ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත විරෝධතාකරුවෝ සමාජ හා දේශපාලන අර්බුදය ගැන කතා කරති

[මෙය Protesters outside Sri Lankan High Commission in London speak on social and political crisis යන මැයෙන් 2022 අප්‍රේල් 09 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය සති කිහිපයක සිට රට සොලවාලනු ලැබ ඇති මහජන විරෝධතාවලට සහය පල කරමින් 300 දෙනෙකුගෙන් යුත් ජනකායක් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත රැස් වී ඊයේ විරෝධතාවයේ නිරත විය.

අහස උසට නැගෙන මිල ගනන්, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට අත්‍යවශ්‍ය භාන්ඩ සපයා ගැනීම අසීරු කර ඇත. වසර ගනනාවක ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතයේ බලපෑම ඒකාබද්ධ වී ඇති අතර, ජනාධිපති ගෝඨාභය ('ගෝඨා') රාජපක්ෂ නෙරපා හැරීමට බල කිරීම සඳහා මිලියන ගනනක් වීදි බැස සිටිති.

විරෝධතාකරුෙවා් සටන් පාඨ කියමින් (ලෝසවෙඅ මාධ්‍ය)

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද රට තුල පැන නැගී ඇති විරෝධතාවන්ට සහයෝගීතාවය පල කරමින් විරෝධතා පවත්වමින් සිටියි.

“තොපි කොල්ලකෑ ධනය ආපසු දෙනු”, “සොරකම් කල මුදල් ආපසු දෙනු”, “ශ්‍රී ලංකාව, අපි ඔබ සමඟ සිටිමු”, “අපි ඔබ සමඟයි ශ්‍රී ලංකාව”, “ශ්‍රී ලාංකීය ජනතාවනි, අපි ඔබ සමඟයි” 'මිනිසුන්ට කන්න දෙනු, රටට ඉන්ධන දෙනු, ගෝඨා ඉවත්කරනු', 'ඔබ පැටලුනේ වැරදි පරම්පරාවක් සමඟයි' ආදී සටන් පාඨ ඇතුලත් තමන්ම සාදාගත් පුවරු බොහෝ විරෝධතාකරුවෝ රැගෙන ගියහ.

රාජපක්ෂ පවුල බලයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව

“ගෝඨා ගෙදර යනු” යනුවෙන් ඇතැමෙක් සටන් පාඨ නැගූ අතර අතර, “කන්න නැති ව නිරපරාදේ මිනිසුන් මියැදෙනවා', 'ගෝඨා, ගෝඨා, කල දේවලට යුක්තියට මුහුන දීමට වෙලාව ඇවිත් - ඒ ඔබ තනිය ම නොව, ඔබේ පවුල සහ ඔබේ පන්තිය ද සමගයි' යනුවෙන් රැස්ව සිටි පිරිස එයට අත්වැල් ඇල්ලූහ.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව බිඳ හෙලීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, කප්පාදුව සහ සාගින්න අවසන් කිරීම සහ සැමට ආහාර, ඉන්ධන සහ ඖෂධ සුරක්ෂිත කිරීමට සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඉල්ලා සිටිමිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ ලන්ඩන් විරෝධතාවයේ දී ප්‍රකාශය බෙදා හරිමින් විරෝධතාකරුවන් සමඟ කතා කලහ.

ප්‍රී (ලෝසවෙඅ මාධ්‍ය)

“උන් රජයේ මුදල් මංකොල්ලකෑවා—හොරා කාපු සල්ලි ආපසු දී ගෙදර යනු!” යනුවෙන් ලියැවුනු පුවරුවක් ප්‍රී අතේ තබාගෙන සිටියාය. ඇය පැවසුවේ, “ශ්‍රී ලංකාවේ අපි දැන් සිටින්නේ අර්බුදයක. අපිට ඉන්ධන නැහැ, පෙට්‍රල් නැහැ, මිනිසුන්ට අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය නැහැ. මූලික ව ම ලංකාවේ පාලනය කරන්නේ එක පවුලක්. දැන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඔවුන් දැන් ආන්ඩු බලය අත් හැරිය යුතුයි කියලා.”

“මගේ යහලුවන් සහ පවුලේ අය ඉන්නේ ලංකාවේ. අපි අද මෙතන රැස් ව සිටින්නේ ඔවුන් වෙනුවෙන්. අපි මෙහේ සුවපහසු ලෙස ජීවත් වුනත් ශ්‍රී ලංකාවේ සිදු වෙන දේ ගැනත් අපි දැනුවත්.”

