ශ්‍රී ලංකා ආන්ඩුව කුරිරු ත්‍රස්ත විරෝධී නීතියට ව්‍යාජ සංශෝධන ඉදිරිපත් කරයි

[මෙය Sri Lankan government tables sham amendments to draconian anti-terrorism law යන මැයෙන් 2022 මාර්තු 9 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය මස මුලදී, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් විසින් කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර මාර්තු 8 වැනි දින විවාදය ආරම්භ වීමට නියමිත විය. සංශෝධනවල ව්‍යවස්ථා විරෝධී බව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කර ඇති විභාග කල යුතු පෙත්සම් දෙකක් තවමත් පවතී.

අධිකරනයට පරිබාහිර ක්‍රියා පටිපාටි පවත්වා ගනිමින් විවිධ බාහිර වෙනස්කම් හඳුන්වා දෙන මෙම සංශෝධන, ආන්ඩුවේ බරපතල සහ අඛන්ඩව සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ දේශීය හා ජාත්‍යන්තර විවේචන මඟ හැරීමේ ප්‍රයෝගකාරී උපාමාරුවකි.

'ත්‍රස්තවාදයට'—එනම් සටන්කාමී දෙමල කන්ඩායම්වලට එරෙහිව සටන් කිරීමේ කඩතුරාව යටතේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් 1979 දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙනඑන ලදී.

1983 දී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව පිපිරුනු වසර 30 කට ආසන්න කුරිරු යුද්ධයට පෙරාතුව පැවති එහි දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් තුල කොලඹ ආන්ඩුව එය ක‍්‍රමානුකූලව යොදා ගත්තේය. ගැටුම අවසන් වූයේ 2009 මැයි මාසයේදී බෙදුම්වාදී සංවිධානයේ මිලිටරි පරාජයෙන් සහ දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් මිය යාමෙනි. සිංහල, දෙමල, මුස්ලිම් වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදීමට යුද්ධය වාර්ගික අවියක් ලෙස භාවිතා කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

පිලිකුලට පාත්‍ර වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මඟින්, “නීති විරෝධී ක්‍රියාකාරකම්” යැයි කියනු ලබන ක්‍රියාවක් සඳහා වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට සහ ආරක්ෂක අමාත්‍යවරයා විසින් තීරනය කරන ලද ස්ථානයක පුද්ගලයන් මාස 18 ක් දක්වා රඳවා තබා ගැනීමට ඉඩ ලබා දේ. සාමාන්‍යයෙන් වධහිංසා පැමිනවීම් මගින් බලෙන් ලබාගන්නා “සැකකරුවන්ගේ” පාපොච්චාරනයන්, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ දී සාක්ෂි වශයෙන් භාවිතා කිරීමට පොලිසියට බලය ඇත.

එය පසුගිය වසර 43 පුරාවට බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිනවීම් සඳහා භාවිතා කරනු ලැබ ඇත. බහුතර සිංහල තරුනයින් දහස් ගනනක් අමානුෂික ලෙස ඝාතනය කරන ලද, දිවයිනේ දකුනේ 1988-1990 දී පුලුල්ව පැතිරුනු ග්‍රාමීය නොසන්සුන්තාව මැඩපැවැත්වීමට ද එජාප ආන්ඩුව එය භාවිතා කලේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ මර්දනකාරී ස්වභාවය කිසිදු ආකාරයකින් වෙනස් නොකරන රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රධාන සංශෝධනවලට ඇතුලත් වන්නේ:

* රඳවා තබා ගැනීමේ කාලය මාස 18 සිට මාස 12 දක්වා අඩු කිරීම.

* මහේස්ත්‍රාත්වරුන්ට රැඳවුම් ස්ථානයට පැමිනීමට ඉඩ දීම, රැඳවියන්ට නීතිඥවරුන් සහ ඥාතීන් හමුවීමට ඉඩ දීම, රඳවා තබා ගැනීම ඉහල අධිකරනවල අභියෝගයට ලක් කිරීමට ඉඩ දීම, අභියාචනාධිකරනයේ හෝ මහාධිකරනයේ නඩුව විභාගයට නියමිතව තිබියදී ඇප ලබාදීමට හැකියාව ලබා දීම. මෙම පියවර දැනටමත් නීත්‍යානුකූලව පවතින නමුත් කලාතුරකින් ක්‍රියාත්මක වේ.

