විශ්වවිද්‍යාල පද්ධතිය ජනාධිපතිගේ ආඥාදායක සැලසුම්වලට යටත් කර ගැනීමේ පත් කිරීම් දිගටම සිදු කෙරේ

විශ්ව විද්‍යාල පරිපාලන නිලතල වලට රාජපක්ෂ ආන්ඩුව කරන පත් කිරීම්, ඒවායේ පැවති සීමිත හෝ ස්වාධීනත්වය මුලුමනින් ම අකාමකා දැමීම ඉලක්ක කර ගෙන ඇත. පසුගිය වසරේ දී විශ්ව විද්‍යාලවල උපකුලපති පත් කිරීම තථ්‍ය වශයෙන් ජනාධිපති යටතට ගනු ලැබූ අතර අනතුරු ව ජනාධිපති රාජපක්ෂ එය භාවිතා කරමින් තම හෙංචයියන් විශ්ව විද්‍යාල තුලට දිගින් දිගට ම පත් කරමින් සිටී.

ඔහු මෙම පත් කිරීම් සඳහා පදනම සකසා ගත්තේ පසු ගිය වසරේ නිකුත් කල ගැසට් පත්‍රයක් මගිනි. 1978 විශ්වවිද්‍යාල පනත යටතේ, අයදුම්පත් කැඳවීමෙන් පසු නිලධාරීන් 21 දෙනෙකුගෙන් සමන්විත මන්ඩලයක ඡන්දය විමසීමෙන් උපකුලපතිවරයා තෝරාගත් ක්‍රමවේදය එමගින් අහෝසි කෙරී, උසස් අධ්‍යාපන ඇමතිවරයාට සෘජුව බලපෑම් කල හැකි පංචපුද්ගල කමිටුවක නිර්දේශ මත උපකුලපතිවරුන් පත්කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කෙරුනි. නව ක්‍රමවේදය යටතේ, නිර්දේශිත නම් තුනක් අදාල කමිටුව විසින් ජනාධිපතිට ඉදිරිපත් කෙරෙන අතර ඒවා ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පවා ජනාධිපති සතු වේ.

මෙහි දුරදිග යන ඇඟවුම් දැන් විශද ව ඇත.

● පසුගිය මාසයේ දී කොලඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස වෘත්තීය සමිති නායකයෙකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව පත් කරනු ලැබී ය. රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට මූලික ක්‍රියාකලාපයක් ඉටු කොට ඇති මොහු දැන් වර්ධනය වන පන්ති අරගල රැල්ල රාජපක්ෂ ආන්ඩුවේ අත යට දැමීමට ප්‍රතිගාමී ක්‍රියාකලාපයක් ඉටුකරමින් සිටී.

● මේ වසරේ මුල දී පෙබරවාරියේ දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට නාම යෝජනා කැඳවීම් කරද්දී අද්මිරාල්වරයෙකු ද උපකුලපති ධූරයට අයදුම් කලේ ය.

● විශ්ව විද්‍යාලයේ පාලක සභාව ජූනියේ දී විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට නම් කල නම් තුන ම ජනාධිපති ප්‍රතික්ෂේප කලේ ය. පසු ව වැඩෙන විරෝධය හමුවේ ඔහු එම ප්‍රතික්ෂේපිත නම් අතර සිටි පී.එම්.සී.තිලකරත්න එම තනතුරට පත් කිරීමට කටයුතු කලේය.

● අගෝස්තුවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය උපුල් දිසානායකගේ විශ්‍රාම යාමත්, නව උපකුලපති මහාචාර්ය එම්.ඩී.ලමාවංශ තම ධූරයේ වැඩ භාර ගැනීමත් උදෙසා අගෝස්තු 4 වැනි දා සනාථන මන්දිර පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවය විශ්ව විද්‍යාලයේ විනය පරිපාලකයන් නිල ඇඳුම්වලින් සැරසී ගෙන හමුදා උත්සවයක ආකාරයෙන් සංවිධානය කර තිබුනි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පරිපාලනය සිසුන්ගේ නිදහස සීමා කිරීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන යයි. පසුගිය වසරේ උපකුලපති විශ්ව විද්‍යාලයේ සිටින බුද්ධි අංශ ඔත්තුකරුවන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය. නව උපකුලපතිවරයා 2020 මාර්තුවේ සිට රුසියාවේ තානාපති ලෙස කටයුතු කල අතර, ඔහු, ජනාධිපති රාජපක්ෂ බලයට ගෙන ඒමට ප්‍රතිගාමී මෙහෙවරක් ඉටු කල වියත් මග ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංස වැඩ භාර ගැනීම නිමිත්තෙන් පැවැත් වුනු උත්සවය. විශ්ව විද්‍යාල විනයාරක්ෂකයන් මිලිටරි ආචාර පන්නයේ පිලිගැනීමක යෙදී සිටින ආකාරය. [ඡායාරූපය මූලාශ්‍රය: පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ෆේස්බුක් ගිනුම]

මෙ ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය තුල පරිපාලනය ජනාධිපතිගේ ඍජු බලපෑමට යටත් වන ආකාරයෙන් පරිපාලනයේ ඉහල ම තනතුරු සඳහා පත් කෙරීම් සිදු කෙරී ගෙන යන්නේ, ශිෂ්‍යයන්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රජාවට එරෙහිව එල්ල කෙරුනු දේශපාලන මර්දනයක් දියත් වී ඇති පසුබිමකයි,

