වෛද්‍ය ක්ෂේත්‍රයේ නව දක්ෂිනාංශික වෘත්තීය සමිති දෙකක් ඇටවෙයි

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස) ප්‍රමුඛ වෛද්‍ය ක්ෂේත්‍රයේ පවත්නා වෘත්තීය සමිති කෙරෙහි වෛද්‍යවරුන් අතර පැතිර පවත්නා දැඩි කලකිරීම ගසාකමින්, 'වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය' සහ 'ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය' නම් වූ නව වෛද්‍ය වෘත්තීය සමිති දෙකක් පසුගිය දා ආරම්භ කෙරුනි.

පලමුවැන්නේ නායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බන්ඩාර විසිනි. තමා ඇතුලු කන්ඩායමක් පසුගිය රවෛනිස නිලවරනයට ඉදිරිපත්කල අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් පසු, ඔහු නව සමිතිය ඇටවීමට ප්‍රමුඛත්වය ගෙන ඇත. බන්ඩාර, අගමැති මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ගැත්තෙකු ලෙස දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තෙකි.

මෙම සමිතියේ පැවිදි අනුශාසකවරු ලෙස ඕමල්පේ සෝභිත භික්ෂුව හා පාහියන්ගල ආනන්ද භික්ෂුව පත්කරගෙන ඇත. වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි මොවුන් දෙදෙනාට ම ඇත්තේ, කම්කරු පංතිය භේද කරනුවස් සිංහල-වාර්ගික ප්‍රකෝපකරනයන් ඇවිලවීමේ කුප්‍රකට වාර්තාවකි.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය තම ප්‍රධාන අරමුනු ලෙස ප්‍රකාශ කර ඇත්තේ, වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, ඔවුන් සතු මූලික මිනිස් අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. 'රෝගීන්ගේ අයිතිවාසිකම් බිඳවැටෙන අවස්ථා වලදී පොදු මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටීම' ද ප්‍රකාශිත තවත් අරමුනකි.

සමිතියේ ආරම්භය නිවේදනය කෙරුනු මාධ්‍ය හමුවේ දී එහි නායකයින් සහ අනුශාසකවරුන් කල ප්‍රකාශ වලින්මත් එහි සැබෑ අරමුනු ප්‍රකට විය. ඕමල්පේ සෝභිත මෙසේ පැවසී ය: 'අද වන විට මෙරට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය සම්බන්ධයෙන් මහ ජනතාවගේ දැඩි කලකිරීමක් නිර්මානය වී පවතින පසුබිමක වෛද්‍යවරුන් හා ජනතාව යන කන්ඩායම් දෙක ම ඉලක්ක කොට නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් දේශපාලන පදනමකින් තොරව ආරම්භ වීම ඉතා සුබදායක ලකුනක්'

ධනපති පන්තිය දේශපාලනිකව සංවිධානය වී කම්කරුවන් මත ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන තත්ත්වයක් තුල, කම්කරු පන්තියට දේශපාලනයෙන් තොරව සටන්කිරීමට මොවුන් කරන යෝජනාව, යුද භූමියක ආයුධ සන්නද්ධ සතුරන් සමග නිරායුධ ව සටන් වැදීමට දෙන පසමිතුරු ඔවදනකි.

ආන්ඩුවේ ප්‍රහාර වලින් බැටකන වෛද්‍යවරුන් ඇතුලු කම්කරුවන්, වෘත්තීය සමිති යකඩ සැට්ටයෙන් මිදී සමස්ත ධනපති පාලනයට ම එරෙහි ව ස්වාධීන දේශපාලන අරගලයකට පිවිසෙතැයි, ධනපති පාලකයෝ සහ එහි ආවතේවකරුවෝ බිය වැදී සිටිති. බන්ඩාර-සෝභිත නඩය උත්සාහ කරන්නේ පවත්නා සමිති කෙරෙහි කලකිරී සිටින කම්කරුවන් තවත් වෘත්තීය සමිතියක සිර කොට එම අරගලය වලකාලීමටයි.

