“මුලු රටම හරි මඟට”: ධනපති පන්ති පාලනය රැකීමේ ප්‍රතිගාමී ජාතිකවාදී වැඩ පිලි‌වෙලක්

මාර්තු 02 දා රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශවකරුවන් වන පක්ෂ 11 සන්ධානය, “මුලු රටම හරි මඟට” යන මැයෙන්, “තීව්‍ර වන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා” යැයි ප්‍රකාශිත වැඩ පිලිවෙලක් ඉදිරිපත් කලේ ය. මෙම සන්ධානය ජාතික නිදහස් පෙරමුන (ජානිපෙ), පිවිතුරු හෙල උරුමය (පිහෙඋ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ශ්‍රීලකොප), ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුන ඇතුලු පක්ෂ වල එකතුවකි.

'මුලු රටම හරි මඟට” ගෙනයාමට ඉදිරිපත්ව සිටින මෙම සන්ධානයේ අතීතය විමසා බැලීමමත්, ඔවුන් සැරසෙන්නේ කුමකටද යන්න පැහැදිලි කරයි.

එහි සියලුම පාර්ශ්වකරුවෝ වත්මන් රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට ද, වසංගතය ව්‍යසනකාරීව ව්‍යාප්ත වීමට ඉඩ හැරීම ඇතුලු මහජනතාවට එරෙහි එහි ප්‍රහාර වලට ද ඍජුව සහයෝගය දුන්හ. මහජනතාව මුහුන දෙන දුෂ්කරතා ගැන ඔවුන් පෙන්නුම් කරන උත්සුකය අතිශයින් ම කුහකය. වංචනිකය. රාජපක්ෂ ආන්ඩුව පමනක් නොව, පසුගිය දශක ගනනාව තුල පැවති අනුප්‍රාප්තික ධනපති ආන්ඩු යටතේ මහජනයාට එරෙහි ප්‍රහාර ක්‍රියාවට දැමීමෙන් සහ ඒවාට සහයෝගය දීමෙන් මෙම පක්ෂ කම්කරු-පීඩිත ජනයා අතර අන්තයට ම කුජිත වී ඇත්තාහ.

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන‌ට සහ ඔහුගේ ශ්‍රීලනිපය‌ට ඇත්තේ මහ ව්‍යාපාරිකයේ සහ ආයෝජකයන්ගේ ලාභ උත්පාදක අවශ්‍යතාවයන් වෙනුවෙන් කම්කරු පීඩිත ජනයා මත කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ ද, දෙමල ජනයාට එරෙහි වාර්ගික යුද්ධය ඇතුලුව මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලීමේ ද කුප්‍රකට ඉතිහාසයකි. මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපති තනතුරට පත්වුයේ එක්සත් ජනපද පිටුබලය සහිතව සිදුකෙරුන තන්ත්‍ර මාරුවක ප්‍රතිඵලයක් ලෙසය.

ජනාධිපති සිරිසේන ගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මහජනතාවට එරෙහි ව රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමුූ අතර, චීනයට එරෙහි මිලිටරි සැලසුම් සහිත එක්සත් ජනපද භූ-දේශපාලනික මුලෝපාය සමග ඍජුව පෙල ගැසුනි. එම ආන්ඩුවට එරෙහිව වැඩුනු බරපතල මහජන විරෝධය හමුවේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන සමග සන්ධානගතවූ සිරිසේන සහ ඔහුගේ ශ්‍රීලනිප ය, රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කලේ වැඩෙන පන්ති අරගල රුදුරු ලෙස තලා දැමීමේ එල්ලය ඇතිවය.

විමල් වීරවංශට සහ ඔහුගේ ජානිපෙ ට ඇත්තේ ද අන්ත ප්‍රතිගාමී ඉතිහාසයකි. ජානිපෙ ආරම්භ කිරීමට පෙර සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙකු වූ ඔහු දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ ප්‍රමුඛ උද්ඝෝෂකයෙකි. 2008 දී ජවිපෙන් ඉවත් වූ වීරවංශ, 2010 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඇමති තනතුරක් භාර ගනිමින්, වාර්ගික යුද්ධයේ සහ මහජනයාට එරෙහි ප්‍රහාරවල ඍජු කොටස්කරුවෙකු බවට පත්විය.

ට්‍රොට්ස්කිවාදය පාවා දී 1964 දී ධනපති ශ්‍රීලනිප ය සමග සභාගයකට ඇතුල් වූ තැන් පටන් ලසසප ක්‍රියාත්මක වුයේ ධනපති පාලක පන්තියේ හා ධනේශ්වර රාජ්‍යයේ අන්තේවාසිකයන් ලෙසය. එම සභාගයට ඇතුලු වූ කොප හි භූමිකාව ද එයම විය. අද දින කවර අර්ථයකින් හෝ කම්කරු පන්තික නොවන මෙම පක්ෂ, කම්කරු-පීඩිත මහජනතාවගේ කිසිදු අයිතියක් වෙනුවෙන් පෙනී නොසිටී.

