ඉදිරිදර්ශන

පන්ති අරගලය සහ කොවිඩ්-19 තුරන් කිරීමේ සටන

[මෙය The class struggle and the fight to eradicate COVID-19 යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ගතවූ වසර එක හමාරකටත් වැඩි කාලයක් තුල, ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය තුරන් කිරීමේ ප්‍රතිපත්ති සඳහා දෙමාපියන්, ගුරුවරුන්, සිසුන්, කම්කරුවන් සහ විද්‍යාඥයින් අතර ව්‍යාපාරයක් මතු වෙමින් තිබේ.

එක්සත් රාජධානියේ මවක වන ලීසා ඩයස් විසින් කැඳවන ලද දෙවන පාසල් වර්ජනය ඔක්තෝබර් 15 දින සිදු විය. ආන්ඩු විසින් වසංගතය මැඩපැවැත්වීම සඳහා වූ සියළු පියවර අතහැර දමා ඇති කොන්දේසි යටතේ නැවත පන්ති කාමර තුලට ගෙන යන ලමුන් අතර කොරෝනා වෛරසය සම්ප්‍රේෂනය වීම නැවැත්වීම සඳහා අනාරක්ෂිත පාසල් වසා දමන ලෙස ඉල්ලමින් ඔක්තෝබර් 1 සහ 15 දින වර්ජන කැඳවන ලදී.

වම: අයෝවා හි වෝටර්ලූ හි ජෝන් ඩියර් සේවකයින්ගේ වැඩ වර්ජනය (මූලාශ්‍රය: යූඒඩබ්ලිව් ලෝකල් 838 ෆේස්බුක් පිටුව), මැද: #SchoolStrike2021 හි ආධාරකරුවෙක්, දකුන: පසුගිය වසරේ චිකාගෝහි සේවා කම්කරුවන්ගේ වැඩ වර්ජනය (ලෝසවෙඅ මාධ්‍ය)

වර්ජනයේ ස්වරූපය සහ අන්තර්ගතය ජාත්‍යන්තරව විය. බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රසීලය, ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, තුර්කිය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ලොව පුරා දෙමව්පියන් සහ කම්කරුවන් වර්ජනයට සහය දක්වන ප්‍රකාශන සහ වීඩියෝ පට නිකුත් කලහ. එක්සත් රාජධානියේ ප්‍රචලිත වූ #SchoolStrike2021 නම් හැෂ් ටැගය, සිදුවීම පැවති දින ආසන්න වශයෙන් 7,500 වාරයක් පමන ට්වීට් කරන ලද අතර අවසන් සති තුන තුලදී එය 40,000 කට ආසන්න වාර ගනනක් භාවිතා කර ඇත. දැන්, සෑම සිකුරාදාවකම පාසල් වර්ජන සිදු කරන ලෙස ඩයස් ඉල්ලා තිබේ.

ඔක්තෝබර් 15 වර්ජනය ඊට පෙර වර්ජනයෙන් වෙනස් වන ආකාරය නම්, එය සිදුවූයේ ලොව පුරා තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට බල කරන සමාජ බලවේගය හෙලිදරව් කරමින් පසුගිය සති දෙක තුල පවා වේගයෙන් වර්ධනය වූ වර්ජන ව්‍යාපාරයක පසුබිම මත ය.

පසුගිය සතියේ කෘෂිකර්ම සහ ඉදිකිරීම් උපකරන නිෂ්පාදක ජෝන් ඩියර් හි සේවකයින් 10,000 කට අධික සංඛ්‍යාවක් වැඩ නැවැත්වූහ, වසර 35 කට පසු සමාගම විසින් සිදු කරන ලද පලමු වැඩ වර්ජනය වූ මෙය සිදු වූයේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් හි පිටුබලය සහිත කොන්ත්‍රාත්තුව සියයට 90 කින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. 'ජාත්‍යන්තර රංග වේදිකා සේවකයින්ගේ එකමුතුව' (අයිඒටීඑස්ඊ) වෘත්තීය සමිතිය හොලිවුඩ් නිෂ්පාදකයින් සමඟ තාවකාලික ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කැලිෆෝනියාවේ චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදන සේවකයින් 60,000 ක් විසින් පැවැත්වූ වර්ජනය අවසන් මොහොතේ සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ ඉවත් කර ගන්නා ලදී. “11 වන පැය” ගිවිසුම තම ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වූ බව දන්නා චිත්‍රපට කම්කරුවන් අතර, සමාජ මාධ්‍ය තුල මෙම ගනුදෙනුව පිලිබඳ ප්‍රවෘත්ති පුළුල් විරෝධයක් ඇති කලේය.

ඉන් ඔබ්බෙහි, කෙලොග් හි ආහාර නිෂ්පාදන කම්කරුවන්, ඇලබාමා ගල් අඟුරු පතල්කරුවන් සහ නිව් යෝර්ක්, මැසචුසෙට්ස් සහ මිනසෝටා හි හෙදියන් අතර ද වර්ජන ක්‍රියාත්මකව පවතී. වේගයෙන් ඉහල යන උද්ධමනය සඳහා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් දකුනු අප්‍රිකාවේ ලෝහ කම්කරුවන් 170,000 ක් පමන සහභාගී වන, ගෝලීය වශයෙන් සිදු වූ විශාලතම වැඩ වර්ජනයේ දෙවන සතිය අවසන් වීමට ආසන්නය.

මෙම වැඩ වර්ජන වල යෙදී සිටින බොහෝ කම්කරුවන්ට එය තවමත් සම්පූර්නයෙන් අවබෝධ වී නැතත්, වසංගතයට එරෙහි සටන සහ පන්ති අරගලය අතර ගැඹුරු සම්බන්ධයක් පවතී. කොවිඩ්-19 පැමිනීමට පෙර සිටම කම්කරුවන් සටන් කිරීමට පොලඹවන කොන්දේසි සැලකිය යුතු මට්ටමකින් පැවතුන නමුත්, පාලක පැලැන්තිය විසින් සාපරාධී ප්‍රතිචාරය දැක්වීම හේතුවෙන් ඒවා නාටකාකාර ලෙස තීව්‍ර වී ඇති අතර එමඟින් සෑම ප්‍රධාන තීරනයක්ම ලාභ අපේක්ෂාව විසින් යටත් කර තිබේ.

යුද කාලය තුලදී හැරුනුකොට, පෙර සිදු නොවූ විරූ මට්ටමකට මිනිස් ජීවිත හානි පැමින තිබේ. පසුගිය සති දෙක තුල 20,000 කට අධික සංඛ්‍යාවක් වෛරසයට ගොදුරු වූ අතර එක්සත් ජනපදයේ වාර්තා වූ කොවිඩ්-19 මරන සංඛ්‍යාව දැන් 750,000 දක්වා වේගයෙන් ලඟා වෙමින් තිබේ. කෙසේ වෙතත්, නිල සංඛ්‍යා සැලකිය යුතු ලෙස අඩු අගයක් ලෙස පවතී. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා තක්සේරු කිරීමේ ආයතනයේ ආකෘති වලට අනුව, වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා නොවූ මරන සැලකිල්ලට ගත් විට, එක්සත් ජනපදයේ මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව, ගෝලීය වශයෙන් මිලියන 17 ක් පමන මිය ගොස් ඇත.

එක්සත් ජනපදයේ පමනක්, කොරෝනා වෛරසයෙන් දිනකට සාමාන්‍යයෙන් මිනිසුන් 1500 කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය යමින් සිටින අතර, එන්නත් ලබා ගැනීමට පෙර පසුගිය වසරේ එම කාලය මෙන් දෙගුනයකටත් වඩා වැඩි ය. එක්සත් ජනපදය මේ වසරේ ශීත සෘතුව කරා ගමන් කරමින් සිටින්නේ 2020 දී සිදු වූ දෛනික ආසාදන, රෝහල් ගත කිරීම් සහ මරන වලට වඩා සැලකිය යුතු ලෙස ඉහල මට්ටමක පවතිද්දී ය, නිවාඩු චාරිකා සහ ගෘහස්ථව ගත කල වැඩි කාලය මේ දක්වා වසංගතය නරකම ලෙස ඉහල යාමට දායක විය.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා වලින් පමනක් නම් වර්තමානයේ බිහිසුනු ජන ඝාතන පරිමානය දැන ගැනීමට නොහැකි තරම් ය. ඒ වෙනුවට, මීට පෙර ද බොහෝ වාරයක් අසත්‍ය ලෙස ප්‍රකාශ කර ඇති පරිදි, වසංගතය බොහෝ දුරට අවසන් වී ඇතැයි කියමින් මහජන මතය හැසිරවීමට ආයතනික පුවත්පත් අතිකාල වැඩ කරමින් සිටී. සැප්තැම්බර් මාසයේදී නිව් යෝර්ක් ටයිම්ස් හි වාර්තාවක් කියා සිටියේ, “වෛරසය ව්‍යාප්ත වී ආවේනික වීම දක්වා දිව යන බවක් පෙනෙන්නට තිබුනත්, එය, ප්‍රභේද වලින් ආරක්ෂා වීම සඳහා වරින් වර යාවත්කාලීන කරන එන්නත් මඟින් කලමනාකරනය කල හැකි අඩු මාරාන්තික තර්ජනයක් විය හැකිය.”

වසංගතය, තවමත් මාධ්‍ය වාර්තා සහ නිල දේශපාලන කතිකාවන් තුල සාකච්ඡාවට බඳුන් වන තාක් දුරට නම්, “රංචු ප්‍රතිශක්තිය”—කිසිදු බාධාවකින් තොරව වෛරසය ජනගහනය හරහා පැතිර යාමට ඉඩ දීම—සහ “අවම කිරීම” යන උපායමාර්ගය අතර පිලිගත හැකි සීමා මායිම් බලාත්මක කිරීම පිලිබඳ විවාදයන් ය. එනම්, වසා දැමීම්, පාසල් වැසීම, කම්කරුවන් සඳහා වැටුප් සහිත නිවාඩු සහ විශ්වීය පරීක්‍ෂා කිරීම සහ සම්බන්ධතා සොයා ගැනීම යන කරුනු පිලිගත හැකි දේ ලෙස නොසලකන අතරම, අවම වශයෙන් මුහුනු ආවරන සහ එන්නත් අවශ්‍යතා සහිතව පාසල් සහ සේවා ස්ථාන විවෘතව තැබීම යි.

වෛරසයට යටත් වන ලෙස ජනගහනයට බල කිරීමට ගත් උත්සාහයන් ප්‍රතිපත්තිගරුක වසංගත රෝග විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් විසින් ප්‍රතික්ෂේප කර ඇත. “වෛරසය සමඟ ජීවත් වීමට ඉගෙන ගැනීමේ මන්ත්‍රය නම් පසුගිය වසරේ ස්වාභාවික ආසාදනයේ රංචු ප්‍රතිශක්තියයි,” ඇමරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයේ ආචාර්ය එරික් ෆීග්ල්-ඩිං පසුගිය මාසයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ලෝසවෙඅ වෙත පැවසීය. ඒ වෙනුවට ඔහු පැවසුවේ, “අපගේ ඉලක්කය විය යුත්තේ ශූන්‍යය යි; අපගේ ඉලක්කය විය යුත්තේ හැකි තාක් දුරට පහත් මට්ටමකි.”

කොවිඩ් හි මාරාන්තික බලපෑම පිලිබඳ මාධ්‍ය ආවරනය, ජනගහනය නිර්වින්දනය කිරීමට දරන උත්සාහයක් වන අතර, එය, හැකි තාක් දුරට නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා, වෛරසයට එරෙහිව ඉතිරිව ඇති රැකියා ස්ථාන ආරක්ෂක පියවරයන් ආපසු හැරවීමේ ව්‍යාපාරය සමඟ එක්ව ගමන් කරයි.

ඔහියෝ හි ඩේනා ඉන්කෝපරේටඩ් වාහන කොටස් කම්කරුවන් ලෝසවෙඅ වෙත පවසා සිටියේ කොරෝනා වෛරසය තම කම්හලේ “ලැව් ගින්නක් මෙන් පැතිර යමින්” පවතින බවත්, විශාල සේවකයින් සංඛ්‍යාවක් අසනීප වී සේවක හිඟය උත්සන්න වී ඇති බවත් ය. මේ අතර, වෘත්තීය සමිති ව්‍යසනකාරී තත්වය අධීක්ෂනය කරමින් සිටින අතර, වසංගතය පුරාවටම ඔවුන්ගේ හැසිරීමට අනුකූලව, සේවකයින්ගේ ආරක්ෂාව සඳහා කිසිවක් කර නොමැත. යූඒඩබ්ලිව් සහ එක්සත් වානේ කම්කරු වෘත්තීය සමිති විසින් ඩේනා සේවකයින් දිනපතා කොන්ත්‍රාත් දීර්ඝ කිරීම් යටතේ රැකියාවෙහි නියුක්ත කර ඇති අතර, සැප්තැම්බර් මාසයේදී වෘත්තීය සමිති පිටුබලය සහිත කොන්ත්‍රාත් යෝජනාව ඡන්ද සියයට 90 කින් පරාජය කර තිබියදී බොහෝ දෙනෙක් සතියකට පැය 60 කට වඩා වැඩ කරති.

ඔවුන් විසින්, වසංගතය සාපරාධී ලෙස හැසිරවීමේ ප්‍රතිවිපාකයක් වන සැපයුම් දාම බාධාවන් කෙරෙහි සමාගම් සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයින් බලාපොරොත්තු සුන්වීමකින් ප්‍රතිචාර දක්වති. ඉකුත් සතියේදී, බයිඩන් පරිපාලනය විසින් කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් වරාය 24/7, ඉන්ටර්නැෂනල් ලෝන්ග්ෂෝර් සහ වෙයාර්හවුස් වෘත්තීය සමිතියේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කල අතර එමඟින් දැනටමත් කොඳු කැඩෙන වැඩ බර සහිත වරාය කම්කරුවන්ට අනිවාර්යයෙන්ම කුරිරු ඉල්ලීම් එල්ල වනු ඇත.

කොවිඩ්-19 මුලිනුපුටා දැමීම සඳහා වැඩෙන ව්‍යාපාරය සහ සූරාකෑමට එරෙහිව කම්කරු පන්තිය දක්වන ප්‍රතිරෝධය යන දෙකම මෙහෙයවනු ලබන්නේ එකම වෛෂයික හේතුවකිනි: එනම් ධනවාදයේ අර්බුදය සහ බිඳවැටීම යි. පෙර නොවූ විරූ ප්‍රමානයකින් සමාජ ව්‍යසනයට ජනගහනය ගිල දැමීමට ඉඩ හැරීමෙන් පසු, ධනේශ්වර ආන්ඩුව දැන් උත්සාහ කරන්නේ පවතින අර්බුදයේ පිරිවැය කම්කරුවන් මත පැටවීමට ය, වැඩ වේලාවන් දික් කිරීමට සහ වැටුප් හා ප්‍රතිලාභ වලට නව ප්‍රහාර එල්ල කිරීමට ය.

සමාජවාදීන් සහ වසංගතය අවසන් කිරීමට කැමති සියළු දෙනාම මුහුන දෙන කර්තව්‍යය නම් මෙම ව්‍යාපාර ඒකාබද්ධ කිරීමට, ඔවුන්ගේ පොදු අරමුනු ගැන ඔවුන් වඩ වඩාත් දැනුවත් කිරීමට සහ අති විශාල මහ ජනතාවගේ, එනම් කම්කරු පන්තියේ අවශ්‍යතා සපුරාලීම සඳහා පදනම් වූ පොදු උපාය මාර්ගයක් සකස් කිරීමට නොපසුබට උත්සාහයක් දැරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ඔක්තෝ්බර් 5 දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ: “විද්‍යාවේ උදව් නොමැතිව වසංගතයට එරෙහි සටන කම්කරු පන්තියට ඉදිරියට ගෙන යා නොහැකි අතර වසංගතය නැවැත්වීම සඳහා විද්‍යාත්මකව අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරීම, කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනැගීම මත රඳා පවතී.”

ඔක්තෝබර් 24 දා, ලෝසවෙඅ සහ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස), වසංගතය අවසන් කරන්නේ කෙසේද: තුරන් කිරීමේ අවස්ථාව, යන හිසින් මාර්ගගත රැස්වීමක් සඳහා සම සත්කාරකත්වය සපයයි, එයින් ඉදිරි මාවත විස්තර කෙරෙනු ඇත. මෙම මෙම රැස්වීමේදී විද්‍යාඥයින් සහ කම්කරුවන්, වසංගතයේ සැබෑ තත්වය සහ වෛරසය තුරන් කිරීමත්, තවදුරටත් අනවශ්‍ය ජීවිත හානි වැලැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගත් සමාලෝචනය කරනු ඇත. මෙම තීරනාත්මක වැදගත් රැස්වීමට සහභාගී වීමට සැලසුම් සකස් කර ගන්නා ලෙසත්, හැකි තරම් පුළුල් ප්‍රේක්ෂකත්වයක් වෙත ලඟා වීම සඳහා සමාජ මාධ්‍ය තුල සහ වෙනත් සෑම ස්ථානයකම එය ප්‍රවර්ධනය කරන ලෙසත් අපි සියළුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading