වතු කම්කරු ක්‍රියාකාරී කමිටු රැස්වීමට සහභාගි වී දඩයමට ලක්වූ සියලු කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිනු

[මෙය Attend Sri Lankan estate workers action committee and demand reinstatement of all victimised workers මැයෙන් 2022 මාර්තු 24 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඕල්ටන්, ග්ලෙනුජ් හා ඇබොස්ලී වතුවල වතු කම්කරු ක්‍රියාකාරී කමිටු (වකක්‍රික), නෙරපන ලද සියලු වතු කම්කරුවන් කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටින ඒකාබද්ධ ඔන්ලයින් රැස්වීමක් මාර්තු 27 ඉරිදා සවස 3ට පවත්වයි. කලමනාකාරීත්වය විසින් දඩයමට ලක්කොට ඇති ඕල්ටන්, කටුකැලේ හා වැලිඔය වතුවල කම්කරුවන් 54 දෙනෙකු නෙරපා දමා තිබේ.

ඉහල දැමෙන වැඩබර, වැටුප් කප්පාදු, ඊනියා ආදායම් බෙදීමේ මොඩලය හා ඵලදායීතාව නංවන අනෙකුත් පියවර ඇතුලු කම්කරුවන්ගේ අයිතීන් මතට එල්ල කෙරෙන තීව්‍ර ප්‍රහාරයන් සම්බන්ධයෙන් රැස්වීම තුල සාකච්ඡා කෙරෙනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ ආශීර්වාදය ලබන මෙම පිරිවැය කප්පාදු ප්‍රහාරවලට, වෘත්තීය සමිති සම්පූර්න සහයෝගය දෙයි.

සැප්තැම්බර් 29දා රැස්වීම් ශාලාව අසල විරෝධතාවේ යෙදෙන කටුකැලේ වත්තේ කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

ඉරිදා පැවැත්වෙන රැස්වීමට සහභාගි වී, මෙම මර්දනය පරාජය කිරීමටත්, රැකියා, වැටුප් හා වැඩ කොන්දේසි ආරක්ෂා කරගැනීමටත්, අවශ්‍ය කරන ක්‍රියා මාර්ගය සාකච්ඡා කරන ලෙස වතු හා අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

එක් එක් කම්කරුවන්ට කොන්ත්‍රාත් පදනම මත තේ පඳුරු 1,000ත් 1,500ත් අතර සංඛ්‍යාවක් බෙදා දෙන සූරාකෑමේ ආදායම් බෙදීමේ ක්‍රමයට, වතු කම්කරුවෝ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිරෝධය පලකර ඇත්තාහ. සමාගම විසින් සපයනු ලබන සමහර සැපයුම් සමගින් තේ පඳුරු රැක බලාගෙන, අස්වැන්න නෙලීම කම්කරුවන්ගෙන් හා ඔවුන්ගේ පවුල්වලින් අපේක්ෂා කරනු ලැබේ. තේ දලු භාර ගන්නා සමාගම, තම වියදම් හා ලාභය අඩු කරගෙන ඉතිරිය ඔහුගේ හෝ ඇයගේ ආදායම ලෙස කම්කරුවාට ගෙවනු ලැබේ. මෙය මුලුමනින් ක්‍රියාවට දැමූ විට, කම්කරුවන්ට තම සේවක අර්ථසාධක අරමුදල හා අසීරුවෙන් දිනාගත් අයිතීන් අහිමි වේ.

ආදායම් බෙදාගැනීමේ ක්‍රමය පලමු වරට 2016 දී පටවන ලද්දේ, මධ්‍යම පලාතේ වලපනේ මහ ඌව වත්තේ සහ හැටන් නගරය අසල දික්ඔයේ ටිලරි, බටගල්ල හා ඈන්ෆීල්ඩ් වතු තුල ය. කම්කරුවන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් මෙම ක්‍රමය අත්හැර දැමීමට හෝ පාර්ශවීය ව ක්‍රියාවට දැමීමට වතු කලමනාකරනයට සිදු විය.