දේශපාලනයෙන් තොර යන්න තොරොම්බල් කරන මෙම සමිතියේ තනතුරු දරන සියල්ලන්ම පාහේ රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා විවෘත ව ම ක්‍රියාකලවුන් බව කම්කරුවන් අමතක නොකල යුතු ය.

මෙම සමිතියේ ප්‍රධාන අරමුනක් ලෙස සඳහන් කරන 'රෝගීන්ගේ අයිතිවාසිකම් බිඳවැටෙන අවස්ථා වලදී පොදු මහජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටීම' යන්න සෞඛ්‍යය කම්කරුවන් බැරෑරුම් ව සැලකිල්ලට ගත යුතු ය. මෙහි සැබෑ ඉලක්කය වන්නේ, සෞඛ්‍ය කම්කරුවන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා දියත් කරන සියලු අරගල වලට එරෙහි ව, ෆැසිස්ට් හා අන්ත දක්ෂිනාංශික කන්ඩායම් මෙහෙයවමින් එම අරගල තලා දැමීමට ආන්ඩුවට සහාය දීමයි.

එලෙසම වර්ජන වලට විරුද්ධ වන ඔවුන්, ඉල්ලීම් දිනා ගැනීම සඳහා උපාය මාර්ගය ලෙස දක්වා ඇත්තේ, මේ වන විටත් පවතින වෘත්තීය සමිති ගෙන යන බංකොලොත් වැඩපිලිවෙල වන ආන්ඩුව සමඟ සාකච්ඡා කිරීම හා බලපෑම් දැමීමයි.

අනෙක් සමිතිය වන ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය ව්‍යවස්ථාවක් පවා නොමැතිව සාමාජිකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. මෙම සමිතියේ ද ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ දේශපාලනයෙන් තොර වීම යන්නයි.

නව වෘත්තීය සමිතියෙන් 'ලොකු දෙයක් වෙයි කියලා විශ්වාසයක් නැති උනත්', රවෛනිසයේ නායකත්වය දරන අනුරුද්ධ පාදෙනිය ඇතුලු නඩයේ ක්‍රියාකලාපයට 'විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා' එයට බැඳුනු බව වෛද්‍යවරු කීපදෙනෙක්ම ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

මෙම සමිතියේ නායකයන්ට සහ ක්‍රියාධරයන්ට අනුව, වෛද්‍යවරුන් මුහුන දී ඇති සකලවිධ අර්බුදයන්ට හේතුව වූ කලී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ එහි සභාපති අනුරුද්ධ පාදෙනිය යි. එබැවින් විකල්ප නායකත්වයක් සහිත නව සමිතියක් ගෙන ඒම මගින් මෙම අර්බුදය නිරාකරනය කල හැකි බවට ඔවුහු තර්ක කරති. මෙම කුතර්කය කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න වල යතා මූලය ධනපති ක්‍රමයේ ඓතිහාසික අර්බුදය බව කම්කරුවන්ගෙන් වසන් කරයි. පාදෙනිය ඇතුලු සමිති නායකයන් කරමින් සිටින්නේ ද එයයි.

කම්කරුවන්ගේ රැකියා සහ ජීවන කොන්දේසි වර්ධනය කිරීමේ ලා, ධනපති ක්‍රමයේ උත්පාත කාලයන්හි දී වෘත්තීය සමිති යම් ප්‍රගතිශීලී කාර්යභාරයක් සිදු කල බව සැබෑ ය. නමුත් ස්වභාවයෙන්ම ජාතිකවාදී වන මෙම සංවිධානයෝ, ආර්ථිකයේ ගෝලීයකරනය තුල එම ප්‍රගතිශීලී කාර්යභාරය ඓතිහාසික ව අහිමි කර ගත්හ. ඒවා කම්කරුවන්ගේ උපකරන වල සිට ධනේශ්වර උපකරන බවට පරිවර්තනය විය. අද දින සියලු වෘත්තිය සමිති කම්කරුවන්ට එරෙහි කාර්මික පොලීසි ලෙස ක්‍රියා කරමින් ආර්ථික අර්බුදයේ ගිලී ඇති ධනපති ආන්ඩු සහ හාම්පුතුන් ආරක්ෂා කරයි.

