ඉන්දීය ගොවි විරෝධතාවට එරෙහි බීජේපී ප්‍රකෝපකරනයෙන් නව දෙනෙකු ජීවිතක්ෂයට

[මෙය BJP provocation against Indian farmer protest leaves nine dead යන මැයෙන් 2021 ඔක්තෝබර් 04 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය ඉරිදා, උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේදී පැවැති විරෝධතාවක් තුලට, එස්යූවී රථ පෙලක්—ඉන් එකක්, නරේන්ද්‍ර මෝදිගේ අන්ත දක්ෂිනාංශික බීජේපී ආන්ඩුවේ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අජේ කුමාර් මිශ්‍රා ටේනි සතු ය—හිතාමතාම ධාවනය කර විරෝධතා දැක්වූ ගොවීන් සිව් දෙනෙකු සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරුනි.

ටොයොටා කම්කරුවන් සහ කර්නාටක ගොවීන් බැංගලෝර් හිදී ඒකාබද්ධ පෙලපාලියක් පවත්වති (ලෝසවෙඅ)

ප්‍රහාරයෙන් කෝපයට පත් වූ ගොවීන්, එක් එස්යූවී රථයක රියදුරෙකුට සහ බීජේපී ආධාරකරුවන් තිදෙනෙකුට පහර දී ඝාතනය කර ඇත. එස්යූවී රථ දෙකක් ද ගිනි තබා ඇත.

ලක්නව් ප්‍රාන්ත අගනුවර සිට කි.මී. 130 ක් දුරින්, ටිකොනියා-බන්බීර්පූර් මාර්ගයේ ලක්හිම්පූර් ඛෙරි අසලදී මෙම මාරක ගැටුම හටගෙන තිබේ.

ප්‍රහාරය සියැසින් දුටු ගොවීන්ට අනුව, ගොවීන් සිව් දෙනාගෙන් එක් අයෙකු බීජේපී ඇමති අජේ මිශ්‍රා ගේ පුත්‍රයා වන අෂීෂ් මිශ්‍රා විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. කෙසේ වෙතත්, මිශ්‍රා පවසන්නේ තමා එම මෝටර් රථ කන්ඩායම සමග නොපැමිනි බවයි.

මියගිය ගොවීන්—ගුර්වින්දර් සිං, 19; ලව්ප්‍රීත් සිං, 20; දල්ජීත් සිං, 35; සහ නචත්තර් සිං, 60—බීජේපී හි කෘෂි ව්‍යාපාර ගැති නීති වලට විරෝධය දැක්වීම සඳහා රැස්ව සිටි ජනතාව අතර සිටි අය යි. ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජේ මිශ්‍රා මෙම විරෝධතාවයේ විශේෂ ඉලක්කයක් වූයේ, භාරතීය ජනතා පක්ෂයේ කෘෂිකාර්මික 'ප්‍රතිසංස්කරන' නීති වලට එරෙහිව වසරකට ආසන්න කාලයක් පැවති උද්ඝෝෂනයට එරෙහිව මෑතකදී ඔහු තර්ජනාත්මක ප්‍රකාශයන් සිදු කල බැවිනි.

අධිවේගයෙන් පැමිනි එස්යූවී රථ, ගොවීන් 12 දෙනෙකුට තුවාල සිදු කල අතර උත්තර් ප්‍රදේශ් පොලිසිය ඔවුන්ගේ සුපුරුදු ම්ලේච්ඡත්වයෙන් මැදිහත් වූ විට 50 දෙනෙකුට පමන, ඇතමෙකුට බරපතල ලෙස තුවාල සිදු විය.

