ඔමික්‍රෝන් පිලිබඳ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් නො තකා ආන්ඩුව කොවිඩ්-19 සීමාකිරීම් ලිහිල් කරයි

[මෙහි පලවන්නේ Sri Lankan government eases COVID-19 restrictions ignoring scientists’ warnings about Omicron මැයෙන් 2021 දෙසැම්බර් 6දා පලවූ සමාජවාදී සමානතා පක්ෂයෙහි ප්‍රකාශයේ පරිවර්තනය යි.]

දැනටමත් බොහෝ රටවල් වලට ඇතුලු වී තිබෙන, නවතම ඔමික්‍රෝන් ප්‍රභේදය පිලිබඳ ව ශ්‍රී ලංකාව ද ඇතුලු ජාත්‍යන්තර විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, කොවිඩ්-19 වසංගතයට සම්බන්ධ සීමිත සෞඛ්‍ය පියවරයන් තවදුර ලිහිල් කිරීමට, ලංකාවේ සෞඛ්‍ය බලධාරීහු කටයුතු කල හ. සිකුරාදා, ලංකාව තුල පලමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනාගනු ලැබී ය.

අඛන්ඩ ව පවතින වසංගතය හා සීමාකිරීම් ඉවත් කිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දක්වන නිශ්ශබ්දතාව, සියලු ධනපති රටවල් විසින් අනුයනු ලබන, “වෛරසය සමග ජීවත් වීමට” මහජනයාට බල කරන ඔහුගේ ආන්ඩුවේ සාපරාධී පිලිවෙතෙහි ප්‍රකාශනයකි.

කොලඹ පැවති කොරෝනා වෛරසයට එරෙහි ප්‍රසිද්ධ එන්නත්කරන වැඩසටහනක දී, ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි ඉන්දියාවේ සේරම් ආයතනීය අනුවර්තනය වන කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා ගැනීමට පෙලගැසී සිටින වැඩිහිටි ලාංකිකයෝ, සඳුදා, ජුනි 28, 2021 (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

දසදහස් ගනනකගේ ජීවිත බිලිගනිමින් හා ලක්ෂ ගනනක් ආසාදනය කරමින්, කොරෝනා වෛරසයට බහුල වසයෙන් ව්‍යාප්ත වීමට ඉඩ දී ඇති සමස්ත පාලක පන්තියේ හා ආන්ඩුවේ මිනීමරු පිලිවෙතට කම්කරු පන්තිය විරුද්ධ විය යුතු ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුනවර්ධන නිකුත් කල නවතම නිවේදනය, මංගල උත්සව හා අනෙකුත් අවස්ථාවන් සඳහා වැඩි පුද්ගල සහභාගිත්වයකට ද අවන්හල්වල වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ද අවසර දෙයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මැද සිට, රටෙහි ප්‍රධාන කාර්මික හා වානිජ මධ්‍යස්ථාන විවෘත ව තැබීමට ආන්ඩුව ක්‍රියා කලේ ය.

මෙවර දික්කරන ලද එක ම දැඩි සීමාකිරීම වන්නේ ද සති දෙකකට පෙර පනවන ලද -විරෝධතා හා ප්‍රසිද්ධ රැස්වීම් ඇතුලු- ප්‍රසිද්ධ ඒකරාශී වීම් තහනම් කිරීම යි. දැනට ලංකාව තුල දෛනික සිදුවීමක් වන ඉහල වැටුප්, වැඩිවර්ධිත කොන්දේසි, පොහොර සහනාධාර ආදිය ඉල්ලමින් කම්කරුවන් හා ගොවීන් නිරත වන විරෝධතා හා පෙලපාලි සුවිශේෂී වසයෙන් ඉලක්ක කරගනිමින් මෙම උපදේශය නිකුත් කරන ලදී.

