යුක්රේන යුද අර්බුදය සම්බන්ධයෙන් මෙම ඉරිදා සසප විසින් පවත්වනු ලබන රැස්වීම කෙරෙහි දැඩි උනන්දුවක්

[මෙය Strong interest in SEP Sri Lanka meeting on Ukraine war crisis this Sunday යන මැයෙන් මාර්තු 19 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ 'එක්සත් ජනපද-නැටෝ යුද ධාවනයට සහ යුක්‍රේනය ආක්‍රමනයට එරෙහි වනු!' යන මැයෙන් මාර්තු 20 ඉරිදා පවත්වනු ලබන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම සඳහා සිය උද්ඝෝෂනය ඉදිරියට ගෙන ගියහ.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ එක්සත් ජනපදයේ සසප සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඇමතීමට නියමිත මෙම රැස්වීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ කම්කරු පන්තික යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ගෙන යන අරගලයේ කොටසකි. උද්ඝෝෂනය අතරතුර කම්කරුවන් සහ තරුනයන් විසින් දක්වන ලද අදහස් සමහරක් පහත පල කෙරේ.

ගොතන ලද චෝදනා මත ත්‍රස්ත විරෝධී නීති යටතේ රඳවා තබා ගැනීමෙන් පසු මෑතකදී ඇප ලැබූ තරුන මුස්ලිම් කවියෙකු වන අහනාෆ් ජසීම් මෙසේ පැවසීය:

'යුක්රේනයට එරෙහිව රුසියාව විසින් දියත් කරන මෙම යුද්ධය හෝ රුසියාවට එරෙහිව එක්සත් ජනපදය හා නැටෝ බලවතුන් විසින් සැලසුම් කර ඇති පුලුල් පරිමාන යුද්ධය අපට පිලිගත නොහැකිය. ලෝක අධිරාජ්‍යවාදී බලවතුන් විසින් රුසියාව ක්‍රමානුකූලව ඒ දෙසට තල්ලු කර ඇති බව පෙනේ.

අහ්නාෆ් ජසීම්

“එක්සත් ජනපදය සිය අධිරාජ්‍යවාදී බලපෑම සහ මිලිටරි බලය පවත්වා ගැනීම සඳහාත් අනෙකුත් දුප්පත් ජාතීන්ගේ ආර්ථිකයන් සූරාකෑම සඳහාත් කුරිරු ආකාරයෙන් යුද්ධ කරයි. එහි පාලකයන් සිරියාව, ඉරාකය, ලිබියාව වැනි බොහෝ රටවල් විනාශ කල බව අපි දනිමු. මානව හිමිකම් සහ සාමය ආරක්ෂා කිරීමේ මුවාවෙන් එක්සත් ජනපදය සහ එහි සහචරයින් විසින් මෙම යුද්ධ දියත් කරන ලදී.

“රුසියාව සහ එක්සත් ජනපදය-නැටෝව අතර යුද්ධයක් ඇති වුවහොත් එය තුන්වන ලෝක යුද්ධයක් සහ ව්‍යසනකාරී න්‍යෂ්ටික ලෝක යුද්ධයක් බවට පත්විය හැකි බවට සාකච්ඡාවක් පවතී. පවතින තත්වය තුල මේ අනතුර තිබෙනවා.

“යුක්‍රේනයට එරෙහි රුසියාවේ ප්‍රතිගාමී යුද්ධය මෙන්ම රුසියාවට එරෙහි එක්සත් ජනපදය හා නැටෝ යුද සූදානම මම හෙලා දකිමි. ලෝක යුද්ධයකට තර්ජනය කරන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ගේ යුද්ධ නැවැත්වීමට කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් විය යුතුය.”

ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ ප්‍රධාන නගරය වන කුරුනෑගල ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු වන සාලිය කනුගල පැවසුවේ තමන් එක්සත් ජනපද-නැටෝ යුද ධාවනයට සහ රුසියානු ආක්‍රමනයට විරුද්ධ බවයි. ඊට සම්බන්ධ රටවල් කිහිපයක් ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් බව පෙන්වා දෙමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය:

“හිරෝෂිමා සහ නාගසාකිවලට එක්සත් ජනපදයේ බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශය ගැන මම කියවා ඇත්තෙමි. එහි ප්‍රතිවිපාක තවමත් එහි ජනතාව විඳිමින් සිටිති. දැන් ප්‍රධාන බලවතුන් සතුව වඩා දියුනු හා විනාශකාරී න්‍යෂ්ටික අවි තිබේ. ඔවුන් අනිවාර්යයෙන්ම මිනිස් වර්ගයා විනාශ කරනු ඇත. කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක මැදිහත්වීමෙන් යුද්ධය නතර නොකලහොත් එය ව්‍යසනකාරී ප්‍රතිඵලයකට තුඩු දෙනු ඇත.”