ඉරිදා (3) ගොවීන්ට එල්ල වූ මිනීමරු ප්‍රහාරය හේතුවෙන් ලකිම්පූර් ඛෙරි දිස්ත්‍රික්කය කෝපයෙන් ඇලලී ගිය අතර ඉන්දියාව පුරා උද්ඝෝෂන සිදු විය. මෝදි ගේ සමීප සගයෙකු වන යෝගි ආදිත්‍යනාත් ගේ නායකත්වයෙන් යුත් උත්තර ප්‍රදේශ් (යූපී) ආන්ඩුව, එම ප්‍රදේශය තුල, ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ රුදුරු 144 වැනි වගන්තිය යටතේ සිවිල් වැසියන් හතර දෙනෙකුට වඩා රැස්වීම තහනම් කලේ ය. පලාතේ පැරාමිලිටරි භටයින් යොදවා, කිසිදු ප්‍රසිද්ධ නිවේදනයකින් තොරවම ලක්හිම්පූර් ඛෙරී හි අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවාව අත්හිටවූයේ ය. කොංග්‍රස් පක්ෂයේ ප්‍රියංකා ගාන්ධි ඇතුළු ගොවීන් සමඟ කථා කිරීමට ප්‍රදේශයට යාමට උත්සාහ කල විපක්ෂ නායකයින්ට එහි යාම තහනම් කර රැඳවුම්භාරයට ගැනිනි.

එවැනි උපක්‍රම—කොංග්‍රසය හෝ බීජේපී විසින් මෙහෙයවනු ලැබූ ඉන්දීය ආන්ඩු විසින් ඉන්දියානු පාලනය යටතේ පවතින කාශ්මීරයේ දිගු කලක් සේවයේ යොදවා තිබූ පරිදි—ඉන්දියාව පුරා සමාජ විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා වැඩෙන පරිමානයෙන් යොදා ගැනෙමින් පවතී.

ප්‍රාදේශීය රූපවාහිනී මාධ්‍යවේදී රමන් කාශ්‍යප් ගේ මරනය සම්බන්ධයෙන් අධිකරන පරීක්ෂනයක් සහ වගකිවයුත්තන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කරන ලෙස ඉල්ලා ලක්නව් මාධ්යවේදීන්ගේ සංගමය යූපී ආන්ඩුව වෙත ලිපියක් යැව්වේ ය. එය මාධ්‍යවේදියාගේ පවුලට මූල්‍ය වන්දි ලබා දීම ද ඉල්ලා සිටියේ ය. කාශ්‍යප් මිය ගියේ කෙසේද යන්න පිලිබඳව පරස්පර විරෝධී වාර්තා තිබේ. සමහර වාර්තා වලට අනුව, හිතාමතාම විරෝධතා කරුවන් වෙත එස්යූවී රථ ධාවනය කිරීම මාධ්‍යවේදියා විසින් රූගත කිරීම හේතුවෙන් බීජේපී පාක්ෂික මැරයෝ ඔහුට පහර දී මරා දමා ඇත.

මියගිය ගොවීන්ගේ පවුල් සඳහා උත්තර් ප්‍රදේශ් හි බීජේපී ආන්ඩුව රුපියල් මිලියන 4.5 ක (ඩොලර් 61,000 ක් පමන) වන්දි පැකේජයක් ප්‍රකාශයට පත් කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රහාරයේ නිශ්චිත තොරතුරු අපැහැදිලි ය, නමුත්, ඉන්දියාවේ වැඩිම ජනගහනය සහිත ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි බීජේපී ආන්ඩුව විසින් විරෝධතාවේ නිරත ගොවීන්ට එරෙහිව වැඩි වැඩියෙන් ප්‍රචන්ඩකාරී වාතාවරනයක් නිර්මානය කර තිබීම ගැටුමට කේන්ද්‍රීය කරුන බවට කිසිදු සැකයක් නැත. මහ ඇමති ආදිත්‍යනාත්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව මුගුරු අතැතිව ක්‍රියාත්මක වන සහ ආන්ඩුවේ විරුද්ධවාදීන්, මුස්ලිම්වරුන් සහ අනෙකුත් සුළු ජාතීන් භීතියට පත් කිරීම සඳහා රාජ්‍ය ප්‍රචන්ඩත්වය මුදා හැරීම පුරුද්දක් කරගෙන සිටීන ඉතා විෂකුරු හින්දු ස්වෝත්තමවාදියෙකි. ඔහු, ගොවීන්ගේ විරෝධතා —විශේෂයෙන් උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්, හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්තවල ගොවීන් අතර දැඩි කැලඹීම් ඇති කර ඉන්දියාව පුරා වැඩ කරන ජනතාවගේ සහානුභූතිය දිනා ගෙන ඇති උද්ඝෝෂන—'රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රනයක්' ලෙස හෙලා දැක්කේ ය.

