උතුරේ කොවිඩ් -19 ආසාදන හා මරන ඉහල යමින් පවතී

[මෙම ලිපිය இலங்கையின் வடக்கில் கோவிட்-19 தொற்றுக்களும் மரணங்களும் அதிகரிக்கின்றன යන මැයෙන් 2021 සැප්තැම්බර් 21 වැනි දින පල කෙරුනු ලිපියේ පරිවර්තනයකි.]

සැප්තැම්බර් පලමු දින 16 තුල පමනක් උතුරු පලාතේ කොවිඩ් ආසාදිතයන් 6667ක් හඳුනා ගෙන ඇති අතර 247ක් මිය ගිය බව ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි. පෙර නුවු විරූ ආකාරයට අගොස්තු මාසයේ උතුරු පලාතේ ආසාදිතයන් 14,480 දෙනෙකු සොයා ගෙන තිබෙන අතර 228 දෙනෙකු මරනයට පත් ව ඇත.

මෙම සංඛ්‍යලෛ්න අනුව පෙනී යන්නේ අගෝස්තු මාසය පුරා පැතිරී ගිය ආසාදිත හා මරන සංඛ්‍යාවට සමාන ප්‍රමානයක් මෙම මාසයේ දින 16ක් තුල සිදු වී ඇති බවයි. සැප්තැම්බර් මාසයේ වසංගතය සහ මරන සංඛ්‍යාව දෙගුන වීමේ අවදානම මින් පෙන්වා දෙයි. සැප්තැම්බර් 17 දා පමනක් උතුරු පලාතේ රෝගීන් 159 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 7 දෙනෙක් මිය ගියහ.

කිලිනොච්චි මාස් කර්මාන්තශාලාවේ තදබදයෙන් යුත් ආපනශාලාව - 2020 නොවැම්බර්

රාජපක්ෂ ආන්ඩුව එන්නත ලබා දීම මගින් හා එය දැනට ක්‍රියාත්මක කර ඇති අගුලු දැමීම හරහා කොවිඩ්-19 වෛරස් පැතිරීම අඩු වී තිබෙන බව පෙන්වා දීමට උත්සාහ දරන තතු තුල මෙම වැඩි වීම සිදු වී ඇත.

2020 මාර්තු සිට සැප්තැම්බර් 17 දක්වා කාලය තුල උතුරු පලාතේ පුද්ගලයින් 33,953 ක් ආසාදනය වී ඇති අතර 649 ක් මිය ගියහ. සැප්තැම්බර් 20 දින වන විට යාපනය දිස්ත්‍රික්කය තුල රෝගීන් 16,012 ක් හඳුනාගෙන ඇති අතර පුද්ගලයින් 366 ක් මියගොස් තිබේ.

උතුරේ ආසාදිතයන් අතර වයෝවෘද්ධ, ගැබිනි මව්වරුන්, ආබාධිතයන්, තරුනියන් සහ බන්ධනාගාර රැඳවියන් ඇතුලත් වේ. මේ සතියේ යාපනය බන්ධනාගාරයේදී පරීක්‍ෂා කල 39 දෙනාගෙන් 34 දෙනෙකු ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

යාපනය කෛතඩි වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 115 කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය විය. වව්නියාව පම්බෙයිමඩු වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 40 කට වැඩි පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර වැඩිහිටියන් 6 දෙනෙකු මියගොස් තිබේ.

සති දෙකක කාලයක් තුල නිවුන් දරුවන් බිහිකල මවක සහ තවත් මවක යාපනය දිස්ත්‍රික්කයේ මිය යාම මෙරට ගැබිනි සහ කිරිදෙන මව්වරුන් මුහුන දෙන අනතුරු පිලිබඳ උදාහරනයකි.

මෑතකදී උතුරේ කොරෝනා මරන ඉහල යාම පිලිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති පැවසුවේ රෝහලේ සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පහසුකම් නොමැතිකම හේතුවෙන් බොහෝ පිරිස් පරීක්‍ෂා වලින් ගැලවීමට උත්සාහ කරන බවයි. ප්‍රමාද වී රෝහල් ගත වීම හේතුවෙන් සිදු වන මරන සංඛ්‍යාව ඉහල යමින් පවතී. සමහර අය නිවසේදී මිය යන බවත් ඔහු පැවසීය. රට පුරාම තත්ත්වය මෙයයි.

දිවයිනේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී පවතී. මේ අනුව ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් නිවසේ හුදෙකලා වී සිටිති. පසුගිය මාසයේදී මෙලෙස හුදකලා වූ 26 හැවිරිදි ආබාධිත මාධ්‍යවේදියෙකු වූ ප්‍රකාස් ඥානප්‍රකාසම්, නිරෝධායනය වූ තුන්වන දිනයේදී හුස්ම ගත නොහැකි ව මිය ගියේය. ප්‍රකාශ් මෙන්ම, වසර 30 ක වාර්ගික යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, යුද්ධයෙන් අත් පා අහිමි වූ, තුවාල ලැබූ සහ රෝගී වූ දහස් ගනන් ජනයා එවැනි අනතුරකට මුහුන දෙමින් සිටිති. එසේම වවුනියාවේදී වයස අවුරුදු 25 ක තරුනයෙකු ආසාදනය වී නිවසේ රැඳී සිටියදී මිය ගියේ ය.

