දුෂ්කර රැකියා කොන්දේසි හේතුවෙන් වසරක් තුල 1000 කට අධික නේපාල කම්කරුවෝ මැදපෙරදිග දී මියයති

ගල්ෆ් රටවල දී සහ මැලේසියාවේ දී, නේපාල සංක්‍රමනික කම්කරුවන් අසාමාන්‍ය වූ ඉහල අනුපාතයකින් මියයාමට හේතුව විමර්ශනය කරන ලෙස නේපාල ශ්‍රේෂ්ඨාධිකරනය 2020 ජනවාරි මාසයේ රජයට නියෝග කලේය. විදේශයන්හි මිය යන නේපාල කම්කරුවන් සඳහා පශ්චාත් මරන පරීක්ෂන අනිවාර්ය විය යුතු බව විනිසුරුවරු ලබා දුන් තීන්දුවේ අන්තර්ගත වේ.

ඉහත නියෝගය නිකුත් වූයේ, විදේශයන්හි මියයන නේපාල කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්, නේපාල කොංග්‍රස් පක්ෂය නායකත්වය දෙන එරට සන්ධාන ආන්ඩුවේ සාපරාධී නොතැකීමට එරෙහිව මහජනතාව අතර වැඩී ඇති විරෝධය හමුවේ මානව හිමිකම් ක්‍රියාකාරීන් ගොනුකල නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

නියෝගය නිකුත්කොට වසර දෙකක් ඉක්මවා ඇතත් මෙතෙකුදු පශ්චාත් මරන පරීක්ෂන සිදු නොවන අතර, මරන සංඛ්‍යාව ඉහල යමින් පවතී. තම රටෙහි පවත්නා දැවැන්ත විරැකියාව සහ ආන්තික දරිද්‍රතාව හේතුවෙන් අන් රටක මරනීය රැකියාවක යෙදී හෝ තම දරුපවුල් රැක ගැනීමට නේපාල කම්කරුවන්ට බලකෙරී ඇත.

මෙම මරන වලින් සියයට 97 ක් පමන සිදුවන්නේ මැලේසියාවේ සහ ගල්ෆ් රටවල වන අතර, විදේශ ගතවීමට පෙර කෙරෙන වෛද්‍ය පරීක්ෂනයන්හි දී අදාල රැකියාවේ යෙදීමට යෝග්‍ය සෞඛ්‍ය තත්වයෙන් සිටින බවට තහවුරු කර තිබියදීත් සෑම වසරකම, නේපාල කම්කරුවන් 1,000 ක් පමන ඔවුන් රැකියාවේ නියුතු රටවල දී මියයනබව වාර්තා වේ.

වන්දි ඉල්ලුම් නොකල සංක්‍රමනික කම්කරු මියයෑම් ඉහත ගනනයන්ට අයත් නොවේ. විපතට පත්වූවන්ගේ පවුල් බොහෝ ඈත ගම්මානවල ජීවත්වන දුගී සහ නුගත් අය වන බැවින්, වන්දි ලබාගැනීමේ ක්‍රියාපටිපාටි සහ අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම නොදනී. මේ හේතුවෙන්, සැබෑ මරන සංඛ්‍යාව ප්‍රකාශිත අගයට වඩා ඉහල අගයක් ගනී.

මැදපෙරදිග දී මියයන සංක්‍රමන කම්කරුවන් මුහුන දෙන රැකියා සහ ජීවන කොන්දේසි ඉතා රුදුරු ස්වභාවයක් ගනී.

සෙන්ටිග්‍රේඩ් අංශක 40 ක පමන ශරීරයට දැරිය නොහැකි උෂ්නත්වයක් යටතේ දිනකට පැය 14ක් හෝ ඊටත් අධික අධික කාලයක් වැඩකිරීමට මෙම කම්කරුවන්ට සිදුවේ. ඊට අමතරව ඔවුනට ජීවත් වීමට සිදුව ඇත්තේ, පහසුකම් හෝ සනීපාරක්ෂාව නොමැති කුඩා නවාතැන් වල ඉතාම අනාරක්ෂිත කොන්දේසි යටතේ ය. මෙම කොන්දේසි, කම්කරු මරන වලට හේතු වන බව දෙපැත්තේ ම ආන්ඩු යට ගසයි.

