ඉදිරිදර්ශන

ඔමික්‍රොන් බීඒ.2 උප ප්‍රභේදය වසංගතයේ නව ගෝලීය ව්‍යාප්තියක් අවුලුවයි

[මෙය Omicron BA.2 subvariant fuels new global surge of the pandemic යන මැයෙන් 2022 මාර්තු 09 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

යුක්රේනයේ ගැඹුරු වන යුද්ධය, එක්සත් ජනපද-නේටෝ බලවතුන් සහ රුසියාව අතර සෘජු ගැටුමක් දක්වා ඇවිල යාමට තර්ජනය කරද්දී, කෝවිඩ්-19 වසංගතය ඊට සමාන්තරව නමුත් මුලුමනින්ම පාහේ වාර්තා නොවන ආකාරයට උත්සන්න වෙමින් පවතී. මෙම අන්තර් සම්බන්ධිත ගෝලීය අර්බුද දෙක මානව වර්ගයා ව්‍යසනයකට ඇද දමයි.

දැන් වසංගතයේ වඩාත්ම ප්‍රචලිත මර්මස්ථානය හොංකොං වන අතර, එහි ව්‍යාප්තිය ලෝකයේ සෑම රටකම මෙතෙක් පැවති ඒක පුද්ගල ආසාදන හා මරන අනුපාතයන් ඉක්මවා ඇත. පෙබරවාරි මැද භාගයේදී පාලනයෙන් තොරව ආසාදන පැතිරයත්ම, රෝහල් සහ මෘත ශරීරාගාර ධාරිතාව ඉක්මවා ගිය අතර, සාපේක්ෂව අඩුවෙන් එන්නත්කරනයට ලක්වූ වැඩිහිටි ජනගහනය වඩාත් දරුනු ලෙස පීඩාවට පත් විය.

සඳුදා, හොංකොං හි දෛනික නව මරන දින 7 ක සාමාන්‍යය මිලියනයකට පුද්ගලයින් 29.18 දක්වා ලඟා විය. මෙය 2021 ජනවාරි 23 වන දින එක්සත් රාජධානියේ උපරිමය වූ 18.31 වඩා සියයට 50ට වැඩි ය, 2021 ජනවාරි 13 වන දින එක්සත් ජනපදයේ උපරිමය වූ 10.22 ට වඩා තුන් ගුනයකින් වැඩි වන අතර පෙර ලෝක වාර්තාව වූ 2021 අප්‍රේල් 23 දින පේරුහි 26.2 ට වඩා වැඩි ය. හොංකොං හි කෝවිඩ්-19 මරන ඝාතීය ලෙස අඛන්ඬව ඉහල නඟින අතර ඉදිරි දිනවලදී පුද්ගලයන් මිලියනයකට ආසාදන 50 ක මට්ටම ඉක්මවිය හැක.

සැලකිය යුතු කරුනක් නම්, වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයේ අයි1221ටී නම් විකෘතියක් සහිත බීඒ.2 ඔමික්‍රෝන් උප ප්‍රභේදය, හොංකොං හි සියලුම අනුක්‍රමික ආසාදනවලින් සියයට 100 ක් සඳහා දායක වන බවයි. නගරය වසංගතයේ මීලඟ අදියර පිලිඹඳ අනතුරු අඟවන්නෙකු වන අතර, බීඒ.2 උප ප්‍රභේදය ලොව පුරා ප්‍රමුඛ තැනක් ගනු ඇතැයි පුරෝකථනය කර ඇත.

පසුගිය දෙසැම්බරයේ බීඒ.1 ඔමික්‍රෝන් උප ප්‍රභේදයේ ගෝලීය ව්‍යාප්තිය මෙන්ම, ලෝක ආර්ථිකය සම්පූර්නයෙන්ම නැවත විවෘත කිරීම, ජාත්‍යන්තර වශයෙන් බීඒ.2 වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු විය. කෝවිඩ්-19 දැන් “ආවේනික” සහ ස්ථාවර 'නව සාමාන්‍යයකට' පැමින ඇති බවට සංගත මාධ්‍ය විසින් ගෙතූ ආඛ්‍යානයට පටහැනිව, මෙම පෙර නොවූ විරූ අර්බුදයේ තුන්වන වසර තුල යථාර්ථය නැවත වරක් කඩා වැදී ඇත.

