මහජන ආරක්ෂක ඇමති වීරසේකර මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයන් උසි ගන්වයි

'ඉස්ලාම් රාජ්‍යයක් (අයිඑස්)' සඳහා වන මතවාදය විශ්වාස කරන 'ඕනෑම අයෙකු, ඕනෑම වේලාවක ප්‍රහාරයක් එල්ල කල හැකි' තර්ජනයකට ශ්‍රී ලංකාව මුහුනදෙන බව, මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, පසුගිය 22 දා, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය. ඔහු මෙය පැවසුවේ සමගි ජන බලවේග (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. සෑම මුස්ලිම් වාර්ගිකයෙකු ම සැකකලයුතු බව අඟවමින්, 'ඔවුන් (ත්‍රස්තවාදීන්) හඳුනා ගැනීම පහසු නොවන' බව වීරසේකර තවදුරටත් කියා සිටියේය.

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර

රහ්මාන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කලේ, වර්ගවාදී ප්‍රකෝපකාරී භික්ෂුවක වන, අන්තවාදී 'බොදු බල සේනා' සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥානසාර රූපවාහිනී නාලිකාවක් සමග කල සාකච්ඡාවකදී සඳහන් කල ප්‍රකාශයක් සම්බන්ධයෙනි. මුස්ලිම් අන්තවාදී කන්ඩායමක් විසින්, 2019 පාස්කු ඉරිදා එල්ල කල ආකාරයේ 'තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයක්' නුදුරේම සිදු කෙරෙන බවත්, ඒ සම්බන්ධ විස්තර තමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සපයා ඇති බවත් එම සාකච්ඡාවේදී ඥානසාර සඳහන් කර ඇත. ඒ සම්බන්ධව රජය ගෙන ඇති පියවර කුමක් ද යන්න රහ්මාන්ගේ ප්‍රශ්නය විය.

ඥානසාර ට සහ ඔහු නායකත්වය දරන බොදු බල සේනා සංවිධානය (බොබසේ) ට මුස්ලිම් වාර්ගිකයන්ට එරෙහි ප්‍රකෝපකරනයේ ඉතිහාසයක් ඇත. බොබසේ එක දිගටම ප්‍රකාශ කරන්නේ මුස්ලිම්වරුන්, බෞද්ධ ආගමට තර්ජනයක් බවත්, බෞද්ධ ආගම හා එහි උරුමය ආරක්ෂා කිරීම තම අරමුන බවත් ය. මෙම සංවිධානය ඇතුලු සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ පෝෂනය කොට හදා වඩා ගැනීම සම්බන්ධයෙන්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉටුකල ප්‍රතිගාමී භූමිකාව කුප්‍රකටය.

පාර්ලිමේන්තුවේදී වීරසේකර දුන් පිලිතුර ඥානසාර රූපවාහිනී නාලිකාවට කල ප්‍රකෝපකාරී ප්‍රකාශය මුලුමනින්ම අනුමත කිරීමකි. ඉන් වඩාත් පැහැදිලි වන්නේ, සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ සහ ධනපති මාධ්‍ය මෙහෙයවා ගනිමින් ගෙනයන මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනය නව ඉහලකට නැංවීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

මුස්ලිම් වාර්ගිකයන් පොලිස් පරීක්ෂා කිරීම් වලට, අඩන්තේට්ටම් වලට සහ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් වලට නිරන්තරව භාජනය කිරීමේ වැඩපිලිවෙලක් සූදානම් කෙරෙමින් පවතින බව, 'ඔවුන් හඳුනා ගැනීම පහසු නොවන' බවට පොලීසිය භාර ඇමතිවරයා කරන ප්‍රකාශයෙන් තහවුරු වෙයි.

කෙසේ නමුත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මාධ්‍යයට පවසා ඇත්තේ, නව ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනය පිලිබඳව ඥානසාර හෙලිකල තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු පොලිස් ස්ථානයකට නොකැඳවන බවයි. ඥානසාරගේ ප්‍ර‍කාශය මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයක් සඳහා ගොතන ලද්දක් බව එමගින්මත් පැහැදිලි වෙයි.

වසංගතයෙන් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ බර තම උර මත පැටවීමට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වේගයෙන් වැඩෙන පංති අරගල රැල්ල වාර්ගික ප්‍රකෝපකරනයන් හරහා අපසරනය කිරීම සහ එම අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ආඥාදායකත්වයක් තහවුරු කර ගැනීම ජනාධිපති රාජපක්ෂගේ එල්ලය යි. ඔහු දැනටමත් පාලනය ගෙන යන්නේ, රාජ්‍ය අංශයේ සේවකයන් බහුතරයකට වැඩ වර්ජන ඇතුලු පංති ක්‍රියා තහනම් කල 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන සහ රුදුරු හදිසි නීතිය යටතේ ය.