හදිසි හෘදයාබාධයකින් මිය ගිය බවට කටාර් හි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරනය කල තිස්පස් වියැති සුක්‍රම් තාරු නමැති නේපාල ජාතිකයා මිය යෑමට පෙර “ගිනියම් රස්නය යටතෙ වැඩ කරන්නට සිදුවී තිබෙනවා, වෙන කරන්න දෙයක් නැති නිසා වැඩ කරගෙන යනවා” යයි බිරිඳට ප්‍රකාශ කලබව මයිග්‍රන්ට් රයිට්ස් ඩොට් ඔර්ග් වෙබ් අඩවිය වාර්තා කලේය. තාරු නේපාලයෙන් පැමිනෙන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව ඔහුගේ බිරිඳ පවසා ඇත.

මෙම මරන වල වගකීමෙන් නිදහස් වීමට සෑම උත්සාහයක්ම දරන නේපාල ආන්ඩුව, හැකි සෑම විටම මරන වලට හේතු කම්කරුවන් ගේ වැරදි ලෙස ඉදිරිපත් කරයි. 'කම්කරුවන් ප්‍රමානවත් තරම් ජලය පානය නොකර අධික උෂ්නත්වය යටතේ වැඩ කරන බැවින් එය අධික තාප ආතතියේ ප්‍රතිඵලයක් විය හැකි' යැයි නේපාල සෞඛ්‍ය පර්යේෂන කවුන්සිලය (NHRC), ප්‍රකාශ කරයි.

ආන්ඩුව යටගසමින් තිබෙන්නේ, විදේශ ප්‍රේෂන වෙනුවෙන් දරිද්‍රතාවයෙන් පෙලෙන කම්කරුවන් බිල්ලට දී ඇති ආකාරයයි.

දකුනු ආසියාවේ රටවලින් දරිද්‍රතාවයෙන් තෙවන ස්ථානයේ පවතින්නේ නේපාලයයි. වර්ල්ඩ් පවර්ටි ක්ලොක් (World poverty clock) සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝක දරිද්‍රතා දර්ශකය වන ඩොලර් 1.9 ට අඩු දෛනික වැටුපක් ලබන නේපාලය ග්‍රාමීය දිලිඳු ජනගහනය මුලු ජනගහනයෙන් සියට 14ක් වෙයි.

නිව්යෝක් පාදක කොටගත් නීමා (knoema)වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි ලමා මරන අනුපාතය උපදින දරුවන් දස දහසකට 28 ඉක්මවා යන ඉහල අගයකි. මාතෘ මරන අනුපාතය ද සජීවී උපත් 100,000කට මරන 186ක් වැනි ඉහල අගයක පවතී.

රිලීෆ් වෙබ් අඩවි වාර්තාවකට අනුව 1996 හා 2006 අතර රජයේ සන්නද්ධ හමුදා හා මාඕවාදීන් අතර සිවිල් යුද්ධ හේතුවෙන් මිනිස්සු දහස් ගනනක් මිය ගිය ගොස් බොහෝ පිරිසක් අවතැන් වූහ. මිලියන 5 ක පමන ජනතාවක් මන්දපෝෂනයට ඇද දැමුනි. නේපාලය, මෙතෙකුදු සියයට 85 ක පමන පිරිසක් කෘෂිකර්මාන්තයේ නියුතු නොදියුනු කෘෂිකාර්මික රටකි. ආහාර මිල ඉහල යාමෙන් සහ ග්‍රාමීය ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් මහජනතාව පීඩා විඳිති.

2017 මැයි වන විට නේපාල සංක්‍රමනිකයන් ලක්ෂ හතරක් කටාර් හි පමනක් සේවය කරමින් සිටි අතර 2018 -2019 තුල තවත් දෙලක්ෂ තිස් දාහක් ගල්ෆ් කලාපයට සංක්‍රමනය වූහ. එයින් බොහෝ දෙනෙකු යොමුව ඇත්තේ, වඩා සූරාකෑමට ලක්වන නුපුහුනු කම්කරු ක්ෂේත්‍රයන් හි කොන්ත්‍රාත් සහ උප කොන්ත්‍රාත් සමාගම් වල ඉදිකිරීම් සහ භූමි අලංකරනය වැනි රැකියා සඳහාය.

ලෝක බැංකු වාර්තාවන්ට අනුව වසර 2001 දී නේපාලයේ දල ජාතික නිෂ්පාදනයෙන් විදේශ ප්‍රේෂන ප්‍රතිශතය වූ 2.4, වසර 2019 වන විට 24ක් දක්වා දස ගුනයකින් ඉහල ගොස් ඇත්තේ, දිලිඳු කම්කරුවන් මෙලෙස බිල්ලට දීමෙනි. කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ ම ගල්ෆ් කලාපයේ කම්කරුවන් දසදහස් ගනනකට ද රැකියා අහිමි වූ අතර, පෙරලා තම රටට යෑමට නොහැකිවූ ඔවුහු විදේශයන්හි අතරමංවූහ.

මෑත දී ප්‍රකාශයට පත්කල ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවක්, කටාරයේ දී නේපාල ජාතිකයන් මිය යෑම සම්බන්ධයෙන් එරට බලධාරින්ට මෙසේ චෝදනා කරයි: “ මරන නිසිලෙස විමර්ශනය කරන්නට අපොහොසත් වී ඇත. එමගින් මරන වලට යටින් පවතින හේතු තීරනය කිරීම දුෂ්කරය. ඒවා රැකියාවට සම්බන්ධව තක්සේරු කිරීම් වලකා ලයි.”

ඉහල ලාභ රේට්ටු පවත්වා ගැනීමේ ලා සංක්‍රමන කම්කරුවන් ඇට පොත්තටම සූරාකෑමට සෑම පිටුබලයක් ම සපයන ගල්ෆ් ආන්ඩු සහ එම කම්කරුවන්ගේ ප්‍රේෂන මත යැපෙන නේපාල ආන්ඩුව සංක්‍රමන කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව, මරන සංඛ්‍යාව දැවැන්තව ඉහල යද්දී එය යට ගැසීමට දරන උත්සාහය මගින් තහවුරු කරයි.

වසංගතය සහ යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව ගෙනයන එක්සත් ජනපද-නැටෝ යුද්ධය හේතුවෙන්, නේපාලයේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම් ක්ෂේත්‍රයන් වන සංචාරක කර්මාන්තයට සහ සංක්‍රමනික කම්කරුවන්ගේ ප්‍රේෂන වලට බරපතල ලෙස පහර වැදී ඇත.

එම තතු යටතේ, කම්කරුවන් විදේශ රැකියා වලට යොමු කිරීමට වෙර දරන ආන්ඩුවක්, මෙම මරන වැලැක්වීමට මැදිහත්වීම කෙසේ වෙතත්, ඒ පිටුපස පවත්නා සැබෑ හේතු අනාවරනය කිරීම පවා නොකරනු ඇත. එමගින් කම්කරුවන් විදේශ රැකියා සොයායාම අඩුවෙතැයි ආන්ඩුව ගනන් බලයි.

ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ සංක්‍රමනික කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියේ විමුක්ති මාවත වන්නේ ජාතික රේඛාවන් හරහා ඒකාබද්ධව ජාත්‍යන්තර සමාජවාදයට සටන් කිරීමයි.

Loading