ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිත සිසුවියකගේ මරනයක් වාර්තා වේ

[මෙය COVID-19 death of a student reported in Sri Lanka මැයෙන් 2022 පෙබරවාරි 2දා ලෝසවෙඅ පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ශ්‍රී ලංකාවේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 11 හැවිරිදි සිසුවියකට කොවිඩ්-19 ආසාදනය වී ප්‍රාදේශීය රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සඳුදා මිය ගියාය. මෙම පාසල කොලඹ සිට කිලෝමීටර් 60 ක් දුරින් වයඹ පලාතේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටා ඇත.

පසුගිය වසරේ මහනුවර පාසලක සමාජ දුරස්ථභාවයකින් තොරව පන්ති පවත්වමින් [ලෝසවෙඅ මාධ්‍ය]

බී.එම්.ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නම් වන එම දැරිය, ජනවාරි 28 වැනි දින පාසලට පැමිනියාය. පසුදා පෞද්ගලික නැටුම් පන්තියකට ගොස් ආපසු පැමිනීමෙන් පසු ඇයට ශ්වසන අපහසුතා ඇති විය. එම ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලකට රැගෙන ගිය අවස්ථාවේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂන මගින් සොයාගත් අතර දින තුනකට පසු අසනීප තත්වය හේතුවෙන් මිය ගියාය.

මෙම ඛේදනීය මරනය මගින් පෙන්නුම් කෙරෙන්නේ කොවිඩ්-19 අඛන්ඩව ව්‍යාප්ත වීම මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පාසල් නැවත විවෘත කිරීමේ සාපරාධී බව ය.

දැරියගේ මරනයෙන් පසු සෞඛ්‍ය හෝ අධ්‍යාපන බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත. සිසුන් 5,000 කට වැඩි පිරිසක් සහ ගුරුවරුන් 200 ක් පමන සිටින පාසල වසා දමා නොතිබූ අතර ගුරුවරුන් සහ සිසුන් පරීක්ෂාවට ලක් කර නැත.

ඛේදවාචකයෙන් කාර්ය මන්ඩලය සහ සිසුන් කම්පනයට පත් වූ බව පාසලේ ගුරුවරයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසීය. ප්‍රදේශයේ පාසල්වලට පැමිනීම අඩු වී ඇත.

ප්‍රදේශයේ තවත් ගුරුවරයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුල බොහෝ සිසුන් උන සහ හෙම්බිරිස්සාවෙන් පෙලෙන බව සොයා ගත් නමුත් පරීක්ෂන සිදු නොකිරීම නිසා ඔවුන් ආසාදනය වී ඇත්දැයි නොදන්නා බවයි. ගමේ රෝහලට, මාසයකට පමන පෙර, දිනකට රෝගීන් 30 ක් පමන පැමිනි නමුත් කුඩා දරුවන්ද ඇතුලුව එම සංඛ්‍යාව දැන් 100 කට වැඩිය. සියල්ලන්ටම කොවිඩ්-19 රෝග ලක්ෂන ඇත.

ආන්ඩුව පසුගිය ඔක්තෝබර් මාසයේදී පාසල් නැවත විවෘත කලේය. දැන්, රටේ සෑම ප්‍රදේශයකම පාසල් දරුවන් ගොදුරු බවට පත්වෙමින් සිටිති. අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වන්නේ සිසුවෙකුට ආසාදනය වුවහොත් ඔහු හෝ ඇය සහ සමීප ආශ්‍රිතයින්, නිවසට වී සිටිය යුතු බවයි. දින තුනකින් රෝග ලක්ෂන නොපෙන්වන්නේ නම්, ඔවුන්ට ආපසු යාමට අවසර දෙනු ලැබේ. ගුරුවරුන්ට දෙන්නේ ද එම උපදේශයමය.

කොවිඩ්-19 සීග්‍රයෙන් ව්‍යාප්ත වීම පිලිබඳව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් නොසැලකිලිමත් ලෙස මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කලේ ය: “එල්ආර්එච් [කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහල] තුල කොවිඩ්-19 ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් තිබුනත් එය බරපතල තත්වයක් වී නැහැ.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “පාසල් නැවත විවෘත කරන විට ලමුන් අතර කොවිඩ්-19 ව්‍යාප්තිය වැඩි වන බව දන්නා කරුනකි… [නමුත්] වැඩි කාලයක් පාසල් වසා දැමීම ලමයින්ට කරන අසාධාරනයකි.”

හේරත් පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ සහ ආසාදන වැලැක්වීමේ “වගකීම” දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පැවරෙන බවයි. පාසල් සිසුන්ද ඇතුලුව සිදුවන ආසාදන හා මරන සඳහා සැබෑ වගකීම පැවරී ඇත්තේ, අවශ්‍ය මහජන සෞඛ්‍ය සීමාවන් සියල්ල අතහැර දමා ඇති සහ ප්‍රමානවත් නොවන මාර්ගෝපදේශ සකස් කර ඇති ආන්ඩුවට ය.

පරීක්ෂන සිදුකිරීම බිඳ වැටෙමින් තිබේ. කොලඹ ජාතික රෝහල, මහනුවර, රත්නපුර ශික්ෂන රෝහල් සහ අම්පාර, කරාපිටිය, පේරාදෙනිය, මඩකලපුව සහ ත්‍රිකුනාමලය ඇතුලු රෝහල් රැසක පරීක්ෂන කට්ටල හිඟය හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂන නතර කිරීමට බල කෙරී ඇති බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ්, ජනවාරි 28 වැනිදා අයිලන්ඩ් පුවත්පතට පැවසීය.