වෛද්‍යවරුන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතිය ලෙස ක්‍රියා කරන රවෛනිස පසුගිය කාලය තුල වෛද්‍යවරුන්ට පමනක් නො ව සමස්ත සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම අනෙකුත් අංශවල කම්කරුවන්ට කල ද්‍රෝහිකම් විමර්ශනය කර බැලීම වෘත්තීය සමිති ක්‍රියා කලාපය තේරුම් ගැනීමේ ලා සෑම කම්කරුවෙකුට ම වැදගත් වනු ඇත.

සමස්ත කම්කරු පංතියට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කරන ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා, රවෛනිස තම සාමාජිකත්වය ද මුලාකරමින් නිර්ලජ්ජිත ක්‍රියාකලාපයක් ඉටු කරන ලදී.

දශකයකට පමන පෙර 'ජාතික වැටුප් ප්‍රතිපත්තිය' නිර්මානය කිරීම සඳහා රවෛනිස මූලිකත්වය ගන්නා ලදී. එහිදී අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් වැනි නිර්නායකයන් යොදාගනිමින් වෛද්‍යවරු ඇතුලු රාජ්‍ය සේවයේ සීමිත කොටසකට පමනක් සාපේක්ෂව ඉහල වැටුපක් ලබාදෙමින් බහුතර කම්කරුවන් පහල වැටුප් තලයක රැඳවීමේ අන්ත ප්‍රතිගාමී වැටුප් ප්‍රතිපත්තියක් නිර්මානය කෙරුනි.

කෙසේ නමුත්, අහස උසට නැගි ජීවන වියදම හමුවේ පවා, වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා හීන් කෙඳිරියක් හෝ නොනැගීමට රවෛනිස වගබලා ගත්තේ ය. මෑත දී මහනුවර මහ රෝහල් ශාඛාව ඇමතූ පාදෙනිය, වැටුප් වැඩි කිරීමක් ගැන විමසූ සාමාජිකයන්ට පිලිතුරු දෙමින්, ' මම හිතනවා මේ අවස්ථාවේ වැඩි වැටුප් ඉල්ලීමත් සදාචාර නෑ කියල' යැයි පැවසීය.

ලැබෙන සොච්චම් වැටුපෙන් දිවි ගැටගසා ගැනීමට නොහැකි ව වැඩි වැටුප් ඉල්ලා සටන් වදින අනෙකුත් සෞඛ්‍ය කම්කරුවන්ට සහ වෙනත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට එරෙහි ව රවෛනිස මෙම කුප්‍රකට වැටුප් ප්‍රතිපත්තිය අමෝරයි. මෙය සෙසු සෞඛ්‍යය කම්කරුවන් අතර පමනක් නොව අවශේෂ කම්කරුවන් තුල ද වෛද්‍යවරුන් කෙරෙහි වෛරයක් ගොඩනැගීමට බලපා ඇත.

කොරෝනා වසංගතය මැඩීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විද්‍යාඥයන් දෙන ලද උපදෙස් සහ නිර්දේශ මුලුමනින්ම නොතකා හරිමින්, වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමට ජනාධිපති රාජපක්ෂ ගත් සාපරාධී පියවරට රවෛනිස පූර්න අනුග්‍රහය ලබා දුන්නේ ය. අවශ්‍ය විද්‍යාත්මක ප්‍රවිෂ්ටයට පිටුපෑ ආන්ඩුව, පැනි සහ දුම් හට්ටි ප්‍රවර්ධනය කරද්දී, පාදෙනිය තමා සේවය කල අනුරාධපුර වෛද්‍ය පීඨය තුල මෙම ව්‍යාජ පැනියට විද්‍යාත්මක පදනමක් සපයා දීමට පවා උත්සාහ කලේ ය.

