අයවැය පිලිබඳ සසප රැස්වීම සඳහා උද්ඝෝෂනය

"ආන්ඩුව අයවැයෙන් ආරක්ෂක වියදම් වැඩි කරල තියෙන්නෙ මහජනතාව එක්ක යුද්ධ කරන්න" යැයි කම්කරුවෝ පවසති

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය මගින්, රාජ්‍ය සහ සමාජ සුබසාධන ක්ෂේත්‍රයන් දැවැන්ත කප්පාදුවකට ලක් කෙරෙන අතරම, වැටුප් කැටිකොට මහජනතාව මත ඉහල බදු පටවා ඇත. මෙම කප්පාදු අයවැයට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙමින් පවතින්නේ බරපතල විරෝධයකි.

බැසිල් රාජපක්ෂ (ඡායාරූපය විපීඩියා වෙතිනි)

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය ගැඹුරු වෙමින් පවතී. අයවැය කතාවෙන් දින කිහිපයකට පසු, බොර තෙල් ආනයනය සඳහා ගෙවීමට ප්‍රමානවත් විදේශ මුදල් රට සතුව නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ එකම තෙල් පිරිපහදුව වසා දමන ලදී. නොවැම්බර් 22 දින වාර්තාවූයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව උද්ධමනය සැප්තැම්බර් මාසයේ 6.2% සිට ඔක්තෝබර් මාසයේදී 8.3% දක්වා ඉහල ගොස් ඇති බවය. ”වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටීස්” වලට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය මාස 47 ක ඉහලම අගයක් පෙන්නුම් කරයි.

සෞඛ්‍ය සහ වැවිලි ක්ෂේත්‍රයන්හි කම්කරුවෝ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව අරගලයන්ට පිවිස සිටිති. වරාය, විදුලිබල මන්ඩලය හා ඛනිජ තෙල් අංශය පුද්ගලීකරනය කිරීමට එරෙහි උද්ඝෝෂන දෙසෑම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත ය.

ආන්ඩුවේ කප්පාදු අයවැයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී ක්‍රියාමාර්ගය පැහැදිලි කරන ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීමක්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින්, නොවැම්බර් 28 ඉරිදා පවත්වනු ලබන්නේ මෙම තතු තුලයි. එම රැස්වීම ගොඩනැගීම එල්ල කර ගනිමින්, සසප සහ සසජාතශි නියෝජිතයෝ, කම්කරු හා පීඩිත කොටස් අතර සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන්ගෙන් ඒ සඳහා ලැබෙනුයේ උනන්දු සහගත ප්‍රතිචාරයකි.

කලුතර ප්‍රදේශයේ ගුරුවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කියා සිටියේ 'සියලු ධනපති හා ව්‍යාජ වාම පක්ෂ ආන්ඩුවේ ප්‍රහාර පිලිබද බොරු විරෝධතා දක්වන තත්වයේදී සසප විද්‍යාත්මක විශ්ලේෂනයක් මත සමාජවාදී ක්‍රියා මාර්ගය සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් සංවිධානය කිරීම අගය කරන' බවයි.

ගුරුවරුන්ට අයවැයෙන් වැඩිකල සොච්චම ගැන කරුනු දක්වමින් ඔහු මෙසේ කීවේය: 'ගුරුවරුන් ඉල්ලූ ප්‍රමනයෙන් තුනෙන් පංගුවයි වැඩි කලේ. වැඩිවන බඩුමිල යටතේ මේ වැඩිවීම වාෂ්ප වෙලා යනවා. සසප මූලිකත්වයෙන් ගොඩ නගා ඇති ගුරු-සිසු-දෙමව්පිය ක්‍රියාකාරී කමිටුව, ගුරු වැටුප් අරගලය සම්බන්ධයෙන් කරන ලද වැදගත් මැදිහත්වීමෙන් පැහැදී සිටින මම අනිවාර්යෙන්ම මේ රැස්වීමට සහභාගි වෙනවා.'

අයවැය පිලිබඳ සසප ප්‍රකාශය කියවා තිබූ කොලඹ වරායේ ටග් යාත්‍රා අංශයේ සේවකයෙක්, ඉන් ඉදිරිපත්කොට තිබූ විශ්ලේෂනය සහ ක්‍රියාමාර්ගයට එකඟතාව පල කරමින් මෙසේ පැවසීය. 'අය වැයෙන් පුද්ගලීකරනය ඉදිරියට ගෙනයන බව ප්‍රකාශයට පත්වෙනවා. රාජ්‍ය අංශයෙ කම්කරුවන් බරපතල අනතුරකටයි මුහුන දෙන්නෙ. යලිත් කොලඹ වරායෙ අක්කර 13ක් චීන සමාගමකට පවරන්න ආන්ඩුව සූදානම්. කම්කරුවො විරුද්ධයි. නමුත් අයවැයෙන් පෙන්වන්නෙ මේ වැ ඩපිලිවල ඉදිරියට ගෙන යන බවයි.'

“වෘත්තීය සමිති, පසුගිය පෙබරවාරි මාසෙ වරායෙ බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමට පැවරීමට එකගව, පුද්ගලී කරනයට එරෙහි වරාය කම්කරු සටන පාවා දුන්නා. කම්කරුවො වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු යැයි සසප ඉදිරිපත් කරන අදහස නිවරැදිබව සමිතිවල වැඩකටයුතු වලින් යලි යපිත් තහවුරු වෙනවා.'.

