“අසිරි හදවත-වසංගතයට එරෙහි මිනිස් පවුර”- ධනපති ක්‍රමයේ ම්ලේච්ඡත්වයට අයිසින් තවරන ව්‍යාපාරයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මූලිකත්වයෙන් සැප්තැම්බර් 2දා සිට නිල වශයෙන් දියත් කෙරුනු 'අසිරි හදවත- වසංගතයට එරෙහි මිනිස් පවුර', කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව ගෙනයන සමාජ-ඝාතක පිලිවෙත සහ එහි වෛෂයික මූලය වන ධනපති ක්‍රමයේ සාපරාධී ස්වභාවය වසන් කරමින් වසංගතයට එරෙහි සැබෑ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම වැලැක්වීමට දැනුවත්ව සූදානම් කල ප්‍රතිගාමී ව්‍යාපාරයකි.

ජනප්‍රිය රංගන ශිල්පීන් සහ වෛද්‍යවරයෙකු සම්බන්ධ කර ගනිමින් සැප්තැම්බර් 2දා පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී, 'අසිරි හදවත' ව්‍යාපාරයට නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙසප නායකයෙකු වන දුමින්ද නාගමුව, 'කොරෝනා වසංගතය විසින් මුලුමහත් මනුෂ්‍ය වර්ගයාම බරපතල ඛේදවාචකයකට ඇද ලා තිබෙන' බවත්, එබැවින් එය 'පරාජය කිරීම පොදු සාමූහික වගකීමක්' බවත් සඳහන් කලේ ය.

මිනිස් ජීවිත රැකගැනීම වෙනුවට ලාභෝත්පාදනයට මූලිකත්වය දෙන ධනපති ක්‍රමය, වසංගතය මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක ගෝලීය වැඩපිලිවෙලකට එරෙහිව පිහිටමින් මෙම මානව ඛේදවාචකය නිර්මානය කොට ඇතිබව වසන් කරන නාගමුව, වසංගතය පරාජය කිරීම 'පොදු සාමූහික වගකීමක්' යැයි සඳහන් කරන විට ඉන් ගම්‍ය වන්නේ, සිදුව ඇති මානව ව්‍යසනයට 'පොදුවේ' සමස්ත මහජනයාම වගකිව යුතු බවයි.

නාගමුව ඇතුලු 'අසිරි හදවත' ව්‍යාපාරය වසන් කරන බිහිසුනු යතාර්ථය

සැප්තැම්බර් 26දා වන විට ලංකාවේද ඇතුලුව ලොව පුරා මිලියන 4.7කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මරනයට පත්ව තවත් මිනිසුන් මිලියන 231කට අධික සංඛ්‍යාවක් ආසාදනය වී ඇතිබව නිල වශයෙන් වාර්තා කෙරී ඇත. එහෙත් ලෝක වසංගත විද්‍යාඥයින් පවසන ආකාරයට, කොරෝනා වසංගතයෙන් මේවනවිට ඇත්තටම මිය ගිය සංඛ්‍යාව අවම වශයෙන් මිලියන 15 කි. තතු මෙසේ වෙද්දී, කොරෝනා ආසාදිතවූ අතිබහුතරයක් 'සුවවී ඇති' බවට පාරම්බාමින් වෛරසය 'හිතන තරම් බරපතල නැතැයි' හුවා දැක්වීමට ධනපති මාධ්‍ය කැපවී සිටී.

එහෙත් මෙසේ 'සුවඅතට හැරුනු' බව කියන අයගෙන් වැඩි කොටසක්, එසේත් නැතිනම් ඒ සියලු දෙනාම පාහේ, කොරෝනා වැලදීමේ අතුරුඵලයක් ලෙස දීර්ඝකාලීන සංකූලතාවයන්ට ගොදුරු වන බව විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ.

ලෝකය පුරා දෛනිකව මිනිසුන් 10,000 කට ආසන්න ප්‍රමානයක් මරනයට පත් කරමින් ද තවත් මිලියන භාගයකට ආසන්න ප්‍රමානයක් ආසාදනය කරමින් ද වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. එය නොතකා සෑම රටකම පාලකයෝ, සීමිත මහජන සෞඛ්‍යාරක්ෂන පියවර පවා ඉවත් කරමින් ලාභ උත්පාදනය සඳහා කම්හල් සහ වැඩපලවල් සීඝ්‍රයෙන් විවෘත කරමින් සිටිති.

