ඉදිරිදර්ශන

රුසියානු සහ ඇමරිකානු යුද අපරාධ ගැන

[මෙය Regarding war crimes, Russian and American යන මැයෙන් 2022 මාර්තු 12 වැනි දින පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

සිකුරාදා රුමේනියාවේ පැවති මාධ්‍ය හමුවකදී, එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් යුක්‍රේනය තුල රුසියානු ක්‍රියාකාරකම්වලට ඇඟිල්ල දිගු කරමින්, “ඕනෑම චේතනාන්විත ප්‍රහාරයක් නැතිනම් සිවිල් වැසියන් ඉලක්ක කිරීමක් යුද අපරාධයක් බව අපිට පැහැදිලියි. එච්චරයි.' යැයි ප්‍රකාශ කලා ය.

2022 මාර්තු 11 සිකුරාදා, යුක්‍රේනයේ මරියුපොල් හි රුසියානු හමුදා යුද ටැංකි ප්‍රහාරයකින් පසු මහල් ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීමක්. (ඒපී ඡායාරූප/එව්ගෙනි මැලොලෙට්කා)

හැරිස්ගේ ප්‍රකාශයන් යුක්‍රේනයේ සිදු වූ බව කියන ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් මොස්කෝවට එරෙහි ව වොෂින්ටනය ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනා මැතිරිල්ලේ කොටසක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති ලින්ඩා ග්‍රීන්ෆීල්ඩ්-තෝමස් රුසියානු ආන්ඩුවට යුද අපරාධ චෝදනා කරමින්, 'සිවිල් වැසියන්ට එල්ලකරන [එම] ප්‍රහාර කිසිවකුට—කිසිදු ආකාරයකින් සාධාරනීකරනය කල නොහැකි' බව ප්‍රකාශ කලාය.

මරියුපෝල්හි රෝහලක මාතෘ වාට්ටුවකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියානු හමුදාවට චෝදනා එල්ල වී ඇති අතර ඉන් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු පමන තුවාල ලබා ඇත. විනාශ වූ රෝහල් ගොඩනැගිල්ලේ සැකිල්ල සහ ලේ වැගිරෙන ගැබිනි කාන්තාවකගේ ඡායාරූප විශාල වශයෙන් ප්‍රකාශයට පත් විය.

එක් කොන්දේසියක් මත රුසියාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට විරුද්ධ නොවිය යුතුය: යුද අපරාධ විමර්ශනය එක්සත් ජනපදයේ විරුද්ධවාදීන්ගේ යුද අපරාධවලට පමනක් නොව එක්සත් ජනපදය විසින්ම කරන ලද අපරාධවලට ද අදාල විය යුතුය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් හිතාමතාම ඉලක්ක කර අසංඛ්‍යාත සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරුන් සහ හමුදා නායකයින් අධිකරනයට ගෙන ආ යුතුය.

මරියුපෝල්හි කර ඇති දෙය, ලොව පුරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද අපරාධවල විශාලත්වය කරා ලඟා වීමටවත් නොහැකිය.

වොෂින්ටනය හිතාමතාම ලොව පුරා අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර පහර දී ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යයේ යුද අපරාධ ලැයිස්තුගත කිරීම දිගු පොතක පිටු පුරවනු ඇත. එහි පරිච්ඡේද ශීර්ෂයන් අතර වුන්ඩඩ් නී, බඩ් ඩජෝ, මයි ලායි, ෆලූජා (මේවා සියල්ල එක්සත් ජනපද ඉතිහාසයේ කුප්‍රකට ජන ඝාතනයන්ය) යන නම් සහ පිරිමින්, කාන්තාවන් සහ ලමයින්ගේ මල සිරුරු වට කරගත් එක්සත් ජනපද සොල්දාදුවන් ඔවුන්ගේ රයිෆල්වලට හේත්තු වී සිටින වේදනාකාරී සුපුරුදු ඡායාරූප එකකට පසුව තවෙකක් අපට හමුවනු ඇත.