එහෙත්, අඛන්ඩ ව පවතින වසංගතය හා නව ප්‍රභේදයක් ඉස්මතු වී පිලිබඳ ව, ලංකාවේ ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් මීට වෙනස් ආස්ථානයක් ගෙන ඇත.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවී රන්නන්-එලිය, දි අයිලන්ඩ් පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය අශුභ ආරංචියක් බවටත්, “අපේ වෛද්‍ය සංස්ථාපිතය හා ආන්ඩුවේ බලධාරීන් සිතන ආකාරය සැලකූ විට, එම ප්‍රභේදය ඇතුලු වීම වැලැක්වීමට අවශ්‍ය දේශසීමා පාලනයන් පැනවීමේ දී එක්කෝ මන්දගාමී වීම හෝ නැතහොත් එසේ කිරීම ප්‍රතික්ෂේප කරනු ඇති” නිසා, “ලංකාවේ අපට එය නිශ්චිත ව ම අශුභ ආරංචියක්” බවටත් අනතුරු ඇඟවී ය.

“හුදෙක් ම වෛරසය භාරගැනීමේ වැරදි මූලෝපාය ලෝකය විසින් අනුගමනය කරමින් සිටින” නිසා, “අන් කවරදාටත් වඩා වෛරසය සංසරනය වෙමින් තිබෙන තතු” තුල, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව වැනි රටවල “වෛරසය දිගට ම ප්‍රභේදකරනය වීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතින” බව ඔහු කීවේ ය.

“නව ප්‍රභේදය සතුව ඉතා ඉහල සම්ප්‍රේෂ්‍යතාවක් හා එන්නත් මගහැරයාමේ හැකියාවක් පවතින” බවට, මාධ්‍ය හමුවක දී අනතුරු ඇඟවූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි පද්මා ගුනරත්න, පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා ය.

ඉහල නව පැතිරීමක් පිලිබඳ ව අනතුරු ඇඟවීමට වෛද්‍ය විශේෂඥයන් ව පොලඹවමින්, මෑත සති කිහිපය තුල දී ඉහල ආසාදන හා මරන සංඛ්‍යාවක් ලංකාව තුල වාර්තා වෙමින් තිබෙන තතු තුල පවා, ආන්ඩුවේ බලධාරීන් සීමාකිරීම් ලිහිල් කර ඇත.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 543ක් වූ ඔක්තෝබරයේ මරන ගනන, නොවැම්බරයේ දී 552 දක්වා වැඩි විය. ඔක්තෝබරය අග වන විට 500ක් පමන දක්වා අඩු වුනු නව දෛනික ආසාදන ගනන, දැන් 800ට ආසන්න ගනනක් දක්වා වැඩි වී තිබේ.

ආන්ඩුව හිතාමතා ම ක්‍රමානුකූල පරීක්ෂන, ආසාදිතයන් හඳුනාගැනීම හා ප්‍රතිකාර කිරීම සිදු නො කරන තත්ත්වයක් තුල, මෙම සංඛ්‍යා ලේඛන අවතක්සේරුගත ඒවා වේ.

එක්සත් ජනපදය හා යුරෝපය තුල වසංගතය ඉහල නගිමින් පැවතුන ද ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි ව ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගැනීමට ආන්ඩු අසමත් ය. නිල මරන සංඛ්‍යාව 470,000ක් වන ඉන්දියාවේ ආන්ඩුව හුදෙක් ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑමට ලක්වූ රටවල සිට පැමිනෙන සංචාරකයන් පරීක්ෂනයට බඳුන් කරන ලෙස කැඳවුම් කර ඇත.

ඒ ආකාරයට ම, ලංකාවේ ආන්ඩුව අප්‍රිකානු රටවල් කිහිපයකින් පැමිනෙන සංචාර නවත්වා ඇති නමුත්, තවමත් ඉතිරි ව පවතින සීමිත අභ්‍යන්තර සීමාකිරීම් ඉවත් කිරීම දිගට ම කරගෙන ගොස් තිබේ. අන්තරාය කොතරම් දරුනු වුවත්, ආන්ඩුවේ අතීත වාර්තාව ප්‍රදර්ශනය කරන පරිදි, ආර්ථිකය යලි විවෘත කිරීමට එය අධිෂ්ඨානවත් ව සිටී.