මහනුවර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා ශිෂ්‍යයෙකු වන අෆ්කාර් මෙසේ පැවසීය: “එක්සත් ජනපදය නැටෝව සමඟ, යුක්‍රේනය ආක්‍රමනය කිරීමට රුසියාව උසිගැන්වීමට හැකි සෑම දෙයක්ම කලේය. මම මෙම අර්බුදය දෙස බලන්නේ පසුගිය දශක තුන පුරා එක්සත් ජනපදය ලොව පුරා දියත් කර ඇති යුද්ධ සහ රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රනවල සන්දර්භය තුල ය. රුසියාව දුෂ්ටයෙකු ලෙස ඒකපාර්ශ්විකව ඉදිරිපත් කිරීමට සහ එක්සත් ජනපදයේ ගිජු බල අවශ්‍යතා වසන් කිරීමට අප සියල්ලෝම විරුද්ධ විය යුතුය. ලෝසවෙඅ විශ්ලේෂනය මෙම හෙලිදරව්ව සඳහා බොහෝ උපකාර කරයි. ඉදිරි සසප රැස්වීමට සහභාගී වීමට මම බලාපොරොත්තු වෙමි.”

අෆ්කාර් (දකුනේ) රාජි සමඟ

යාපනයේ ඉංජිනේරුවෙකු සහ ලෝසවෙඅ නිරන්තර පාඨකයෙකු වන ජෙයකාන්තන් පැවසුවේ මෙම අර්බුදය අවුලුවන්නා එක්සත් ජනපදය බව තමාට 'ඒත්තු ගොස් ඇති' බවයි.

“එක්සත් ජනපදය නැගෙනහිර යුරෝපීය කලාපයේ නැටෝව පුලුල් කර දැන් රුසියාව සමග යුද්ධයක් සඳහා යුක්රේනය සන්නද්ධ කරමින් සිටින ආකාරය ලෝසවෙඅ තුලින් මම කියෙව්වා. ලෝකයේ සෑම ප්‍රදේශයකම රටවල් රැසක යුදමය සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් වීමෙන් පසුව, එක්සත් ජනපදය දැන් තම ලෝක ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා රුසියාව යටත් කර ගැනීමට සැලසුම් කරයි. සැබෑ අනතුර යුක්රේනයේ සහ රුසියාවේ මෙන්ම ලොව පුරා කම්කරු පන්තියේ හිසට ඉහලින් ලඹදෙමින් පවතී,” ඔහු පැවසීය.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානට එරෙහිව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් දියත් කරන ලද සිවිල් යුද්ධයේදී ඔහුගේ අත්දැකීම් සිහිපත් කරමින් ජෙයකාන්තන් තවදුරටත් මෙසේ පැවසීය: “මම සිවිල් යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ජීවත් වූ නිසා, යුද්ධයක බිහිසුනුකම මට හොඳින් වැටහෙනවා. දැන් යුක්‍රේනියානුවන් මෙන් ඒ යුද්ධයේදී අපට බංකර්වල නිදාගැනීමට සහ ජීවත් වීමට සිදු වුනා. රුසියානු හා යුක්‍රේන කම්කරුවන් මෙම යුද්ධයට විරුද්ධ වීමට ගෝලීය කම්කරු පන්තිය සමග එක්විය යුතුය. මේ සම්බන්ධයෙන්, ඉරිදා රැස්වීම ඉතා වැදගත් වනු ඇතැයි මම සිතමි.'

මහනුවර පාසලේ විදුහල්පතිවරයෙකු වන කේ. ගුනවර්ධන මෙසේ පැවසීය: “රටවල් අතර යුද්ධ සඳහා ආසන්නතම හේතු කුමක් වුවත්, එහි ප්‍රධාන හේතුව ජාතික රාජ්‍ය පද්ධතියේ යල්පැන ගිය ස්වභාවය තුල මුල් බැස තිබේ. කිසිම රටකට යුද ශක්තියෙන් මේකට විසඳුම් හොයාගන්න බැහැ. ඔවුන්ගේ යුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීම අර්බුදය තවත් නරක අතට හරවන අතර තවත් ව්‍යසනයන් කරා ගෙන යනු ඇත. කල යුත්තේ ජාතික රාජ්‍ය ක්‍රමය අහෝසි කර සමාජවාදය ස්ථාපිත කිරීමයි. මෙම ගැටලු පිලිබඳව වඩා හොඳ අවබෝධයක් සඳහා මම ඉරිදා රැස්වීමට සහභාගී වෙමි.'

