දරුවන්ගේ ජීවිත අවදානමේ හෙලීම නතර කරමු ! වසංගතයේ අන්තරාය මැද පාසල් විවෘත කිරීමට එරෙහිව සටන් වදිමු !

ඔක්තෝබර් 21 දා ප්‍රාථමික අංශයේ පාසල් විවෘත කිරීමේ සිට මේ දක්වා ගෙවුනු මාසයකට ආසන්න කාලය තුල රටපුරා සෑම දිස්ත්‍රික්කයකම පාහේ සිසුන් හා ගුරුවරුන් කොවිඩ්-19 වෛරසට ගොදුරු වී ඇත.

එසේ වුවද, තවදුරටත් රෝග ව්‍යාප්තියට කොන්දේසි සකසමින් ආන්ඩුව ලබන සඳුදා සිට මෙතෙක් ආරම්භ කර නොතිබූ 6 සිට 9 දක්වා ශ්‍රේනි ද ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. මිලියන 4කට වැඩි රටේ පාසල් දරුවන් හා 250,000 ක් පමන වන ගුරුවරුන් පාසල් තුලට ගොනු වන අතර ඉන් ඇති විය හැකි අන්තරායකාරී තත්වය ගෙවුනු සති දෙක තුල දරුවන් හා ගුරුවරු ආසාදනය වීමේ සීග්‍රතාවය මගින් පෙන්නුම් කරයි.

· දකුනු පලාතේ පාසල් සිසුන් 148 ක් හා ගුරුවරු 78 ක් ආසාදනය වී ඇතැ යි දකුනු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානයක පසුගිය 15දා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.

· සංචරන සීමා ඉවත් කල ඔක්තෝබර් 01 දා සිට ගෙවනු මාසය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 2,500 ක් හඳුනා ගැනුනි. ඒ තත්වය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 50 කින් ආසාදිතයන් හමු වී ඇතැයි සමාජ මාධ්‍යයන්හි වාර්තා පල වේ.

· බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකම දරුවන් සහ ගුරුවරුන් ආසාදිත වී ඇති අතර පසුගිය සඳුදා හල්දුම්මුල්ලේ මාස 13 ක කුඩා දරුවකු කො විඩ් ආසාදිතව මිය ගිය බව ලංකාදීපය වාර්තා කලේ ය.

· කොටවෙහෙර ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකු ආසාදිත වීමෙන් පසු දෙමාපියන් විසින් දරුවන් පාසලට නො එවීම හේතුවෙන් පාසල වසා දැමීමට බලධරයින්ට සිදු විය.

· සිසුන් 3,000 ක් ඉක්මවන කුරුනෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ගුරවරියන් 08 ක් මේ වන විට ආසාදිත වී ඇති අතර රටපුරා තවත් බොහොමයක් පාසල්වල මෙලෙස ආසාදියන් හමු වූවත් ඒවා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලින් ප්‍රචාරය කිරිමක් සිදු නොවේ.

මෙලෙස සැලකිය යුතු ආසාදිතවීම් වාර්තා වන්නේ දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 5,000 ක් තරම් පහලට ඇද දැමූ තත්වයක් තුලයි. ඒ තත්වය තුල පවා පසුගිය දෙසතිය තුල දෛනිකව ආසාදියන් 7,00 ඉක්මවා වාර්තා විය. ප්‍රතිකාර ලබමින් සිටින සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 14,500 ක් ඉක්මවා තිබේ. දෛනික කොවිඩ් මරන 20-30 අතර අගයක පවතින්නේ නිවෙස් තුල සිදුවන මරන, පරීක්ෂනවලට භාජනය නො කෙරෙන තතු තුලය. තවමත් රට තුල පැතිරෙන්නේ කොවිඩ්-19 වෛරසයේ ඉහල ව්‍යාප්තියක් හා මරන අනුපාතයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයයි.

මෙවැනි අන්තරායකාරී තත්වයක් තුල, පාසල් විවෘත කර තබා ගැනීම දරුවන්ගේ හා ගුරුවරුන්ගේ සෞඛ්‍යය හා ජීවිත අනතුරේ හෙලීමක් වන බවත් වසංගතයේ ව්‍යාප්තිය තවදුරටත් වේගවත් කරන බවත් පෙන්වා දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව, වසංගතය මැද පාසල් විවෘත කිරීමට එරෙහි වන ලෙස සියලු දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අවශේෂ කම්කරු පීඩිත මහජනයාගෙන් ඉල්ලා සිටී.

“වසංගතය සමග ජීවත් වනු” යන ආන්ඩුවේ “නව සාමාන්‍ය” පිලිවෙතට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වෙමින් වසංගතය ගෝලීය පරිමානව අවසන් කිරීමේ කර්තව්‍යයට උරදීමේ තීරනාත්මකභාවය අපි ඒ සමගම අවධාරනය කරන්නෙමු.

පාසල් විවෘත කිරීමට ආන්ඩුව යුහුසුලු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය හා ඔවුනගේ අනාගතය සම්බන්ධ කවර හෝ උත්සුකයකින් නොවේ. ලොව පුරා සහචර ධනපති ආන්ඩු සේම රාජපක්ෂ ආන්ඩුව ද මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා ආර්ථිකය මුලුමනින්ම විවෘත කර දහස් සංඛ්‍යාත කම්කරුවන් ඒකරාශී වන වැඩබිම්, වෙලඳසැල් හා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ.