“කලමනාකරනය කරගැනීමට අපි සමත් වුනා” යි කියමින්, අවශ්‍ය මහජන සෞඛ්‍ය සීමා පැනවීම, ජනාධිපති රාජපක්ෂ විසින් ආරම්භයේ දී ම ප්‍රතික්ෂේප කලේ ය. ගෝලීය වසංගතය පිලිබඳ පලල් මහජන උත්සුකතාවට ආන්ඩුව මුහුන දුන් තතු තුල, පසුගිය වසරේ මාර්තු 20දා අගුලු දැමීමක් පැනවීමට ඔහුට බලකෙරුනි. ඉන් සති හතරකට පසුව, මහ ව්‍යාපාරිකයේ කැඳවුමට හිස නමමින් සහ එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් අනුගමනය කරමින්, රාජපක්ෂ යලි විවෘත කිරීම ආරම්භ කලේ ය.

වසංගතයේ නව ප්‍රධාන ඉහල නැගීම් සිදුවෙද්දී, “නව සාමාන්‍යය” තොරොම්බල් කරමින්, ආන්ඩුව කලේ සීමිත සීමාපැනවීම් සිදුකිරීම පමනි. දෛනික ව දහස් ගනනක් ආසාදනය කරමින් සහ දෛනික මරන සංඛ්‍යාව 200 දක්වා නංවමින්, ඉහල ආසාදන හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුල ඉස්මතු වූ විට, මේ වසරේ අගෝස්තු 21දා සිට ඔහු අකමැත්තෙන් සති හයක් රට අගුලු දැමුවේ ය.

ඔක්තෝබර් 1දා සිට, ලංකාවේ බලධාරීහු සීමාකිරීම් ඉවත් කිරීම ඇරඹූ හ. ඔක්තෝබර් 21දා සිට පාසල් යලි විවෘත කිරීම අවසන් ප්‍රධාන පියවර වූ අතර, එය නොවැම්බර් 22දා සම්පූර්න කරන ලදී. අනාරක්ෂිත කොන්දේසි යටතේ, මිලියන 4.5ක් වන පාසල් ශිෂ්‍යයන්ට හා 300,000ක් ගුරුවරුන්ට ආපසු පාසල් පැමිනීමට නියෝග කෙරුනි.

ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුලු ගුරු වෘත්තීය සමිති, දින 100ක් ඇදුනු ඔන්ලයින් අධ්‍යාපන වර්ජනය අවසන් කොට, ගුරුවරුන්ගේ ඉහල වැටුප් ඉල්ලීම් පාවා දී, පාසල් යලි විවෘත කිරීමට සහයෝගය දුන් හ.

නොවැම්බරය අවසන් වන විට අවම වසයෙන් සිසුන් 1,000ක් හා ගුරුවරුන් 200ක් ආසාදනය වී තිබුනි.

ආන්ඩුවේ පිලිවෙත මානව ජීවිතවලට ඉහලින් ලාභවලට ප්‍රමුඛතාව දී ඇත. 2022 අයවැය ඉදිරිපත් කරමින්, “කොවිඩ්-19 වසංගතය කල්තබා පාලනයක්” තිබුනු බව ව්‍යාජ ලෙස කියාපෑ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මෙසේ උදම් ඇනුවේ ය: “මහජන ජීවිතවලට සාමාන්‍ය තත්ත්වය පෙරලා පැමින තිබෙනවා. මෙය සමස්ත රට ම කඩිසර වැඩපොලක් බවට පත්කර තිබෙනවා.”

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ දරිද්‍රතාව ගැඹුරු වෙද්දී, මහ ව්‍යාපාරික සමාගම් සුවිශාල ලාභ ලැබීම යි.