* මෙම නීතිය යටතේ විරෝධය සම්බන්ද කරුනු ඇතුලත් ප්‍රකාශන පල කිරීම හෙවත් ප්‍රචන්ඩත්වය ඇවිස්සීම හෝ ප්‍රචන්ඩත්වය, ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ එදිරිවාදීකම ඇති කල හැකි කරුනු ප්‍රකාශ කිරීම තහනම් කරන වගන්තිය ඉවත් කිරීම. මෙම පුලුල් තහනම් නියෝග ඇතුලත් වෙනත් ආරක්ෂක නීති දැනටමත් තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බරයේදී බලයට පත් වූයේ, එම වසරේ අප්‍රේල් මාසයේදී අයිඑස්අයිඑස් පිටුබලය ලබන ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායමක් විසින් පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවලට සහ විශාල හෝටල්වලට ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ප්‍රතිගාමී “පලමුව ජාතික ආරක්ෂාව” ව්‍යාපාරයේ පදනම මතය. 270 දෙනෙකුට මරු කැඳවූ සහ 500 කට වැඩි පිරිසකට තුවාල සිදු කල ප්‍රහාරවලින් ඉක්බිතිව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුලු සියලුම ප්‍රධාන පක්ෂ විසින් දිරිමත් කරන ලද ජාතිවාදී කන්ඩායම් මුස්ලිම් ප්‍රජාවන්ට ප්‍රචන්ඩ ප්‍රහාර දියත් කලහ.

2020 ජනවාරියේදී, පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් සකස් කරන ලද ත්‍රස්ත මර්දන පනත (සීටීඒ) අත්හැරීමට රාජපක්ෂ කැබිනට් මන්ඩලය තීරනය කල අතර, එය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දිගට ම බල පවත්වා ගෙන යන බවට ප්‍රකාශ කලේ ය. වත්මන් සංශෝධන මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට යැයි කියූ යෝජිත සීටීඒ ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙහි මධ්‍යම පොලිස්-රාජ්‍ය ප්‍රතිපාදන ගැබ් කර ගත්තේ ය.

ත්‍රස්ත මර්දන පනත අත්හැරීමට රාජපක්ෂ ආන්ඩුව ගත් තීරනය නිවේදනය කරමින් කැබිනට් සාමාජික බන්දුල ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේය: 'ඕනෑම පාර්ශ්වයකින් ජාතික ආරක්ෂාවට එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුන දීමට පොලිසියට සහ සන්නද්ධ හමුදාවන්ට බලය දෙමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත ව්‍යවස්ථා පොතට ඇතුලත් කර ඇත.'

එහි දෙමල-විරෝධී ප්‍රචාරන සමගම, රාජපක්ෂ ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර මුස්ලිම්වරුන් ගනනාවක් අත් අඩංගුවට ගනිමින් මුස්ලිම් විරෝධී ප්‍රකෝප කිරීම් තීව්‍ර කලේය. මානව හිමිකම් නීතීඥ හෙජාස් හිස්බුල්ලා, කවියෙකු සහ ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම්, හිටපු බස්නාහිර පලාත් ආන්ඩුකාර අසාද් සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රඳවා තබා ගැනීම ඊට ඇතුලත් ය.

මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් පෙනී සිටි බවට අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් ජසීම් වසරක කාලයක් රඳවා තබාගෙන පසුව තවත් මාස හතකට රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. දෙසැම්බර් මාසයේදී ඔහු නිදහස් කරන තෙක්, නොකල දේ පාපොච්චාරනයට බල කරමින් අඛන්ඩ ශාරීරික හා මානසික වධ හිංසාවලට ලක් කෙරුනු ආකාරය ඔහු උසාවියේදී සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇතුලු මාධ්‍ය වෙත විස්තර කලේය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී රාජපක්ෂ විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ (ප්‍රචන්ඩ අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් වැලකීම වැනි) රෙගුලාසි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලදී. රැඳවියන් 'පුනරුත්ථාපනය කිරීම' සහ 'නැවත සමාජගත කිරීම' යන නාමයෙන්, මෙම පියවර මගින් නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම තවත් වසර දෙකක් සඳහා දීර්ඝ කරන ලදී.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමඟ, ශ්‍රී ලංකාවේ ආන්ඩු මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනත සහ එහි හදිසි රෙගුලාසි, අත්‍යවශ්‍ය මහජන සේවා පනත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ පරිගනක අපරාධ පනත ද භාවිතා කර ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මුස්ලිම් සහ දෙමල ජනතාව සිය ගනනක් අත්අඩංගුවට ගෙන සිරගතව සිටින අතර ඇතැම් එල්ටීටීඊ ඊනියා සැකකරුවන් වසර ගනනාවක් සිරගත කර ඇත.

