ඉදිරිදර්ශන

එක්සත් ජනපදය තුල වැඩෙමින් පවතින වර්ජන ව්‍යාපාරය සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සඳහා අවස්ථාව

[මෙය The growing strike movement in the United States and the case for rank-and-file committees යන මැයෙන් පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

දහස් ගනන් කම්කරුවෝ මේ වන විටත් වැඩවර්ජනවලට පිවිස සිටිති. අඟහරුවාදා ප්‍රාන්ත හතරක තම වැඩවර්ජනය දියත් කල, කෙලොග් ධාන්‍යමය ආහාර නිෂ්පාදන කම්කරුවන්ගේ, නිව් යෝක් ප්‍රාන්තයේ බටහිර කලාපයේ, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ හා බටහිර වෙරලබඩ ප්‍රානත්වල හෙද/හෙදියන් දහස් ගනනකගේ, කෙන්ටකි ප්‍රාන්තයේ ස්කාගාර කම්කරුවන් සිය ගනනකගේ, හා ඇලබාමා ප්‍රාන්තයේ උතුරු කලාපයේ වෝරිය මෙට් ගල්අඟරු කම්කරුවන් දහස් ගනනකට වැඩි පිරිසකගේ වැඩවර්ජන මෙයට ඇතුලත් ය.

වමේ: සටර් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ (ට්විටර්/@seiu_uhw), දකුණේ: කෙලොග් ධාන්‍ය කම්හලේ කම්කරුවෝ 2021 ඔක්තෝබර් 6 වෙනි බදාදා කම්හල් කරා දිවෙන,නෙබ්‍රෙස්කා ප්‍රාන්තයේ ඔමාහා හි පිහිටි ප්‍රධාන දුම්රිය මාර්ග ඔස්සේ පිකට් කරති. (ඒපී ඡායාරූපය/ ග්‍රාන්ට් ෂුල්ට්).

තවත් දස දහස් ගනන් කම්කරුවන් දැනටමත් වර්ජන ක්‍රියාමාර්ගය අනුමත කර ඇත, නැතහොත් වැඩ වර්ජනය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. මේවාට රූපවාහිනී හා චිත්‍රපට නිෂ්පාදන කම්කරුවෝ 60,000ක්, උතුරු කැලිෆෝනියාවේ කයිසර් පර්මෙනෙන්ටේ සෞඛ්‍ය රැකවරන සමාගමේ හෙදහෙදියෝ 24,000ක් සහ මධ්‍යම බටහිර ජෝන් ඩියර් සමාගම් කම්කරුවෝ 11,000ක් ඇතුලත් වෙති. ඩැනා ඉන්කෝපරේෂන් සමාගමේ වාහන කොටස් නිෂ්පාදන කම්කරුවන් 3500ක් අතර වැඩ වර්ජනය සඳහා ඉල්ලීම් පුලුල්ව පැතිර ඇතත්, සංගත ගැති එක්සත් මෝටර් රථ කම්කරුවන් (යූඒඩබ්ලිව්) හා එක්සත් වානේ කම්කරුවන්(යූඒස්ඩබ්ලිව්) යන වෘත්තීය සමිති ඔවුන්ගේ කැමැත්තට පටහැනිව ඔවුන් රැකියාවල යොදවා ඇත.

පරම්පරා ගනනාවකට පසු එක්සත් ජනපදයේ විශාලතම වර්ජන ව්‍යාපාරය සඳහා විභවය ගොඩනැගෙමින් තිබේ. මෙය ඇමරිකානු කම්කරුවන් බලාපොරොත්තු රහිත ලෙස ප්‍රතිගාමී හා පසුගාමී යැයි බෙලහීන ව්‍යාජ වාම කන්ඩායම් විසින් කරන ලද ප්‍රකාශ හෙලිදරව් කරයි. එක්සත් ජනපදයේ කම්කරුවෝ දැනටමත් දකුනු ආසියාවේ මිලියන ගනනක් සහ යුරෝපය හා ලතින් ඇමරිකාවේ දස දහස් ගනන් කම්කරුවන් සම්බන්ධ කර ගෙන ඇති ලෝක ව්‍යාප්ත වර්ජන ව්‍යාපාරයක් තුල සිය ස්ථානය ලබා ගැනීමට තල්ලු වෙමින් සිටිති. දකුනු අප්‍රිකාවේ ලෝහ වැඩ කම්කරුවෝ 155,000ක් මේ සතිය ආරම්භයේ දී, දින නියමයක් නොමැති ව වැඩ වර්ජනයක් දියත් කලහ.

