ඉදිරිදර්ශන

ඔමික්‍රෝන් බීඒ.2 උප ප්‍රභේදයේ ව්‍යාප්තිය නැවැත්වීමට චීනය සියලු උත්සාහයන් ගනී

[මෙය China mounts all-out effort to stop the spread of Omicron BA.2 subvariant යන මැයෙන් මාර්තු 15 වැනි දින පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

වසංගතය නැවැත්වීම සෑම ආන්ඩුවක්ම පාහේ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විකාශනය වූ, බෝවීමේ හැකියාව ඉහල සහ ප්‍රතිශක්තිකරන-ප්‍රතිරෝධී ඔමික්‍රෝන් බීඒ.2 උප ප්‍රභේදය විනිවිද යාම හේතුවෙන් පසුගිය සතිය පුරාවට, කොවිඩ්-19 ආසාදන චීනයේ වාර්තාගත මට්ටම් කරා ලඟා වී තිබේ. කොවිඩ්-19 ආසාදන අඛන්ඩව ශුන්‍යයේ තබා ගැනීම අරමුනු කරගත් “නොනවතින ශුන්‍ය” ප්‍රතිපත්තිය සඳහා මහජන සහයෝගයෙන් පිටුබලය ලබන චීන ආන්ඩුව, පැතිර යාම මැඩපැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට විශාල වශයෙන් සම්පත් බලමුලු ගන්වමින් සිටී.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳුදා නව කොවිඩ්-19 රෝගීන් 5,154 ක් වාර්තා කල අතර ඉන් 1,647 ක් රෝග ලක්ෂන නොමැති ඒවා විය. මාර්තු 1 සිට 14 දක්වා, පලාත් මට්ටමේ කලාප 28 කට බලපෑ දේශීයව සම්ප්‍රේෂනය වූ රෝගීන් 15,000 කට වඩා හඳුනාගෙන ඇත. විවිධ පලාත්වල ආසාදන වැඩිවීම මාර්තු මස මුලදී ආරම්භ විය. එය ඊසානදිග ජිලින් පලාතේ කේන්ද්‍රගත වී ඇති අතර, වර්තමාන පැතිර යාමේ සියලුම රෝගීන්ගෙන් සියයට 90 කට වඩා හඳුනාගෙන ඇත.

නව රෝගීන් 526 ක් වාර්තා වූ මාර්තු 6 වන දින, නිලධාරීහු තත්වය “දරුනු” ලෙස සලකන අතර ප්‍රවේශම් වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටියහ. සඳුදා (14), ජිලින් නව රෝගීන් 4,067 ක් වාර්තා කල විට, හැකි නම් සතියක් ඇතුලත සම්ප්‍රේෂනය නතර කරන බවට ප්‍රතිඥා දෙන අතරම තත්වය “දරුනු හා සංකීර්නව” පවතින බවට ප්‍රාදේශීය නිලධාරීහු අනතුරු ඇඟවූහ.

චීනයේ හඳුනාගත් සෑම ආසාදනයකම ස්ථානය පෙන්වන සිතියම (වමේ) සහ ආසාදිත පුද්ගලයින් විසින් මෑතකදී සංචාරය කරන ලද බීජිං නගරයේ ස්ථාන පෙන්වන සිතියම (දකුන) (අනුග්‍රහය: බයිදු සිතියම් මෘදුකාංගය)

මහා පරිමාන පරීක්ෂන, සම්බන්ධතා සොයා ගැනීම, සියලුම ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම සහ ආසාදිත රෝගීන් සමඟ සම්බන්ධ වූවන් නිරෝධායනය කිරීම ඇතුලුව පවතින සෑම මහජන සෞඛ්‍ය පියවරක්ම පාහේ චීනය යොදවමින් සිටියි. රටේ ජනගහනයෙන් සියයට 88 කට වැඩි ප්‍රමානයක් එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇත, එය ලෝකයේ හයවන ඉහලම අනුපාතය වන අතර ආන්ඩුව සතුව මොනොක්ලෝනල් ප්‍රතිදේහ (monoclonal antibodies) සහ වෙනත් ප්‍රතිකාර ප්‍රමානවත් තරම් තිබේ.

2020 ජනවාරි මාසයේදී චීනයේ වුහාන් හි කොවිඩ්-19 ආරම්භක පැතිරීමට ප්‍රතිචාර වශයෙන් මෙන් ම මෙම මාසයේ පැතිර යාමෙන් දින කිහිපයක් ඇතුලත ද ඇඳන් 22,880 ක ඒකාබද්ධ ධාරිතාවකින් යුත් තාවකාලික රෝහල් පහක් චංචුන් සහ ජිලින් හි ඉදිකරන ලදී. ඇඳන් 6,000 කින් යුත් හුදකලා කිරීමේ මධ්‍යස්ථානයක් මෙම සතිය අවසන් වන විට ඉදිකරනු ලැබේ. ඊට අමතරව, පලාත් පහක, ස්වයං පාලන කලාප සහ මහ නගර සභා ජිලින් වෙත වෛද්‍ය කන්ඩායම් සහ සම්පත් යවා ඇත.

