චීන විප්ලවයෙන් 70 වසරකට පසු: සමාජවාදය සඳහා අරගලය පාවා දුන්නේ කෙසේ ද?

[මෙය 70 years after the Chinese Revolution: How the struggle for socialism was betrayed යන මැයෙන් 2019 ඔක්තෝබර් 24 වැනි දින පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් 26 හා ඔක්තෝබර් 17 අතර, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කරන ලදුව, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බෝර්න්, බ්‍රිස්බෙන් හා නිව්කාස්ල් ද නවසීලන්තයේ වෙලින්ටන් ද ඇතුලු විශ්ව විද්‍යාල අටක දී පීටර් සිමන්ඩ්ස් පහත දැක්වෙන දේශනය පැවැත්වී ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙක් වන සිමන්ඩ්ස්, ඕස්ට්‍රේලියාවෙහි සමාජවාදී සමානතා පක්ෂයේ ලෝසවෙඅ ජාතික කර්තෘවරයා ය.

1. මින් හැත්තෑ වසරකට පෙර, 1949 ඔක්තෝබර් 1දා, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාඕ සේතුං තියනාන්මෙන් චතුරස්‍රයේ සිට මහජන චීන සමූහාන්ඩුව ස්ථාපිත කිරීම ප්‍රකාශයට පත් කල අතර, එය, ලෝකයේ ජනගහනය අතින් වැඩි ම රට තුල සිදු වූ අතිශය වැදගත් විප්ලවවාදී නැගී සිටීමක ප්‍රතිඵලය වුනා. එය ලෝක ඉතිහාසයේ දැවැන්ත සිද්ධියක්. ශතවර්ෂයක් පුරා අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටීම අවසන් කල චීන විප්ලවය, දශක ගනනාවක් තිස්සේ බෙදී තිබුනු රට ඒකාබද්ධ කලා. ජාත්‍යන්තර තලයේ දී එය, යුරෝපය හා ආසියාව විනාශයට හෙලා තිබුනු දෙවන ලෝක යුද්ධයෙන් අනතුරු ව, ධනවාදයේ ස්ථායීකරනය සඳහා මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටි අධිරාජ්‍යවාදයට ප්‍රධාන ප්‍රහාරයක් එල්ල කලා. ආධිපත්‍යධාරී බලය ලෙස ඉස්මතු වූ එක්සත් ජනපදය, චීනය ද එහි යෝධ ආයෝජන අවස්ථා, වෙලඳපොල, ලාභ ශ්‍රමය හා සම්පත් ද මත පාලනය අරබයා, ජපානය සමග සටන් වැදී තිබුනා. එහෙත් විප්ලවය එම අපේක්ෂාව ක්ෂනික ව අවසන් කලා.

ගම්බද ප්‍රදේශ මත ඉඩම් හිමි පන්තිය හා මුදල් පොලියට දෙන්නන් දැරූ ආධිපත්‍යය පෙරලා දැමූ 1949 විප්ලවය, සමාජීය ව හා සංස්කෘතික ව පසුගාමී හා පීඩක වූ බොහෝ දේවල් අවසන් කර දැම්මා. 1950 දී ඉදිරිපත් කල ගොවිජන නීතියක් ඉඩම් හිමියන්ගේ ඉඩම් රාජසන්තක කොට යලි බෙදා දුන්නා. 1950 විවාහ නීතිය, පලමු වරට තම සහකාරයන් තෝරා ගැනීමට කාන්තාවන්ට අවසර දී, බහු භාර්යා සේවනය, ලමා ගනිකා වෘත්තීය, පාද බන්ධනය හා උපපතිනිත්වය (කොන්කියුබයින් සේවය) අවසන් කලා. 1949ට පෙර, අසාක්ෂරතා අනුපාතය සියයට 80ක් හා ආයු අපේක්ෂාව යන්තම් වසර 35ක් වුනා. ඉන් තිස් වසරකට පසු, ආයු අපේක්ෂාව වසර 65ක් වෙද්දී, අසාක්ෂරතාව බොහෝ සෙයින් අහෝසි කොට තිබුනා.

1949 දී මාඕ මහජන සමූහාන්ඩුව ප්‍රකාශයට පත් කරමින්

2. චීන විප්ලවය, දශක ගනනාවක යුද්ධයෙන් හා සමාජ නැගී සිටීම්වලින් පසු, ආරක්ෂාව සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් කෙරෙහි මිලියන ගනන් කම්කරුවන්, ගොවීන්, තරුන ජනයා හා බුද්ධිමතුන් අතර තිබූ අභිලාෂයන් ප්‍රකාශයට පත් කලා. චීන ජනතාව ඒ වන විටත් විප්ලව දෙකක් හරහා ගමන් කොට, අනුකම්පා විරහිත හමුදා නායකයන්ගේ පාලනයේ හා චියැං කායි-ෂෙක් නායකත්වය දුන් කෝමිංටෑනයේ ම්ලේච්ඡ ආඥාදායකත්වයේ ද පලමුව මැන්චුරියාවේ හා ඉන්පසු චීනයේ බොහෝ පෙදෙස්වල ජපාන මිලිටරි වාඩිලාගැනීමේ ද පීඩනය අත්විඳ තිබුනා. අධිරාජ්‍යවාදයට හා එහි පන්දම්කාරයන්ට එරෙහි ව, බොහෝ කම්කරුවන්, තරුනයන් හා ගොවීන් ඔවුන්ගේ ජීවිත ද ඇතුලු කැපකිරීම් කර තිබුනා. 1921 දී කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කිරීමෙන් හා ඉන්පසු ව පැමිනි විප්ලවවාදී නැගී සිටීම්වලින් ද ගලා ආ සමාජවාදී සම්ප්‍රදායයන්, කම්කරු පන්තිය තුල තවමත් ශක්තිමත් ව තිබුනා. යන්තම් දශක තුනකට පෙර සිදු වූ, 1917 රුසියානු විප්ලවයෙහි අඛන්ඩතාව නියෝජනය කරනවා යයි ව්‍යාජ ලෙස කියා පෑ, මොස්කව් ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයට චීන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධිත ය යන්න බොහෝ දෙනාගේ සිත් තුල පැවතුනා.

3. එහෙත් අද වන විට, චීනය සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී යයි කිසිවෙකුට බැරෑරුම් ලෙස විශ්වාස කල නො හැකි යි. එහි යෝධ පුද්ගලික සංගත, කොටස් වෙලඳපොලවල්, පිටාර ගලා යන විදේශීය ආයෝජන, වැටුප් ශ්‍රමය ඇතුලු සියලු භාන්ඩවල මිල වෙලඳපොල මගින් නියම කිරීම යන සියල්ල සමග, “චීන ලක්ෂන සහිත සමාජවාදය” ලෙස පාලන තන්ත්‍රය විසින් හඳුන්වනු ලබන දෙය ශුද්ධ ව හා සරල ව ධනවාදයයි. චීන කොමියුනිස්ට් පක්ෂය මුලසුන හොබවමින් රට යෝධ ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කර තිබෙනවා. පසුගිය දශක තුන තුල සිදු වූ විස්මයජනක ආර්ථික වර්ධන මට්ටම්, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අරගලයේ යෙදෙන කෝටි සංඛ්‍යාත කම්කරුවන්ගේ වියදමින්, කුඩා බහු-බිලියනපතියන් අතලොස්සකගේ හස්තයේ යෝධ ධනයක් සංකේන්ද්‍රනය වීම සමගින් සිදු වන, සමාජ අසමානතාවේ ‌ඇඟ කිලිපොලා යන මට්ටම් සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා. තමන්ගේ ම සෞඛ්‍යාරක්ෂනයට, සිය ලමුන්ගේ අධ්‍යාපනයට, ලමා රැකවරනයට හා අනෙකුත් සේවාවන්ට අවශ්‍ය අරමුදල් තමන් විසින් ම සපයා ගැනීමට වැඩ කරන ජනයාට පවරමින්, විප්ලවයෙන් පසු ව ස්ථාපිත කරන ලද සමාජමය ඇප වීමේ ඊනියා අයෝමය සහල් බඳුන කැබැලි කොට විනාශ කර තිබෙනවා. ධනපති වෙලඳපොලට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩදීම සමගින්, විප්ලවය විසින් බොහෝ සෙයින් අහෝසි කරන ලද සමාජීය උවදුරු -ඉන් කිහිපයක් පමනක් නම් කරන්නේ නම්, මත්ද්‍රව්‍ය උවදුර, ගනිකා වෘත්තිය හා වහල් ශ්‍රමය- ආපසු පැමින තිබෙනවා.

4. මෙය සිදු වූයේ කෙසේ ද හා ඇයි ද යන්න වටහා ගැනීමට, වසර 70කට පෙර විප්ලවයෙන් උපන් අද්‍යතන චීනයේ ‌ ඓතිහාසික මූලයන් විභාග කිරීම අවශ්‍ය යි. ඉතිහාසයට එයට ම අයත් යුක්ති යුක්ත භාවයක් තිබුනත්, අප ඉතිහාසය අධ්‍යයනය කරන්නේ, අද දින අරගලයන් සඳහා අවශ්‍ය දේශපාලන හා න්‍යායික පාඩම් උකහා ගැනීමට මිස, ශාස්ත්‍රාලීය අභ්‍යාසයක් හැටියට නොවෙයි. සමාජවාදය සඳහා අරගල කිරීමට අවශ්‍ය ඕනෑ ම අයෙක්, සමාජවාදය නියෝජනය කරනවා යයි කී ස්ටැලින්වාදයේ හා මාඕවාදයේ ප්‍රතිඵලය ලෙස ධනවාදය පුනස්ථාපනය වූයේ මන්දැයි විස්තර කිරීමට සමත් විය යුතු යි. එය අවබෝධ කර ගැනීමට, 70 වසරකට පෙර චීන විප්ලවය විසින් ඉස්මතු කරන ලද සංකීර්න දේශපාලන හා න්‍යායික ප්‍රශ්න යම් සවිස්තරාත්මක බවකින් යුතු ව විභාග කිරීම අවශ්‍ය යි.