අප්කොට්හි ඕල්ටන්, තලවාකැලේහි කටුකැලේ හා හැටන් අසල වැලිඔය වතු තුල කම්කරුවන්ගේ අරගල මාලාවක් මර්දනය කිරීමෙන් පසුව, පසුගිය වසරේ දී වතු සමාගම් ආදායම් බෙදාගැනීමේ ක්‍රමය සම්පූර්නයෙන් ක්‍රියාවට දැමීම ඇරඹූ හ. ඕල්ටන් වත්තේ කම්කරුවන් මත ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව, ඕල්ටන්, ෆෙයාලෝන්, ගවරවිල, ස්ටොක්හෝම් හා මහනිලු වතුවල එම ක්‍රමය යොදාගැනීම හොරන වතු සමාගම (හොවස) විසින් අරඹා ඇත.

ඔක්තෝබර් 7දා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමෙන් අනතුරු ව නිවෙස් බලා පැමිනෙන දඩයමට ලක් කරන ලද කටුකැලේ වත්තේ කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

වත්තේ කලමනාකරුවන්ට කායික ව පහර දුන් බවට ගොතන ලද චෝදනා මත, ඕල්ටන් වත්තේ කම්කරුවන් 24 දෙනෙකු හා තරුනයන් දෙදෙනකු 2021 පෙබරවාරියේ දී පොලිස් අත්අඩංගුවට ගැනුනි. ඉහල වැටුප් ඉල්ලමින් හා කලමනාකරනයේ තාඩන පීඩනවලට විරෝධය පලකරමින්, කම්කරුවන් දවස් 47ක් තිස්සේ වැඩ වර්ජනයක නියැලීමෙන් අනතුරු ව, දඩයම මුදා හරින ලදී. අත්අඩංගුවට පත් කම්කරුවෝ දැන් උසාවියේ අපරාධ නඩුවකට මුහුන දෙති. එම ව්‍යාජ චෝදනා මත ම, පරීක්ෂනයක් නැතිවම පසු කම්කරුවන් 38 දෙනෙකු හොවස විසින් නෙරපන ලද අතර, එම කම්කරුවෝ දැන් ජීවිත ගැට ගසා ගැනීමට ආදායමක් උපයා ගැනීමට අරගලයේ යෙදෙති.

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), සමාගමේ හා පොලීසියේ කුමන්ත්‍රනයට ආධාරය හා අනුබලය ලබා දී ඇති අතර, ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පෙරමුන (ඩීපීඑෆ්) මෙම මර්දනය නිහඬ ව අනුමත කරති.

ඕල්ටන් වත්තේ කොටස් හතර ම ඔක්තෝබරයේ දී ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය යටතට ගෙන එනු ලැබින. රුපියල් 1,000ක දෛනික වැටුපක් ලබා ගැනීම සඳහා දිනකට දලු කිලෝග්‍රෑම් 18ක් නෙලිය යුතු යයි ද කම්කරුවන්ට කියන ලදී. මෙම ඉලක්කය සපුරාලීමට නො හැකි වුවහොත්, කම්කරුවන්ට ගෙවනු ලබන්නේ කිලෝවකට රුපියල් 40ක් පමනක් වන අතර, එම මුදල රුපියල් 1,000ට වඩා බෙහෙවින් අඩු ය.

ඕල්ටන් වත්තේ කම්කරු කාන්තාවක් විස්තර කල පරිදි: “තේ පඳුරු 1,500ක විතර ඉඩමක් මට ලැබී තිබෙනවා, ඒකෙන් මගේ මාසික පඩිය බාගෙකින් අඩුවෙලා තියනවා. දලු නෙලීම, පිරිසිදු කිරීම හා අනෙකුත් වැඩකටයුතු කල යුත්තේ මම ම යි. සමහර වෙලාවට විශ්‍රාම අරන් ඉන්න මගේ සැමියා උදවු කරනවා, ඒත් අපේ ටාගට් එකට ලඟා වීම හරි ම අමාරුයි.”

පසුගිය මාසයේ ඇයට ලැබුනේ රුපියල් 4,000ක් පමනි. බෙදා දෙන ලද තේ පඳුරු ස්ථාන දෙකක පැවතුන අතර, එහි අර්ථය වූයේ තේ පඳුරු වෙත යාමේ දී කාලය නාස්ති වී, දෛනික ඉලක්කය කරා ලඟා වීම අසීරු වීම යි. වෘත්තීය සමිති කම්කරුවන්ගේ පැමිනිලි නො තකා හැර ඇත.

