මානව හිමිකම් රැකදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති යුරෝපා සංගමයේ නියෝජිතයින්ට කන්නලව් කරති

පසුගිය මස අග දී ලංකාවට පැමිනි යුරෝපා සංගමයේ (යුස) නියෝජිත කන්ඩායමක් හමුවූ වෘත්තීය සමිති ඇතුලු සංවිධාන නවයක්, ආයෝජන ප්‍රවර්ධන කලාපයන්හි කම්කරුවන්ට එරෙහිව කම්හල් හිමියන් විසින් ගෙනයන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පිලිවෙත් නතර කිරීමට පියවර ගන්නා ලෙස ආන්ඩුවට පීඩනය යොදන ලෙස ඉල්ලා ඇත.

සැප්තැම්බර් 27 සිට දින 10 ක් දිවයිනේ රැඳී සිටි මෙම නියෝජිත කන්ඩායමේ ප්‍රධාන භූමිකාව වූයේ, ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු (GSP+) සහනය ලබා දීමේදී සපුරාලියයුතු මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27 පිලිබඳ ප්‍රගතිය සමාලෝචනය කිරීම බව මාධ්‍ය වාර්තා කලේය. දිවයින තුල මානව අයිතීන් සහ කම්කරු අයිතීන් සුරැකීමේ තත්වය මෙම සමාලෝචනයට අයත් වේ.

ඔවූහු මෙම සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ ඇමති ජී එල් පීරිස්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුලු වෘත්තීය සමිති නිලධාරීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාධරයින් හමුවූහ.

සැප්තැම්බර් 30 නියෝජිත කන්ඩායම හමුවූ සංවිධාන නවය අතර නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේස), එක්සත් කම්කරු සම්මේලනය (එකස), ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීනිසේස) වැනි වෘත්තීය සමිතිද, ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් (ස්ටෑන්ඩ්අප් සේවක සංගමය) නමැති රාජ්‍ය නොවන සංවිධානයක් ද පවතී.

ඉහත සංවිධාන නවය, නියෝජිත කන්ඩායම සමග කල සාකච්ඡාව තුලදී, ඒකාබද්ධව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙහි ප්‍රධාන අන්තර්ගතය වූයේ ජීඑස්පී බදු සහනය යුස විසින් ඉවත් කිරීමට තීරනය කලහොත්, කම්කරුවන් සහ සාමාන්‍ය ජනතාව ඉන් පීඩාවට පත්වන හෙයින් මෙම තීරනය ගැන කාරුනිකව සලකා බලන ලෙස කල ආයාචනය බව ඔක්තෝබර් 3 දා ද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කලේය.

රට තුල “මේවන විට විවිධ ක්‍රියාමාර්ග තුලින් වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් මර්දනය කරනු පිනිස ගෙන යනු ලබන ආන්ඩුවේ ක්‍රියාකාරකම් නවතාලීම සඳහා යම් කොන්දේසි ඉදිරිපත්” කරමින් ආන්ඩුවට පීඩනය යොදන ලෙස සමිති නිලධාරීන් නියෝජිත කන්ඩායමෙන් ඉල්ලා ඇති බව ඔක්තෝබර් 2 දා වැඩබිම පුවත්පත වාර්තා කලේය.

යොජනාවලිය ගැන විස්තර කරමින් නිවෙකපොසේස ලේකම් ඇන්ටන් මාකස්, මෙසේ පැවසුවේය: “අප යුරෝපා සංගම් නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ මර්දන නීති අහෝසි කරන ලෙස හා රටේ ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මෙන්ම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුවට යම් බලපෑමක් කරන ලෙසයි.”

දැනට මාස තුනක් පමන දිග්ගැසී ඉදිරියට ඇදෙන ගුරුවරුන්ගේ වැටුප් අරගලයට ආන්ඩුව විසින් එල්ල කෙරෙන ප්‍රහාර ගැනද, ඇමතිවරුන් විසින් “ත්‍රස්තවාදීන්”, “කඩාකප්පල්කාරීන්” හැටියට “විවිධ තර්ජන හා ගර්ජන සිදුකරමින්, අපහාසාත්මක කතා කියමින්, අභූත චෝදනා නඟමින්” ඔවුන් “තාඩන පීඩනවලට” ලක්කිරීම ගැන ද නියෝජිතයින් කන්ඩායම ඉදිරියේ කන්නලව් කරමින් ලංගුස ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙසේ ප්‍රශ්න කලේය: “සැබෑ ප්‍රශ්නයට විසඳුම් නොදී කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින රට පිලිගත් වෘත්තීය සමිති නායකයින්ට මේ තරම් නින්දිත ලෙස සලකන්නේ නම් ජාත්‍යන්තරයට යාම හැර අපට වෙන විකල්පයක් තියෙනවද?”