5. චීන විප්ලවය මත්, ඊට යන්තම් වසර 32කට පෙර පලමු කම්කරු රාජ්‍යය නිර්මානය කර තිබූ 20 වන ශතවර්ෂයෙහි නිර්වාචනීය සිද්ධිය වූ රුසියානු විප්ලවයේ නිෂ්පාදිතය වුනා. පලමු ලෝක යුද්ධයේ විලෝපනයන් මධ්‍යයේ, රුසියාවේ විප්ලවවාදී සිද්ධි සහ ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් නායකත්වය දුන් බොල්ශෙවික් පක්ෂය බලය අල්ලා ගැනීම, ලොව පුරා කම්කරු පන්තියට ආලෝකය දුන් පහන්ටැඹක් ලෙස නැගී සිටියා. කම්කරු පන්තියේ ස්ථරයන් තුල සමාජවාදයට හා සමාජවාදී විප්ලවයට කැපවීමක් ද ධනවාදයට හා විජිතවාදී පීඩනයට එරෙහි විප්ලවවාදී ව්‍යාපාර ද එය මගින් ජනනය කලා. කොමියුනිස්ට් පක්ෂ සහ 1919 දී තුන්වැනි ජාත්‍යන්තරය ගොඩනැගීම තුල ජාත්‍යන්තර ව ප්‍රකාශයට පත් වූයේ එයයි.

1917 රුසියානු විප්ලවයේ න්‍යායික පදනම, 1905 රුසියානු විප්ලවයෙන් පසු ගෙවී ගිය දශකය තුල සිදු වූ තීව්‍ර විවාදයක ප්‍රතිඵලය වුනා. එහි දී සංකල්ප තුනක් ඉස්මතු වුනා.

(රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රධාන කන්ඩායම් දෙකෙන් එක් පාර්ශවයක් වූ) මෙන්ශෙවිකයෝ, අවධි දෙකේ න්‍යායය වෙනුවෙන් පෙනී සිටියා: එනම්, කම්කරු පන්තිය පලමුව, සාර් පෙරලා දමා, ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කර, ඉඩම් ප්‍රතිසංස්කරන සිදු කිරීමට ධනපති පන්තියේ ලිබරල් අවයවයන්ට සහයෝගය දිය යුතු වූ අතර, පසු අවධියක දී පමනක් සමාජවාදය සඳහා සටන් කල යුතු වූවා. එහෙත්, 1905 විප්ලවය ප්‍රදර්ශනය කල ආකාරයට, කැඩෙට්වරු යනුවෙන් හඳුන්වන ලද රුසියානු ලිබරල්ලු, කම්කරු පන්තියේ නැගී සිටීමට මුහුන දුන් විට සාර්වාදී පාලන තන්ත්‍රය පසුපසින් සිට ගැනීම කරා පැද්දී ගියා.

(දෙවන ප්‍රධාන පාර්ශවය වූ) බොල්ශෙවිකයන් හා ලෙනින්, කම්කරු පන්තිය ලිබරල්ලුන්ට යටත් කිරීම ප්‍රතික්ෂේප කර, නිර්ධන පන්තියේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක් සඳහා කැඳවුම් කලා. එහෙත් මෙම සංකල්පයෙන් හැඟවුම් කලේ, කම්කරු පන්තියට ධනේශ්වර එනම් ධනපති සමූහාන්ඩුවක සීමාවන් තුල සිරවීමට බල කෙරෙනු ඇති බවයි. තව ද, එකිනෙකින් වෙන් ව පවත්නා පන්ති දෙකකට අඩංගු වූ කම්කරුවන් හා ගොවීන් අතර සැබෑ සබඳතාව ද එමගින් පැහැදිලි කෙරුනේ නැහැ.

ලියොන් ට්‍රොට්ස්කි

ලියොන් ට්‍රොට්ස්කි ද, සිය නො නවතින විප්ලවය න්‍යායය තුල, කම්කරුවන් කිසිදු ආකාරයකින් ධනපති පන්තියට යටත් කිරීමට ලෙනින් මෙන් ම විරුද්ධ වුනා. ස්වාධීන දේශපාලන භූමිකාවක් ඉටු කල නො හැකි යයි ට්‍රොට්ස්කි පෙන්වා දුන් ගොවි ජනතාව තමන් පිටුපස රැලි කරගන්නා කම්කරු පන්තිය, කෙලින් ම බලය සඳහා සටන් කල යුතු යයි ඔහු අවධාරනය කලා. විශාල ගොවි ජනතාවක් සහිත පසුගාමී රටක් තුල කම්කරු රාජ්‍යයකට පැවතිය හැකි ය යන අදහස අවඥාවට ලක්කල අයවලුන්ට එරෙහි ව, රුසියාව හා චීනය වැනි කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත පසුගාමී රටවල ධනේශ්වරය, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ක්‍රියාවට දැමීමට අසමත් බව ට්‍රොට්ස්කි විස්තර කලා. එහි (ප්‍රජාතන්ත්‍ර විප්ලවයෙහි) කර්තව්‍යයන් ඉටු කිරීම කම්කරු පන්තියට පැවරෙන අතර, සමාජවාදී පියවරයන් ක්‍රියාත්මක කිරීම ඇරඹීමට එකී කම්කරු පන්තියට බලකෙරෙනු ඇත. රුසියානු විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ වෙන් කල නොහැකි කොටසක් බවත්, රුසියාව තුල විප්ලවය විසින් ඉස්මතු කරනු ලබන ගැටලු විසඳනු ලැබිය හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය හරහා පමනක් බවත්, ඔහු අවධාරනය කලා.

1917 දී වර්ධනය වූ, ප්‍රජාතන්ත්‍රීය ව ස්ථාපිත කරන ලද කම්කරු සභා හෙවත් සෝවියට් සභාවලට “සියලු බලය දිය යුතු” යි කැඳවුම් කරමින්, ලෙනින් 1917 අප්‍රේල් මාසයේ දී ට්‍රොට්ස්කිගේ ඉදිරි දර්ශනය වැළඳ ගැනීමට ක්‍රියා කලා. බොල්ශෙවිකයන් ඔක්තෝබරයේ දී බලය අල්ලා ගැනීම, පලමුවන ලෝක යුද්ධය විසින් විවෘත කරන ලද අධිරාජ්‍යවාදයේ නව යුගය තුල ලෝක සමාජවාදී විප්ලවයේ පලමු වෙඩි මුරය ලෙස ලෙනින් හා ට්‍රොට්ස්කි ලක්ෂනනය කලා. එහෙත්, යුරෝපය තුල විප්ලවවාදී ව්‍යාපාරයන්ගේ පරාජයෙහි ද ඉන් ප්‍රතිඵල වූ සෝවියට් සංගමයෙහි හුදකලා භාවයේ ද කොන්දේසි යටතේ, කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගත් වරප්‍රසාදිත හා ගතානුගතික නිලධාරී තන්ත්‍රයක නියෝජිතයා ලෙස ස්ටැලින් ඉස්මතු වීමට නියමිත වුනා. බොල්ශෙවික් විප්ලවය පදනම් කර තිබුනු ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනය ප්‍රතික්ෂේප කල “තනි රටේ සමාජවාදය” නමැති ජාතිකවාදී සංකල්පය තුල එහි දෘෂ්ටිය සම්පින්ඩනය වුනේ, හුදෙක් චීනයේ පමනක් නො ව, ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට ප්‍රගාඪ විපාක ගෙන දීමට නියමිත වෙමින්.

6. අපේ ව්‍යාපාරය -එනම්, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය- සෝවියට් සංගමයෙහි ස්ටැලින්වාදී පිරිහීමට විරුද්ධ ව සටන් වැදීමටත්, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය ආරක්ෂා කිරීමටත්, 1923 දී ස්ථාපිත කෙරුනා. චීනය තුල විප්ලවය - නැතහොත් චීනය තුල විප්ලව තුනයැයි එය හැඳින්වීමට මා වඩාත් කැමතියි - පිලිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා, මෙම න්‍යායික කරුනු ගැන ලුහුඬු විමර්ශනයක් කිරීම අත්‍යවශ්‍ය යි.

පලමු චීන විප්ලවය 1911 දී ජරපත් මැන්චු රාජධානිය බලයෙන් ඇද දැමුවත්, ඉස්මතු වූ ධනපති ජාතිකවාදී පක්ෂය හෝ ක්වෝමින්ටෑනය, මූලික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ක්‍රියාවට දැමීමට හෝ චීනය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් නිදහස් කරගැනීමට අත්‍යන්තයෙන් ම අසමත් බව සනාථ කලා.