දරුවන් නිවෙස් තුල රැඳී සිටීම කම්කරුවන් වැඩබිම් තුලට ගාල් කිරීමට බාධාවක් ලෙස දැක ගන්නා ලොව පුරා පාලකයෝ දරුවන්ගේ ජීවිත විනාශ වනු දැක දැකත්, පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් විවෘත කර ඇත්තාහ.

මෙම සාපරාධී පිලිවෙත මගින් ලංකාවේත් ලෝකය පුරාමත් මේ වන විට මනුෂ්‍ය ජීවිත මිලියන 5 ක් බිලිගෙන මිලියන 250කට අධික සංඛ්‍යාවක් ආසාදියන් බවට පත් කර තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය ඇන හිටවා ඇත.

මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ලාභ‌ය තැබීමේ මෙම පිලිවත වෛද්‍ය විද්‍යාඥයින්ගේ නිර්දේශ නොතකයි. පසුගිය ඔක්තෝබර් මාසය වන විට ලංකාවේ සමස්ත ආසාදිත ලමුන් සංඛ්‍යාව 59,000 ක් තරම් ඉහල අගයක් ගෙන තිබුනි. ඉහල මරන අනුපාතයක් පෙන්වමින් ඉන් දරුවන් 67 ක් මරනයට පත්ව ඇත.

වෛරසයට ගොදුරු වූ එම දරුවන් අතර, වෛරසයට එරෙහිව නිපදවන ප්‍රතිදේහ මගින් හෘදය, වකුගඩු වැනි ඉන්ද්‍රියන් අක්‍රිය කරවන බහුවිධ ඉන්ද්‍රීය ප්‍රදාහය නැමැති රෝගී තත්වයක් පැතිර ගිය බවත් ඉන් කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහල පිරී ගිය බවත් එම රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත ඔක්තෝබර් 17 දා ප්‍රකාශ කලේ ය. පසුගිය සතිය තුල යලි රෝහලේ ප්‍රතිකාර ලබන ආසාදිත දරුවන් ගේ අගය වැඩිවී ඇති බැවින් පාසල් යලි වසා දැමීමට සිදුවිය හැකි බව එම රෝහලේ වෛද්‍ය දීපාල් පෙරේරා දින දෙකකට පෙර ප්‍රකාශ කලේය.

වෛද්‍යවරුන්ගේ මෙම අනතුරු ඇඟවීම් තිබියදී, “පාසල් වසා දැමීම දරුවන්ගේ අයිතීන්ට හා අනාගතයට එරෙහිවීමක්” යයි ජන මාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ඊයේ පාර්ලිමේන්තුවේදී කුහක ලෙස ප්‍රකාශ කලේය. එහි අර්ථය වනුයේ, දරුවන් කොපමන ආසාදිත වුවද, ආන්ඩුව මෙවර පාසල් වසා නොදමන බවයි.

“මහජන ඒකරාශීවීම් වැඩි ස්ථානවලින් වෛරසය ආසාදිත වීම් ඉහල ගොස් ඇතැ” යි ද වෛරසය පාලනය කිරීමට එම ස්ථාන “අවම” කල යුතු යයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුනරත්න මේ සතියේ තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කලා ය.

ලමයින් හා ගුරුවරුන් සිය ගනනක් ඇතැම් විට කිහිප දහසක් සිටින පාසල් පත්ව ඇත්තේ වසංගතය බෝ කරන මධ්‍යස්ථාන බවටයි. තද බදයෙන් යුත් පොදු ප්‍රවාහන සේවා භාවිත කොට විවිධ ප්‍රදේශවලින් සංක්‍රමනය වන දරුවන් හා ගුරුවරුන් අතරින් ආසාදිතයන් දින පතා වාර්තා වන්නේ ඒ හේතුවෙනි. එසේම, කෙලිදෙලෙන් යුත් දරුවන්ගෙන් බරපතල සෞඛ්‍යය පිලිවෙත් රැකීමක් කිසිසේත් අපේක්ෂා කල නො හැක.

එසේ වුවත්, ආන්ඩුව, සෞඛ්‍යය බලධරයින් හා ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයන් “නව සාමාන්‍යය” යටතේ වසංගතය සමග ජීවත් වීමට දරුවන් පුරුදු කරන්නැයි දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිති. කම්කරු පීඩිත මහජනයා ඔවුනගෙන් ඇසිය යුත්තේ ඒ කොපමන ජීවිත විනාශයක් හරහා කොපමන කාලයකට ද ? වසංගතය සමග ජීවත් වන්නේ කා වෙනුවෙන් ද ? යන ප්‍රශ්නයි.

