ලංකා දෙමල ගුරු සංගමය වර්ගවාදී ආස්ථානයක් මත ගුරු වර්ජනයට හොරිකඩකම් කරයි

ශ්‍රී ලංකාවේ ගුරු වර්ජනයට ඔක්තෝබර් 12 දා තෙමසක් සපිරුන ද, ගුරුවරුන් ඉල්ලා සිටි වැටුප් වැඩිවීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ආන්ඩුව,  ඉන් තුනෙන් එකක් පමනක් අදියර දෙකකින් ලබාදියහැකි බව දැඩිව කියා සිටී. එම සොච්චම් වැටුප් වැඩිවීම පිලිගෙන වර්ජනය නතර කිරීමට සමිති නායකයන් උත්සාහ දැරුව ද, එයට ගුරුවරුන්ගෙන් එල්ල වූ බලගතු විරෝධය හමුවේ, වර්ජනය ඉදිරියට ගෙනයාමට ඔවුනට සිදුව ඇත.

වර්ජනය රුදුරුම ආකාරයෙන් තලා දැමීමටත්, ගුරුවරුන්ට එරෙහිව අවශේෂ මහජනතාව ප්‍රකෝපකිරීමේ වැඩකටයුතු තීව්‍ර කිරීමටත් ආන්ඩුව සූදානම් වෙයි. එම දේශපාලන අභියෝගයන්ට මුහුන දීමට කිසිසේත්ම සූදානම් නොමැති වෘත්තීය සමිති, අරගලය පාවාදීමේ අද්දරටම පැමින සිටිති.

මෙම තීරනාත්මක සන්ධිස්ථානයේදී ගුරුවරුන්ට තම අරගලය ඉදිරියට ගෙනයා හැක්කේ, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහි අවශේෂ කම්කරුවන්ගේ අරගල සමග ඒකාබද්ධ වෙමින් ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමෙන් පමනි. ජාතිකව සහ ජාත්‍යන්තරව ඉතා විශදව ප්‍රකාශයට පත් වන්නේ එවන් ඒකාබද්ධතාවයකට කම්කරු පංතිය තුල පවත්නා වෛෂයික යොමුවයි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැන නැගුනු සෑම පන්ති අරගලයකම කැපී පෙනෙන ලක්ෂනයක් වූයේ වාර්ගික රේඛා ඉක්මවා යමින් තමන් මුහුන දෙන දුෂ්කර ආර්ථික සහ රැකියා කොන්දේසි වලට එරෙහිව කම්කරු පන්තිය එක්සත් ව අරගලයට පිවිසීමයි. ඔක්තෝබර් 6 වැනි දා පැවති ගුරු විරෝධතා ව්‍යාපාරය තුල ද මෙම පංති එකමුතුව ප්‍රකාශයට පත් කරමින්, දිවයින පුරා, සිංහල, දෙමල සහ මුස්ලිම් ගුරුවරු එයට උද්යෝගයෙන් සහභාගි වූහ.

2021 ඔක්තෝබර් 6 වැනි දා නුවරඑලියේ විරෝධතාවේ යෙදෙන ගුරුවරු (ඡායාරූපය සඳහා ස්තුතිය: ෆේස්බුක්, මලයග කුරුවි)

වැඩෙන පංති එකමුතුව හමුවේ තැතිගෙන සිටින රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතිය සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිති නිලධරය, එම එකමුතුව බිඳීමේ අරමුනෙන් වර්ගභේදය සහ ශ්‍රේනිභේදය වඩාත් ඉහල මට්ටමකට නැංවීමේ වැඩකටයුතුවල නිරතව සිටිති. ලංකා දෙමල ගුරු සංගමය, තම දෙමල වර්ගභේදවාදී සහ ජාතිකවාදී ආස්ථානය මත, වත්මන් ගුරු අරගලයට සහභාගි නොවන ලෙස තම සාමාජිකත්වයට නියෝග කලේ මෙහි කොටසක් ලෙසිනි.