1925-27 විප්ලවය සමයේ ෂැංහයිහි සිටින සන්නද්ධ කම්කරුවෝ

බ්‍රිතාන්‍ය නාගරික පොලීසිය විසින් 1925 මැයි 30දා ෂැංහයිහි විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් පසු, අධිරාජ්‍යවාදයේ මංකොල්ලයට එරෙහි කම්කරු-පන්තික අරගලයක් ලෙස, 1925 හා 1927 අතර දෙවන චීන විප්ලවය පුපුරා ගියා. එය ක්ෂනික ව රට පුරා විහිදී ගිය මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වුනත්, සෝවියට් සංගමයෙහි ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ භූමිකාව මාරාන්තික විපාක ගෙන දීමට නියමිත වූවා. යන්තම් 1921 දී ස්ථාපිත කර තිබුනු චීන කොමියුනිස්ට් පක්ෂය, ස්ටැලින් විසින් චීන ධනපති පන්තියේ පක්ෂය වූ ක්වෝමිංටෑනයට යටත් කෙරුනා. මෙන්ශෙවික් අවධි දෙකේ න්‍යායයට ආපසු හැරුනු ස්ටැලින්, චීනයේ අර්ධ-විජිත යටත් වීම අවසන් කරනු ඇති “පන්ති හතරේ පෙරමුනෙහි” කොටසක් ලෙස, ධනේශ්වරයට අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහි ව සටන් කිරීමට හා ප්‍රගතිශීලී භූමිකාවක් ඉටු කිරීමට බලකෙරෙනු ඇතැයි අවධාරනය කලා.

එවන් ඉදිරි දර්ශනයක අන්තරායන් විස්තර කරමින්, 1927 දී ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවූවා:

අධිරාජ්‍යවාදය පිටස්තරින් සිට චීනයේ පන්තීන් යාන්ත්‍රික ලෙස ඒකාබද්ධ කරතියි සිතීම බරපතල දෝෂයකි...අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය, පන්තීන්වල දේශපාලන වෙනස්කම දුර්වල නො කරන අතර, එය වඩාත් ශක්තිමත් කරයි. චීනයේ අභ්‍යන්තර සබඳතා තුල අධිරාජ්‍යවාදය ඉතා බලගතු බලවේගයකි... අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය, හරියටම එහි ආර්ථික හා මිලිටරි බලය නිසාම, චීන මහජනයාගේ පතුලේම බලවේගවල බලගතු පරිශ්‍රමයක් ඉල්ලා සිටී. අධිරාජ්‍යවාදයට එරෙහි ව කම්කරුවන් හා ගොවීන් සැබෑ ලෙස නැගිටුවා ගැනීම කල හැක්කේ, රටෙහි විමුක්තිය සමග ඔවුන්ගේ මූලික හා ප්‍රගාඪතම ජීවන අවශ්‍යතා සම්බන්ධ කිරීමෙන් පමනි...එහෙත් පීඩිත හා සූරාකැවෙන වැඩ කරන මහජනයා ඔවුන්ගේ පාද මත සිටුවන කවරක් හෝ වේවා, ජාතික ධනේශ්වරය අධිරාජ්‍යවාදීන් සමග විවෘත සන්ධානයකට නොවැලැක්විය හැකි ලෙස තල්ලු කරයි. ධනේශ්වරය සහ කම්කරු හා ගොවි මහජනයා අතර පන්ති අරගලය, අධිරාජ්‍යවාදී පීඩනය විසින් දුර්වල කරනු ලැබීමට විපරීත ව, සෑම බරපතල ගැටුමක දී ම එය ලේ වැකි සිවිල් යුද්ධයේ ලක්ෂ්‍යය දක්වා තියුනු කෙරේ. (1)

කෙසේවෙතත් ස්ටැලින්, චියැං කායි-ෂෙක් චීන ධනේශ්වරයේ විප්ලවවාදී පාර්ශවය නියෝජනය කරන්නේ ය යන මාරාන්තික මායාව ප්‍රවර්ධනය කිරීමෙහි දිගටම යෙදී සිටියා. එසේ කිරීම මගින්, 1927 අප්‍රේල් මාසයේ දී චියැං කායි-ෂෙක් හා ඔහුගේ හමුදා විසින් ෂැංහයි කම්කරු පන්තිය සමූල ඝාතනය කරනු ලැබීමට ද, ඉනික්බිතිව 1927 මැයි මාසයේ දී ඊනියා වාමාංශික ක්වෝමින්ටෑනය විසින් කම්කරුවන් හා ගොවීන් සංහාරයට ලක්කිරීමට ද පහසුකම් සපයමින්, ඔහු විප්ලවයේ මිනී වල කනින්නා බවට පත් වුනා. එවිට ක්ෂනික ව සම්පූර්නයෙන් අනිත් පැත්තට කරනමක් ගැසූ ස්ටැලින්, බැස යමින් තිබූ විප්ලවවාදී රැල්ල මධ්‍යයේ, නට්ටම් වී තිබූ චීන කොමියුනිස්ට් පක්ෂය විනාශකාරී අතිවික්‍රමයන් මාලාවකට මෙහෙයවූවා.

කොමියුනිස්ට් කම්කරුවෙක් මරා දමන චියැංගේ මැරයෙක්

මෙම පරාජයන්ගේ විපාක, ඉන් දශක දෙකකට පසුව 1949 දී සිදු වූ තුන්වන චීන විප්ලවය විකෘති වීමට තුඩු දුන්නා. පක්ෂ සභාපති චෙන් ඩියුක්සියු හා මධ්‍යම කාරක සභික පෙං ෂුෂි වැනි ස්ටැලින්ගේ පිලිවෙත්වලට විරුද්ධ වී හා ට්‍රොට්ස්කිගේ විවේචනය මගින් ඒත්තු ගැන්වී සිටි සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්මවලට කැප වී සිටි චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් හා සාමාජිකයන් ව පක්ෂයෙන් නෙරපා හැරියා. මාඕ සේතුං හා චව් එන්ලායි වැනි ඉතුරු පහදුව සිටි නායකත්වය, ස්ටැලින් සමග කවර උපායාත්මක වෙනස්කම් පැවතිය ද මොස්කෝවෙන් විධානය කරන ලද මෙන්ශෙවික් වැඩපිලිවෙල අනුගමනය කලා.

චෙන් ඩියුක්සියු

1927 ව්‍යසනයන් නො තකා, ස්ටැලින් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය, වැරදීමක් සිදු වී නැති බව අවධාරනය කරමින්, ජාතිකවාදයේ හා පන්ති සහයෝගිතාවේ -තනි රටේ සමාජවාදය, අවධි දෙකේ න්‍යායය හා පන්ති හතරේ පෙරමුන- පිලිවෙත්වලට දිගට ම ආසක්ත ව සිටියා. තව ද කේඑම්ටීයේ දරුනු ප්‍රහාරයන්ගෙන් අනතුරු ව, සිය පන්ති අක්ෂය කම්කරු පන්තියෙන් ගොවි ජනතාවට මාරු කරමින්, කොමියුනිස්ට් පක්ෂය ගම්බද දක්වා පසුබැස්සා. මෙය, දෙවන ලෝක යුද්ධයෙන් පසුව පැන නැගි විප්ලවවාදී ව්‍යාපාරයට වල කපා, දුර්වල කොට හා අනතුරේ හෙලීමට හේතු වුනා.

7. 1945 දී දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් සහ ජර්මනියේ හා ජපානයේ පරාජයෙන් පසුව, ආධිපත්‍යධාරී ගෝලීය බලය ලෙස ඉස්මතු වූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ලොව පුරා කම්කරු පන්තියේ හා විජිත ජනතාවන්ගේ පශ්චාත් යුද නැගී සිටීම් සීමා කොට මර්දනය කිරීම සඳහා ස්ටැලින්වාදයේ පාවාදීම් මත පදනම් වුනා. යුද්ධය සමයේ දී, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සගයන්ට -සියල්ලට ඉහලින් එක්සත් ජනපදයට- කම්කරු පන්තිය යටත් කොට සිටි ස්ටැලින්, යුද්ධයෙන් පසුව ද එම පිලිවෙත අඛන්ඩ ව පවත්වාගෙන ගියා. ප්‍රන්සය හා ඉතාලිය වැනි රටවල් තුල කොමියුනිස්ට් පක්ෂ, අපකීර්තියට ලක් ව සිටි ධනපති පක්ෂ සමග සභාග ආන්ඩු බිහිකර, කම්කරු පන්තිය නිරායුධ කොට, කම්කරුවන්ගේ ප්‍රධාන වැඩ වර්ජන ව්‍යාපාර මර්දනය කලා. යුරෝපය තුල ධනපති පාලනය ස්ථාවර කර තිබූ එක්සත් ජනපදය, සීතල යුද්ධයේ ආරම්භය සනිටුහන් කල 1947-48 සමයේ සෝවියට් සංගමයට එරෙහි ප්‍රතිප්‍රහාරය සඳහා ඉදිරියට ගියා.

