වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත සංවර්ධන නිලධාරීහු වර්ජනයකට සූදානම්වෙති

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නොවැම්බර් 8 වෙනිදා එක් දින සංකේත වර්ජනයක යෙදීමට සංවර්ධන නිලධාරීහු සූදානම් වෙති. උපාධියට සරිලන රාජකාරී ක්‍රමවේදයක් සකස් කිරීම, 2016 සිට රාජ්‍ය සේවකයන්ට අහිමිකර ඇති විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම, අභ්‍යාසලාභී පුහුනු කාලය ස්ථීර සේවාකාලයට එකතු කිරීම, ගමන් වියදම් දීමනා ඉහල දැමීම සහ පුහුනුව අවසන් කල සියලුම අභ්‍යාසලාභීන් වහාම ස්ථීර කිරීම අනෙක් ඉල්ලීම් වෙයි. මධ්‍යම රජයේ සහ පලාත් පාලන ආයතන වල සංවර්ධන නිලධාරීන් 100,000 ක් පමන සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් 50,000 ට වැඩි පිරිසක් සේවයේ යෙදී සිටිති.

මෙම ඉල්ලීම් වලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සංවර්ධන සේවා නිලධාරී සංගමය (සසේනිස) විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, එම අමාත්‍යංශ ලේකම්, සියලුම පලාත් ආන්ඩුකාරවරුන්, සියලුම කැබිනට් ඇමතිවරුන් ඇතුලු ආන්ඩුවේ බලධාරීන් වෙත ඔක්තෝබර් 25 වෙනිදා ලිපියක් යවා ඇත. එදින සි‌ට දින 14ක් ඇතුලත “පිලිගත හැකි” විසඳුමක් නොලැබුනොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලඹෙන බව ද එම ලිපියේ සඳහන් කෙරුනුබව සසේනිස ලේකම් චන්දන සූරියආරච්චි මාධ්‍යට පවසා තිබුනි. නොවැම්බර් 8 වෙනිදා සංකේත වර්ජනය නිවේදනය කර ඇත්තේ ඒ අනුව ය.

සසේනිස මෙහෙය වනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි. වර්ජනය කැඳවීමට එයට බල කෙරී ඇත්තේ දිගුකලක් නොවිසඳී පවතින ගැටුලු සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් අතර පවතින නොසන්සුන්කම හේතුකොටගෙනය. ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහෙයවන ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමය කට්ටිවාදී ලෙස මෙම උද්ඝෝෂනයට සම්බන්ධ වන්නේ නැත.

ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතාවලට කොටුකර ඔවුන් තුල පවතින නොසන්සුන්කම වාෂ්ප කිරීම මිස ඔවුන්ගේ අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමට මෙම සමිති සූදානම් නැත. මෙම ඉල්ලීම් මත සසේනිස ජුලි මාසයේ ද ඊනියා දීපව්‍යාප්ත උද්ඝෝෂනයක් කැඳවීය.

ඉහත ප්‍රශ්න මත දශක ගනනාවක් පුරා ඇදී යන සංවර්ධන නිලධාරීන්ගේ අරගලය ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීමේ උද්ඝෝෂනවලට කොටුකර තැබීමට මෙම සමිති එම කාලය පුරාම වැඩ කලහ. ජනාධිපතිට, අගමැතිට, සහ රජයේ බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇතත් ප්‍රශ්න වලට විසඳුමක් නොලැබුන බවට, ජුලි මාසයේ උද්ඝෝෂනය තුල දී ද සූරියආරච්චි නහයෙන් අඬා තිබුනි. ඔහු නැවතත් ලියුම් ලියා විසඳුම් ඉල්ලන්නේ ඒ බලධාරීන්ගෙන් ම ය.!

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධව 2006 ජුනි මාසයේ නිකුත් කල 6/2006 චක්‍රලේඛය මගින් විවිධ ක්ෂේත්‍ර අතර බරපතල වැටුප් විෂමතාවයන් නිර්මානය කෙරුනි. සංවර්ධන නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය එහි කොටසකි. සංවර්ධන නිලධාරීන් අයත් වන්නේ රාජ්‍ය කලමනාකාර සේවයටය. කලමනාකාර සේවයේ ආරම්භක මූලික වැටුප හා පරිපාලන සේවයට බඳවා ගැනීමේ මුලික වැටුප් අතර ඊට පෙර පැවති පරතරය වැටුප් වර්ධක දෙකක් වූ නමුත් 6/2006 චක්‍රලේඛයට අනුව කෙරුන වැටුප් සංශෝධන යටතේ වර්ධක 14 ක පරතරයක් ඔවුන් අතර නිර්මානය කෙරී ඇතැයි සංවර්ධන නිලධාරීහු පවසති.