“දැන් පාසල් වසා දමලා. පාසල් නිවාඩුව අප්‍රේල් මැද නියමිතව තිබුනත් ප්‍රවාහනය මූලික වශයෙන් බිඳ වැටී ඇති නිසා දැන් සිසුන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් උදා ව තියෙනවා. පාසල් වෑන් රථ ධාවනය කිරීමට නොහැකි නිසා, බස් රථ නොමැති නිසා පාසල් වසා දමලා.”

“කම්කරුවන්, ආන්ඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලා උද්ඝෝෂන කල යුතු අතර, දූෂිත ක්‍රමයට නොව නිවැරදි ආකාරයට පාලනය කිරීමට අවශ්‍ය ඕනෑ ම අයෙකු පාලන බලය ලබා ගත යුතුයි. සියලු දෙනා එකතු වෙලා ශ්‍රී ලාංකේය දෙමල, මුස්ලිම්, හින්දු, ආගම් භේද නැහැ, හැමෝම පාරට බැහැලා ආන්ඩුව හරියට කරගෙන යන්න කියලා ඉල්ලා එ ලෙස බලයට එන අයගෙන් ඉල්ලා සිටිනවා.”

“ශ්‍රී ලාංකිකයන් නැවත එකා මෙන් එකතු වී සිටිනවා, අපි තව දුරටත් බෙදෙන්නේ නැහැ. මේ අර්බුදය තුල ඔවුන් එකමුතුයි. ජනතාව දිගින් දිගටම උද්ඝෝෂන කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව මට විශ්වාසයි. මේ තත්වයට ලංකාව ගෙනාවේ එක පවුලක්, එක පවුලක් විතරයි. එයාලගේ පාලනයේ ඉහල පුටුවල ඉන්න ඇමැතිවරු පස් හය දෙනෙක් තමයි මේක කරන්නේ.”

සෙනුල (වමේ) සහ ඔහුගේ මිතුරා (මැද) (ලෝසවෙඅ මාධ්‍ය)

සෙනුල සිසුවා පැවසුවේ “අපේ අම්මලා තාත්තලා අපිව මෙහෙට එව්වේ ලංකාව පාලකයන් හරි නැති නිසා. අපි මධ්‍යම පාන්තික පවුල්වල අය. මගේ තාත්තා ඉංජිනේරුවෙක් වෙලත් ඔවුන්ටත් ජීවත් වීම අපහසුයි. නිකමට හිතන්න කම්කරු පන්තියේ මිනිස්සුන්ගේ තත්වය කොහොමද කියලා. ඒ අය ජීවත් වන්නේ කෝමද?, මූලික අවශ්‍යතා සපයා ගන්නේ කෝමද?”

“මම කොලඹ, මට වයස අවුරුදු 18 යි. තරුන තරුනියෝ මේ විරෝධතා ආරම්භ කලේ රටට සිදුවන දේ ඔවුන්ට දැකගත හැකි වුනු නිසා. එයාලට මේක තවදුරටත් දරාගන්න බෑ. පාලනයේ ඉන්න අය පැටලී ඇත්තේ වැරදි පරම්පරාවක් සමඟයි. ලංකාවේ තත්ත්වය අවුල් වෙලා. තරුන පරම්පරාව, විශ්වවිද්‍යාල සිසුන් කැරලි සහ උද්ඝෝෂනවලට නායකත්වය දෙනවා. අපට ශක්තිය තියෙනවා. අපට ධෛර්යය තිබෙනවා.

“අපි අපේ රට බේරගන්න ඕන. අපි ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ මුලු පවුලම ඉවත් ව යන ලෙසයි. දේශපාලකයන්ට නෙවෙයි, සියලුම කම්කරුවන්ට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාව දිය යුතුයි. පාලකයන්ට අපිව මේ පාර නවත්තන්න බැහැ. ඇඳිරි නීතිය දැම්මා, නමුත් තාමත් උද්ඝෝෂන කරනවා. සමස්ත ඉලක්කය වන්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල ඉවත් කර ඔවුන් සොරකම් කල මුදල් අපට ආපසු ලබාගැනීමයි. මුන් කෝටිපතියෝ.”