වසංගතය අතරතුර තමන් යටත් කෙරී ඇති නො ඉවසිය හැකි දරුනු සූරාකෑමේ මට්ටම්වලට මෙන් ම, දැනට සියයට 5ක් වන්නා වූ, වැඩිවෙන උද්ධමනයට කිසිසේත් නො ගැලපෙන සොච්චම් වැටුප් වැඩි කිරීමට එරෙහි ව කම්කරුවෝ සටන් වදිමින් සිටිති. රට පුරා පිහිටි කර්මාන්ත ශාලා, රෝහල් සහ පාසල්වල සේවා කොන්දේසි, දින හතක වැඩ සතියක් සහ පැය 12ක් - හෝ පැය 16ක් පවා වූ වැඩ දිනයක් සහිත වූ 19 වන සියවසේ මුල් භාගයේ ඒවාට වඩ වඩාත් සමාන වේ.

සියලු මහජන සෞඛ්‍ය පියවර ලාභ සඳහා යටත් කෙරී ඇති, වසංගතය සම්බන්ධ තමන්ගේ ම සාපරාධී ප්‍රතිචාරයේ ආර්ථික ප්‍රතිවිපාක පිරිමසා ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටින ධනපති පාලක පන්තිය කම්කරුවන් මත එවැනි කොන්දේසි පටවමින් සිටී. සති කිහිපයක් තුල දී මුලිනුපුටා දැමිය හැකි රෝගයකින් මිලියන ගනනක් ජීවිත අනවශ්‍ය ලෙස අහිමි වීමත් සමඟ, මෙය ගිනිය නො හැකි ලෙස වසංගතය නරකිනුත් නරක අතට පත්කර ඇතිවා පමනක් නො ව, එය ලෝක ආර්ථිකය පුරා ම උග්‍රවන වියවුලක් හා හිඟයක් ඇති කරමින් තිබේ.

අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සංරචකවල ගෝලීය හිඟය ආවේනික වෙමින් තිබෙන අතර, බහාලුම් නැව් සිය ගනනක් අධික ලෙස තදබද වූ වරායවලින් පිටත නිකරුනේ රැඳී සිටීම නිසා දශක ගනනාවකට පසු නැව් ගත කිරීමේ පිරිවැය ඉහලම ම්ට්ටම් දක්වා අහස උසට නැග තිබේ. නමුත් පාලක පන්තියේ දෘෂ්ටි කෝනයෙන් බලන කල, නරක ම දෙය වන්නේ, කම්කරුවන්ගේ හිඟය පියවීම සඳහා වැටුප් වැඩිකිරීමට බල කරමින්, ආසාදනය හා මරනයට නිරාවරනය වන රැකියා පිලිගැනීමට මිලියන සංඛ්‍යාත කම්කරුවන් අකමැති වීම යි.

මිනිස් විඳදරාගැනීමේ සීමාවෙන් ඔබ්බට වැඩ කිරීමට කම්කරුවන්ට බල කරමින් සහ නවසීලන්තය හා චීනය වැනි රටවල ආන්ඩු තම දේශසීමා තුල වසංගතය තුරන් කිරීමේ “ශුන්‍ය කොවිඩ්” උපාය මාර්ග අත්හැරිය යුතු යැයි බල කරමින් පාලක පන්තිය වැඩ වේගවත් කරමින් සිටී. ලෝකය පුරා ම, ධනපති පන්තිය පන්ති සබඳතා ප්‍රතිව්‍යුහගත කිරීමට සහ නිර්දය ලෙස සූරාකෑමේ “නව සාමාන්‍යයක්” ඇති කිරීමට වසංගතය භාවිතා කරමින් සිටී.

කම්කරුවන් එක්සත් ජනපදය හා ලෝකය පුරා පැන නගින විවිධ අරගල එක්සත් කර ජාත්‍යන්තර උපාය මාර්ගයක් මත ඒවා ඉදිරියට ගෙන යා හැකි සංවිධානාත්මක රූපාකාරයන් වර්ධනය කර ගත යුතු ය.