එමෙන් ම කලමනාකාර සේවයේ MN -04 වැටුප් තලය මත සේවයේ යොදවා සිටින ආශ්‍රිත සේවා උපාධිධාරීන්ට ට ඉන් බරපතල වැටුප් විෂමතාවක් සිදු වී ඇති බව ද ඔව්හු කියති. උසස්වීම් පටිපාටියට ඇතුලත් කර නැති MN5 සහ MN7 ශ්‍රේනි ද ඊට ඇතුලත් කර විධිමත් උසස්වීම් පටිපාටියක් තහවුරු කිරීම ද සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් අතර වෙයි. විධිමත් උසස්වීම් පටිපාටියක් සකසන බවට 2008 සංවර්ධන නිලධාරීන්ගේ වර්ජනයේ දී එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව පොරොන්දු වූ නමුත් එය පුස්සක් වී ඇත.

පුහුනුවෙන් පසු මෙතෙක් සේවය ස්ථීර නොකල අභ්‍යාසලාභී උපාධිධාරීන් සංඛ්‍යාව 53,000 කි. ඔවුන්ට තවමත් ලැබෙන්නේ පුහුනු කාලයට තුල ගෙවූ රුපියල් 20,000 ක සොච්චම් දීමනාව පමනි. සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගන්නේ වසර ගනනක් රැකියා විරහිතව සිටි උපාධිධාරීන්ය. සමහරු ඒ වන විට වයස අවුරුදු 35-40 ක් පමන වූවෝය. ඇතැම් විට ඔවුන් විවාහකය. ඒ සමග ම වයස්ගත දෙමාපියන් රැකබලා ගැනීමේ වගකීම ද ඔවුන් මත පැවරී ඇත. ජීවන වියදම සීග්‍රයෙන් ඉහල යන කොන්දේසි යටතේ මෙම දීමනාව කිසිසේත් ප්‍රමානවත් නොවන බව ඔවුහු කියති.

සේවය ස්ථීර නොකිරීම සම්බන්ධයෙන් කොලඹ දිස්ත්‍රික්කයේ අභ්‍යාසලාභී උපාධිධාරියෙකු මෙසේ අදහස් දැක්වීය. “අපේ කන්ඩායම බඳවා ගත්තේ 2020 සැප්තැම්බර් 2 වෙනිදා. මේ අවුරුද්දේ සැප්තැම්බර් 2 වෙනදා ට අපේ පුහුනු කාලය අවසන්. නමුත් තවම ස්ථීර කලේ නැහැ. දෙසැම්බර් 31 වෙනිදාට පෙර අපිව ස්ථීර කරන බව කියනවා. ඒත් දැන් ආන්ඩුවේ තියෙන අර්බුදයත් එක්ක එහෙම වෙයි ද කියල විශ්වාස කරන්න බැහැ.”

වසර ගනන් ස්ථීර නොකල අය ද සිටින බව ඔහු පැවසීය. එමෙන් ම, අභ්‍යාසලාභී පුහුනුවට කලා, වානිජ සහ විද්‍යා ඇතුලු සියලු අංශ වලින් උපාධි ලත් අය බඳවා ගන්නා නමුත් උපාධියට ගැලපෙන සේවාවන්හි ඔවුන් නොයොදවන බව ද ඔහු සඳහන් කලේ ය. “මාව සම්මුඛ පරීක්ෂනයට කැඳෙව්වේ ග්‍රාමීය හා වතු පාසල් අමාත්‍යාංශයෙන්. නමුත් අපිට ගුරු පත්වීම් ලබා දෙන බවක් පෙනෙන්න නැහැ. සංවර්ධන නිලධාරීන්ගෙන් බහුතරයක් කරන්නේ ලිපිකාර සේවය. මාව දාල තියෙන්නේ කොවිඩ් එන්නත් කරන වැඩවලට සහයෝගය දෙන්න. නමුත් කිසිම ආරක්ෂාවක් නැහැ. අඩුම ගනනේ මාස්ක් එකක්වත් දෙන්නේ නැහැ. අභ්‍යාසලාභීන්ට ගෙවන දීමනාව හැර වෙනත් කිසිම ගෙවීමක් නැහැ. ”

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ, අලුතින් සේවයට බඳවා ගන්නා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාාම වැටුප් හිමිකම අහෝසි කලේය. 2016 න් පසුව බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි වී ඇත්තේ ඒ අනුවය. රාජපක්ෂ ආන්ඩුව එම පිලිවෙත වෙනස් නොකරනවා පමනක් නොව, කොරෝනා වසංගතය විසින් තීව්‍ර කෙරුන අර්බුදය තුල රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා සහ රැකියා කප්පාදු කිරීමේ සැලසුම් වඩාත් වේගවත් කරනු ඇත.

