100,000 කට අධික ශ්‍රී ලාංකික කම්කරුවෝ වැඩි වැටුප් සහ යහපත් සේවා කොන්දේසි ඉල්ලා වැඩ වර්ජනය කරති

[මෙය 2021 නොවැම්බර් 12 වැනි දා Over 100,000 Sri Lankan workers walk out to demand higher wages and better conditions යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, සංවර්ධන නිලධාරීන්, දුම්රිය වැඩපල සේවකයින් සහ පුද්ගලික අංශයේ සේවකයින් ඇතුළු කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග දහස් ගනනක් කම්කරුවෝ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් සඳුදා සහ අඟහරුවාදා දිනවල ශ්‍රී ලංකාව පුරා විරෝධතා සහ වැඩ වර්ජන පැවැත්වූහ. පසුගිය සතියේ විදුලිය, වරාය සහ ඛනිජ තෙල් සේවකයින් විසින් සිදු කල පෞද්ගලීකරනයට එරෙහි විරෝධතා වලින් පසුව මෙම ක්‍රියාව සිදු විය.

අඟහරුවාදා (9), හැටන් නගරයේදී, ශ්‍රී ලාංකික ගුරුවරුන් වැටුප් වැඩිවීමක් ඉල්ලා පාගමනක් පවත්වති. [ලෝසවෙඅ මාධ්‍ය]

මහා වැඩ වර්ජන වූ කලි, පවතින කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ ගුරුවරුන්ට සහ අනෙකුත් සේවකයින්ට නැවත සේවයට යාමට බල කරන අතර ම, ජීවන වියදම නිර්දය ලෙස ඉහල දමමින් සහ සොච්චම් සමාජ සුභසාධන පවා ඉවත් කරන රාජපක්ෂ ආන්ඩුවට සහ එහි මහා ව්‍යාපාරික වැඩපිලිවෙලට එරෙහි ව නැගී එන සමාජ කෝපය පිලිබඳ තවත් ඇඟවුමකි.

* වැටුප් විෂමතා ඉවත් කිරීම, රුපියල් 15,000 කින් (ඩොලර් 75 කින්) පමන මාසික වැටුප් වැඩි කිරීම සහ නිසි උසස්වීම් පටිපාටියක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගෙන සංවර්ධන නිලධාරීන් 50,000 ක් සඳුදා දිනයේ ලෙඩ නිවාඩු දමමින් ජාතික පරිමානයේ විරෝධතාවක් පැවැත්වූහ. රට පුරා විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තුවල සංවර්ධන නිලධාරීන් 100,000ක් පමන සේවයේ යෙදී සිටිති. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, අඩකට වඩා වැඩි පිරිසක් උද්ඝෝෂනයට සම්බන්ධ වී සිටි බවයි.

* අඟහරුවාදා, රජයේ රෝහල් හෙද හෙදියන් සහ පරිපූරක වෛද්‍යවරු එක් දින අසනීප නිවාඩු ක්‍රියාමාර්ගයකින් වර්ජනය කලහ. සෞඛ්‍ය සේවකයින් 50,000 කට ආසන්න පිරිසක් වර්ජනයට සම්බන්ධ වී සිටි බව වෘත්තීය සමිති නිලධාරීහු මාධ්‍ය වෙත ප්‍රකාශ කලහ. වැටුප් විෂමතා ප්‍රතිශෝධනය කිරීම, විශේෂ රාජකාරි දීමනාව රුපියල් 3,000 කින් වැඩි කිරීම සහ අතිකාල දීමනා වැඩි කිරීම රෝහල් සේවකයන්ගේ අවශ්‍යතා අතර වේ.