මස්කෙලියේ ඩෙල් හවුස් වත්තේ කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

“ආදායම් බෙදා දීමේ ක්‍රමය හඳුන්වා දුන්නට පස්සෙ කලමනාකරනය අපේ අයිතීන් ඉවත දමමින් තිබෙනවා. අපේ වත්තේ ජල සම්පාදන පද්ධතිය සම්පූර්නයෙන් බිඳ වැටිලා, ඒක අලුත්වැඩියා කිරීමේ වියදම දරන්න වෙලා තියෙන්නෙත් අපිට” යි ෆෙයාලෝන් වත්තේ කම්කරුවෙක් පැවසී ය.

කටුකැලේ වත්ත පාලනය කරනු ලබන්නේ මස්කෙලිය වතු සමාගම විසිනි. පසුගිය සැප්තැම්බරයේ දී කම්කරුවන් අධික වැඩබරට එරෙහි ව ක්‍රියාවන්ට පිවිසීම ඇරඹූ විට, කලමනාකරනයේ හා පොලීසියේ ප්‍රහාර මාලාවකට ඔවුන් ඉලක්ක කරනු ලැබිනි. කම්කරුවන් 11 දෙනෙක් නෙරපන ලද අතර, ඔවුහු දැන් උසාවියේ නඩුවලට මුහුන දෙති.

සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව්, ඩීපීඑෆ්, කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) හා ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුලු සියලු වතු වෘත්තීය සමිති ආදායම් බෙදා ගැනීමේ ක්‍රමයට පිටුබලය දෙති. පසුගිය මහ මැතිවරනය සමයේ, සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන් සහ එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම් මෙම සූරාකෑමේ ක්‍රමයට සහයෝගී ව ක්‍රියාශීලී ලෙස උද්ඝෝෂනය කලහ.

තොන්ඩමන් දැනට රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු වන අතර, අනෙකුත් වෘත්තීය සමිති නායකයන් පැවති පාලන තන්ත්‍රවල ඇමති තනතුරු දරා ඇත. වතු වෘත්තීය සමිති නායකයෝ දේශපාලන සංස්ථාපිතයේ කොටසක් වන අතර, ඔවුන් නායකත්වය දෙන සමිති සමාගම්වලට හා බලයේ සිටින ආන්ඩුවලට සේවය කරති.

පසුගිය සතියේ දී වැවිලිකරුවන්ගේ සංගමය (පීඒ) කලින් රජයට අයත් ව පැවති වතු පුද්ගලීකරනය කිරීමේ 30වන සංවත්සරය සැමරුවේ, ආදායම් බෙදා ගැනීමේ මාදිලිය සම්පූර්නයෙන් ක්‍රියාවට දමන ලෙස ඉල්ලමිනි. තේ නිෂ්පාදනයේ දී සියයට 70ක් ශ්‍රම පිරිවැය ලෙස වැය වන බව කියූ එය, එම පිරිවැය අඩු කල යුතු බව කියා සිටියේ ය.

පීඒ නායකයෝ ලංකාවේ වතු කම්කරුවන්ගේ නිෂ්පාදනය, කෙන්යාවේ හා දකුනු ඉන්දියාවේ අඩු පිරිවැය හා ඉහල ඵලදායිතාව සමග සන්සන්දනය කල හ. ලෝක වෙලඳපොලේ දී තරඟ කිරීම පිනිස, නව ක්‍රමය අවශ්‍ය බව ඔවුහු කීවෝ ය. ලංකාවේ වතු කම්කරුවන්ට ශිෂ්ට සම්පන්න නිවාස ඇතුලු සමාජීය ප්‍රතිලාභ සම්පාදනය කරමින් ඉහල වැටුප් ගෙවන්නේ ය යන කියාපෑම් ද ඔවුහු පුනරුච්චාරනය කලහ.

මෙම කියාපෑම් පට්ටපල් බොරු ය. තේ වතු කම්කරුවන් ලක්ෂ ගනනක් හා ඔවුන්ගේ පවුල්, ජනාකීර්න අඩි 10 ×12 (මීටර් 3×3.5 පමන වන) ලයින් කාමරවල ජීවත් වන අතර, ඒවාට මූලික සනීපාරක්ෂක පහසුකම් වත් නැත. වතු පාසල් හා වෛද්‍ය බෙහෙත් ශාලා මුලුමනින් ම පාහේ අතුරුදන් වී තිබේ.

