටු කිරීමෙන් හා ඔවුන් හුදකලා කිරීමෙන් නිවෙකපොසේසේස යේ ඇන්ටන් මාර්කස් ඇතුළු නායකයෝ එය පාවා දුන්හ.

වාකාසේස නායකත්වය විසින්ද වතුපිටිවල ඒටීජී කම්කරුවන් ව යොමු කරනු ලැබ ඇත්තේ එවන් පාවාදීමේ දිසාවකට ය. දොට්ට දැමු කම්කරුවන් යලි සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙස ඉල්ලා වාකාසේස ගම්පහ කම්කරු කාර්යාලයට පැමිනිලි කර ඇති නමුත් ඊට එරෙහිව එක්සත් කම්කරු සම්මේලනයේ හෝ වාකාසේස සම්බන්ධ සෙසු සමිති වල සාමාජිකයන් බලමුළු ගැන්වීම හෝ කම්කරු පන්තිය තුල ඒ සඳහා උද්ඝෝෂනය කිරීම මග හැර ඇත. බොහෝවිට එහි අවසන් ප්‍රතිපලය වනු ඇත්තේ දඩයමට ලක්ව සිටින කම්කරුවන්ගේ රැකියා අහිමි වීමය.

එක්සත් කම්කරු සමේලනයට සහ එහි නායක ලීනස් ජයතිලකට කම්කරු සටන් පාවාදීමේ දිගු ඉතිහාසයක් ඇත. 1980 දසකයෙන් මෙපිට කාල පරිච්චේදය තුල නිවෙක වලින් පිටත පිහිටි බොහෝ ඇඟලුම් සහ කාර්මික කම්හල් වල වාකාසේස පැවති අතර ඒවා ක්‍රියාත්මක වුයේ කම්කරුවන්ගේ අයිතීන් රැකීම සඳහා නොව, හාම්පුතුන්ගේ සූරාකෑමේ සැලසුම් කම්කරුවන් මත පැටවීම සඳහාය. තම අයිතීන් සඳහා සටන් කල වාකාසේස සාමාජිකයන්ගේ අරගල අවසන් වුයේ හාම්පුතුන්ගේ කොන්දේසිවලට යටත් කිරීමෙනි.

2014 ජුනි මාසයේ ආරම්භ වී තෙමසක් පුරා පැවති රත්මලාන බාටා කම්කරුවන්ගේ කම්හල වාඩිලා ගැනීමේ අරගලය එවන් එක් ප්‍රධාන අරගලයකි. ඔවුන්ගේ අරගලය ආරම්භ කෙරුනේ එහි වාකාසේස නායකයා රැකියාවෙන් දොට්ට දැමීමට හා සේවකයන්ගෙන් සියයට 25 රැකියා අහෝසි කිරීමේ බාටා කම්හලේ පාලනාධිකාරයේ සැලැස්මට එරෙහිවය. පොලිස් මර්දනය නොතකා අතිශය අධිෂ්ඨානශීලී අරගලයක එම කම්කරුවන් යෙදී සිටි නමුත් එය අවසන් කෙරුනේ ලීනස් ජයතිලක ඇතුළු වාකාසේස විසින් සිදුකල දැවැන්ත පාවාදීමකිනි. එහි ප්‍රති ඵලයක් ලෙස කම්කරුවන් 146 දෙනෙකුට රැකියා අහිමි විය.

දැන් වාකාසේස අනුබද්ධ එක්සත් කම්කරු සම්මේලනය රාජපක්ෂ ආන්ඩුවේ අනුග්‍රහයෙන් පිහිටුවා ඇති ආන්ඩුවේ නියෝජිතයන්, හාම්පුතුන් සහ වෘත්තීය සමිති සම්බන්ධ කෙරුන ඊනියා ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායට රිංගා ගෙන සිටිති. පසුගිය වසරේ මැයි මාසයේ පිහිට වූ මෙම ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායේ කර්තව්‍ය වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ඇඟලුම් සහ අපනයන කර්මාන්ත අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමෙන් ධනපති හාම්පුතුන්ගේ ලාබ පිපාසිත උවමනාවන්ට කම්කරුවන් යටත් කර දීමය.

වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව ඔවුන් ගේ රැකියා අහෝසි කිරීමට, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදු කිරීමට පියවර ගෙන ඇති හාම්පුත්තු අතිශය රුදුරු සේවා කොන්දේසි පනවමින් ශ්‍රම සුරාකෑම වඩාත් තීව්‍ර කර ඇත. වසංගතයෙන් ආරක්ෂා වීමේ අවම මුලික ආරක්ෂක පහසුකම් වලින් පවා තොරව කම්කරුවන් බලහත්කාරයෙන් වැඩෙහි යෙදවීම නිසා ඇඟලුම් සහ අපනයන කම්හල් වසංගතය පැතිරීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වී ඇති අතර දස දහස් ගනනක් කම්කරුවෝ ඊට ගොදුරු වූහ.

කොවිඩ් -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යසනකාරීව පැතිර යද්දී, විශේෂඥ නිර්දේශ නොතකා රට දිගටම විවෘතව තැබීම සමිබන්ධයෙන් වැඩුනු මහජන විරෝධයට ප්‍රතිචාර වශයෙන් රාජපක්ෂ ආන්ඩුව ව්‍යාජ අගුලු ලෑමක් ප්‍රකාශයට පත් කලේ ය. එහෙත් මෙම වසරේ නිමි ඇඳුම් සහ රෙදි අපනයෙන් උපයා ගැනීමට අපේක්ෂිත ඩොලර් බිලියන 5.1ඉලක්කය හඹායාම සඳහා 'අත්‍යාවශ්‍ය සේවාවන්' ලෙස සලකා ඇඟලුම් සහ අපනයන කම්හල්වල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට ආන්ඩුව ඉඩහලේ ය.

රාජපක්ෂ ආන්ඩුව මැයි 27 වෙනිදා සිට අත්‍යාවශ්‍ය සේවා නීති බලාත්මක කිරීම සහ අත්‍යාවශ්‍ය ආහාර සම්පාදනය කිරීම යන ව්‍යාජය යටතේ රට තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරයන් ට එරෙහිව වැඩෙන කම්කරුවන්ගේ අරගල රුදුරු ලෙස තලා දැමීමේ එල්ලය ඇතිවය.

එහෙත් වාකාසේස, නිවෙකපොසේසේස, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස), ලංකා වෙලඳ කාර්මික හා පොදු සේවක සංගමය (ලංවෙකාසේස) ඇතුළු පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අතිශයින් ම දුෂ්ට නිහඬ පිලිවෙතකි. ඔවුන් මේ දක්වාම එකී මර්දන නීති ගැන කටක් ඇර නැත.

ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන මෙම වෘත්තීය සමිති තුලින් ඒටිජි කම්කරුවන් ඇතුළු කම්කරු පන්තියට සංවිධානය වීමට ඇති අයිතිය ඇතුලු සෙසු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත නොහැකිය. කම්කරු පන්තියට තම ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව පිහිටුවා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු මගින් සංවිධානය කර මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි.

කියවන්න: සේවක දඩයමට එරෙහිව කටුනායක ඒටීජී කම්කරුවෝ වර්ජනයේ යෙදෙති

Loading