එපමනක් නොව කොරෝනා එන්නත පිලිබඳව සැක සංකා මතු කර එය පර්යේෂන මට්ටමේ ඇති එකක් බව පවසමින් එන්නත් ගෙන ඒම කල්දැමීම සඳහා ආන්ඩුවට ආවරනය සපයාදුන් රවෛනිස, වෛද්‍යවරු ඇතුලු දහස් ගනනකගේ කෝවිඩ් මරන සඳහා වගකිව යුතු ය.

විදේශ සංචිත හිඟය හේතුවෙන් ආන්ඩුව පැනවූ පොහොර සහ කෘමිනාශක තහනමට එරෙහිව පැනනැගි ගොවි විරෝධතා මධ්‍යයේ, තහනම සාධාරනීකරනය කරනු වස් පාදෙනිය ඇතුලු රවෛනිස නඩය රසායනික පොහොර භාවිතයට එරෙහිව අන්ත අවිද්‍යාත්මක තර්ක ඉදිරිපත් කලහ.

රවෛනිසහි මෙම ද්‍රෝහී ක්‍රියාකාරකම් ද, රුක්ෂාන් බෙල්ලන සභාපතිත්වය දරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා වෛද්‍ය සංගමය සහ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය ආදී අනෙකුත් සමිති වල ඒ හා සමාන පාවාදීම් ද හේතුවෙන් සියලු සමිති කෙරෙහි වෛද්‍යවරුන් අතර ඇත්තේ දැඩි කලකිරීමකි.

මෙම කලකිරීම ගසා ගසා කමින් නව වෘත්තීය සමිති අටවනු ලබන්නේ, වෛද්‍යවරුන්ගේ හෝ අවශේෂ කම්කරු-පීඩිත මහජනතාවගේ රැකියා සහ ජීවන කොන්දේසි නගා සිටුවීමට යැයි කවරෙකු හෝ විශ්වාස නොකල යුතු ය.

ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් තොර ව කම්කරුවන් මුහුන දෙන කවර හෝ ප්‍රශ්නයකට පිලිතුරු සම්පාදනය කල නොහැක. ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් තුලින්, ලාභය මූලික කරගත් ධනේශ්වර ක්‍රමය ලෝක පරිමාන ව පෙරලා දමමින්, නිෂ්පාදන මාධ්‍ය කම්කරුවන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට යටත් කොට මානව අවශ්‍යතා සපුරාලන පරිදි ආර්ථිකය ගෝලීය පරිමාන ව ප්‍රතිසංවිධානය කර ගැනීම මෙම දේශපාලන අරගලයේ එල්ලයයි. ඒ වනාහි, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

වෛද්‍යවරුන් ඇතුලු කම්කරුවන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම, වසංගතය අවසන් කිරීම, පරිසර දූෂනය සහ ලෝක යුද්ධය වැලැක්වීම කල හැක්කේ එම වැඩපිලිවෙල මගින් පමනි.

පැරනි සමිති මෙන්ම ධනපති ක්‍රමයට තදින් බැඳී සිටින නව වෘත්තීය සමිති, මෙම වැඩපිලිවෙලට සපුරා එරෙහි ය.

මෙම සියලු සමිති වලින් බිඳී, ප්‍රජාතන්ත්‍රවාදී ව තීන්දු තීරන ගන්නා සහ සියලු ශ්‍රේනි ඒකාබද්ධ කෙරෙන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට වෛද්‍යවරුන් ඇතුලු සමස්ත සෞඛ්‍ය කම්කරුවන් වහා හැරී ගත යුතු ය. එම ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනගමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමට පෙරට එන ලෙස වෛද්‍යවරුන් ඇතුලු සමස්ත සෞඛ්‍ය කම්කරුවන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

Loading