අඟහරුවාදා හැටන් නගරයේ විරෝධතාවයේ යෙදෙන ගුරුවරුන් [ලෝසවෙඅ මාධ්‍ය]

වෘත්තීය සමිති 16 ක සන්ධානයක් වන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සාමූහිකය (සීඑච්පී) විසින් වර්ජනය කැඳවා තිබුනි. සීඑච්පී ය මෑත මාසවල එම ඉල්ලීම් මත ම විරෝධතා හා වැඩ වර්ජන මාලාවක් කැඳවා ඇති අතර, කම්කරුවන්ගේ ඉල්ලීම් විසඳන බවට ආන්ඩුව දුන් ව්‍යාජ පොරොන්දු වලට අනුව යමින් වර්ජන සීමා කර පසුව ඒවා නවතා දමා ඇත.

අඟහරුවාදා වැඩවර්ජනය සඳහා තම සාමාජිකයින් මුලුමනින් බලමුලු ගන්වා නො තිබීම ගැන සෞඛ්‍ය සේවකයින් වෘත්තීය සමිතිවලට දොස් පැවරූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සහභාගි වූයේ අඩු සංඛ්‍යාවකි.

මහනුවර ජාතික රෝහලේ හෙදියක් ලෝසවෙඅ වෙත පැවසුවේ වෘත්තීය සමිති නිලධාරීන් විසින් සාමාජිකයින් සහභාගී වීම අධෛර්යමත් කර ඇති බවත් රෝහලේ සිටි හෙදියන් 2,000 න් 500 ක් පමනක් වර්ජනයට එක් වූ බවත් ය. “වර්ජනයට පෙර සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් තිබුනේ නැහැ. අත් පත්‍රිකාවක් බෙදා දීමෙන් පමනක් කම්කරුවන් බලමුලු ගන්වන්න බැහැ,” ඔවුහු පැවසූහ.

සෞඛ්‍ය සේවකයින් පසුගිය ජුනි මාසයේදී මහනුවරදී විරෝධතාවයක නියැලෙමින් [ලෝසවෙඅ මාධ්‍ය]

සෞඛ්‍ය වෘත්තීය සමිති, දිවයින පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන්, හිතාමතා ම කම්කරුවන් බෙදා ඇත. රාජපක්ෂ ආන්ඩුවට පිටුබලය දෙන බෞද්ධ භික්ෂුවක් වන මුරුත්තෙටුවේ ආනන්දගේ නායකත්වයෙන් යුත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (පීඑස්යූඑන්යූ) සහ විරුද්ධ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සංගමය (ඒසීඑච්එස්යූ) අඟහරුවාදා ක්‍රියා මාර්ගයට සහභාගී නො වීය. ඒ වෙනුවට, ඒසීඑච්එස්යූ විසින් දිවා ආහාර පැයේදී වෙනම විරෝධතාවයක් කැඳවා තිබුනි.

සෞඛ්‍ය සේවකයින් ඔවුන්ගේ දිගුකාලීන ඉල්ලීම් වෙනුවෙන් සටන් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින අතර, වෘත්තීය සමිති ආන්ඩුව සමග කිසිදු දේශපාලන ගැටුමක් වැලැක්වීමට මංමුලා සහගත ව සිටිති. මේ සතියේ එක්දින විරෝධතාව කැඳවනු ලැබුවේ වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ, රටේ භයානක ලෙස අඩු කාර්ය මන්ඩල සහ අඩු අරමුදල් යටතේ පවතින රෝහල්වල කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන සෞඛ්‍ය සේවකයින්ගේ නැගී එන කෝපය වාෂ්ප කර දැමීම සඳහා ය.

* අඟහරුවාදා ම, දිවයිනේ ප්‍රදේශ කිහිපයක රජයේ පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරු දහස් ගනනක් උද්ඝෝෂනය කලහ. මෙයට මධ්‍යම කොලඹ ගුරුවරුන් 3,000 ක් සහ මහනුවර 1,000 කට අධික පිරිසක් ඇතුලත් වූ අතර ඊට සමාන පිරිසක් මධ්‍යම කඳුකරයෙහි හැටන් ප්‍රදේශයේ බලමුළු ගන්වා තිබුනි. ලංකා ගුරු සංගමය (ලංගුස) සහ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් 30ක පමන සන්ධානයක් විසින් මෙම විරෝධතා කැඳවා තිබුනි.