එක්සත් ජනපද ආන්ඩුවේ නියෝජිතයෙක් සමග සිටින චියැං හා මාඕ

8. මාඕ හා චීන කොමියුනිස්ට් පක්ෂය ස්ටැලින් විධානය කල පිලිවෙත අනුගමනය කලා. 1937 දී, ජපාන ආක්‍රමනයට එරෙහි ව සටන් කිරීමට සීසීපීය ක්වෝමින්ටෑනය සමග සන්ධානයකට ඇතුලත් වී තිබුනා. මෙය, යන්තම් දශකයකට පෙර ව්‍යසනයන්ට තුඩු දී තිබූ දේශපාලනික ව බංකොලොත් පිලිවෙත පුනර්කරනය කිරීමක් වුනා. “ෂැංහයිහි ඝාතකයා” වූ චියැං කායි-ෂෙක්ට පක්ෂය දේශපාලනික ව යටත් කල මාඕ, කේඑම්ටීය විසින් නියෝජනය කෙරුනු ඉඩම් හිමියන් අමනාප නො කර ගැනීම පිනිස ඉඩම් ප්‍රතිසංස්කරනය අත්හැර දමා, පක්ෂයේ හමුදාවන් කේඑම්ටීයේ අනසක යටතේ තැබුවා. ජපානයේ පරාජයෙන් පසුව, මොස්කෝවේ හා වොෂින්ටනයේ පීඩනය යටතේ, සීසීපීය චියැං කායි-ෂෙක් සමග සභාග ආන්ඩුවක් තැනීමට උත්සාහ කලා. 1945 දී චියැං ව පුද්ගලික ව හමුවීමට චොංකිං බලා පියාසර කිරීම පවා කල මාඕ සේතුං සති හතක් පුරා සාකච්ඡා පැවැත්වූවා. එහි ප්‍රතිඵලය ලෙස ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුනා.

9. මාඕ එම එකඟතාව “හුදු කොල කෑල්ලක්” යයි නො තකා හැරියත්, චීන ධනේශ්වරය සමග සංහිඳියාව සඳහා ඔහුට හැකි සෑම දෙයක් ම ඔහු කලා. අවධි දෙකේ න්‍යායයෙහි සංස්කරනයක් වූ “නව ප්‍රජාතන්ත්‍රවාදය” පිලිබඳ ඔහුගේ ක්‍රියා මාර්ගය, ධනපතියන් සමග සන්ධානය සාධාරනීකරනය කිරීමට ඔහු යොදාගත්තා. මේවාට පහසුකම් සැලසීම පිනිස, ඉඩම් ප්‍රතිසංස්කරනය සිය පාලනය යටතේ පැවති ප්‍රදේශවලට පමනක් සීමා කල කොමියුනිස්ට් පක්ෂය, කම්කරු පන්තිය කිසිදු අයුරකින් බලමුලු ගැන්වීමට විරුද්ධ වුනා. එසේ කිරීම මගින්, යුද්ධයේ අවසානයෙන් පසුව චීනය තුල පැන නැගි මහජන විප්ලවවාදී ව්‍යාපාරය මත අන්තරායකාරී තිරිංගයක් ලෙස කොමියුනිස්ට් පක්ෂය ක්‍රියාත්මක වුනා.

10. චීන විප්ලවය තුල මාඕගේ හමුදාවන් විසින් හුදෙක් චියැං කායි-ෂෙක්ගේ හමුදා අභිබවා ලබාගත් ජයග්‍රහනයට වැඩි යමක් නියෝජනය වුනා. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, නගර ද ඇතුලු සමස්ත චීන සමාජය කැරැල්ලක නිරත වී සිටියා. පරාජයට පත්වූ ජපාන භටයන්ගෙන් බලය ලබාගත් කේඑම්ටීය, ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායය සිත් කාවදින ලෙස සනාථ කරමින්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමට හෝ මහජනයා මුහුන දෙමින් සිටි සමාජ විනාශය අවසන් කිරීමට අත්‍යන්තයෙන් ම අසමත් බව තහවුරු කලා. ව්‍යාපාර හා රාජ්‍ය දේපොල මංකොල්ලයේ මුල'සුන හෙබවූ පාලන තන්ත්‍රය, අධි-උද්ධමනයක් ප්‍රේරනය කර, බලහත්කාරී මිලිටරි සේවාව පනවා, වැඩ වර්ජන හා විරෝධතාවලට ම්ලේච්ඡ මර්දනයක් දියත් කරමින් ප්‍රතිචාර දැක්වූ වා.

1951 දී හතරවැනි ජාත්‍යන්තරයට වාර්තාවක් ඉදිරිපත් කල චීන ට්‍රොට්ස්කිවාදී පෙං ෂුෂි මෙසේ පැහැදිලි කලා:

1945 සැප්තැම්බරයේ සිට 1946 අවසානය දක්වා ගෙවී ගිය යුද්ධයෙන් ක්ෂනික ව ඉක්බිති කාලය, චීනය තුල මහජන ව්‍යාපාරයෙහි සැලකිය යුතු ප්‍රබෝධයක් හා වර්ධනයක් සලකුනු කලේ ය. ෂැංහයි නගරය පෙරමුනේ ම සිටිමින්, සියලු මහා නගරවල වැඩ කරන මහජනයා, සර්පනීය ව ඉහල යන වැටුප් පරිමානයක්, වෘත්තීය සමිතිගත වීමේ අයිතිය සඳහා, වැටුප් කැටිකිරීමට විරුද්ධ ව ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කල හ. ඔවුහු සෑම තැනක ම අඛන්ඩ ව වැඩ වර්ජනවල නියැලුන හ...නිසැක ව ම, මෙය චීන කම්කරු ව්‍යාපාරයේ නව අවදි වීමක ප්‍රකාශනයක් විය... (2)

පෙං ෂුෂි

චීනයේ ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානය වූ ෂැංහයිහි පමනක්, 1936 දී, එනම් ජපාන ආක්‍රමනයට යන්තමින් පෙර පැවති වැඩ වර්ජන 278ට සන්සන්දනාත්මක ව, 1946 දී වැඩ වර්ජන හා කම්කරු ආරවුල් 1716ක් පැවතුනා. ඊට පසු වසරේ, එම සංඛ්‍යාව යලිත් සියයට 50කින් ඉහල ගියා. ක්වෝමින්ටෑන් ආඥාදායකත්වයට එරෙහි ව, ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ඉල්ලමින්, ප්‍රධාන නගරවල ශිෂ්‍ය වර්ජන හා විරෝධතා පැවතෙමින් තිබුනා. කේඑම්ටීයට එරෙහි ව ගොවීන් අතර ඉහල යන කැලඹිල්ලක් පැවතුනා.

එහෙත්, කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට උත්සාහයක් නො දැරූ කොමියුනිස්ට් පක්ෂය, දූෂිත හා අපකීර්තිමත් කේඑම්ටීය සමග සභාගගත වීම සඳහා අඛන්ඩ ව උත්සාහ දැරුවා. මේ මගින් නිර්මානය වූ ඉස්පාසුව ගසා කෑ චියැං කායි-ෂෙක්, එක්සත් ජනපදයේ සහයෝගය සහිත ව, නගර වෙතට සිය හමුදාවන් ප්‍රවාහනය කොට සීසීපීයට එරෙහි ව මිලිටරි ප්‍රහාර ආරම්භ කිරීමට එය උපයෝගී කොට ගත්තා. එහෙත් මාඕ දිගට ම ආරක්ෂිත උපායක් අනුගමනය කලා. කේඑම්ටී භටයන් 1947 අප්‍රේල් මාසයේ දී කොමියුනිස්ට් බලකොටුවක් වූ යෙනාන් නගරය වාඩිලාගෙන, 1947 ජුනි මාසයේ දී මාඕ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කල විට පවා, මාඕ චියැං බලයෙන් හෙලන ලෙසට කැඳවීමක් කලේ නැහැ. අවසානයේ කොමියුනිස්ට් පක්ෂය කේඑම්ටීය පෙරලා දැමීමට හා “නව චීනයක්” ගොඩ නැගීමට ප්‍රකාශයක් නිකුත් කලේ, යුද්ධය අවසන් වීමෙන් ද වසර දෙකකට පසුව 1947 ඔක්තෝබර් 10දා පමනයි.

සීසීපීයේ ජයග්‍රාහී ගොවි හමුදාව 1949 දී

11. එක්සත් ජනපදයෙන් ලැබුනු නවීන ආයුධ හා සහයෝගය නො තකා, තථ්‍ය වසයෙන් ඇද වැටුනු චියැං කායි-ෂෙක් පාලන තන්ත්‍රයේ අභ්‍යන්තර කුනු වීමට, මාඕගේ හමුදාවන් චීනයේ බොහෝ ප්‍රදේශ වසර දෙකක් තුල අල්ලා ගැනීම මගින් සාක්ෂි දරනවා. සෝවියට් සංගමය විසින් මැන්චුරියාවේ හමුදාවන්ට සම්පාදනය කල ජපාන ආයුධවල ආධාරය ද සමගින්, මහජන විමුක්ති හමුදාව දකුනු ප්‍රදේශය පුරා විහිදී ගියා. බොහෝ අවස්ථාවල දී, කේඑම්ටී හමුදාවන් යටත් වූ හෝ පලාගිය අතර, සටනකින් තොර ව ම නගර අත්පත් කරගනු ලැබුවා. පාලන තන්ත්‍රය බිඳී විසිරී යද්දී, පලල් යුද්ධයක අන්තරාය මතු කල පූර්න පරිමාන ඇමරිකානු මිලිටරි මැදිහත් වීමක් එක ම විකල්පය වූ තතු තුල, එක්සත් ජනපදය කේඑම්ටීය අත්හැර දැමුවා.