250,000 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් මාස දෙකකටත් වැඩි කාලයක් ඇදී යන ගුරුවරුන්ගේ වැටුප් අරගලයේදීත්, වසංගත දීමනා සහ ‌නිසි සෞඛ්‍යාරක්ෂන ඉල්ලා දහස් සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයන් යෙදී සිටින අරගලයේදීත්, පාලක පංතියේ වාර්ගික භේදකරනයන් නොතකා, දිවයින පුරා, සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් වඩවඩාත් ඒකාග්‍රවීම හේතුවෙන් රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු සමස්ත ධනපති පාලක පංතිය සලිත වී සිටිති.

තමන් මත කඩා පාත් කරන ලද ව්‍යසනකාරී කොන්දේසිවලට එරෙහිව ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන්ට අමතරව, වරාය, ඇඟලුම්, විදුලිබල, ඛනිජ තෙල් සහ වැවිලි ක්ෂේත්‍රයන්හි කම්කරුවෝ අරගලයට අවතීර්න වෙමින් සිටිති. ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව දසදහස් සංඛ්‍යාත ගොවි ජනතාව ද අරගලයට පැමින ඇති අතර, පරිසර විනාශයට එරෙහිව තරුන ජනයාගේ විරෝධය ද වර්ධනය වෙමින් පවතී.

මුස්ලිම් සහ දෙමල විරෝධී ප්‍රකෝපකරනය වඩාත් ඉහල තලයකට නැංවීමට රාජපක්ෂ ඇතුලු පාලක පංතිය තීන්දුකොට ඇත්තේ කම්කරුවන් අතර වැඩෙන පංති එකමුතුව වාර්ගික රේඛා ඔස්සේ බිඳදමා කම්කරුවන්ගේ පංති ශක්තිය සිඳ දැමීමේ අරමුනෙනි.

රාජපක්ෂ බලයට පැමිනියේමත්, පාස්කු ප්‍රහාරය යහමින් ගසා කමිනි. ත්‍රස්ත ප්‍රහාරයට ඇඟිල්ල දිගු කරමින්, ඔහු තම ජනාධිපතිවරන උද්ඝෝෂනයේ දී කියා සිටියේ තර්ජනයට ලක්ව ඇති 'ජාතික ආරක්ෂාව' තහවුරු කිරීම තම මුඛ්‍ය අරමුන බවයි. රාජපක්ෂ බලයට පත්වූ දා සිට මිලිටරීකරනය ගැඹුරු කලේ මෙම 'ජාතික ආරක්ෂාව' නමැති වහන්තරාව යොදා ගනිමිනි.

රාජපක්ෂ පමනක් නොව, සමස්ත පාලක පංතියම ගනන් බැලුවේ, මිනිස් ජීවිත 270 ක් බිලි ගත් සහ 500 කට අධික සංඛ්‍යාවකට තුවාල සිදුකල එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීම සම්බන්ධයෙන් නොව, එය කම්කරු-පීඩිත මහජනතාව මැඩීම සඳහා යොදාගත හැක්කේ කෙසේද යන්නයි. එවකට පාලනයේ සිටි සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයේ සියලුම නායකයන් මෙන්ම, විපක්ෂයේ සියලුම නායකයන් මෙම ප්‍රහාරය ගැන කල්තියා දැනසිටියද එය වැලැක්වීමට කවර හෝ පියවරක් නොගත්තේ එබැවිනි.

තම ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පංති අරගල මාලාවකට සහ දැවැන්ත මහජන විරෝධයකට මුහුන දි සිටි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, වහාම සිද්ධිය ඩැහැ ගනිමින් මිලිටරිය වීදි වලට කැඳවූ අතර, මුස්ලිම් ජනයාට කායිකව පහර දෙමින් ඔවුනගේ දේපොල විනාශ කෙරුනු තිරිසන් ප්‍රහාරයකට සිංහල වර්ගවාදී මැර නඩ වලට ඉඩ ප්‍රස්ථාව ලබාදුනි.