කෙනෙකුට, පසුගිය වසර 30 තුල ඕනෑම අවස්ථාවක එක්සත් ජනපදය සහභාගී වූ ඕනෑම ගැටුමක් අහඹු ලෙස තෝරා ගත හැකි අතර වොෂින්ටනය වගකිව යුතු නමුත් කිසිවෙකු වග නොකියන යුද අපරාධ ගනනාවක් සොයා ගත හැකිය.

1991 පෙබරවාරි 13 වන දින, එක්සත් ජනපද ගුවන් හමුදාව බැග්ඩෑඩ් හි අමිරියා තදාසන්න ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර ආරක්ෂක ස්ථානයකට සුහුරු බෝම්බ දෙකක් එල්ල කලේය. 1980 ගනන්වල ඉරාන-ඉරාක යුද්ධයේදී අමිරියා පරිශ්‍රය සිවිල් ආරක්ෂක නවාතැනක් ලෙස භාවිතා කර ඇති බව එක්සත් ජනපද හමුදාව දැන සිටි නමුත් එය කෙසේ හෝ ඉලක්ක කර, කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව බෝම්බ හෙලීය. සාමාන්‍ය වැසියන් 1,500 ක් පමන මිය ගිය අතර, ඉන් බොහෝ අය කාන්තාවන් සහ ලමයින් වූහ.

හිටපු එක්සත් ජනපද නීතිපති රම්සි ක්ලාක්ගේ සොයාගැනීම් විකිපීඩියාව මෙසේ සාරාංශගත කරයි: “ජනතාව පරිශ්‍රයෙන් එලියට යාමට උත්සාහ කරන විට කෑගැසීම් ඇසුනි. ඔවුන් විනාඩි හතරක් කෑගැසුවා. දෙවන බෝම්බය වැදීමෙන් පසු කෑගැසීම නතර වුනා.'

වාර්තාව තවදුරටත් මෙසේ කියයි: “ඉහල මාලයේ රැඳී සිටි මිනිසුන් තාපයෙන් පිලිස්සී ගිය අතර, ඉතිරි මරනවලට වගකිව යුත්තේ නවාතැනේ ජල ටැංකියේ නටන ජලයයි. සියලුම දෙනා වහාම මිය ගියේ නැත; වින්දිතයින් කිහිප දෙනෙකුගේ කලු, පිලිස්සී ගිය අත් සලකුනු නවාතැනේ කොන්ක්‍රීට් සිවිලිමේ ඇලී ඇති අතර ඒවා අදටත් දැකගත හැකිය.”

මේ දැවැන්ත යුද අපරාධයට කිසිවකුත් වග නොකියයි.

හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් බ්‍රහස්පතින්දා ට්වීට් කලේ, “රුසියානු නායකත්වයට යුද අපරාධ කරන බවට චෝදනා එල්ල නොවීමට නම්, ඔවුන් රෝහල්වලට බෝම්බ හෙලීම නතර කල යුතුය.” එක්සත් ජනපදය රෝහල් කීයකට බෝම්බ දමා තිබේද? මෙන්න කුඩා සිද්ධි නියැදියක්:

  • 2015 ඔක්තෝම්බර් 3 වෙනිදා, එක්සත් ජනපද ගුවන් යානයක් පැයකට වැඩි කාලයක් කුන්දුස් හි දේශසීමා නොමැති වෛද්‍යවරුන්ගේ රෝහලකට (Doctors Without Borders hospital) බෝම්බ හෙලූ අතර, රෝහල් කාර්ය මන්ඩලය 12 ක් සහ රෝගීන් 10 ක් ඇතුලුව අවම වශයෙන් සිවිල් වැසියන් 22 දෙනෙකු මිය ගියහ. රෝහල හිතාමතාම ඉලක්ක කර ඇති බවට සාක්ෂි පසුව හෙලි විය. එවිට, රාජ්‍ය ලේකම් ක්ලින්ටන් බෝම්බ ප්‍රහාරය 'අතිශයින් කනගාටුදායක' ලෙස හැඳින්වීය. පුටින් විසින් සිදු කරන විට පමනක් රෝහල් වලට බෝම්බ හෙලීම යුද අපරාධයන්ය.