කේඑම්ටීයේ බිඳ වැටීමේ වේගය පෙන්නුම් කලේ, විශේෂයෙන් ම නගරවල කම්කරු පන්තිය ඇතුලු විප්ලවවාදී ව්‍යාපාරය මාඕ විසින් රඳවා ගනු නොලැබුනි නම්, එහි පාලනය බොහෝ කාලයකට පෙර ඇද වැට්ටවිය හැකි ව තිබුනු බව යි. මෙම ක්‍රියා දාමයන් සම්පින්ඩනය කරමින්, චීන විප්ලවය පිලිබඳ ව 1955 දී කෙටුම්පත් කල යෝජනාවක් තුල, සමාජවාදී කම්කරු පක්ෂයේ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් මෙසේ ලියුවා:

ස්ටැලින්වාදී විකෘතිය, විප්ලවයෙහි වර්ධනය වඩා පිරිවැය සහිත, කම්පනකාරී හා දිග්ගැස්සුනු තත්ත්වයට පත් කලේ ය. ඕනෑ ම අවස්ථාවක දී, සීසීපීය නාගරික මහජනයාට නැගී සිටින ලෙස කැඳවුම් කර තිබුනේ නම්, චියැංගේ හමුදාවන් හා පාලන තන්ත්‍රය ඇද වැට්ටවිය හැකි ව තිබුනේ ය. නගර ද සියල්ලට ඉහලින් නිර්ධන පන්තිය ද ගම්බද ප්‍රදේශවල මිලිටරි අරගලයට යටත් කොට, ඒ හරහා කම්කරුවන් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස ඉස්මතු වීම සීසීපීය විසින් වැලැක්වීමේ දැනුවත් පිලිවෙත නිසා ද දෙවන චීන විප්ලවයේ දී හා ඉන් ඉක්බිති ව චීන කම්කරු පන්තිය අත්විඳි අඛන්ඩ පරාජයන් හේතුවෙන් එය අධෛර්යයට පත්වීම නිසා ද චීන ස්ටැලින්වාදීහු බලය කරා සේන්දු වීමට සමත් වූහ. (3)

12. මාඕගේ නව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගය විප්ලවය ආබාධිත තත්වයට පත් කොට අනතුරේ හෙලනවාට අමතර ව නව පාලන තන්ත්‍රය විකෘත කිරීම ද සිදු කලා. අවධි දෙකේ න්‍යායය සමග ගැලපෙන ආකාරයට, ධනේශ්වර හා සුලු ධනේශ්වර පක්ෂ සමග සන්ධානගත වීමට උත්සාහ දැරූ කොමියුනිස්ට් පක්ෂය, පලා යන කේඑම්ටී හමුදාවන්ගේ දේපොල හැරෙන්නට, විදේශිකයන්ට අයත් ව්‍යවසායයන් ඇතුලු පුද්ගලික ව්‍යවසායයන් අත්පත් කරගැනීමක් කලේ නැහැ. ආන්ඩුවේ ආරම්භක අමාත්‍යාංශ 24න් එකොලහක හා උපසභාපතිවරුන් හය දෙනාගෙන් තනතුරු තුනක ප්‍රධානත්වය දැරුවේ සීසීපීයේ ධනේශ්වර සගයන්. අධිරාජ්‍යවාදය වෙත ප්‍රවිෂ්ට වීමේ උත්සාහයක යෙදෙමින්, හොංකොං හා මැකෝවල විජිත ප්‍රදේශ ද අත්කර ගැනීමට මාඕ පියවර ගත්තේ නැහැ.

තම කොන්දේසි වර්ධනය කරන ලෙස කම්කරුවන් විසින් පීඩනයට ලක්කරමින් සිටි, ඔහුගේ ම සාමාජිකයන් පාලනය කිරීමට මාඕට සිදු වුනා. 1948 පෙබරවාරියේ ෂින්හුවා පුවත්පතේ පල කල කතුවැකියක්, පුද්ගලික දේපොල හිමිකරුවන් වෙනුවට කම්කරුවන් යුද ප්‍රයත්නයට දන ගැසීම ඇනවූ “වාමවාද-විරෝධී” උද්ඝෝෂනයක් නිවේදනය කලා. ඉහල පෙලේ තානාන්තර දැරූවන් ඇතුලු පක්ෂ කේඩරයන්, පක්ෂයේ කාර්මික ප්‍රතිපත්තිය අවබෝධ කර නො ගත් බවටත්, “ඔවුන් දන්නේ ඒක-පාර්ශවික, පටු, අදූර-දර්ශී ඊනියා ‘කම්කරුවන්ට ප්‍රතිලාභ’ මිස, ඉන් ඔබ්බට කිසිවක් නො දකින” බවටත්, එම කතුවැකිය කනිපින්දම් කීවා. කොමියුනිස්ට් පක්ෂය එහි සාමාජිකයන් ලෙස කම්කරුවන් බඳවාගෙන, වෘත්තීය සමිති ස්ථාපිත කලේ, කම්කරු පන්තියට දේශපාලනික හඬක් දීම වෙනුවට, එය පොලිස්කාරකමට හා මර්දනයට යටත් කිරීමේ ක්‍රමයක් ලෙස යි. වැඩ වර්ජන හා විරෝධතා පුපුරා ගිය විට, කොමියුනිස්ට් පක්ෂය ප්‍රචන්ඩ මර්දනය දෙසට හැරුනා.

13. මේ දක්වා සිදු වූ එක ම අව්‍යාජ සමාජවාදී විප්ලවය වන්නේ, 1917 රුසියානු විප්ලවය යි. එහිදී ලෙනින්, ට්‍රොට්ස්කි හා බොල්ශෙවික් පක්ෂයේ මග පෙන්වීම ලැබූ කම්කරු පන්තිය බලය අල්ලාගෙන, ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කරගත් කම්කරු පන්තියේ අවයව වන සෝවියට් සභා මත පදනම් ව, කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කලා. සීසීපීය සිය හමුදා විසින් “විමුක්තිය” ලබා දෙන තෙක් අක්‍රීය ව බලා සිටීමට කම්කරුවන්ට උපදෙස් දී තිබූ නිසා, චීනය තුල එවන් කම්කරු සංවිධාන තිබුනේ නැහැ.

ධනපති රාජ්‍යය අහෝසි කිරීමේ අවශ්‍යතාව ගැන මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් ලියන ලද සෑම දෙයකට ම ප්‍රතිවිරුද්ධ ව, කොමියුනිස්ට් පක්ෂය පවත්නා රාජ්‍ය යාන්ත්‍රනය මත පදනම් වුනා. නගර අත්පත් කරගත් ස්ටැලින්වාදීන්, සිවිල් නිලධරය තානාන්තරවල තබාගෙන, තමාගේම මිලිටරිය තුලට නිලධාරීන් ඇතුලු පරාජයට පත් ක්වෝමින්ටෑන හමුදාවන් ඇතුලත් කරගත්තා.

14. මාඕගේ ප්‍රක්ෂේපනය වූ, ධනේශ්වරයේ කොටස් සමග සන්ධානගත වූ, විප්ලවයේ ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී” අවධිය, වසර ගනනාවක් පැවතීමට නියමිත වුනා. එහෙත්, 1950 දී කොරියානු යුද්ධය දියත් කල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් එල්ල කරන මිලිටරි ප්‍රහාරයක තර්ජනයට, එය වසරක් ගත වන්නටත් මත්තෙන් මුහුන දුන්නා. යුද්ධයට ඉදිරියට ඇදෙමින් මැදිහත් වීම සඳහා චීනයට බලකෙරුනු විට, කොරියාව තුල සිටින එක්සත් ජනපදයේ නායකත්වය ලබන හමුදාවන් සිය විභවීය විමුක්තිදායකයන් ලෙස සැලකූ ධනපති පන්තියේ ස්ථරයන් අභ්‍යන්තර ව සිදු කල කඩාකප්පල් කිරීමට එය මුහුන දුන්නා. සිදුවිය හැකි එක්සත් ජනපද ආක්‍රමනයකට මුහුන දුන් මාඕවාදී පාලනයට, පුද්ගලික ව්‍යවසායයන් තුලට ක්ෂනික ව කඩා වැදීමටත්, සෝවියට් පන්නයේ නිලධාරී තාන්ත්‍රික ආර්ථික සැලසුම්කරනයන් ආයතනගත කිරීමටත්, බලකෙරුනා. චීනය තුල තිබූ ඇමරිකාවට අයත් ආසියා තෙල් සමාගම වැනි විදේශීය ව්‍යවසායයන් අත් කරගත් මාඕගේ ආන්ඩුව, ආර්ථිකයේ ප්‍රධාන අංශ ජනසතුකරනය කලා.

මිදී ගිය යාලු ගංගාව හරහා කොරියාවට ගොඩබසින චීන භටකායන්

1953 දී, මාඕ ආන්ඩුව, සෝවියට් නිලධාරී-තාන්ත්‍රික සැලසුම්කරනය මත සමීප ව හැඩගන්වන ලදු ව, සෝවියට් ආධාර හා උපදේශකයන්ගේ සහයෝගය සහිත ව එහි පලමු පස්-අවුරුදු සැලසුම ක්‍රියාත්මක කලා. චීනයේ ආර්ථිකය, සෝවියට් සන්ධානයේ ආර්ථිකයට සමීප ව ගැටගසනු ලැබුවා. එතෙකුදු වුවත්, ස්ටැලින් හෝ මාඕ, ඔවුන්ගේ රාජ්‍යයන් දෙක පොදු සමාජවාදී සෝවියට් සමූහාන්ඩුවක් බවට ඒකාබද්ධ කිරීම, කිසිවිටෙක යෝජනා කලේ නැහැ. ඔවුන් දෙදෙනා ම ඉදිරියට ගියේ, ඔවුන් නියෝජනය කල වරප්‍රසාදිත නිලධාරී තන්ත්‍රයන්ගේ පටු ජාතික අවශ්‍යතා මත මිස, නිර්ධන පන්තියේ ජාත්‍යන්තරවාදී අවශ්‍යතාවල පදනම මත නෙවෙයි.

