නාත්තන්ඩිය පාසල් දැරියගේ මරනයත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිතව මරනයට පත් වූ දරුවන් සංඛ්‍යාව 90 දක්වා ඉහල නගී

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 ශ්‍රේනියේ ඉගෙනුම ලැබූ මනීෂා කුමාරි ප්‍රනාන්දු නමැති දැරිය පසුගිය ඉරිදා (30දා) මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී කොවිඩ් නිව්මෝනියා තත්වයෙන් මරනයට පත් වූවාය. මරනයට පත් වන විට ඇය යන්තම් එකොලොස් වන විය පසු කලා පමනි.

සිසු අනුපාතයට සරිලන සනීපාරක්ෂක පහසුකම් නොමැති රටපුරා පිහිටි පාසල් පත්ව ඇත්තේ වසංගතය පතුරුවා හරින මධ්‍යස්ථාන බවටයි.

දැරියගේ මරනය, “නව සාමාන්‍යය හෙවත් වසංගතය සමග ජීවත්වීම” නමින් රාජපක්ෂ ආන්ඩුව ගෙන යන සමාජ ඝාතක පිලිවෙතේ ඍජු ප්‍රතිඵලයකි. රාජපක්ෂ ආන්ඩුව අනුයන්නේ ද දෙස් විදෙස් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් තැබීමේ ලොවපුරා සහචර පාලක පන්තීන් ගෙන යන සාපරාධි පිලිවෙතයි.

දැරියගේ මරනයත් සමග, ලංකාවේ වසංගතය හේතුවෙන් මිය ගිය වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ සංඛ්‍යාව 90 ක් දක්වා ඉහල ගොස් තිබේ. වසංගතය අවසන් වීමකින් තොරව පාසල් විවෘත කිරීම මෙම විනාශයන්ට ප්‍රධාන හේතුවක් වී ඇති අතර එය තවදුරටත් මරාන්තික ප්‍රතිඵල ජනනය කරමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ලමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පසුගිය වසරේ දෙසැම්බර් 13 දා මාධ්‍යයට ප්‍රකාශ කලේ වසංගතය හේතුවෙන් ඒ දක්වා ලංකාවේ ගර්භනි මව්වරු 60 ක් හා වයස 18 ට අඩු දරුවන් 89 ක් මරනයට පත්ව ඇති බවයි.

ලංකාවේ පවුල් සෞඛ්‍යය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න ඔක්තෝබර් මස 08 දා මාධ්‍යට හෙලිදරව් කලේ ලංකාවේ වාර්තාවන කොව්ඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව ඒ වන විට 59,000 ක් තරම් ඉහල අගයක් ගෙන ඇති බවත්, ඒ අතරින් ලමුන් 67 ක් මිය ගොස් ඇති බවයි. වෛද්‍යවරුන් දෙපලගේ මෙම සංඛ්‍යා දත්තවලට අනුව පසුගිය මාස තුන හමාරක කාලය තුල පමනක් ලමුන් 23 ක් මරනයට පත්ව තිබේ.

මේ වන විට කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ ප්‍රතිකාර ලබන ලමයින් සංඛ්‍යාව 51 ක් දක්වා ඉහල නැගීම පැන නැංවිය හැකි ප්‍රතිවිපාක තවත් දරුනු වන බවට වන සාක්ෂියකි. මනිෂා ප්‍රතිකාර ලැබූ මාරවිල රෝහලේ කොවිඩ් වාට්ටුවේ ද කුඩා දරුවෝ දුසිමක් පමන ප්‍රතිකාර ලබමින් සිටිති. රටපුරා බොහෝමයක් රෝහල්වල හා ප්‍රදේශවල තත්වය මීට සමාන තත්වයක් ගනු ඇත.

රටතුල දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂනවල ඌනතාවය හේතුවෙන් හා සෑම මරනයක් පිලිබඳවම පරීක්ෂන සිදු නො වන තත්වයක් තුල සැබෑ ආසාදන හා මරන ඉහත සංඛ්‍යා දත්තවලට වඩා වැඩි අගයක් ගනු නියත ය.

ධම්මිස්සර ජාතික පාසලේ හා ඒ අවට පාසල්වල ගුරුවර-ගුරුවරියන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) විස්තර කල පරිදි මනීෂා පසුගිය සතියේ සිකුරාදා (28දා) දිනත් පාසල් පැමින ඇත. සෙනසුරාදා නැටුම් පන්තියකට සහභාගී වී නිවස බලා ගිය ඇය හුස්ම ගැනීමේ අපහසුතා පෙන් වූ බැවින් මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. එහිදී කල පරීක්ෂනවලින් දැරිය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත. ඉරිදා උදෑසන ඇය මරනයට පත් විය.

දැරියගේ පියා නාත්තන්ඩියේ ම පිහිටි ලූර්දු මහ විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකි. මනිෂා හට උසස් පෙල ඉගෙනුම ලබන සහෝදරියක සහ වයස අවුරුදු තුනක පමන සහෝදරයෙකු ද සිටී. ලූර්දු මහ විද්‍යාලයේ පලමුව ඉගෙනුම ලැබූ මනීෂා 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ධම්මිස්සර ජාතික පාසලට ඇතුලත් වූයේ විශාල බලාපොරොත්තු සහිතවයි.