එතැන් පටන්, මුස්ලිම් වාර්ගික වෛද්‍යවරුන් සහ නීතීඥයන් ඇතුලු වෘත්තිකයන්ට, ලේඛකයන්ට, කලාකරුවන්ට සහ තරුනයන්ට එරෙහි දඩයමක් දියත් කෙරුනු අතර රාජපක්ෂ ආන්ඩුව එය වඩාත් ගැඹුරු කලේය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී “ත්‍රස්තවාදී” චෝදනා යටතේ, අත් අඩංගුවට ගැනුනු ප්‍රමුඛ මානව හිමිකම් නීතීඥයකු වන හිජාස් හිස්බුල්ලා මෙතෙක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටී. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු (special rapporteur) වන මේරි ලෝවුලර්, සැප්තැම්බර් 7දා සඳහන් කලේ, හිස්බුල්ලා තවදුරටත් රඳවා තබා ගැනීම මඟින්, මානව හිමිකම් නඩු වලදී ඔහුගේ මැදිහත්වීම වලකා ඇති බවයි. මුස්ලිම් අන්තවාදය ප්‍රවර්ධනය කල බවට අසත්‍ය චෝදනා එල්ල කිරීමෙන් පසු, පසුගිය වසරේ මැයි මාසයේ දී අත් අඩංගුවට ගත් 25 හැවිරිදි කවියකු වන අහ්නාෆ් ජසීම්, කිසිදු චෝදනාවක් නොමැතිව මේ දක්වා සිරගත කොට තබා ඇත.

මෙම දඩයම යටතේ සිරගත කර සිටින මුස්ලිම් වාර්ගිකයන් අතර, බස්නාහිර පලාතේ හිටපු ආන්ඩුකාරයකු වන අසාද් සාලි හා හිටපු ඇමතිවරයකු වන රිෂාඩ් බදූර්දීන් ද සිටිති. අයිඑස්, අල් කයිඩා සමඟ ජාතික මුස්ලිම් සංවිධාන 11ක් පසුගිය අප්‍රෙල් මාසයේ දී තහනම් කල රාජපක්ෂ තන්ත්‍රය, එම සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන ඕනෑම අයෙකු විසි වසරක් දක්වා සිර ගත කල හැකි ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

“ආරක්‍ෂක අංශ විසින් එවැනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්නා ඕනෑම අවස්ථාවක (ආන්ඩුවට) ජාතිවාදය ගැන චෝදනා කිරීම වැරදියි” යනුවෙන් වීරසේකර තම පාර්ලිමේන්තු ප්‍රකාශය තුල තවදුරටත් සඳහන් කලේය. එහි අර්ථය වනුයේ එම වාර්ගික ප්‍රකෝපකරන වැඩ කටයුතු ඉදිරියටම ගෙන යන බව යි.

තම පන්ති පාලනය පවත්වාගෙන යාම සඳහා, කොලඹ පාලක ප්‍රභූව සිංහල වර්ගවාදය, දෙමල සහ මුස්ලිම් මහජනයාට එරෙහිව පාවිච්චි කිරීමේ භයානක ප්‍රතිවිපාක, ලංකාවේ කම්කරු-පීඩිත මහජනතාව මැනවින් අත්විඳ ඇත. සුළු ජාතීන්ට එරෙහි ලංකාවේ පාලක පන්තියේ ලේවැකි ප්‍රහාරවල ඉතිහාසය පසුගිය සියවස ආරම්භය දක්වා ම දිව යයි. අවසානයේදී එය දශක කිහිපයක ලේවැකි යුද්ධයට තුඩු දුන් අතර, එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, යුද්ධයේ අවසාන මාස කිහිපය තුල පමනක් ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කල ම්ලේච්ඡ ප්‍රහාර වලින් අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් පමන මිය ගොස් ඇත.

සිවිල් යුධ කාලය තුල ශක්තිමත් කර ගත් රාජ්‍ය මර්දන යන්ත්‍රය, හුදෙක් දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව පමනක් නොව, සියලුම ජන වර්ග වලට අයත් කම්කරුවන්ට එරෙහිව අනුප්‍රාප්තික ආන්ඩු විසින් යලියලිත් යොදා ගැනුනි.

කොවිඩ්-19 වසංගතය මගින් ගැඹුරු කරන ලද සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදය මැද ලොවපුරා පාලක පංතීහු වැඩෙන පංති අරගල මැඩීම සඳහා ආඥාදායක පාලන රූපයන්ට මාරු වෙමින් සිටින අතර, ඊට සමගාමීව කම්කරු පංතිය බෙදීම සඳහා විසකුරු ආකාරයෙන් ජාතිකවාදය, වර්නභේදවාදය සහ වර්ගභේදවාදය ප්‍රවර්ධනය කරමින් සිටිති. එක්සත් ජනපදය සහ යුරෝපය තුල ෆැසිස්ට්වාදය යලි ඉස්මත්තට ගැනීමට දැරෙන ප්‍රයත්නය එහිම කොටසකි. තීව්‍රවන අර්බුදය යටතේ රාජපක්ෂ තන්ත්‍රය ද එම මාවතේම ගමන් කරයි.

Loading