1955 යෝජනාව තුල, සමාජවාදී කම්කරු පක්ෂය චීනය විකෘත කම්කරු රාජ්‍යයක් ලෙස විලක්ෂනය කලා. නිලධාරී තාන්ත්‍රික ආර්ථික සැලසුම්කරනය සමගින් කර්මාන්ත හා බැංකු ජනසතු කිරීම, කම්කරු රාජ්‍යයක් සඳහා පදනම් දමා තිබුනත්, ස්ටැලින්වාදය විසින් එය උපතේ පටන් ම විකෘත කොට තිබුනා. චීනය තුල ස්ථාපිත කොට තිබූ ජනසතු දේපොල සබඳතා හතරවැනි ජාත්‍යන්තරය විසින් කොන්දේසි විරහිත ව ආරක්ෂා කලා. ඒ සමග ම, මාඕවාදී පාලන තන්ත්‍රයේ නිලධාරී-තාන්ත්‍රික ලෙස විකෘත වූ සම්භවයන් එහි ආධිපත්‍යධාරී ලක්ෂනය ලෙස හඳුනාගත් හතරවැනි ජාත්‍යන්තරය, සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර අරගලයේ ඒකාග්‍ර කොටසක් ලෙස චීනය තුල සමාජවාදය ගොඩනැගීමට තිබූ එක ම ඉදිරි මාවත දේශපාලන විප්ලවයක් හරහා එම තන්‍ත්‍රය පෙරලා දැමීම බව පෙන්වා දුන්නා.

15. සාපෙක්ෂ ව ලුහුඬු දේශනයක් තුල, විකෘත කම්කරු රාජ්‍යයක සිට ලෝකයේ දෙවැනි විශාලතම ධනපති ආර්ථිකය දක්වා චීන පාලන තන්ත්‍රයේ පරිනාමය සවිස්තර ව විමර්ශනය කිරීමේ හැකියාවක් නැතත්, කරුනු කිහිපයක් ගෙනහැර දැක්විය යුතු යි.

කම්කරු පන්තියේ දේශපාලන විප්ලවයක් සිදු නො වුවහොත්, සෝවියට් සංගමය තුල ධනවාදී පුනස්ථාපනය අනිවාර්යය බව ලියොන් ට්‍රොට්ස්කි 1930 ගනන්වල දී අනතුරු ඇඟවූවා. චීනයට මෙන් ම නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී රාජ්‍යයන්ටත්, එම පෙරදැක්ම එම නිරවද්‍යතාවයෙන්ම යුතුව අදාල වූවා. ආරම්භයේ දී මාඕ ගත් ආර්ථික පියවරයන්, යුද්ධයෙන් ඉරිතැලුනු ආර්ථිකය ප්‍රකෘතිමත් වීමකට තුඩු දුන්නත්, “තනිරටේ සමාජවාදය” පිලිබඳ එහි ස්වයං-පෝෂිත ඉදිරි දර්ශනය අනිවාර්යයෙන් ම ගැඹුරු වන ආර්ථික හා සමාජීය සංක්ෂෝභයටත්, බෙයිජිනයට විසඳුම් නො තිබූ අර්බුදයන්ටත් හේතු වුනා. ඒවායේ ප්‍රතිඵලය වූයේ, කටුක අභ්‍යන්තර කන්ඩායමික යුදවැදීම් හා අනපේක්ෂිත දඟ කැවීම් හා හැරීම්.

1958 දී, මාඕගේ “මහා ඉදිරි පිම්මට” යටින්, ස්වයං-පෝෂිත සමාජවාදී සමාජයක් පිලිබඳ ඔහුගේ මනෝරාජික වැඩසටහන පැවතුනු අතර, එය අවසන් වූයේ ආර්ථික ව්‍යසනයකින් හා මහා පරිමාන සාගතයෙන්. ලියු ෂාඕකි විසින් නායකත්වය දුන් ඔහුගේ කන්ඩායමික විරුද්ධවාදීන්, සෝවියට් පන්නයේ නිලධාරී-තාන්ත්‍රික සැලසුම්කරනය අනුගමනය කලත්, එය විකල්පයක් සම්පාදනය කලේ නැහැ. 1961-63 සෝවියට් සංගමය සමග බිඳීම සහ සෝවියට් ආධාර හා උපදේශකයන් ඉවත් කර ගැනීම විසින් ආර්ථික අර්බුදය විශාල වසයෙන් නරක අතට හරවනු ලැබූ අතර, චීනය මුලුමනින් ම හුදකලාවට ඇද වැටුනා.

16. අද දින චීනයේ විවිධාකාර නව-මාඕවාදී ප්‍රවනතා, මාඕ යනු ඔහුගේ අදහස් අනෙකුන් විසින් පාවා දෙනු ලැබූ, අව්‍යාජ සමාජවාදී හා මාක්ස්වාදී විප්ලවවාදියෙක් ලෙස පින්තාරු කිරීමට ව්‍යාජ ව උත්සාහ දරනවා. ඔවුන්ගේ කියාපෑම් බොහෝ සෙයින් පදනම් වන්නේ 1960 ගනන්වල මාඕගේ ඊනියා ශ්‍රේෂ්ඨ නිර්ධන පන්තික සංස්කෘතිය විප්ලවය මතයි. ශ්‍රේෂ්ට හෝ, නිර්ධන පන්තික හෝ විප්ලවවාදී හෝ නො වූ එය, යතාර්ථයේ දී, “ධනපති මාවත ගන්නන්” ලෙස ඔහු හංවඩු ගැසූ ඔහුගේ ප්‍රතිමල්ලවයන්ට එරෙහිව ඔහු දැරූ අවසාන මංමුලා සහගත උත්සාහය වුනා. ඊනියා රතු ආරක්ෂකයන් (රෙඩ් ගාඩ්ස්) තුල සංවිධිත ව සිටි තරුන ශිෂ්‍යයන් ද, ඉනික්බිතිව පාදඩ නිර්ධන පන්තිය හා දුගී ගොවීන් ද අතරින් පක්ෂයට පිටතින් සහයෝගය බලමුලු ගන්වා ගැනීමට මාඕ උත්සාහ දැරුවා. ගොවිජන තනිපුද්ගලවාදය දිරිමත් කිරීම, සියලු සංස්කෘතිය හා විද්‍යාව “ධනේශ්වර” ලෙස හෙලාදැකීම හා මාඕගේ කුඩා රතු පොත නමැති දේශපාලනික විකට කාව්‍යය නිල රාජ්‍ය ආගමක තත්ත්වයට ඔසවා තැබීම තුල, මෙම ව්‍යාපාරයේ ප්‍රතිගාමී ස්වභාවය ප්‍රකාශයට පත් වුනා.

මෙම ආරම්භකත්වය ශීඝ්‍රයෙන් පාලනයෙන් පිට පැන්නේ, පාලන තන්ත්‍රයේ පැවැත්මට ම තර්ජනය කල ව්‍යාකූල හා කම්පාකාරී සමාජ අරගලයන්ට හේතු වෙමින්. “මූලස්ථානයට බෝම්බ දමනු” යන මාඕගේ නියෝගය හැබෑවටම ගත් ෂැංහයිහි කම්කරුවන්, 1967 දී ෂැංහයි මහජන කොමියුනය බිහි කරමින් මහා වැඩ වර්ජනවල නියැලුනු විට, කැලඹිල්ල පාලනය කිරීමට මාඕ මිලිටරිය යෙදවූවා. කම්කරු පන්තියට පාලන තන්ත්‍රය දැක්වූ හතුරුකම, ෂැංහයි කම්කරුවන්ට එය කල අනතුරු ඇඟවීම තුල ප්‍රකාශයට පත්වුනා: එනම්, “කම්කරුවන් ලෙස ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ වැඩ කිරීම යි. විප්ලවයට සම්බන්ධ වීම දෙවැනි ගනයේ දෙයක් පමනයි. එම නිසා ඔවුන් ආපසු වැඩට යා යුතු යි.”

දෙරට අතර සාකච්ඡාවල අතුරු වැඩසටහනක් ලෙස, 1972 පෙබරවාරි 22දා පීකිංහි ශ්‍රේෂ්ට මහජන සභා ශාලාවේ පැවැත්වෙන සංස්කෘතික සන්දර්ශනයක දී, චීන අගමැති චවු එන්-ලායි හා සභාපති මාඕ සේතුංගේ බිරිඳ වන චියෑං චින් අතර වාඩි වී සිටින ජනාධිපති රිචඩ් නික්සන් (ඒපී ඡායාරූප)

යතාර්ථයේ දී, ධනවාදී පුනස්ථාපනයට මාවත විවෘත කෙරුනේ මාඕ විසින් ම යි. කඳුගැසෙන ආර්ථික හා සමාජීය ගැටලුවලටත්, සෝවියට් සංගමය සමග යුද තර්ජනයටත් මුහුන දුන් බෙයිජිනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සන්ධානයක් වාත්තු කරගත් අතර, එමඟින් ගෝලීය ධනවාදයට චීනයේ ඒකාග්‍ර වීම සඳහා පදනම දැමුනා. වෙලඳපොල ප්‍රතිසංස්කරනය ආරම්භ කිරීමේ කාර්යය ඩෙන් ෂියාඕපිංට පැවරුනු අතර, විදේශීය ආයෝජන හා බටහිර සමග වඩා වැඩි වෙලඳාම සඳහා සාරභූත පූර්ව-කොන්දේසිය වූයේ, 1972 දී මාඕ විසින් එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් සමග සබඳතා ප්‍රතිස්ථාපනය කරනු ලැබීමයි. විදෙස් පිලිවෙතේ දී, මාඕවාදී පාලන තන්ත්‍රය චිලී රටේ ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේ හා ඉරානයේ ෂා ඇතුලු එක්සත් ජනපද පිටුබලය ලබන වඩාත් ම ප්‍රතිගාමී ආඥාදායකත්වයන් සමග පෙල ගැසුනා.

දේශීය ව, මාඕ, සංස්කෘතික විප්ලවය සමයේ “අංක 2 ධනවාදී මාවත ගන්නා” ලෙස නෙරපා හැර සිටි ඩෙන් ෂියාඕපිං පුනරුත්ථාපනය කලා. මාඕගේ මරනින් පසු, ස්ටැලින්වාදී නිලධරයේ ආධිපත්‍යධාරී චරිතය ලෙස ඉස්මතු වූ ඩෙන්, විදේශීය ආයෝජකයන් සඳහා විශේෂ ආර්ථික කලාප, ගම්බද ව කොමියුන වෙනුවට පුද්ගලික ව්‍යවසායය හා වෙලඳපොල විසින් ආර්ථික සැලසුම්කරනය විස්ථාපනය කිරීම ඇතුලත් වූ, දුරදිග යන “ප්‍රතිසංස්කරන හා විවෘත කිරීම” නමැති න්‍යාය පත්‍රය 1978 දී ආරම්භ කලා. මෙහි ප්‍රතිඵලය වූයේ, විශේෂයෙන් ම ගම්බද ව පුද්ගලික ව්‍යවසායයන්හි යෝධ ප්‍රසාරනය, සමාජ අසමානතාව ක්ෂනික ව ඉහල යාම, පක්ෂ නිලධරයන් විසින් කරන කොල්ලකෑම හා දූෂනය, වැඩෙන විරැකියාව හා උද්ධමනය අහස උසට නැඟීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අරබයා තියනාන්මෙන් චතුරස්‍රයේ පැවති ශිෂ්‍ය විරෝධතා මගින් ප්‍රේරනය කරන ලදුව, 1989 දී පුපුරා ගියේ මෙම සමාජයීය වෙඩි බෙහෙත් පීප්පයයි. හුදෙක් බෙයිජින ශිෂ්‍යයන්ගේ ව්‍යාපාරයක් පමනක් නො වූ මෙය, ඩෙන්ගේ වෙලඳපොල-ගැති පිලිවෙත්වලට එරෙහි ව රට පුරා කම්කරු පන්තියේ කැරැල්ලක් බවට වර්ධනය වූවා. එය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම, මහා පරිමානයෙන් ධනවාදය පුනස්ථාපනය කිරීමට මාවත විවෘත කලේ, නැගෙනහිර යුරෝපය හා සෝවියට් සංගමය තුල සිදු වෙමින් පැවති ක්‍රියාදාමයන්ට සමාන ව යි.

1989 මැයි මාසයේ තියනාන්මෙන් චතුරස්‍රයේ මහජන විරෝධතා (ඒපී ඡායාරූප - සාදායුකි මිකාමි)

මෙම පාලන තන්ත්‍ර බිඳ වැටීම හෝ පරිවර්තනය වීම සිදු වූයේ, සමාජවාදයේ අසාර්ථක භාවයක් නිසා නො ව, ස්ටැලින්වාදයේ හා තනිරටේ සමාජවාදය නමැති එහි බංකොලොත් ජාතිකවාදී ඉදිරි දර්ශනයේ නිෂ්පාදිතය ලෙස බව තනිව පැහැදිලි කලේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනයි. තව ද, මෙම ක්‍රියා දාමයන් සුවිශාල ලෙස වේගවත් කිරීමට හේතු වූ නිෂ්පාදනයේ ගෝලීයකරනය, ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂය හා වෘත්තීය සමිති ඇතුලු ජාතික ආර්ථික නියාමනය මත පදනම් වූ සියලු පක්ෂ හා ආයතනවලට වලකපමින් තිබුනු බව ද අපි පෙන්වා දුන්නා.

17. අද දින චීනය පිලිබඳ කරුනු කිහිපයක් සමගින් මම දේශනය සමාප්ත කරනවා.

පලමුව, අද දින පවතින කාර්මික යෝධයා ලෙස -ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස- චීනයේ ඉස්මතු වීම ධනවාදයේ නව සුපුෂ්පිත වීමක් නියෝජනය කරන්නේ නැහැ. එසේ ම එය, චීන ආර්ථිකයේ කිසිදු ආවේනික ශක්තියක නිෂ්පාදිතය ද නෙවෙයි. ඒ වෙනුවට, චීනයේ විස්මය ජනක වර්ධන අනුපාත, ඇද වැටෙන ලාභ අනුපාත ජයගැනීමට උත්සාහ කරන ගෝලීය ප්‍රාග්ධනය විසින්, එහි යෝධ ලාභ ශ්‍රම තටාක කොල්ලකෑමේ ප්‍රතිඵලය යි. තියනාන්මෙන් චතුරස්‍රයේ සංහාරයෙන් ඉක්බිති ව, චීනය තුලට ගලා ආ විදේශ ආයෝජනවලට පහසුකම් සපයන ලද්දේ, යටිතල පහසුකම්, මූලික කර්මාන්ත හා විශේෂයෙන් ම අධ්‍යාපනගත ශ්‍රම බලකාය යන 1949 විප්ලවයේ ජයග්‍රහන ලෙස ඉතිරි ව තිබූ දේවල් විසින්. තියනාන්මෙන් චතුරස්‍රයේ විරෝධතා ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම, අනාගත කම්කරු-පන්තික කැලඹිලිවලට එරෙහි ව පොලිස් රාජ්‍ය මර්දනය යොදා ගැනීමට, පාලන තන්ත්‍රය පසුබට නො වන බවට විදේශීය ආයෝජකයන්ට සහතිකයක් ලබා දුන්නා.

එහෙත්, චීනයේ ආර්ථික නැගීම, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ආධිපත්‍යය දරන ගෝලීය පර්යාය සමග මුහුනට මුහුන ගැටුමකට ගෙනැවිත් තිබෙනවා. චීනයේ ආර්ථික ප්‍රසාරනය එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ගේ ආධිපත්‍යයට අභියෝග නො කරන තාක් කල්, ලාභ චීන ශ්‍රමය විසින් ජනනය කරනු ලබන සුපිරි ලාභවල ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන් මනාපෙයන් පසු වෙනවා. චීනයට බලශක්තිය, අමුද්‍රව්‍ය හා වෙලඳපොලවල යෝධ සම්පාදනයක් අවශ්‍ය වීම මෙන් ම, අධි-තාක්ෂනික අංශවලට එහි යොමු වීම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආර්ථික හා භූ-දේශපාලනික අවශ්‍යතාවන් සමග හරහට හිටිනවා.

දුර්වල වෙමින් පවතින සිය ගෝලීය ආධිපත්‍යය නඩත්තු කරගැනීමේ උත්සාහයක් ලෙස, පලමුව ඔබාමාගේ “ආසියාවට හැරීම” යටතේත්, දැන් ට්‍රම්ප් යටතේත්, එක්සත් ජනපදය, රාජ්‍ය-තාන්ත්‍රික ව, ආර්ථික ව මෙන් ම මිලිටරිමය ලෙසත්, සෑම අංශයකින් ම චීනයට වලකපා ගැටීමට ආක්‍රමනශීලී ව උත්සාහ දරා තිබෙනවා. දකුනු චීන මුහුද වැනි ජ්වලනාංකයන් ඉවබව නැති ව දල්වා ඇති වොෂින්ටනය, අසියා-පැසිෆික් කලාපය පුරා මිලිටරි හමුදා ගොඩනගා, යුද්ධයට සූදානම් වෙමින් ඕස්ට්‍රේලියාව ඇතුලු සගයන් සමග සන්ධානයන් ශක්තිමත් කරගෙන තිබෙනවා.

පසුගිය වසරේ දී සම්මත කරන ලද “විදෙස් මැදිහත්වීමේ” නීතිය ඇතුලු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් සඳහා ව්‍යාජ හේතු ලෙස හා ඒවාට පක්ෂව මහජන මතය සකස් කිරීමට, චීන “ප්‍රසාරනවාදය” හා චීන දේශපාලනික මැදිහත්වීම හෙලා දකිමින්, ඕස්ට්‍රේලියාව ද ඇතුලු රටවල් තුල තීව්‍ර කරමින් තිබෙන ප්‍රචාරන උද්ඝෝෂනයක් සමග මෙම ආක්‍රමනශීලී ප්‍රචාරය අත්වැල් බැඳගෙන තිබෙනවා. චීන සිසුන් ද සමස්තයක් ලෙස චීන ප්‍රජාව ද මත සැකය ජනනය කරන චීන-විරෝධී භීතිකා වාතාවරනයක් අවුලුවමින් පවතිනවා.

චීන මහජන සමූහාන්ඩුවේ ‌ඓතිහාසික සම්භවයන් නො තකා හරින හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ව්‍යාජ-වම්මුන් දෙන වක්‍ර පිටුබලය සාධාරනීකරනය කිරීමට යොදා ගන්නා විලක්ෂනය කිරීමක් වන, චීනය අධිරාජ්‍යවාදී බලයක් ලෙස නම් කිරීම මඟින්, සමාජවාදී විකල්පය (සෝෂලිස්ට් ඕල්ටර්නේටිව්) වැනි ව්‍යාජ-වාම සංවිධාන මෙම උද්ඝෝෂනයේ හොරනෑවන් බවට පත් වී තිබෙනවා. චීන පාලක ප්‍රභූන්ට චීනය ප්‍රධාන ලෝක බලයක් බවට පත් කිරීමේ අභිලාෂයන් තිබෙන නමුත්, එය, පසුගිය ශතවර්ෂය තුල ස්ථාපිත කරන ලද හා අද දින එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන ගෝලීය අධිරාජ්‍යවාදී පර්යායෙහි කොටසක් නොවෙයි.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය සහ සමාජවාදී සමානතා පක්ෂය, එක්සත් ජනපදය නායකත්වය දෙන යුද ව්‍යාපාරයට විරුද්ධ වෙනවා. එහෙත්, වොෂින්ටනයේ ප්‍රකෝපකරනයන්ට හා මිලිටරි ප්‍රචාරනයට ප්‍රගතිශීලී පිලිතුරක් නැති බෙයිජිනයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයට අපි කිසිදු දේශපාලන සහයෝගයක් දෙන්නේ නැහැ. යුද්ධය වැලැක්විය හැකි එක ම සමාජ බලවේගය වන චීනයේ හා ලොව පුරා කම්කරු පන්තියට කිසිදු ආයාචනයක් කිරීමේ හැකියාවක් ‌ඓන්ද්‍රීය ව ම කොමියුනිස්ට් පක්ෂයට නැහැ. ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය, අධිරාජ්‍යවාදයේ තර්ජනයට වඩා කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරයට භයයි. එය මිලිටරියට වඩා අභ්‍යන්තර පොලිස් රාජ්‍ය යාන්ත්‍රනයට වියදම් කරන්නේ ඒ නිස යි. චීන ජාතිකවාදය සඳහා පෙලඹවීම් මත, විශේෂයෙන් ම, සිය එකම අභිප්‍රාය චීන හා ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර භේදයක් නිර්මානය කිරීම වන මධ්‍යම පන්තික ස්ථරයන් අතර තමන් සඳහා සමාජ පදනමක් නිර්මානය කරගැනීමට එය උත්සාහ කරනවා.

චීනයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය, ජනගහනයේ සැලකිය යුතු කොටසක ජීවන තත්ත්වයන් ඉහල නංවා තිබෙනවා. ලෝක බැංකුවට අනුව, වර්තමාන කර්කශ දරිද්‍රතා රේඛාව වන දිනකට එක්සත් ජනපද ඩොලර් 1.90ට පහලින් ජීවත් වන ජනගහනයේ ප්‍රතිශතය, 1981 දී පැවැති සියයට 88ක සිට 2015 දී සියයට 0.7 දක්වා පහල වැටී තිබෙනවා. එහෙත්, සමාජ අසමානතාව ඇඟකිලිපොලා යන මට්ටම්වලට ලඟා වී තිබෙනවා. චීනය, ලෝකයේ වඩාත් ම සමාජීය ව සමාන රටක සිට වඩාත් ම අසමාන රටක් බවට පත් වී තිබෙනවා. කම්කරුවන්ගේ හෝ ගොවි ජනයාගේ උත්සුකයන් නියෝජනය නො කරන කොමියුනිස්ට් පක්ෂය, රජයට අයත් දේපොල කොල්ලකෑම හා කම්කරු පන්තිය අමුඅමුවේ සූරාකෑම හරහා ධනය කඳුගසා ගත් සුපිරි-ධනවත් කතිපයාධිකාර කල්ලිවල අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වසරේ දී, චීනය තුල පොහොසත් ම පුද්ගලයන් පස් දෙනාගේ ඒකාබද්ධ ධනය ඩොලර් බිලියන 38ක් කරා නැගුනේ, මසකට ඩොලර් 370ක අවම වැටුපක් මත ජීවිත ගැටගසා ගැනීමට කම්කරුවන් අරගලයේ යෙදෙද්දී යි.

වර්තමානයේ එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් 48,000ක‌ගේ වැඩ වර්ජනය හා ප්‍රන්සයේ කහ කබා ව්‍යාපාරය තුල නියැලී සිටින දහස් ගනනක් විසින් සාක්ෂි සම්පාදනය කරන ආකාරයට ජාත්‍යන්තර ව පන්ති අරගලය පුනර්ජීවනයක් මධ්‍යයේ, කම්කරුවන් මිලියන 400ක් යයි තක්සේරු කෙරී ඇති සංඛ්‍යාවක් කරා ප්‍රසාරනය වී ඇති චීන කම්කරු පන්තියේ පුපුරනසුලු අරගල අපේක්ෂා කිරීමට සෑම හේතුවක් ම පවතිනවා. ඊනියා මහජන සිද්ධි පිලිබඳ නිල සංඛ්‍යා ලේඛන නිකුත් නො කල ද 2014 සපත්තු කම්කරුවන්ගේ වැඩ වර්ජනය වැනි, වැටුප් නො ගෙවීම හා ප්‍රතිලාභ අරබයා ඉහල යන වැඩ වර්ජන මට්ටම් ගැන ඉඟි කිරීම් පවතිනවා.

හොංකොංහි විරෝධතාකරුවෝ, ස්තුතිය: ඩෙනිස් හෝ (ට්විටර්)

මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අරබයා මිලියන ගනන් නියුක්ත ව සිටින දිග්ගැස්සෙන හොංකොං මහජන විරෝධතා, හුදෙක් එම භූමි ප්‍රදේශය තුල පමනක් නො ව සමස්ත චීනය පුරා ගැඹුරට විහිදී ගිය සමාජ ආතතීන්ගේ රෝග ලක්ෂනයක්. එහෙත්, හොංකොං විරෝධතාවල ව්‍යාකූල හා විෂමජාතීය ස්වභාවය, කම්කරු පන්තිය මුහුන දෙන අති මූලික ගැටලුව වන විප්ලවවාදී නායකත්වයක් නැති කම අවධාරනය කරනවා. විප්ලවවාදී පක්ෂයක් නැති තැන, හොංකොංහි නැගී සිටීම එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයන්ට කරන ආයාචනා වැනි අතිශය දක්ෂිනාංශික ගමන් මාවත් ඔස්සේ යොමු විය හැකි යි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගත හැක්කේ සමාජවාදී ඉදිරි දර්ශනයක පදනම මත චීනයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතට හැරීමෙන් පමනයි.

අපේ දේශපාලන ඉදිරි දර්ශනය පදනම් වන්නේ, 1917 රුසියානු විප්ලවයට හා චීනයේ ද ඇතුලු ව ලොව පුරා කොමියුනිස්ට් පක්ෂ බිහි කිරීමට අනුප්‍රානය සැපයූ, ස්ටැලින්වාදය විසින් පාවා දෙන ලද, විප්ලවීය සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම මත යි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ප්‍රසාරනය කිරීම හා විශේෂයෙන් ම චීනයේ ද ඇතුලු ව එහි නව ශාඛා ස්ථාපිත කිරීම සඳහා පදනම සකස් කල යුත්තේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් දියත් කරන ලද දිග්ගැස්සුනු අරගලවල ‌ඓතිහාසික පාඩම් වලිනුයි.

මෙම දේශනයෙන් උකහා ගන්නා නිගමනය වන්නේ, මෙහි සිටින සෑම දෙනා ම මෙම ‌ඓතිහාසික කර්තව්‍යය තුල ඔබගේ කාර්යභාරය ඉටුකිරීම පිලිබඳ බරපතල ලෙස සලකා බැලිය යුතු බවයි. ඔබ දැනට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්නේ නැත්නම්, එය ආරම්භ කරන ලෙස මම ඔබ ව දිරිමත් කරනවා. ඔබ තවමත් සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ හෝ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෙක් නො වෙයි නම්, ඒවාට බැඳීමට අයදුම් කොට, ඉදිරියේ එන අරගලවලට අවශ්‍ය විප්ලවීය සමාජවාදී නායකත්වය ගොඩනැගීමට උදව් වන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

1. “චීන විප්ලවය සහ ස්ටැලින් සහෝදරයාගේ ප්‍රවාද” -ලියොන් ට්‍රොට්ස්කිගේ චීන විප්ලවයේ ගැටලු තුල පලකෙරී ඇත, නිව් පාක් පබ්ලිකේෂන්ස්, 1969, 5 පිටුව

2. “චියැං කායි-ෂෙක් අභිබවා චීන කොමියුනිස්ට් පක්ෂය ලබාගත් ජයග්‍රහනයේ හේතු සහ සීසීපීයේ ඉදිරි දර්ශන”, පෙං ෂුෂි විසින්, 2019 ඔක්තෝබර් 3 දා ලෝසවෙඅහි පලකරන ලදී.

3. “තුන්වන චීන විප්ලවය හා ඉන්පසු” -1955 දී ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය විසින් සම්මත කරන ලද යෝජනාව, 2019 ඔක්තෝබර් 9දා ලෝසවෙඅහි පලකරන ලදී.

Loading