මනීෂා හට ප්‍රාථමික අංශයේ වසර කිහිපයක් ඉගැන්වීම් කටයුතුවල නියැලුනු ගුරුවරියක් අවට පාසල් තුල ආසාදනයන් වැඩි වීමේ අන්තරාය මෙසේ පැහැදිලි කලා ය: “මීට මාස 06 ට පෙර මනීෂාටත් ඇගේ පවුලේ සියලුම දෙනාටත් කොවිඩ් ආසාදිත වුනා. ඉන් සුවය ලබා සිටියත්, ඇයට යලි කොවිඩ් වැලඳී තිබෙනවා. මේ අවට පාසල් බොහෝමයකත් ඇගේ පාසලේත් ආසාදන රැල්ලක් මේ දිනවල තිබෙන්නේ. සෑම පන්තියක වාගේ දරුවන් එක් කෙනෙක් දෙදෙනෙක් ආසාදනය වෙනවා. නමුත් ආශ්‍රිතයන්ව පරීක්ෂනයකට භාජනය කරන්නේ නෑ. මේ මරනය එහි ප්‍රතිඵලයක්”.

“උගන්වන්න නම් ලමයි ජීවත්වෙලා නිරෝගීව ඉන්න ඕනා” යයි ප්‍රකාශ කල එම ගුරුවරිය වසංගතයේ අන්තරාය මධ්‍යයේ පාසල් විවෘත කිරීම හෙලා දැක්කා ය. මනීෂා පිලිබඳ මතකයන් ආවර්ජනය කල ඇය කඳුලු සලමින් මෙසේ පැවසුවා ය: “මනීෂා සුදු, තරමක් මහත හරීම හුරතල් දැරියක්. ඇය ඉගෙන ගන්න හරීම උනන්දුයි. ඇගේ අත් අකුරු හරීම ලස්සනයි. ලස්සනට චිත්‍ර ඇන්දා. නටන්න හරීම දක්ෂයි. හරිම ආදරනීය දරුවෙක්. කොවිඩ් නොවැලඳුනා නම් ඇය තවමත් ජීවතුන් අතර සිටිනවා”.

ධම්මිස්සර ජාතික පාසල පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ ජාතික පාසලකි. එහි මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 5,000 ක් ඉක්මවයි. 6 ශ්‍රේනියේ සිට ඉහලට ඇති සෑම පන්ති කාමරයකම ලමයින් 45-50 අතර සංඛ්‍යාවක් ගොනු වී සිටින බව තවත් ගුරුවරියක් ප්‍රකාශ කලා ය. මේ වන විට ධම්මිස්සර විද්‍යාලයේ ආසාදනයට ලක් වී සිටින ගුරුවරුන් අතර පලමුවන ශ්‍රේනියේ ඉගැන්වීම් කටයුතු කරන ගර්භනී ගුරුවරියක් ද සිටී.

දැරියගේ මරනයත් සමග හලාවත අධ්‍යාපන කලාපයේත් සමස්තයක් ලෙස රටපුරාත් පාසල්වල ශිෂ්‍ය සහභාගීත්වය සැලකිය යුතු මට්ටමින් පහත වැටී තිබේ. ප්‍රදේශයේ පිහිටි හලාවත ආනන්ද, වෙන්නප්පුව ජෝසෆ් වාස්, මාදම්පේ සේනානායක, කරුක්කුව හා මාරවිල සාන්ත සේවියර් වැනි තවත් ප්‍රධාන පාසල්වල ඇත්තේ මීට වඩා නරක තත්වයකි. සිසු අනුපාතයට සරිලන සනීපාරක්ෂක පහසුකම් නොමැති රටපුරා පිහිටි මෙවැනි පාසල් පත්ව ඇත්තේ වසංගතය පතුරුවා හරින මධ්‍යස්ථාන බවටයි.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත මරාන්තික ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාව තුල පැතිරෙමින් තිබිය දී, ඔක්තෝබර් 21 දා යලි පාසල් විවෘත කිරීමේ දී ආන්ඩුවේ මැති ඇමතියන් සහ ආන්ඩුව වෙනුවෙන් පෙනී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) හා සෞඛ්‍ය බලධරයින්, ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, බ්‍රසීලයේ හා ඉන්දියාවේ සිය සහචරයන් අනුයමින් ප්‍රලාප ගෙතුවේ වෛරසය ලමයින්ගෙන් ලමයින්ට හා ලමයින්ගෙන් වැඩිහිටියන්ට බෝ නොවන බවටයි. මේ සියලු දෙනා මෙම අකල් මරනවලට වගකිව යුතු ය.

ඇමරිකාවේ මේ දිනවල දෛනික ආසාදන ලක්ෂ 7 ක් හා මරන 2,000 සීමාව ඉක්මවා වාර්තා වේ. පසුගිය සතියේ පමනක් එරට ආසාදිත ලමයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියේ ය. බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුලු යුරෝපාකරයේ, බ්‍රසීලයේ, ඕස්ට්‍රේලියාවේ හා ඉන්දියාවේ තත්වය මීටත් වඩා දරුනු අතට හැරෙමින් තිබේ.

ජාත්‍යන්තරව අත්දකිමින් සිටින ආකාරයට ම ලංකාවේ ආන්ඩුවේ ආවතේවකාර කන්ඩායම් ආසාදිත දරුවන්ගේ පශ්චාත් කෝවිඩ් සංකූලතා සහ බහු ඉන්ද්‍රීය ප්‍රදාහය වැනි අන්තරායකාරී සංකූලතා පිලිබඳ සැබෑ තොරතුරු මුලුමනින්ම යට ගසා තිබේ. බහු ඉන්ද්‍රීය ප්‍රදාහය යනු වෛරසයට එරෙහිව දරුවන්ගේ ශරීරය තුල නිපදවන ප්‍රතිදේහ හෘදය ඇතුලු ඉන්ද්‍රියන්ට බලපෑම් එල්ල කිරීමෙන් උද්ගත වන බරපතල තත්වයකි.

කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත ඔක්තෝබර් 17 දා මාධ්‍ය හමුවේ කියා සිටියේ බහුවිධ ඉන්ද්‍රීය ප්‍රදාහය හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ලමුන් සංඛ්‍යාව 200 ක් පමන වූ බවත් ඉන් 80 ක්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරවලට යොමු කල බවත් ය. එම මාසයේ එකී රෝගී තත්වයෙන් දරුවන් දෙදෙනෙක් මිය ගියහ.

රටක් රටක් පාසා පාලක පන්තීන් ගෙන යන මෙම සාපරාධී පිලිවෙතට, ධනේශ්වර ක්‍රමයට තදින්ම බැඳී සිටින වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම කල්ලි කන්ඩායම් පූර්න සහයෝගය දක්වන අතර එය ජාත්‍යන්තර ප්‍රපංචයකි.

වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමේ ආන්ඩුවේ තීන්දුවට පූර්න සහයෝගය පල කල ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ඒකාබද්ධ ගුරුසේවා සංගමය සහ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ද මෙම මරනවලට දේශපාලනිකව වගකිව යුතු ය. මෙම සමිති රාජපක්ෂ ආන්ඩුව මහ ධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය සඳහා ආර්ථිකය විවෘත කර කම්හල් සහ වැඩබිම් විවෘත කිරීමට මුලුමනින්ම පක්ෂපාති වෙති. එම පිලිවෙතින් සාමාන්‍ය කම්කරු පීඩිත මහජනයාට අත්වන විනාශය යට ගැසීමට ඔවුන් දැන් ආන්ඩුව සමග පෙල ගැසී සිටී.

එක් දරුවෙකුගේ ආසාදනය වීමක් හේතුවෙන් අදාල පන්තිය හෝ වසා නො දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප මට්ටමින් විදුහල්පතිවරු රැස් කොට කල නියෝගවලට ගුරු-විදුහල්පති සංගම් වචනයකින් හෝ විරුද්ධත්වය පල කර නැත. ආන්ඩුවේ “නව සාමාන්‍යයට” යටත් මෙම සමිති නායකයෝ මනිෂා දැරියගේ අකල් මරනය සම්බන්ධව ද වචනයක් හෝ ප්‍රකාශ නො කිරීමට වගබලාගෙන ඇත.

උසස් පෙල විභාගය හේතුවෙන් රටපුරා විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් හැර අනෙකුත් පාසල් විවෘතව තැබීමේ ආන්ඩුවේ තීරනයට ව්‍යාජ විරෝධයක් මවා පාමින් ඊයේ දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූ ලංගුස ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් “උසස් පෙල විභාග කාලය තුල පාසල් වහල යම් විදිහකට මේ තත්වය (වසංගතය) සමනය කර ගන්න පුලුවන්” යයි ප්‍රකාශ කලේ ය. විදුහල්පතිවරුන්ගේ සංගමය ද එවැනි කුහක ඉල්ලීමක් ආන්ඩුවට කර තිබේ.

වසංගතය “සමනය” කිරීමේ ස්ටාලින්ගේ පිලිවෙත පාලක පන්තියේ “එන්නත පමනයි” එකම විසඳුම හා “රංචු ප්‍රතිශක්තිය” වැනි අවිද්‍යාත්මක හා මාරාන්තික පිලිවෙත් සමග එකට ගමන් කරයි.

දරුවන්ගේ ජීවිත, ඔවුනගේ සෞඛ්‍යය විනාශයට ගොදුරු කිරීම නතරකොට අධ්‍යාපනය සුරක්ෂිත කල හැක්කේ වසංගතය අවසන් කිරීම සඳහා ගුරුවරු ඇතුලු කම්කරු පන්තිය ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් බිඳී ගනිමින් තමාගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගෙන දේශපාලනිකව ගනු ලබන මූලිකත්වයකින් පමනි.

Loading