උත්තර් ප්‍රදේශ් මහ ඇමතිවරයා ඉරිදා සිදුවීම් ගැන “දැඩිලෙස විමර්ශනය කරන' බවත් 'සමාජ විරෝධී ක්‍රියාකාරීන්ගේ සම්බන්ධය…එලිමහනට ගෙන එනු ඇති ” බවත් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් පොරොන්දු විය. “සමාජ විරෝධී ක්‍රියාකාරීන්” යනු ආදිත්‍යනාත් සහ අනෙකුත් බීජේපී නායකයින් විසින්, බොහෝ විට තමන්ගේ මහ ව්‍යාපාර ගැති හා හින්දු ස්වෝත්තමවාදී න්‍යාය පත්‍රයට විරුද්ධ වන අය දඬු ගැසීමට භාවිතා කරන වැකියකි.

මියගිය ගොවීන්ගේ ඥාතීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්, තුවාල සහිත මෘත දේහයන් ප්‍රදර්ශනය කරමින් සඳුදා දවසේ ද සැලකිය යුතු කාලයක් ඊට පෙරදින මිනීමරු ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ රැඳී සිටියෝ ය. යූපී ආන්ඩුව ප්‍රාන්ත ආරක්‍ෂක හමුදාව බලමුලු ගැන්වූ අතර, අවසානයේදී තත්වය සමනය කිරීම සඳහා එය භාරතීය කිසාන් යූනියන් (බීකේයූ - ඉන්දියානු ගොවිජන වෘත්තීය සමිතිය) හි නායකයින් මත විශ්වාසය රැඳවීය. ලක්හිම්පූර් ඛෙරි වෙත නොයන ලෙස සහ 'සාමය පවත්වා ගන්නා ලෙස' සමිති නායකයෝ ගොවීන්ට ආයාචනා කලෝ ය. යූපී හි ඉහල පෙලේ නිලධාරීන් හමුවීමෙන් පසුව, බීකේයූ මාධ්‍ය ප්‍රකාශක රාකේෂ් ටිකයිට් ප්‍රහාර එල්ල කල ස්ථානයේ සිටි අයට විසිරී යන ලෙස එකඟකරවා ගත්තේ ය. ආශිෂ් මිශ්‍රා ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර ඇති හෙයින් ඔවුන් විශාල 'ජයග්‍රහනයක්' ලද බවත්, ඉරිදා සිදුවීම් ගැන විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික රාජ්‍ය විනිසුරුවරයෙකු පත් කිරීමට ප්‍රාන්ත ආන්ඩුව එකඟ වූ බවත් ටිකයිට් විරෝධතාකරුවන්ට කීවේ ය.

රාජ්‍ය අමාත්‍ය අජේ කුමාර් මිශ්‍රාට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කෙරින. මෝදි හෝ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, අපරාධ පරීක්ෂනය පැවත්වෙන තත්වයක සිටියදීත් මිශ්‍රාට ඉල්ලා අස්වන්වෙන්න යැයි හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වචනයක් හෝ කීවේ නැත.