සංවර්ධන නිලධාරියෙකු වන වසන්ත විජේසිරි මෙසේ පැවසීය: “එක්සත් ජනපදය තමන් මුහුන දෙන අර්බුදය මධ්‍යයේ එහි මිලිටරිවාදී ප්‍රකෝපකරනයන් තීව්‍ර කරනු ඇත. ඔවුන් පමනක් නොව ලොව පුරා අධිරාජ්‍යවාදී රටවල් සිය යුද වියදම් ශීඝ්‍රයෙන් වැඩිකරමින් යුද්ධයට සූදානම් වෙමින් සිටිති. ඔවුන් මුහුන දෙන ප්‍රතිවිරෝධතාවලින් මිදීමට වෙනත් මගක් ඔවුන් නොදකිති. කොවිඩ්-19 වසංගතය අතරතුර, ධනේශ්වර පාලක පන්තිය මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මත පදනම්ව තීරන ගෙන නොමැත. වත්මන් යුද සූදානමේ තත්වයද එසේමය.”

වසන්ත

ලංකා විදුලිබල මන්ඩලයේ සේවකයෙකු වන ආසිරි මෙසේ පැවසීය: “යුක්‍රේනය වටා නිර්මානය වී ඇති ආතතීන් න්‍යෂ්ටික ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බව මට වැටහෙනවා. එහෙත් ලෝක සාමය සඳහා ක්‍රියා කරන බව කියන එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැනි යුද්ධයක් නැවැත්විය හැකි බවක් පෙනෙන්නට නැත. මේ දක්වා යුද්ධයෙන් විශාල විනාශයක් සිදු වුනත් ඔවුන් එය නවත්වන්න කිසිම දෙයක් කරලා නැහැ.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙම යුද්ධයේදී ඔවුන් කිසිදු පැත්තක් නොගන්නා බව ශ්‍රී ලංකා ආන්ඩුව පැවසුවද, ඔවුන්ට එක්සත් ජනපදයේ ඉල්ලීම් වෙතට බර වීමට සිදුවනු ඇත, මන්ද මෙහි පාලක ප්‍රභූව අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හස්තය යට සිටින බැවිනි. ශ්‍රී ලංකාව යුද්ධයට ඇද දැමීම වැලැක්වීමට ආන්ඩුවට හැකියාවක් නැහැ.”

කොලඹට තදාසන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකු වන චතුර මෙසේ පැවසීය: “කිසිම කම්කරුවෙකු මෙම යුද්ධයේදී කිසිම රටකට සහාය නොදිය යුතුය. මම සමාජ මාධ්‍යවල දැකලා තියෙනවා සමහර කම්කරුවන් සහ තරුනයන් විවිධ රටවලට සහයෝගය දෙනවා. ධනේශ්වර මාධ්‍යවල පක්ෂග්‍රාහී වාර්තාකරනයේ බලපෑම නිසා මෙය සිදුවේ යැයි මම සිතමි. ධනපතියන් අතලොස්සකට යුද්ධයක් අවශ්‍යයි. එය සමස්ත කම්කරු පන්තියටම ව්‍යසනයකි. කම්කරුවන් එය තේරුම් ගත යුතුයි.”

දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි හි රසායන විද්‍යා ආචාර්ය උපාධි ශිෂ්‍යාවක් වන මේරි මාර්ටිනා පැවසුවේ, ඇය එක්සත් ජනපද යුද ධාවනයේ මූලයන් ගැන ඇත්ත වශයෙන්ම දැන ගත්තේ ලෝසවෙඅ කියවීමෙන් පමනක් බවයි. “වසංගතය මධ්‍යයේ එක්සත් ජනපදය විශාල දේශීය අර්බුදයකට මුහුන දී සිටින අතර බයිඩන් පරිපාලනය පුටින් රාක්ෂයෙක් බවට පත්කරමින් රුසියාවට එරෙහිව යුද්ධයක් අවුලුවාලීමෙන් අභ්‍යන්තර ගැටුම වෙනතකට හරවා යැවීමට උත්සාහ කරයි,” ඇය පැවසුවාය.

මේරි

“ලෝසවෙඅ සහ අනෙකුත් මාධ්‍ය අතර බොහෝ වෙනස්කම් තිබේ. සංගත මාධ්‍ය අවධානය යොමු කරන්නේ යුක්‍රේනියානුවන් දුක් විඳින ආකාරය ගැන පමනි. යුද්ධයේ ගාමක බලවේගය එක්සත් ජනපද ආන්ඩුව බව ඔවුන් සියල්ලෝම නොසලකා හරිති. මෙම යථාර්ථය මා දැනගත්තේ ලෝසවෙඅ හරහා පමනි. කම්කරු පන්තිය එක්සත් වී යුද විරෝධී ව්‍යාපාරයක් සංවිධානය කල යුතුය යන ඉදිරිදර්ශනයට මම එකඟ වෙමි. කම්කරු පන්තිය එක්සත් කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් වන නමුත් දේශපාලන විඥානය වර්ධනය කර ගැනීම සඳහා අඛන්ඩ අරගලයකින් එය සාර්ථක කරගත හැක.'

Loading