යාපනයේ විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන දෙමල ජාතිකවාදී දේශපාලනය කොලඹ ආන්ඩුවේ නියෝග පරිදි තහනම් නොකරීම හේතුවෙන් එහි හිටපු උපකුලපති රත්නම් විග්නේශ්වරන් එවකට පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් නෙරපා හැරුනි. එම විශ්ව විද්‍යාලයේ ම නීති පීඨයේ පීඨාධිපති ව සිටි කුමාරවඩිවේල් ගුරුපරන් සිවිල් යුද සමයේ අතුරුදන් වූ දෙමල තරුනයන්ගේ නඩු කටයුතුවලට පෙනී සිටීම හේතුවෙන්, ඔහුට අධිකරන කටයුතුවල නිරතවීම වාරනය කරමින් විශ්ව විද්‍යාලයේ සනාථන සභාව වාරනයක් පැන වූයේ මිලිටරියේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ විධාන යටතේ ය.

විශ්ව විද්‍යාල තුල රාජ්‍ය බුද්ධි අංශවල ඔත්තුකරුවන්, ශිෂ්‍යයන්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කම්කරුවන් ලෙස යොදවා ඇති බවට 2020 නොවැම්බරයේ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න ප්‍රකාශ කලේය. 2021 ඔක්තෝබර් මාසයේ දී, පලමු වසරේ සිසුන් හමුවේ සිදු කල කතාවක දී රුහුනු විශ්ව විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක සිදු කල ප්‍රකාශයකින් එය නැවතත් සනාථ ව ඇත. කොලඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ට සමාජ මාධ්‍ය වාරනයක් පනවා ඇති අතර මේ බදු ම මර්දන නීතිරීති මගින් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ දේශපාලන වැඩකටයුතු සීමා කර ඇත.

මෙම මර්දනීය පියවර දැඩි වන්නේ කොලඹ ආන්ඩුවේ ආයෝජක ගැති වැඩපිලිවෙලට එරෙහි ව වැඩෙන මහජන විරෝධය අඩස්සිගත කිරීමේ අරමුනෙනි. කොලඹ නගරයේ වානිජමය වටිනාකමකින් යුතු බිම්වල පිහිටා ඇති රාජගිරියේ සහ මුත්තයියා මාවතේ නේවාසිකාගාර වසා දමා එම ඉඩම් අත්පත් කර ගැනීමට දරන උත්සහයන්ට කොලඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අතර විරෝධය වැඩී ඇත.

අධ්‍යාපනය පෞද්ගලීකරනය වේගවත් කිරීමටත් මිලිටරීකරන වැඩපිලිවෙලේ කොටසකුත් වශයෙන් ගෙන එනු ලැබූ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි ව පුලුල් මහජන විරෝධයක් එල්ල විය. මෙම විරෝධතාවල දී අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබ) කැඳවුම්කරු ඇතුලු නායකයන් ද, අවිශිබ ට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ද දින සියයකට ආසන්න කාලයක් ඇප ලබා නොදී රඳවා තබා ගන්නා ලදි.

ඉහල යන ජීවන වියදම් සමග කම්කරුවන්ගේ අරගල වර්ධනය වන අතර අනධ්‍යයන කම්කරුවන් තම වැටුප් උදෙසා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ දිගින් දිගට ම අරගලයට පැමිනි අතර වෘත්තීය සමිති විසින් යට ගසා ඇති මෙම ප්‍රශ්න තවමත් නොවිසඳී උග්‍ර වෙමින් පවතී.

ජනාධිපති රාජපක්ෂ විශ්ව විද්‍යාල පද්ධතියට තම හෙංචයියන් පත් කිරීම හුදෙක් ඔවුන්ට වරදාන වරප්‍රසාද පිරිනැමීම පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. නැගෙන පන්ති අරගල රැල්ල මධ්‍යයේ සිසුන්ගේ වැඩෙන කැරලිකාරීත්වයත්, එම අරගල තුල තරුනයන්ට ඉටු කල හැකි සාධනීය භූමිකාවත් සම්බන්ධයෙන් දැනුවත් ධනපති පාලක පන්තිය එය පූර්වභංග කිරීමට ගෙන යන මෙම වැඩ කටයුතු, මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩ නංවා ගැනීමට ඔහු ගෙන යන සැලසුම් සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

රාජපක්ෂ ආන්ඩුව විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක කරන මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී වැඩකටයුතු පරාජය කිරීම, ආන්ඩුවේ කම්කරු පන්ති විරෝධී ආඥාදායක සැලසුම්වලට එරෙහි අරගලයෙන් වෙන්කල නොහැක. මේ සඳහා ආරම්භකත්වයක් ලෙස සමාජ සමානතාවය සඳහා ශිෂ්‍යයෝ සහ තරුනයෝ ව්‍යාපාරය විශ්ව විද්‍යාල තුල සිටින ඔත්තුකරුවන් ජාලය අහෝසි කල යුතු බවට කැඳවමින් උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. සසජාතශි “විශ්ව විද්‍යාල තුල යොදවා ඇති පොලිස් ඔත්තුකරුවන්ගේ අනන්‍යතා හෙලිකොට ඔවුන් වහා ඉවත් කරනු!” යන මැයෙන් යුතු තම නිවේදනයේ මෙසේ සඳහන් කලේ ය:

'මෙම රාජ්‍ය මර්දනය යටතේ තලා දැමෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සමත් ඓතිහාසික සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පංතිය යි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පංතිය දෙසට හැරී, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිව සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට උරදිය යුතුයැයි සසජාතශි යලියලිත් අවධාරනය කරන්නේ එබැවිනි.'

Loading