2022 ජනවාරි 24 වන දින නිල ගෝලීය ආසාදන මිලියන 3.44 ක උච්චතම ස්ථානයට පැමින දින 37 කට පසුව, පහත වැටීම මාර්තු 2 වන දින හදිසියේම මිලියන 1.48 හි නතර වූ අතර, ගෝලීයව වසංගතයේ නවතම නැග්මෙහි ආරම්භය සනිටුහන් කරමින් නැවත වරක් ක්‍රමයෙන් ඉහල නඟිමින් ඇත.

බීඒ.2 ගෝලීය වශයෙන් අනුක්‍රමික ආසාදනවලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමානයකට දායක වන අතර, එය වසංගතයේ නව රැල්ලට හේතු වේ. [උප ප්‍රභේද සම්බන්ධ වෙබ් අඩවියක් වන]කොවෙරියන්ට්ස්.ඕර්ග් විසින් නිරීක්ෂනය කරනු ලබන ආකාරයට, රටවල් 75 න් 34 කම ප්‍රමුඛ ප්‍රභේදය එයයි. දෛනිකව වැඩිම නව රෝගීන් වාර්තා කරන රටවල් 10 න් හතකම ආසාදනවලින් අවම වශයෙන් සියයට 40 ක් සඳහා එය දායක වේ: වියට්නාමය (සියයට 42), ජර්මනිය (සියයට 63), රුසියාව (සියයට 41), නෙදර්ලන්තය (සියයට 53), එක්සත් රාජධානිය (සියයට 57), ඔස්ට්‍රියාව (සියයට 40) සහ මැලේසියාව (සියයට 73) වශයෙනි.

සති කිහිපයක පසුබැසීමෙන් පසුව එංගලන්තයේ, සියලුම වයස් කාන්ඬවල රෝහල්ගතවීම් පසුගිය සතියේ සියයට 15.6කින් තියුනු ලෙස ඉහල නැඟුන අතර, වයස අවුරුදු 6-17 ලමුන් අතර සියයට 26ක වැඩිවීමක් දක්නට ලැබින. එක්සත් ජනපදයේ, බීඒ.2 ඝාතීය ලෙස ඉහල යමින් ඇති අතර, ඊසානදිග කලාපය වඩාත් වේගවත් වර්ධනයක් අත්විඳිමින් සිටී.

ලොව පුරා කෝවිඩ්-19 තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින විද්‍යාඥයින්ගේ සහ ප්‍රජා කන්ඬායම්වල ගෝලීය එකමුතුවක් වන ලෝක සෞඛ්‍ය ජාලයේ සම-නිර්මාතෘ වන විද්‍යාඥ යනියර් බාර්-යම් මෑතකදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමඟ කතා කලේ ය. ටෝකියෝ විශ්ව විද්‍යාලයේ බීඒ.2 පිලිබඳ ප්‍රධාන අධ්‍යයනයක ප්‍රතිඵල සාරාංශගත කරමින් ඔහු සඳහන් කලේ, 'බීඒ.2 බීඒ.1 ට වඩා සියයට 40 ක් වේගයෙන් සම්ප්‍රේෂනය වන' සහ 'බීඒ.1 ට වඩා එන්නත් වලින් පාලනය නොවන' බවයි. බීඒ.2 බීඒ.1 ට වඩා “බොහෝ දරුනු” බවත් “බීඒ.2 මගින් ආසාදනයට බීඒ.1 ආසාදනය වී තීබීමෙන් බලපෑමක් නැති” බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වෛද්‍ය බාර්-යම් නිගමනය කලේ, “බීඒ.2 බීඒ.1 ට වඩා සැලකිය යුතු තරමින් වෙනස් වන අතර, එයට වර්තමාන අංක කරන ක්‍රමයට අනුව එයටම අකුරක් - එහිම ග්‍රීක අකුරක් ලබා දිය යුතුය. නමුත් එය දේශපාලනිකව එතරම් පහසු නැත, මන්ද යත් මිනිසුන් මෙය අවසන් වී ඇති බව ප්‍රකාශ කරන අතර, නව ග්‍රීක අකුරක ආගමනය නිසා ඔවුන්ට කුමක් සිදුවන්නේ ද යන්න නැවත ඇගයීමට සිදුවන බැවිනි.'