මෙම මස අවසානයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී), ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ සම්මත කරන ලද යෝජනාවක් සමාලෝචනය කිරීමට නියමිතය. බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය සහ ප්‍රංශය ඇතුලු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කන්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද එක්සත් ජනපද පිටුබලය සහිත යෝජනාව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අනෙකුත් නීති යටතේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිටියේය.

යෝජනාවට අනුග්‍රහය දක්වන එක්සත් ජනපදය හා අනෙකුත් ප්‍රධාන බලවතුන්, කලින් කොලඹ වර්ගවාදී යුද්ධයට පිටුබලය දුන් අතර ලෝකයේ වෙනත් තැන්වල යුද අපරාධ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ද වරදකරුවන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ සැබෑ අරමුන වන්නේ, බීජිනය සමග එහි සබඳතා අවසන් කිරීමට සහ චීනයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනශීලී මිලිටරි සූදානමට කොන්දේසි විරහිතව සහාය දෙන ලෙස ශ්‍රී ලංකා ආන්ඩුවට බලපෑම් කිරීමයි.

එහි පාර්ශ්වයෙන්, යුරෝපා සංගමය, ජෙනරලයිස් ස්කීම් ඔෆ් ප්‍රිෆරන්සස් ප්ලස් (GSP+) යටතේ ආර්ථික සහන ඉල්ලා අස්කර ගන්නා බවට තර්ජනය කර ඇත. පසුගිය ජූනි මාසයේදී යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු යෝජනාවක් මගින් මානව හිමිකම් උල්ලංඝනය කරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අනෙකුත් නීති ඉවත් කර ගත යුතු බව නිවේදනය කලේ ය. ශ්‍රී ලංකාවේ ජීඑස්පී සහනය තාවකාලිකව අවසන් කිරීම ගැන සලකා බලන ලෙස ද එය යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා සිටියේය. අපනයන ආදායම ඉහල නැංවීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන මුදල් හිඟ ශ්‍රී ලංකා ආන්ඩුවට මෙය විශාල පහරක් වනු ඇත.

එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සඳහා විශාලතම අපනයන වෙලඳපොල වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට කොලඹ විසින් කරන ලද ව්‍යාජ සංශෝධන, මෙම ජාත්‍යන්තර පීඩනය අපසරනය කිරීමේ මංමුලා සහගත සහ නිරුවත් උත්සාහයකි.

ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ඇතුලු සිවිල් අයිතිවාසිකම් සංවිධාන කිහිපයක් සහ දේශපාලන පක්ෂ ගනනාවක්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිසංස්කරනය කිරීමට හෝ එය නව “ත්‍රස්ත විරෝධී නීතියක්” මගින් ප්‍රතිස්ථාපනය කිරීමට නරුම ලෙස ඉල්ලා ඇත.

සජබ යනු මුලින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කල එජාපයෙන් කැඩී ගිය පක්ෂයකි. එපමනක් නොව, සජබ නායකයෝ, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කල, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද ඇතුලු, පෙර පැවති පාලන තන්ත්‍රවල සාමාජිකයින් වෙති.

දෙමල ප්‍රභූවේ ප්‍රධාන පාර්ලිමේන්තු පක්ෂය වන එක්සත් ජනපද ගැති දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) මේ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා මහජන පෙත්සම් ව්‍යාපාරයක නිරතව සිටී.

මෙම උද්ඝෝෂනය මුලුමනින්ම කුහක ය. ටීඑන්ඒ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සැලසුම්ගත ත්‍රස්ත විරෝධී පනතට (සීටීඒ) සහය දුන් අතර සංශෝධන යෝජනා කලේය. දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ (ටීයූඑල්එෆ්) ආර්. සම්බන්ධන් ඇතුලු එහි නායකයෝ 1979 දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කර ගැනීමට ඉඩ හරිමින් පාර්ලිමේන්තුව වර්ජනය කලහ.

ටීඑන්ඒ පෙත්සම් ව්‍යාපාරයට දෙමල මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීම සමග කිසිදු සම්බන්ධයක් නැති නමුත් එය රටේ උතුරු හා නැගෙනහිර දෙමල ප්‍රභූන් සඳහා වඩා හොඳ ගනුදෙනුවක් කොලඹ ආන්ඩුවෙන් සුරක්ෂිත කර ගැනීමේ බලාපොරොත්තුවෙන් එක්සත් ජනපද නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් උද්ඝෝෂනයට ලබා දෙන සහයෝගයේ කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන නීති අහෝසි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසත් නිරන්තරයෙන් ඉල්ලා ඇත. මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා වන අරගලය ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සහ සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය සමග බැඳී ඇත.

Loading