ලංකා දෙමල ගුරු සංගමයේ වර්ගභේදවාදී පිලිවෙත

එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සැරා බුවනේශ්වරන් දුරකථනයෙන් සම්බන්ධ කර ගත් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෙක් ඔවුන් ගෙනඇති ප්‍රතිගාමී ආස්ථානය අභිමුඛ කලේය. ඔහු පලකල අදහස්, වෘත්තීය සමිතිවල පරිහානියත්, දෙමල ජාතිකවාදී දේශපාලනයේ ප්‍රතිගාමී ස්වභාවයත් මනාව හෙලිදරවු කරන්නක් විය.

සිංහල-දෙමල කම්කරු පංතික එකමුතුවකට බුවනේශ්වරන්ගේ විරුද්ධත්වය කෙතෙක්දයත්, සිංහල-දෙමල ගුරුවරු මේ අරගලයට 'ඒකාබද්ධ' ව සහභාගී වෙතැයි යන්න පිලි නොගන්නා බව ඔහු පැවසීය. 'කිසිම දෙමල ගුරුවරයෙකු මේකට සම්බන්ධ නොවන බව මම සහතික කරනවා' යනුවෙන් අතේ පත්තුවන බේගලයක් ඔහු ඇදබෑවේ උතුරු නැගෙනහිර දෙමල කතා කරන ගුරුවරුන් දහස් ගනනක් වැටුප් අරගලයට සහභාගි වී සිටියදී ය.

2021 ඔක්තෝබර් 6 වැනි දා යාපනයේ දී විරෝධතාවේ යෙදෙන ගුරුවරු (ලෝසවෙඅ මාධ්‍ය)

දෙමල බස කතා කරන මුස්ලිම් ගුරුවරයෙකු පවා තම සමිතියට බඳවා නොගන්නා බව බුවනේශ්වරන් සඳහන් කලේ එහි වර්ගභේදවාදී පදනම වඩාත් ප්‍රකට කරමිනි. තම සමිතියේ දේශපාලන පදනම “දෙමල ජාතිකවාදය” යැයි ඔහු පැවසීය. 2020 මහ මැතිවරනයේ දී දෙමල ගුරු සංගමය, දෙමල ජාතික සන්ධානය (දෙජාස) වෙත තම නිල සහයෝගය ප්‍රකාශ කල අතර, බුවනේශ්වරන් මත් එම මැතිවරනයේදී දෙජාස වෙනුවෙන් තරග කලේය.

ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් තම භූ-මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් ලංකාවේ ආන්ඩුවට යොදන පීඩනයේ එල්ලී, කොලඹ සමග ගනුදෙනුවකින් තම වරප්‍රසාද තහවුරු කර ගැනීම දෙජාස ප්‍රමුඛ දෙමල ජාතිකවාදී ධනපති පක්ෂවල අරමුනයි. දෙමල මහජනතාව මුහුන දෙන සමාජ-ප්‍රජාතන්ත්‍රීය ගැටලු ගැන ඔවුන් ව්‍යාජ ලෙස උනන්දු වන්නේ, පීඩිත දෙමල ජනයා තම අත යටතේ තබා ගෙන කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීමේ උපායක් ලෙස පමනි. ධනපති ප්‍රහාරයන්ට එරෙහි, සිංහල සහ දෙමල කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයකට වල කපනුවස් මෙම ධනපති ජාතිකවාදීහු හැකි සෑම උත්සාහයක් ම දරති.

ගුරු වර්ජනයට එරෙහි ආන්ඩුවේ උද්ඝෝෂනයට උඩගෙඩි දීමක්

වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ මහධනපතියන්ට බිලියන සංඛ්‍යාත සහන පැකේජ ලබා දෙන ආන්ඩුව අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවනුයේ, වැඩ වර්ජන සහ විරෝධතාවන්ගෙන් වැලකී 'රට වෙනුවෙන්' එම බර කෙසේ හෝ දරා සිටියයුතු බවට තර්ජනය කරමිනි. ධනපති ආන්ඩුවේ මෙම ප්‍රතිගාමී පිලිවෙතට උඩගෙඩි දෙන දෙමල ගුරු සංගමයේ නායකයා, මෙය 'අරගල කරන්න හෝ වැටුප් වැඩි වීම් ඉල්ලන්න කාලයක්' නොවන බව පැවසීය.

