මහජන විරෝධතා සඳහා ඉදිරි මාවත පැහැදිලි කිරීමට සසප මාධ්‍ය හමුවක් පවත්වයි

[මෙය Sri Lankan SEP holds press conference to outline way forward for mass protests මැයෙන් 2022 අප්‍රේල් 9 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් විජේ ඩයස්, සිකුරාදා පැවති මාධ්‍ය හමුවක් අමතමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහි ව, වැඩකරන ජනයා හා තරුනයන් ගෙනයන මහජන විරෝධතා සදහා ක්‍රියාකාරී සමාජවාදී ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කලේ ය.

විජේ ඩයස්

සතියක් පුරා ම පාහේ, කම්කරුවන්, ශිෂ්‍යයන්, වෘත්තිකයන්, රැකියා විරහිතයන්, ගෘහනීන් හා ගම්බද පීඩිතයින් ලක්ෂ ගනනක් රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දිවයින පුරා විරෝධතා පවත්වමින් සිටිති.

කොලඹ ජාතික පුස්තකාල සම්මන්ත්‍රන ශාලාවේ පැවති මෙම මාධ්‍ය හමුව, ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කල අතර, පුද්ගලයින් 160ට අධික සංඛ්‍යාවක් එය සජීවී ව නැරඹූ හ. දිනපතා දෙමල පුවත්පතක් වන වීරකේසරී හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මාධ්‍යවේදීහු මෙම අවස්ථාවට සම්බන්ධ වූ හ.

මහජන විරෝධතා සඳහා ඉදිරි මාවත පැහැදිලි කිරීමට සසප මාධ්‍ය හමුවක් පවත්වයි

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු! කප්පාදුව හා කුසගින්න එපා! සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!” යන හිසින් යුත් ප්‍රකාශයක් සසප ඊ‌ට පෙර දිනයේ නිකුත් කලේ ය.

පවතින තත්ත්වය මහජන නැගිටීම් තත්ත්වයක් ලෙස ගුනාංගීකරනය කරමින්, ඩයස් ඔහුගේ අදහස් දැක්වීම ආරම්භ කලේ ය. “කම්කරුවන්, තරුනයන්, පීඩිතයන්, ගොවීන් හා තම අතදරුවන් කරපින්නා ගත් ගෘහනීන් පවා ලක්ෂ ගනනින් රට පුරා මෙම විරෝධතාවන්ට සහභාගි වීම අපි පසුගිය දින කිහිපය තුල දැක්කා.”

ඩයස් 1953 අගෝස්තුවේ පැවති හර්තාලය (එනම් මහා වැඩ වර්ජනයක් හා ව්‍යාපාර වසා දැමීම්) සමග වන ‌ඓතිහාසික සමාන්තරයක් ගෙනහැර දැක්වී ය: “අපි 1953 හර්තාලය යලි මතකයට ගන්නේ නම්, රට පුරා මෙවන් මහජන නැගීටීමක් පැවතුනා. එහෙත් ඒ අවදියේ කම්කරු පන්තියේ නායකත්වය දැරූ ලංකා සම සමාජ පක්ෂය, එය එක් දිනයකින් නවතා දැමීමට තීරනය කලා.

“කම්කරුවන් හා තරුනයන් ඔවුන්ගේ ම ආරම්භකත්වය මත එම අරගලය අඛන්ඩ ව පවත්වාගෙන යාමට දින තුනක් තිස්සේ උත්සාහ කලත්, එවකට පැවති ධනපති ආන්ඩුව විරෝධතාකරුවන් නව දෙනෙකු වෙඩි තබා මරා දමා, අරගලය අවසන් කරගැනීමට සමත් වුනා. එයින් පස්සෙ, මේ රට තුල පුපුරා ගිය වඩාත් ම තියුනු අරගලය මෙයයි.

“අද පවතින අරගලය, තරුනයන්, ගොවීන් හා සමාජයේ විවිධාකාර පීඩිත ජන කොටස් වටකරගත් කම්කරුවන්ගේ අධිෂ්ටානය පෙන්නුම් කලත්, අරගලයේ ඉදිරි දර්ශනය හෝ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් විශාල හිදැසක් පවතිනවා. මෙම විශාල හිදැස නිර්මානය කිරීමට ඊනියා වාමාංශික සංවිධාන, වෘත්තීය සමිති හා ව්‍යාජ-වම්මුන් සියල්ලෝ ම සාමූහික ව වැඩකරනවා.”

ඩයස් විස්තර කල පරිදි: “දිවා-රාත්‍රී නොකඩවා පැවැත්වෙන මෙම අරගලවල ඉදිරි දර්ශනය පිලිබඳ ප්‍රශ්නය දැන් ඉදිරියට පැමින තිබෙනවා. මහජනයා “ජනාධිපති ඉල්ලා අස්විය යුතු යි” යන සටන් පාඨය වටා රැලි වී සිටියත්, ඔවුන්ට ඉදිරි දර්ශනයක් අවශ්‍ය යි.

“කම්කරු පන්තියේ, පීඩිතයන්ගේ හා තරුනයන්ගේ අරගලවලට අවශ්‍ය ඉදිරි දර්ශනය පිලිබඳ ප්‍රශ්න සමග පොර බදන එක ම සංවිධානය, සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය පමනයි.”

විශ්වවිද්‍යාල සිසුන් 2022 අප්‍රේල් 8 දින කොලඹදී පැවති විරෝධතා පාගමන (ලෝසවෙඅ මාධ්‍ය)

“තෙල්, ගෑස් හෝ කිරිපිටි මිල දී ගැනීමට පවතින දිගු පෝලිම් හෝ ඒවායේ හිඟයන් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් අහස උසට නැගීම හේතුවෙන්, මහජනයා වීදිවලට පැමින තිබෙනවා” යි ඩයස් සදහන් කලේ ය. මෙම උවමනාකම් ඉටු කරගැනීම, සමාජවාදී ක්‍රියා මාර්ගයක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තිය රාජ්‍ය බලය ගැනීමේ අවශ්‍යතාව මතු කරයි.

මෙම කරුනු පලල් ව සාකච්ඡා නො කෙරෙන බව ඩයස් කීවේ ය. විකල්ප ධනපති ආන්ඩුවක් තැනීමේ රාමුව ඇතුලත මහජනයා උගුලකට හසු කරගැනීම සඳහා ආන්ඩුව, විරුද්ධ පක්ෂ හා ව්‍යාජ-වම්මුන් දේශපාලන ඉදිරි දර්ශනයේ මෙම අඩුපාඩුව ගසා කයි.

ඩයස් තව දුරටත් මෙසේ කීවේ ය: “මෙම උගුල්වලින් අවමංගත නො වන ලෙස සසප බරපතල ලෙස මහජනයාට අනතුරු අඟවනවා. අන්තර්වාර හෝ සර්ව-පාක්ෂික ආන්ඩුවක් තැනීමට යෝජනා කරන්නේ, මහජන විරෝධතාවන්ට එරෙහිව හදිසි නීති ආඥාවන් හා ඇඳිරි නීති පැනවූ ද ඒවා මර්දනය කිරීමට පොලීසිය හා සන්නද්ධ හමුදාවන් දිගේලි කලා වූ ද ජනාධිපති විධායක බලතල පවත්වා ගනිමිනුයි.”

මීට ප්‍රතිකූල ව, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමටත්, සසප යෝජනා කරයි. “මෙවන් ආන්ඩුවක් ස්ථාපනය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව හරහා නෙවෙයි. ඒ සඳහා කම්කරු පන්තිය පීඩිත ජනයාගේ සහයෝගය සහිතව තමන්ගේ ම සංවිධාන ගොඩනගාගත යුතු යි.

“ඒ සඳහා සසප ක්‍රියාකාරී කමිටු යෝජනා කරනවා. සෑම වැඩපොලක ම හා වත්තක ම, ධනපති පක්ෂවලින් හා ඒවායේ ඒජන්තයන්ගෙන් ස්වාධීන ව කම්කරුවන්ගේ මෙම ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතුයි.”

2022 අප්‍රේල් 8දා රෝහල වටා පෙලපාලි දක්වන මහනුවර සෞඛ්‍ය කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

ඩයස්, ක්‍රියාකාරී කමිටු වැඩකටයුතුවලට ජීවය සැපයීම සඳහා, වැඩකරන ජනයාගේ හා ගම්බද පීඩිතයන්ගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කරන සංක්‍රමන ඉල්ලීම් යෝජනා කලේ ය.

“ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ඩොලර් බිලියනයක් ගෙවීමට ආන්ඩුව දැන් උත්සාහ ගනිමින් සිටිනවා. මෙය වහා ම නතර කල යුතුයි.” දේවල් තමන්ගේ ම අතට ගතයුතු කම්කරු පන්තිය සියලු නය ගෙවීම් නැවැත්වීමට ක්‍රියාකල යුතු ය.

“ඊනියා නිදහසේ වසර 74 යටතේ, සියලු පාටවල ආන්ඩු මෙම නය නිර්මානය කර ඇත්තේ, මහජනයාගේ සුභසාධනය වෙනුවෙන් නොව, සන්නද්ධ හමුදා ගොඩනගමින් ධනවාදය ආරක්ෂා කිරීම සඳහා අයෝජකයන්ගේ අවශ්‍යතා ක්‍රියාවට දැමීමට යි.

“දැන් මෙම නය ආපසු ගෙවීම මහජනයාගේ කර මතට තල්ලු කර දමා තිබෙනවා. ඒ නිසා නය ආපසු ගෙවීමට එරෙහි ව සටන් කිරීම මුලුමනින් ම සාධාරනීකරනය කල හැකියි...කම්කරුවන්ගේ, පීඩිතයන්ගේ හා තරුනයන්ගේ දැවෙන අවශ්‍යතා විසඳීම සඳහා මෙම මුදල් උපයෝගී කරගත යුතුයි.”

සියලු නිල විරුද්ධ පක්ෂවල සහයෝගය සමගින්, ආන්ඩුව ක්‍රියාවට දැමීමට උත්සාහ කරමින් සිටින ජාමූඅ නියෝග කරන ලද කප්පාදු පියවර, රැකියා කප්පාදුවලට, ජීවන වියදම තවදුර ඉහල යාමට, පුද්ගලීකරනයට හා සුභසාධන අහෝසි කිරීමට තුඩු දෙනු ඇතැයි ඩයස් අනතුරු ඇඟවී ය. ක්‍රියාකාරී කමිටු මෙම කප්පාදු වැඩපිලිවෙලවලට එරෙහි ව සටන් වදිනු ඇත.

“සියලු මහා කර්මාන්ත, වතු හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කල යුතුයි.”එය, මහජනයාගේ ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරනු ඇත.

තමන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පාලක පන්තිය එල්ල කරන ප්‍රහාරයට එරෙහි සිය සටනේ දී, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ සගයන් වන්නේ, ඒ හා සමාන ප්‍රහාරයන්ට එරෙහි ව අරගලවලට පිවිස ඇති එක්සත් ජනපදය, යුරෝපය, අප්‍රිකාව, ලතින් ඇමරිකාව හා ආසියාව ඇතුලු ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් බව ඩයස් සඳහන් කලේ ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) “ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ අරගලය පිලිබඳ ව ලොව පුරා කම්කරු පන්තිය දැනුවත් කරමින්, ඔවුන්ගේ සහයෝගය බලමුලු ගැන්වීමට ලෝසවෙඅ හරහා සටන් කරමින් සිටින” බව ඔහු පැවසී ය.

යුක්‍රේනය තුල අධිරාජ්‍යවාදී මැදිහත් වීම තුන්වැනි ලෝක යුද්ධයක් ඇවිලිවිය හැකි බව ඩයස් කීවේ ය. රුසියාවට එරෙහි මෙම එක්සත් ජනපද-නැටෝ යුද ධාවනය, ලංකාවේ පාලක පන්තිය මුහුන දෙන ආර්ථික අර්බුදය තව දුර තීව්‍ර කර ඇත්තේ කෙසේදැයි ඔහු පැහැදිලි කලේ ය. ශ්‍රී ලංකාවේ කම්කරුවන් සමාජවාදය සඳහා කරන සටන මත පදනම් වන ගෝලීය යුද-විරෝධී ව්‍යාපාරයක කොටස්කරුවන් විය යුතු බව ඔහු සඳහන් කලේ ය.

ඉන්දියාව හා දකුනු ආසියාව පුරා කම්කරු-පන්තික අරගල විස්තර කරමින්, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් ඉරිතලා ගිය උතුර හා නැගෙනහිර ඇතුලු ව කලාපය පුරා කම්කරුවන් සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත එකමුතු කොට බලමුලුගැන්වීමට සසප කරන වැඩ කටයුතු ඩයස් පැහැදිලි කලේ ය.

වීරකේසරී පත්‍රයේ ජනමාධ්‍යවේදියෙක්, දිවයිනේ උතුරේ හා නැගෙනහිරේ දෙමල හා මුස්ලිම් විරෝධතාකරුවන්ගේ සහභාගීත්වය සසප විසින් අවධාරනය කර තිබෙන්නේ මන්දැයි විමසුවේ ය.

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම පිලිබඳ ව කුප්‍රකට ව සිටින තතු යටතේ, පීඩනයට එරෙහි ව කම්කරු පන්තියේ සමගිය ගොඩනැගීම අතිශය වැදගත් බව ඩයස් කීවේ ය.

Loading