දැන් මෙම පක්ෂ යෙදීගෙන සිටින්නේ රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව වර්ධනය වන පුපුරුන සුලු සමාජ විරෝධය වෙනතක හැරවීමේ දැනුවත් දේශපාලන මෙහෙයුමක ය.

රට “පස් වැදෑරුම්” අර්බුදයකට මුහුන දී තිබෙන බව “මුලු රටම හරි මඟට'ප්‍රකාශයේ සඳහන් වේ. එම පස් වැදෑරුම් අර්බුදය නම්; විදේශ විනිමය හිඟය, රාජ්ය ආදායම් පහත වැටීම, දේශීය ආහාර පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ ආර්ථික අර්බුදය හේතුකොටගෙන මහජන විශ්වාසය බිඳවැටීම හා මහජන විරෝධය උත්සන්න වීම ය.

පක්ෂ සන්ධානය මෙම අර්බුදයට මුලික හේතුව ලෙස දක්වන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියාවට දමන ලද ආර්ථික පිලිවෙත් මගින් “බටහිරට” (එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල) පාලනයට ආර්ථිකය නතු කිරීම ය. එමගින් අර්බුදයේ සැබෑ හේතු මහජනතාවගෙන් වසන් කිරීමට ද, ශ්‍රීලපොපෙ ආන්ඩුව වගකීමෙන් නිදහස් කිරීමට ද ඔවුහු උත්සාහ කරති.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ලෝක ධනවාදී අර්බුදයේ කොටසකි. කොවිඩ් 19 වසංගතයෙන් හා එක්සත් ජනපදය සහ නැටෝව විසින් ප්‍රකුපිත යුක්රේන-රුසියන් යුද්ධය විසින් එය තව දුරටත් ගැඹුරු කෙරී ඇත.

අපනයනයනයෙන්, සංචාරක කර්මාන්තයෙන් සහ සංක්‍රමනික කම්කරුවන්ගෙන් ලැබෙන විදේශ විනිමය තියුනු ලෙස පහත වැටී ඇත. පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.31 ට පහත වැටුනි. ඩොලර් හිඟය ඉන්ධන ගෑස් සහ අත්‍යාවශ්‍ය භාන්ඩ ආනයනය ට තියුනු බලපෑමක් ඇතිකර තිබේ. රාජපක්ෂ ආන්ඩුව එම තත්වයට ප්‍රතිචාර දක්වා ඇත්තේ විදුලි සැපයුම කප්පාදු කිරීම සහ අත්‍යාවශ්‍ය බඩු මිල දැවැන්ත ලෙස ඉහලයාමට සහ ඩොලරයට සාමානුපාතික ව රුපියලේ අගය පාවීමට ඉඩහැරීම මගිනි.

අර්බුදයෙන් “රට ගොඩ ගැනීම” සඳහා පක්ෂ සන්ධානය, විදේශ විනිමය සංචිත වර්ධනය කිරීම හා නය හිමි රටවල් සමග සාකච්ඡා කර විදේශ නය ප්‍රතිව්‍යුහගත කිරීම, බදු වංචා වැලැක්වීම, දේශිය ආහාර නිෂ්පාදනය ශක්තිමත් කිරීම රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම ඇතුලු “දස වැදෑරුම් යෝජනාවලියක්” ඉදිරිපත් කර ඇත.

එය කිසිසේත් ම, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීමේ එකක් නොව, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තියේ අර්බුදය ඔවුන් මත පැටවීමේ පාලක පන්තියේ සැලසුම් ශක්තිමත් කරන ජාතිකවාදී වැඩපිලිවෙලකි.

ගෝලීයව ඒකාග්‍ර වී ඇති සහ ගැඹුරින්ම අර්බුදයට පත්ව ඇති ධනපති නිෂ්පාදන ආර්ථිකය තුල මෙවන් බංකොලොත් ජාතිකවාදී වැඩපිලිවෙලවල් තුලින් ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ අර්බුදය සමනය කල නොහැකිය.

කම්කරු පන්තියේ, ගම්බද දුගී ගොවීන්ගේ හා රැකියා විරහිත තරුන ජනයාගේ රැඩිකලීකරනය කෙරෙහි දේශපාලන සංස්ථාපිතයේ සෙසු ධනේශ්වර පක්ෂ මෙන් ම, මෙම ධනේශ්වර සන්ධානය ද අතිශයින් ම භීතියට පත්ව සිටී. පසුගිය වසරේ අවසන් කාර්තුව නිමා වුයේ ධනපති පාලක පන්තීන් ගේ ප්‍රහාරවලට එරෙහිව ගෝලීය පන්ති අරගලයේ නැගීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ගුරුවරුන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන් ඇතුලු දස ලක්ෂකට අධික වැඩකරන ජනයාගේ අරගල සමගය.