අනෙක් අතින් “එන්නත්කරනය වසංගතයට ඇති එකම විසඳුම” යයි ආන්ඩුව නගන කුතර්කය ජාත්‍යන්තර වර්ධනයන්ගෙන් යලි යලිත් නිෂ්ප්‍රභා වී තිබේ. ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයකින් එන්නත්කරනය සිදු කර ඇති ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපාකරයේ කර්මාන්ත ශාලා හා පාසල් විවෘත කිරීමෙන් දැන් උද්ගතව ඇත්තේ වසංගතයේ පෙර නොවූ විරු මරන හා ආසාදිතයන්ගේ ඉහල නැගීමකි.

ඇමරිකාවේ ආසාදනය වන දරුවන්ගේ සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ගියේ අඛන්ඩව 14 වන වතාවටයි. පසුගිය සතියේ සිදු වූ මරන 07 ත් සමග එරට සමස්ත ලමා මරන සංඛ්‍යාව 625 ක් දක්වා ඉහල නැගුනි. බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුලු යුරෝපාකරයේ තත්වය මීටත් වඩා නරක අතට හැරී තිබේ. ඉදිරි සිසිර ඍතුව තුල යුරෝපය තුල තවත් මිලියන භාගයකගේ ජීවිත අහිමි වනු ඇතැයි ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවයි.

විද්‍යාත්මක නිගමන මත පදනම්ව වසංගතය අවසන් කිරීමටත් දරුවන්ගේ ජීවිත බේරා ගනිමින් අධ්‍යාපනය ඉදිරියට ගෙන යෑමටත් අපි පහත ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙමු.

· පාසල් තාවකාලිකව වසා දමනු ! වසංගතය නිසි පරිදි පාලනය කරන තුරු සැමට ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පරිගනක හා අධිවේගී අන්තර්ජාල පහසුකම් නොමිලේ සපයනු!

· කම්කරුවන්ට හා අවශේෂ ජන කොටස්වලට වැටුප් හා දීමනා සහිතව අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමනු !

· රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂන ඉහල දැමීමට, නිසි නිරෝධායනයට යොමු කිරීමට හා සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීමට බිලියන ගනනින් මුදල් වෙන් කරනු!

· ලෝකවාසී සෑම කෙනෙකුටම හැකි ඉක්මනින් නොමිලේ එන්නත ලබා දෙනු!

· ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය පරිමාන සම්බන්ධීකෘත වැඩපිලිවෙලක් යටතේ වසංගතය මුලිනුපුටා දමනු!

වසංගතයේ මුල සිටම අපි පෙන්වා දුන් පරිදි වසංගතය අවසන් කිරීම හුදු වෛද්‍ය විද්‍යාත්මක කාරනයක් නොවේ. එය, ධනේශ්වර ක්‍රමයට එරෙහි ලෝක කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන දේශපාලන අරගලයකි.

ධනපති ක්‍රමයට තදින්ම බද්ධව සිටින ලොව පුරා වෘත්තීය සමිති වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට ආන්ඩුවලට පූර්න පිටුබලය දී තිබේ. ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය ඇතුලු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, මාස තුනක් ඉක්මවා ඉදිරියට ගිය ලංකාවේ ගුරුවරුන්ගේ වැටුප් අරගලය ආන්ඩුව හා සම්මුතියකින් පාවා දෙනු ලැබූවේ ආන්ඩුව පොරොන්දු වී ඇති සොච්චම් වැටුප් වැඩි කිරීම “ජයග්‍රහනයක්” ලෙස හුවා දක්වමිනි.

වසංගතයේ අන්තරාය මැද පාසල් විවෘත කිරීමට එරෙහිව දෙමාපියන් අතර විශාල විරුද්ධත්වයක් පැවතිය ද කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන දේශපාලන අරගලයකට මුලුමනින්ම හතුරු මෙම සමිති පාසල් විවෘත කිරීමට ආන්ඩුවට සහයෝගය ලබා දුන්හ.

වසංගතය මගින් ගැඹුරු කර ඇති ලෝක ධනේශ්වර අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීමටත්, වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපයටත් එරෙහිව සෑම රටකම බලගතු පන්ති සටන් අවුලුවා තිබේ. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක වැඩපිලිවෙල යටතේ මෙම අරගල ඒකාබද්ධ කිරීමට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව ගුරුවරු හා අවශේෂ කම්කරු පන්තිය අතර සටන් වැඳ සිටී.

ක්‍රියාකාරී කමිටුවල එල්ලය වන්නේ ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීම මගින් ඉල්ලීම් දිනා ගත හැකිය යන වෘත්තීය සමිතිවල බංකොලොත් වැඩපිලිවෙල ප්‍රවර්ධනය කිරීම නොව, ඊට විපරීතව කම්කරු පන්තියේ කාර්මික දේශපාලන ශක්තිය බලමුලු ගන්වා පරපුටු ධනපති ක්‍රමය පෙරලා දමා මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන ලෝක සමාජවාදී වැඩපිලිවෙල සඳහා සටන් වැඳීමයි.

මෙම වැඩපිලිවෙල මත පාදකව ඔබගේ පාසලේ, වැඩබිමේ හා නිවහන් ප්‍රදේශයේ වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් මෙම අරගලයට ඒකාබද්ධ වන ලෙස අපි කම්කරුවන්ට සහ ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු.

Loading