ඉදිරි සතිවලදී රට පුරා කොවිඩ්-19 පරීක්ෂන මිලියන ගනනක් සිදුකරනු ඇත. ගිනිකොනදිග අගනගරයක් වන ෂෙන්සෙන් හි, මිලියන 17.6 ක පදිංචිකරුවන්ගෙන් සෑම කෙනෙකුම මේ සතියේ තුන් වතාවක් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. ජිලින් හි, මිලියන 12 ක් නිවසේ දී කලහැකි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂන ව්‍යාප්ත කරනු ලබන අතර, ඔවුන් සියල්ලන්ටම බොහෝ පීසීආර් පරීක්ෂන ද ලබා දෙනු ඇත.

2022 මාර්තු 14 වන දින බීජිං හි කොවිඩ් පරීක්ෂන සඳහා ජනතාව පෙල ගැසී සිටිති. (ඒපී ඡායාරූප/එන්ජී හන් ගුවාන්)

රෝග ලක්ෂන පෙන්වන සෑම කොවිඩ්-19 රෝගියෙකුටම රෝහල් ප්‍රතිකාර ලැබෙනු ඇති අතර රෝග ලක්ෂන නොමැති ආසාදන ඇති අය ආරක්ෂිත නිරෝධායන මධ්‍යස්ථානවල රඳවනු ඇත. සියලුම සමීප සම්බන්ධතා නිතිපතා පීසීආර් පරීක්ෂන වලට අමතරව දින පහක් නිවසේ සිට නිරෝධායනය කර දිනපතා පරීක්ෂා කරනු ඇත.

වඩාත්ම තීරනාත්මක ලෙස, මුලුමහත් ජිලින් පලාත මෙන්ම ෂෙන්සෙන්, ලැන්ග්ෆැන්ග්, ඩොංගුවාන්, ෂැංහයි, ෂියාන් සහ අනෙකුත් කුඩා හා මධ්‍යම ප්‍රමානයේ නගර ඇතුලුව ආසාදන වැඩිම ප්‍රමානයක් ඇති සෑම නගරයකම, ආන්ඩුව අර්ධ හෝ සම්පූර්න අගුලු දැමීම් ක්‍රියාත්මක කර ඇත. මිලියන 50 කට වැඩි පිරිසක් දැඩි ලෙස නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ සිටින අතර තවත් මිලියන 40 කට ආසන්න පිරිසක් අර්ධ වශයෙන් ලොක් ඩවුන් කරනු ලැබ ඇති බව ගනන් බලා ඇත.

මෙම අගුලු දැමීම්, ඒවා ලාභ නිෂ්පාදනය නවතා දමන බැවින්, සංගත මාධ්‍ය විසින් ප්‍රතික්ෂේප කරන මුත්, හැකි ඉක්මනින් වෛරස් සම්ප්‍රේෂනය වැලැක්වීම සඳහා අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන සහ පාසල් තාවකාලිකව වසා දැමීම සිදු කරයි. ජිලින් සහ අනෙකුත් නගරවල, සුපිරි වෙලඳසැල්, ෆාමසි, ජලය, ගෑස්, සනීපාරක්ෂක සහ සන්නිවේදන සමාගම් සහ අත්‍යවශ්‍ය භාන්ඩ සපයන්නන් ඇතුලුව අත්‍යවශ්‍ය සේවා ස්ථාන පමනක් විවෘතව පවතී.

කොවිඩ්-19 පැතිරීම නැවැත්වීම සඳහා චීන ජනගහනයෙන් බහුතරයක් මෙම අවශ්‍ය මහජන සෞඛ්‍ය පියවරයන්ට සහාය දක්වති. තත්වයේ නව්‍යතාවය හේතුවෙන් 2020 ජනවාරි-මාර්තු ආරම්භක අගුලු දැමීම් ඉතා අවුල් සහගත විය, නමුත් වුහාන් අගුලු දැමීම අවසන් වී වසර දෙකකට ආසන්න කාලයකට පසු, ක්‍රියාවලිය වඩාත් විධිමත් බවට පත් ව සහ පුලුල් ලෙස පිලිගනු ලැබ ඇත.