මූලික වසයෙන් ම, මෙහි තේරුම වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මෙම මැයි මාසයේ දී දියත් කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාකස) ගොඩනැගීම යි. කම්කරු පන්තිය පැහදිලිව ම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අතිමහත් අභිලාෂයක් පෙන්නුම් කර ඇති අතර, ඔවුන්ට පාලක පන්තියේ පරාසය රඳා පවතින්නේ, වැඩ වර්ජන මැඩපැවැත්වීම සහ කම්කරුවන් ඒවාට එරෙහි ව සටන් කරන්නා වූ ම කොන්දේසි ක්‍රියාත්මක කිරීමට තම ශක්තිය හා බලය යොදමින් සිටින්නා වූ, වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මිදීමේ තම හැකියාව මත ය.

බයිඩන් පරිපාලනය හා ඩිමොක්‍රටික් පක්ෂය වෘත්තීය සමිතිවල නිලධාරී යාන්ත්‍රනය ශක්තිමත් කරමින් සහ ඒවා කලමනාකරනය හා රාජ්‍යය සමඟ වඩාත් සමීප ව ඒකාබද්ධ කිරීම මත පදනම් ව නිශ්චිත කෝපරේට්වාදී මූලෝපායක් හඹායමින් සිටිති. බයිඩන් ඇමසොන් සමාගම තුල වෘත්තීය සමිතිගත කිරීමේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සහ ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ම “වෘත්තීය සමිතිවලට පක්ෂ” ජනාධිපති වීමට ඔහු දුන් පොරොන්දුවේ අන්තර්ගතය මෙය යි.

ගුරුවරුන්ගේ දැඩි විරෝධයට ඉහලින් පාසල් නැවත විවෘත කිරීමට ඇමරිකානු ගුරු සම්මේලනය නායකත්වය දී ඇති අතර, එහි සභාපතිනි රැන්ඩි වයින්ගාර්ටන් ඒ වෙනුවෙන් දිනකට පැය 15ක් වැඩ කරන බව වාර්තා වේ. එක්සත් මෝටර් රථ කම්කරු වෘත්තීය සමිතිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවල කල් ඉකුත් ව තිබිය දී , ඩැනා ඉන්කෝපරේෂන් සහ ජෝන් ඩියර් සමාගම්වල කම්කරුවන් රැකියාවෙහි යොදවමින් සිටී. ඒවාහි දී ඔවුහු නොකඩවා අනතුරට ලක්වෙති, නැතහොත් කොහෙත් ම වැඩ නො කල යුතු විට ආසාදනයට ගොදුරු වෙති.

ස්ටෙලන්ටිස් සමාගම (කලින් ෆියට් ක්‍රයිස්ලර්) සමග ඇති ජාතික කොන්ත්‍රාත්තුව තුල නො පැහැදිලි වගන්තියක් ගැන ද යූඒඩබ්ලිව් සමිතිය සාකච්ඡා කලේ ය. මෙම වගන්තිය යටතේ සමාගම සිය ස්ටර්ලිං හයිට්ස් එකලස් කිරීමේ කම්හලේ කම්කරුවන් දින 90ක් අඛන්ඩව සේවයේ යොදවමින් සිටී. කොලොග් වෘත්තීය සමිතිය වන බීටීජීඑම් (බේකරි, රසකැවිලි, දුම්කොල කම්කරුවන් සහ ධාන්‍ය අඹරන්නන්ගේ ජාත්‍යන්තර සංගමය) පසුගිය මාසයේ නබිස්කෝ කම්කරුවන්ගේ වර්ජනයක් පාවා දුන් අතර, ආපසු වැඩට ආ කම්කරුවෝ දිනපතා පැය 16ක් වැඩ කරති.

වෙනත් වචනවලින් කිවහොත්, මෙම “වෘත්තීය සමිති,” වර්ජන ඇතිවීමෙන් හෝ ඇති වන විට හුදකලා කරමින් ක්‍රමානුකූල ව ඒවා අවහිර කරමින් සිටිති. ඔවුන් උද්ධමන අනුපාතයට වඩා අඩු වැටුප් වැඩිවීමක් සහිත පහල මට්ටමේ කොන්ත්‍රාත්තු බලාත්මක කරමින් සිටින්නේ, මාරාන්තික වසංගතයක් තුල කම්කරුවන් රැකියාවල තබා ගැනීම සඳහා කලමනාකරනය සමඟ කුමන්ත්‍රනය කරමින් සිටින අතර ය. “ඔබට පැයකට ඩොලර් 22ක් උපයන්න ඕනෑ නම්, ඔබ වෙනත් රැකියාවක් සොයා ගන්න ඕනෑ” යැ යි මිචිගන් ඩානා කම්හලේ එක් යූඒඩබ්ලිව් නිලධාරියෙක් මෑතක දී කම්කරුවෙකුට පැවසුවේ ය.