නව වසරේ එම අරගල වැඩි ජවයකින් මතුවෙමින් ඇත. සඳුදා 160,000 අධික රජයේ සංවර්ධන නිලධාරීන් සහ දහස් ගනනක් සෞඛ්‍ය සේවකයෝ එක්දින වර්ජන හා උද්ඝෝෂන වල නිරත වුහ. රසායනික පොහොර තහනමට එරෙහිව ගම්බද දුගී ගොවීහු නොනවතින උද්ඝෝෂනයක යෙදී සිටිති. යුක්රේන-රුසියානු යුද්ධයත් සමග බඩු මිල හා සේවා ගාස්තු ඉහලයාම තුලින් ජීවන තත්වයන් මත තීව්‍ර කෙරෙන ප්‍රහාරයන් ට එරෙහිව පුලුල් පරිමාන අරගල පැන නැගෙනු ඇත.

සන්ධානයේ නායකයන් අතර පන්ති අරගලය හා සමාජ නොසන්සුන්තාවය කෙරෙහි පවතින භීතිය “මුලු රටම හරි මඟට” වැඩපිලිවෙල ප්‍රකාශයට පත්කල මාර්තු 2 දා කොලඹ පැවති රැස්වීමේ කථිකයන්ගේ කටින් එලියට පැන්නේය. ජානිපෙ නායක විමල් වීරවංශ මෙසේ පැවසීය: “නිදහසෙන් පසු මුහුන නො දුන්න බරපතල අර්බුදයකට රට මුහුන දීලා තියෙනවා. මිනිස්සු විෂම මානසිකත්වයකට ඇද වැටෙනවා. අර්බුදය උග්‍ර වෙන්න උග්‍ර වෙන්න තෝරා නොගත් උත්තර හොයන්න මිනිස්සු පෙලඹෙනව. අප උත්සාහ ගන්නේ මේ විපත්තිකාර තත්වය තුල කවුරු හරි හොරට නිදාගෙන ඉන්නවා නම් ඇහැරවන්න”

සිරිසේන එයම ප්‍රතිරාවය කලේ ය: “අද ජනතාව ගේ ඇස්වල කඳුලු පිරිලා තියෙන්නේ. අද ජනතාව ආවේගශීලී වෙලා. නොසසුන් වෙලා. ඒ නිසා ජනතාව සන්සුන් කරන්න, ජනතා කෝපය නිවන්න, ජනතාවගේ සිත් සතන් පහන් කරන්න වහ වහා වැඩපිලිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිලිවෙලට නායකත්වය දිය යුත්තේ රජයයි” ඔහු පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ පිලිවෙල පිලිගත් ජනාධිපති රාජපක්ෂ, එය ක්‍රියාවට දැමීම සාකච්ඡා කිරීම පිනිස දක්ෂිනාංශික සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, මාර්තු 23 වෙනිදා ට සර්වපාක්ෂික සම්මේලනයක් කැඳවා ඇත.

'දුෂනයෙන් හා වංචාවෙන් තොරව සහ “මනා ආර්ථික කලමනාකාරනයක්” තුලින් රට “වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමේ” සැලැස්මක් තමන්ට ඇති බවත් එම වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සඳහා තමන් ව බලයට පත්කරන ලෙස ජවිපෙ ජනතාවට ආයාචනය කරයි. ධනපති දේශපාලන සංස්ථාපිතයට ම බද්ධ වූ ජවිපෙට සෙසු ධනපති පක්ෂ වලට වඩා වෙනස් ආර්ථික පිලිවෙතක් නැත. වසංගතයෙන් රාජපක්ෂ ආන්ඩුවේ අර්බුදය උග්‍රවීමේ සහ මහජන විරෝධය වැඩෙන කොන්දේසි තුල වසංගතය පාලන කිරීම සඳහා දේශපාලන භේද නොතකා “ඒකාබද්ධ යාන්ත්‍රනයක්” සකසන ලෙස එය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටි සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාත්මක කිරීමට නියමිත කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් සම්බන්ධයෙන් පක්ෂ 11 සන්ධානයට හෝ විපක්ෂයේ පක්ෂ වලට මුලික මත භේදයක් නැත. ඔවුන්ට ඇත්තේ ධනේශ්වර පන්ති පාලනයට එරෙහිව වැඩෙන පන්ති සටන් සහ මහජන විරෝධය මැඩලා යටපත් කිරීම පිලිබඳ උපායාත්මක මත භේද පමනි.

මෙම සියලු ධනපති පක්ෂ, ධනේශ්වර උපකරන බවට පත්ව ඇති වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ධනපති ක්‍රමයේ “වාම” ආරක්ෂකයන් කෙරෙහි, කම්කරුවන් සහ පීඩිතයන් කවර හෝ විශ්වාසයක් නොතැබිය යුතු ය.

ජීවන තත්වයන්ට, රැකියා හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර වලට එරෙහි සටන කම්කරු පන්තිය විසින් තමන් අතට ගතයුතුය. එය රාජපක්ෂ ආන්ඩුවටත් ධනපති ක්‍රමයටත් එරෙහි දේශපාලන සටනකි.

Loading