සැප්තැම්බර් මාසයේදී මිශ්‍රා ප්‍රාදේශීය ගොවීන්ට තර්ජනය කලේ කලින් ඔහුගේ ඡන්ද කොට්ඨාශයේ පිහිටි නිල නිවසේ පෙනී සිටි අවස්ථාවක ඔවුන් කළු කොඩි ප්‍රදර්ශනය කල බැවිනි. 'එක්කෝ ඔබ එකඟ විය යුතුය, නැත්නම් මට මුහුන දිය යුතුය' යනුවෙන් මිශ්‍රා ප්‍රකාශ කලේය. 'මම මිනිත්තු කිහිපයකින් ඔබව එකඟ කර ගන්නම්.' ඔහුගේ දාමරික අතීතය ගැන පුරසාරම් දොඩමින් තව දුරටත් මෙසේ ද පැවසීය. “මම නිකම්ම නිකම් ඇමතිවරයෙක්වත් එම්එල්ඒ (ප්‍රාන්ත මංත්‍රී මන්ත්‍රන මන්ඩලිකයෙකු ) හෝ මන්ත්‍රීවරයෙක් පමනක් නොවේ. මම නීති සම්පාදකයෙකු වීමට පෙර සිටම මාව දන්නා අය දන්නවා මම කිසි විටෙකත් අභියෝග වලින් පසු නොබසින බව.”

2020 සැප්තැම්බරයේදී බීජේපී ය හදිසියේම පාර්ලිමේන්තුව තුලින් සම්මත කරගත් සංගත ගැති කෘෂි නීති තුන අහෝසි කරන්නැයි ඉල්ලමින්, පසුගිය නොවැම්බර් මස අග සිට දහස් ගනන් ගොවීහූ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයට නුදුරින් කඳවුරු බැඳගෙන සිටිති. ඉන්දියාවේ කෘෂිකර්මාන්තය අර්බුදයට ගිය පසුගිය දශක දෙකක හෝ ඊට වැඩි කාලයක් තුල කුඩා ගොවීන් සහ කෘෂිකාර්මික කම්කරුවන් යන ග්‍රාමීය ජනතාව විශාල වශයෙන් ජීවත් වූයේ අන්ත දුගී භාවයේ ය. බිලියන 1.39 ක් වූ රටේ ජනගහනයෙන් අඩක් පමන සිය ජීවනෝපාය සඳහා කෘෂිකර්මාන්තය මත යැපුනත්, මෙම අංශය නිෂ්පාදනය කරන්නේ රටේ සමස්ත දල ජාතික නිෂ්පාදනය වන ඩොලර් ට්‍රිලියන 2.9න් යාන්තම් සියයට 15 ක් පමනි.

ආන්ඩුවේ ලොකුම බිය නම්, කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ඉන්දියානු පාලක පැලැන්තියේ සාපරාධී දුර්පාලනය සහ බීජේපී ආන්ඩුවේ ආයෝජන ගැති ප්‍රතිපත්ති වලට එරෙහිව කම්කරු අරගල රැල්ලේ වැඩෙන මහජන කෝපය සමඟ ගොවීන්ගේ උද්ඝෝෂනය අන්තර්ඡේදනය වනු ඇත යන්නයි—කප්පාදු පිලිවෙත්, පෞද්ගලීකරනය කිරීම, පාරිසරික හා කම්කරු ජීවන තත්වයන් කාබාසිනියා කර දැමීම සහ අස්ථිර කොන්ත්‍රාත් කම්කරු රැකියා ප්‍රවර්ධනය කිරීම මේ රුදුරු පිලිවෙත් අතර වේ.

ඉරිදා සිදු වූ මිනීමරු ප්‍රහාරය පෙන්නුම් කරන්නේ වැඩිවෙමින් පවතින මහජන විරෝධය හේතුවෙන් වඩ වඩාත් කෝපයට පත් වූ සහ බියට පත් වූ මෝදි ආන්ඩුවක් සහ බීජේපී යකි. ඔවුන්ගේ මවිතයට හේතුවෙමින්, ගොවීන් මැඩ පැවැත්වීමට හෝ ගොවි පනත් තුනට නාමික සංශෝධන ඉදිරිපත් කිරීම තුලින් කම්කරු ශ්‍රේනි වල සැලකිය යුතු බෙදීමක් සිදු කිරීමට ඔවුහු සමත්ව නැත.