චීනයේ වයඹ දෙසින් පිහිටි ලන්ෂූ විශ්ව විද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලබන පුරෝකථන ආකෘතියක් අනාවැකි පල කරන්නේ, මෙම සියලු පියවරයන් පවත්වා ගතහොත්, ඇස්තමේන්තුගත පුද්ගලයින් 35,000 කට ආසාදනය වීමෙන් පසු අප්‍රේල් මස මුල වන විට පැතිර යාම සම්පූර්නයෙන්ම පාලනය වනු ඇති බවයි. මේ දක්වා, නවතම පැතිරීමෙන් කිසිවෙකු මිය ගොස් නැත. පසුගිය වසර දෙක තුල වසංගතය හේතුවෙන් චීනයෙන් පිටත අතිරික්ත මරන මිලියන 20 කට ආසන්න සංඛ්‍යාවට සාපේක්ෂව, 2020 මැයි 16 සිට චීනය වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 මරන දෙකක් පමනි.

චීනයේ මහා භූමිප්‍රදේශයේ ශූන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය ආක්‍රමනශීලී ක්‍රියාවට දැමීමට බලපා ඇත්තේ, බීඒ.2 ආසාදන වල විශාල වැඩිවීමක් සහ රෝහල් ගත කිරීම් සිදු වූ පෙබරවාරි මැද භාගයේ සිට අගුලු දැමීම් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇති නගරයක් සහ චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන හොංකොංහි ව්‍යසනකාරී ප්‍රතිචාරයයි. බොහෝ දුරට වැඩිහිටියන් අතර අඩු එන්නත් අනුපාත හේතුවෙන් දෛනික මරන අනුපාතය ලෝක වාර්තාවක් දක්වා ඉහල ගොස් ඇති අතර දැනට එය, පුද්ගලයන් මිලියනයකට 37.68 ක් ලෙස පවතී. චීනයේ වයෝවෘද්ධ ජනගහනය තරමක් වැඩි ප්‍රමානයක් එන්නත් කර ඇති මුත්, වයස අවුරුදු 80 ට වැඩි අයගෙන් අඩක් පමන එන්නත් කර නොමැත.

චීනය නැවත වරක් වෛරසය සාර්ථකව තුරන් කරයිද යන්න ඉදිරියේ දී දැක ගත හැකි ය. නමුත් දැනට පෙනෙන හැටියට වේගවත් හා විස්තීර්න සෞඛ්‍ය ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ BA.2 උප ප්‍රභේදයේ එයට ආවේනික භයානක ලක්ෂන තිබියදීත් එයට සාර්ථක විය හැකි බවකි. සාර්ථක වුවහොත්, චීනයේ දේශසීමාවෙන් ඔබ්බෙහි ද විශාල වශයෙන් රෝග හා මරනය පැතිරීම නොවැලැක්විය නොහැකි බව මෙයින් නැවත වරක් ඔප්පු වනු ඇත.

චීනයට නැවත නැවතත් වෛරසය තුරන් කිරීමට සිදු වී ඇති අතර විදේශයන්ගෙන් කොවිඩ්-19 යලි රට තුලට පැමිනීමේ නිරන්තර තර්ජනයට මුහුන දීමට සිදු වී ඇතිය යන කාරනයම දියුනු ධනේශ්වර රටවල්, සියල්ලටත් වඩා එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය වසංගතයට දක්වන ප්‍රතිචාරයේ සාපරාධී ස්වභාවයට සාක්ෂි දරයි.

චීනය පුරෝගාමී වූ සහ 2020 දී වෙනත් බොහෝ ආසියා-පැසිෆික් රටවල ද දැක ගත හැකි වූ තුරන් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්, ධනේශ්වර ප්‍රභූන් සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්, ඇල්ෆා සිට ඔමික්‍රෝන් දක්වාත් සහ ඊලඟට එන ඕනෑම දෙයක් දක්වාත් සාර්ස්-කොව්-2 හි වඩාත් බෝවන සහ ප්‍රතිශක්තිය මග හරින ප්‍රභේද බවට විකෘති කිරීම වෙනුවෙන් වගකිව යුතුය. ඔවුන්ගේ එන්නත් ජාතිකවාදය ප්‍රවර්ධනය කිරීම සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහවුරු කිරීම, අඩු ආදායම්ලාභී රටවල මිනිසුන්ගෙන් සියයට 86 කට සම්පූර්නයෙන්ම එන්නත් ලබා නොදීමට හේතු වී ඇත.