කම්කරුවන් යලි වැඩට කැඳවීම පහසු කරවනුවස් පාසල් විවෘත කිරීමේ යෙදී සිටින ධනපති පාලකයෝ, එමගින් දහස් ගනනක් ලමුන් හා ගුරුවරුන් මරනයට ද, තවත් විශාල ප්‍රමානයක් ආසාදිතයන් බවට ද පත්කොට ඇත්තාහ.

තාක්ෂනයේ හා වෛද්‍ය විද්‍යාවේ දියුනුව ප්‍රකට කරමින් ඉතා කෙටි කාල පරාසයක් තුල විද්‍යාඥයින් විසින් කොරෝනාවට එරෙහි සාර්ථක එන්නත් සොයා ගෙන ගෙන තිබුනද, එසේ එන්නත් නිපදවූ ඇමෙරිකාව ඇතුලු සීමිත රටවල් කීපයක් තමන්ගේ භූ මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් අතිබහුතරයක් එන්නත් නිකරුනේ ගොඩ ගසා ගෙන සිටිති. මේ හේතුවෙන් අප්‍රිකාව ඇතුලු බොහෝ දුප්පත් රටවලට අත්‍යවශ්‍යවී පවතින එන්නත අහිමි කොට මිනිසුන් දසදහස් ගනන් මරනට නියම කර තිබේ.

මෙසේ වන්නේ, ලෝක ජනගහනය වේගවත් එන්නත්කරනයකට ලක් කරන අතරේ, අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍යාරක්ෂන පියවර දැඩිව ක්‍රියාත්මක කිරීමෙන් වසංගතය ඉතා තීරනාත්මකව මුලිනුපුටා දැමිය හැකි බව ලොව පිලිගත් වසංගත විද්‍යාඥයින් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබියදීත් ය.

එවන් ගෝලීය හා විද්‍යාත්මක වැඩපිලිවෙලකට ධනපති ක්‍රමය ඉඳුරාම සතුරු ය. කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ධනපති ප්‍රහාර මෙන්ම, යුද්ධය සහ වසංගතය පරාජය කල හැක්කේ ගෝලීය ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගන්වමින් ගෝලීය සමාජවාදය සඳහා කරන දේශපාලන සටනකින් පමනි.

පෙසපයේ ඊනියා ගෝලීය ක්‍රියාමාර්ගය

ඇතිව තිබෙන විනාශයේ වගකීමෙන් ධනපති පන්තිය සහ ධනපති ක්‍රමය කොක්කෙන් ගලවා හරින නාගමුව උක්ත කී මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ, 'වසංගතය පරාජය කිරීම සඳහා ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් මනුෂ්‍ය ප්‍රජාව සම්බන්ධවූ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය' බව යි.

වසංගතය මුලිනුපුටා දැමීමේ ගෝලීය විද්‍යාත්මක වැඩපිලිවෙලකට අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් සොයා ගැනීමේදී, වසංගතය මධ්‍යයේ පවා දැවැන්ත ලාභ සමුච්ඡය කරගත් ලෝක බිලියනපතියන්ගේ වත්කම් වලට අත තැබීමක් තබා ඒ ගැන සඳහනක් පවා මෙම 'ක්‍රියාමාර්ගයේ' නොමැත.

වසංගත ව්‍යාප්ති කේන්ද්‍රයන් බවට පත්ව තිබියදී පවා, ධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කරදීමේ අරමුනින් දිගටම ක්‍රියාත්මක වන ඇඟලුම් කම්හල් ඇතුලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීමක් ගැන සඳහනකුදු නාගමුවගේ 'ක්‍රියාමාර්ගයේ' නැත. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම අනිවාර්යය මහජන සෞඛ්‍යාරක්ෂන පියවරක් ලෙස විද්‍යාඥයෝ අවධාරනය කරති.