වැඩි වැඩියෙන් මෝදි සහ ඔහුගේ බීජේපී ය ගැලවීම සඳහා ප්‍රචන්ඩත්වය තුලින් මාර්ගයක් සොයමින් සිටිති. ගොවි උද්ඝෝෂනයේ කේන්ද්‍රස්ථානයක් වන හර්යානා ප්‍රාන්තයේ අගෝස්තු මස අග භාගයේ පැවති ගොවි විරෝධතාවයකට ප්‍රචන්ඩ ලෙස පහර දෙන ලෙස මහ ඇමති මනෝහර් ලාල් ඛාටාර්ගේ නායකත්වයෙන් යුත් බීජේපී ප්‍රාන්ත ආන්ඩුව නියෝග කලේය. සුෂිල් කාජා නමැති 55 හැවිරිදි ගොවියෙකු පොලිසිය විසින් ම්ලේච්ඡ ලෙස පහර දීමෙන් මිය ගිය අතර තවත් ගොවීන් ගනනාවක් තුවාල ලැබීය.

විරෝධතාවයේ යෙදෙන ගොවීන්ට පහර දීම සඳහා ප්‍රාන්ත රාජ්‍යය පුරා යන ලතීස් (උනබටවලින් සෑදු බැටන්) වලින් සන්නද්ධ මැර කන්ඩායම් පිහිටුවන ලෙස, භාරතීය ජනතා පක්ෂ සාමාජිකයින්ට මෑතකදී කරන ලද වීඩියෝ කතාවක දී ඛාට්ටාර් ඉල්ලා සිටියේ ය. ඔහු මෙසේ කියා ඇත: “සෑම දිස්ත්‍රික්කයකම, විශේෂයෙන් උතුරු සහ වයඹදිග දිස්ත්‍රික්කයන්හිදී, අපට කිසාන් (ගොවි) ස්වේච්ඡා අනුගාමිකයන් කන්ඩායම් වශයෙන් 500-700 දක්වා ඉහල නැංවිය යුතු අතර පසුව ඔවුන් සතෙ ශත්යම් සාමචරෙට් (මුහුනට මුහුන සටනට) යෙදවිය යුතුය.' මෙම ප්‍රචන්ඩ ක්‍රියාව සඳහා විවෘත ආමන්ත්‍රනය සමඟ බීජේපී සාමාජික ප්‍රේක්‍ෂකයින් සිනාසෙන අයුරු වීඩියෝ පටයේ ඇසිය හැකිය.

ආරම්භයේ සිටම, බීජේපී මධ්‍යම ආන්ඩුව, යූපී සහ හර්යානා ප්‍රාන්ත ආන්ඩු ගොවීන්ගේ උද්ඝෝෂනය මර්දනය කිරීමට උත්සාහ කලේ ය. පසුගිය නොවැම්බර් මාසයේදී සිය උද්ඝෝෂනය ආරම්භයේදී ගොවීන් දිල්ලියට ඇතුළු වීම වැලැක්වීමට ඔවුන් සමත් වූ නමුත් ලක්ෂ ගනනක් නගරය අවට ප්‍රදේශයට ඒම වැලැක්වීමට ඔවුන්ට නොහැකි විය. විරෝධය සති ගනනාවක් දක්වා දික් වී, පුළුල් මහජන විරෝධය සඳහා බලමුගු ගැන්වෙන ස්ථානයක් බවට පත් වීමත් සමඟම, බීජේපී ආන්ඩුව දැඩි අර්බුදයකට ඇද වැටුනි. ඔවුන්ගේ ඒකාධිපති ඉව අනුව යමින්, මෝඩි සහ ස්වදේශ කටයුතු ඇමති ෂා, විරෝධතාවයේ යෙදී සිටි ගොවීන් ප්‍රචන්ඩ ලෙස විසුරුවා හැරීමට දස දහස් ගනන් ආරක්ෂක භටයින් බලමුලු ගැන්වීමට සහ ඔවුන් 'ජාති විරෝධී' ලෙස හංවඩු ගැසීම සඳහා ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පසුබිම නිර්මානය කලෝ ය.