මාර්තු 2 වන දින, හොංකොං හි ධාරිතාව ඉක්මවා ගිය කැරිටාස් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටත රැඳවුම් ප්‍රදේශයක රෝහල් ඇඳන් වල සිටින රෝගීන්. (ඒපී ඡායාරූපය- කින් චෙවුන්ග්)

ඇත්ත වශයෙන්ම චීනයේ හැර, වඩාත් බෝවන සුලු සහ දරුනු මෙන්ම හා ප්‍රතිශක්තිය පරාජය කරන බීඒ.2 උප ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය සිදුවන්නේ, සෑම රටක්ම පාහේ කෝවිඩ්-19 පැතිරීම මන්දගාමී කිරීම සඳහා ඉතිරිව තිබුන සියලුම සීමා ඉවත් කර ඇති තත්වයන් යටතේ ය. මෙම ප්‍රයත්නවල අදූරදර්ශී බව සහ මෝඩකම දැන් සම්පූර්නයෙන්ම හෙලිදරව් වී ඇත.

එක්සත් ජනපදය තුල මෙම ක්‍රියාවලියට මූලිකත්වය ගෙන ඇත්තේ, බයිඩන් පරිපාලනය සහ ධවල මන්දිරයේ කොරෝනා වයිරස් ප්‍රතිචාර සම්බන්ධීකාරක ජෙෆ් සියෙන්ට්ස් විසිනි. ඔහු වෝල් වීදියට ඇපදීමේ කෙයාර්ස් (CARES) පනත යටතේ, 2020 දී පමනක් ඩොලර් මිලියන 10.4 සිට 28 දක්වා උපයා ගත් ප්‍රකෝටිපතියෙකි.

ධවල මන්දිරය සමඟ සමීපව කටයුතු කරමින්, බයිඩන් සහ බරක් ඔබාමාගේ හිටපු උපදේශකයෙකු වන එස්කියෙල් එමානුවෙල් 'කෝවිඩ් සමඟ ජීවිතයේ 'නව සාමාන්‍ය' සඳහා ජාතික උපාය මාර්ගයක්' යන මාතෘකාව යටතේ 2022 ජනවාරි 6 වන දින ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක සම-කර්තෘ විය. මෙම පත්‍රිකාවේ පිටු 136 න් යුත් විස්තාරනයක් ඉරිදා, “ඊලඟ සාමාන්‍යයට පැමිනීම සහ පවත්වා ගැනීම: කෝවිඩ් සමඟ ජීවත් වීමට මාර්ග සිතියමක්” යන මාතෘකාව යටතේ ප්‍රකාශයට පත් කරන ලදී.

ආයු අපේක්ෂාව අඩු කිරීම සහ සෞඛ්‍ය සේවා වියදම් කපා හැරීමේ දිගුකාලීන උපදේශකයෙකු වන එමානුවෙල්, ආබාධිත අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය විසින් විස්තර කර ඇත්තේ [රෝගාබාධ වැලදීමට ඉඩදීමෙන් ශක්තිමත් මානව වර්ගයක් බිහිකරගැනීම යෝජනා කරන]'සුප්‍රජනක විද්‍යාඥයෙකු' ලෙසිනි. 'ආපදා සඳහා මාර්ග සිතියමක්' ලෙස වඩාත් දක්ෂ ලෙස නම් කර ඇති ඔහුගේ සැලැස්ම තුලින් ඔහු, මෙම වෛරසයෙන් වලක්වා ගත හැකි නොනවතින ආසාදන සහ මරන සහ දිගුකාලීන බෙලහීනකම් පිලිගන්නා අතර, එය සමාජයේ ස්ථිර ලක්ෂනයක් බවට පත්වීමට ඉඩ දිය යුතු බවට තර්ක කරයි.

සියලුම කෝවිඩ්-19 පරීක්ෂන සහ සම්බන්ධතා සොයා යාම අවසන් කිරීම සඳහා ව්‍යාජ-විද්‍යාත්මක සාධාරනීකරනයක් සපයන එමානුවෙල්ගේ “මාර්ග සිතියම” යනු, චීනයේ අනුගමනය කරන “ගතික ශුන්‍ය කෝවිඩ්” මූලෝපායේ ප්‍රතිවිරෝධයකි. බිලියන 1.4 ක ජනගහනයක් සහිත රටක එය, 2020 මැයි මාසයේ සිට නැවත නැවත පැතිරීම සහ මරන දෙකකට සීමාකර ඇත.

