ආන්ඩුවේ ප්‍රාදේශීය නායකයෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය විරෝධතාවකට මැර ප්‍රහාරයක් එල්ල කරයි

රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව, කැලනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය අප්‍රේල් 14 දා කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පැවැත් වූ විරෝධතාවයකට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු වන දුමින්ද පෙරේරා ගේ නායකත්වයෙන් මැර ප්‍රහාරයක් එල්ල කෙරුනි.

පෙරේරා හා තවත් කිහිප දෙනෙකු, ශිෂ්‍යයන් විරෝධතාවයේ යෙදුනු අට්ටාලයට අලාභහානි සිදු කර ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පහර දෙන දර්ශන රූපවාහිනි නාලිකාවල ප්‍රචාරය විය. ප්‍රහාරය ගැන ශිෂ්‍යයන් පොලීසියට කල පැමිනිල්ලකින් පසු, ශිෂ්‍ය විරෝධය සමහන් කිරීමේ ප්‍රයත්නයක් ලෙස, මන්ත්‍රී පෙරේරා මේ මස 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරනය 15 දා නියෝග කර තිබේ. එදින අධිකරන මාර්ගයේ ද සිසුහු විරෝධතාවයේ නිරත වූහ.

14 දා පැවති විරෝධතාවය, මේ වන විට සතියක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින් විවිධ නගරාශ්‍රිතව පවත්වන විරෝධතාවල කොටසකි. අවිශිබමය, ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙය වන සංවිධානයකි.

ජීවන වියදම ඉහල යෑම, විදුලිය කප්පාදුව, ගෑස් හිගය වැනි මහජනයා මුහුන දෙන ගැටලු මෙන්ම ශිෂ්‍යන්ට ශිෂ්‍යාධාර නො ලැබීම වැනි කරුනු විරෝධතාවයේ දී ඉස්මත්තට ගෙන තිබුනි. “ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙදර යනු පාඨය“ විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීමකි.

අවිශිබමය හා පෙසප සමග පවතින දේශපාලන මතභේද නොතකා සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය මෙම පහරදීම මුලුමනින්ම හෙලා දකී. ප්‍රහාරය, ශිෂ්‍ය උද්ඝෝෂනයකට එරෙහි හුදකලා ප්‍රහාරයක් නොවන අතර එය රටපුරා සටනට ඇදෙන කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහිව ආන්ඩුව සූදානම් කිරීමට මාන බලන පලල් පරිමාන ප්‍රහාරයක් පිලිබඳ සංඥාවකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි මෙම ප්‍රහාරය එල්ලවූයේ, රූපවාහිනිය ඔස්සේ විරෝධතාකරුවන් රටේ “ප්‍රජාතන්ත්‍රවාදයට“ තර්ජනයක් බව පවසමින් අගමැති මහින්ද රාජපක්ෂ ජාතිය අමතා කල තර්ජනාත්මක කතාවෙන් දින හතරකට පසුවයි.

1989-90 කාලපරිච්ඡේදයේ එවකට පැවති ජයවර්ධන-ප්‍රේමදාස ආන්ඩුව අසහනයට පත් තරුනයන්ට එරෙහිව සිදු කල ඝාතන පිලිබඳව සිහිපත් කල රාජපක්ෂ “එවැනි අඳුරු යුගයකට යෑමෙන් ජාතිය ආරක්ෂා කර ගන්නා ලෙසත්, මේ පිලිබඳව පරිස්සමින් සලකා බලන ලෙසත්“ කියා සිටියේ ය.

‘පාර්ලිමේන්තුවේ 225 ම එපා’ යැයි කියමින් මහජනයා නගන හඬ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමකැයි ද ඔහු පැවසීය. මෙහි සැබෑ අරමුන වනුයේ, විරෝධතා පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස හෙලාදකිමින්, ඒවා වහා ම නතර කරන ලෙස විධානය කිරීම යි. ආන්ඩුවේ මැර නඩ විරෝධතාවන්ට එරෙහිව කඩාපැන ඇත්තේ ඒ අනුවයි.

ඉතිහාසයේ පලමු වතාවට විදේශ නය ගෙවා ගත නො හැකි බංකොලොත් තත්වයට ආන්ඩුව පත්ව තිබේ. ඒ තත්වය තුල රාජපක්ෂ ආන්ඩුව මහජන විරෝධය නොතකා බලයේ රැඳී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත, අර්බූදයේ මුලු බර කම්කරුවන් තරුනයන් මත පැටවීමට පියවර ගනිමින් සිටී. එයට එරෙහිව පැන නගින අනිවාර්ය පන්ති සටන් මිලිටරි-පොලිස් ක්‍රමෝපායන් මගින් දඩු ගැසීමට ආන්ඩුව කල්බලමින් සිටී.

විපක්ෂයේ ධනපති පක්ෂවලට ආන්ඩුව සමග පටු උපායික මතභේද පැවතියත් ධනේෂ්වර පන්ති පාලනය රැක ගැනීම සම්බන්ධව ඔවුන්ට ඇත්තේ පොදු එකඟත්වයකි. බලයට පත්වන අන්තර්වාර ආන්ඩුවක් හෝ වෙනත් කවර ධනපති ආන්ඩුවක් හෝ වේවා වේගයෙන් ගමන් කරනු ඇත්තේ කම්කරු පන්තිය හා තරුනයන් මත කප්පාදුව හා මර්දනය උත්සන්න කිරීමටයි.

ලංකාව තුල අතිශය තියනු ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ, ගෝලීය වසංගතයෙන් සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් උග්‍ර කෙරුනු ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදයයි. ඇමරිකාවේ, යුරෝපයේ හා ලොව පුරා ධනපති පාලක පන්තීන් වසංගත හමුවේ අනුගමනය කරමින් සිටින්නේ මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ධනපති මහ ව්‍යාපාරවල ලාභ තැබීමේ සාපරාධි පිලිවෙතකි. එය ලොව පුරා මිලියන ගනකගේ ජීවිත විනාශ කර ඇත. එමෙන්ම රැකියා ඇතුලු සාමාන්‍ය ජන ජීවිත කාබාසිනියා කෙරෙමින් පවතී. .

රාජපක්ෂ තන්ත්‍රය පලවා හැරීම සඳහා වන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ඉල්ලීම් මුලුමනින්ම යුක්ති යුක්තය. බරපතල ප්‍රශ්නය වන්නේ, ඊට පසු බලයට පත් වන්නේ කවර ආන්ඩුවක් ද ? කම්කරුවන්, ශිෂ්‍යයන් හා අවශේෂ පීඩිත ජන කොටස් ගත යුත්තේ කවර මාවතක් ද ? යන්නයි.

රාජපක්ෂ ආන්ඩුවේ මැර ප්‍රහාර හා පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම් පරාජය කරමින් වත්මන් අර්බූදයෙන් මහජනයාට අත්මිදිය හැක්කේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් ධනපති ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර පරිමාන දේශපාලන අරගලයක් පෙරට ගැනීමෙන් පමනි. සසප සහ සසජාතශි යෙදී සිටින්නේ එම අරගලයේ ය.

අවිශිබමය හා පෙසප එවන් අරගලයකට මුලුමන්ම හතුරු ය. ඔවුහු, තරුනයන් ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනයේ අවමංගත කරමින් හා විවිධ ධනපති හා මධ්‍යම පන්තික සංවිධාන සමග ඒකාබද්ධ වෙමින් ඒ හෝ මේ ආකාරයෙන් ධනපති ක්‍රමය රැක දීමට කැපවී සිටිති.

Loading