විශ්ව විද්‍යාල තුල යොදවා ඇති පොලිස් ඔත්තුකරුවන්ගේ අනන්‍යතා හෙලිකොට ඔවුන් වහා ඉවත් කරනු!

ශිෂ‍්‍යයන් ලෙස වෙස් වලාගත් රාජ්‍ය ඔත්තුකරුවන් රුහුනු විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන බව එහි ප්‍රධාන විනය පාලක මංගල චතුර ද සිල්වා තාක්ෂනික පීඨයේ පලමු වසර සිසුන් අමතමින් පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත. මෙලෙස ඔත්තුකරුවන් ක්‍රියාත්මකවීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ, අනධ්‍යයන සේවකයින්ගේ සහ ශිෂ්‍යයින්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරුනු බරපතල ප්‍රහාරයකි.

විනය පාලකවරයාගේ කතාවෙහි වීඩියෝ කොටස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින අතර එහිදී ඔහු මෙසේ පවසයි. “මෙය සිස්ටම් එකේම කොටසක්. සිස්ටම් එකක් ගෙනියන්න නම් හරි තොරතුරු ලබාගන්න ඕනි. බුද්ධි අංශ තොරතුරු ඉතාමත්ම වැදගත්. දැන් වෙනකොට ඕගොල්ලො හැරෙනකොට විනාඩි පහක් ඇතුලත මට ලැබෙන ඉතාම ශක්තිමත් තොරතුරු ජාලයක් අපි ලඟ තියෙනවා.”

ශිෂ්‍යයන් බියවද්දනුවස් සිල්වා තව දුරටත් කියා සිටින්නේ “ඕගොල්ලොන්ට කිසිම දවසක ඒගොල්ලො (බුද්ධි අංශ නිලධාරීන්) ශිෂ්‍යයො අතරෙ හොයන්න බෑ. ඔබ එය හිතේ තබා ගත යුතුයි” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

මෙය දීර්ඝ කාලයක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක කරමින් පවත්නා මර්දන ක්‍රියාදාමයක කොටසකි. පසුගිය වසරේ ජනවාරියේදී පේරාදනිය සරසවියේ පලමු වසර සිසුන් අමතමින් එහි උපකුලපතිවරයා කියා සිටියේ “ශිෂ්‍යයන් විදියට, ආචාර්යවරුන් ලෙස, ශිෂ්‍ය සංගමයේ නිලධාරින්” ලෙසින් බුද්ධි අංශ නිලධාරින් 35 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව යි.

එම වසරේම සැප්තැම්බර් මාසයේදී “නවකවදය වැලැක්වීමේ” කඩතුරාව යටතේ රාජ්‍ය බුද්ධි අංශ සහ ආන්ඩුවේ වෙනත් රහස් ඔත්තු සේවා ආරක්ෂක අමාත්‍යාංශ මට්ටමින්ම විශ්ව විද්‍යාල තුල යෙදවීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න සඳහන් කලේය.

මෙහි අර්ථය, මේ වනවිට සෑම විශ්වවිද්‍යාලයක්ම සහ උසස් අධ්‍යාපන ආයතනයක්ම රාජ්‍ය ඔත්තුකරුවන්ගෙන් පිරී පවතින බවයි. මෙම ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙලි කර ඔවුන්ව වහාම නෙරපා හරින ලෙස විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් සසජාතශි ඉල්ලා සිටී. විශ්වවිද්‍යාල තුල ඔත්තුකරුවන් යෙදවීම සිසුන්ගේ, ගුරුවරුන්ගේ සහ අනධ්‍යයන කාර්ය මන්ඩලයේ අධ්‍යයන නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට තර්ජනයක් වන පොලිස් රාජ්‍ය පියවරකි. එවැනි ඔත්තුකරුවන් තම හාම්පුතුන්ට බුද්ධි තොරතුරු සැපයීම සඳහා පමනක් නොව ප්‍රකෝපකරනයන් සහ සාවද්‍ය චෝදනාවන්ට කොටුකිරිම් සඳහා ද භාවිතා කල හැකිය.

දේශන ශාලා, පුස්තකාල, විද්‍යාගාර, නේවාසිකාගාර සහ ක්‍රීඩා පහසුකම්වල ඌනතාවය සහ ආචාර්යවරුන්ගේ හිඟය ආදී භෞතික සහ මානව සම්පත් ගැටලුවලින් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම ඇලලී පවතී. රුපියල් පන්දහසක සොච්චමකට සීමාවී ඇති ශිෂ්‍යාධාරය මාසික වියදමට අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවන බැවින් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අර්ධ රැකියාවන්හි යෙදීමට බලකෙරී ඇත. මෙම ගැටලු අරභයා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නිරතුරුවම අරගලයට පැමිනෙති. වැටුප් සහ දීමනා කප්පාදු හේතුවෙන් අධ්‍යන සහ අනධ්‍යන සේවකයන්ගේ අරගල ද නැවත නැවතත් පැන නැගෙමින් පවතී.

වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදය හමුවේ ආන්ඩුව තම කප්පාදු පිලිවෙත් තීව්‍රකොට ඇති තතු යටතේ, නොවැම්බර් මාසයේ විශ්ව විද්‍යාල යලි විවෘත කිරීමෙන් පසු ඉහත විරෝධතා සහ සටන් යලි ඇවිලෙනු ඇත. විනය පාලක සිල්වා “සිස්ටම් එක ගෙනයාම” යනුවෙන් අවධාරනය කරන්නේ මෙම විරෝධතා රුදුරු ලෙස තලා දමා විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමයි. එයට අවශ්‍ය “හරි තොරතුරු” යනු ඉහත එම විරෝධතා සංවිධානය කෙරෙන්නේ කෙසේද? ඒවාට නායකත්වය දෙන්නේ කවුද? යනාදිය පිලිබඳ තොරතුරු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විශ්වවිද්‍යාල තුල පොලිස් ඔත්තුකරුවන් යෙදවීමේ පොලිස් රාජ්‍ය පියවරට තරයේ විරුද්ධ වෙයි. ඒ සමගම, රුහුනු විශ්වවිද්‍යාලයෙන් වාර්තාවන නව වර්ධනයන්, මෙම පියවර වලට එරෙහිව “විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවීමට එරෙහිව සටන් වදිනු!” යන සටන් පාඨය යටතේ, පසුගිය වසරේ පෙබරවාරියේ සිට අප දියත් කර ඇති උද්ඝෝෂනයේ අදාලත්වය අවධාරනය කරන්නෙමු.

වැඩෙන විරුද්ධත්වයන් තලා දැමීම සඳහා විශ්ව විද්‍යාල තුලට පොලිස් ඔත්තුකරුවන් යෙදවීම අනුප්‍රාප්තික ආන්ඩු විසින් කාලයක් තිස්සේ ගෙන ගිය රුදුරු මර්දනකාරී ක්‍රියාමාර්ගයකි. රුහුනු සහ පේරාදෙනිය විශ්ව විද්‍යාල පාලනාධීකාරීන් හරහා දැන් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්ව ඇත.

විනය පාලක ගේ තර්ජනය ශිෂ්‍යයන්ගේ සමාජ මාධ්‍ය භාවිතයට ද එල්ල වෙයි. සිසුන්ගේ 'වට්ස් ඇප් ගෲප්' එකක තමන්ද සිටින බවට අනතුරු අඟවන විනය පාලකවරයා එහිදී ඇතැම් දේවල් තමන්ගේ අවධානයට ලක්ව ඇති බව ද පවසයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල ආරම්භ කල පලමු දිනයේම ඒවායේ ඇඩ්මින් ලෙස ක්‍රියාකරන සිසුන් කිහිප දෙනා ගෙන්වා ඔවුන්ගේ “ශිෂ්‍යභාවය අහෝසි කරන” බවයි. විනය පාලකගේ අවධානයට ලක්වූ දෑ මොනවා දැයි සඳහන් නොකෙරුනද ඒවා අනිවාර්යෙන්ම විශ්ව විද්‍යාලයේ ගැටලු පිලිබඳව ශිෂ්‍යයින්ගේ විරෝධය පල කෙරෙන ඒවා විය යුතුය.

මෙම පියවර, ප්‍රමුඛ වශයෙන්ම විශ්වවිද්‍යාල තුල තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට හා ඒ සඳහා අවශ්‍ය සංවිධාන ගොඩනගා ගැනීමට සිසුන් සතු ප්‍රජාතන්ත්‍රීය අයිතිය තලා දැමීම අරමුනු කර ගත්තකි. එපමනක් නොව, විශ්ව විද්‍යාල තුල දේශපාලන, විද්‍යාත්මක, සමාජීය සහ දාර්ශනික ක්ෂේත්‍රයන්හි සාකච්ඡාවන්ට සහ ඒවාට අදාල නිදහස් චින්තනයට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් දැඩිලෙස සීමා කෙරෙනු ඇත.

රුහුනු විශ්ව විද්‍යාලයේ ව්නය පාලකවරයා සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා හෙලිකල කරුනු වලට අනුව සිසුන්ට සහ විශ්වවිද්‍යාල වල අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මන්ඩලයන්ට සිය වැඩ කටයුතු වල නියැලීමට සිදුව ඇත්තේ, දවසපුරා තමන් දෙස ඔත්තුකරුවන් ඇසගසාගෙන සිටින, සිරකඳවුරකට සමාන වටපිටාවකය. මෙය හුදෙක් රුහුනු විශ්වවිද්‍යාලයට සීමා කෙරුනු එකක් නොව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අලලා ගත් එකකි.

වසංගතයෙන් ගැඹුරු කෙරී පවතින ගෝලීය ධනපති අර්බුදය හමුවේ ලොවපුරා පාලක පන්තීන් හැරීගෙන සිටින්නේ, තම ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතරින් පැනනගින අරගල සහ විරෝධතා රුදුරුම ආකාරයෙන් තලා දැමීමේ ආඥාදායක පාලන රූපයන් තහවුරු කිරීම දෙසටයි. එහි කොටසක් ලෙස ජනාධිපති රාජපක්ෂ මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් සැලසුම් කරමින් සිටී. දැනටමත් ඔහු තම පාලනය ගෙන යන්නේ, පංති අරගල මැඬීමේ සහ දේශපාලන පක්ෂ තහනම් කිරීමේ රුදුරු බලතල සහිත හදිසි නීතිය සහ රාජ්‍ය සේවයේ කම්කරුවන්ට වැඩ වර්ජන තහනම් කෙරුනු 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන යටතේ ය.

විශ්ව විද්‍යාල තුලට පොලිස් ඔත්තුකරුවන් යෙදවීම, කම්කරු පන්තියට එල්ල කර ඇති පලල් ප්‍රහාරයක කොටසකි. අධ්‍යාපනය මිලිටරීකරනය හා පුද්ගලීකරනය එල්ල කර ගනිමින් ආන්ඩුව ගෙන ආ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැවැත්වුනු උද්ඝෝශන යකදී පොලිස් අතුඅඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) ක්‍රියාකාරීන් පස් දෙනෙක් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාරයේ රඳවා ගෙන සිටී. මෙම ප්‍රහාරය වඩා ඉහලින්ම ප්‍රකාශයට පත්වී ඇත්තේ ගුරුවරුන්ගේ වැටුප් අරගලය තුලදීය. එය රුදුරුම ආකාරයෙන් තලා දමන බවට ආන්ඩුවේ මැති-ඇමතිවරු ප්‍රතිඥා දෙමින් සිටිති.

මෙම රාජ්‍ය මර්දනය යටතේ තලා දැමෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සමත් ඓතිහාසික සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පංතිය යි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පංතිය දෙසට හැරී, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිව සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට උරදිය යුතුයැයි සසජාතශි යලියලිත් අවධාරනය කරන්නේ එබැවිනි.

නමුත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ නායකත්වයේ සිටින අවිශිබම ඊට මුලුමනින්ම එරෙහිය. රුහුනු විශ්ව විද්‍යාලයේ විනය පාලකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවිශිබම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් කියා සිටියේ, “මානව හිමිකම් සංවිධාන සහ කොමිසමට පැමිනිලි කිරීමට කටයුතු කර මේ සඳහා ගත හැකි නෛතික ක්‍රියාමාර්ග ගන්නා” බවයි. කම්කරු පංතිය දෙසට සිසුන්ගේ හැරීම වලකා, ධනේශ්වර පද්ධතියේම කොටස් වන මානව හිමිකම් සංවිධාන සහ අධිකරනය පිටුපසට සිසුන් ගාල් කිරීමට අවිශිබම සහ එයට නායකත්වය දෙන පෙසප දැනුවත්ව කටයුතු කරති.

අවිශිබම යේ ඉහත ප්‍රතිගාමී පිලිවෙතට එරෙහිව, සිසුන්, විශ්ව විද්‍යාල තුල අනධ්‍යන සහ අධ්‍යන කම්කරුවන් සමග එක්ව කම්කරු ආරක්ෂක කමිටු ගොඩනගා ගනිමින් පහත ඉල්ලීම් යටතේ සටන් වැදිය යුතුය.

  • පොලිස් ඔත්තුකරුවන්ගේ අනන්‍යතා හෙලිකර ඔවුන් විශ්ව විද්‍යාල තුලින් වහා ඉවත් කරනු!
  • විශ්ව විද්‍යාල තුල තමන් කැමති දේශපාලන අදහසක් දැරීමට සහ ඊට අදාල සංවිධාන පිහිටුවා ගැනීමට පවතින සීමා ඉවත් කරනු!
  • අත් අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු!

විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවීමට එරෙහිව සටන් වදිනු!” යන හිසින් 2020 ඔක්තෝබර් 13 වනදා අප නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කලෙමු:

“ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් ගලා එන මෙම ප්‍රහාරයන්, ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් ආපසු හැරවිය නොහැක. එබැවින්, රාජ්‍ය මර්දනය පරාජය කොට අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ අරගලය, ධනපති ආන්ඩු සහ ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ලකර ගත් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදක විය යුතු ය.”

ඉහත වැඩපිලිවෙල පාදක කොටගෙන සසජාතශි විසින් විශ්ව විද්‍යාල තුල උද්ඝෝෂන, රැස්වීම් සහ සාකච්ඡා ගොඩනැගීමට තීන්දු කර ඇත. මෙම අරගලයට ක්‍රියාශීලීව සහභාගි වන ලෙසත්, විශ්වවිද්‍යාල තුල සසජාතශි ශාඛා ගොඩනැගීමට පෙරට එන ලෙසත්, සියලු සිසුන්ගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

Loading