ඔමික්‍රොන් සහ එහි බීඒ.1 සහ බීඒ.2 උප ප්‍රභේදවල පරිනාමයම, පාලක ප්‍රභූවේ ලාභ අවශ්‍යතාවලට මහජන සෞඛ්‍යය යටත් කර ඇති, වසංගතයට ධනේශ්වර ප්‍රතිචාරයේ ප්‍රතිඵලයකි. සෑම රටකම වෛරසය පාලනය කිරීමට සහ අවසානයේදී තුරන් කිරීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පාලක පන්තිය, සැමෙකක්ම එහි පූර්වගාමියාට වඩා නරක වන, ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා සහ දැන් ඔමික්‍රොන් යන ෆ්‍රැන්කන්ස්ටයින්ගේ රාක්ෂයන් බිහි කර ඇත.

මෙම සමාජීය සාපරාධී ප්‍රතිපත්තිවල දිගුකාලීන ප්‍රතිවිපාක ගනන් කල නොහැකි ය. දීර්ඝ කොවිඩ් පිලිබඳ සෑම අධ්‍යයනයක්ම මෙම රෝගයේ බිහිසුනු ස්වභාවය සහ ලොව පුරාම එය තුරන් කිරීමේ අවශ්‍යතාවය යලි තහවුරු කරයි. මේ අතරින් නේචර් හි පලවූ වඩාත්ම මෑතකාලීන සහ සමහර විට වඩාත්ම භයානක වන මහ බ්‍රිතාන්‍යයේ සිදුකෙරුනු බයෝබෑන්ක් අධ්‍යයනයකට අනුව, මෘදු ආසාදන සහිතව [අධ්‍යයනයට] සහභාගී වූවන්, ආසාදනවලින් මාස පහකට පසු මොලයේ පටක තුවාල වලට ලක්ව ඇති බව සොයා ගන්නා ලදී. වයසට යාමේ වයස් සීමාව දශකයකින් ආපස්සට යාමකි මේ. පර්යේෂකයන් අනුමාන කරන්නේ, ඩිමෙන්ශියාව සහ මතක ශක්තිය නැතිවීම වැනි කෝවිඩ්-19 ආසාදනවල දිගුකාලීන ප්‍රතිවිපාක විය හැකි බවයි.

වර්තමාන එන්නත් මගින් මරනයට පත්වීමේ සම්භාවිතාව සීමා කරන නමුත්, “එන්නත පමනක්” ප්‍රවේශය, විද්‍යාත්මක නොවන සහ ශක්‍ය නොවන බවට පත් කරමින්, ආසාදන, දරුනු රෝග හෝ මරනය නතර නොකරන බව දැන් බොහෝකොටම පැහැදිලිය. ලොව පුරා මිලියන සංඛ්‍යාත පුදගලයන් කරා පැතිරීමට සහ ආසාදනය කිරීමට ඉඩ සලසන තාක් වෛරසය, වෛරස් පරිනාමයේ දරුනු ස්වභාවය හේතුවෙන් වඩාත් එන්නත්-ප්‍රතිරෝධී, බෝවන සහ වෛරස් විය හැකි නව ප්‍රභේද දිගටම මතු කරනු ඇත.

බීඒ.2 හි මතුවීම, කෝවිඩ්-19 උන හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන කාරුනික සහ මෘදු වෛරසයක් බවට පරිනාමය වන බවට වන සියලුම ප්‍රකාශයන් මූලික වශයෙන් ප්‍රතික්ෂේප කරයි. වසංගතයේ විනාශයෙන් කම්පනයට පත්ව ඇති වඩ වඩාත් කම්කරු පන්තිය නිරායුධ කිරීම සඳහා එවැනි ප්‍රකාශයන් සැමවිටම නිද්‍රාජනක ඒවා ය.

එලඹෙන මාර්තු 11 වන සිකුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ්-19 පුපුරා යාම වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර වසර දෙකක් සනිටුහන් කරයි. ද ඉකොනොමිස්ට් විසින් ප්‍රකාශයට පත් කරන ලද 'අතිරික්ත මරන' පිලිබඳ ට්‍රැකර් වාර්තාවකට අනුව, වසර දෙකක් තුල දල වශයෙන් මිලියන 20 ක ජනතාවක් කෝවිඩ්-19 නිසා, සෘජුව හෝ වක්‍රව මිය ගොස් ඇත. මෙයට එක්සත් ජනපදයේ මිලියන 1.2ක්, රුසියාවේ මිලියන 1.2ක්, යුක්රේනයේ 220,000ක්, එක්සත් රාජධානියේ 150,000ක් සහ ජර්මනියේ 120,000ක් ලෙස ඇස්තමේන්තු ගත සැබෑ මරන සංඛ්‍යාවන් ඇතුලත් වේ.

