ආන්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතා තුල සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට සසප/සසජාතශි පිකට් උද්ඝෝෂනයක් සහ ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන පුලුල් විරෝධතා සමග එක් වෙමින් කම්කරු පන්තික සමාජවාදී වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පිකට් උද්ඝෝෂනයක් සහ ඔන්ලයින් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

පිකට් උද්ඝෝෂනය, අප්‍රේල් 21 බ්‍රහස්පතින්දා, කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සවස 3 ට පැවැත්වේ. එහි ප්‍රධාන සටන් පාඨ වනුයේ “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු”, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර පරාජය කරනු” සහ “කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු” යන ඒවායි.

ඔන්ලයින් මහජන හමුව ඊට දින තුනකට පසුව, අප්‍රේල් 24 ඉරිදා සවස 4 ට පැවැත්වේ. එය සූම් තාක්ෂනය ඔස්සේ විකාශනය වන අතර සසප ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශනය කෙරේ.

ඉවසිය නොහැකි සමාජ කොන්දේසි වලට එරෙහිව පුපුරා ගිය පෙර නොවූ විරූ සහ අඛන්ඩ මහජන විරෝධතාවලින් රාජපක්ෂ ආන්ඩුව දෙදරා ගොස් ඇත. දීර්ඝ දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන සහ ආහාර පිසින ගෑස් හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීම නිසා කම්කරුවන්, තරුනයින්, ගොවීන්, ධීවරයන්, ස්වයං රැකියා කරන්නන් සහ කුඩා පරිමාන ව්‍යාපාර හිමියන්ගේ ජීවිත විනාශභාග් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන ඉල්ලීම, 'ගෝ ගෝටා හෝම්' මහජන ව්‍යාපාරය වටා ඒකරාශී වී ඇත. සසප මෙම ඉල්ලීමට සහාය දක්වන අතර, කම්කරු පන්තිය සඳහා සමාජවාදී දේශපාලන වැඩපිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් ගෙනහැර දැක්වීමේ දී තව දුරටත් වර්ධනය කෙරුනු ප්‍රකාශයක් අප්‍රේල් 7 දා නිකුත් කලේය.

ධනේශ්වර පාලනයට, වැඩකරන ජනතාව, තරුනයින් සහ ගම්බද කම්කරුවන් විසින් එල්ල කරන ලද සියලුම සමාජ විරෝධය කුරිරු ලෙස තලා දැමීම සඳහා 1978 සිට භාවිතා කරන ලද විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කරන ලෙස එම ප්‍රකාශය ඉල්ලා සිටී.

පසුගිය කාලපරිච්ඡේදය තුල කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ල මැඩලීමේ වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව පෙන්වා දෙමින්, මහජනතාවගේ සියලු දැවෙන සමාජ අවශ්‍යතා විසඳීම සඳහා ක්‍රියාකාරී කමිටු—වෘත්තීය සමිතිවලින් ස්වාධීනව—පිහිටුවන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

එය, වැඩ කරන ජනතාව සහ ග්‍රාමීය කම්කරුවන් මුහුන දෙන ඕනෑම දැවෙන සමාජ ප්‍රශ්නයක් විසඳීමට ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවලට ඇති නොහැකියාව පැහැදිලි කරන අතර එම අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියට ගෙන යයි.

සසප, ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට කම්කරු පන්තිය සඳහා වැඩපිලිවෙලක් යෝජනා කරයි. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මෙම සටන දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයේ කොටසකි.

සසප/සසජාතශි සියලුම කම්කරුවන්, තරුනයින්, ගොවීන් සහ අනෙකුත් පීඩිත ස්ථරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පිකට් උද්ඝෝෂන සහ ඔන්ලයින් ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙසයි. සූම් රැස්වීම සඳහා මෙහි ලියාපදිංචි වන්න.

https://chords-org-lk.zoom.us/meeting/register/tJArce-vqjwsGdeAiuMiAtUDtM6oUGj7RnQc