කෙසේවෙතත්, නියෝජිතයින් සමිති නායකයින්ට පවසා ඇත්තේ තමන්ගේ සංචාරයේ අරමුන වන්නේ ප්‍රගතිය සමාලෝචනය කිරිම වූ හෙයින් තමන්ට තීරන ගැනීමේ වරමක් නොමැති බවයි.

ප්‍රමූඛවම ගත්කල මෙම සමිති නායකයන් මානව අයිතීන් උල්ලංඝනය ගැන ආන්ඩුවට චෝදනා එල්ල කිරීමම කුහකය. මිනිස් ජීවිතවලට ඉහලින් ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවයන් තබන රාජපක්ෂ ආන්ඩුවේ “නව සාමාන්‍යය” යටතේ සියලු ආර්ථික කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම සමිති හවුල් වී ඇත.

එකස, නිවෙකපොසේස, ජවිපෙ විසින් පාලනය කෙරෙන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු සමිති නිලධාරීන්, හාම්පුතුන් හා කම්කරු ඇමති අතර පසුගිය වසරේ මැයි මාසයේ අත්සන් කෙරුනු ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම හරහා ක්‍රියාත්මක වූ කම්කරු වැටුප් අඩකින් කප්පාදු කිරීම, වැඩ වේගවත් කිරීම සහ අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩෙහි නිරත කිරීම යනාදියෙන්, කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීමේ හයිය හාම්පුතුන්ට ලැබුනි.

ශ්‍රේනි වශයෙන් කම්කරුවන් බෙදා ඇති මෙම සමිති නිලධරය “ජාත්‍යන්තරයට යාම හැර අපට වෙන විකල්පයක් තියෙනවද” යනුවෙන් ප්‍රශ්නය මතු කරන විට, ඔවුන් හැරෙන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට නොව, අධිරාජ්‍යවාදී සංවිධානයක් වන යුසං යේ නියෝජිතයින් වෙතටය.

කිසිදු රටක කම්කරු අයිතීන් ගැන උනන්දු නොවන මෙම නියෝජිතයින් අනෙකුත් රටවල මෙන්ම තමන්ගේ රටවලද ආන්ඩු සහ හාම්පුතුන් සිදු කරන කම්කරු අයිතීන් උල්ලංඝනයන් ගැන නිහඬය. ඔවුන් උනන්දු වන්නේ, තමා නියෝජනය කරන ඇමරිකානු සහ යුරෝපීය යෝධ සංගත වන වෝල්-මාර්ට්, එච් ඇන්ඩ් එම්, එස්පිරිට්, ගැප්, වික්ටෝරියාස් සීක්‍රට් සහ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වැනි රෙදිපිලි මිලදී ගැනීමේ හා අ‌ලවියේ යෙදෙන යෝධ සංගතවල වෙලඳපොල අවශ්‍යතා සහ යුරෝපීය රාජ්‍යයන්ගේ භූ දේශපාලනික අවශ්‍යතාවන් ගැන යි.

කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවක් මවාපාන ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය සංගමය වැනි සංවිධාන විසින් යෝධ සංගතවලට ලබාදෙන සහාය යටතේ බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල ඇඟලුම් කම්කරුවෝ රුදුරු ලෙස සූරාකෑමට ගොදුරු වී සිටිති.

ධනපතියන්ගේ ශ්‍රම සූරාකෑම තහවුරු කරදීමේ දැනුවත් භූමිකාවක යෙදෙන මෙම සංගමය හාම්පුතුන්ට “කාර්මික සාමය” සලසා දෙයි. 2012 ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් හි ගොඩ නැගුනු එම සංවිධානය යටතේ රටවල් 140 ක, ඇඟලුම්, ආකර, බලශක්තිය, ඇතුලු විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි කම්කරුවන් මිලියන 50 ක් ඉක්මවා සේවයේ යොදවා ඇත.