ආන්ඩුව සහ මාධ්‍ය විසින් ගුරු අරගලයට එරෙහිව ගෙනයන ප්‍රකෝපකාරී උද්ඝෝෂනයට තෙල් වත් කරමින් බුවනේශ්වරන් මෙසේ කීවේය: 'උගන්නන්නේ නැති ව පඩි ගන්න හොඳ නෑ. ... මේ කාලයට ගත් පඩි බැලුවොත් වැටුප් විෂමතාවට හරි.”

වසංගතය මැඩීමේ මහජන සෞඛ්‍යාරක්ෂන පියවරක් ලෙස වසා දැමෙන පාසල්වල ගුරුවරුන්ට සහ අනධ්‍යන සේවකයන්ට පූර්න වැටුප් ලබාදීම ආන්ඩුවේ වගකීමක් වන අතර එම වැටුප් ලබා ගැනීම ගුරුවරුන්ගේ මූලික අයිතියකි. කෙසේ වෙතත්, දරුවන්ට සහ ගුරුවරුන්ට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් නොසපයා අධ්‍යාපනය කාබාසිනියා කලේ ගුරුවරුන් නොව රාජපක්ෂ ආන්ඩුවයි.

ඇතැම් රටවල වෘත්තීය සමිති 'කොරෝනා ආපු හැටියේ තම සාමාජිකත්වයේ වැටුප් ආන්ඩුවට ලබා දුන්' බව ද ඔහු පැවසුවේ ය. ඔහු ප්‍රවර්ධනය කරන්නේ, ධනපති අර්බුදය වෙනුවෙන් කම්කරුවන් තම වැටුප පවා කැප කලයුතු බවට ධනපති පාලකයන් ගෙනයන උද්ඝෝෂනය යි. වසංගතය මධ්‍යයේ, ලංකාව ද ඇතුලු ලොවපුරා රටවල කම්කරු වැටුප් කප්පාදු කෙරුනේ වෘත්තීය සමිතිවල පූර්න සහයෝගයෙනි.

වසංගත පැතිරවීමට ගුරු අරගලය හේතු වූ බවට ආන්ඩුව නගන ‌ව්‍යාජ චෝදනාව බුවනේශ්වරන් ද එල්ල කලේය. වසංගතය පැතිර යාමට මූලික හේතුව, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා තබන ලෙස විශේෂඥයන් කල නිර්දේශ නොතකා, ධනපති ලාභයට මුල් තැන දී ආර්ථිකයේ සියලු අංග විවෘතව තැබීමේ රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්තියයි. වසංගතයට කම්කරුවන් සහ ලමුන් බිලිදෙන මෙම පිලිවෙතට ගුරු සංගම් ඇතුලු සියලු වෘත්තීය සමිති සහයෝගය දුන්හ.

දකුනේ සහ උතුරේ වෘත්තීය සමිතිවල සාම්‍යයෝ

ආන්ඩුව ආර්ථික අර්බුදයක ගිලී ඇතිබව පිලිගන්නා බවත්, 'මස් රාත්තලම' ඉල්ලා නොසිටින බවත් පැවසූ දකුනේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අවසානයේදී ආන්ඩුවේ සොච්චම් වැටුප් වැඩි කිරීම පිලි ගත්තේය. වෘත්තීය සමිති එකමුතුවේ සහ දෙමල ගුරු සංගමයේ වෙනස නම් පලමු වැන්නා වටවංගුවකින් කල දේ දෙවැන්නා එක එල්ලේ ම සිදු කිරීමයි.

ගුරු සමිති ඇතුලු වෘත්තීය සමිති පසුගිය කාලය පුරා අරගල අත් හැරියේ, 'මේ අරගල කිරීමට කාලයක් නොවේ' ය යනුවෙන් ධනපති ආන්ඩු කියූ කීම්වලට එකඟ වෙමිනි. මෙහි දී 2007-2008 වසරවල ගුරු අරගලයේ දී ගුරු සමිති නායකයන් කැඳ වූ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විමසා සිටියේ “ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් ආන්ඩුව අතේ නෑ. අපිට උතුරු නැගෙනහිරින් හමුදා ඉවත් කරගන්න කියලා ද කියන්නේ?” යනුවෙනි. ආන්ඩුව ඇද වැටෙනු දැකීමට අකමැති වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැටුප් අරගලය අත්හරිමින් වර්ගවාදී යුද්ධයත් සමාජ ප්‍රහාරයත් ගෙන යාමට තම සහාය පල කලේ ය. එම සාකච්ඡාවට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමය ජවිපෙ සමග එක්ව ඍජුව ම යුද්ධය වෙනුවෙන් උද්ඝෝෂනය කලේ ය.

මෙම අරගල තුල දී, දෙමල ගුරු සංගමය, උතුරු නැගෙනහිර යුද කලාපවල ගුරුවරුන් දීප ව්‍යාප්ත ගුරු වර්ජනයන්ට සහභාගී වීමෙන් වලකාලී ය. එම සංගමයේ හිටපු සභාපති ටී. මහසිවම් පවසා සිටියේ දැනටමත් යුද්ධයෙන් බලපෑමට ලක්ව ඇති “දෙමල සිසුන්ට අවාසියක් සිදු නොවනු පිනිස” වර්ජන ව්‍යාපාරයට තමන් එකතු නොවන බවයි.

මෙය කොලඹ ධනපතියන්ගේ වාර්ගික ප්‍රකෝපකරනයට තකටතක ගැලපෙයි. ආන්ඩුවේ හොරනෑවක් වන දිනමින පුවත්පත, “වනක්කම් යාල්පානම් ටීචර්ස්” යන මැයෙන් පල කල කතුවැකිය මෙසේ පවසයි: “ගුරු වර්ජනය නිසා ඉදිරි වසර කිහිපය ඇතුලත දකුනේ අධ්‍යාපනයේ පසුබෑමක් සිදු වනු ඇත. යාපනේ දරුවන් පමනක් ඊට හසු නොවනු ඇත.”

කොලඹ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයත් සමාජ ප්‍රහාරයත් වැලැක්වීමට කම්කරු පන්තිය බලමුලු ගැන්වීම දැනුවත් ව ම අවහිර කල මෙම වෘත්තීය සමිති යුද්ධයෙන් පීඩිත මහජනතාවට අත් වූ ව්‍යසනයටත් දැන් සිදුවන සමාජ ව්‍යසනයටත් වගකිව යුතු ය.

කම්කරු පන්තියේ වෛෂයික යොමුව

මෙවර ගුරු අරගලය ආරම්භවූයේ හුදෙක්, කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහි උද්ඝෝෂනයකදී ස්ටාලින් අත් අඩංගුවට ගැනීම නිසා බවට චෝදනා කල බුවනේශ්වරන් එය තුල ගුරුවරුන්ගේ සැබෑ අභිලාෂයන් නොමැතිබව පෙන්වීමට උත්සාහ කලේය. මෙම ලිපිය ආරම්භයේ දී පැහැදිලි කල පරිදි මේ අරගලය තුල පුපුරාගියේ දශක ගනනාවක් පුරා තම වැටුප් ඉල්ලීම ලබා නොදීමෙන් සහ අධික වැඩබරෙන් හෙම්බත්ව සිටි ගුරුවරුන් ගේ ආතතිය සහ කෝපය යි. බුවනේශ්වරන්ගේ කුතර්කයන්ට ප්‍රතිකූලව මෙම ගුරු අරගලය ගැඹුරු ජීවන අවශ්‍යතාවන්ගෙන් ගාමකය ලද්දකි.

තම සංගමයේ ගුරුවරුන් වැඩවර්ජනයට සහභාගිවුවහොත් නායකත්වයෙන් “තමන් ඉල්ලා අස් වන බවට තර්ජනය” කල බව ද බුවනේශ්වරන් කීවේය. ඔහුට එසේ තර්ජනය කිරීමට සිදුව ඇත්තේ එම ගුරුවරුන් තම පන්ති සහෝදරයන් සමග අරගලයේ දී එක්සත් වීමේ සූදානමක් තිබු බැවින් බව පැහැදිලිය.

ජාත්‍යන්තර පරිමානව ම කම්කරු පන්තියේ වෛෂයික යොමුව ඇත්තේ ගෝලීය වසංගතය මගින් වඩාත් විනාශ කෙරී ඇති තම සමාජ කොන්දේසි හමුවේ ධනපති ක්‍රමයට එරෙහි ඒකාබද්ධ අරගලයක් වෙතට ය. වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට එරෙහිව, ඔක්තෝබර් පලමු වැනි දා පාසල් වර්ජනය කරන ලෙස එක්සත් රාජධානියේ මවක් කරන ලද කැඳවුමට ලැබුනු ජාත්‍යන්තර සහයෝගය මෙම ප්‍රවනතාව සනාථ කරන බලගතු සාධකයකි.

වෘත්තීය සමිති එකමුතුව ගුරුවරුන් ඇතුලු කම්කරු-පීඩිත මහජනතාව මුහුන දෙන පොදු සමාජ ප්‍රශ්න ආමන්ත්‍රනය නොවන පරිදි “වැටුප් විෂමතා විසඳනු” යන සටන් පාඨයට ගුරු වර්ජනය සීමා කලේ, එවන් පුලුල් ආමන්ත්‍රනයක් ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පංති අරගල සමග ගුරු අරගලය ඒකාබද්ධවීම වැලැක්වීමේ අරමුනෙනි.

වර්ජනය ආරම්භයේදී වැටුප් ඉල්ලීමට අමතරව ඉදිරිපත් කල, 'අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක මුදල් වෙන් කිරීමක්' සහ 'අලුතෙන් බඳවා ගැනෙන ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් සහතික කිරීමක්' යන ඉල්ලීම් සමිති නායකත්වය විසින් අත්හැර දමා ඇත්තේ ද එම ඉල්ලීම් එවන් ඒකාබද්ධතාවයකට තුඩුදෙන බැවිනි.

වැඩෙන පන්ති අරගල මාලාව, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුල එක්සත්කොට දියත් කිරීමෙන් තොරව ගුරුවරුන් ඇතුලු කම්කරු පංතියට තම ඉල්ලීම් කිසිවක් සාක්ෂාත් කල නොහැක. උතුරේ, දකුනේ හෝ ලොව කොතැනක වේවා වෘත්තීය සමිති එවන් අරගලයකට සපුරාම එරෙහිය.

ගුරුවරුන් ඇතුලු සියලු කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී, මෙම අරගලය තම අතට ගතහැකි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන රූපයන් ලෙස, තම රැකියා ආයතනයන්හි, වැඩබිම්වල සහ නිවස්නා ප්‍රදේශයන්හි කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට වහා පෙරට පැමිනිය යුතුය. මේ සඳහා නායකත්වය දීමට, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මගපෙන්වීම යටතේ පිහිටුවන ලද ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව කැප වී සිටී.

එවන් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා සසප ත්, එහි ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියත් සටන් වදී. එම අරගලයේ කොටසක් ලෙස, කොවිඩ්-19 වසංගතය මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව සාකච්ඡා කිරීම සඳහා, කීර්තිමත් විද්‍යාඥයන් හා වසංගත රෝග විශේෂඥයන් මඬුල්ලකගේ සහභාගීත්වයෙන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ඔක්තෝබර් 24 වැනි දා ඉරිදා ඔන්ලයින් සාකච්ඡාවක් පවත්වයි. එයට සහභාගිවන ලෙස සියලු ගුරුවරුන්ගෙන්, අවශේෂ කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading