මහනුවර රනබිම රාජකීය විදුහලේ ගුරු ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම: වැදගත් ඉදිරි පියවරක්

මහනුවර ගන්නොරුව, රනබිම රාජකීය විද්‍යාලයේ ගුරුවරු එක්ව මෙම මස මුලදී ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. මෙය, යහපත් වැටුප් සහ නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව සඳහා සටන් වැද සිටින සියලු ගුරුවරුන් සම්බන්ධයෙන් ගත්කල වැදගත් ඉදිරි පියවරකි.

මෙම මූලිකත්වය ගැනීම මේ වන විටත් අවට පාසැල් වල අවධානයට යොමුවී ඒ්වායේද ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනා ගැනීමට ගුරුවර-ගුරුවරියන් උනන්දු කර තිබේ. පසුගිය සතියේ වෘත්තීය සමිති විසින් වැටුප් ඉල්ලීම පාවා දී ගුරු වර්ජනය නතර කර දැමීම මගින්, මෙම ප්‍රගතිශීලී පියවරෙහි වැදගත්කම සහ සෑම පාසලකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අත්‍යවශ්‍යභාවය පෙන්නුම් කරයි.

රනබිම විදුහලේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම සඳහා එහි ගුරුවර ගුරුවරියන් මෙහෙයවුනේ ගුරු-විදුහල්පති අරගලය මුහුනදී සිටි තීරනාත්මක අභියෝගයන් උග්‍ර වන පසුබිම තුල ය. ඒ වනවිටත් මාස තුනක් දක්වා දිග්ගැස්සී තිබූ ගුරු-විදුහල්පති වර්ජනය සඳහා ජයග්‍රහනයේ මාවතක් එයට නායකත්වය දුන් වෘත්තීය සමිති එකමුතුව විසින් සම්පාදනය නොකිරීම හේතුවෙන්, රනබිම විදුහල ඇතුලු පාසැල් දහස් ගනනක ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට සිය සටන ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංවිධානය වීමේ වුවමනාව මතු කර තිබුනි.

රනබිම විදුහලේ ගුරුවර-ගුරුවරියන් විසින්, තම අරගලය ජයග්‍රහනය කරා මෙහෙයවන්නේ කෙසේද යන්න පිලිබඳව සංවිධානය කල සාකච්ඡාවකට, සමාජවාදී සමානතා පක්ෂයට (සසප) සහ සසප විසින් නායකත්වය දෙන ගුරු-සිසු- දෙමාපිය ක්‍රියාකාරී කමිටුවට ආරාධනා කරනු ලැබුවේ එම පසුබිම තුලදීය.

එම පාසැලේ ගුරුවරුන් 50ට ආසන්න පිරිසක්, සසප නියෝජිතයෙකු සමග පැවැත්වූ එම සාකච්ඡාවේ දී අවධානයට ලක්වූ කරුනු කාරනා ගුරුවරුන්ටත් අවශේෂ කම්කරුවන්ටත් තම අරගල ජයග්‍රහනය කරා මෙහෙයවන්නේ කෙසේද යන්න පිලිබඳව ආලෝකය සපයයි.

තම සටනේ ඉදිරි මාවත සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය සාමාජිකත්වය සමඟ කවර හෝ සාකච්ඡාවක් නොපවත්වන්නේ ඇයි ද යන්න මූලික වශයෙන් එහිදී අවධානයට ලක්විය. වැටුප් ඉල්ලීම තුනෙන් පංගුවකට කප්පාදු කෙරුනු වැටුප් වැඩිවීමක් ආන්ඩුව යෝජනා කලවිට සමිති විසින් එය පිලිගනු ලැබුවේ ද, එම සොච්චම ලබා දෙන්නේ කිනම් පියවර ගනනක් තුල ද යන්න මත එම සමිති ආන්ඩුව සමග ව්‍යාජ හබයක පැටලී සිටින්නේ ද සටනේ යෙදී සිටින ගුරුවරුන්ගේ අදහස් පවා විමසීමෙන් තොරවය.

දීමනාවන් ලබා දීම වෙනුවට එය ලබාදෙන දිනය පිලිබඳ ආන්ඩුවෙන් පොරොන්දුවක් දීම වුවද සෑහේ යැයි මුලදී සමිති නායකයන් සඳහන් කර තිබිනි. පසුව ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ ගැඹුර ගැන සලකා බලා 'තමන් මස්‍ රාත්තලම නොඉල්ලන බවත්, සාධාරනව සිතා බලා පියවරක් පස්සට ගෙන ඇති' බවත් ඔවුහු මාධ්‍යයට පැවසූහ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපය තුල සමිති නියෝජනය කරන්නේ වර්ජන සටනේ යෙදී සිටින ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ අවශ්‍යතා නොවන බවත්, ඒ් වෙනුවට ආන්ඩුවේ අවශ්‍යතාවයන් ගුරුවරුන් මත පැටවීම සඳහා ලැබෙන හැම අවස්ථාවක්ම යොදා ගනිමින් සිටින බවත් පැහැදිලි වෙමින් ඇති බවට රනබිම විදුහලේ ගුරුවරු අදහස් දැක්වූහ. “ඉල්ලීම් ඉදිරිපත් කරන්නේත් සටනේ ස්වරූපය තීන්දු කරන්නේත් සමිති නිලධාරීන්. අපට ලැබෙන්නේ අවසන් ප්‍රතිඵලය පමනයි” යනුවෙන් ගුරුවරයෙක් පැවසීය.

ඒ අනුව තම අරගලය සමිති නායකයන් අතින් සියතට ගෙන මෙහෙයවීමේ අවශ්‍යතාව පිලිබඳ බැරෑරුම් සාකච්ඡාවකට ගුරුවරු යොමු වූහ.

මෙලෙස සාමාජිකත්වයේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දමමින් ධනපති ආන්ඩුවල සහ ධනපති හාම්පුතුන්ගේ උපකරන ලෙස වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ඇයිද යන්න පිලිබඳව කෙරුනු සාකච්ඡාව, වෘත්තීය සමිතිවල ඓතිහාසික පරිවර්තනය පිලිබඳ විමසා බැලීමක් දෙසට යොමුවිය.

අතීතයේදී ජාතික ආර්ථිකයන් තුල ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති වලට ඒ ඒ රටවල ආන්ඩු වලට සහ හාම්පුතුන්ට පීඩනය යෙදීමෙන් තම ඉල්ලීම් දිනා ගැනීමට හැකි වූ නමුත්, ආර්ථිකය ගෝලීයකරනය වී ඇති අදදින එම ජාතිකවාදී උපකරන ඓතිහාසික වශයෙන් අයථා බවට පත්ව කම්කරු පංතියට එරෙහි කාර්මික පොලීසි බවට පරිවර්තනය වී ඇති අයුරු සසප නියෝජිතයා පෙන්වා දුන්නේය.

ධනපති ආන්ඩුව මුහුන දෙන “ආර්ථික දුෂ්කරතා” වෙනුවෙන් ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම කප්පාදු කිරීමට එකඟවීමෙන්මත් මෙම සමිති සේවය කරන්නේ කාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ද යන්න පැහැදිලි වී ඇති බව සසප නියෝජිතයා පැහැදිලි ක‌ලේය. කප්පාදු කල වැටුප් වැඩිවීමෙන් තුනෙන් එක් කොටසකට ගුරු වර්ජනය පාවාදීමට සමිති දැන් දින නියම කර තිබේ.

වෘත්තීය සමිති වලින් බිඳී වෙන්වී, කම්කරු පංතියේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන රූපයන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අත්‍යවශ්‍යභාවය මෙහිදී අවධාරනය කෙරුනි. ගුරු-සිසු-දෙමාපිය කමිටු වැනි කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු තුල තීන්දු ගනු ලබන්නේ ඒම කමිටු නියෝජිතයන් විසින් කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් පසුව බවත් ඒ්කමතික තීන්දු ගත නොහැකි විට ඡන්ද විමසා ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු ගැනීම කල යුතු වන බවත් සසප විසින් රනබිම පාසැලේ ගුරුවර ගුරුවරියන්ට පහදා දුන් අතර ඒම සංවිධාන ව්‍යුහය ඔවුන්ගේ අනුමැතිය දිනා ගත්තේය.

“ප්‍රතිසංස්කරනවාදී” ඉල්ලීම් වලට සසප ක්‍රියාමාර්ගය තුල ඉඩ දෙන්නේද නැතහොත් සමාජවාදය ගොඩ නගන තෙක් ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳීම කල් තැබෙන්නේද යන ප්‍රශ්නය ගුරුවරයෙක් මතු කලේය. ප්‍රතිසංස්කරනවාදී අවම ඉල්ලීම් වෙනුවට සමාජවාදී-විප්ලවවාදී ක්‍රියාමාර්ගයට අනුව සංක්‍රමනීය ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරමින් ගුරුවරුන්ගේ අරගලය ජයග්‍රහනය කරා මෙහෙයවීමට සසප ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කෙරිනි.

'ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේද?' යන හිසින් ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව 2021 ජූලි 25 නිකුත් කල ප්‍රකාශයේ එම සංක්‍රමන ඉල්ලීම් මෙසේ ඉදිරිපත් කෙරුනි: ජීවන වියදමට අනුව සැකසෙන පරිදි ගුරුවරයෙකුගේ අවම මාසික වැටුප රුපියල් 60,000 ක් කරනු! සෑම ගුරුවරයෙකුටම පූර්න විශ්‍රාම වැටුපක් සහතික කරනු! මහජන අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10 ක් වෙන් කරනු! සියලුම ගුරුවරුන්ට සහ සිසුන්ට පරිගනක සහ ඔන්ලයින් පහසුකම් නොමිලේ ලබා දෙනු! අඩු පොලී අනුපාත යටතේ ප්‍රමානවත් නිවාස නය පහසුකම් සම්පාදනය කරනු!

පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය තුල මෙම යුක්තියුක්ත ඉල්ලීම් සාක්ෂාත් කල නොහැකිබවත්, එය කල හැක්කේ, සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවකින්, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනය විස්ථාපනය කිරීමෙන් බවත් එම ප්‍රකාශනයෙන් පෙන්වා දුනි. එය ලෝක ධනවාදය සහ ධනේශ්වර ලාබ පද්ධතිය අහෝසි කරන්නා වූ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ අත්‍යන්ත කොටසක් බව ද ප්‍රකාශනය සඳහන් කලේය.

ධනපති ප්‍රහාර වලින් දිනපතා බැටකන අනෙකුත් කම්කරුවන් සමග ඒ්කාබද්ධ වෙමින්ද පීඩාවට ලක් කර ඇති ගොවීන් ඇතුලු පීඩිතයන් ඒ වටා සංවිධානය කර ගනිමින්ද ගුරු අරගලය ඒ්කාබද්ධ සටනක් ලෙස පෙරට ගැනීම ගුරුවරුන් මුහුනදී ඇති මූලික අභියෝගයකි.

රෝහල්, වතු, පාසැල් ඇතුලු සෑම වැඩපලකම පිහිටුවා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු, අන්‍ය රටවල එවන් කම්ටු සමග ඒකාබද්ධ කරමින් ගොඩ නගන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා මෙම සටන පෙරට ගතයුතුබව එහිදී සාකච්ඡා කෙරුනි.

මෙම රැස්වීම හා සාකච්ඡාව අවසානයේ එම පාසැලේ ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගුරු-සිසු-දෙමාපිය කමිටුවක් පිහිටුවා ගැනීමට රැස්ව සිටි ගුරුවර ගුරුවරියෝ ක්‍රියාත්මක වූහ.

Loading