පසුගිය දෙවසර පුරා ක්‍රියාවට නංවන ලද “රංචු ප්‍රතිශක්තිය” සහ “එන්නත් පමනක්” මූලෝපාය තුලින් සමාජ ඝාතන සිදු කර ඇති එක්සත් ජනපදයේ සහ යුරෝපය පුරා සිටින පාලක ප්‍රභූව, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමඟ ඇති විය හැකි තුන්වන ලෝක යුද්ධයක දී ඊටත් වඩා විශාල අපරාධ සඳහා තෙමේම සූදානම් වෙමින් සිටියි.

යුක්රේනයේ සහ රුසියාවේ ඔමික්‍රොන් නැගීමේ උච්චතම අවස්ථාවේ දී ඇති වූ යුද්ධයම, කෝවිඩ්-19 පැතිරීම බෙහෙවින් උග්‍ර කරනු ඇත. යුක්රේනියානු සරනාගතයින් මිලියන 2 කට අධික පිරිසක් රට හැර ගොස් ඇත්තේ, ජනාකීර්න දුම්රිය සහ උමං මාර්ග තුලිනි. මෙය වසංගතයේ දැවැන්ත පැතිරීමක් නිර්මානය කරයි. සමාජ සේවා සඳහා වන වියදම් තව තවත් කප්පාදු කරනු ලබන අතර එක් එක් රටවල මිලිටරි අයවැයට මුදල් එකතු කරනු ඇත.

වසංගතයට සහ යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමග ගැටුමට ප්‍රතිචාර දැක්වීම යන දෙකෙහිදීම, පාලක පන්තිය ඉදිරියට ගොස් ඇත්තේ, අසාමාන්‍ය නොසැලකිලිමත්කමකිනි. එහෙත් එය පන්ති අවශ්‍යතා මත මුල්බැසගත් නොසැලකිලිමත්කමකි. ඇත්ත වශයෙන්ම, යුද්ධය සඳහා වූ උමතු ප්‍රචාරනයේ එක් කේන්ද්‍රීය අරමුනක් වන්නේ, සියල්ලටත් වඩා එක්සත් ජනපදය තුල, වසංගතයෙන් අවධානය වෙනතකට යොමු කිරීමයි.

ධනේශ්වර මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ වසංගතය ගැන වාර්තා නොවන්නේ නම් එයට නොපවතී යන මිත්‍යාව යටතේ ය. නමුත් ජනගහනයෙන් අතිමහත් බහුතරයකට, වසංගතය ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කර ඇති අතර දිගටම පවතී.

වඩාත්ම තීරනාත්මක කර්තව්‍යය වන්නේ, තුන්වන ලෝක යුද්ධයට තල්ලුව නැවැත්වීමට සහ කෝවිඩ්-19 ට එරෙහිව ගෝලීය යුද්ධයක් ආරම්භ කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

ලෝසවෙඅ සමඟ සිය සම්මුඛ සාකච්ඡාවේ දී, වෛද්‍ය බාර්-යාම් අවධානය යොමු කලේ: “පෙරට වඩා දැන් තුරන් කිරීම පහසුය. තාක්ෂනය දියුනු වෙමින් ඇත. අපගේ අවබෝධය ඝාතීය ලෙස වර්ධනය වී ඇත.'

ඔහු තවදුරටත් පැවසුවේ, 'අප සරලව ම එය කිරීමට තීරනය කල යුතුයි, එවිට අප වඩා හොඳ තත්වයක සිටිනු ඇත.'

ලෝක පරිමානයෙන් පවතින සෑම මහජන සෞඛ්‍ය පියවරක්ම ඒකාබද්ධව යෙදවීම තුලින් පමනක් කෝවිඩ්-19 තුරන් කර වසංගතය අවසන් කරනු ඇත. එහි මූලය වන, යුද්ධය සහ වැලැක්විය හැකි රෝගවලින් සිදුවන නිස්කාරන මරන වලට තිත තබන සහ සමාජ සමානාත්මතාවයේ පදනම මත මානව සංස්කෘතියේ වර්ධනයක් ආරම්භ කරන, ධනේශ්වර ක්‍රමයට එරෙහිව සෘජු අරගලයක් සහ ලෝක සමාජවාදී සමාජයක් පිහිටුවීම, මේ සඳහා අවශ්‍ය කෙරේ.

Loading