'රෝහල්වලට විශාල උදව් කරපු අය සිටින' බවත් 'තමන්ගෙ මට්ටමින් රෝගීන් බලා ගත්ත පිරිස් ඉන්නා' බවත් සඳහන් කරමින් නාගමුව කියන්නේ 'අසිරි හදවතේ' අරමුන එම මෙහෙවරට 'සමාජ/සාමූහික/සංවිධානාත්මක මුහුනුවරක් දීම' බව යි. මෙම බිහිසුනු වසංගත තත්වයේදී තමන්ට හැකි පමනින් සාමූහිකව ක්‍රියාත්මකවීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන අතර, පෙසප ක්‍රියාත්මකව ඇත්තේ, මහජනයාගේ එකී මානුෂීය ක්‍රියාකාරකම් වලට 'සංවිධානාත්මක මුහුනුවරක් දීමේ' නාමයෙන් එම හැඟීම්, ධනපති ක්‍රමය පලිප්පුලා පවත්වා ගැනීම සඳහා ගසා කෑමටයි.

මෙහිලා, 'රෝහල් ආශ්‍රිත තියෙන සංකීර්නතාවන්ට, අතරමැදි ප්‍රවාහන කටයුතුවලදී සහ ගම්මට්මේදී නිරෝධායනයේ යෙදෙන පවුල්වලට ද්‍රව්‍යමය ආධාර බෙදා දීමේදී ඇතිවන ගැටලුවලට මැදිහත්වීම' යන අංශවලට මෙම සංවිධානය අවධානය යොමුකරන බව පෙසප නායකයා කීවේ ය.

කොරෝනා වසංගතය වැනි දැවැන්ත සෞඛ්‍ය ගැටලුවකට මුහුනදීම සඳහා ධනපති රාජ්‍යය මුලුමනින්ම අසමත් වූයේ ය යන්න නාගමුව සිතාමතාම නොකියා හරියි. කොරෝනා වැනි දැවැන්ත සෞඛ්‍ය ගැටලුවක් පමනක් නොව, අනෙකුත් සාමාන්‍ය වසංගතයකට පවා ඔරොත්තුදීමට තරම් ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් නොතිබීම, දශක ගනනාවක් තිස්සේ සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමේ ඝෘජු ප්‍රතිඵලයයි.

පෙසප විසින් දැන් දියත් කරමින් තිබෙන 'වැඩපිලිවෙල', 1934 වසරේදී ආදායම් කඩාවැටීම සහ වගපාලුව නිසා හටගත් මන්දපෝෂනය සමග පැතිරෙමින්, ජීවිත ලක්ෂ ගනනක් බිලිගත් මැලේරියා වසංගතය සමයේ ලංකා සමසමාජ ව්‍යාපාරය (එය නිල වසයෙන් පක්ෂයක් ලෙස දියත් කලේ 1935 වසරේදීය) පවත්වාගෙන ගිය ආධාර වැඩසටහන හා සම කරමින් ඇතැම් තැන්වලදී අදහස් දක්වා ඇත.

එකල සමසමාජ ව්‍යාපාරය, විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස වැඩී නොතිබුනු, ධනේශ්වර ක්‍රමයට අභියෝග කිරීමක් ගැන සිතාවත් නොතිබුනු හා ජාතික ධනපති පන්තිය සමග පෑහුනු ජාතිකවාදී ව්‍යාපාරයක් පමනි. මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයින් දෙදෙනෙකු වන එන්.එම්.පෙරේරා සහ පිලිප් ගුනවර්ධන 1950 ගනන් වනවිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අධිරාජ්‍ය ගැති ධනේශ්වර පක්ෂ පිටුපස ගාල්වීම මගින් මෙම ව්‍යාපාරයේ ප්‍රතිගාමී හා බංකොලොත් ස්වභාවය මොනවට විදහා දැක්විනි. එකී සමසමාජ ව්‍යාපාරය හා පෙසප 'අසිරි හදවත' ව්‍යාපාරයේ එවැනි සමානකම් පවතින බවනම් සැබෑ ය.

'අසිරි හදවත' වැනි ව්‍යාපාර ගැන ලෙනින්ගෙන්

මෙවන් වැඩටසහන් සම්බන්ධයෙන් 'යංග් ලෙනින්' ('තරුන ලෙනින්') නම් ලියොන් ට්‍රොට්ස්කි විසින් රචනා කරන ලද මහගු කෘතියේ අතිශය වැදගත් පැහැදිලි කිරීමක් ගෙනහැර දැක්වීම වැදගත් වනු ඇත. 'යංග් ලෙනින්', රුසියාවේ 1891-92 සාගතය සමයේ මාක්ස්වාදීන්ගේ අත්දැකීම පිලිබඳව සාකච්ඡා කරයි.

