සසජාතශි රැස්වීම ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපදයේ මහා පරාජය පිලිබඳ සාකච්ඡා කරයි

[මෙහි පලවන්නේ IYSSE (Sri Lanka) meeting discusses US debacle in Afghanistan යන මැයෙන් 2021 සැප්තැම්බර් 15දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

“ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මහා පරාජය” යන මැයෙන්, පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 10) ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය රැස්වීමක් පැවැත්වී ය. සියයක පමන පිරිසක් ආකර්ශනය කරගත් මෙම අවස්ථාව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ෆේස්බුක් පිටුව හරහා තවත් දුසිම් ගනනක පිරිසක් විසින් නරඹනු ලැබීය. මෙම වීඩියෝව මේ වන විට පුද්ගලයන් 1,000ට අධික පිරිසක් විසින් නරඹා 200 වතාවකට වැඩියෙන් බෙදාහරිනු ලැබ තිබේ.

කොලඹ, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙනිය, යාපනය හා සබරගමුව ඇතුලු ශ්‍රී ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකින් ම පාහේ ශිෂ්‍යයන් මෙම රැස්වීමට සහභාගි වූයේ, තරුන ජනයා තීරනාත්මක ජාත්‍යන්තර වර්ධනයන් පිලිබඳ බරපතල විශ්ලේෂනයක් සොයමින් සිටින බවට ඉඟි කරමිනි.

සසජාතශි රැස්වීම (ලෝසවෙඅ මාධ්‍ය)


සසජාතශි කැඳවුම්කරු හා සසප දේශපාලන මන්ඩල සභික කපිල ප්‍රනාන්දු රැස්වීමේ මුලසුන හෙබවී ය. ඇෆ්ගනිස්තානය තුල දශක දෙකක් තිස්සේ ගෙන ගිය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙහි “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ද එහි නින්දා සහගත පරාජයට හේතූන්, තරුන ජනයා හා කම්කරුවන් අවබෝධ කරගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරනය කලේ ය.

සසප දේශපාලන මන්ඩල සභික සමන් ගුනදාස ප්‍රධාන දේශනය පැවැත්වී ය. එක්සත් ජනපද-නායකත්වය ලත් දශක දෙකක වාඩිලා ගැනීම තුල ඇෆ්ගන් මහජනයා මත පටවන ලද රුදුරු කොන්දේසි විස්තර කරමින් ඔහු සිය දේශනය ඇරඹී ය. එක්සත් ජනපද හමුදා විසින් කරන ලද ඉවබව නැති බෝම්බ ප්‍රහාර, ඇෆ්ගන් සිවිල් වැසියන් 170,000ට අධික පිරිසක් ඝාතනය කල බව ද රෝහල් හා මංගල උත්සව මත පවා එල්ල කරන ලද ඍජු ප්‍රහාර ඒවාට අඩංගු වූ බව ද ඔහු කීවේ ය. මෙම යුද අපරාධවලට රහසිගත ස්ථාන තුල මහජනයා වධයන්ට පැමිනවීම හා ඔවුන් ව පැහැරගෙන යාම ද ඇතුලත් විය.

සරනාගතයන් දසදහස් ගනනක් නිර්මානය කල එක්සත් ජනපද ආක්‍රමනය, ජනගහනයෙන් අර්ධයකට මානුශීය සහයෝගය අවශ්‍ය තත්ත්වයක් ඇති කලේ ය. මෙම ව්‍යසනය, මහජනයා අතර කැකෑරෙන වෛරයක් ජනනය කරමින්, තලිබාන්වරුන්ට එක්සත් ජනපදය විසින් නිර්මිත ඇෆ්ගන් රූකඩ තන්ත්‍රය එතරම් අපහසුතාවයකින් තොරව බලයෙන් පහකිරීමට හැකි තත්ත්වයක් නිර්මානය කල බව ගුනදාස කීවේ ය.

“ඇෆ්ගනිස්තානය තුල පරාජය, වියට්නාමය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලත් පරාජයෙන් පසු, එය ලත් වඩාත් ම නින්දා සහගත පරාජයයි” යි කථිකයා කීවේ ය. එක්සත් ජනපද මිලිටරි මරන, එය ලත් හානි හා යුද්ධයේ විශාල පිරිවැය ලැයිස්තුගත කරමින්, ජනාධිපති ජෝ බයිඩන් කල කතාවට ඔහු අවධානය යොමු කලේ ය. බයිඩන් එක්සත් ජනපද යුද්ධය සාධාරනීකරනය කරන ලද නමුත්, ඇෆ්ගන් මහජනයා විසින් අත්විඳින ලද යෝධ විනාශය ගැන සඳහන් කිරීමට අසමත් විය.

ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කිරීමට තුඩු දුන් ‌ඓතිහාසික හා දේශපාලනික සිදුවීම් ගුනදාසගේ විමර්ශනයට ලක්විය. 2001 සැප්තැම්බර් 11දා නිව් යෝක් හා වොෂින්ටන් වෙත එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කල අය අතර කිසිදු ඇෆ්ගන් ජාතිකයෙක් නො සිටි නමුත්, මධ්‍යම ආසියානු ජාතික ආක්‍රමනය කිරීම සඳහා ව්‍යාජ නිමිත්ත ලෙස එක්සත් ජනපදය එම ප්‍රහාරය යොදාගත් බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඇෆ්ගනිස්තානය, දීර්ඝ කාලයක් පුරා, අධිරාජ්‍යවාදී කූටෝපායේ හා නව-විජිතවාදී කුමන්ත්‍රනවල මධ්‍යස්ථානය වී තිබුනි. 1980 ගනන්වල දී සෝවියට් සංගමයට එරෙහි යුද්ධය සමයේ, අල් කයිඩාවේ පූර්වගාමීන් ඇතුලු ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට වොෂින්ටනය දුන් පිටුබලය, කථිකයා සටහන් කලේ ය.

1991 දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය බිඳ විසුරුවීමට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රතිචාර දැක්වූයේ, ඛාදනය වෙමින් පැවති එහි ආධිපත්‍යය ප්‍රතිනිර්ධාරනය කිරීම පිනිස, එහි මිලිටරිය වඩ වඩා යොදාගනිමිනි. එහෙත්, ඉරාකය හා ලිබියාව වැනි සමස්ත සමාජයන් විනාශ කිරීම හා මිලියන ගනන් ජනයා මරා දැමීම නො තකා, ඇමරිකානු ධනවාදය මුහුන දුන් අතිමූලික ගැටලුවලින් එකක් වත්, යුද්ධය හරහා විසඳන ලද්දේ නැත.

“මිලිටරිය නවීන ආයුද සමගින් සන්නද්ධ කල ද ආර්ථික ප්‍රශ්න විසඳීමට මිලිටරි මූලෝපාය සමත් නො වන” බව විස්තර කර තිබුනු ෆ්‍රෙඩ්රික් එංගල්ස්ට ගුනදාස අවධානය යොමු කලේ ය.

ඇෆ්ගනිස්තානය තුල පරාජය, එක්සත් ජනපදය නායකත්වය දෙන යුද්ධ හා මිලිටරි ආක්‍රමනවල අවසානයක් අර්ථවත් කරනු ඇතැයි කිසිවෙක් මිථ්‍යාවක් තබා නො ගත යුතු බව කථිකයා අනතුරු ඇඟවී ය. වඩා වැදගත් මිලිටරි මැදිහත්වීම් මතට සාරභූත වසෙයන් ඉලක්කය යොමු කිරීම සඳහා, තම පරිපාලනයට ඇෆ්ගනිස්තානයෙන් අත් නිදහස් කරගත යුතු බව බයිඩන් පැහැදිලි කලේ ය. මෙහි අර්ථය වන්නේ, චීනය සහ රුසියාව, ඉරානය, උතුරු කොරියාව හා අනෙකුත් රටවල් ඇතුලු වෙනත් ප්‍රතිමල්ලවයන් ඉලක්ක කරගැනීම බව ගුනදාස විග්‍රහ කලේ ය.

ඇෆ්ගනිස්තානය තුල අලුතින් තනා ඇති තලිබාන් පරිපාලනයට අවධානය යොමු කල ගුනදාස, අවුරුදු 20ක් තිස්සේ පැවති යුද්ධය සමයේ මහජනයා මත ජනනය කරන ලද විනාශය ජයගැනීමට නව පරිපාලනයට නො හැකි බවත්, රටෙහි ලාභ ශ්‍රමය හා සම්පත් අනුකම්පා විරහිත ව සූරාකෑම සඳහා එය ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය දෙසට හැරෙනු ඇති බවත් කීවේ ය.

නව පාලන තන්ත්‍රය සමග නම්‍යශීලී වීමට බ්‍රිතාන්‍යයට පවතින කැමැත්ත එක්සත් රාජධානියේ විදේශ ලේකම් විසින් පලකර ඇති බවත්, එක්සත් ජනපද මිලිටරි වාඩිලා ගැනීම සමයේ ම ඉන්දියානු මහ ව්‍යාපාරිකය ඇෆ්ගනිස්තානය තුල ආයෝජන කර තිබුනු බවත්, කථිකයා සටහන් කලේ ය.

එම ආයෝජන සුරක්ෂිත කරගැනීම පිනිස යම් සැලසුමක් ඇති කරගැනීමට ඉන්දියාවේ මෝදි ආන්ඩුව දැන් උත්සාහ කරන බව ගුනදාස සඳහන් කලේ ය. තලිබාන් සංවිධානයේ සාම්ප්‍රදායික මිත්‍රයෙක් වන පකිස්තානය, නව ඇෆ්ගන් ආන්ඩුව හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අවශ්‍යතා අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීම පිනිස, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යෝජනා ඉදිරිපත් කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව, මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස තලිබාන් සංවිධානයට උපදෙස් දෙමින්, ප්‍රවේසම් සහගත ප්‍රකාශයක් හැල්මේ නිකුත් කර ඇතත්, කලාපය තුල වොෂින්ටනයේ ඊලඟ පියවරයන් කවරක් වනු ඇද්දැයි තැතිගත් විස්මයෙන් යුතු ව බලා සිටින බව ගුනදාස සටහන් කලේ ය. නය හා අනෙකුත් මූල්‍යමය සහයෝගය පතා අඛන්ඩ ව බෙයිජිනය දෙසට හැරෙමින් සිටින මුදල් හිඟයෙන් පෙලෙන කොලඹ පරිපාලනය, චීනය සමග සිය සබඳතා බිඳ දමන ලෙස එක්සත් ජනපදයෙන් එන ඉහල යන පීඩනයට භාජනය වී සිටී.

ග්‍රහලෝකය පුරා කම්කරුවන් මිලියන ගනන් දෙනාගේ විඥානය තුල, අධිරාජ්‍යවාදයේ පරාජය කල නො හැකි බව පිලිබඳ මිථ්‍යාව ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද පරාජය විසින් පුපුරුවා හැර ඇතැයි සටහන් කරමින් ගුනදාස ඔහුගේ කතාව සමාප්ත කලේ ය.

“එහෙත්, සියලු අධිරාජ්‍යවාදී යුද්ධයන් නැවැත්වීම සඳහා, සමාජවාදය මත පදනම් වන ගෝලීය යුද-විරෝධී ව්‍යාඵාරයක් ගොඩනැගීම දෙසට කම්කරු පන්තියෙහි එම විඥානය වර්ධනය කොට දිශාගත කල යුතු” යි ඔහු නිගමනය කලේ ය.

සිය දේශනයෙන් පසු, අසා තිබුනු ප්‍රශ්න කිහිපයකට ම ගුනදාස පිලිතුරු දුන්නේ ය. ඇෆ්ගනිස්තානය තුල කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගැන සඳහන් කරමින්, අධිරාජ්‍යවාදයට ආයාචනා කිරීම මගින් මෙම අයිතිවාසිකම් දිනාගත නො හැකි බව ඔහු විස්තර කලේ ය.

“අධිරාජ්‍යවාදීන් කවර වර්ගයේ හෝ ‘මානවවාදයක්’ ගැන උත්සුක නම්, ලමුන් හා ගැහැනුන් දහස් ගනනකගේ ජීවිත විනාශ කරමින් ඔවුන් ඇෆ්ගනිස්තානය තුල යුද්ධයක් දියත් කර තිබේවි දැ” යි ඔහු විමසී ය. ඕනෑ ම ප්‍රජාවක අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, අධිරාජ්‍යවාදය පරාජය කිරීම ඉලක්ක කරගත් කම්කරු පන්තිය නායකත්වය දෙන සමාජවාදී ව්‍යාපාරයකට පමනක් බව ඔහු කීවේ ය.

තලිබාන් සංවිධානයේ බලය කරා නැගගැනීමත්, ආගමික අන්තවාදයේ පැතිරීම මත එහි බලපෑම ගැනත් අසා තිබූ ප්‍රශ්නයකට ද ගුනදාස පිලිතුරු දුන්නේ ය. ආගමික අන්තවාදයට දිරි දී එයට තමන්ගේ ම විනාශකාරී අවශ්‍යතා සඳහා අනුග්‍රහය දීමෙහි ප්‍රධාන වැරදිකරුවා වන්නේ, එක්සත් ජනපදය නායකත්වය දෙන අධිරාජ්‍යවාදී බලයන් බව ඔහු විස්තර කලේ ය. ආගමික, ජනවාර්ගික හා වෙනස්කම් කිරීම්වල අනෙකුත් රූපයන්ට අවසානයක් තැබිය හැකි වන්නා වූත්, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයතුල මහජනයා එක්සත් කල හැකි වන්නා වූත් සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය බව කථිකයා අවධාරනය කලේ ය.