සංවර්ධන නිලධාරීන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි සහ රාජපක්ෂ ආන්ඩුව හා වෘත්තීය සමිති කෙරෙහි පවතින කලකිරීම ගාලු දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරියෙක් මෙලෙස විස්තර කලේ ය: “මම වැඩකරන්නේ ආර්ථික සංවර්ධන නිලධාරියෙක් විදිහට. අපට කරන්න තියෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට දමන රජයේ ව්‍යාපෘති කලමනාකරනය කිරීම. මගේ සේවා කාලය වසර අටක්. නමුත් සියලු දීමනා සහිතව මගේ මාසික ඒකාබද්ධ වැටුප රුපියල් 42,000 යි. මම කිසිම නයක් අරගෙන නැති නිසා මුලුගානම අතට ලැබෙනවා. එහෙම වුනත් ඉහල යන බඩු මිලත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. නෝනා නය අරගෙන තියෙන නිසා එයාගේ වැටුපෙන් විශාල ගනනක් නය වලට කැපෙනවා ගෙවල් හදන්න, ලමයින්ගේ අධ්‍යාපන වැඩවලට අපේ හුගක් අය නය වෙලා ඉන්නේ. ඒ නිසා සමහරුන්ගේ අතට ලැබෙන්නේ රුපියල් 7000-8000 ක් වගේ සුලු මුදලක්.”

රාජකාරී වැඩවලට කිසිදු ගමන් වියදමක් නොලැබෙන බවත් ව්‍යාපෘති කලමනාකරනය කිරීමේ දී ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් හිරිහැර සිදුවන බවත් ඔහු පැවසීය. “සංවර්ධන ව්‍යාපෘති යටතේ කියල ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ග්‍රාමසේවක වසම් සඳහා දෙන මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර බෙදන්න ඕනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගෙ ලිස්ට් එකට. සුදුස්සාට නෙමෙයි. ආන්ඩුව පලාත්පාලන චන්ද තියන්න සූදානම් වෙන නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට රුපියල් ලක්ෂ 40 ක් සහ ග්‍රාමසේවක වසමකට ලක්ෂ 30 බැගින් දෙනවා. හැබැයි ඒවා පාවිච්චි කෙරෙන්නේ දේශපාලනඥයන්ට ඕන විදිහට.”

සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති දුසිමක් විතර තියෙන බවත් ඒවායෙන් පලක් නැති බවත් ඔහු සඳහන් කලේ ය. “සමිති නායකයො අපි මුන ගැහෙන්න එන්නේ කලාතුරකින්. ඇවිල්ල මොකක් හරි දොඩවල යනවා. උද්ඝෝෂනයක් තියෙනවා නම් එස්එම්එස් එකක් එවනවා ඒකට සම්බන්ධ වෙන්න කියල. අඩුම තරමේ ඉල්ලීම් මොනවද කියලවත් අපි හරියට දන්නේ නැහැ.” යි ඔහු පැවසීය.

වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන්ගේ කලකිරීම සංවර්ධන නිලධාරීන්ට පමනක් සුවිශේෂී වූවක් නොව, එය අධ්‍යාපන, සෞඛ්‍යය සහ වතු ඇතුලු සෑම ක්ෂේත්‍රයකටම පොදු ලක්ෂනයකි. ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් මත එල්ල කෙරෙන ප්‍රහාර වලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කරනු වෙනුවට, ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ හුදෙකලා සටන් වලට තමා කොටුකොට එම සටන් පාවාදීමේ ද්‍රෝහී භූමිකාවේ වෘත්තීය සමිති යෙදී සිටින අයුරු සෑම ක්ෂේත්‍රයකම කම්කරුවෝ අත් විඳිමින් සිටිති.

දින සියයක් ඉක්මවමින් පැවති ගුරුවරුන්ගේ වර්ජනය වෘත්තීය සමිති විසින් මෙම මාවත ඔස්සේ ගෙනගොස් අවසානයේදී තුච්ඡ ආකාරයෙන් පාවාදීම එහි මෑතම අත්දැකීමයි. කම්කරුවන් වෘත්තීය සමිති යකඩ හැට්ටයෙන් මිදී තමාගේම ප්‍රජාතන්ත්‍රවාදී උපකරන ලෙස සෑම වැඩපොලකම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් එම කමිටුවල සන්ධානයක් හරහා ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරීමෙන් තොරව මෙම ධනපති ප්‍රහාර පරාජය කල නොහේ.

Loading