ඩේලිඑෆ්ටී පුවත්පතට අනුව, ලංකාවේ ලැයිස්තුගත සමාගම්වල ඒකාබද්ධ ලාභ, තුන්වන කාර්තුවේ දී එදාමෙදාතුර ඉහල ම අගය වන රුපියල් බිලියන 110 දක්වා ලඟා විය. “සියලු ඓතිහාසික සමස්ත වසර ප්‍රතිඵල ඉක්මවා යමින්,” වසරේ පලමු මාස නවය තුල ඔවුන් රුපියල් බිලියන 292ක් ඉපයූ අතර, සමස්ත වර්ෂයේ දී එය රුපියල් 400 ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කරනු ලැබේ.

මීට විපරීත ව, ලෝක බැංකුවේ වාර්තාවකට අනුව, දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන ජනගහන අනුපාතය 2019 දී සියයට 9.2 සිට 2020 දී සියයට 11.7 දක්වා ඉහල නැගුනි. පසුගිය වසර තුල පමනක්, අවම වසයෙන් තවත් 500,000ක පිරිසක් දරිද්‍රතාවට ඇද වැටුනි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත මිල පාලනයන් අවසන් කරමින්, ගොවි මිල සහනාධාර කපා හරිමින්, අත්‍යවශ්‍ය සේවා සඳහා අයවැය ප්‍රතිපාදන කපා දමමින් හා පුද්ගලීකරනය වේගවත් කරමින්, ආන්ඩුව ගැඹුරු වන ආර්ථික අර්බුදයෙහි බර වැඩ කරන ජනයා මත පටවමින් සිටී.

වෛරසය දිගට ම පැතිර යද්දී පවා, මාධ්‍ය හා ආන්ඩු-ගැති සෞඛ්‍ය නිලධාරීන්ගේ පිටුබලය සහිත ව, ජනාධිපතිගේ අවිද්‍යාත්මක මන්ත්‍රය වනුයේ “එක ම විසඳුම එන්නත්කරනය” යන්න යි. ජනගහනයෙන් සියයට 62ක් මාත්‍රා දෙක ම ලබා ඇති බවත්, අනුපූරක එන්නත් ලබා දෙනු ඇති බවත් ඔහු කියාපායි.

වසංගතයට පෙර දී පවා, දශක ගනනක් තිස්සේ නො තකා හැරීමෙන් පීඩා විඳිමින් සිටි මහජන සෞඛ්‍ය පද්ධතියට අතිශයින් ම අවශ්‍ය කරන වියදම් නොමැතිකම සාධාරනීකරනය කිරීම සඳහා පමනක්, මුදල් හිඟයෙන් පෙලෙන රාජපක්ෂ ආන්ඩුව, එන්නත්කරනය විසඳුම යයි තොරොම්බල් කරමින් සිටී.

මහජන සෞඛ්‍ය මත වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) යන්තම් සියයට 1.2ක් පමනක් වී ඇත. දැන්, අඛන්ඩ ව පවතින වසංගතය මධ්‍යයේ, එය ආපසු හරවමින් පවතින අතර, වැඩි කරනු නො ලැබේ. 2021 සඳහා වන සෞඛ්‍ය පිරිවැය, 2019 දී පැවති රුපියල් බිලියන 187 සිට රුපියල් බිලියන 28කින් කපා දැමීමට ආන්ඩුව කටයුතු කලේ ය. ඊලඟ වසරේ දී තවත් රුපියල් බිලියන 6කින් එය කපා දැමේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිලිවෙත් අනුයමින්, වසංගතය මර්දනය කිරීම පිනිස ශ්‍රී ලංකාව දදේනියෙන් සියයට 0.8ක් පමනක් වියදම් කල අතර, එය දකුනු ආසියාවේ අඩු ම මට්ටම යි.

ලොව පුරා තම සහචර ආන්ඩු මෙන් ම, රාජපක්ෂ ආන්ඩුවේ ව්‍යාපාර-ගැති හා ජාතිකවාදී වසංගත පිලිවෙත්, ගෙවී ගිය දෙවසර පුරා කම්කරු පන්තියට ව්‍යසනකාරී බව සනාථ වී ඇත. ගෝලීය වසංගතයට, ජාත්‍යන්තර ව සැලසුම්ගත හා සම්බන්ධීකෘත විසඳුමක් අවශ්‍ය වේ. එය ධනවාදය යටතේ කල නො හැකි ය.

