එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව කම්කරු නීති සංශෝධනය පුහුනු ශ්‍රමය ආකර්ශනය කරගැනීමේ වහන්තරාවක්

මේ මාසයේ මුල සිට එක්සත් අරාබි එමීර් (යූඒඊ) රාජ්‍යයේ කම්කරු නීති සංශෝධනයක් ක්‍රියාත්මක වේ. 'කම්කරුවන් ආරක්ෂා කිරීමට' එම නීති ගෙනෙන බව යූඒඊ ආන්ඩුව කියා සිටිතත් එහි අරමුන, ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය ඉහල තාක්ෂනික දැනුමින් හෙබි විදේශ කම්කරුවන් රටට ඇද ගැනීමේ ලා ප්‍රධානතම බාධාවක් වන, රුදුරු කම්කරු නීති වලට ප්‍රජාතන්ත්‍රවාදී මුහුනක් ලබා දීමයි.

කොවිඩ්-19 වසංගතය මගින් තිව්‍ර කරනලද ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල පසුගිය දෙවසර තුල පහත වැටුනි. යුඒඊ ද ඇතුලු ඛනිජ තෙල් කර්මාන්තය ප්‍රධාන අපනයනය වන ගල්ෆ් කලාපයේ සියලු රටවල ගිනුම් ශේෂ හිඟයක් ඇති කරමින්, වර්ධනය වන ලෝක ආර්ථික අර්බුදය තුලට මෙම රටවල් ඇද වැටී තිබේ. කලාපය තුල අනෙකුත් රටවල් මෙන්ම යුඒඊ ද ආර්ථික අර්බුදය ජය ගැනීමට උත්සාහ දරන්නේ 'ආර්ථික විවිධාංගීකරනය' නමින් හඳුන්වන විදේශ ආයෝජන මත කර්මාන්ත ආරම්භ කිරීම මගින් එහි ආර්ථික පදනම් වෙනස් කිරීමෙනි.

විකිපීඩියා වෙබ් අඩවියට අනුව ඉහල නිපුනතා සහිත අංශවල ප්‍රධාන වශයෙන් උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් පැමිනෙන විශේෂඥයින් සේවයේ යොදවා ඇත. 2020 අවසානය වන විට, ආර්ථික විවිධාංගීකරනය තුල වැඩිම විදේශ පුහුනු ශ්‍රමය අවශ්‍යවූයේ, නිශ්චල දේපල, ගිනුම්කරනය සහ ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රයන් තුලයි. 2016 දී යුඒඊ හි විදේශ ශ්‍රමිකයන් එහි ජනගහනයෙන් සියයට 87 ක් විය.

2020 ඔක්තෝබර් මස ඩුබායි ලෝක වෙලඳ මද්‍යස්ථානයේ පැවැත්වූ ජයිටෙක්ස් ආර්ථික සමුලුවේ කතා කල යුඒඊ ආර්ථික ඇමති අබ්දුල්ලා බින් ටෝක් අල් මාරි පැවසුවේ රජය සහ ව්‍යාපාරිකයන් වසංගතයෙන් ඔබ්බට ඩිජිටල් ආර්ථිකයක ගැන සිතිය යුතු බවයි. 2030 වනවිට රාජ්‍යය පුද්ගලික අංශයේ සියයට 50 ක දායකත්වයකින් අභ්‍යාවකාශ තරනය අරඹන බවද ආර්ථිකයේ විවිධාංගීකරනය සහ සංචාරක කර්මාන්තය සඳහා ආයෝජන කැඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

'ජාතිය ඉදිරි වසර 50 සඳහා ගමන ආරම්භ කිරීමට නියමිත මොහොතක නම්‍යශීලී සහ තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් නිර්මානය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආන්ඩුව දරන උත්සාහයේ කොටසක් ලෙස' නව කම්කරු නීති සංශෝධනය පැමිනෙතැයි මානව සම්පත් සහ එමිරේටීකරනය පිලිබඳ අමාත්‍ය ආචාර්ය අබ්දුල්‍රහ්මන් අල් අවාර් මාධ්‍ය හමුවකදී කියාසිටි බව ගල්ෆ් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කලේය.

කෝන් ෆෙරි නමැති ගෝලීය ආයතනික උපදේශන සමාගම පවසන පරිදි, පුහුනු කම්කරු හිඟය හේතුවෙන් 2030 දී යුඒඊ හි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 15 ක් පමන අහිමිවිය හැකිය. එහි පවතින දුෂ්කර සේවා කොන්දේසි නිසා පුහුනු විදේශ කම්කරුවන් එම රටවලට යාමට ප්‍රතිරෝධයක් ඇතිවී තිබෙන බව එය වැඩි දුරටත් සඳහන් කරයි.