  • 2017 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය සිරියාවේ රක්කා හි රෝහලකට පොස්පරස් බෝම්බ හෙලීය. ලෝසවෙඅ මෙසේ ලිවීය: “රෝහලක් ඉලක්ක කර ගැනීම සහ පොස්පරස් යුධෝපකරන භාවිතය යන දෙක ම යුද අපරාධ වේ. මාංශය ඇටකටුවලට ම පුලුස්සමින් නැවත තුවාල ඇතුලත දවන මෙම රසායනික අවි ජිනීවා සම්මුතීන් යටතේ සිවිල් ජනාකීර්න ප්‍රදේශවල භාවිතය තහනම් කර ඇත.”

  • 1999 මැයි මාසයේදී නේටෝ ප්‍රහාරක ගුවන් යානා යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ් හි ප්‍රධාන රෝහල් සංකීර්නයකට බෝම්බ ප්‍රහාර එල්ල කලේය. එයින් දැඩි සත්කාර ඒකකය විනාශ වූ අතර මාතෘ ඒකකයට හානි සිදු විය. අවම වශයෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගිය අතර, වීසි වී ගිය වීදුරු ගර්භනී කාන්තාවන්ට තුවාල සිදු කලේ ය. ලදරුවන් 20 දෙනෙකු මුදවා ගන්නා ලදී.

ලේ වැගිරීම දිගට ම සිදුවෙමින් පවතී. 2021 දෙසැම්බරයේ දී, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ගවේෂනාත්මක වාර්තාවක් වන “සිවිල් වැසියන්ගේ මරන පිලිබඳ ලිපිගොනු” ප්‍රකාශයට පත් කරන ලද අතර එය එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරවලින් ඉරාකයේ, සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් දහස් ගනනක් මිය ගිය ආකාරය සහ එක්සත් ජනපද ආන්ඩුව මෙය වසන් කල ආකාරය හෙලි කලේ ය. 2016 ජූලි මාසයේ දී එල්ල වූ එක් ගුවන් ප්‍රහාරයකින් උතුරු සිරියාවේ සිවිල් වැසියන් 120 දෙනෙක් මිය ගියහ.

සිවිල් ජනතාව හිතාමතා ම ඉලක්ක කෙරෙයි. සෑම ප්‍රහාරයකට ම ඔවුන් ඉලක්කයට ලබා දෙන වටිනාකම මත පදනම්ව කොපමන සිවිල් මරන සංඛ්‍යාවක් සිදු කල හැකි ද යනුවෙන් ගනනය කරන රහස් මිලිටරි ගනනය කිරීමක් ඇත. එම ලිපිගොනුවලට අනුව එක්සත් ජනපද හමුදාව සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාරයන්ට මත්තෙන් තම වීඩියෝ නිරීක්ෂකයින් හරහා ලමයින් වහලය මත සෙල්ලම් කරන ආකාරය දෙස බලා සිට ඇත.

මාධ්‍ය සීතල අසංවේදීබවක් පවත්වා ගෙන යයි. සෑම නව හෙලිදරව්වකටම දක්වන ප්‍රතිචාරය මෞව ව්‍රතය රැකීමයි. අර්ථවත් විමර්ශන ආරම්භ කර නැත; නිර්භීත වාර්තාකරුවන්ගෙන් ක්ෂනික ප්‍රශ්නකිරීම් නොමැත. වින්දිතයා වොෂින්ටනයේ සතුරකු නම් ඇමරිකානු මාධ්‍ය කම්පාවට පත් වන්නේ නැත.

ඇමරිකානු අධිරාජ්‍යයේ අපරාධ වසන් කරමින් සහ යුක්‍රේනයේ යුද අපරාධ සම්බන්ධයෙන් පුටින් ඉලක්ක කරමින්, එක්සත් ජනපදය මධ්‍යතන යුගයේ කුරුස යුද්ධයේ වන් පැරනි අගතීන් යලි ගොඩ ගෙන ඇත. හොඳින් පෙරහුරු කරන ලද සංත්‍රාසයෙන් 'ශිෂ්ට යුරෝපීයයන්ගේ' මරනවලට ආචාර කරන අතර අරාබිවරුන් සහ ආසියාතිකයන් තඹ සතයකට ගනන් නොගනී. යුක්‍රේනයේ සිටින සුදු සම් ඇති සරනාගතයින් සඳහා අනුකම්පා සහගත කෑගැසීමක් මතු වන නමුත් ඇමරිකාවේ යුද්ධවලින් පලා යන කලු සම් ඇති සරනාගතයින් මධ්‍යධරනී මුහුදේ ගිලී යාමට ඉඩ හරිනු ලැබේ.