යාපනයේ රජයේ සේවකයෙකු වන රාම් මෙසේ පැවසීය: “මෙම අයවැයෙන් සමාජ සුබසාධන කප්පාදු ඉහල දමලා. සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමට ආන්ඩුව සූදානම් වෙනවා. රජයේ සේවකයන් රජයට බරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිවුවා. ඉන් අදහස් වෙන්නෙ ආන්ඩුව රජයේ රැකියා කැපීමට යන බවයි. මම හිතන්නේ අනාගතයේදී කිසිම කෙනෙකුට රජයේ රැකියා ලබාගන්න බැහැ.”

යාපනයේ තවත් රජයේ සේවකයෙක් වන සින්නතම්බි, “වසංගත තත්ත්වය වැඩි වුනත් ආන්ඩුව අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් වැඩි කලේ නැහැ. අධ්‍යාපන අංශයටත් වැඩි වුනේ නැහැ. නමුත් ආරක්ෂක අංශයට මුදල් වැඩි කරනවා, මම අහන්නේ කාට එරෙහි යුද්ධයකටද? මහජනතාවට එරෙහි යුද්ධයකට ආන්ඩුව සූදානම් වෙන්නෙ' යයි පැවසීය.

ඇබොට්ස්ලී වත්තේ කම්කරු උද්ඝෝෂනයක්

හැටන් හි ඇබොස්ට්ලී වත්තේ අනියම් සේවකයෙකු වන එස්.සුන්දරලිංගම්, වතු කම්කරුවන් මුහුනදෙන කොන්දේසි අයවැය මගින් තවත් උත්සන්න කෙරෙන බව කියා සිටියේය. ඔහු එය මෙසේ විස්තර කලේය. “මම වත්තෙන් විශ්‍රාම ගියේ, ගිය අවුරුද්දේ, දැන් වත්තේ වැඩ කරන්නේ අනියම් පදනමේ. එදිනෙදා කෑම වේල හොයා ගන්න අපිට මැරෙනකම්ම වැඩ කරන්න වෙනවා. මේ ආදායම යටතේ ජීවත් වෙන්න අමාරුයි. වතු කලමනාකාරීත්වය අනියම් සේවකයන්ට දිනකට රුපියල් 700 යි ගෙවන්නෙ.

“අනියම් සේවකයන් යොදවා වැඩ කිරීමට කලමනාකරනය උත්සාහ කරන්නේ ඔවුන්ගේ වැටුප ස්ථිර සේවකයාට වඩා රුපියල් 300ක් අඩු නිසා. සියලුම වෘත්තීය සමිතිවල සහයෝගයෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නෙ. කම්කරුවන් වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක්‍රියා කාරී කමිටු ගොඩනැගිය යුතුයි.'

අයවැය සම්බන්ධ දැඩි විරෝධයක් ත්‍රීරෝද රථ රියදුරන් අතර ද වැඩී ඇත. ත්‍රීරෝද රථ රියදුරෙකු වන රතුපස්වල ජූඩ් කියා සිටියේ අය වැය 'දුගීන් සදහා නොව ධනපතීන් සදහා' සකස් වූවක් බවය. 'ඉතා දුෂ්කර කොන්දේසීන්ට මුහුන දෙන අපේ ප්‍රශ්න වලට කිසිම විසඳුමක් නැහැ. කිසිම මාධ්‍යකින් කතා කරන්නෙ නැහැ. රට වසා දැමූ කාලයේ ලීසින් ගෙවීම අත්හිටවන බව ආන්ඩුව කියා සිටියත් ලීසින් සමාගම මගේ රථය ගෙනියන්නයි සූදානම් වුනේ. රු 150000 පොලියට නයක් අරගෙන ලීසින් ගෙවන්න මට සිදුවුනා. ලීසින් මුදලට පොලියත් එකතුකර අයකලා. පසුගිය දින වල ඩීසල් මිල රු 7 කින් ඉහලගියා. බැට්‍රියක මිල රු 11000 සිට 19000 දක්වාඉහල ගියා. නමුත් අපිට කුලී මුදල ඉහල දමන්න හැකියාවක් නැහැ. දැනටමත් හයර් අඩුයි. මහජනයා අත මුදල් නැහැ.”

කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සඳුනි සෝමරත්න, අයවැයෙන් පොලිසියට සහ මිලිටරියට වැඩි අවධානයක් ලබා දීම පිලිබදව කරුනු දක්වමින් ”රජය දිගින් දිගටම කම්කරුවන්ගෙ, ශිෂ්‍යයන්ගෙ අරගල මර්දනය කරන විදිය අපි දැක්කනේ. ශිෂ්‍ය ක්‍රියාකාරීන් ට විරුද්ධව රජයේ මර්දනය දිගින් දිගටම දියත් වෙනව. ඒ වගේම මේ වෙනකොට කැම්පස් වල පොලිස් ඔත්තු කාරයෝ යොදල තියෙනවා. මේ වගේ ලොකු මර්දන වැඩපිලිවෙලක් ආන්ඩුව අරන් යනවා. කොහොමත් ඉදිරි කාලයේදී ශිෂ්‍යයො, මහජනතාව අරගල වලට එනවා කියල ආන්ඩුව දන්නවා එකට තමා මේ අයවැයෙන් මිලිටරියට, පොලීසියට මේ තරම් මුදල් වෙන්කරගෙන සුදානම් වෙන්නේ.

'ඒත් අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මන්ඩලයෙ නායකත්වයෙන් කෙරෙන ආන්ඩුවට බලපෑම් දැමීමේ ශිෂ්‍ය අරගල පරාජය වෙනවා අපි අත්දකිනවා. කම්කරුවන්ට සහ ශිෂ්‍යයන්ට නිවැරදි ක්‍රියාමාර්ගයක් ඉදිරිපහ් කරමින් සසප සහ සසජාතශි පවත්වන රැස්වීම ඉතාම වැදගත්.'

Loading