සාර් ඒකාධිපතිත්වයට තමන් නැතිව බැරි බව ඔප්පු කිරීම සඳහා අපේක්ෂාවෙන් සහනාධාර සම්පාදනයට ලිබරලුන් හා රැඩිකලුන් පැන ගත් අතර ලෙනින් මෙයට සපුරාම වෙනස් පිලිවෙතක පිහිටියේ ය. ඒ පිලිබඳව ට්‍රොට්ස්කි කල පැහැදිලි කිරීම මෙහිදී මාක්ස්වාදීන් අනුගමනය කල යුතු පිලිවෙත පෙන්නුම් කරයි:

'එකල පොදුවේ මාක්ස්වාදීන්ට එරෙහිව එල්ල කරන ලද චෝදනාව නම්, ඔවුන් ජාතික ව්‍යසනය තමන්ගේ න්‍යාය ධර්මයේ කන්නාඩි තුලින් දැකගත් බව ය. එම චෝදනාව මෙම විවාදයන්ගේ පැවැති පහත් න්‍යායික මට්ටම පෙන්නුම් කරයි. ඇත්ත නම්, සියලු බලවේග හා කන්ඩායම් දේශපාලන ආස්ථානයන් ගත් බව ය: ආන්ඩුව, තම කීර්තියේ අවශ්‍යතාව පෙරදැරි කොට ගෙන, සාගතයක් නොවී යැයි කීය. නැතහොත් එය අඩු තක්සේරු කලේ ය.

'ලිබරල්ලු සාගතයක් පවත්නා බව එලිදරව් කරන අතර ම තමන්ට බලයේ බත්තුලක් දෙන්නට සාර් සූදානම් නම්, තමන් ඔහුගේ හොඳම සහකරුවන් වීමට සූදානම් බව ‘සාධනීය වැඩ’ මගින් ඔහුට පෙන්නුම් කිරීමට උත්සුක වූහ. ජනතාවාදියෝ ආහාර බෙදන ස්ථානවලට ද, උනසන්නිපාත රෝහල්වලට ද, දිව යමින් ජනතාවගේ සහාය දිනා ගැනීමට සාමකාමී හා නීත්‍යනුකූල මාවතක් සොයා ගැනීමට කැස කැවූහ. මාක්ස්වාදීන් විරුද්ධ වූයේ සාගතයෙන් පෙලෙන්නන්ට ආධාර සැපයීමට නොවේ, අගහිඟයේ සාගරය මානව හිතවාදයේ කන් හැන්දකින් ඉසින්නට හැකි ය යන මිථ්‍යාවට ය.

'නීත්‍යනුකූල කමිටුවක හෝ කැන්ටිමක හෝ සෙම්ස්ට්වෝ (ගම්සභා) නියෝජිතයෙකු ගේ හෝ නිලධාරියෙකු ගේ තැන විප්ලවවාදියෙක් බාර ගත හොත් ව්‍යාපාරය තුල විප්ලවවාදියාගේ තැන ගන්නේ කවු ද? පසු කලෙක ප්‍රසිද්ධ කරන ලද අමාත්‍යංශ සටහන් හා නියෝගවලින් නිසැකව ම පැහැදිලි වන්නේ ආන්ඩුව සාගතයෙන් පෙලෙන්නවුන්ට ආධාර පංගු ඉහල දැම්මේ විප්ලවවාදී උද්ඝෝෂනයට තිබුනු භීතිය නිසා බව ය. මේ අර්ථයෙන් ගත් කල්හි සැබැවින්ම ආධාර දිනාගැනීම පැත්තෙන් ගත්ත ද විප්ලවවාදී පිලිවෙත නිර්පාක්ෂික මානවහිතවාදයට වඩා බෙහෙවින්ම සාර්ථක විය.” (ලියොන් ට්‍රොට්ස්කි, ද යං ලෙනින්, රෙන් පබ්ලිකේෂන් 173 පි.)

මෙම උපුටනයේ 'සාගතය' යන තැනට කොරෝනා වසංගතය ද, 'ලිබරල්වාදීන්' හා 'ජනතාවාදීන්' යැයි සඳහන් වන තැනට පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන්න ද, 'සාර්' යන තැනට 'රාජපක්ෂ පාලනය' ද ආදේශ කිරීම මගින් පෙසප හා 'අසිරි හදවත' කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අනුයන පිලිවෙතෙහි ප්‍රතිගාමී ස්වභාවය වටහා ගැනීමට කෙනෙකුට පහසුවෙන්ම හැකි වෙනු ඇත.

ඒ අතරම, තවතවත් බදු සහන හා ආන්ඩුවේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් මෙවන් ව්‍යසන අවස්ථාවලදී සොච්චම් සුභසාධන ක්‍රියාවල නිරතවන කෛරාටික ධනපතියන් සහ පෙසප හි මෙම වැඩපිලිවෙල අතර ඇත්තේ කවරනම් වෙනසක්දැයි කෙනෙකු ඇසිය ඇසිය යුතු සාධාරන ප්‍රශ්නයකි. ධනේශ්වර සමාජය තුල අතිශයින් දූෂනයට ලක්වූ වචන දෙකක් වන 'මනුෂ්‍යත්වය' හා 'සාමූහිකත්වය' නම් වහන්තරාව යොදාගනිමින් ධනපති ක්‍රමයට ගැතිකම් කරන පෙසප වැනි ව්‍යාපාරයක් පිටුපස ඇදී යන කලාකරුවන් හා සිතනමතන කොටස් නිශ්චිතව මෙම ප්‍රෝඩාව වටහා ගත යුතුව ඇත.

වසංගතය මුලිනුපුටා දැමීම

වත්මන් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කම්කරු පන්තිය වැදගත් පාඩමක් මෙයින් උගත යුතුය. වසංගතය මුලිනුපුටා දැමීම සඳහා අත්‍යවශ්‍ය වන එන්නත්කරනය වේගවත් කිරීම, අතශ්‍යවශ්‍ය නොවන කම්හල් හා වැඩපලවල් වසා දැමීම, සෞඛ්‍ය සේවාව අභිවර්ධනය කිරීමටත් කාර්ය මන්ඩලය පුලුල් කිරීමත් අවශ්‍ය අරමුදල් රුපියල් බිලියන ගනනින් ලබා දෙන ලෙස ආන්ඩුවට බලකල යුතුව ඇත. එමතු නොව, වසංගතයෙන් රැකියා හා ජීවන තත්වයන් අහිමිවූවන් ආහාර සහ මූල්‍ය දීමනාවන් ලබාදෙන ලෙස, දුරස්ථ අධ්‍යාපනයට අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, ස්මාට් දුරකථන ඇතුලු අත්‍යවශ්‍ය විද්‍යුත් උපකරන සිසුන්ට සහ ගුරුවරුන්ට නොමිලේ ලබා දෙන ලෙස හා ගුරු කාර්යමන්ඩලය පුලුල් කරන ලෙස ආන්ඩුවට බල කර සිටිය යුතුය.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු පන්තිය අනුයායුතු සමාජවාදී පිලිවෙත සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල ලිපි හා ඉදිරිදර්ශන සියගනක් මගින් පැහැදිලිකර ඇති පරිදි මෙම වැඩපිලිවෙල කිසිසේත්ම ජාතිකවාදී සීමාව තුල හුදෙක් ධනපති ආන්ඩුවට කරන බලපෑම් වලට සීමා නොවේ. පසුගිය අගෝස්තු 18 දා 'පාලක ප්‍රභූව කොරෝනා වෛරස් වසංගතයට දක්වන මිනීමරු ප්‍රතිචාරයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!' යන මැයෙන් පලකල සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය එම වැඩපිලිවෙල පහත පරිදි විස්තර කලේය:

'වසංගතය දූරීභූත කිරීම සඳහා වන සටනේ දී අවශ්‍ය වන විද්‍යාත්මක ඥානය හා සම්පත් බලමුලු ගැන්වීම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සම්බන්ධීකෘත ප්‍රයත්නය අවශ්‍ය වෙයි. සෑම රටක් තුල ම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයක් තනන ලෙස හජාජාක කැඳවුම් කර ඇත්තේ ඒ නිසා ය. සසප ලංකාව හා දකුනු ආසියාව තුල මෙම ක්‍රියා මාර්ගයට සටන් වදී. මෙම ක්‍රියා මාර්ගය සාකච්ඡාවට ගෙන, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කරමින් මෙම ජාත්‍යන්තර උද්ඝෝෂනය ඉදිරියට ගෙන යන ලෙස, සසප කම්කරුවන්ගෙන් හා තරුන ජනයාගෙන් ඉල්ලා සිටී.'

Loading