හයි පොයින්ට් රෙන්ඩල් නමැති බ්‍රිතාන්‍ය ඉදිකිරීම් විශේෂඥ උපදෙස් සපයන සමාගමේ මැදපෙරදිග අධ්‍යක්ෂ කෙනී ලින් ගල්ෆ් නිවුස් වෙබ් අඩවියට මෙසේ පැවසුවේය: 'ඩුබායි වේගයෙන් වර්ධනය වෙමින් පවතී. සියලුම ප්‍රධාන තරඟකරුවන් ඔවුන්ගේ අදහස් රැගෙන මෙහි පැමිනේ. කෙසේවෙතත් වෙලඳපොල අධික ලෙස උනුසුම් වී තිබෙන්නේ ශ්‍රම සහ කුසලතා හිඟය නිසාය.'

ආර්ථික විවිධාංගීකරනය සඳහා අවශ්‍ය පුහුනු ශ්‍රමය ආකර්ශනය කිරීමේ ලා නව කම්කරු නීති හඳුන්වා දී ඇත්තේ යුඒඊ පමනක් නොවේ. ගල්ෆ් කලාපයේ පිහිටි බහරේනය 'නම්‍යශීලි කම්කරු කොන්ත්‍රාත්තු' පිරිනැමීමට තීන්දු කිරීමත්, සෞදි අරාබිය 'කෆාලා නිතිය' සංශෝධනය කිරීමත් එම ප්‍රපංචයට අයත් වෙයි.

2021 මාර්තු මස සිට ක්‍රියාත්මක වූ 'කෆාලා නිති' සංශෝධනය මගින් සෞදි අරාබිය තුල රැකියාව මාරුකිරීමේ සීමිත සහනයක් සහ සේවා යෝජකයාගේ අවසරයකින් තොරව රටින් පිටවීමේ/නැවත ඇතුලුවීමේ අවසරයක් ප්‍රදානය කෙරුනි.

සෞදි අරාබියේ මෙම නිති සංශෝධනය සිදු කෙරෙනවිට බ්‍රිතාන්‍ය ගුවන් විදුලියද ඇතුලත් ලොවපුරා ජන මාධ්‍ය කියා සිටි‌යේ, සංක්‍රමන කම්කරුවන්ට මහත් අස්වැසිල්ලක් සම්පාදනය කෙරෙන පරිසරයක් එමගින් නිර්මානය වනු ඇති බවයි. නමුත් පසුගිය කාලය පුරාම ආර්ථික අර්බුදයේ තිව්‍රවීම එම කලාපය තුල විදේශ කම්කරුවන්ගේ කොන්දේසි රුදුරුම තත්වයකට ඇද දමා තිබේ.

සෞදි අරාබියේ සේවය කරන ලාංකික කම්කරුවෙකු පැවසුවේ, පසුගිය වසරේ සෞදී රජය හඳුන්වාදුන් මෙවැනිම ප්‍රතිසංස්කරනයක් යටතේ නිදහස් විසා නමැති නව විසා ක්‍රමයක් හඳුන්වා දීමෙන් රැකියා වෙනස් කිරීමේ සාපේක්ෂ නිදහසක් ලැබුන ද එම විසා ගාස්තුව කම්කරුවාට ගෙවීමට සිදුවී තිබෙන බවයි. එම ගාස්තුව කම්කරුවෙකුට දැරිය නොහැකි (ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හයක් පමන) මුදලක් බවත්, ඉන් මසකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පඩි ලබන ගෘහ සේවිකාවන්ට සහ ඉදිකිරීමේ ක්ෂේත්‍ර‌යේ දුගී කම්කරුවන්ට යහපතක් නොවන බවත්, ඉහල වැටුප් ලබන ඉතා සුලු පිරිසකට ඉන් යහපතක් උදාවි ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසිය.

යූඒඊ නව රැකියා විධිවිධානයන්, පූර්න-කාලීන, අර්ධ-කාලීන, තාවකාලික ඇතුලු විවිධ වැඩ කාන්ඩ සඳහා පැවති නීතිය මඟින් සේවකයෙකු දිනකට පැය අටක්, සතියකට පැය 48ක් වැඩ කල යුතු බව දක්වා ඇති අතර, නව නීතියට අනුව එය පැය 40 කි. කෙසේ නමුත්, සතියක වැඩකාලය පැය 48කට සීමාකෙරී පවතිද්දීත් සාමාන්‍ය කම්කරුවෙකු තම අවම වියදම් සඳහා සතියකට පැය 80කට අධික කාලයක් වැඩකලයුතු විය.