ඉහත සංඛ්‍යා අවතක්සේරු කරන ලද සහ සීමිත පරීක්ෂන වල ප්‍රතිඵල වේ. සැබෑ සංඛ්‍යාව ඊට වඩා දෙගුනයකටත් වඩා වැඩි විය හැකි බවට වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. උතුරේ පරීක්ෂන අඩු කර ඇති බව වීරකේසරී පුවත්පත සැප්තැම්බර් 12 දා වාර්තා කලේය. යාපනය වෛද්‍ය පීඨ විද්‍යාගාරය සති දෙකකටත් වඩා වැඩ කර නැත. යාපනය ශික්ෂන රෝහලේ රසායනාගාරය එහි උපරිම හැකියාවන්ගෙන් පරීක්ෂන සිදු කර නොමැති බව එම වාර්තාවේ දැක්වේ.

මාරාන්තික ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අනතුරු ඇඟවීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය ප්‍රතික්ෂේප කර මිනිස් ජීවිතවලට වඩා මහ ව්‍යාපාරිකයින්ගේ ලාභයට මුල්තැන දෙමින් ආර්ථිකය විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මරන සිදුවී ඇත. පසුගිය අගෝස්තු මාසයේදී රට පුරා පැතිර යන වසංගතයේ කොටසක් ලෙස උතුරේ වසංගතය උග්‍ර වී ඇති බව පෙනේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පමනක් රෝගීන් 4,112 ක් හඳුනාගෙන ඇති අතර පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයින් 30 දෙනෙකු මිය ගියහ. 146,000 ක පමන ජනගහනයක් සිටින දිස්ත්රික්කයේ එම සංඛ්යාව වැඩි බවට සෞඛ්ය බලධාරීන් අනතුරු අඟවා තිබේ. එසේම වව්නියාව දිස්ත්‍රික්කයේ සැප්තැම්බර් 1 සිට 11 දක්වා පුද්ගලයින් 1,651 දෙනෙකු ආසාදනය වී 63 දෙනෙක් මිය ගිය අතර සැප්තැම්බර් 19 දා 5 දෙනෙක් මිය ගියහ. පසුගිය මාසය තුල පමනක් දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 3,328 ක් ආසාදනය වී 50 ක් මිය ගොස් ඇත.

පසුගිය සෙනසුරාදා පමනක් මන්නාරම දිස්ත්‍රික්කයේ රෝගීන් 95 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 84 ක් මඩු සෞඛ්‍ය ඒකකයට අයත් ය. ඉරිදා වන විට ආසාදන 2035 ක් හඳුනාගෙන ඇත. මින් 351 ක් මේ මාසය තුල හඳුනා ගන්නා ලදී. මන්නාරම දිස්ත්‍රික්කයේ මේ දක්වා පුද්ගලයින් 23 දෙනෙකු වසංගතයෙන් මියගොස් තිබේ.

ජනගහනය අඩු මුලතිව් දිස්ත්‍රික්කයේ පසුගිය මාසයේදී කොරෝනා රෝගයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගිය අතර සැප්තැම්බර් 19 වන දින පමනක් දිස්ත්‍රික්කය තුල ආසාදිතයින් 58 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 32 ක් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙනි.

නැගෙනහිර පලාතේ මුලු කොරෝනා ආසාදිතයින් සහ මරන සංඛ්‍යාව පිලිවෙලින් 49,708 සහ 898 දක්වා ඉහල ගොස් තිබේ. නැගෙනහිර පලාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයාට අනුව ත්‍රිකුනාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 320 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 305 ක්, කල්මුනේ 160 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ 113 දෙනෙක් කොරෝනා රෝගයෙන් මිය ගොස් සිටිති. නැගෙනහිර පලාතේ පැතිර යන කොරෝනා අගෝස්තු මාසයේදී පමනක් සිව් ගුනයකින් ඉහල ගොස් ඇති බව ඔහු පැවසීය. රෝගීන් සංඛ්‍යාව අඩු වන බව පැවසුවද ඉරිදා පමනක් රෝගීන් 161 දෙනෙකු හඳුනාගෙන ඇත.

රජයේ සාපරාධී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙන්, මේ වන විටත් රටේ පුද්ගලයින් 504,491 දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති අතර, කෝටි දෙකකට වඩා යන්තම් වැඩි ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ 12,125 ක් මියගොස් තිබේ. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, දිනකට පුද්ගලයින් 1500 කට වැඩි ප්‍රමානයක් ආසාදනය වන අතර දිනකට 100 කට වඩා මිය යති.

රටේ රෝහල් වල මෘත ශරීරාගාර ඒවායේ ධාරිතාවයෙන් ඔබ්බට උතුරා ගොස් ඇත. උතුරේ මෘතශරීරාගාරවල මල සිරුරු ශීතකරන තුල තබා ගැනීමට නොහැකි වී ඇත. උදාහරනයක් වශයෙන්, මල සිරුරු 6 ක් පමනක් තබා ගත හැකි පේදුරුතුඩුව මූලික රෝහලේ මල සිරුරු 11 ක් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වේ.