නිල වෘත්තීය සමිති යනු රැකියා කලමනාකරනයේ යෙදී සිටින කම්කරු පොලිස් බලකායක් හැර අන් කිසිවක් නො වේ. ඔවුන් පාලක පන්තියේ රංචු ප්‍රතිශක්තීකරන ප්‍රතිපත්ති කම්කරුවන් මත පටවමින් සිටින්නේ, කොටස් වෙලඳ පොල ආයෝජනවල ඩොලර් බිලියන ගනනක් සහ කෝපරේට්වාදී ශ්‍රම - කලමනාකරන යෝජනා ක්‍රම හරහා සංගත මුදල් සෘජුව මාරු කිරීම්වල තවත් බිලියන ගනනක් ඔවුන් සතුව ඇති බැවිනි.

1988 දී ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනය විශ්ලේෂනය කිරීම තුල දී, ලෝක නිෂ්පාදනයේ ගෝලීය ඒකාග්‍රතාව අති මූලික වසයෙන් නිල වෘත්තීය සමිතිවල යල් පැන ගිය ජාතිකවාදී හා ධනපති ගැති දිශානතිය බිඳ දමනු ඇත්තේ, ඒවා අන්තර්ගතයෙන් පමනක් නො ව රූපයෙන් ද ජාත්‍යන්තර වන, කම්කරු පන්ති අරගලවල වර්ධනය සඳහා කොන්දේසි නිර්මානය කරමින් බව ජාත්‍යන්තර කමිටුව පුරෝකතනය කලේ ය.

දශක තුනකටත් වැඩි කාලයකට පසු, කම්කරු පන්තිය ජාත්‍යන්තර ව බෙහෙවින් ඒකාබද්ධ වී ඇති අතර එය පෙර කිසි ම කලක සිටියාට වඩා අති දැවන්ත ය. සැපයුම් දාම අර්බුදය ම ලෝක ආර්ථිකයේ අතිශයින්ම ඉහල ජාත්‍යන්තර ඒකාබද්ධතාව පෙන්නුම් කර ඇති අතර, වසංගතය පිපිරීම හේතුවෙන් එක් රටක පවා කම්හල් වසා දැමීම ගෝලීය ආර්ථිකය පුරා ම රැලි ඇති කල හැක. සමාගම් වලට එරෙහි ව සටන් කිරීමට ඔවුන් බෙලහීන බව වෘත්තීය සමිති විසින් දශක ගනනාවක් තිස්සේ කම්කරුවන්ට පවසා තිබුන අතර, සැබවින් ම තමන් ගිනිය නො හැකි මූලෝපායික මර්මස්ථාන පාලනය කරන බව ඔවුහු හඳුනා ගනිමින් සිටිති.

කම්කරුවන් සවිඥානක ව මෙම විභවය හඹා යා යුතු අතර සංවිධානාත්මක ප්‍රකාශනයක් ලබා දිය යුතු ය. මේ සඳහා ලොව පුරා සිටින කම්කරුවන්ගේ අරගල සමඟ තමන්ගේ අරගල සම්බන්ධ කිරීම සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ ධජය යටතේ, කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩනැගීම අවශ්‍ය වේ.

ලෝකයේ බලවත්ම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ ශක්තිය බලමුලු ගැන්වීම, වසංගතය තුරන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සඳහා සටන් කිරීමට පමනක් නො ව, ධනේශ්වර පද්ධතියේ අරාජිකත්වය හා අසමානතාව වෙනුවට, පෞද්ගලික අවශ්‍යතා මත නො ව, මානව අවශ්‍යතා මත පදනම් ව, සැලසුම්ගත සමාජවාදී ලෝක ආර්ථිකයක් ස්ථාපිත කිරීමට ද පදනම සපයනු ඇත.

Loading