රැස්වීමට සවන්දුන් අය අතුරින් කිහිපදෙනෙක් එහි වැදගත්කම පිලිබඳව ලෝකසමාජවාදී වෙබ් අඩවිය වෙත දක්වූ අදහස් කිහිපයක් පහතින් පලකෙරේ.

කැලනිය විශ්වවිද්‍යාලයේ උපාධිධරිනියක් වූ සඳුනි: ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම කිසිසේත් අධිරාජ්‍යවාදය නව යුද්ධයන් කරා පිවිසීමේ අවසානයක් සනිටුහන් නොකරන බව දේශනය ඇසුරෙන් වටහාගත්තා. ඔවුන් වසර 20ක් ඇෆ්ගනිස්ථානය තුල සිදු කලාක් මෙන් දැවන්ත විනාශයන් ලෝකය පුරාම දියත් කිරීමේ සූදානමෙන් ඉන්නවා. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ යුද ශක්තිය උපයෝගී කරගෙන ගිලිහෙන ආර්ථික ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීමටයි. නමුත් එය බංකොලොත් වැඩපිලිවෙලක්.”

ව්‍යාපාරිකයෙකු වූ මොහොට්ටි: ඇෆ්ගනිස්ථානය තුල තලිබාන් සංවිධානය බලය ලබාගත්තත් එහි වෙසෙන පොදු මහජනතාවන්ට එයින් කිසිඳු විමුක්තියක් ලැබෙන්නෙ නැහැ. ඔවුන්ටත් අධිරාජ්‍යවාදී යුද ධාවනයේ සැකැස්මට අනුගත වූ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට සිදුවේවි. දේශනයෙන් මම වටහාගත් කරුන වනුයේ කම්කරු පන්තියට තමන්ගේ අවශ්‍යතාවන් දිනාගත හැකිවන්නේ 1917 රුසියාවේදී කලාක් මෙන් තමන්ගේ ස්වාධීන බලයක් පිහිටුවීමෙන් පමනක් බවයි. අධිරාජ්‍යවාදය අර්බුදයට ගිය පමනින් මනුෂ්‍ය වර්ගයාට ඉබේම ජයග්‍රහන ලැබෙන්නේ නැහැ”

බදුල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරයෙක්: “ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු අධිරාජ්‍යවාදී හමුදා ගොඩබැස්සවීම ඇතුලු ක්‍රියාවන් සම්බන්ධව සැබෑ චිත්‍රයක් ලංකාවත් ඇතුලු ධනපති මාධ්‍යවලින් ලබා ගන්න බෑ. මොකද මම උගන්වන ලමයි හිතාගෙන හිටියේ ඇමරිකන් හමුදා ආවේ ඇෆ්ගනිස්ථාන ජනතාවට උදව් කරන්න, සහන සලසන්න, ත්‍රස්ථවාදයෙන් මිනිස්සු බේර ගන්න කියලා. ඒ නිසා හමුදා ඉවත් වීමෙන් ඇෆ්ගන් ජනතාව දැන් අසරන වෙලා වගේ අදහසක් ඔවුන් දරා ගෙන හිටියේ. නමුත් මේ දේශනය ඒ දේවල් නිවැරදිව පැහැදිලි කලා.

ලංකාවේ පාලක පන්තිය එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙතින් සහය ලබමින් ඒ සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන ගිය තත්වයක් තුල ඔවුන් ඇෆ්ගනිස්ථානය ඇතුලු මැදපෙරදිග ඇමරිකානු යුද සැලසුම් පිලිබඳව සත්‍යය වසං කලා. ලංකාවේ පාසල් පෙල පොත්වල පවා කරුනු විකෘති කෙරිලයි තියෙන්නෙ. ඒ තත්වය තුල සසජාතශි රැස්වීමෙන් 2001 දී ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව කරපු ආක්‍රමනය, “ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ” ප්‍රෝඩාකාරී ස්වභාවය සහ ඇමරිකන් අධිරාජ්‍යවාදයේ ඉතිහාස වාර්තාව සම්බන්ධ කෙරුනු හෙලිදරව්ව වැදගත්”

Loading