“ඔමික්‍රෝන් ප්‍රභේදය කොවිඩ්-19 මර්දනය කිරීමේ ‘එන්නත පමනක්’ මූලෝපාය හෙලිදරව් කරයි” යන මාතෘකාව යටතේ, දෙසැම්බර් 1දා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ඉදිරි දර්ශනය තුල පැහැදිලි කල පරිදි:

“වසංගතය නවත්වා, තවත් මිලියන ගනනක් වන ජීවිත රැක ගැනීමට, ගෝලීය මුලිනුපුටා දැමීමේ හා තුරන් කිරීමේ මූලෝපායක් හැර, වෙනත් ශක්‍ය මූලෝපායක් නොමැති බව ඔමික්‍රෝන් ප්‍රභේදය සනාථ කරයි. ගෝලීය එන්නත් නිෂ්පාදනය හා බෙදාහැරීම, මහජන සෞඛ්‍ය පියවරයන්ගේ සමස්ත අවි ගබඩාව සමග ඒකාබද්ධ කිරීම මේ සඳහා අවශ්‍ය අතර, එය අත්‍යවශ්‍ය වේ: එනම්, කායික සහභාගිත්වය සහිත ව උගන්වන පාසල් වසා දැමීම, අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමීම හා ආසාදිත පුද්ගලයන් ආරක්ෂිතව හුදකලා කිරීම යි.”

රාජපක්ෂ ආන්ඩුවේ හා සමස්ත පාලක ප්‍රභූවේ විනාශකාරී පිලිවෙත්වලට එරෙහි ව, ලංකාවේ කම්කරු පන්තිය ලොව පුරා කම්කරුවන් සමග එකමුතු වෙමින් දේශපාලන අරගලය සඳහා ආරම්භකත්වය ගත යුතු ය.

ආන්ඩුවේ සාපරාධී රංචු ප්‍රතිශක්ති හා යලි විවෘත කිරීමේ පිලිවෙතට පිටුබලය දී ඇති, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය ඇතුලු විරුද්ධ පක්ෂ, වසංගතයේ දිගට ම පවතින අන්තරායන් පිලිබඳ ව නිශ්ශබ්ද ය.

ජීවිතවලට ඉහලින් ලාභය තැබීමට සම්පූර්න පිටුබලය දී ඇති ලංකාවේ වෘත්තීය සමිති, ආර්ථිකය යලි විවෘත කිරීම ක්‍රියාත්මක කිරීමේ දී, මහ ව්‍යාපාරිකය හා පාලන තන්ත්‍රය සමග ඒකාබද්ධ වී ඇත.

වසංගතය මුලිනුපුටා දැමීමේ හා තුරන් කිරීමේ පිලිවෙතක් සඳහාත්, ජීවන කොන්දේසි මත ගැඹුරු ප්‍රහාරවලට එරෙහි වත් සටන් වැදීමටත්, සෑම වැඩපොලක ම හා නිවහන් ප්‍රදේශයක ම වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

ආන්ඩු, සංගත හා මාධ්‍ය වසංගතයට දක්වා ඇති විනාශකාරී ප්‍රතිචාරය හෙලිදරව් කරනු ඇති, ලෝසවෙඅ-ආරම්භකත්වය ගෙන තිබෙන කොවිඩ්-19 පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයට සහයෝගය දෙන ලෙස, සසප කම්කරුවන්ට, තරුන ජනයාට සහ විද්‍යාඥයන් හා වෛද්‍ය විශේෂඥයන් ඇතුලු බුද්ධිමතුන්ට ආයාචනා කරයි.

සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ තීරනාත්මක සංරචකයක් ලෙස, ලංකාව, ඉන්දියාව හා සමස්ත දකුනු ආසියානු කලාපය පුරා මෙම සටන වර්ධනය කිරීමට, සසප උද්ඝෝෂනය කරයි. අපි මෙම අරගලයට ඔබගේ සහයෝගය ඉල්ලා සිටිමු.

Loading