නොවැම්බර් අගදී ඔමික්‍රොන් නැගීමේ ආරම්භයේ සිට, චීනයෙන් පිටත සෑම රටක්ම පාහේ වසංගතයට යට වී ඇති අතර, වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වූ සියලු අවම කිරීමේ පියවරයන් ඉවත් කර ඇත. පරීක්ෂා කිරීම, ආශ්‍රිතයන් ලුහුබැඳීම, දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම, හුදකලා කිරීමේ මාර්ගෝපදේශ සහ වඩාත් මූලික වන මුහුනු ආවරන නියෝග පවා සීමා කර ඇත. කොවිඩ්-19 දැන් “ආවේනික” යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් පාලක ප්‍රභූව, නොනවතින මහා ආසාදන, දිගු කාලීන කායික දුර්වලතා සහ මරනයේ කුරිරු “නව සාමාන්‍යයක්” බලාත්මක කරයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය සහ වෙනත් රටවල් ඇතුලුව යුරෝපය පුරා රෝගීන් ඝාතීය ලෙස ඉහල යමින් පවතින අතර එක්සත් රාජධානියේ රෝහල්ගතවීම් නැවත ඉහල යමින් තිබේ.

සඳුදා, එක්සත් ජනපදයේ බීඑන්ඕ ප්‍රවෘත්ති, නිල නව රෝගීන් 52,694 ක් සහ නව මරන 1,478 ක් වාර්තා කල අතර, එය, වසංගතය ආරම්භයේ සිට චීනයේ සමුච්චිත රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් සහ චීනයේ සමුච්චිත මරනවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමානයකි. රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) නිහඬව සඳහන් කලේ, බීඒ.2 දැන් සියලුම අනුක්‍රමික ආසාදනවලින් සියයට 23.1 ක ප්‍රතිශතයක් වන අතර එය සෑම සතියකම දෙගුනයකට ආසන්න අගයකින් වැඩි වන බවයි. පෙබරවාරි 24 සහ මාර්තු 10 අතර අපජල නිරීක්ෂන පෙන්නුම් කලේ වාර්තා කරන ප්‍රාන්තවලින් සියයට 37 ක අපජලයේ ආර්එන්ඒ වෛරසය තිබීම සියයට 100 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක වැඩිවීමක් අත්විඳ ඇති අතර සියලුම භූමි වලින් සියයට 15 ක, සියයට 1,000 කට වඩා වැඩි වර්ධනයක් වාර්තා කර ඇති බවයි.

චීනයේ ශූන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියේ මූලික සීමාව නම් එහි ජාතික ස්වභාවයයි. කොවිඩ්-19 ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන තාක් කල්, වඩාත් බෝවන, ප්‍රතිශක්තිකරන-ප්‍රතිරෝධී සහ දරුනු නව ප්‍රභේදයන් බවට පරිනාමය විය හැකි වේ. ජාත්‍යන්තර උපාය මාර්ගයකින් තොරව, ශූන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය නිරතුරුව තර්ජනයට ලක් වනු ඇත.

ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදි ලියොන් ට්‍රොට්ස්කිට අනුව නම්, ජාතික සීමාවන් තුල කොවිඩ්-19 තුරන් කිරීම සිතාගත නොහැකි ය. වසංගතයේ අවසානය ජාතික තලයෙන් ආරම්භ වේ, එය ජාත්‍යන්තර තලයේ දිග හැරේ, එය ලෝක තලයේ සම්පූර්න වේ.

වසංගතයේ ගැඹුරු වන අර්බුදය, රුසියාවේ යුක්‍රේන ආක්‍රමනය මගින් අවුලුවාලන ලද වර්ධනය වන භූ දේශපාලන අර්බුදය සමඟ අන්තර්ඡේදනය වේ. නේටෝවේ දශක ගනනාවක් පුරා නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පුටින් තන්ත‍්‍රයේ මෙම මංමුලා සහගත ප‍්‍රතිචාරය සහ රුසියාව හා චීනය වටලෑම හරහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් එහි ආධිපත්‍යය පවත්වා ගැනීම දෙසට ධාවනය, දැනටමත් බිඳී ගිය ලෝක පර්යාය ගැඹුරින් අස්ථාවර කර ඇත. යුද්ධය සහ වසංගතය යන අර්බුද දෙකම උද්ධමනයේ නැගීම සහ ආර්ථික අස්ථාවරත්වයට ඉන්ධන සපයන අතරම, අනෙක් අතට, ජාත්‍යන්තරව පන්ති අරගලයේ වර්ධනය අවුලුවයි.

ලෝක ධනවාදයේ අර්බුදය විසඳීමට ඇති එකම මාවත සමාජවාදී විප්ලවය යි. ජාත්‍යන්තර කම්කරු පන්තිය ජාතික සීමාවන් හරහා ඒකාබද්ධ විය යුතු අතර තුන්වන ලෝක යුද්ධය දෙසට ධාවනය නැවැත්වීම, ගෝලීය වශයෙන් කොවිඩ්-19 තුරන් කිරීම සහ සමාජවාදී පදනම් මත සමාජය යලි ගොඩනැගීම සඳහා බලගතු ගෝලීය අරගලයක් දියත් කල යුතුය.

Loading