බුද්ධි (ලෝසවෙඅ මාධ්‍ය)

තම සහකරු සමඟ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන තරුන කාන්තාවක් වන බුද්ධි පැවසුවේ “මේ වන විට ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුම විඳින වේදනාවත් එක්ක අපි ඉන්නවා. අධික ජීවන වියදම සමඟ ජීවත්වීම ඉතා දුෂ්කරයි. ඉතා දූෂිත ආන්ඩුවක් තුල මූලික අවශ්‍යතා, අත්‍යවශ්‍ය දේ සපුරා ගන්නට විදියක් නෑ.” යනුවෙනි.

“සමහර අය මීට වසර කිහිපයකට පෙර ඔවුන්ට ඡන්දය දුන්නේ රට යහපත් තැනක් කරන බවට ඔවුන් දුන් පොරොන්දු, ඔවුන් අඳින ලද චිත්‍ර, සියල්ල ඉටු වේ යැයි බලාපොරොත්තුවෙන් වුනත් ඒ කිසිවක් වුනේ නෑ.”

“අපි ස්වාධීන රටක් වුනාට පස්සේ අවුරුදු 74 ක් තිස්සේ විවිධ කන්ඩායම් ඇවිත් විවිධ බොරු පොරොන්දු දුන්නා. සමහර දේවල් සිදු වූ නමුත් රටට තවමත් අවශ්‍ය, සාමාන්‍ය මිනිසාට අවශ්‍ය තවත් බොහෝ දේ තියෙනවා.”

'අපි බලාපොරොත්තු වෙනවා, අඩුම තරමින් දැන් අපි එකට එකතු වෙලා කියලා. ජනතාව එක සටනක් තුල එකතු කිරීම ගැන අපි මේ දූෂිත දේශපාලකයන්ට ඔවුන් කල දේ ගැන ස්තුතිවන්ත වෙනවා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේක ජයග්‍රහනය කරන්න. එහෙම නොවුනොත් තව අවුරුදු කිහිපයක් යනකොට අපිට ලංකාව කියලා කියන්න රටක් නැති වෙනවා. මම හිතන්නේ, සෑම රටකම සෑම පුරවැසියෙකුටම තිබෙන්නේ එකම සිහිනයක්... අපට අවශ්‍ය වන්නේ මේ සියලු දූෂිත හා බිහිසුනු දේශපාලකයන්ගෙන් රට බේරා ගැනීමට උත්සාහ කිරීමයි.”

“මගේ දෙමාපියන් මූලික අවශ්‍යතා ලබා ගැනීමට පෙට්‍රල්වලට පෝලිම්වල සිර වී සිටිති. මගේ තාත්තා මෙහෙට එන්න කලින් පැය පහක් හයක්වත් පෙට්‍රල් පෝලිමේ ඉඳලා තියෙනවා.”

'ඔබ කොල්ල කෑ ධනය ආපසු දෙනු' යන පුවරු අතැතිව සිටින විරෝධතාකරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

“රෝගීන් සඳහා යම් යම් සේවාවන් සපයන වෛද්‍ය ආයතනයක් අපට තියෙනවා. වෙන අවුලක් නැති නම් හොඳ ජීවිතයක් ගතකිරීම අමාරුවක් නෑ. අපි සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙනවා. අපි ජීවත් වීමට සහ අන් අයට උපකාර කිරීමට ප්‍රමානවත් හොඳ රැකියාවක් කිරීමට හැකියාව තියෙනවා. නමුත් ඒ පන්තිය පවා, මධ්‍යම පන්තිය පවා දැන් දුක් විඳිනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට එකක් හෝ දෙකක් මේ සියලු ධනය භුක්ති විඳිනවා. මේක දැවැන්ත පරිමානයේ අසාධාරනයක්.”

“ජීවන වියදම ඉහල යන සෑම අවස්ථාවකම සාමාන්‍ය ජනතාවට වෛද්‍ය සේවා ගාස්තු වැඩි කරන්න බැහැ. එහෙම වුනොත් අත්‍යවශ්‍ය වෛද්‍ය අවශ්‍යතා සඳහා ඔවුන් ගෙවන්නේ කෙසේද?”

විරෝධතාකරුවෙක් පුවරුවක් අතැතිව (ලෝසවෙඅ මාධ්‍ය)

“අපට අවශ්‍ය වන්නේ රටක් ලෙස අප විසින් කල යුතුව ඇති පරිදි අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමටයි. එතකොට අපිට මීට වඩා ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකයි මම හිතන්නේ හැමෝම මෙතන ඉන්නවා කියලා. මගේ දෙමව්පියෝ තව දවස් දෙකකින් ආපහු යන නිසා එහේදි සටනට එකතු වෙනවා ඇති. අප කොතැනක සිටියත් අපගේ හඬ ඇසෙන බවට වග බලා ගත යුතුයි. අපි සාමාන්‍ය ජනතාව හැටියට, අපි තමයි බහුතරය.”