රුසියාවේ යුද අපරාධ ලේඛනගත කිරීමට වොෂින්ටනය සිය ගැඹුරු උත්සුකය ප්‍රකාශ කරන නමුත් ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයේ යුද අපරාධ හෙලිදරව් කල නිසා ඔහුට අනුකම්පා විරහිතව හිංසා පීඩා කරයි. එක්සත් ජනපද හමුදා ඉරාක සිවිල් වැසියන් ඝාතනය කිරීම වැනි අපරාධ විස්තර කරන තොරතුරු නිර්භීත ලෙස එලිදරව් කිරීම නිසා, ඔහුගේ ජීවිතය සැබැවින්ම ඔහුගෙන් අහිමි කර ඇත. වොෂින්ටනය ඔහු සදහට ම නිහඬ කර දැමීමට අරමුනු කරන අතර ඔහු මිය යන තෙක් කිසිවක් නතර නොකරනු ඇත.

කුහකකම තවත් ඈතට යයි. පුටින්ට එරෙහිව චෝදනා ඉල්ලා සිටින එක්සත් ජනපදය, තමන්ගේම මිලිටරි සටන්කරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ අධිකරන බලය පිලිගන්නේ නැත. යුධ අපරාධ සම්බන්ධයෙන් කිසිදු ඇමරිකානුවෙකුට අයිසීසී විසින් නඩු පවරා නොමැති අතර, එක්සත් ජනපද ආන්ඩුව, එසේ කිරීමට ගත් සියලු උත්සාහයන්ට බාධා කර ඇත.

වොෂින්ටනය විසින් යුක්‍රේනයේ යුද අපරාධ හෙලා දැකීම තමන්ට ම ගැලපෙන ආකාරයේ වංචාවක් වන අතර සංගත මාධ්‍යවල සදාචාරාත්මක කෝපය නිශ්පාදිත සහ තෝරා ගත් එකකි. මරියුපෝල් සම්බන්ධයෙන් කිඹුල් කඳුලු හෙලීම විශේෂිත දේශපාලන කාර්යභාරයක් ඉටු කරයි. අවධානය යොමු වන්නේ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම නොව රුසියානුවන් ම්ලේච්ඡ හා අමානුෂික ලෙස රාක්ෂකරනය කිරීම ගැන ය.

රාජ්‍යය සහ මාධ්‍ය විසින් අගතිගාමී ලෙස තෝරාගෙන ඉදිරිපත් කරන, මහජන කෝපය සඳහා පදම් කරන ලද යුද අපරාධ චෝදනා, යුද්ධය අවුලුවාලීම සඳහා ප්‍රයෝජනවත් වේ. යුක්‍රේනයට ඉහලින් නේටෝව විසින් ඉල්ලා ඇති ගුවන් ගමන් තහනම් කලාපයක් සඳහා වන භයානක ඉල්ලීම් සඳහා චිත්තවේගීය කෝපයක් එක් කිරීමට මරියුපෝල්හි රෝහලකට බෝම්බ හෙලීම යොදා ගැනේ. එවැනි පියාසර තහනම් කලාපයක් නොවැලැක්විය හැකි ලෙස ලෝක යුද්ධයකට තුඩු දෙනු ඇත.

යුද අපරාධයන්ගේ සීමාවන් පිලිබඳ නීතියක් නොමැත. පුටින්, අපරාධවලට හේග් වෙත යවන්නේ නම්, ක්ලින්ටන්, බුෂ්, ඔබාමා, ට්‍රම්ප් සහ එක්සත් ජනපදයේ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ඔවුන්ගේ සියලු සහචරයෝ ඔහු සමඟ විත්ති කූඩුවට නැගිය යුතු වෙති.

Loading