කුවේට්හි ගෘහ සේවයේ යෙදීසිටි ශ්‍රී ලාංකික කාන්තාවක් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් රැඳවුම් කඳවුරක් තුල මිය යයි

කුවේට් හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී වීසා කාලය ඉක්මවායාම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් එම්.ජී. පොඩිමැනිකා නැමැති 55 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව අගෝස්තු 18 වැනි දා එරට රැඳවුම් කඳවුරක් තුල මියගොස් තිබේ. ඇය මාතලේ, ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ පදිංචි කාරියකි.

පොඩිමැනිකා කුවේට්හි ගෘහ සේවයේ යෙදී සිටිය දී ගත් ඡායාරූපයක් [ලෝසවෙඅ]

පොඩි මැනිකා, කුවේට් හි ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් හරහා පොලිස් අත් අඩංගුවට පත්වී එර‌ට අගනුවරින් කිමී 20 ක් පමන ඈත පිහිටි, ලේඛන නොමැති විදේශිකයන් රඳවා තබන තල්හා නමැති රැඳවුම් කඳවුරකට ගාල් කරනු ලැබ සති තුනක් තුල හෘදයාබාදයකින් මිය ගොස්තිබේ. එකවර 1000 කට රඳවා තැබිය හැකි එම කඳවුර, ආහාර, වෛද්‍ය පහසුකම්, ජලය ප්‍රමානවත්ව නොමැතිව අසීමාන්තිකව රඳවනු ලබන ස්ථානයක් බව ග්ලෝබල් ඩිටෙන්ෂන් ප්‍රොජෙක්ට් නමැති ජිනීවා හි පදනම් වූ සංවිධානය වාර්තා කරයි.

මරනය තෙක් පොඩිමැනිකා සිරකර තබා ඇත්තේ ඇය පීඩා විඳි ආතරයිටීස් රෝගය සඳහා නිසි වෛද්‍ය පහසුකම් සහ බෙහෙත් හේත් නොමැතිවය. රැඳවුම් කඳවුර තුලදී ලබා දුන්නේ පැනඩෝල් සහ නිදි පෙති පමනක් බවත් ඇය සිර ගෙදර ගතකල මුළු කාලය තුලම එකම ඇඳුම පිටින් සිටීමට සිදුවූ බවත් එතෙර සිතුවිලි මුහුනු පොත් පිටුවට පොඩි මැනිකාගේ මරනය සිදුවූ ආකාරය පැහැදිලිකල ඇය සමග රැඳවුම් කඳවුරේ සිටි ශ්‍රී ලාංකික කම්කරු කාන්තාවක වන ශානිකා ප්‍රකාශ කොට ඇත.

පොඩි මැනිකා ලමුන් තිදෙනෙකුගේ මවකි. සිය සැමියා මිය යාමෙන් අවුරුදු හයකට පමන පසු විදේශ රැකියාවකට යාමට ඇය තීරනය කලේ පවුලේ අඟ හිඟ කම් පිරිමසා ගැනීමට අන් මගක් නොමැතිවීම නිසාය. ඇය විදේශ ගත වනවිට වැඩිමහල් ගැහැනු දරුවා යන්තම් හය වසරට සමත් වූවා පමනි. විදේශ ගතවීම සඳහා දරුවන් අසල්වැසි ඥාතීන් ලඟ නතර කොට තිබේ.

ඇය මිය යනවිට අවුරුදු 26ක් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී තිබුනි. ඒ වනවිට තම දියනිය සහ පුතුන් දෙදෙනා වැඩුමහල් භාවයට පත්වී සිටියත් ඔවුන්ට ස්ථිර අදායම් මාර්ග නොවීය. දියනිය රැකියාවක් නොකල අතර අගේ සැමියා ද වැඩිමහල් පුතාද දෛනික වැටුප් ලැබූ කෘෂිකාර්මික කම්කරුවන් වේ.

තම දරු තිදෙනාගේ අධ්‍යාපනයට, බේත් හේත් සහ ඇඳුම් පැලඳුම් සඳහා වියදම් දැරුවේ තම මව බව පොඩිමැනිකාගේ දියනිය සුරංගි ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලාය. පොඩි මැනිකාට තවදුරටත් මැදපෙරදිග සේවයේ යෙදීමට බලකෙරුනේ පවුලේ අගහිඟතාවයෙනි.