මහනුවරට කිලෝමීටර් 25 ක් පමන බටහිර දෙසින් පිහිටි මාවනැල්ල පොලිස් ස්ථානයෙන් පිටත ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් දහස් ගනනක් උද්ඝෝෂනය කලහ. ඔවුන් ඉල්ලා සිටියේ පසුගිය සතියේ පැවති විරෝධතාවයක් අතරතුරදී දෙමාපියෙකුට ශාරීරිකව පහර දුන් බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රාදේශීය දේශපාලනඥයා පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙසයි. පසුව, පොලිසිය දේශපාලනඥයා සහ පහරදීමට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ට ප්‍රාදේශීය මහේස්ත්‍රාත්වරයකු විසින් ඇප ලබා දෙන ලදී.

අඟහරුවාදා මහනුවරදී ගුරුවරු දහස් ගනනක් උද්ඝෝෂනය කරති [ලෝසවෙඅ මාධ්‍ය]

ගුරුවරුන්ගේ මෙම පෙලපාලි පැවතුනේ, වැඩි වැටුප් ඉල්ලා ගුරුවරුන් 250,000 ක් විසින් දින 100 ක් පුරාවට සිදු කල අධිෂ්ඨානශීලී වැඩ වර්ජනය සහ මාර්ගගත අධ්‍යාපන සේවා වර්ජනය ඔක්තෝබර් 25 දා වෘත්තීය සමිති විසින් නවතා දැමීමෙන් පසුව ය. වසර 20 කට වැඩි කාලයක් තිස්සේ වැටුප් වැඩි කරගැනීම සඳහා ගුරුවරු අරගල කරමින් සිටිති.

රාජපක්ෂ ආන්ඩුව ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම ලබා දීම ප්‍රතික්ෂේප කල නමුත් පසුව ඉල්ලා සිටි මුදලින් තුනෙන් එකක්, ඉදිරි වසර තුන තුල වාරික වශයෙන් 'ගෙවීමට' ඉදිරිපත් විය. ආරවුල අවසන් කිරීමට මංමුලා සහගත ව සිටි වෘත්තීය සමිති, අඩු කල මුදල එක වාරිකයකින් ගෙවන ලෙස බල කරමින් භාර ගත් අතර, පසුව ගුරුවරුන්ට නැවත සේවයට පැමිනෙන ලෙස නියෝග කරමින් වර්ජනය නවතා දැමීය. මේ සතියේ විරෝධතා සහ පෙර සතියේ එවැනි ම උද්ඝෝෂන, සාමාජිකයින්ගේ කෝපය වාෂ්ප කර දැමීමට වෘත්තීය සමිති විසින් ගත් නරුම උත්සාහයකි.

බදාදා, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ගුරු සංගම් හමුවූ අතර ආන්ඩුව එහි අඩු කල වැටුප් දීමනාව එක වාරිකයකින් ගෙවන බව කීහ. ගුරුවරුන්ගේ දිගුකාලීන වැටුප් ඉල්ලීම් ඉවත දමමින් වෘත්තීය සමිති එම සුළු වැඩිවීමට එකඟ වූ හ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුව මාධ්‍ය වෙත පැවසුවේ කොලඹ ආන්ඩුවේ ගනුදෙනුව වැටුප් වැඩිවීමක් ලෙස නො සැලකිය යුතු බවයි.

මේ සතියේ වෘත්තීය සමිති විසින් සංවිධානය කල විරෝධතා, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මුදල් ඇමති රාජපක්ෂගේ වාර්ෂික අයවැය යෝජනා සමග සමපාත වීමට නියමිත වූ අතර, ආන්ඩුවට බලපෑම් කල හැකිය යන මිත්‍යාව ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් ඒවා විය. ජවිපෙ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති ආන්ඩුවේ අයවැයෙන් ඉල්ලා සිටින්නේ කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලෙසයි.

