ඉදිරිදර්ශන

කොවිඩ්-19 හේතුවෙන් එක්සත් ජනපදයේ 140,000 කට වඩා ලමුන් පිරිසකට මව, පියා හෝ රැකබලා ගන්නා අහිමි වී ඇත

පෙඩියට්‍රික්ස් සඟරාවේ බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ, “2020 අප්‍රේල් 1 සිට 2021 ජූනි 30 දක්වා කාලය තුල එක්සත් ජනපදයේ දරුවන් 140,000 කට වැඩි ප්‍රමානයක්, කොවිඩ්-19 හේතුවෙන් මව හෝ පියා හෝ තමන් රැක බලා ගත් ආච්චි හෝ සීයා හෝ මරනයට පත් ව අනාථ වීමට මුහුන දුන් බවයි.” එම කතුවර, ආචාර්ය සුසාන් හිලිස් විසින්ම, ද ලැන්සෙට් හි ජූලි මාසයේදී කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල අනුව 2021 අප්‍රේල් අවසානය වන විට එම අගයම, ගෝලීය වශයෙන් ලමුන් මිලියන 1.56 ක් ලෙස ගනන් බලා ඇත.

මෝටර් රථ පෙලක්, 2020 අගෝස්තු 31 වන සඳුදා, ඩෙට්‍රොයිට් හි බෙල් අයිල් හිදී කොවිඩ්-19 වින්දිතයින්ගේ ඡායාරූප පසු කරගෙන යයි. (ඒපී ඡායාරූපය/කාලෝස් ඔසෝරියෝ) [AP Photo/Carlos Osorio]

කොවිඩ්-19 වසංගතය අතරතුර ලොව පුරා සිදු වූ ඛේදවාචකයේ අතිමහත් පරිමානය මෙම අති විශාල සංඛ්‍යා මගින් අවධාරනය කෙරේ. එක්සත් ජනපදයේ, ජුනි 30 වන විට කොවිඩ්-19 වලින් මියගිය 621,656 න්, හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවක්, දරුවන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන් විය.

නවතම අධ්‍යයනයේ සඳහන් වන්නේ, “නිවාස, අවශ්‍යතා සහ රැකවරනය සැපයූ මවුවරුන්ගේ, පියවරුන්ගේ හෝ ආච්චිලා සීයලාගේ අභාවයෙන් මෙම දරුවන්ගේ ජීවිත සදාකාලික ලෙස වෙනස් වන බවයි. දෙමාපිය අහිමි වීම සමග මානසික සෞඛ්‍ය ගැටලු, පාසල් අධ්‍යාපනය කෙටි වීම, ආත්ම අභිමානය අඩු වීම, අවදානම් ලිංගික හැසිරීම් සහ සියදිවි නසා ගැනීමේ අවදානම, හිංසනය, ලිංගික අපයෝජන සහ සූරාකෑමේ අවදානම ආදියට ලක් වේ. එක ගෙදර වාසය කරන කරන ආච්චිලා සීයලාගේ අහිමි වීම, මුනුබුරන් සඳහා මනෝ-සමාජීය, ප්‍රායෝගික සහ/හෝ මූල්‍යමය ආධාර කෙරෙහි බලපෑම් කල හැකිය. රැකබලා ගන්නෙකුගේ මරනයෙන් පසු පවුල් තත්වයන් වෙනස් විය හැකි අතර, නිවාස අස්ථායිභාවයට, වෙන්වීම්වලට සහ රැක බලාගැනීමට කෙනෙකු නොමැතිකමට ලමයින්ට මුහුන දීමට සිදු වේ.”

සමස්ත තරුන පරම්පරාවකටම සිදු කරන ලද කම්පනයේ මට්ටම ගනනය කල නොහැකි තරම් ය. පාලක පැලැන්තිය සහ ඔවුන්ගේ මාධ්‍ය, නිමක් නැතිව, සෑම කෙනෙකුම “වෛරසය සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතුය” යන මන්තරය මතුරමින් සිටින මුත්, යතාර්ථයේදී ලොව පුරා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිනිසුන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය යමින් සිටින අතර පවුල් වැඩි වැඩියෙන් කැඩී බිඳී යමින් තිබේ.

සෑම දරුවෙකුගේම, නිරපරාදේ දෙමව්පියන් අහිමි වීමක්, ජීවිතය වෙනස් කරන සිදුවීමක් වන අතර එයින් බහුතරයක් සංස්ථාපිත මාධ්‍ය විසින් ලියා හෝ ආවරනය කර නැත. ආවරනය කර ඇති ඇතැම් ඒවායින් මෙම තරුනයින් මුහුන දෙන සමාජ අර්බුදය පිලිබඳ ක්ෂනික අවබෝධයක් ලබා දෙයි.

අගෝස්තු මස අවසානයේදී, කැලිෆෝනියාවේ යුකායිපා හි දරුවන් පස් දෙනෙකුම අනාථභාවයට පත් කරමින් ඔවුන්ගේ දෙමව්පියන් වන ඩේවි සහ ඩැනියෙල් මැකියස් යන දෙදෙනාම එකම සතියේදී කොවිඩ්-19 රෝගයෙන් මිය ගියහ. නිවාඩුවකදී ඔවුන්ගේ මුළු පවුලටම වෛරසය ආසාදනය වී ඇති අතර, දරුවන් සුවය ලැබූ මුත් ඔවුන්ගේ දෙමාපියන්ගේ රෝගී තත්වය ක්‍රමයෙන් වැඩි විය. වැඩිමලාට අවුරුදු 7 ක් වන එම දරුවන් දැන් ජීවත් වන්නේ ඔවුන්ගේ ආච්චි සහ සීයා සමඟ ය. ඩැනියෙල් මැකියස්ගේ නෑනා වන ටෙරී සෙරී ප්‍රාදේශීය පුවත්පත් වලට පැවසුවේ ඔවුන් “රෑට අම්මයි තාත්තයි සොයමින් බොහෝ කාලයක් ගත කරන” බවයි.

අගෝස්තු මාසයේදී මිසිසිපිහිදී, 32 හැවිරිදි අලුත උපන් බිලිඳකුගේ මවක් කොවිඩ්-19 රෝගයෙන් මිය ගියේ ඇගේ සැමියා වෛරසයට ගොදුරු වී මාස කිහිපයකට පසුවය. ගැහැනු ලදරුවා අනාථ විය. අසල්වැසි ඇලබාමා හි, දරුවන් හත් දෙනෙකුගේ මවක්, තම දරුවන් පස්දෙනා අනාථ කර දමමින් එම මාසයේම කොවිඩ්-19 හේතුවෙන් ඇගේ සහෝදරිය සහ මස්සිනා මිය යාමෙන් පසු, දැන් දරුවන් 12 දෙනෙකු තනිවම හදා වඩා ගනී. මිචිගන්හිදී, මවක වන චාර්ලෙටා ග්‍රීන්, කොවිඩ්-19 රෝගයෙන් මිය යාමෙන් පසු දරුවන් හත් දෙනෙකු සැප්තැම්බර් මස මුලදී අනාථ වූ අතර, ඔවුන්ගේ පියා වන ට්‍රෝයි, කොවිඩ්-19 ඇති තම බිරිඳගේ තත්වය නරක අතට හැරෙන බව දැනගත් විගස හෘදයාබාධයකින් මිය ගියේය.

සවිස්තරාත්මකව පරීක්ෂන පැවැත්වීමේ සහ ආශ්‍රිතයන් හඹා යාමේ අඩුපාඩු හේතුවෙන්, කොවිඩ්-19 මැඩපැවැත්වීමට පෙර පාසල් නැවත විවෘත කිරීම නිසා ඇති වූ ආසාදන සංඛ්‍යාව මෙතෙකැයි නිශ්චිතව දැනගැනීමට ක්‍රමයක් නැත. කෙසේ වෙතත්, බහු අධ්‍යනයන් සහ රජයේ දත්ත පිලිබඳ විශ්ලේෂනයන් තුලින්, පාසල් නැවත විවෘත කිරීම සහ ඒවායේ අවට ප්‍රජාවන් තුල වෛරස් උච්චාවචනයන් අතර සමීප සම්බන්ධතාවයක් ඇති බව පෙන්නුම් කර තිබේ. නිසැකවම, කොවිඩ්-19 හේතුවෙන් මියගිය දෙමාපියන් සහ රැකබලා ගන්නන්ගෙන් සැලකිය යුතු ප්‍රමානයක්, අනාරක්‍ෂිත පාසල් වෙත ආපසු යාමට බල කල ඔවුන්ගේ දරුවන් හරහා ආසාදනයට පත් වූ අය යි.

දුරස්ථ ඉගෙනීම සමඟ පොරබදමින් සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිලිබඳ සිය සැලකිල්ල නිසා යයි නරුම ලෙස ප්‍රකාශ කරමින් ලොව පුරා ධනපති දේශපාලනඥයින් පාසල් නැවත විවෘත කිරීමට ඉක්මන් වී ඇත. යථාර්ථය නම්, පාසල් නැවත විවෘත කිරීම සැමවිටම මෙහෙයවනු ලැබුවේ, දෙමාපියන් නැවත ලාභ උපදවන වැඩට දැක්කීමේ, සමාගම් වල අවශ්‍යතා මගිනි. වසංගතයට පෙර දරුවන්ගේ යහපැවැත්ම ගැන කිසිඳු තැකීමක් නොකර අධ්‍යාපනික හා සමාජ වියදම් අඛන්ඩව කපා හැරියා සේම, අදත්, කොවිඩ්-19 නිසා දෙමාපියන් සහ රැකබලා ගන්නන් මියගිය මිලියන සංඛ්‍යාත දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන ඔවුන්ට කිසිදු තැකීමක් නැත.

පාලක ප්‍රභූ පැලැන්තිය විසින් ක්‍රියාත්මක කරන වසංගත ප්‍රතිපත්ති කෙරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල දැවැන්ත විරෝධයක් සහ ලොව පුරා කොවිඩ්-19 මුලිනුපුටා දැමීම සඳහා සටන් කිරීමේ ආශාව වැඩෙමින් තිබේ. බ්‍රිතාන්‍ය මවක වන ලීසා ඩයස් විසින් ආරම්භ කරන ලද ඔක්තෝබර් 1 දා පැවති ගෝලීය පාසල් වර්ජනයේදී මෙය බලවත් ප්‍රකාශනයක් අත්කර ගති. ඔක්තෝබර් 1 වැනි දා දක්වා වූ සතිය පුරාම, උක්ත සිදුවීම සඳහා වූ මූලික හැෂ් ටැගය—#SchoolStrike2021—ලොව පුරා රටවල් දුසිම් ගනනාවක 26,000 වාරයකට වඩා භාවිතා කර ඇත.

කොවිඩ්-19 හේතුවෙන් දෙමාපියන් සහ රැකබලා ගන්නන් අහිමි වූ දරුවන් පිලිබඳ අධ්‍යයනයන් ගැන විමසූ විට ඩයස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ, “ආන්ඩු සහ අපව නොකඩවා වැඩෙහි යෙදවීමට අවශ්‍ය අය, මානසික සෞඛ්‍යය ගැන දිගින් දිගට කතා කරති. නමුත් දෙමව්පියන් මිය යාමේ දැඩි අවදානමක් පවතින අතර එය මාස කිහිපයක් සිදු කරන දුරස්ථ ඉගෙනීමට වඩා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බෙහෙවින් බලපානු ඇත. මේ දරුවන්ට දැන් ජීවත් වීමට සිදුවී ඇත්තේ තමන්ගේ අත්වැරදීමකින් තමන්ම දෙමාපියන් මරා දමන්නට ඇතැයි යන සිතුවිල්ලෙනි. පාසල් ආරක්‍ෂිතව විවෘතව තැබිය නොහැකි නම්, පාසල් තුල ඕනෑ ම ආකාරයක සම්ප්‍රේෂනයක් සිදුවන්නේ නම් ඒවා වසා දැමිය යුතුය.”

තම දෙමාපියන් සහ ආදරනීයයන් අහිමි වීමට අමතරව, දරුවන්ම ද කොවිඩ්-19 හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වී මිය යා හැකිය. මෑත අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ ආසාදිත දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට, ආසාදනය වී මාස කිහිපයකට පසු, ශරීරය දුර්වල කරවන රෝග ලක්‍ෂන වලින් පීඩා ගෙනදෙන දිගු කාලීන කොවිඩ් (Long COVID) වැලඳෙන බවයි. පසුගිය සතියේ, එක්සත් ජනපදය තුල වෛරස් රෝගයෙන් ලමුන් 22 ක් මිය ගිය අතර, මුලු ලමා මරන සංඛ්‍යාව 520 දක්වා පැමිනියේය. දැන්, බ්‍රසීලයේ ලමුන් අතර මරන සඳහා ප්‍රධානතම හේතුව කොවිඩ්-19 වන අතර, වෛරසය හේතුවෙන් 2021 වසරේ පලමු භාගය තුල වයස අවුරුදු 10-19 අතර ලමුන් 1,518 ක් මිය ගොස් තිබේ. මෙම ගිම්හානයේදී ඉන්දුනීසියාවේ ඩෙල්ටා ප්‍රභේදය ඉහල යාමත් සමග, ජූලි මාසයේදී පමනක් කොවිඩ්-19 හේතුවෙන් ලමුන් 700 කට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ.

සමස්ත පරම්පරාවක අනාගතය දැන් තුලාවක එල්ලී ඇති බව ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ. “රංචු ප්‍රතිශක්ති” උපාය මාර්ගයන් හෝ එහිම ප්‍රභේදයක් වන සීමිත අවම කිරීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම ලොව පුරා ප්‍රමුඛව පවතී නම්, කොවිඩ්-19 පාසල්, කර්මාන්ත ශාලා සහ වෙනත් සේවා ස්ථාන හරහා තවදුරටත් ව්‍යාප්ත වන අතර තවත් මිලියන ගනනක් මිනිසුන් මිය යනු ඇත, දරුවන් තුල ජීවිත කාලය පුරාවටම පවතින කැලැල් ඇති කරනු ඇත.

මෙම අනවශ්‍ය දුක් වේදනා හා මරන අවසන් කිරීම සඳහා ඇති එකම විද්‍යාත්මකව පදනම් වූ සහ ශක්‍ය උපායමාර්ගය වන්නේ කොවිඩ්-19 ගෝලීය වශයෙන් මුලිනුපුටා දැමීමයි. මේ සඳහා ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත එන්නත් කිරීමේ වැඩසටහනක්, සමූහ පරීක්ෂන, සම්බන්ධතා සොයා ගැනීම, ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම, මුහුනු ආවරන පැලඳීම සහ සෑම රටකම අනෙකුත් සියලුම මහජන සෞඛ්‍ය පියවර යෙදවීම ඇතුලත් වේ. වෛරසය පැතිරෙන ඕනෑම තැනක, දෛනික නව ආසාදන ශුන්‍ය වන තුරු පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන තාවකාලිකව වසා දැමිය යුතු අතර, අගුලු දැමීමේදී කම්කරුවන්ට සහ කුඩා ව්‍යාපාරිකයින්ට පූර්න ආදායම් ආරක්‍ෂාව සහතික කල යුතුය.

මෙම පියවරයන් සඳහා විද්‍යාත්මක පදනම සහ ඒවා ක්‍රියාත්මක කල හැකි ආකාරය විස්තර කිරීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය විසින් “වසංගතය අවසන් කරන්නේ කෙසේද: මුලිනුපුටා දැමීමේ වැදගත්කම” යන හිසින් සංවිධානය කරන ඔක්තෝබර් 24 රැස්වීමේදී කේන්ද්‍රගත වනු ඇත. කීර්තිමත් විද්‍යාඥයින් සහ කම්කරුවන්ගේ මන්ඩලයක් විසින් වසංගතයේ වර්තමාන තත්ත්වය සමාලෝචනය කර ලොව පුරා කොවිඩ්-19 මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාමාර්ගයක සැලසුම් සකස් කරනු ඇත. ජීවිත රැක ගැනීමේ මෙම වැඩසටහන සඳහා සටන් කිරීමට කැමති සියළු දෙනා අදම ලියාපදිංචි වී ඔබේ සගයින්ට, මිතුරන්ට සහ පවුලේ අයට ආරාධනා කරමින් මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා පුළුල් ලෙස බෙදා හල යුතුය.

Loading