කොලඹ නගරයේ තාවකාලික ඉදිකිරීම් කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඇයගේ බාල පුතා මවගේ අභාවය සැලවීමෙන් සතියක් තුල සිය දිවි නසා ගෙන තිබේ. තම එකම ඉපයීමේ ශක්තියත් නැතිවී අගහිඟ කමේ පත්ලටම ගිලි ගිය මෙම පවුලට ලංකාවේ ආන්ඩුව දන්වා ඇත්තේ මලසිරුර ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ දෙකකට වඩා වියදමක් අවශ්‍ය බවයි. ජීවිතය අමාරුවෙන් ගැට ගසා ගන්නා දියනිය සහ පුතා කුවේට් හි අවසන් කටයුතු කිරීමට අවසානයේ එකඟවූහ.

පොඩි මැනිකා ගෘහ සේවිකාවක් ලෙස සෞදි, ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල් කිහිපයකම සේවය කිරීමෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුනදුන් කම්කරුවෙකි. ඇය අවසාන වරට කුවේට් වෙත ගොස් ඇත්තේ 2018 වසරේදීය. එහිදී ඇය මුහුන දුන් දුෂ්කරතා නිසා සේවා ස්ථානය කිහිප වරක්ම මාරුකර තිබුනි.

අවසන් මාස පහ සඳහා කවර හෝ වේතනයක් ඇයට ලබා දී නොතිබුනි. එහි තවදුරටත් සේවය කිරීම අපහසුබව තානාපති කාර්යාලයට දැනුම්දුන් විට, ඇගේ ලේඛන පිරික්සූ එහි නිලධාරීන් 'වීසා කල් ඉකුත්ව' ඇති බැවින් කුවේට් පොලිසියේ අත්අඩංගුවට පත්කොට ඇත. ඊට පෙර සිටි නිවසේ සේවය කිරීම දුෂ්කර බව තානාපති කාර්යාලයට දැන්වූ විට අවසාන නිවස ලබා දී ඇත්තේ ද තානාපති කාර්යාලය මගින් බව ඉහත සඳහන් කල කම්කරු කාන්තාව වන ශානිකා ප්‍රකාශ කර කිබේ.

මැදපෙරදිග පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල අනුගමනය කරමින් සිටි ප්‍රතිපත්තිය වනුයේ, අසරනවී පිහිටක් පතාගෙන පැමිනෙන කම්කරුවන් තානාපති කාර්යාලයට අනුබද්ධිත 'සුරක්ෂා' මධ්‍යස්ථානයක රඳවා ලංකාවට යනතෙක් ඔවුන්ට තාවකාලික වීසා බල පත්‍රයක් ලබා දීමයි. දැන් එම පහසුකම පවා කපාදමා තිබෙන තතු තුල අසරන වී පැමිනෙන කම්කරුවන් තානාපති කාර්යාලය විසින් ම ඉතාම දුෂිත කුවේට් පොලිසියේ අත්අඩංගුවට පත්කරයි; නැතහොත් ඒජන්සියක් හරහා හෝ සෘජුවම වෙනත් සේවා යෝජකයෙකුට විකුනා දමයි.

අඩන්තේට්ටම්, ලිංගික බලහත්කාරකම් සහ වැටුප් නොගෙවීම් නිසා සේවා ස්ථානයෙන් පලායන කම්කරුවන් අසරන භාවය නිසා තානාපති කාර්යාලයට කතා කල ද බොහෝවිට එහි ප්‍රතිඵලය වනුයේ, පොලීසියට හෝ ජාවාරම්කාරයෙකුට භාරදීමයි. කුවේට් හි කම්කරු නීතියට අනුව, කම්කරුවන්ගේ දෛනික වැඩ කාලයන්, සේවා කොන්දේසි සහ නිවාඩු වැනි කරුනු වලට අදාල විධිවිධානයන් අඩංගු වන්නේ එහි එන 5 වන වගන්තියටයි. නමුත් එහි සඳහන් කම්කරු ප්‍රවර්ගයන්ට ගෘහ සේවක-සේවිකාවන් ඇතුලත් නොවන බැවින් ඔවුන් අපයෝජනයට ගොදුරුකර ගැනීමට හාම්පුතාට හැකිවේ.

එම නීතියේ 10 වන වගන්තිය අනුව සේවායෝජකයෙක් බලධාරීන්ට 'පලායෑමේ දැන්වීමක්' ගොනු කල විට, විදේශිකයාගේ වීසා බලපත්‍රය අවලංගු වන අතර එමඟින් ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරක තබා ගැනීමට පොලිසියට බලය ලැබේ. අපයෝජනයට එරෙහිව නීතිය ඉදිරියට යාමට, එරට සංක්‍රමනික කම්කරු නීතිය පොදුවේ හඳුන්වන කෆාලා නීතියෙන් අවකාශයක් නොමැත.

අවුරුදු 21ක් මැදපෙරදිග ගෘහ සේවයේ නිරතවන මාවනැල්ල ප්‍රදේශයේ කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මේ සම්බන්ධයෙන් තම අත්දැකීම් විස්තර කලාය. මුලින්ම සෞදි අරාබියේ සේවයට යනවිට ඇය එකඟ වී තිබෙන්නේ ලමුන් හතර දෙනෙකු පමනක් බලාගැනීමට නමුත් ඇයට ලමුන් 21 දෙනෙකු බලාගැනීමට සිදුවී තිබේ. එය ප්‍රතික්ෂේප කලවිට ඒජන්සිය අයිති කාන්තාව තම අඩි සපත්තුවෙන් බොහෝ වෙලාවක් මුහුනට පහරදී නැවත එම නිවසේ සේවයට නොගියහොත් අවුරුද්දක් ගනිකා වෘත්තියට යොදවන බවට තර්ජනය තිබේ. අසරනවු කාන්තාවට සිදුවී තිබෙන්නේ නැවත එම ගෘහයටම යාමටයි. සියයට 90 ක් ගෘහ සේවිකාවන් මීටත් වඩා අනතුරුදායක තත්වයක් අත්විඳින බව ඇය කියා සිටියාය.

මෙම තත්වය ලංකාවේ සංක්‍රමනික කම්කරුවන් පමනක් මුහුනදෙන තත්වයක් නොවේ. 2017 වර්ෂයේදී රිෆුයුජි ඇන්ඩ් මයිග්‍රේටරි රිසර්ච් යුනිට් (ආර්එම්එම්ආර්යූ) විසින් සිදු කරන ලද සමීක්‍ෂනයකදී “බංග්ලාදේශ සංක්‍රමන කම්කරුවන් සියයට 51 ක් පමන තම සංක්‍රමන ක්‍රියාවලිය පුරාවටම වංචාව හා පහත් හැසිරීම් අත්විඳින බව සොයා ගත්හ.

“ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුල, සෞදි අරාබියෙන් 22 ක් සහ ලෙබනනයෙන් 14 ක් ඇතුළුව විවිධ මැද පෙරදිග රටවල සිට කාන්තා සේවකයින්ගේ මල සිරුරු 63 ක් බංග්ලාදේශය වෙත එවා ඇතැ” යි ෂා ජලාල් ගුවන් තොටුපලේ විදේශික සුභසාධන අංශයේ උප අධ්‍යක්ෂක කයිරුල් ඉස්ලාම් විසින් යුනියන් ඔෆ් කැතලික් ඒසියන් නිවුස් (යූසීඒ) වෙත පවසන ලදී. සියදිවි නසා ගැනීම සහ විවිධ හේතු මරනයට හේතු ලෙස දක්වා ඇතත් මියගිය අයගේ පවුල්වල සාමාජිකයෝ එම හේතු ප්‍රතික්ෂේප කරමින් යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා සිටිති.

වසංගතයත් සමග මෙම කොන්දේසි වඩාත් උග්‍රවන තතු යටතේ, මැදපෙරදිග තානාපති කාර්යාලවල සේවය කල කම්කරු සුබසාධක නිලධාරීන් 125ක් ලංකාවට කැඳවා ගන්නා බව කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා පසුගිය වසරේ අගෝස්තු මැද නිවේදනය කලේය. එම තීරනය ගනු ලබන්නේ, කම්කරු අමාත්‍යංශයට එම වියදම් දැරීමේ නොහැකියාවෙන් බව ඔහු පැවසීය.

කම්කරුවන් පිලිබඳව ආන්ඩුවේ සැලකිල්ල එසේවතුදු එය මුහුන දී සිටින විදේශ සංචිත හිඟය විසඳා ගැනීම සඳහා සංක්‍රමන කම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රේෂන එකතුකර ගැනීමට වලිකමින් සිටි. 2021 අගෝස්තු මාසයේ සංක්‍රමන කම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රේෂන 2020 වසරේ එම මාසයට සාපේක්ෂව සෘන අගයකට ගමන් කලේය. ආන්ඩුව ඊට වහාම ප්‍රතිචාර දක්වමින් හැකිපමන කම්කරුවන් විදේශයන්ට පිටත්කර හැරීමට පියවර ගත්තේය.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සැප්තැම්බර් මාසයේ මැද පැවැත්වූ විදේශ විනිමය ප්‍රවාහ කාර්යසාධක බලකා ප්‍රගති සමාලෝචන රැස්වීමකදී විදේශ රැකියා වෙලඳපොලට යොමුවීම සඳහා කම්කරුවන්ට යම් බාධාවක් ඇත්නම් ඒවා හැකි ඉක්මනින් ඉවත්කරන ලෙස විදේශ රැකියා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කලේය: “යන්න ඉන්නවනම් අපි එන්නත අරං දුන්න වගේ ඔබලා කොහොම හරි මේ කට්ටියට ඉල්ලන ප්‍රමානය ආසන සපයා දෙන්න. මොන ගුවන් යානයේ ගියත් අපට කමක් නැහැ.”

කොවිඩ් වසංගතය හේතුවෙන් ගුවන්ගමන් ඇනහිටීමත් සමග, රැකියා අහිමිවූ සහ කොන්ත්‍රාත්තු අවසන් වූ දහස් සංඛ්‍යාත කම්කරුවන්ට තම රටවල් කරා යාමේ අවස්ථාව ඇහිරී ගියේය. මියගිය පොඩිමැනිකාද මෙම තත්වයට ගොදුරුවූ අයෙකි. නිසි හව්හරනක් නොමැතිව අනාථ වූ ඔවුන් ආපසු ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කරන ලද ආයාචනා රාජපක්ෂ ආන්ඩුව සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කලේය.

අවසානයේදී මැදපෙරදිග සිට ලංකාවට පැමිනීමට ඉඩප්‍රස්ථා සලසා දෙනලද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාමාන්‍ය ගුවන් ටිකට් පත් ගාස්තුව මෙන් කිහිප ගුනයක් අය කලේය. එමෙන්ම නිරෝධායනය සඳහා ද අධික මුදලක් ගෙවීමට ද ලංකාවට පැමිනෙන බොහෝ අයට සිදුවිය. කෙසේ නමුත්, විදෙස් රටවල අනාථව සිටි කම්කරුවන් ලංකාවට ගෙන්වා ගැනීම නොතකා හල ආන්ඩුව, විදේශ ප්‍රේෂන වෙනුවෙන් කම්කරුවන් පිට රටවලට පටවා යැවීම සඳහා දක්වන්නේ බලගතු උත්සුකයකි.

විදේශයන්හි දී එම කම්කරුවන් මුහුනදෙන අතවර සහ දැඩි සූරා කෑම් පමනක් නොව, පොඩිමැනිකාගේ මරනය වැනි සාහසික අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව කවර හෝ මැදිහත්වීමක් නොකරන්නේ එයින් විදේශ ‌ප්‍රේෂන වලට යම් බලපෑමක් ඇතිවෙතැයි යන මූලික උත්සුකයෙනි. පෙර පැවති ආන්ඩු සියල්ලම සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කලේ මෙම නරුම පිලිවෙතයි.

Loading