අපනයන ඉපැයීම්වල කඩා වැටීමකට, මුදල් ඒකකය පහත වැටීමකට සහ දැවැන්ත විදේශ නය ආපසු ගෙවීමකට මුහුන දී සිටින මුදල් ඇමති රාජපක්ෂ, තමන් නිර්දය කප්පාදු අයවැයක් එලි දක්වන බව ඉතා පැහැදිලි ව පෙන්වා දී ඇත. “ජනතාවට ලැබෙන්න නෙවෙයි යන්නෙ. ජනතාවගෙන් ගන්නයි වෙන්නෙ” ඔහු පසුගිය සතියේ මාධ්‍යවේදීන්ට පැවසීය. අයවැය පරතරය, පසුගිය වසරේ පැවති දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14.7 සිට සියයට 4.5-5 දක්වා එනම් තුනෙන් දෙකකින් කපා හැරීමට ඔහු සැලසුම් කරයි.

කොවිඩ්-19 වසංගතය මගින් උග්‍ර කර ඇති මෙම අර්බුදයට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුව ජීවිතයට වඩා ලාභයට ප්‍රමුඛත්වය දෙමින් 'රංචු ප්‍රතිශක්තිය' ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටී. මෙම සාපරාධී න්‍යාය පත්‍රයට වෘත්තීය සමිති විසින් මුලුමනින්ම පිටුබලය ලබා දී ඇති අතර සෞඛ්‍ය වෘත්තීය සමිති තම සාමාජිකයින්ගේ වැඩ ආරක්ෂාව වැඩි කිරීම සඳහා වන ඉල්ලීම් අත්හැර දැමීම දැකගත හැක.

රාජපක්ෂ ආන්ඩුව ආරක්ෂා කරන හා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමකට සතුරු වන වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී භූමිකාව, මෙම සංවිධාන සමග ශ්‍රී ලාංකික කම්කරුවන් ගැටුමකට ගෙන එයි.

කම්කරුවන්ගේ අරගල වැඩිවීමට සමගාමී ව, ගොවීන් සිය විරෝධතා අඛන්ඩ ව පවත්වාගෙන යමින්, වගාව සඳහා පොහොර සහ අනෙකුත් අවශ්‍යතා ඉල්ලා සිටිති. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කරන ලෙසත් ආහාර හිඟය අවසන් කරන ලෙසත් ඉල්ලා ගෘහනියන් සිය ගනනක්, අඟහරුවාදා දිනයේ, කොලඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල උද්ඝෝෂන පැවැත්වූහ.

රාජපක්ෂ ආන්ඩුවට සහන ලබා දීමට බල කල හැකි බවට වෘත්තීය සමිති කරන ප‍්‍රකාශවලට පටහැනි ව, කොලඹ පාලනය, අත්‍යාවශ්‍ය මහජන සේවා පනතක් සම්මත කර ඇති අතර, එය, මිලියනයකට ආසන්න රාජ්‍ය අංශයේ සේවකයින් ආවරනය වන මෙම ආයතනවල සියලු කාර්මික ක්‍රියාමාර්ග සහ වැඩ වර්ජන සාපරාධීකරනය කරයි. ඒ අතර ම, එය ඉදිරියට යන්නේ, කම්කරු පන්තිය බෙදීමට උත්සාහ කරමින් වර්ගවාදී ආතතීන් අවුස්සමිනි.

කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති, ආන්ඩුවේ වැඩ වර්ජන විරෝධී නීතිවලට සහ එහි වර්ගවාදී පියවරයන්ට විරුද්ධ වී නැත. මෙම සංවිධාන හරහා කම්කරුවන්ට තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සැබෑ අරගලයක් වර්ධනය කල නො හැක.

අවශ්‍ය වන්නේ රැකියා, වැටුප් ආරක්ෂා කිරීමට සහ වඩාත් යහපත් සමාජ කොන්දේසි සඳහා සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සහ කම්කරුවන් විසින් පාලනය කරනු ලබන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. මෙම කමිටු, සමාජවාදී ප්‍රතිපත්ති සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ කොටසක් ලෙස, දිවයින පුරා කම්කරුවන් එක්සත් කරමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරිය යුතුය.

Loading