කම්කරු පන්තියේ සමාජ තත්වය පිලිබඳව ඇය පැවසුවේ, “ඔවුන් සියල්ලෝම අරගල කරනවා. එදිනෙදා වැඩ කරන මිනිස්සුන්ට තත්වය තවත් නරකයි, මොකද එයාලා කොහොමද උද්ඝෝෂනයක ඉන්නේ, පෝලිමේ ඉන්නේ, දවසට ජීවත්වෙන්න කීයක් හරි හොයාගනිමින්? ඔවුන් තම දරුවන් පෝෂනය කරන්නේ කෙසේද, ඔවුන් පවුල රැකබලා ගන්නේ කෙසේද, ලමයින් ඉගෙන ගන්නේ කෙසේද?” යනුවෙනි.

“සාමාන්‍ය වැටුප රුපියල් 300-500 ක සොච්චමක්. වැඩ දවසක් අහිමි වීම ගැන සිතන්න, ඉතුරුම් නොමැති බව ගැන සිතන්න, කුලියට ජීවත් වීම ගැන සිතන්න, මේ අහස උසට යන බිල්පත් සියල්ල ගෙවීමට සිදු වේ යැයි සිතන්න. මධ්‍යම පාන්තික මිනිස්සු අරගල කරනවා, අමාරුවෙන් දවල්ට කෑම ගෙදරින් ගෙනෙනවා, අනිත් සගයන් ඉස්සරහා ඒක දිගහැරීමේදී අපහසුතාවයට පත් වෙනවා, එකිනෙකා බෙදාගන්න බලනවා මොකද එයාලට තියෙන්නේ එක් ව්‍යංජනයකින් ස්වල්පයක් එක්ක බත් ටිකක් විතරයි.”

“ලෝකයේ සෑම තැනකම සෑම වසරකම මිල ඉහල යනවා… එයට හේතුව වසංගතයක් වෙන්න පුලුවන්, යුද්ධයක් වෙන්න පුලුවන්… නමුත් අපි එයට මුහුන දෙන්නේ කෙසේද? අපි එයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද, නැතහොත් මිනිසුන් කඩා නොවැටෙන පරිදි, මිනිසුන් කුසගින්නෙන් මිය නොයන ලෙස අපි ඔවුන් රැක ගන්නේ කෙසේද? අපි මේ කතා කරන්නේ විසිඑක්වන සියවස ගැන!”

“මූලික අවශ්‍යතා සඳහා තවමත් අරගල කරන රටවල් ලෝකයේ ඇති බව මම දන්නවා, නමුත් ලෝකයක් ලෙස අප මනුෂ්‍යත්වය ජයග්‍රහනය කරවිය යුතුය. අපි සටන් කල යුතුයි. සෑම කෙනෙකුම පෝෂනය කිරීම සඳහා අපට ලෝකයේ ප්‍රමානයටත් වැඩි සම්පත් තියෙනවා.”

බන්දුල (ලෝසවෙඅ මාධ්‍ය)

බන්දුල, තමාම සාදාගත්, “ගෝඨා ගෙදර යනු, නැත්තම් හිරේ යනු” යනුවෙන් ලියැවුනු පුවරුවක් අතැති ව සිටියේ ය. ඔහු පැවසුවේ “සාමාන්‍ය ජනතාවට සෑම දෙයක ම මිල ඉහල ගොස් තියෙනවා. තත්ත්වය කොයිතරම් දරුනුද කියනවා නම්, ඔබ උදේ පාන් ගෙඩියක් අරගෙන හවසට පාන් ගෙඩියක් ගන්න ගියා ම මිල වැඩි වෙලා! සහල් සහ ඉන්ධනත් ඒ වගේ ම තමයි. අපට එය දරාගත නොහැක. රුපියලේ වටිනාකමක් නැහැ. උද්ධමනය නිසා ඔවුන් පත්තර අච්චු ගහනවා වගේ සල්ලි අච්චු ගහනවා.” යනුවෙනි.

කේශිනී වේල්සයේ කාඩිෆ් නගරයේ අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටියි. ඇය පැවසුවේ, “මේ වන විට ශ්‍රී ලංකාව ඉන්ධන හිඟය, ඖෂධ හිඟය යන ප්‍රශ්නවලට මුහුන දී සිටින්නේ. ආන්ඩුවේ ප්‍රතිපත්ති වල සම්පූර්න අවපාලනයක් සිදුවී ඇති අතර ඒ හේතුවෙන් පීඩාවට පත්වන්නේ පුරවැසියන්‍. ඒ අතරම, කෙතරම් දූෂන රැසක් සිදුවෙමින් පවතීද යත් එය විහිලුවක් බවට පත්ව තියෙනවා.”

“මව්රට තුල, මිනිසුන් විරෝධතා දැක්වීමට බොහෝ දේ සිදු කරමින් ඉන්නවා. අපට සහයෝගීතාවය පෙන්වීමට මෙහි කල හැකි අවම දෙය මෙයයි. මම කාඩිෆ්වල අධ්‍යාපන කටයුතු කරමින් සිටිනවා. මම අද වේල්ස් සිට දුර ගෙවාගෙන පැමිනියා. අපි මධ්‍යම සහ ඉහල මධ්‍යම පංතිය අතර අය නිසා මගේ පවුල වාසනාවන්තයි, නමුත් දැන් අපි හැමෝම දුක් විඳිනවා.”

කේශිනී (ලෝසවෙඅ මාධ්‍ය)

“පසුගිය වසර දෙක තුල අපි කොවිඩ් වලින් පීඩා වින්දා. විදුලිය විසන්ධි වීම නිසා විදුලිය නැති කාලපරිච්ඡේදයකට රට දැන් ගමන් කරමින් සිටිනවා. ආනයන සීමා කිරීම් නිසා අවශ්‍ය ද්‍රව්‍ය නෑ. දැන් ආන්ඩුව තෙල් ගන්න නය ගන්නවා. ඔවුන් එක චීන නයක් ගෙවීමට තවත් චීන නයක් ගන්නවා!”

“රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි. රට පාලනය කරන්න බැරිනම් අයින් වෙන්න ඕන. නමුත් ඔවුන්ට අහිමි වීමට තවත් බොහෝ දේ ඇත, මන්ද ඔබ ඉල්ලා අස් වන මොහොතේ ඔබට මෙතෙක් පැවති මුක්තිය නැති වෙනවා. ඒ නිසා තමයි කාටවත් අවශ්‍ය නැති විටදීත් ඔවුන් බලය අල්ලාගෙන ඉන්නේ.”

විරෝධතාකරුවෙක් 'හිරගෙදරට යනු, අපට මුදල් ආපසු දෙනු' යන පුවරුව අතැති ව (ලෝසවෙඅ මාධ්‍ය)

“ආන්ඩු තවදුරටත් සාමාන්‍ය ජනතාව සහ ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගන්නේ නෑ. මෙය සෑහෙන කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතුන මුත්, මම හිතන්නේ කොවිඩ් නිසා ප්‍රශ්නය වේගයෙන් ඉදිරියට පැමිනියා. මේ විදියට ගියොත් මිනිස්සුන්ට බඩගින්නේ ඉන්න තමයි වෙන්නේ. විශේෂයෙන් ඔවුන් අසනීප වුවහොත්, මූලික ඖෂධ තවදුරටත් නොමැති නිසා, මගේ පවුලේ අය ගැන මම ගොඩක් සැලකිලිමත් වෙනවා.”

“එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ දැන් ඇති වෙනස නම් මෙහි රෝහල් මූලික බෙහෙත් නොමැති තැනට වැටී නොතිබීමයි. ඔබ සිටින්නේ නිවෙස්වල විදුලිය පැය 13 කට සීමා කරන තැනක නොවේ. ශ්‍රී ලංකාවේ විරෝධතාවලට පෙර, දිනකට පැය 16 ක විදුලි කප්පාදුවක් යෝජනා කිරීමට තරම් ආන්ඩුව එඩිතර විය. මිනිස්සුන්ට දරාගන්න බැරි තැනකට ඔවුන් පත්වෙමින් තිබුනා. අපට සැප විඳිමින් සිටින ඇමැතිවරු සිටින අතර, සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇත. මට දැනෙන්නෙ මේක තමයි, අපි මේක තවත් ඉවසන්නේ නැහැ කියලා කියන්න මිනිස්සු පාරට බස්සපු බිඳුම් ලක්ෂ්‍යය.”

Loading