මරන සංඛ්‍යාවට මුහුන දීම සඳහා උතුරේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ඇති ආදාහනාගාර ගනන ප්‍රමානවත් නොවේ. යාපනයේ දිනකට ආදාහනය කල හැක්කේ මල සිරුරු 5 ක් සහ වව්නියාවේදී දිනකට මල සිරුරු 8 ක් පමනි. මෙය රෝහල් වල මල සිරුරු එකතු වීමට හේතු වී ඇත. උතුරේ අනෙකුත් දිස්ත්‍රික්ක වල විදුලි ආදාහනාගාර නොමැත. යාපනය ශික්ෂන රෝහලේ පමනක් ඉතිරි වූ මල සිරුරු 36 ආදාහනය සඳහා බාහිර දිස්ත්‍රික්කවලට ගෙන යාමට තීරනය කර ඇත.

වසංගතය පිලිබඳ රජයේ සාපරාධී ප්‍රතිපත්තිය උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගත් දෙමල පක්ෂ නිහඬ ව පිලිගෙන තිබේ. වසංගතය කෙරෙහි රජය දක්වන උදාසීනභාවයට සහ ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීමට එරෙහිව සෞඛ්‍ය සේවකයින් සහ ගුරුවරුන් ඇතුලු විවිධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින් විරෝධය පල කරමින් සිටිති. මෙම අරගල මැඩපැවැත්වීම සඳහා රාජපක්ෂ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත සහ හදිසි නීතිය ක්‍රියාත්මක කලේය. මෙම මර්දන නීති වලට සියලුම දෙමල පක්ෂ බොරු විවේචන සමඟ සහයෝගය දක්වයි.

ගෝලීය වසංගතය හේතුවෙන් උග්‍ර වූ ආර්ථික අර්බුදයට හසු වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව අරමුදල් නොමැතිකම හේතුවෙන් හුදෙකලා පවුල්වලට සහන සැලසීම නැවැත්වීය. වඩුක්කෝඩෙයි හි නිරෝධායනය වී සිටි වී.කමලදාසන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ඔවුන් දින 14 ක් හුදෙකලා වී සිටි බවත් කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු නොපැමිනි බවත් ය. “දුරකථනයෙන් කීප විටක් දැනුම් දුන්නත් වැඩ අධික වීම හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් පැමිනියේ නෑ. අපට සහනයක් ද ලැබුනේ නෑ. නිවසේ තිබුනු දෙයින් පිරිමහ ගැනීමට සිදු වුනා. බිරිඳට ආසාදනය වී ඇති බව තහවුරු වූවත් අනෙක් අයට පීසීආර් හෝ ඇන්ටිජන් සිදු කෙරුනේ නෑ. දින 14 කට පසු ආදායමක් සොයා යාමට මට බල කෙරී තියෙනවා” යැයි ඔහු පැවසීය.

ආසාදනයක් හේතුවෙන් නිවසේ හුදෙකලා වී සිටි කරෙයිනගර්හි රෝගියෙකු කියා සිටියේ නිවස තුල හුදෙකලා වීම හේතුවෙන් තම සැමියා සහ දරුවන් ආසාදනය වීමේ අවදානම වැඩි බවයි. “නිවසේදී සනීපාරක්‍ෂිතව හුදකලා වන්නේ කොහොමද? මේ දක්වා කිසිදු වෛද්‍ය ආධාරයක් නෑ. හදිසි අවස්ථාවකදී කිසිවක් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. අසල්වැසියන් ද ආසාදනය වෙතැයි බියෙන් උදවු කිරීමට පැමිනීමට බිය වෙනවා. මේ දක්වා කිසිදු නිරෝධායන සහනයක් හෝ ආධාර ආන්ඩුවෙන් ලබා දීලා නෑ. ආදායම් අහිමි ව සිටින අපි එදා වේල සපයා ගැනීමට පොරබදමින් ඉන්නවා” යැයි ඇය පැවසීය.

ප්‍රතිකාර මධ්‍යස්ථානයක නැවතී සිටි එක් අයෙක් පැවසුවේ සියලු දෙනා එකට සිටින අතර සමාජ දුරස්තකරනය පවත්වා ගැනීමට අවකාශයක් නොමැති වූ බවයි. රෝගීන් සහ වෛද්‍යවරුන් සඳහා ඇත්තේ දුරකථන සන්නිවේදනය පමනි. නිරෝධායනය වූ දිනවල සෑම දිනකම රෝගීන්ගේ ශාරීරික තත්ත්වය පරීක්‍ෂා නොකෙරේ. වාෂ්ප අල්ලා ගැනීමට හෝ උනු වතුර පානය කිරීමට රෝගීන්ට පහසුකම් නොමැත. ගෙදර එන විට පවා වෛද්‍ය පරීක්‍ෂන නොමැත. “වෛරසය ශරීරයේ තිබේද නැද්ද යන්න කවුද දන්නේ? ” යැයි ඔහු එකතු කලේ ය..

Loading