බීජේපී ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ වාර්ගභේදවාදී ක්‍රියාවන් එකක් නෑර ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අනුමත කර තිබේ. කෙසේ වෙතත්, වැඩෙන දේශපාලන අර්බුදයට මැදිහත් වීම සඳහා කම්කරු පන්තිය ශක්තිමත් කරමින් ප්‍රචන්ඩකාරී මර්දනය ආපසු කැරකී ඒමක් සිදු විය හැකි බවට පාලක පන්තියේ පුළුල් කොටස් අතර ඇති භීතිය හේතුවෙන්, ගොවීන්ගේ විරෝධතා 'නීති විරෝධී' ලේබලය යටතේ මැඩපැවැත්වීම සඳහා බීජේපී හි සැලැස්මට කොල එලිය දැල්වීම උසාවිය මග හැරියේය. පසුව, ගොවීන් සහ ආන්ඩුව සාකච්ඡා කරන අතරතුර කෘෂි නීති තුන ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බවට තීන්දු කරමින්, තත්වය සමනය කිරීමේ යාන්ත්‍රනයක් ආන්ඩුවට ලබා දීමට එය උත්සාහ කලේය.

කෙසේ වෙතත්, බීජේපී ය මෙන්ම එහි ආයෝජක ගැති ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශාල ව්‍යාපාරිකයින්ගෙන් එල්ල වන පීඩනය පැහැදිලිවම පිලිබිඹු කරමින් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොවීන් කෙරෙහි දක්වන ආකල්පය දැඩි වෙමින් පවතී. උද්ඝෝෂනයක් පැවැත්වීම සඳහා අගනුවරට ඇතුළු වීමට අවසර දෙන ලෙස ගොවි සමිති නායකයින් මෑතකදී අධිකරනයට පැමිනි විට, ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් ගොවීන්ගේ උද්ඝෝෂනය හෙලා දුටුවේය. “මහාමාර්ග වල වාඩිලා ගැනීමේ විරෝධතා පැවැත්වීමෙන් ඔබ දිල්ලියේ ගෙල සිර කර මරා දමා ඇත... සන්නද්ධ හමුදාවන්ගේ සංචරනය පවා අවහිර කරමින් ඔබ ඔවුන්ව උපහාසයට ලක් කලේය. දැන් ඔබට නගරය ඇතුලට විත් අවුල් ජාලාවක් ඇති කිරීමට අවශ්‍යද?” උසාවිය ගෝරනාඩු කලේය.

ලක්හිම්පූර් ඛෙරි හි ගොවීන්ට එරෙහිව බීජේපීයේ ප්‍රචන්ඩකාරී ප්‍රකෝප කිරීමෙන් පැය කිහිපයකට පසු සඳුදා තවත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් ගොවීන්ගේ උද්ඝෝෂනයේ නීත්‍යානුකූල භාවය ගැන විවෘතව ප්‍රශ්න කලේ ය. එය, කෘෂි නීති වල ව්‍යවස්ථානුකූලභාවය උසාවියේදී අභියෝගයට ලක් කෙරෙමින් තිබියදී, උද්ඝෝෂන පැවැත්වීම සහ විරෝධතා දැක්වීම පිලිබඳව ගොවීන්ට තරවටු කලේය. 'කෘෂි නීතිවලට උසාවියේදී අභියෝග කර තිබියදී, වීදියේ උද්ඝෝනයක් කිම්?' විනිසුරෝ විමසූහ. විරෝධය දැක්වීමේ 'පරම' අයිතියක් තිබේද යන්න පිලිබඳව ඔක්තෝබර් 20 වන දින තීන්දුවක් ලබා දෙන බව අනතුරු අඟවීමේ ස්වරයෙන් ඉන්දියාවේ ඉහලම අධිකරනය නිවේදනය කලේය—එය, ගොවීන්ගේ උද්ඝෝෂනය අවසන් කිරීම සඳහා රාජ්‍ය ප්‍රචන්ඩත්වය යෙදීමේදී ආන්ඩුවට නෛතික කවරයක් ලබා දීමට අදහස් කරන බව නිවේදනය කිරීම හැර අන් කිසිවක් නොවේ.

Loading