ඉන්ඩස්ට්‍රිඕල්හි ඉන්දු පැසිපික් කලාපයේ විධායක කමිටු සාමාජිකයෙකු වන ඇන්ටන් මාකස් ඉහත භූමිකාව ලංකාව තුල ඉටු කිරීම සම්බන්ධයෙන් කුප්‍රකටය. ඉන්ඩස්ට්‍රිඕල්හි අනුබද්ධිත යුස නියෝජිතයින් කන්ඩායම වෙත යෝජනාවලිය ඉදිරිපත් කල සෙසු වෘත්තිය සමිති අතර වාකාසේස, සීඑම්යූ, ශ්‍රීලනිසේස පවතී.

තවද, මෙම කන්ඩායම නියෝජනය කරන යුරෝපීය රටවලම කම්කරු පන්තිය ඇතුලු මහජනතාව මුහුන දෙමින් සිටින්නේ අතිශයින් කටුක තත්වයකටය. ඊනියා රංචු ප්‍රතිශක්තිකරනයේ මාරක පිලිවෙත් මත පදනම් වී ඇති යුරෝපීය ආන්ඩු වසංගතය වේගයෙන් පැතිරෙද්දී, මහධනපතියන්ගේ ලාභය වෙනුවෙන් කම්හල් විවෘත කිරීම මගින් කම්කරුවන්ගේ ජීවත්වීමේ අතිමූලික අයිතිය පවා උල්ලංඝනය කර ඇත. මෙම තත්වයන්ට එරෙහිව කම්කරුවන්ගෙන් විරෝධතාවන් සහ වැඩවර්ජන රැල්ලක් මතුවී ඇත.

මේ අර්ථයෙන් ගත්කල රාජපක්ෂ ආන්ඩුව මානව අයිතීන් උල්ලංඝනය කර ඇතැයි යනුවෙන්ද, විරෝධතා මර්දනය කර ඇතැයි යනුවෙන්ද යුරෝපීය ආන්ඩු හෝ එහි විවිධ මන්ඩල විසින් ඉදිරිපත් කෙරෙන චෝදනා අතිශයින් කුහකය. යුරෝපීය ආන්ඩු ඇතුලු මෙම සංවිධානවල ප්‍රතිපත්ති ප්‍රතිරාවය කරන නියෝජිතයින් කන්ඩායම විසින් ලංකාව තුල ඔවුන්ගේ සංචාරය තුල මානව අයිතීන් සහ කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සලකා බැලීම යන්න මිථ්‍යාවකි.

දරාගත නොහැකි සේවා කොන්දේසි හේතුවෙන් කම්කරුවන් අතර පුපුරනසුලු නොසන්සුනතාවයක් පැන නැගුනහොත් එම කම්හල්වල සේවය ලබා ගන්නා සංගතවල කීර්තිනාමයට හානියක් සිදුවේද යන්න ගැන මෙම නියෝජිතයෝ උත්සුක වෙති. එවන් යෝධ සංගතවලට නිපැයුම් සැපයූ බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් පහක් ඉදි කර තිබුනු රානා ප්ලාසා ගොඩනැගිල්ල 2014 අප්‍රේල් මස කඩා වැටීමෙන් කම්කරුවන් 1,100 ඉක්මවා මියගිය අතර සිය ගනනකට තුවාල ලැබූහ. මෙය තුලින් සංගතවල රුදුරු කම්කරු විරෝධී පිලිවෙත් ගැන ලොවට හෙලිදරව් වීමෙන් එම සංගත කෙරෙහි කම්කරුවන්ගේ වෛරයත්, ජාත්‍යන්තර පරිමාන විවේචනත් එල්ල විය.

මෙම ඊනියා නියෝජිත කන්ඩායම් වෙතට නොව, ඇඟලුම් කම්කරුවන් ඇතුලු ලංකාවේ සියලුම කම්කරුවන්, තම ප්‍රශ්න විසඳීමේ ශක්‍යතාව සහිත එකම සමාජ බලවේගය වන ලෝක කම්කරු පන්තිය වෙතට හැරිය යුතුය. මේ සඳහා කම්කරු පන්තිය වෘත්තීය සමිතිවලින් බිඳී තම කම්හල්වල, නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුයි.

ගෝලීය පරිමානව කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමේ වැඩකටයුතු දියත් කර ඇත.

Loading