එපමනක් නොව, “දරුවන්ට යුක්තිය ඉටු කිරීම” සඳහා පාසල් නැවත විවෘත කල බවට කරන ලද ප්‍රකාශය අසත්‍යයකි. පාසල් නැවත විවෘත කිරීම “කොවිඩ් සමඟ ජීවත් වීමේ” රජයේ ප්‍රතිපත්තියේ කොටසක් වූ අතර ව්‍යාපාරවල ප්‍රයෝජනය සඳහා දෙමාපියන් නැවත සේවා ස්ථාන වෙත ගෙන යාම, එහි අරමුන විය.

මාතෘ හා ලමා සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා කලේ කොවිඩ්-19 රට තුල ප්‍රථම වරට මතු වූ දා සිට ගර්භනී මව්වරුන් 69 දෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු ලමුන් 89 දෙනෙකු මියගොස් ඇති බවයි. මේවා, බෙහෙවින් අවතක්සේරු කල නිල සංඛ්‍යා පමනි.

ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීමත් සමඟ ආසාදන හා මරන ඉහල යමින් පවතී. කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලට දෛනිකව ඇතුලත් වන සංඛ්‍යාව 20-25 දක්වා ඉහල ගොස් තිබේ. රට පුරා සිසුන් සහ ගුරුවරුන් සිය ගනනක් ආසාදනය වී ඇත.

ඔමික්‍රොන් හේතුවෙන් විශාල වශයෙන් පැතිර යන ආසාදන හමුවේ ශ්‍රී ලංකා ආන්ඩුව ද ලොව පුරා සිටින සිය සගයන් අනුගමනය කරන සාපරාධී ප්‍රතිපත්තියම අනුගමනය කරයි. නිව් යෝර්ක්, චිකාගෝ, ලන්ඩන් සහ පැරීසියේ පාසල් බලහත්කාරයෙන් නැවත විවෘත කිරීමට එරෙහිව ගුරුවරුන් සහ සිසුන් අරගලයට පැමින ඇත.

ශ්‍රී ලංකාව පුරා, දෛනික ආසාදන සංඛ්‍යාව මාස ගනනකට පසු පලමු වරට ඉරිදා 1,000 සීමාව ඉක්මවා ගිය අතර එය 1,056 කි. සඳුදා එම අගය නැවතත් 1,137 දක්වා ඉහල ගියේය. ඒ හා සමානව, දෛනික මරන සංඛ්‍යාව ද තියුනු ලෙස ඉහල යමින් පවතින අතර ඉරිදා මරන 20 ක් සහ සඳුදා 32 ක් වාර්තා විය. ශ්‍රී ලංකාවේ මුලු ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 611,185 ක් වන අතර මරන සංඛ්‍යාව 15,473 කි.

බොහෝ සේවා ස්ථාන ආසාදන වාර්තා කරයි. ජනවාරි 2 වැනිදා රාජ්‍ය මුද්‍රන දෙපාර්තමේන්තුව වසා දැමීමට සිදුවූයේ අංශ තුනක සේවකයන් 15 දෙනකුට වෛරසය වැලඳීම හේතුවෙනි. රාජ්‍ය ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙකු වාර්තා කලේ ආසාදන හේතුවෙන් ප්‍රධාන කොටසක් වසා දැමීමට සිදු වූ බවයි. ඉරිදා, දක්ෂින අධිවේගී මාර්ගයේ සේවකයින් 15 දෙනෙකු ආසාදනය වී ඇති බව වාර්තා විය. සේවකයින් ආසාදනය වීමෙන් පසු, සඳුදා, දුම්රිය 14 ක් අවලංගු කරන ලදී.

ආසාදන සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවද, ආන්ඩුව ආසාදන හා මරන වලට තුඩු දෙන “වෛරසය සමඟ ජීවත් වීමේ” ප්‍රතිපත්තිය පවත්වාගෙන යයි. ඊයේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , අසේල ගුනවර්ධන විසින් පසුගිය මාසයේ නිකුත් කල සීමිත මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශම පවත්වා ගෙන යාමට තීරනය කලේය. එමඟින් මංගල උත්සව සහ අනෙකුත් උත්සව වල ප්‍රමානය එම ස්ථානයේ ධාරිතාවෙන් සියයට 50 කට සීමා කරන අතර මහජන රැස්වීම් සඳහා අධ්‍යක්ශ ජනරාල්ගේ අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ගර්භනී කාන්තාවන් පවා ඇතුලුව සියලුම සේවකයින් වැඩ සඳහා නැවත කැඳවිය හැකිය.

ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම වෙනුවට, වෘත්තීය සමිති ඒවා ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිඵල සඳහා වගකීම බෙදා ගැනීමට මූලික වී ඇත. ගුරු සංගම් පසුගිය ඔක්තෝබර් මාසයේදී ආන්ඩුව පාසල් යලි විවෘත කිරීමට පිටුබලය දුන් අතර එම ක්‍රියාවලිය තුලදී නිසි සෞඛ්‍ය ආරක්ෂන පියවරයන් සඳහා වන ඉල්ලීම් ද ඇතුලත් ගුරුවරුන්ගේ දින 100 අරගලය පාවා දුන්නේය.

Loading