පවුල් කිහිප දහසකට අලුත් නිවාස ලබා දී ඇතත්, ඒවා පැරනි ලයින් කාමරවලින් එතරම් වෙනස් නො වේ; ඒවා බොහොමයක් ගොඩනගනු ලැබ ඇත්තේ විදෙස් ආධාර වැඩසටහන් යටතේ ය.

ඇද වැටෙන ආර්ථික වර්ධනය, පහලයන විදෙස් ප්‍රේෂන හා විදෙස් ඇද වැටෙන ආර්ථික වර්ධනය, පහලයන විදෙස් ප්‍රේෂන හා විදෙස් නය ගෙවීම පැහැර හැරීමේ අන්තරාය සමගින්, ලංකාවේ ධනවාදය පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දෙන තතු මධ්‍යයේ, වතු කම්කරුවන්ට එරෙහි ව තීව්‍ර ප්‍රහාර මුදා හරිමින් පවතී. ආන්ඩුව අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දමමිනි. මූලික ආහාර ද්‍රව්‍යවලට හා ඉන්ධනවලට ගෙවීමට අසමත් වී ඇති තතු යටතේ, මෙම අර්බුදයේ බරට කර දීමට සිදුව ඇත්තේ කම්කරු පන්තියට හා ගම්බද ජනතාවට යි.

තමන්ගේ ආන්ඩුව මූල්‍යාධාර පතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැරෙන බව පසුගිය සතියේ දී ජනාධිපති රාජපක්ෂ නිවේදනය කල අතර, එහි අර්ථය වන්නේ වඩා ගැඹුරු කප්පාදු පියවරයන් ය.

අනෙකුත් අංශවල ඔවුන්ගේ සහෝදර සහෝදරියන් මෙන් වතු කම්කරුවෝ ද පසුගිය වසරේ දී වැටුප් හා වැඩ කොන්දේසි ආරක්ෂා කරගැනීම පිනිස අරගල මාලාවක් තුලින් ඉදිරියට පැමිනිය හ. පහත දැක්වෙන ඉල්ලීම් මත කරන අරගල ක්‍රියා මාර්ගයක් සඳහා අවශ්‍යතාව ඉරිදා පැවැත්වෙන ක්‍රියාකාරී රැස්වීමේ දී සාකච්ඡා කරනු ඇත.

  • නෙරපන ලද සියලු කම්කරුවන් කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටුවීම.
  • ආදායම් බෙදාගැනීමේ ක්‍රමය එපා.
  • ඉහල යන ජීවන වියදමට සම්බන්ධ කරන ලද ඉහල වැටුප්, සම්පූර්න වැටුප් සහිත නිවාඩු හා විශ්‍රාම යෝජනා ක්‍රමයක්.
  • සියලු කම්කරුවන්ට වෛද්‍ය ප්‍රතිලාභ හා සෑම වත්තකට ම ඉහල ගුනාත්මක වෛද්‍ය පහසුකම්.
  • සියලු දෙනාට ශිෂ්ට සම්පන්න හා ජීවත් විය හැකි නිවාස.

මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට, කම්කරුවෝ වෘත්තීය සමිතිවලින් හා ඒවායේ නිලධරයෙන් ස්වාධීන ව, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය ය.

සමාජවාදී සමානතා පක්ෂය විසින් ආරම්භකත්වය ගන්නා ලද වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), සමාගමේ, පොලීසියේ හා ආන්ඩුවේ ප්‍රහාරවලින් වතු කම්කරුවන් ආරක්ෂා කිරීමට අඛන්ඩව සටන් වැදී, වෘත්තීය සමිතිවල පාවා දීම් හෙලිදරවු කර තිබේ.

කම්කරුවන්ට ඉහත ඉල්ලීම් ලඟා කරගත හැක්කේ ද ඔවුන්ගේ මූලික අයිතීන් දිනාගත හැක්කේ ද කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා වතු සමාගම් ජනසතු කිරීමෙන් පමනක් බව අපි කියමු. මෙම අරගලය සමාජවාදී පිලිවෙත් සඳහා ද, ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන් සමග එකමුතුව සඳහා ද කරන පුලුල් අරගලයක කොටසක් බවට මෙය පත්විය යුතු ය.

තමන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරිය යුතු වතු කම්කරුවන්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භකත්වය ගෙන ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ විය යුතු ය.

Loading