'පශ්චාත් වසංගත ව්‍යාපාරික වාතාවරනය දිරිමත් කිරීම' කම්කරු නීති ප්‍රතිසංස්කරන පිටුපස ඇති ප්‍රධාන පෙලඹවීමක් බව මානව සම්පත් සහ එමිරේටීකරන අමාත්‍යාංශයමත් පවසන තතු යටතේ, ව්‍යාපාරික කටයුතු 'දිරිමත්' කිරීමේදී මෙම නීති තවදුරටත් පොතට පමනක් සිමාවනු ඇත.

එහි නීති සංශෝධන මගින්, “රැකියාවේ ඉහල නිලධාරීන් හෝ ඔවුනගේ සේවා සගයන් විසින් සේවකයෙකුට එරෙහිව සිදු කරන ලිංගික හිරිහැර හෝ ඕනෑම ආකාරයක වාචික, කායික හෝ මානසික ප්‍රචන්ඩත්වය” පිලිබඳ නව තහනමක් හඳුන්වා දී තිබේ. එමගින්, මීට පෙර දන්ඩ නීති සංග්‍රහය යටතේ තහනම් කර තිබු ක්‍රියාවන් කම්කරු නිතිය යටතට ගෙනැවිත් ඇත.

මයිග්‍රන්ට් රයිට් ඩොට් ඔර්ග් වෙබ් අඩවිය වාර්තා කලේ 'ලිංගික හා ශාරීරික හිරිහැරවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි ගෘහ සේවිකාවන් කම්කරු නීතියෙන් බැහැර කොට පවතින බවයි. එමනිසා ගෘහ සේවකයින් බඳු වඩාත්ම සුරාකැවෙන ස්ථර සඳහා නාමිකව හෝ නීතියෙන් ලබාදී තිබු අයිතිය ඔවුන්ට සම්පුර්නයෙන් අහිමිවෙයි.

නව නීති සංශෝධනය මගින් අංක (51) ෆෙඩරල් නිතිය යටතේ පැවති මානව ජාවාරම් අපරාධවලට එරෙහිවීම පිලිබඳ නීතිය ද කම්කරු නීති යටතට ගෙනැවිත් තිබේ. මේ අනුව වත්මන් නිතිය යටතේ මානව ජාවාරම් යනු අපරාධයක් නොව කම්කරු නිති උල්ලංඝනයකි. වසංගතයෙන් උග්‍ර කෙරුනු විරැකියාව හේතුවෙන් රැකියා සොයා විදේශයන්ට ඇදෙන කම්කරුවන් අතර මානව ජාවාරම තවත් වර්ධනය කරමින් සුරාකෑම ඉහල දැමීමට එමගින් අවස්ථාවක් උදාවේ.

නව කම්කරු විධිවිධානවලට අර්ධකාලීන වැඩ, තාවකාලික වැඩ සහ “නම්‍යශීලී වැඩ” ඇතුලත් රැකියා ඉල්ලුම් ආකෘති ඇතුලත් කොට තිබේ. රැකියා සඳහා විසා ලබාදෙන්නේ කෙසේද, මෙතෙක් හාම්පුතා විසින් දරන ලද අහාර සහ නවාතැන් පවත්වාගෙන යන්නේ කෙසේද යන කරුනු අපැහැදිලිය. තම ලාභය සඳහා හාම්පුතුන් මෙම අවස්ථාව යොදාගන්නා බවත් එමගින් බෙහෝ කම්කරුවන්ට අමතර වියදම් වලට මුහුනදීමටත් සිදුවනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකයේ පසුගිය වසරේ වර්ධනය සියයට 2.1 කි. 2022 දී සියයට 4.2 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව පවසයි. මෙය ජාතන්තර මුල්‍ය අරමුල අපේක්ෂා කල අගයටත් වඩා සියයට 1.2 ක ඉහල සමපේක්ෂනයකි. තෙල් නොවන දල දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 3.9 කින් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය සාක්ෂාත් කරගත හැක්කේ ශ්‍රම සූරාකෑම දැවැන්ත පරිමානයෙන් ඉහල නැංවීමෙන් පමනි. එම තතු යටතේ නව නීති සංශෝධනය ඒ සඳහා වහන්තරාවක් පමනක් වන අතර, යතාර්ථයේදී කම්කරුවන් මුහුනදෙන දුෂ්කරතා තවදුරටත් තීව්‍රවනු ඇත.

Loading